සාමාන්‍ය මිනිසෙකුගේ උස මෙන් දෙගුණයක් පමණ උස ගල් කණු වලින් සමන්විත ගොඩනැගිලි දෙකක නටබුන් මෙම ස්ථානයේ ඇත. ඒ අසලම පිහිටි විනාශ වූ ස්ථූප ගොඩැල්ලක ගඩොලු මගින් පැහැදිලිවම මෙම ස්ථානය අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් වූ බෞද්ධ ආරාමයක නටබුන් බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි. (පැරණි ගඩොල් වල ප්‍රමාණ අනුව අනුමාණ වශයෙන් එම ගඩොල් යොදවා තැනූ ගොඩනැගිලි වල කාල නිර්ණය සිදු කල හැක. එසේම මෙම ස්ථානයේ දක්නට ඇති නිදන් හොරුන් විසින් හාරා විනාශ කල තරමක් විශාල ස්ථූපය බෞද්ධ විහාරයකට අයිති ස්ථූපයක් බව සහ ඒ අනුව ඒ අසලම ඇති අනෙකුත් ගොඩනැගිලිද එම විහාරයේම අවශේෂ ගොඩනැගිලි බව පැවසිය හැක.)
කෙසේ නමුත් මේ වන තුරුත් මෙම ස්ථානයේ විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් හෝ කැනීමක් සිදු කර නොමැති බැවින් තවත් චිරාත් කාලයක් මෙය 'කුවේනියගේ මාළිගාවම' වනු ඇත. වර්තමානයේ වෙස්සගිරිය යනුවෙන් හදුන්වන්නේ එම නමින් වංශ කතා වල හැඳින්වෙන ස්ථානය නොව පැරණි ඉසුරුමුණිය බව විද්වතුන් එම ස්ථානයේ ඇති සෙල්ලිපි ආශ්‍රයෙන් නොයෙක් වර පෙන්වා දී ඇති මුත් තවමත් සඥා පුවරු වල, ඇතැම් ග්‍රන්ථ වල, සිතියම් වල සහ මාර්ගෝපදේශක පත්‍රිකා වල එය වෙස්සගිරියම වන්නා සේය (මෙවැනි උදාහරණ මෙරට පුරාවිද්‍යා සහ ඉතිහාස ක්ෂේත්‍රයේ නොඅඩුව ඇත ).
මූලාශ්‍ර
- ගවේෂණ තුළ ගවේෂණ, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2016
- Handbook for the Ceylon Traveller, Studio Times Publication, 1983.
- Wilpattu, Villus And Beyond, Compiled by Vimukthi Weeratunga, 2009