Saturday, January 11, 2020

සිගිරි ගලෙන් පහල පර්වත උද්‍යානයේ ඔබ නොදකින සීගිරිය

සීගිරියේ පර්වත උද්‍යානය (Boulder garden) ලෙසින් හැඳින්වෙන කොටසේ දැකිය හැකි  නයිපෙන ගුහාව ආදී නටඹුන් ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කලෙමි (එම ලිපිය කියවීමට Link>> ). මේ ලිපියද එම පර්වත උද්‍යානයේ තොරතුරු ඉදිරිපත් කිරීම උදෙසා වෙන්වේ.

පෙර ලිපියෙන් විස්තර ඉදිරිපත් කල කුඩා ස්තූපය අසල පිහිටි ගුහාව අතරින් වැටී ඇති පඩි පේලිය මතින් ඊට ඉහලින් පිහිටි මලුව වෙතට පැමිණි විට විශාල ගල් පර්වතයකින් කිසියම් පුරාණ කාලයකදි සිරස් ලෙස දෙකඩව කැඩී වැටී පෙරලී ගිය පර්වත කොටසක් සහ එම මුල් පර්වතයේ ඉතිරි කොටස උපයෝගී කරගනිමින් නිර්මිත ඉතාමත්ම නිර්මාණශීලී ගෘහනිර්මාණාත්මක උද්‍යාන අංගයන් කිහිපයක් දැකිය හැක. මේ උද්‍යාන අංග වල පිහිටීම පිළිබඳව පැහැදිලි අදහසක්  මේ සමග ඇති කෙටි වීඩීයෝව නැරඹීමෙන් ලබා ගත හැක.
ආසන ගුහාව
ඉහත සඳහන් ගල් පර්වතයෙහි මුල් කොටස ජල ටැංකි ගල (Cistern Rock) ලෙසින් හැඳින්වේ. ඒ එම ගල මතුපිට සතරැස් ලෙසින් ඇතුලට හාරා උඩ ඉවුරු එකිනෙක පිරිද්දූ ගල් පුවරු වලින් නිමකල ජල ටැංකියක් තනා ඇති බැවිනි. එම ගලෙහි පහලින් පිහිටි ගුහාව ඒ තුල ඇති ගලින්ම මතුකර ඇති ආසනයක් හේතුවෙන් ආසන ගුහාව ලෙසින් හැඳින්වේ.
අතීතයේ කිසියම් යුගයකදි දෙකඩව ගිය ගල්පර්වතයේ කොටස් දෙක. දකුණු පස ආසන ගුහාව සහිත වතුර ටැංකි ගලද, වම් පස රාජ සභා ගලද (Audience Hall Rock) දැකිය හැක. රාජසභා ගලෙහි යටකොටසේද කටාරම් කොටා එහි වහලයෙහි හුණු බදාම අතුරා ඇති ලෙනක් දැකිය හැක
ගලින්ම නිර්මිත කොට බිත්ති වලින් යුත් මෙම ආසන ගුහාවේ ඇති ගල් ආසනයද ගලින්ම මතු කර ඇත. එම ආසනයට ඉහලින් වියනේ ගසක සිතුවමක් ඇඳ තිබූ බවට වූ සලකුණු ශේෂව ඇත. තවද 5 වන සියවසට අයත් විය හැකි ලෙස අනුමාණ කරන කාන්තා රූප සහ වලාකුළු වල කොටස්ද වියනේ දැක ගත හැක. එම රූප මත පසු කාලීනව හුණු තවරා ඒ මත කළු පැහැයෙන් අඳින ලද පිරිමි රූප දෙකක්ද මෙහි ඇත. ඒවා 10-12 සියවස් වලට අයත් විය හැකි බවට මත පලවී ඇත. බොහෝ දෙනෙකු නොදන්න කරුණක් වනුයේ සුප්‍රසිද්ධ කැටපත් පවුරේ පමණක් නොව මෙම ගුහාවේ චිත්‍ර මතද පැරණි යුගයේ කුරුටු ගෑ ගී ඇති බවය (සෙනරත් පරණවිතාන මහතා සහ පසු කාලීනව බෙනිල් ප්‍රියන්ක මහතා මෙම ගී කියවා පලකර ඇත.) මෙහි එවැනි කුරුටු ගී 14 පමණ සොයාගෙන ඇත. ඒ අතරින් ඉහත සඳහන් ගසක චිත්‍රය මත ඇති එක් ගීයක් අක්ෂර හැඩය අනුව 6 වන සියවසට කාල නිර්ණය කල හැක. ඒ අනුවය එම ගී කුරුටු ගෑ චිත්‍ර එයට පෙර 5 වන සියවසේ අවසාන කාලයට හෝ 6 වන සියවසේ මුල් යුගයට අයත් විය යුතු බවට අනුමාණ කරනුයේ.
ආසන ගුහාව
ආසන ගුහාවට ඉදිරියෙන් ඇති රාජ සභා ගල යටද අර්ධ කවාකාරව බිත්තියක් බැඳි කටාරම් කොටා වියනේ හුණු පිරියම් කර චිත්‍ර ඇඳ තිබූ බවට සලකුණු සහිත ගුහාවක් දැකිය හැක. මෙම ගුහා ද්වය 'සීගිරි නුවර' අවසානයත් සමග කුඩා බෞද්ධ විහාරයක් සහ පන්සලක් ලෙස යොදාගෙන ඇති බවට 1899 වසර සඳහා වූ H.C.P. බෙල් ගේ වාර්තාවේ සඳහන් වේ. ඔහු එලෙස පවසන්නේ එම ගුහා වල තිබී පිළිම (බුදු පිළිම විය හැක.) හමුවීම නිසා බව එහි වැඩිදුරටත් සඳහන් වේ (After the fall of Sigiri-nuwara they served as a small Buddhist shrine and pansala [Images were exhumed]) මෙම ගුහාව තුල තිබී හුණු ගලින් නිර්මිත දෙවඟනකගේ ප්‍රතිමාවක්ද (තාරා දෙවඟන?) හමු වූ බව රාජා ද සිල්වා මහතා සඳහන් කරයි.
ආසන ගුහාවේ ඇති 5-6 සියවස් වලට අයත් විය හැකි වියන් චිත්‍ර
ඉහත වියන් චිත්‍ර මත හුණු තවරා පසු කාලීනව ( 10 -12 සියවස්? ) කළු පැහැ රේඛාවලින් ඇඳ ඇති පිරිමි රූප. මින් එක් රූපයකින් එහි සිටින පුද්ගලයා ඇඳිලි බැඳගෙන ඇති බවක් නිරූපිත අතර, අනෙත් පිරිමි රූපයේ එක් අතකින් කිසියම් මුද්‍රාවක් නිරූපනය කරයි. අනික් අතෙහිද යමක් දරා සිටින බවක් දිස්වේ.
H.C.P. බෙල් මේ සම්බන්ධව දරන මතය වන සීගිරියේ කාශ්‍යප යුගයට පසුව විහාරයක් ලෙසින් මෙම ගුහා යොදා ගත් බවට වන අදහස මෙන්ම සිගිරියේ පිහිටි පබ්බත විහාරයේ අංග ලෙස මෙම ගුහා මුල සිටම තිබූ බවටද මත ඉදිරිපත් වී ඇත. මේ සම්බන්ධව යම් යම් තොරතුරු සීගිරි පබ්බත විහාරය සම්බන්ධ පෙර ලිපියේ අඩංගු විය Link>>

