Sunday, December 27, 2015

බලු කපුටන්ව ඉපදෙන්න රාජ්‍ය දේපල සොරා කන්න! - එහෙම හරියයිද?

 නිශ්ශංකමල්ල රජතුමා විසින් ශ්‍රිපාදස්ථානයේ සෙල් ලිපියක් පිහිටුවා තිබෙන බවත්, එහි කියවෙන පරිදි රාජ්‍ය දේපල සොරාකන්නන් මරණින් මතු බලු කපුටන් සේ ඉපදෙන බවත් මෑත කාලයේ මෙරට රාජ්‍ය පාලනයේ ඉහලම තනතුරක් හොබවන්නෙකු ප්‍රකාශ කලේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ විද්වතුන් රැසක්ද සිටි සභාවකදිය. එම ප්‍රකාශයට ඉමහත් ප්‍රචාරයක් ලැබුන මුත් එවන් සෙල්ලිපියක් ශ්‍රිපාදස්ථානයේ  තිබෙනවාදැයි කිසිවෙකු සොයා බැලුවේ නැත. මේ ඒ පිළිබඳව කෙරෙන විමසීමකි.

මෙරට රාජාවලියේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් කල රජතුමා බොහෝ විට පොළොන්නරු යුගයේ රට පාලනය කල කාලිංග වංශික නිශ්ශංකමල්ල රජතුමා විය හැක. ඔහු පිහිටවූ ලෙස හඳුනාගත් සෙල්ලිපි අවම වශයෙන් 87 මේ වනවිට කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් භගවා ලෙන නොහොත් ඇතැමුන් දිවාගුහාව ලෙස හඳුන්වන ලෙනේ ඇති සෙල්ලිපි දෙක පමණි මෙතෙක් ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව හමුවී ඇත්තේ. මීට අමතරව මාගම්පත්තුවේ වාඳුරුප්පේ පුවරු ලිපියේත්, ගිරුවා පත්තුවේ රම්බා විහාරයේ ඇති තවත් පුවරු ලිපියකත්, බුත්තල කටුගහ-ගල්ගේ ටැම් ලිපියේ සහ පඩුවස්නුවර ගල් ආසන ලිපියේත් එතුමා බොහෝ දුෂ්කරතා මැද සමනොල නැඟි බව පමණක් සඳහන් කරයි.

රූපය 1 - නිශ්ශංකමල්ල රජු සිරිපා පුදන ආකාරය දැක්වෙන
 භගවාලෙන ලිපිය
භගවා ලෙන ලිපිය 1 - තමන් විසින් සිරිලක එක්සේසත් කල බවත්, රන් රුවන් ආදි බොහෝ වස්තු දන්දී  හේන් කරන්නන්ගෙන් පෙර කල අය කල කැතිඅඩ බද්ද අහෝසි කල බවත්, යුධ කිරීමට ආශාවෙන් දඹදිව් ආක්‍රමණය කර පඩි රජු පලවා හැර ඔහුගෙන් රාජකීය ස්ත්‍රීන් හස්ති අශ්ව ආදි පඩුරුද පිළිගෙන, චෝල රටින් එවූ පඩුරුද පිළිගෙන, දේවකුලමේදි නන්දෙසින් ආ දිළිදුන්ට දන්දී, නිශ්ශංකේශ්වරය නම් වූ දේවාලයක්ද කරවා ආපසු සිරිලක පැමිණ, තුන් රජයේ බොහෝ තැන්හිද, කාලිංග, පාණ්ඩ්‍ය, චෝල රටවල් වලද, දන්ගෙවල් පිහිටුවා දිලිදුන්ට දන්දී, නවම් මස පුන් පොහෝ දිනක සමනල නැග, පට සලු සහ රන් රිදී හා නවරත්නයෙන් මලුව සරසා, පූජනීය ශ්‍රීපාදය නමස්කාර කර, අඹගමුව ග්‍රාමය නැවත ආගමික කටයුතු උදෙසා පිරිනමා, කිසිවෙකු විසින් එම ස්ථානයන්ට කිසිදු උවදුරක් නොකරන ලෙසට නියෝග පමුණුවා මෙම ලේඛනය පිහිටුවන ලද බවත් පමණි එහි සඳහන් වන්නේ. > රාජ්‍ය දේපල සොරාකෑමක් ගැන නැත.

රූපය 2 -  බලු කපුටු සහ ඉර හඳ ලකුණු  සහිත
ටැම් ලිපියක් - අලුත්වැව විහාරය, මැදගම
භගවා ලෙන ලිපිය 2 -  නිශ්ශංකමල්ල රජු සිරිපා වඳින ආකාරය දැක්වෙන රූපයක් (රූපය 1) සමග මෙම ලිපියේ දැක්වෙන්නේ "මේ නිශ්ශංක පරාක්‍රමබාහු පූජනීය ශ්‍රීපාදය වැද සිටින නියායයි" යන්න පමණි. > බලු කපුටු කතාද නැත.

කෙසේ නමුත් පැරණි රජ දරුවන් විසින් දිවයිනේ නන්දෙස පිහිටුවා ඇති ඇතැම් සෙල්ලිපි වලින් කිසියම් පරිත්‍යාගයක් බොහෝවිට විහාරයකට පිරිනමා එම දේවල් අයථා ලෙස පරිහරණය කරන්නන් සහ එම නියෝගය කඩ කරන්නන් මතු බලු කපුටන් ලෙස ඉපදෙන බව නම් සඳහන් කර ඇත. එවන් ඇතැම් ලිපි වල බලු කපුටන්ගේ රූප සහ එය සඟ සතු කල බව කියා පෑමට වටාපතක ලකුණ දැක්වෙන රූපද, එම නියෝගය ඉර හඳ පවතින තුරා පැවතිය යුතු බව පැවසීමට ඉර, හඳ ලකුණුද කොටා ඇත. (රූපය 2)

 මෙහි කොහේ හෝ පැටලැවීමක් නම් සිදුවී ඇති බව පෙනේ. එනිසා රාජ‍ය දේපල සොරාකන්නනි, තොපට බිය වීමට හේතුවක් නොමැත රාජ්‍ය දේපල සොරාකන්නන්ට බලු කපුටන් වන්නට සිදුවන වන වග නිශ්ශංකමල්ල රජු ශ්‍රිපාදස්ථානයේ සෙල්ලිපියක නම් කියා නැත.


මූලාශ්‍ර:
  • සපරගමු දර්ශන, රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමි, 1967
  • Achaeological survey of Ceylon, Inscription of Ceylon, Volume VI, G.S. Ranawella, 2007

2 comments:

  1. අලුත් දැනුමක්

    ReplyDelete
  2. /රාජ‍ය දේපල සොරාකන්නනි, තොපට බිය වීමට හේතුවක් නොමැත රාජ්‍ය දේපල සොරාකන්නන්ට බලු කපුටන් වන්නට සිදුවන වන වග නිශ්ශංකමල්ල රජු ශ්‍රිපාදස්ථානයේ සෙල්ලිපියක නම් කියා නැත./

    ජයවේවා!!!

    ReplyDelete