Friday, November 27, 2015

මැකලම් අනාවැකි

මෙම ලිපිය මින් පෙර ඉදිරිපත් කල දෙමළ ජාතිවාදයේ ආරම්භය සම්බන්ධ ලිපිය හා සම්බන්ධිතය. දෙමළ ජාතිවාදයේ ආරම්භය - සුද්දාගේ Divide & Rule Concept එක

වර්ෂ 1909 දී එවකට ක්‍රියාත්මකව පැවැති ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) නව ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් ඉංග්‍රිසි ආණ්ඩුවට සන්දේශ(Memorials) කිහිපයක් ඉදිරිපත් වේ. අඩු වැඩි වශයෙන් එකම කරුණු සහ යෝජනා ඇතුලත් මෙම සන්දේශ ජේම්ස් පීරිස් මහතා විසින් සහකාර රාජ්‍ය ලේකම්ටද (Under Secretary of State), ස්වදේශිය ප්‍රභූන් 760 කගේ අත්සන් සහිතව H.J.C. පෙරේරා මහතා විසින් යටත් විජිතභාර ලේකම්ටද (Colonial Secretary) පුද්ගලයන් වශයෙන් ඉදිරිපත් කරන අතර පහතරට නිෂ්පාදන සංගමය (Low-Country product Association) නියෝජනය කරමින් හෙන්රි ද මෙල් සහ ජෙරල්ඩ් H. ද, සේරම්, යාපනය සංගමය (Jaffna Association) නියෝජනය කරමින් J.M. හෙන්ස්මන්, A. සභාපති සහ M.A. අරුලානන්දන්, Ceylon National Association  නියෝජනය කරමින් ආතර් අල්විස්, හලාවත සංගමය (Chilaw Association) නියෝජනය කරමින් අර්නස්ට් කොරෙයා යන මහතුන්ගේ අත්සනින් අදාල සංවිධාන වලින් ඉදිරිපත් කල සංදේශ යටත්විජිත භාර ලේකම්ට යොමු කරයි. එම සංදේශ සියල්ල එවකට ආණ්ඩුකාර H.E. මැකලම් විසින් ඒවායෙහි සදහන් යෝජනා සහ මෙම සංගම් නියෝජනය කරන පුද්ගලයන් සම්බන්ධව ඔහුගේ මතයද සමගින් යටත්විජිතභාර ලේකම් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