පැරණි චිත්‍ර මත පසුව සීගිරිය නැරඹීමට පැමිණි පුද්ගලයක් කුරුටු ගී ලියු ලෙසින්ම මෑත කාලීන සීගිරි නොයා යුතුව තිබූ එහෙත් ජාතියේ අවාසනාවට එහි ගිය ඇතැම් අමනයන් විසින්ද ඉංග්‍රීසි අකුරු ආදියෙන් විවිධ දේ ලියා ඒවා විනාශ කර ඇති බව පෙනේ. පැරණි චිත්‍ර, ඒ මත පැරැන්නන් ලියූ කුරුටු ගී මෙන්ම පැරණි චිත්‍ර මත පසු කාලීනව හුණු පිරියම් කර ඇඳි රේඛා චිත්‍රද සුරැකිය යුතු ජාතික උරුමයන් බව වටහා නොගත් පරපුරක් බිහිවී තිබීම මෙවන් සිදුවීම් ඇතිවීමට හේතු වේ. කැටපත් පවුරේ 'ඇඩ්‍රස්' ලියූ ද්‍රවිඩ තරුණියකට 'ජාතික සංහිඳියාව' උදෙසා ජනාධිපති මන්දිරයට කැඳවා රැකියාවක් ලබාදුන් පාලකයන්ද මෙරට මෑතකදි සිටිය බව මේ අවස්ථාවේ මතක් කර දීම තත්වයන් මේ වනවිට වඩාත් හොඳ අතට වෙනස් වී ඇතිමුත් වැදගත් වේ යයි හැඟේ.
අප ඉහත සඳහන් කල කිසියම් අතීත යුගයකදී එක් ගලකින් සිරස්ව කැඩී ගිය අනෙක් ගල් කොටස සහ මුල් ගල අතර පිහිටි විවෘත අවකාශය පැරණි සිංහල ගෘහනිර්මාණ ශිල්පීන් පෙත් මගක් ලෙසින් මනාව බිම ගල් අතුරා පඩි පේලි යොදා සකසා ඇති බව ඉහත ගුහා දෙක පසු කරමින් ඉදිරියට යන විට දැක ගත හැක. ඉහත ඡායාරූපයේ සහ පෙර ඉදිරිපත් කල වීඩියෝවේ මෙය පැහැදිලිව දැක ගත හැක. Link>> එමෙන්ම රාජ සභා පර්වතය දෙසට වන්නට තවත් කුඩා ගල් ආසනයක්ද මෙහි ඇත.
කුඩා ගල් ආසනය
රාජ සභා ශාලාව
මෙම ගල් පර්වත දෙක අතර වූ මාර්ගයේ ගොස් වම් පසින් ඇති පඩි පේලිය මතින් ඉහලට ගොඩ වූ විට රාජ සභා ශාලාව (Audience Hall) ලෙසින් හැඳින්වෙන ඉහත විස්තර වූ මුල් ගල් පර්වතයෙන් සිරස් ලෙස ස්වභාවිකව කැඩී වෙන්වූ පර්වතයේ මතුපිට මනාව සමතල කොට ඉදි කල, එම ගලින්ම මතු කල විශාල ප්‍රමාණයේ ආසනයක්ද සහිත ශෛලමය මණ්ඩපය වෙතට පිවිසිය හැක. මෙම මණ්ඩපය රාජ සභා ශාලාව ලෙසින් බෙල් විසින් මුල් වරට හඳුන්වන ලද අතර මෙය රාජකීය සභා ශාලාව ලෙසින් මෙන්ම වෙනත් අවශ්‍යතාවයන් උදෙසා ඉදිකර තිබූ ශාලාවක් ලෙසටද වූ විවිධ මත ඉදිරිපත් වී ඇත. 
රාජා ද සිල්වා මහතා පවසන ලෙසට මෙම ආසනය භික්ෂූන් කිහිප දෙනෙකුට ඉදිරියෙන් වාඩි වී සිටින බැතිමතුන්ට ධර්මය දේශනා කිරීම උදෙසා 'ආසන ශාලාවක' භාවිතා වූ 'ධම්මාසනයක්' ලෙසින් වූ බවට යන මතය මේ ආසන්නයේ ඇති අනෙකුත් බෞද්ධ නටබුන් සමග එකඟ විය හැකි මතයක් ලෙසින් ගත හැක. අනික් අතට සෙනරත් දිසානායක මහතා පවසන්නේ රාජ සභාව සිගිරිය ගල මුදුනේ ඇති රජ මාලිගාවට ආසන්නව තිබිය යුතු හෙයින් එයට සෑහෙන දුරකින් පර්වතය පාමුල පිහිටි මෙය රාජකීය උයනේ අංගයක් විය යුතු බවය.
