Sunday, December 2, 2018

පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද?

දේවානම්පියතිස්ස රජුගේ දෙවන සහෝදරයා උපරජු මහානාග නම් විය. හේ දිනක් වැවක් කරමින් උන් තැනක සිටින විට දේවානම්පියතිස්ස රජුගේ දේවිය උපරජු වෙත අඹ යැව්වේ ඉන් උඩින්ම වූ අඹ ගෙඩියට විෂ යොදා උපරජු මරණ අටියෙනි. මහානාග රජු මැරීමට ඇයට උවමනා වූවේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව සිය එකම පුත් කුමරාට බලය ලබාගැනීමේ පරමාර්ථයෙන් බව වංශ කතාව අපට පවසයි. මෙකල සම්ප්‍රදාය වූවේ රජුගෙන් පසු ඉන්පසුව සිටින රජුගේ වැඩිමහල් සොහොයුරාට බලය හුවමාරු වන "සහෝදර සමාගමේම" බලය රදවාගැනීමේ සම්ප්‍රදායකි ("සහෝදර සමාගම" වෙනුවට "සමනල් සමාගම" තෝරාගත් වර්තමාන සිංහලයන් වසර තුනකුත් මාස ගණනක්ම මදි නොකියන්න ඉල්ලාගෙන කෑම අතීතය නොදැනීමේ වරදක් විය නොහැකිද?) රජුගේ වැඩිමහල් පුතුට බලය හිමිවන්නේ සියළුම සහෝදරයන් ජීවතුන් අතර නැති විටකදී පමණි. දේවානම්පියතිස්ස රජුට තවත් සහෝදරවරු සිටි බැවින් මහාවංශය පවසන පරිදි උපරජුව මරා දැමීමට රජුගේ දේවියට හේතුවූ කරුණ එලෙසින්ම පිළිගැනීමට මදක් අපහසුය. කෙසේ නමුත් මහානාග උපරජු සමග එම දේවියගේ පුතුද වැව සාදන ස්ථානයට ගොස් සිටි බැවින්  සැබවින්ම සිදුවූවේ එම කුමරු විෂ යෙදු අඹ ගෙඩිය අනුභව කර මරණයට පත්වීමය. මින් බියපත්වූ මහානාග යුවරජු සිය දේවිය, ධනය සහ බල සෙනග ගෙන රුහුණ බලාගොස් එහි අධිපතිව මාගම (මහාගාම) සිට රාජ්‍යය කල බව පැවසේ.
ඇලහැර අමුණේ සිට අඹන් ගගේ ජලය ගිරිතලා, මින්නේරි සහ ගඟතලා (කන්තලේ) වැව් කරා ගෙනයන ඇලහැර යෝධ ඇල. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා Link>>
ඉන්පසුවත් වංශ කතාවේ බොහෝවර සඳහන් වන, පැරණි රුහුණු රටේ පිහිටි මාගම හෙවත් පාළියෙන් මහාගාම ලෙසින් හැඳින්වුන "මහ ගම", අද තිස්සමහාරාමය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය කෙන්ද්‍රකරගනිමින් පැවත තිබූ බව පොදු පිළිගැනීමයි. පසුකාලීනව මාගම රාජධානිය පිහිටියේ තිස්සමහාරාමයේ බව අවිවාදිතව සියළුම ඉතිහාසාඥයන් සහ පුරාවිද්‍යාඥයන් පාහේ පිළිගන්නා මුත් මුල් යුගයේ මහානාග රජු සිය රාජධානිය පිහිටවූ, ඉන්පසු දුටුගැමුණු රජු සිරිලක එක්සේසත් කරන තෙක් පැවති "මහා ගම" නොහොත් මාගම වූ රුහුණේ අගනුවර පිහිටියේ තිස්සමහාරාමයේ නොවන බවට අවම වශයෙන් විද්වතුන් දෙපලක් සාධක සහිතව කරුණු දක්වයි. ඒ අතරින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රුහුණේ නැගෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔයට උතුරෙන් වූ ප්‍රදේශයේ දැනටද මාගම ලෙසින් නාම ශේෂ වූ ගම්මානයක් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව මුල් මහාගාමය පිහිටි බවට කරුණු ඉදිරිපත්කරන අතර, මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා වර්තමාන ඇලහැර ප්‍රදේශය ආශ්‍රිතව එය පිහිටි බවට තර්ක කරයි. මේ ලිපිය සිය මතය තහවුරු කිරිම උදෙසා රණවැල්ල මහතා ඉදිරිපත් කරන කරුණු දැක්වීම් වලින් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම උදෙසා යොමුවන අතර පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද එසේ නොවේනම් තිස්සමහාරාමයේද යන්න පිළිබඳව අවසාන නිගමනයක් සිදු කිරීමට මෙහිදි අදහස් නොකරමි.
යෝධ ඇල අද්දර පිහිටා ඇති කිසියම් පැරණි පූජනිය ස්ථානයක තහවුරු කල නටබුන්

