Sunday, October 28, 2018

සීගිරිය සොයා ෆෝර්බ්ස් ගිය ගමන සහ තවත් කතා

"අපි පොළොන්නරුවේ සිට මින්නේරිය සහ පෙයික්කුලම් හරහා එන ගමනේදී මෙතුවක් කල් යුරෝපීයයන් විසින් නොදුටු සීගිරි නම් වූ පැරණි අගනුවර නටබුන් සොයාගැනීම උදෙසා පෙයික්කුලම් (Paecolom) හීදී මාර්ගයෙන් දකුණු දිසාවට යොමු උනෙමු. පෙයික්කුලම් සිට කණ්ඩියක් මතින් කොටසක් සහ ඉතිරිය විශාල වැවක වැව් පිටිය මතින් වැටී තිබූ අපගේ ගමන් මගේ සැතපුම් සතරක් පමණ ගිය විට, උදෑසන මීදුම ක්ෂණිකව පහව ගිය මොහොතක, එහි නිශ්චල මතුපිටින් අවට පිහිටි විශාල වනස්පතීන් සමග මුඩු බෑවුම් පැති සහිත සහ මුදුන වන වදුලින් යුතු වූ සීගිරි ගලේ ප්‍රතිබිම්බය දර්ශණය වන ජල තලාවක අද්දර අප සිටින බව වටහා ගතිමු. ..."
සංරක්ෂිත ජල උද්‍යානයේ පොකුණක දිස්වන සීගිරි ගලේ ප්‍රතිබිම්බය
මෙතුවක් කල් අසා තිබු මුත් කිසිදු ඉංග්‍රිසි ජාතිකයෙකු දෑසින් දැක නොතිබූ සීගිරිය නටබුන් නගරය අසලට වර්ෂ 1831 දී මුලින්ම ලගා වූ ඉංග්‍රිසි ජාතිකයා වූ මේජර් ෆොර්බ්ස් බොහෝවිට සීගිරි වැව අසලදී වැව් තලය මතින් එහි ප්‍රතිබිම්බය දිස් වූ අයුරු සිය සිංහලේ එකොළොස් වසරක් (Eleven Years in Ceylon) නම් වූ චාරිකා විස්තර ඇතුලත් ග්‍රන්ථයේ විස්තර කරන්නේ එලෙසිනි. පොළොන්නරුවේ සිට මින්නේරිය හරහා පෙයික්කුලම් දක්වා ෆෝර්බ්ස් ගමන් කල මාර්ගයේ ජෝන් පයිබස් නම් ඉංග්‍රිසී ජාතිකයා වර්ෂ 1762 දී සිංහලේ රජු හමුවීමට පැමිණි ගමනේ විස්තර මෙයට පෙර ලිපි කිහිපයකින් ඉදිරිපත් කලෙමි. (එම ලිපි කියවීමට >>> 1 2 3 ) ඒ ගමනේදී හබරණ අසලදී පයිබස් වලිඹෙහෙල (Friar's Hoodකඳු මුදුන ලෙස වරදවා වටහා ගන්නට ඇත්තේ සීගිරිය විය හැකි යැයි අනුමාන කල හැක. ඒ අනුව සීගිරිය පර්වතය හබරණ ආදී අවට පිහිටි ඇතැම් උස් ස්ථාන වලදී පැහැදිලිව දිස්වන මුත් ෆෝර්බ්ස් එය අසලටම පැමිණ නැවත සොයාගන්නා තෙක්ම මෙරට සිටි ඉංග්‍රිසි ජාතිකයන් වලිඹෙහෙල ලෙසින් වරදවා හඳුනා ගෙන සිටියාදැයි තව දුරටත් සොයා බැලිය යුතුය.