රාජ සභා ශාලාවට පහලින්ද තවත් මධ්‍යම ප්‍රමාණයේ ගල් ආසනයක් දැකිය හැකි අතර පර්වත උද්‍යානයේ මෙම කොටසේ ගල් ගුහා තුල සහ පිටත මෙතරම් ආසන ප්‍රමාණයක් හමුවීම පිළිබඳව මතයක් ඉදිරිපත් කරන රාජා ද සිල්වා මහතා මෙම ස්ථානය මුල් යුගයේ බුදු පිළිමය හඳුන්වාදීමට පොරොතුව ආසන වන්දනාව සිදු කල ආසනඝරයක් පිහිටි ස්ථානයක් ද යන්න පිළිබඳව අවධානය යොමු කරයි.
රාජසභා ශාලාවට පහලින් පිහිටි ආසනය
බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ වැඩසිටි ආසනයේ අනුරූ මෙරට බුද්ධ රූපය හඳුන්වාදීමට පෙර ඒ අර්ථයෙන් වන්දනා කල බවට මතයක් ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා ඇතැම් පිළිගත හැකි සාධකද ඉදිරිපත් වී ඇත (ඒ පිළිබඳව වෙනම ලිපියකින් අවධානය යොමු කල යුතු වේ.) තවද එම ආසන මත බුදුන් වඳින අර්ථයෙන් මල් ආදියද තබා වන්දනා කරන්නට ඇත. මෙම මතය තහවුරු කිරීම උදෙසා රාජා ද සිල්වා මහතා යොදාගන්නා තවත් සාධකයක් නම් මෙම ඇතැම් ආසන සහිත කුඩා ගුහා තුල වෙනත් කිසිදු ඉදිකිරිමක් හමු නොවීමයි. තවද මේ මතය නැවතත් පර්වත උද්‍යානයේ මෙම කොටසේ හමුවන අනෙකුත් ලෞකික නොවන බෞද්ධ ඉදිකිරිම් වල නටඹුන් සමගද ගැලපේ.
රාජසභා ශාලාව සහ එයට පහලින් පිහිටි ආසනය
වතුර ටැංකි ගල
රාජ සභා ශාලාවට ඉහලින් පිහිටි වතුර ටැංකි ගල (Cistern Rock) ලෙසින් බෙල් විසින් මුල් වරට නම් කරන පර්වතය මත අප මේ ලිපියේ මුලදී සඳහන් කල ලෙසින් ගලින් නිර්මිත ජල ටැංකියක් ඇති අතර එය වෙතට ලඟාවීමට පඩිපේලියක්ද රාජ සභා ශාලාව දෙසට පිවිසෙන පඩි පේලියට අනෙත් පසින් ඉහල මළුවට පිවිසෙන පඩි පෙල නැග මදක් ඉහලට ගිය විට හමුවේ (පහත රූපය)
මෙම වතුර ටැංකිය මෙම ගල මතුපිට තැනීම සහ එයින් නික්මෙන වැඩිපුර ජලය ගල මතුපිටම වූ කාණුවක් මතින් ගොස් වතුර ටැංකි ගලේ සිරස් අතට හාරා ඇති තවත් කාණුවක් දිගේ ඉහතින් විස්තර කල පෙත් මගෙහි පසෙකින් පහලට ගලා යන ලෙස සකසා තිබීම කුමන අරමුණකින් සිදු කලෙහිද යන්න පිළිබඳව නිශ්චිත මතයක් ඉදිරිපත් වී නොමැත. ඇතැම්විට උද්‍යානයේ අලංකාරය මෙන්ම සිසිලනය උදෙසා එය යොදාගත්තා වන්නට පුළුවන. (වතුර ටැංකි ගලෙහි සිරස් අතට ඇති එම ගල් කාණුව ඉහත වීඩියෝවේ පැහැදිලිව දක්වා ඇත.)
වතුර ටැංකිය