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන එක් සාධකයක් වන්නේ දුටුගැමුණු රජු රජරට බලය අත්පත් කරගැනීම උදෙසා එළාර සමග සටන් වැදීමට, මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට මෙහි (එනම් අනුරාධපුරයට) එන මාර්ගය පිරිසිදු කල බවට මහාවංශයේ එන සඳහනයි. ඒ අනුව ඒ මහතා තර්ක කරන්නේ මාගම පිහිටියේ මලය දේශයේ බවය. මුල් කාලයේදී මලය දේශයද රෝහණ රටට අයත්ව තිබෙන්නට ඇති බවය එතුමාගේ අදහස වනුයේ (මලය දේශයේ සීමා මායිම් පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >.Link). මේ අදහසම පාළි මහාබෝධි වංශයේද සඳහන් වේ. පසු කාලීනව කුරුණෑගල යුගයේදී ලියැවුණු සිංහල මහාබෝධිවංශයේ මිහිඳු මා හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පවසන අනාවැකියක් ලෙසින් එය සඳහන් වන්නේ මෙලෙසිනි. " .....ඒ රජ තෙමේ [දුට්ඨගාමිණී අභය හෙවත් දුටුගැමුණු]......මහා යෝධ වූ කඬොලැතා පිටට නැගී , මලය දේශයෙන් අවුත් එළාර නම් දෙමළ රජ්ජුරුවන් හා යුද්ධ කොට..."  

කෙසේ නමුත් පැරණි රෝහණයේ මලය ග්‍රාමය නමින් ග්‍රාමයක් වූ බවත් ඉහත මහාවංශ පාඨය එම මලය ග්‍රාමය පිළිබඳව විය හැකි බවත් මා මෙයට පෙර අවස්ථාවකදී කරුණු දැක්වූවෙමි (මෙම ලිපීයේ මලය රට සහ මලය ග්‍රාමය කොටස බලන්න >> Link ). ඒ අනුව සිරිමල් රණවැල්ල මහතාගේ අදහස පිළිබඳව යම් සැකයක් මතු වන බව අප සඳහන් කලමුත් පාළි මහාබෝධිවංශය සහ එය අනුසාරයෙන් ලියැවුණු සිංහල බෝධිවංශය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට රුකුලක් ලබා දේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි ජන්තාඝරයක්
පාළි රසවාහිනියේ එන දුටුගැමුණු රජුගේ මහානේල නම් යෝධයාගේ කතාවේ පැවසෙන්නේ ඔහු මහගමින් නික්ම උදෑසන දීඝවාපී (දිගාමඩුල්ල ලෙසින් පාළි රසවාහිනියේ සිංහල අනුවාදය වූ සද්ධර්මාලංකාරයේ එයි.) හරහා ගොස් ගංගා නම් නදිය අසල වඩමන්තොට (වඩ්ඪමානක තීර්ථය) නම් ස්ථානයකදී (සද්ධර්මාලංකාරයට අනුව මහවැලි ගඟ වඩමන් නම් තොට) දැහැටි කා මුව සුද්ධ කොටගෙන, ගෙනගිය බත් අනුභව කර, මහාපාලී නම් දන්හල සංඝයාවහන්සේ දහවල් දන් වලදන්නට පෙර අනුරාධපුරයට ගිය බවයි.  