Mr. and Mrs. James Pieris and view of their residence, "Rippleworth"
ප්‍රධාන වශයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ ජනවර්ග පදනමින් ආණ්ඩුකාරය විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජිකයන් පත් කිරීම වෙනුවට ප්‍රදේශ අනුව සීමිත චන්දදායකයන්ගේ චන්දයෙන් මන්ත්‍රීන් පත් කරගන්නා ලෙසත් ව්‍යවස්ථාදායක සභාවෙන් සම්මත කරන පනත් ක්‍රියාත්මක කරන විධායක සභාවට (Executive Council) එම නිලනොලත් මන්ත්‍රීන්ගෙන් කෙනෙකු හෝ කිහිපදෙනෙකු පත් කරගන්නා ලෙසත් මෙම සංදේශ මගින් ඔවුන් ඉල්ලා සිටී.ඒවායෙහි අන්තර්ගතයේ එන ඇතැම් දේ සහ ඒ හා සම්බන්ධව මැකලම් ආණ්ඩුකාරයා දක්වන අදහස් කිහිපයක් මෙසේ ගොනු කර දක්වන්නේ එම කාලය වන විට මෙරට දේශපාලන බල අරගලය පිලිබද වටිනා කරුණු ඉන් ඉස්මතුවන බැවිනි.
  • ඉංග්‍රීසීන් විසින් මේ වන විට ඉන්දියාවට සිමිත චන්දදායකයන්ගේ චන්දයෙන් මන්ත්‍රීන් පත් කරගැනීමේ ක්‍රමය හඳුන්වාදීම මෙම සංදේශ යැවූ බොහෝ දෙනෙකුගේ කනස්සලට හේතු වූ බව පෙනි යයි. ඔවුන් සංසන්දනය කරන පරිදි එවකට මෙරට සාක්ෂරතවය පිරිමින්ගේ 1000 කට 350 සහ ගැහැනුන්ගේ 1000 කට 70 පරිදි විය. නමුත් ඉන්දියාවේ මෙම අගයන් පිලිවෙලින් 1000 කට 98 සහ 7 පරිදි විය. එසේ හෙයින් එම ක්‍රමය මෙරටට හඳුවාදීමට ඇති සුදුසුකම ඉන්දියාවට වඩා වැඩිය.
  • තම අදහස සාධාරණීකරනය කිරීමට ඔවුන් ඉදිරිපත් කරන තවත් තර්කයක් වූයේ මෙරට වැසියන් ඉංග්‍රීසින්ට අයත් අනෙකුත් යටත්විජිත වල මෙන් නොව අධිරාජ්‍යට ඉතාමත් කීකරු සහ අවනත පිරිසක් බවය. එය පෙර සිටි බොහෝ ආණ්ඩුකාරවරුන් විසින්ද පිළිගත් වග ඔවුන් සඳහන් කරයි. (Nowhere in the whole British Empire are there more loyal and devoted subjects of his Majesty than in Ceylon....) [කෙසේද පරගැති බව එහි උපරිමයෙන් පෙන්වන ආකාරය]
  • දෙමළ ජාතිකයන්ගෙන් සමන්විත යාපනය සංගමය පවා ජනවර්ග පදනමින් මන්ත්‍රීන් පත්කිරීම වෙනුවට පලාත් සහ ප්‍රධාන නගර පදනමින් මැතිවරණයක් මගින් ඔවුන් තේරීම කල යුතු බව පැවැසීම මෙහිදි වැදගත්ය. එසේම එම සංගමය මෙන්ම අනෙකුත් සංවිධානද මෙම නව ක්‍රමය නිසා "සුලු ජාතික නියෝජනයේ අඩුවීමක් සිදුවන්නේ යැයි ඉංග්‍රිසි ආණ්ඩුව සිතන්නේ නම්" ආණ්ඩුකාරය විසින් ඒ සදහා නියෝජිතයෙකු හෝ දෙතුන් දෙනෙකු පත් කිරීම කල යුතු බව පැවසීමද ඒ වන විටත් අධිරාජ්‍යවාදීන් කොතෙක් උත්සාහ කලද පොදුවේ දෙමළ සහ සිංහල ප්‍රභූන් සැලකිය යුතු මට්ටමින් අධිරාජ්‍යවාදීන්ගේ බෙදා වෙන් කර පාලන උපක්‍රමයට හසු නොවී සිටි බවට දෙස් දෙයි.
  • චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි විය යුතු පුද්ගලයන් තෝරාගත යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ අවුරුදු 21 ට වැඩි නගරයක නම් රුපියල් 1000 ට නොඅඩු නිශ්චල දේපල සහිත හෝ රුපියල් 300 ක වටිනාකම සහිත වාර්ෂික ආදායමක් උපයන හෝ ගමක නම් රුපියල් 150 ක වාර්ෂික ආදායමක් සහිත, නැතහොත් රුපියල් 150 ක විශ්‍රාම වැටුපක් ලබන, දේශිය භාෂා දෙකින් එකක් හෝ ඉංග්‍රිසි භාෂාව ලිවීමට හා කියවීමට හැකි පිරිමින්ට එම අයිතිය ලබා දිය යුතු බවය.