වතුර ටැංකි ගල මත සිට පහලින් දිස්වන රාජ සභා ශාලාව
මූලාශ්‍ර
  • Sigiriya, Senake Bandaranayaka, City, Palace and Royal Gardens, 1999
  • Sigiriya, R.H. De Silva, 1976
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • සීගිරිය, එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග. මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
  • The Rock And Wall Paintings of Sri Lanka, Senake Bandaranayake, 2006
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1895
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1899

10 comments:

  1. ඔබේ ලිපිය ගැන නොකියමි කිසිවක්ම
    අපහාසයක් වෙයි එය කෙරුමට යෑම
    ලේනිය වලිගයෙන් සිඳු හිඳුමට යාම
    සිහි වුණු බැවිනි, බැරි මට අදහස් කීම

    ReplyDelete
  2. අර වතුර ටැංකි ගලේ කාණුව දිගේ පහළට වතුර ගළා යාමට සැළැස්වීම, රාජසභා මණ්ඩපය පසෙකින් කෘත්‍රිම දිය ඇල්ලක් නිර්මාණය කිරීමක් බවට අදහසක් තියෙනව නේද?

    අනික් අතට, අනුරාධපුරෙන් එහෙම හම්බවුණු ආසනඝර වල ඔය වගේ ආසන නෙවෙයි නේද තියෙන්නෙ? රාජසභා මණ්ඩපයෙ තියෙන ආසනය බොහොම පුළුල්. ඒක තනි කෙනෙකුට නෙවෙයි, අන්තඃපුර කාන්තාවන් පිරිවරාගත්ත රජු වාඩිවුණායැයි හිතන්න පුළුවන් තරම් පළලකින් යුක්තයි. ඔය ආසන වල පිටිපස තියෙන ඇන්ද පිට හේත්තු කරගන්න හදපු බව පේනව. අර ආසන ගුහාවෙ ආසනය වටේට ඔය වගේ ඇන්දක් හදල තියෙන්නෙ, ප්‍රධාන ආසනයෙ වාඩිවුණු කෙනා වටේට අනික් අයට බිම වාඩිවෙන්න කියල හිතන්න පුළුවන්. ඒ වගේ ආසන පැණවීමක් තියෙනව අභයගිරියෙ දාන ශාලාවෙ...