සහස්සවත්ථුප්කරණයේ එන වේළුසුමන කතාවට අනුව විහාරමහා දේවියගේ කුසේ ගැමුණු කුමරු පිළිසිඳගත් විට ඇයට ඇති වූ දොළ සන්සිඳුවීම උදෙසා උදෑසන ආහාර ගන්නා වෙලාවේ මාගමින් පිටත් වූ වේළුසුමන යෝධයා පා ගමනින් ගොස් දීඝවාපියේදී උදේ ආහාරය ගෙන, හිරු අවරට යත්ම වඩමන්තොටට (වඩ්ඪමානක තීර්ථය) ලඟා වී, පසුව හවස් වරුවේම අනුරාධපුරයට පැමිණි බව පැවසේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි බෝධිඝරයක්
මේ කරුණු අනුව මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවත් එය කිසිසේත්ම එක් දිනකින් හෝ වරුවකින් පා ගමනින් යා නොහැකි තිස්සමහාරාමය නොවන බවටත් තර්ක කල හැකි බව සිරිමල් රණවැල්ල මහතා පවසයි. කෙසේ වුවත් යෝධයන්ගේ වීර ක්‍රියා අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම උදෙසා රචිත කතා ලෙස ඉහත සිදුවීම් දෙකම එකවර බැහැර කල නොහැක්කේ පපංචසූදනී නම් අටුවා ග්‍රන්ථයේ එන පහත කතාවෙන්ද මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවට තහවුරු වන බැවිනි. 

දීඝභාණක අභය නම් වූ තෙර නමක් අරියවංස ප්‍රතිපදාව වදාළ අවස්ථාවේ මාගම සියළු ජනතෙම එය ඇසීමට පැමිණි බවත්, එහෙයින් තෙරුන් වහන්සේට මහත් සත්කාර උපන් බවත් මෙය ඉවසිය නොහුණු එක්තරා මහතෙර කෙනෙක් දේශනාව අවසානයේ දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාර වලට යාමේදී,  දීඝභානක අභය තෙර සමග ගව්වක් පමණ දුර යනතුරා, එම දීඝභාණක අභයතෙරුන්ට ආක්‍රෝෂ  කළ බවත් පැවසේ. මාගම සිට එම තෙරුන් වහන්සේලා පා ගමනින්ම ගව්වක් දුර වැඩ, එතැන් සිට ඔවුනොවුන්ගේ විහාර වලට වෙනම මගකින් ගිය බැව් එම කතාවෙන් පැහැදිලි වේ. සිරිමල් රණවැල්ල මහතා පවසන්නේ දීඝභාණක අභය තෙරුන් වැඩ සිටියේ චේතියපබ්බත විහාරයේ බවත් (එනම් වර්තමාන මිහින්තලයේ) එබැවින් මාගම සිට එක රැයින්ම ඒ හිමියන් සිය විහාරයට වැඩම කල බව පෙනෙන හෙයින් මාගම මිහින්තලයට එතරම් දුර නොවූ ස්ථානයක තිබිය යුතු බවත්ය. කෙසේ නමුත් පපංචසූදනියේ සිංහල පරිවර්තනයේ  ඉහත කතාව ඇතුලත් කොටසේ දීඝභාණක අභය හිමියන් ඒ තෙරණුවන්ගේ විහාරයට වැඩි බව විනා විශේෂයෙන් චෙතියපබ්බතයට වැඩම කල බව සඳහන් නොවේ. ඒ හිමියන් චෙතියපබ්බතයේ වැඩ සිටි බවට සඳහන් වන්නේ අත්ථසාලිනී නම් වූ වෙනත් අටුවා ග්‍රන්ථයක එන වෙනත් කතාවක් ඉදිරිපත් කිරීමේදීය. එසේම අරියවංශ දේශනාවට මාගම ජනයා පැමිණි බව විනා එය මාගමදී දේශනා කල බව පපංචසූදනී සිංහල පරිවර්තනයේ පැහැදිලිව සඳහන් නොවේ.
ටොලමිගේ ලංකා සිතියම
ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයට අයත් ටොලමිගේ (Ptolemy) තැප්‍රොබේන් (Taprobane) ලෙසින් හැඳින්වෙන  ලංකා සිතියමේ Maagrammon ලෙසින් අනුරාධපුරයට (Anourogrammon) ගිණිකොන දෙසින් සැතපුම් 35-40 පමණ දුරකින් මාගම සලකුණු කර තිබීමද මාගම අනුරාධපුරයට එතරම් දුර නොවන ස්ථානයක තිබූ බවට තවත් එක් සාධකයක් ලෙස සිරිමල් රණවැල්ල මහතා දක්වයි.

