Sunday, December 6, 2015

කන්ද උඩරට චරපුරුෂ පරංගි පූජකයා සහ පරංගියාගේ ආගමික සහජීවනය

වීදාගම නටබුන්

ට්‍රිනිඩේඩ්ගේ කෘතියේ එන 17 වන ශතවර්ෂයේ මෙරට තිබූ ප්‍රැන්සිස්කානු නිකායේ කතෝලික දේවස්ථාන පිලිබඳ විස්තරයේ, එම දේවස්ථාන පිහිටවූ ස්ථාන වල පෙර පැවැති පෘතුගීසීන් විසින් විනාශ කල බෞද්ධ වෙහෙර විහාර සහ දේවාල පිළිබඳ සඳහන් වන අවස්ථා ඇසුරින් සම්පාදිත ලිපියේ දෙවන කොටස වන මෙමගින් දකුනු වෙරල තීරයේ තවත් එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳ සලකා බලමු. පෙර ලිපිය සඳහා - 17 වන සියවසේදි ප්‍රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්

දික්වැල්ල
ශාන්ත ලුසි (St. Lucy) වෙනුවෙන් වූ දික්වැල්ලේ දේවස්ථානය ඇතුලු දේවස්ථාන 3 කට භාර කරනු ලැබූ දික්වැල්ල ප්‍රදේශය (Dicvela) ඊට පෙර කපුවන්ට (Capuas, ministers of the temples) අයිතිව තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. බොහෝවිට ආසන්නයේ පිහිටි දෙවිනුවර උපුල්වන් දේවාලයේ කපු මහතුන් මින් අදහස් කරන්නට ඇත.

දෙවිනුවර 
දෙවිනුවර දේවාලය පෘතුගීසින් විසින් විනාශ කල අයුරු සඳහා කියවන්න - පරංගියා දෙවිනුවර ගිය හැටි
ගම් 70 කටත් වඩා ප්‍රමාණයකින් ලබන ආදායමකින් යුත්ත වූ දෙවිනුවර (Tanavare) දේවාලය බිමට සමතලා කිරීමෙන් පසු එම ස්ථානයේම විශාල සහ අලංකාර කොටස් තුනකින් යුත් දේවස්ථානයක් ඉදිකල බවත් ඒවා ගල් කනු වලින් වෙන් කර තිබූ බවත් ට්‍රිනිඩේඩ්  පවසයි (Three naves divided by stone pillars) . එම දේවස්ථානයේ 2400 කට වඩා බැතිමතුන් සිටි බවත් එම සංඛයාව දිනෙන් දිනම වැඩි වන බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

ගලපාත
කලුතර සිට ගඟ දිගේ ඉහලට ගිය විට හමුවන දියගමට නුදුරින් වූ ගලපාත ග්‍රාමයේ පෙර කල යක්ෂයා වන්දනා කල පන්සලක් (Formerly the devil was worshiped in a temple) පිහිටි තැන ශාන්ත ජෝන් (St. John the Baptist) වෙනුවෙන් කැපවූ දේවස්ථානයක් ඉදි කල බවත් පැරණි පන්සලේ නටබුන් ඒ වන විටද ඉතිරි වී තිබූ බවත්  ට්‍රිනිඩේඩ් සඳහන් කරයි.

වීදාගම
රයිගම් කෝරලයේ වීදාගම (Vidagama) පෙර පන්සලක් තිබූ තැනක (Where a temple once stood) Our Lady of Miracle දේවස්ථානය වර්තමානයේ ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. එහි බැතිමතුන් 1300 පමණ ඒ වන විට සිට ඇත.
වීදාගම නටබුන්
මේ කාලය වන විට කන්ද උඩරට සිංහල රාජධානියේද (Kindom of Candia) ප්‍රැන්සිස්කානු නිකායට අයිති දේවස්ථානයක් පිහිටා තිබූ බවත් එහි සිටි පූජකයාට මිත්‍යාදෘෂ්ටික රජතුමා (Pagan King) සහයෝගය දැක්වූ බවත් එම පූජකයා කැප්ටන් ජෙනරාල්ට එහි සිදුවන වැදගත් දේවල් දැනුම්දෙන බැවින් ඔහුගේ සේවය දිවයිනට සහ පෘතුගාලයේ මහ රජතුමාට ඉතාම වැදගත් වූ බවත් (It is the duty of this father to warn the Captain General about anything of importance which may occur there and thus service of His Majesty) ට්‍රිනිඩේඩ් සිය විස්තරයේ අවසානයේදි පවසයි. කෙසේද පහත රට බෞද්ධ විහාරස්ථාන විනාශ කරමින් එම ස්ථාන වල කතොලික දේවස්ථාන ඉදි කරද්දිත් තම බල ප්‍රදේශයේ පෘතුගීසින්ට දේවස්ථානයක් ඉදි කරගැනීමට අනුබල දුන් සිංහල රජතුමාගේ සහ සිංහලයන්ගේ 'ආගමික සහජීවනය' අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් පෘතුගීසි පූජකයා උඩරට රාජධානියේ ඔත්තු බැලූ අයුරු?  
මූලාශ්‍ර
    The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991


3 comments:

  1. අත නොහැර දිගටම ලියන්න. මම උත්සාහ කරනවා ඔයාට ප්‍රසිද්ධියක් ලබා දෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේ වන විට වලට ප්‍රතිචාර හොඳයි.

      Delete