    තර්ක කිරීමක් නෙවෙයි භූෂණ. ඔබේ අදහස දැනගන්න ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම අදහසක් කවරෙකු හෝ ඉදිරිපත් කර තිබූ බවක් මට මේ ගැන හොයනකොට නම් හමු උනේ නැහැ. රාජ සභා මණ්ඩපය හෝ එසේ වූවායැයි කියන මණ්ඩපය අසලින් තිබෙන විට යමෙකුට එසේ කියන්න පුළුවන් තමා ඒත් එම අදහස පිළිගත හැකි මට්ටමේ සාධක නොමැතිව එවැන්නක් කීම කොච්චර සාධාරණද යන ප්‍රශ්නය පැන නැගෙනවා. අනෙක් අතට එසේ වීමට නම් මෙය රාජසභා මණ්ඩපය ලෙස භාවිතා වූ බව පළමුව සනාථ කල යුතුයි. ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධයෙන් තියෙන එක් අවාසනාවන්ත රැල්ලක් තමයි ඒවාට යම්කිසිවෙකු අර්ථකතනයක් දුන්නම ඒක පරම සත්‍යය ලෙස පිළිගෙන එය සමාජ සම්මත වීම. සීගිරියෙම ගත්තොත් ප්‍රසිද්ධ කාන්තා රූප රජුගේ බිසෝවරු ලෙස දීපු අර්ථකතනය බොහෝදුරට සමාජයේ පරම සත්‍යක් බවට පත්වී තිබෙනවා. ඒත් ඊට අමතරව ඒ සඳහා වෙනත් අර්ථ කතනද තියෙනවා. එකක් තමා එම චිත්‍ර මහායාන දහමේ එන තාරා දෙවඟනගේ කියන එක. කුරුටි ගී ඇතැම් ඒවායේ කියැවෙන ලෙස එකල මෙයට වඩා චිත්‍ර තිබිලා තියෙනවා. ඒ සමස්තය තිබ්බා නම් අපිට මීට වඩා ප්‍රබල පිළිගතහැකි අර්ථකතනයක් දෙන්න තිබ්බා. දැන් අපි කරන්නේ අර අන්දයෝ අලියා විස්තර කරන ලෙසට පොඩි කොටසක් අරගෙන නැතිවූ සමස්තය කුමක්ද යන්න කියන්නට දැගලීමක්. නිකමට හිතන්න ඔය මේ දවස් වල රැල්ලට අදින වීදී චිත්‍ර වල බහුලව තියෙන අර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා බෙල්ලට ඇගිල්ල තියා පෙන්වන දර්ශනය. තව අවුරුදු 500-1000 විතර ගිහිල්ලා දැන් තියෙන දත්ත ගබඩාකිරීමේ තාක්ෂණයත් නැතිවී ඔය තාප්ප කෑල්ලක් විතරක් ඉතිරි උනා කියලා. ඒ කාලෙදි බිහිවන පුරාවිද්‍යාඥයෝ කොතරම් විවාද කරවිද ඕකට අර්ථකතන දෙන්න. මන් හිතන්නේ නැහැ කිසිවෙකුට අවම තරමින් සත්‍යට ආසන්න වෙන්න වත් පුළුවන් වෙයි කියලා. අන්න ඒ වගෙයි අපි හරියට සාධක නැතිව ඕවට අර්ථකතන දෙන්න ගිහාම වෙන්නේ. පොළොන්නරුවේ නිශ්ශංක රාජසභා මණ්ඩපය ගත්තොත් ඒකේ සෙල්ලිපි තියෙනවා ඒ මොකක්ද කියල. ඒ අනුව එය පිළිගන්න අපහසුවක් නැහැ. රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු කියලා මහාවංශයේ තියෙනවා. සමහරවිට ඒක සද්දාතිස්ස හැදුවා වෙන්නත් බැරි නැහැනේ. ඒත් අපි දන්න සාධක අනුව අපි ඒක දැනට පිළිගන්නවා දුටුගැමුණු හැදුවා කියලා. කවුරු හරි කියනවා නම් නැහැ ඒ දෙන්නම නෙමේ රාවණ හැදුවේ කියලා කිසිම සාධකයක් නැතිව. ඇත්තටම අද මෙරට ඉතිහාසය කියන එක ඔන්න ඔය ලෙවල් එකට වැටිලා තියෙන්නේ. මන් හිතන්නේ ඒකට හේතු උනෙත් අඩු වැඩි වශයෙන් ඉතිහාසය පිළිබඳව අපේ විද්වතුන් පරම සත්‍යය එනම් සිදුවූ දේ ඒ ආකාරයෙන්ම හොයන්න යෑම නිසා වූ දෙයක්. ඒක කරන්න බැහැ. අපි දැනට තියෙන සාධක අනුව යම් යම් අනුමාණ කිරීම් වලට විතරයි එන්න පුළුවන් ඉතිහාසයේ සිදූන දේ වලට සහ නටබුන් ගොඩනැගිලි සහ අනෙක් දේවලට.