  • චන්දය ඉල්ලීමට සුදුසු පුද්ගලයන් විය යුත්තේ ඔවුනට අනුව අවුරුදු 21 ට වැඩි මනා ඉංග්‍රිසී අධ්‍යාපනයක් සහිත රජයේ රැකියාවක් නොකරන, කිසියම් හෝ අපරාධයකට වැරදිකරුවෙකු නොවූ පිරිමි වේ.
මැකලම් ආණ්ඩුකාරවරයාගේ අදහස් වල සදහන් වන දෑ
  • මැකලම් ආණ්ඩුකාරයාට අනුව මෙම සංදේශ ඉදිරිපත් කරන කිසිවෙකු මෙරට ජනතාව නියෝජනය කරන්නන් නොවේ. ඔවුන් බටහිර අධ්‍යාපනයක් විනා කිසිදු පෙරදිග දැනුමක් ඇත්තන් නොවන අතර ඔවුන්ට මෙරට ජනතාව නියෝජනයට කිසිදු සුදුසුකමක් නොමැත. ඔවුන් බ්‍රිතාන්‍ය සාරධර්ම වලට අනුමත වූ මෙරට යුරෝපිය පරිපාලනයේ නිෂ්පාදිත වේ. [අදටත් නිවර්තන රටක ටයි කෝට් පොරවන් ආණඩු 'කොරන' එම පරපුරේම පසුකාලීනයන් සම්බන්ධයෙන් මැකලම් ආණ්ඩුකාරයාගේ මෙම නිගමනය කොතරම් අදාලද?]
  • තවදුරටත් මැකලම් ආණ්ඩුකාරවරයා චන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් පවසන්නේ එමගින් තම පැවැත්ම වෙනුවෙන් ස්ව ප්‍රචාරණය(Self advertisement) සහ කැලඹීම් උපයෝගී කරගන්නා වෘත්තිමය දේශපාලකයන් පිරිසක් මෙරට බිහිවෙනු ඇති බවය. ඔවුන්ගේ චන්ද ව්‍යාපාර රටේ අඥාන බහුතරය අතර කලබල සහ ප්‍රචන්ඩත්වය පතුරවනු ඇති බව සහ එමගින් කොලණියේ ප්‍රගමණය අඩාල කරනු ඇති බවය. [මැකලම් එදා කිව් අනාවැකි අදටත් සත්‍ය නොවේද?]
  • කෙසේ නමුත් ඔහු යෝජනා කරන්නේ මෙම උගත් ලාංකිකයන් පිරිස නියෝජනය කිරීමට අලුතින් නිල නොලත් මන්ත්‍රීවරයෙකු පත් කිරීම කල යුතු බවය. එසේම මෙතෙක් Chamber of Commerce සහ Planters's Association යන ආයතන වලින් පුද්ගලයන් ඉදිරිපත් කල ආකාරයට බර්ගර් ජන වර්ගයාද ඔවුන්ගේ සංවිධානයක් පිහිටුවා ගතහොත් ඔවුන් වෙනුවෙන් නියෝජිතයකු ඉදිරිපත් කිරීමේ අයිතිය ඔවුන්ට ලබා දීමටද  කාලය එලඹ ඇති බව හෙතෙම වැඩිදුරටත් යෝජනා කරයි. ඔහු ඉදිරිපත් කරන තවත් එක් වැදගත් යෝජනාවක් වනුයේ පහත රට සිංහලයන් අතර කුල අතර විවිධත්වය වැඩිවන බැවින් ඒ සදහා තවත් එක් නියෝජිතයෙක් එක් කල යුතු බවය. [කෙසේද Divide & Rule සංකල්පයේ යොදාගැනීම]
මැකලම්ගේ යෝජනා වලට ප්‍රතිචාර දක්වන යටත්විජිත ලේකම්වරයා පවසන්නේ ජනවර්ග පදනමින් නියෝජිතයන් තේරීම දිගටම පවත්වා ගත යුතු බවය. ( I consider therefore that the principle of racial representation should be maintained)

ඡායාරූප උපුටා ගැනීම Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907

මූලාශ්‍ර
  • The Hand-Book of the Ceylon National Congress 1919-1928, S.W.R.D. Bandaranaike, 1928


2 comments:

  1. භූෂණගෙ ලිපි දෙකම එක හුස්මට කියෙව්ව. ප්‍රශ්නෙ මුලින්ම අල්ලගෙන තියෙන එක ගැන සතුටුයි...

    ReplyDelete