පොළොන්නරුවේ සිට පෙයික්කුලම් වැව දක්වා මාර්ගය මෙහි කොළ පාටින් දක්වා ඇත. එතැන් සිට ෆොර්බ්ස් ගමන් කරන අඩක් කණ්ඩියක් මතින් වැටී තිබූ සහ ඉතිරිය වැව් පිටියක් තුලින් වූ මාර්ගය මේ සිතියමට අනුව හඳුනාගැනීම දුෂ්කර නොවේ. පැරණි සීගිරිය වැව වර්තමානයට වඩා විශාල ප්‍රදේශයක් පුරා පතිර තිබූ බව හඳුනාගෙන ඇති අතර (මෙම පැරණි අඟලේ සිතියමේ එය මැනවින් දැක ගත හැක) ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වෙනත් අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි 
වැඩි දුරටත් තමන් දුටු දෙය විස්තර කරන ෆෝබ්ස් මෙලෙස පවසයි. "අප නැවතුන ස්ථානයේ සිට මා හට පර්වතය පාමුල ගස් අතරින් මතු වී පෙනෙන  යෝධ ගල් බැමි දැකගන්නට ලැබුනි. ඒ අනුව මෙය අප සොයන ස්ථානය බවට මැනවින් පසක් විය. "
සීගිරිය පිට දියගලට ඔබ්බෙන් දිස්වන ගල් බැමි එහි බටහිර දොරටුව අසලදී
සීගිරි යන්නෙහි තේරුම පිළිබඳව ෆොර්බ්ස් පවසන වැදගත් කරුණක් පිළිබඳව මෙහිදි අවධානය යොමු කල යුතුය. ඔහු විශ්වාස කරන්නේ එහි තේරුම කඳුකර බලකොටුව (Mountain-stronghold or Hill-fort) විය යුතු බවය. උගත් ස්වදේශිකයන් සිහ (Lion) සහ ගිරි (Rock) යන්නෙන් එහි තේරුම සෑදි ඇති බව පවසන බවත්, සීගිරි බලකොටුවේ තැන් කිහිපයකම තිබෙන සිංහ පිලිරූ (Lions sculptured on the different parts of the fortress) නිසා එසේ වන බව ඔවුන් විශ්වාස කරන මුත් එය කොතරම් මනඃකල්පිත සහ මෝඩ මතයක්ද යන්න තමන්ට මෙම ගමනේදී කිසිදු සිංහ රූපයක් හමු නොවීමෙන් සනාථ වන බවත් පවසයි. මෙරට එකම සිංහ රූපයක්වත් හමු නොවන ස්වල්පයක් වන ස්ථාන අතරින් මෙයද එකක් වන බවත් ෆොර්බ්ස් වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට සීගිරියේ ඉතිරිව තිබූ සිංහ පාද පස් වලින් යටවී තිබූ අතර පසු කලක එය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තවත් ඉංග්‍රිසි ජාතිකයකු වූ H.C.P. බෙල්ටය. 1909 දී පිදුරංගල සිට ගෙන ඇති මේ සමග ලිපියේ මුලින් පලවන ඡායාරූපය බෙල්ගේ වාර්තාවකින් උපුටා ගැනිනි. එහි සිංහ පාදය මතු කරගෙන ඇත.)
පර්වතය පාමුල දකුණු දෙසින් ඇති ගල් බැමි
ෆෝර්බ්ස්ගේ විස්තරයේ දැක්වෙන ලෙසට ඔහු ගැලරිය (Gallery) ලෙසින් හඳුන්වන කැටපත් පවුර සහිත ප්‍රාකාරයට මෙපිටින් පර්වතය දෙසට ඇති කොටසේද මද දුරක් ගිය බව පෙනේ. අධික රශ්මිය සමග ඇතිවූ විඩාව හේතුවෙන් ඔහු අතරමග නවතින මුත් ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එහි සැලකිය යුතු දුරක් ගිය බව පෙනේ (ඔහු කැප්ටන් H සහ B මහතා ලෙසින් ඔවුන්ව හඳුන්වයි.) ඒ වන විට යාර 100 පමණ දුරට එම ගැලරියේ ප්‍රාකාරය විනාශ නොවී ඉතිරි වී තිබී ඇත.) එහි එක් තැනකදි පර්වතය මුදුනේ සිට දැඩි වර්ෂාව සහිත කාල වලදී දිය ඇල්ලක් (Cascade) ලෙසට ජලය ගලා එන බවත් දැනට නැගීමට අපහසු පර්වතය මුදුනේ වැවක් ඇති බවට ස්වදේශිකයන්ගේ ජනශ්‍රිතයේ එන සඳහන ඒ අනුව සත්‍ය විය හැකි බවත් ෆොර්බ්ස් පවසයි.  