      Delete
    2. ඩ්‍රැකී ගේ කොමන්ටුවේ කොටසක් ගැන විතරයි මම උඩ කතා කලේ. ආසනඝර ගැනැ කියන කොටස ගත්තොත්. මට මතක විදිහට ගොඩකුඹුරේ මහතා තමා පුලුකුනාව, කුඩා කටුවන්නාව ආදී තැන් වල තියෙන ආසනඝර ඇසුරින් එම මතය මුලින්ම ගෙනාවේ. මෑත කාලයේ සේනක බණ්ඩාරනායක මහතා වැනි බොහෝ දෙනෙක් මේ ආසනඝර සියල්ලම පාහේ බෝධිඝර වල නටබුන් ලෙස හඳුනාගන්නවා. ඔව් ඔබ කිව්වා හරි එම ආසනඝර වල හමුවන්නේ ඇන්ඳක් නැති ගල් පුවරු (මල් ආසන වැනි.) මේ සැම ආසනඝරයකම මැද බෝධි වෘක්ෂයක් තිබ්බා කියන එක තමා දැන් පිලිගන්න මතය. ඔබ කිව්වා වගේ ඒවා ගැන අපිට විවිධ උපකල්පන කරන්න පුළුවන්. රාජා ද සිල්වා මහතා මෙහිදි කර තිබෙන්නේත් එවන් උපකල්පනයක්. හැබැයි ඔහු එවැනි උපකල්පන සහ වෙනත් සාධක සමග සීගිරියේ පැවතියේ මහායාන සංඝාරාමයක් කියන මතය ගෙන එනවා. මට මෙහිදී අවශ්‍ය උනෙත් ජනප්‍රිය මතයට වඩා වෙනත් මතත් තියෙන බව පෙන්වාදීම පමණයි. නැවතත් මම ඉහත පෙන්වූ මෙවැනි දේවලට අර්ථකතන දීමට හදිස්සි විය යුතු නැහැ කියන දේ තමා කියන්න වෙන්නේ. කොහොම උනත් සීගිරියේ මේ කොටසේ හමුවන බොහෝ දේ සංඝාරාමයක් හා සම්බන්ධ දේවල් ලෙස පිළිගන්න මම පෞද්ගලිකව කැමතියි. අනුරාධපුර පොළොන්නරු නටබුන් ගත්තත් තිස්සමහාරාමය අවට ගත්තත් අපිට බහුලව හමුවන්නේ ආගමික නටබුන් මිසක මාලිගා නටබුන් නෙමේ සීගිරියට විතරක් එය වෙනස් වෙන්න විදිහක් නැහැ.

      Delete
    3. ඔබ ඉහත අර ප්‍රධාන ආසනය වටේට ඇන්දක් සහිතව බිම වාඩිවෙන්න කියන අදහස ඉදිරිපත් කලාම මට මෙහෙම හිතෙනවා. දැනටත් පන්සලකට ගිහාම අපි වාඩිවෙන්නේ ඔහොම නේද? නායක හාමුදුරුවෝ උස් ආසනයක ඉදන් ඉන්න විට අපි බිම පැදුරු දාල බිත්තියට පිට දීගෙන නේද අහන් ඉන්නේ. මේ ආසන භාවිතා උනෙත් එකල එහම කියල හිතන්න බැරිද? නායක හිමිගේ අනුශාසනාව අසා සිටින සාමනේර හිමිවරු නොමැති නම් ගිහියන් උදෙසා එසේ හැදුවා වෙන්න බැරිද? රජ කෙනෙකු කිසිවිටකත් ඔහුගේ ආසනයට මෙතරම් ලන්ව සෙනෙවියන් සහ ඇමතියන් තියාගනීද? බිසෝවරුන් සමග මෙවන් ආසනයක හිඳගෙන ඔවුන්ව බිම හිඳුවා කරන්න තරම් සාකච්චාවක් නම් මම හිතන්නේ නැහැ තිබ්බා කියලා . රති කෙලියට නම් මෙවන් සැකසීමක් කෙසේවත් සුදුසු නැති බවයි මට නම් හැඟෙන්නේ. LOL (සැ.යු.: ඔබේ අදහස තවදුරටත් වැඩිදියුණු කිරීමක් පමණයි)

      Delete
    4. ගොඩක් ස්තූතියි භූෂණ වෙලාව අරං නිවීහැනේ මේ ගැන විස්තර කළාට. මම ගොඩක්ම ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණා. ඒ වගේම ඒ ගැන සංවාදයක් ගොඩනගන්නත් ඕනෙකම තිබුණා. දැන් අපි ආපහු සීගිරය බලන්න ගිය වෙලාවලදි මේ දිහා වඩා වෙනස් කෝණයකින් බලයි.

      Delete
  3. භූෂණ ළඟදි මොනවත් ලිව්වෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. :) මේ සති අන්තයේදිවත් උත්සාහ කරනවා.

      Delete