Wednesday, September 16, 2015

පරංගින්ට තරු පෙන්නූ සිංහලේ ගිනි බලය

"පෘතුගීසින් සමග යුද්ධ කරන්න පටන් ගත් පසු ඔවුන් ෆයර්ලොක් (Firelocks), ආර්ක්බස් (Arquebuses),  අත් තුවක්කු (Hand muskets) සහ අවුන්ස හතරේ හෝ පහේ ගිනි බෝල විදිය හැකි කාලතුවක්කු භාවිතයට පටන් ගත්හ. "
   ගෝවේ සිට මෙරට පෘතුගීසි යුගය සම්බන්ධයෙන් ඉතාමත්ම සවිස්තරාත්මක විස්තර අඩංගු ග්‍රන්ථයක් කල ජේසුස් සංගමයේ (Society of Jesus) ක්වේරෝස් පියතුමා (Father Fernao de Queyroz) සිංහලයන්ගේ යුද්ධ ආයුද සහ යුද උපක්‍රම සම්බන්ධයෙන් විස්තර කිරීමේදී එසේ පවසයි.
    සිංහලයන්ගේ බෝම්බ භාවිතය සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර කරන එතුමා  "ඔවුන් බෝම්බ (Bombs) සහ ගිනි විදින(Fire darts) ප්‍රයෝජනයට ගනී. එමගින් ඔවුන් ඉතාමත් පහසුවෙන් අතු පැල් වලට  ගිනි අවුලවයි. එසේම බෝම්බ මගින් ඔවුන් යුද්ධ භූමියේ කලබලකාරිත්වයක් ඇති කරයි...."

  මෙරට පෘතුගීසි යුගය වාර්තාකරණය කල තවත් ලේඛකයෙකු වන දියෝගෝ දෝ කූතෝට (Diogo do Couto) අනුව 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා (Dom Lourenco d' Almeida) මුල්වරට මෙරටට පැමින වතුර සහ දර රැස් කරන්නට වෙරලට පැමිනි විට ස්වදේශිකයන් ඔවුන්ව වලක්වන්නට තැත් කල මුත් රුවල් නැව් වල සිට වෙඩි කිහිපයක් තැබූ පමනින් අතිශයෙන් විශ්මයට පත්ව ඔවුන් පලාගිය බවය. ඔහු එයට හේතුව ලෙස දක්වන්නේ එම අලුත් ශබ්දය ඔවුන්ට හුරු පුරුදු නොවීමය. මක්නිසාද යත් එම යුගයේ මුලු දිවයිනේම එකදු ෆයර්ලොක් තුවක්කුවත්වත් නොතිබූ බැවිනි.
    කෙසේ නමුත් කූතෝ වැඩිදුරටත් පවසන්නේ පෘතුගීන් රටට පැමිණ සිංහලයන් සමග නොනවතින යුද්ධ පටන් ගැනීමත් සමග ඔවුන් ඉතාමත් දක්ෂයන් වූ බව සහ ලෝකයේම හොඳම සහ අලංකාරම කාලතුවක්කු නිශ්පාදනය කරන්නට වූ බවය. එසේම ඔවුන් සැදු කදිම ෆයර්ලොක් තුවක්කු පෘතුගීසි තුවක්කු වලටද වඩා ඉහල අගයක් ගන්නා බවත්ය. ඔහු සදහන් කරන පරිදි එවකට එවැනි තුවක්කු විසිදහසකට වඩා සාදා තිබී ඇත.
        සිංහලයන් පෘතුගීසීන්ට විරුද්ධව මුල් වරට ගිනි අවි යොදා ගත් බව පැවසෙන්නේ 1521 දී ලෝපෝ ද බ්‍රීටෝ (Lopo de Brito) කොළඹ බලකොටුව වැඩිදියුණු කිරීමට පටන් ගත් විට මුස්ලිම් වරුන් විසින් පොළඹවනු ලැබූ කෝට්ටේ සිංහලයන් කොටුවට කල පහරදීමේදිය. කූතෝ සඳහන් කරන්නේ ඔවුන් පාම් ගස් වලින් (Palm trees - පොල් ගස් විය හැක ) අට්ටාල (Bastions) දෙකක් සාදා ඒ මත කාලතුවක්කු තැබූ බවය. ක්වේරෝස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් "ඔවුන් කාලතුවක්කු ස්ථානගත කල අතර අත් තුවක්කු (Muskets) 600 ක පමණ සහයද ලබාගත්හ....ගිනි බෝම්බද(Fire Bombs) යොදාගත් අතර එමගින් කොටුව තුල වූ අතුපැල් වලට ගිනි ඇවිලුවේය." යනුවෙන් සදහන් කරයි
      කූතෝ සදහන් කරන පරිද්දෙන් 1505 දී සිංහලයන් ගිනි අවි පිළිබද නොදැන සිටියා නම් මෙතරම් කෙටිකාලයක් තුල  ගිනි අවි තාක්ෂණය ඔවුන් ලබාගත්තේ කෙසේද? මේ පිළිබද අවධානය යොමු කල මෑතකදි අප අතරින් වියෝවූ ගැස්ටන් පෙරේරා මහතා ඔහුගේ Kandy Fights the Portuguese - A Military History of Kandyan Resistance නම් ග්‍රන්ථයේ මෙසේ පවසයි. "කෝට්ටේ හමුදා ගිනි අවි භාවිතා කිරීම සහ මෙතරම් ප්‍රමාණයකින් භාවිතා කිරීම ගිනි අවි පෘතුගීසීන් විසින් ලංකාවට හඳුන්වාදුන්නායැයි පැවසීම සමග නොගැලපේ. සිදුවිය හැකි වඩාත් සාධාරණ දෙය නම් තුවක්කු පිළිබද දිවයින්වාසීන් දැන සිටි මුත් පුලුල්ව භාවිතා නොවූ බවය"
     පෘතුගීසීන් පැමිනීමට පෙර සිංහලයන් ගිනි අවි පිළිබද දැන සිටියා නම් ඔවුන්ට එම තාක්ෂණය ලැබුනේ කාගෙන්ද?