පර්වතයේ දකුණු දෙසින් බැලූ විට පෙනෙන කැටපත් පවුරේ ඉතිරි වී ඇති කොටස 
වර්ෂ 1833 දීද ෆොර්බ්ස් නැවතත් සීගිරියට පැමිණෙන අතර පර්වතය වටා එහි ඊසාණ දෙසින් සම බිමේ සහ නැගෙනහිර දෙසින් උන්නත මළුවක (Elevated terrace) පිහිටි ලෙසට ඔහු මුල් සංචාරයේදී හඳුනාගන්නා රාජකීය ගොඩනැගිලි වලට අමතරව පර්වතයට උතුරු දෙසින් 'මාලිගාවට' ඔබ්බෙන් පැරණි සීගිරිය නගරයේ නටබුන් ඇති බවට දැනගන්නට ලැබුණ බව පවසයි. එම කොටසේ ප්‍රාකාර සහ අගල් වල නටබුන් ඔහුට හමුවේ. එහි (එනම් පර්වතයට උතුරු දෙසින්) ඉහලම මළුවට පිවිසි විට පර්වතය මුදුනට යෑමට කුඩා පඩි ඇති බවට ඔහුට අසන්නට ලැබේ. එහෙත් කිසිවෙකුට එහි මුදුනට නැගීම උත්සාහ කර බැලීමටවත් නොහැකි තරමින් ඒවා විනාශ වී ඇතැයිද ෆොර්බ්ස් ඔහුට දැනගැනීමට ලැබුනු ලෙසට පවසයි. ප්‍රදේශවාසීන් ඔහුට පැවසූ පරිදි සීගිරිය පර්වතය අවට වලසුන් සහ කොටියන් බහුල අතර ඒ බවට සලකුණුද ඔහුට දැකගන්නට ලැබී ඇත. තවද ඉහත සඳහන් කල B මහතා ගැලරියේ කඩා වැටුන කොටසක් තුලට දණ ගාගෙන යාමේදීද එහි සිටි කොටියෙකු පහලට පැන වනාන්තරය තුලට සැඟව ගොස් ඇත.
කැටපත් පවුර
දෙවන වර සීගිරියට ගිය අවස්ථාවේ ෆොර්බ්ස් හට  ගැලරියට ඉහලින් පිටතට නෙරා ගිය පර්වත කොටසේ ලගාවිය හැකි කොටසේ වැඩි ප්‍රමාණයක් දීප්තිමත් වර්ණයන්ගෙන් පින්තාරු කර තිබූ බවට ලකුණු දැකගන්නට ලැබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ වැහි වතුර ඇතුළු නොවන කොටස් වල එම චිත්‍ර වල කොටස් තවමත් තිබෙන්නට හැකි බවයි ( සීගිරියේ කාන්තා රූප මේ වන විට සොයා ගෙන නොතිබුනි.)

