Monday, March 14, 2016

දුම්බරින් මතුවන 'අපේ මිනිසා' එනතුරු.....

ගොවියෙකුගේ පුතෙක් රජෙක් කරන්න ගොස් පොහොර සහනාධාරයත් නැතිකරගෙන වී වලට මෑත ඉතිහාසයේ ලද අවම මිලත් ලබා ගෙන පොලවේ පස් කන, පස්ස බිම ඇනගත් ගොය්යෙකුගේ විලාපය මෑතකදි අසන්නට ලැබුන විට මට සිහිවූවේ 2015 'ආප්ප විප්ලවය' සහ හරියටම ඉන් වසර 200 කට පෙර 1815 සිදුවූ එවැනිම පාවාදීම අතර සමානකම් පෙන්වමින් මීට පෙර මා ලිව් සටහනය. (සිංහලේ මහා පාවාදීම් - එදා (1815) මොල්ලිගොඩලා සහ මෙදා (2015) මොල්ලි-සේනලා). මේ සිදුවීම සහ මේ වන විට ඇටි කෙහෙල් කෑ උගුඩුවන් බවට පත්වී ඇති 62 ලක්ෂයේ  අමන රැල කොතරම් අසරණ වී ඇත්ද යන්න තැන් තැන් වලින් මතුවන මෙවැනි අදෝනාවන්ගෙන් මැනවින් පැහැදිලි වේ. වර්ෂ 1815 දීද ජනතාවගේ සෘජු මැදිහත්වීමක් නොමැති වුවද රදල ප්‍රභූවරුන්, ශ්‍රී වික්‍රමරාජසිංහට වඩා 'යහපාලනයක්' අපෙක්ෂාවෙන් හිරු නොබසිනවායැයි කිවූ අධිරාජ්‍යයෙන් පැමිණි කපටි රැලකට බන්දේසියක තබා රටේ පාලනය භාර කලහ. හරියටම ඉන් වසර 200 කට පසුව සිදුවූවේද එවැනිම සිදුවීම් දාමයකි. මෙවර බලය හුවමාරු වූවේ සාපෙක්ෂව ජනතාවාදි ජාතික බලවේගයකින් ඉන්දියන් සහ බටහිර අධිරාජ්‍යවාදයේ සුවච කීකරු හුරතලුන් රැලකටය. වෙනස එපමනය. සිදුවීම් සිදුවන්නේ බොහෝදුරට 1815 ආකාරයටමය. රටේ ණය ප්‍රමානය පමනක් පසුගිය වසරේ ඊට පෙර වසර 9 ටම ගත් ණය වලට වඩා 4.5 ගුණයකින් පමණ වැඩිය (මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 9 ටම සියලු සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා ගත් මුළු ණය ප්‍රමාණය ඩො.මි. 1400 වන අතර. වර්තමාන පාලකයන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු නොකර එදා වේල කැමට පමණක් ගත් මුළු ණය ප්‍රමාණය ඩො. මි. 6361 කි. සනීපයි නේද වෙනස ? ) අප නැවතත් ආරථික වශයෙන් විදේශයන්ගේ යටත්විජිතයක් වෙමින් යන බවට එම කරුනම ප්‍රමාණවත්ය. ඉන්දියාවට මෙරට සේවා අංශයේ දොරටු විවර කරමින් ETCA ද අත්සන් කල පසු ඉතිරියද ඉටුවනු ඇත.

මෙදා මේ ලතෝනි දෙන ගොවියාට මෙන් එදාද සුද්දන්ගෙන් බැට කෑ පොදු ජනයාටද බලාපොරොත්තුවක් තිබුණි. ඒ බලාපොරොත්තුව එදා නම් බලාපොරොත්තුවක්ම පමණක් විය.

උඩරට සිංහල ජනයාගේ ඉඩම් කොල්ලකමින් යුරෝපීයන්ගේ තේ වතු වලට පාරවල් තැනීමට පැමිණි කර්නල් වොට්සන්ට (Colonel Watson)  1844 දී මුහුන පෑමට සිදුවූ මේ සිදුවීම ඉංග්‍රීසීන්ට යටත්වීමෙන් වසර ගණනාවකට පසුවද එදා ඒ ගැමි ජනයාගේ තිබූ බලාපොරොත්තුව සහ කැකෑරෙන විරෝධය මැනවින් පෙන්නුම් කරයි. මේ කර්නල් වොට්සන් එය විස්තර කල අයුරුයි.