රූපය රත්නපුර සමන් දේවාලයේ ඇති තුවක්කුවක්. පෘතුගීසීන් මෙය  'Foot Muskets' යනුවෙන් හැදින්වූ අතර ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් මෙයට  'Gingals' සහ 'Grasshopper Guns' යනුවෙන් ව්‍යවහාර කලහ. කඳුකර පලාත් වල භාවිතයට ගත හැකි අයුරින් සිංහලයන් විසින්ම නිර්මානය කල මෙය බටහිර ජාතින් සතු වූ බර කාලතුවක්කු මෙන් නොව පහසුවෙන් ගෙන යා හැකි සාපේක්ෂව සැහැල්ලු ආයුධයකි. සිංහලයන් 'කොඩිතුවක්කු' නමින් හැදින්වූ මෙයට විකල්පයක් ප්‍රතිවාදි ජාතීන් කිසිවෙකු සතු නොවීය.

සම්බන්ධිත පෙර ලිපි:  දඹදෙනි යුගයේ (13-14 වන සියවස්) මෙරට ගිනි අවි භාවිතා උනිද?

මූලාශ්‍ර

The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
The History of Ceylon from the Earliest Times to 1600 A.D. As Related by Joao de Barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1909
Kandy Fights the Portuguese - A Military History of  Kandyan Resistance - C, Gaston Perera, 2007

3 comments:

  1. අපේ රටේ ජනයා හා ඉතිහාසය ගැන සැඟවුනු කාරනා බොහොමයක් තියෙනවා. අවාසනාවට වර්තමාන පරපුරට මේ බොහොමයක් දේ වල වටිනාකමක් දැනෙන්නේ නෑ. අපි ජාතියක් විදිහට මුහුන දෙන ගැටළු වලදී ජාතියක් විදිහට එකතු වෙන්න තියෙන නොහැකියාවටත් ඒක බලපානව. අද ඉන්න නාගරික තරුණයන් සමහරෙකුට වීරයෝ වෙන්නේ පරංගි වගේ බටහිර ආක්‍රමණිකයන් මිස අපේ රට ආක්‍රමණ වලින් බේරගන්න ක්‍රියා කළ ජාතික වීරයෝ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. රට අද වැටිලා තියෙන තත්වයට මූලික හේතුව ඕක තමා. අද මේ රටේ සිංහලයන්ට ජාතියක් නැති වෙලා. ඔවුන් තමුන්ගේ මුල් සිදගෙන. මුස්ලිම් සහ දමිල ජාතීන් නම් ජාතිය නැති කරගෙන නැහැ හැබැයි ජාතිය , ජාතිවාදයක් දක්වා වෙනස් කරගෙන.

      Delete
    2. අන්තිමට ඒක ජාති වදයක් වෙලාද මන්දා?

      Delete