19 වන සියවසේ තුන්වන දශකයේ නැවතත් සීගිරිය නූතන ගවේෂකයන්ට එසේ හමුවන තුරු 5 වන සියවසේ සිටි කාශ්‍යප රජුගෙන් (ක්‍රි.ව. 473-491) පසුව වංශ කතා වල පවා සීගිරිය සම්බන්ධයෙන් හමුවන්නේ ඉතාම සුළු තොරතුරු ප්‍රමාණයක් පමණි. කාශ්‍යප රජුගෙන් පසු එහි සංඝාරාමයක් ඇතිවීම පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර කලෙමි (>>Link). ඉන් අනතුරුව සීගිරිය ගැන සඳහනක් හමුවන්නේ දෙවන සංඝතිස්ස රජුගේ (ක්‍රි.ව. 614) පාලන කාලයේදීය. ඒ රජුට විරුද්ධව කැරලි ගසා බලය ලබාගන්නා රුහුණේ විසූ මොග්ගල්ලාන ඉන්පසුව සංඝතිස්ස රජු, ඔහුගේ පුතණුවන් සහ ඇමතිවරයෙකු සීගිරියට (සීහගිරිං) ගෙන ගොස් හිස් ගසා දැමූ සිදුවීම විස්තර කිරීමේදීය. (මෙම සිදුවීම මෙයට පෙර මලය රට සම්බන්ධයෙන් වූ ලිපියක විස්තරාත්මකව ඉදිරිපත් කලෙමි >> Link) දෛවයේ සරදමක් මෙන් තුන්වන මොග්ගල්ලාන රජුද (ක්‍රි.ව. 614 - 619) මලය රජුගේ පුත් අසිග්ගාහක සමග යුධ වැද රජුගේ සේනාව අතිශයින් දුබලව බිඳී පලාගිය කල්හි පැරදී හුදකලාව සීගිරිය අසලින් යන විටකදී අසිග්ගාහක සහ සේනාව පැමිණ මරා දමයි. 
කැටපත් පවුර සහ ගැලරිය ලෙසින් ෆොර්බ්ස් හඳුන්වන කොටස
සීගිරියට සැතපුම් 6 පමණ වයඹ දෙසින් වියඋල්පත ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයකින් සොයාගත් අත්තාණි පිරිනැමීමක් සම්බන්ධ වූ දෙවන සේන රජුගේ (ක්‍රි.ව. 853 - 887) සමයට අයත් ලෙස හඳුනාගෙන ඇති ටැම් ලියයක එහි සිරිසංබොය් මපුර්මකා ලෙසින් හැඳින්වෙන දෙවන සේන රජු සහ මහපා විසින් සිහිගිරි බිමැ පිහිටි සාගුණා පන්හලැ (මෙය වර්තමානයේ විහාරස්ථාන හැඳින්වීම යොදාගන්නා පන්සල යන වචනයේ මුල් ස්වරූපයයි ) ට මුක්තීන් පිදීමක් පිළිබඳව සඳහන් වේ. (මුක්තීන් පිදීම පිළිබඳව කියවීමට >>Linkසීගිරිය පර්වතය පිහිටි මෙම ප්‍රදේශය සිහිගිරි බිම් ලෙසින් එවකට හැඳින්වුන බව ඒ අනුව පැහැදිලි වේ. 
සිහිගිරි බිම්
තම්මැන්න'නුරපුර සීගිරි විජිත පුර
කපුගල් පොළොන්නරු බද පිහිටි පුර වර
පසනූදහස් සිවුලක්සය ගම් පවර
සෑදුණි නොයෙක් කෙත් වත් උයනින් සාර

16 වන ශතවර්ෂයේ රචිත ලෙස සැලකෙන මන්දාරම් පුර පුවත නම් වූ කාව්‍යයයේ පැදි තුනකම එලෙසින් සීගිරි, සීගිරිය  යන ලෙසින් ග්‍රාම නාමයක් ලෙසින් සීගිරිය යන වදන හමුවේ. 

මූලාශ්‍ර
  • Sigiriya, R.H. de Silva, 1976
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මන්දාරම් පුර පුවත, ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේගේ සංස්කරණය, 1996
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Archaeological Survey of Ceylon North-Central, Central Provinces And Western Provinces Annual Report 1909, H.C.P. Bell
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume V, Part I Sirimal. Ranawella, 2001
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941