---මා සමග කතාවට පැමිණි පෙර කල ආරච්චිවරයෙකුට (ගම් ප්‍රධානියෙක්) ඔහුට සහ අවට ගම්මාන වලට පාරක් සැදීමෙන් සිදුවන වාසි පැහැදිලි කලෙමි. බෙහෙවින් කලබල වූ ඔහු ගරුසරු නැති ලීලාවෙන් මෙසේ පැවසූහ. "කවුද ඔබ වැනි සුදු මිනිසුන් මෙහෙට එව්වේ? ඔබලා නැතිව අපි කිසි අඩු පාඩුවක් නොමැතිව මෙහෙ සිටියා. අර බලන්න ( කෝපි වත්තක් පෙන්වමින් ) ඒ කැලෑව මගේ". නැවතත් උක් වගාවක් පෙන්වමින් "අරකත් මගේ", නැවතත් රජයට අයත් ගවයන් තණ කමින් සිටි විවෘත බිමක් පෙන්වමින් "ඒත් මගේ ඉඩමක්". ඔබ අපගේ කැලෑ කැපුවා, අපගේ හේන් බිම් කොල්ලකෑවා. දැන් අපේ කුඹුරු උඩින් පාරවල් හදනවා. නමුත් අපේ මිනිහෙක් අර කන්දේ ඉන්නවා ( සැතපුම් 12 පමණ එපිටින් පිහිටි නකල්ස් කඳුකරය පෙන්වමින් ) ඔහු ඉක්මනින්ම ඔබගේ කරදරයෙන් අපව මුදවාවි. (කුරුරු හිනාවක් ඇතිව ඔහුගේ අත බෙල්ල වටා යවමින්) ඔබ සියලු දෙනාගේ හිස් ගසා දාවි."  ආරච්චිගේ මේ වදන් මගින් උඩරට ජනයාගේ හඬ සහ හැගීම් පොදුවේ එළිදරවු කරන ලදී.---උපුටාගැනීම - Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950

දුම්බර කඳුවැටියෙන් (නකල්ස් කඳුකරය) පැමිණ ඔවුන්ව මුදාගැනීමට එදා නම් කිසිදු 'අපේ මිනිහෙකුට' නොහැකි විය. මතුවූ අරගලද කුරුරු ලෙස මර්ධනය කිරීමට සුදු අධිරාජ්‍යවාදීන්ට හැකිවිය. සිංහලේ මුදාගැනීමට තැත් දැරූ එවන්  'අපේ මිනිසුන්' සිය දහස් ගණනාවක් අමු අමුවේ මරා දැමූහ. ඔවුන් එතරම්ම කුරිරුය, කපටිය, බලවත්ය. ඒ එදාය. මෙදා? එය අනාගතයට භාරය. මේ සිංහලේ අවසාන අවධියද (Last phase) ? එයද අනාගතය විසින් තීරණය කරනු ඇත. කෙසේ නමුත් එම සුදු අධිරාජ්‍යවාදීන්ගේ කලු නියෝජිතයන්ද ඔවුන් මෙන්ම කපටිය, බලවත්ය, කුරිරුය. ඔවුන්ට දවස ගානේ වීදි බසින ගොවියන් දහස් ගණන පෙනෙන්නේ නැත. නිදහස් චතුරශ්‍රයේ රති කෙලියට අවසර ඉල්ලන පඟරනැට්ටන්  10-15 නම් එසැනින්ම පෙනෙනවාය.

සුනිල් එදිරිසිංහයන් වරක් මෙසේ ගැයූහ... මහත්වරුණි පේනවාද අදත් එනවා රට කරන්න....




2 comments:

  1. මොනවා කරන්නද අපි බලාගෙන ඉමු...

    මහින්ද ඒ කාලේ හොරෙන් ගත්තු ණය දැන් ටිකින් ටික එළිවෙන නිසාලුනේ 2015 ජනවාරි 08 න් පස්සේ තිබ්බ ණයට වඩා දැන් ආපහු කියන ෆිගර්ස් ගොඩක් වැඩි වෙන්නේ...
    බ්ලොග් ලෝකේ ඉන්න ආර්ථික ඔස්තාද් ල කියන්නේ එහෙම තමයි...

    ReplyDelete
    Replies
    1. ඕවට කොහෙන් හිනාවෙන්නද මන්දා? ඔහොම යනකොට බඩ කට පුරා වැදෙනකොට ඔය තියරි නිකන්ම අකුලාගනී. කුලියට ලියන හිඟන්නෝ ටික නම් ලියයි උන්ට කීයක් හරි හම්බවෙන්නේ ඉතින් ඕක ලිව්වොත්නේ. මන් දැක්කා එක හිඟන්නෙක් ලියලා තියෙනවා මිනිහා දැන් වෘර්තීය බ්ලොග් කරුවෙක් කියලත්.

      Delete