වජ්‍රබෝධී නම් භාරත භික්ෂූන්වහන්සේ නමකගේ මෙරට සිදු කල චාරිකාවක චීන බසින් ඇති වාර්තාවකට අනුව ක්‍රි.ව. 718 දී කාංචිපුර (Kien-tchi) සිට මෙරටට පැමිණි ඒ හිමියන් අනුරාධපුර අභයගිරි විහාරයේ (Abhaya-raja-vihara) සිට ගිණිකොන දෙසින් ලංකා පර්වතයේ (Lanka-Parvata) පිහිටි සිරිපා සටහනක් වන්දනා කිරීමට යාමේදී රෝහණයේ (Lou-ho-no) පාලකයා හමු වූ බවත්, ඔහුට මහායානය දේශනා කල බවත් සඳහන් වේ. ලංකා පර්වතය අනුරාධපුරයට ගිණිකොන දෙසින් ඇලහැරට දකුණින් පිහිටි ලකේගල ලෙස හඳුනාගතහොත් වර්තමාන ඇලහැර ප්‍රදේශය පැරණි රෝහණයේ පාලකයා විසූ අගනුවර වන මාගම ලෙස පහසුවෙන් හඳුනාගත හැකි බව පෙනේ. එහෙත් ලකේගල මුදුනේ සිරිපතුලක් මේ වන විට දැකිය නොහැක. 
ලකේගල
තවද මාගම රාජධානිය ආරම්භ කල මහානාග යුවරජු පිළිබඳව ලලාට ධාතුවංශයේ එන සඳහනකට අනුව එකල මහාදේව තෙරුන් දඹදිව කොසඹෑ නුවර ඝෝසිතාරමයේ ගන්ධකුටියේ තැන්පත් කොට තිබූ බුදුන්ගේ ලලාට ධාතුව ලක්දිවට ගෙනවිත් ලක්දිව හත්ථොට්ඨ නම් ජනපදයට රැගෙන විත් ඇත. මහාකාල නම් කෙළඹි පුත්‍රයාගේ මග පෙන්වීම මත මහානාග යුවරජ හත්ථොට්ඨ ජනපදයට ගොස් එම ලලාට ධාතුන්වහන්සේ මාගමට රැගෙන විත් ඇත. මහානාග යුවරජු හත්තොට්ඨ ජනපදයේ ලලාටධාතුව ඇති බව දැනගන්නේ 'අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ ගෙන ආ කෙනෙකුන්ට බොහෝ සැපත් දෙමි' යැයි නුවර [එනම් මහාගාමය තුල] බෙර ලැවූ කල්හි, හත්තොට්ඨ ජනපදයේ විසූ මහාකාල කෙළඹි පුත්‍රයාට එය දැන ගැනීමට හැකිවීමෙනි. මේ අනුව හත්තොට්ඨ ජනපදය මාගමට ආසන්නව තිබිය යුතු බවට උපකල්පනය කල හැක. ලග්ගල සහ ඇලහැර අතර දැනටද හත්තොට ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පුරාණ හත්තොට්ඨ ජනපදය ලෙස හඳුනාගන්නා බැවින් මාගම ඇලහැරට ආසන්නව වූ බවට වන ඉහත මතයට එයද තවත් එක් සාධකයක් ලෙස ගත හැකිවේ.
ටොලමිගේ සිතියමේ මාගම ලකුණු කර ඇත්තේ Ganges ලෙසින් හැඳින්වෙන ගඟක වම් ඉවුරේය. 10 වන ශතවර්ෂයට අයත් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසලින් සොයාගත් ටැම් ලිපියක අඹන් ගඟ හඳුන්වා ඇත්තේ මහා ගංගා ලෙසිනි. ඒ අනුව අනුරාධපුර යුගයේ මහා ගංගා ලෙසින් හඳුන්වා ඇත්තේ අඹන් ගඟ ලෙස පවසන සිරිමල් රණවැල්ල මහතා අඹන් ගඟේ වම් ඉවුරේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ පැරණි මාගම තිබිය යුතු බවට නිගමනය කරයි. අනුරාධපුර අවසාන භාගයට හෝ පොළොන්නරු යුගයට අයත් විය හැකි  අත්තරගල්ලෑව, ඔරුබැඳි සියඹලාව, මළුවේ යාය යන ස්ථාන වල ඇති නටබුන්ද, තවමත් මතු කර නොගත් ඇලහැර අසල වනාන්තරයේ ඇති පැරණි නගරයක නශ්ඨාවශේෂද එම පැරණි මාගම නගරයේ පසුකාලීන නටබුන් විය හැකි බවය ඒ මහතාගේ අදහස.
ඇලහැර අවට අඹන් ගඟ දෑලේ නටබුන් ස්ථාන කිහිපයක්
මූලාශ්‍ර
  • රෝහණ රාජ්‍යයේ ඉතිහාසය, මහාචාර්ය සිරිමල් රණවැල්ල, 2003
  • Memoirs of the Archaeological Survey of Ceylon, Vlume XI, History of the Kindom of Rohana (From the Earliest times to 1500 A.C. )
  • Chino-Sinhalese relations in the early and middle ages (Translated from M. Sylvain Levi's Article in the Journal Asiatique) Journal of Ceylon Branch of Royal Asiatic Society. Vol XXIV No 68, 1915-16
  • පපඤච සූදනී නම් වූ මජ්ජිමනිකායට්ඨකථා 1 (සිංහල පරිවර්තනය) රාජකීය පණ්ඩිත ආඳාවල දේවසිරි මහා ස්ථවිරර 2008
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Early History of the Buddhism in Ceylon, E.W. Adikaram, 2009
  • සහස්සවත්ථුප්පකරණය,  සංස්කාරක වෑගම පියරතන හිමි, 1999
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • මාගම රාජධානිය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 
  • සද්ධර්මාලංකාරය
  • අත්ථසාලිනී නම් වූ ධම්මසංගණිප්පකරණට්ඨ කථා (සිංහල පරිවර්තනය ) සෝමරත්න ගම්ලත් වෙලගෙදර, 2008

17 comments:

  1. එල්ලාවල හිමියන්ගේ මාගම රාජධානිය පොතේ එන කරුණු මීට වඩා තර්කානුකූල බව සිතේ.

    ReplyDelete
    Replies
    1. එල්ලාවල හිමියන්ගේ මතය බොහෝ දුරට සෙල් ලිපි සධක මත තමා ඉදිරිපත් කරන්නේ. රනවැල්ල මහතාත් මහාගාම ලෙසින් නම සඳහන් සෙල් ලිපි කලාවැවෙන් නැගෙනහිරට වන කොටසේ හමුවන බව පවසනවා. (මේ ලිපියේ ඒ සියළු තොරතුරු ඇතුලත් කර නැහැ ) කෙසේ වුවත් මහා ගාම යන නම සලකා බලන විට ඉතිහාසයේ ඕනෑම යුගයක මහා ගාම ලෙසින් සඳහන් ස්ථාන එකකට වඩා තිබිය හැකි බව අවධානයට ලක් කල යුතු බව පවසන්න ඕනේ. මහා ගාම යන නම ඇති ස්ථානයක් වැල්ලවාය අවටත් තිබූ බවට සෙල්ලිපි සාධක තියෙනවා. ඒ හැම එකක්ම රුහුණේ අගනුවර විය නොහැකියි. සමහරවිට ඉතිහාසයේ කිසියම් යුගයකදි අගනුවර ලෙස තිබී පසුව වෙනස් වූවා වුවද විය හැකියි.

      Delete
  2. ලංකා යන නමේ ඉතිහාසය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මුල් යුගයේ සිටම භාවිතා වී තිබෙනවා.

      Delete
    2. එතකොට ඒ ලංකාව රාවණාගේ ලංකාවට සමානද?

      Delete
    3. රාමායනයේ තියෙන්නේ ලංකාපුරය ගැන. මේ මම කලින් ලියපු පෝස්ට් එකක් ඒ ගැන https://trisinhala.blogspot.com/2015/10/1.html

      Delete
  3. භූෂණ. මට මේක දැක්කම හිතුනේ නුවරඑළිය, හෝර්ටන් තැන්න ආශ්‍රිතව ඉපැරණි මුලාශ්‍ර සම්බන්ධවත් යම් දැනුවත් කිරීමක් කරා නං හොදයි කියලා. අපේ බොහොමයක් අය හිතන්නේ ඒවා සුද්දා හොයාගත්ත ඒවා කියල විතරයි නේ. හෝර්ටන් තැන්න, නුවරඑළිය ආශ්‍රිත ප්‍රාග් ඓතිහාසික තොරතුරුත් සාකච්චෘ වෙනවා නං කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඉහල කඳුකර ප්‍රදේශ වල අපේ පැරන්නන් මහා පරිමාණ කෘෂිකාර්මික කටයුත් ඓතිහාසික යුගයේදී කල බවට සාධක නැහැ. ප්‍රාහ් ඓතිහාසික මානවයන් විසූ බවට නම් සාධක තිබෙනවා. ඔවුන් කෘෂිකාර්මික කටයුතු කල බවටත් මෑතකදි සිදු කල පර්යේෂණ වලින් හෙලිවී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන්නම්. ස්තූතියි ඒ පිළිබඳව අදහස ඉදිරිපත් කිරීම ගැන. සුද්දා සොයාගන්නට පෙර අපේ පැරන්නන් ඒ ප්‍රදේශ හරහා ගමන් කල බවට සාධක තිබෙනවා. මේජර් ඩේවි ගේ චාරිකා සටහන් වලින්ම ඒ බව හෙළිවෙනවා. මීට පෙර ඒ ගැන මා ලිපියක් ඉදිරිපත් කලා http://trisinhala.blogspot.com/2018/06/blog-post.html

      Delete
    2. ස්තුතියි. ඒ ලිපිය කියෙව්වා.

      Delete
  4. හත්තොට හෝ හත්තොටුව රුහුණේත් තියනව නේද?

    අලුත් තියරීස් එන එක හුඟක් හොඳයි. එතකොට තමයි තියන තියරීස් ගැන හැඹුරින් හැදෑරන්නෙ

    මේ hypothesis එක හොඳට කරල තියනව.

    රාවණා සහ බුදුන් උපන් ලංකාව වගේ දේවල එක වචනයක් හෝ නමක් වැනි දෙයක් ( හුදෙක් coincidence විය හැකි දේ ) මත අති විශාල නිගමනයන් සමූහයක් ගොඩ නගනවා. මේක ඒවගේ නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ සිරිමල් රණවැල්ල මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා ඒ මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයට 1967 දී ඉදිරිපත් කැරුණු A History of Ruhuna නිබන්ධනය ආශ්‍රයෙන් ඒ මහතා පසුව පළකල ග්‍රන්ථ වල එන කරුණු. ඒවා කිසිසේත්ම රාවණ ඔල්මොරොන්දන්කාරයන්ගේ හෝ බුදුන් ලංකාවේ උපද්දවන්න හදන මානසික රෝගීන්ගේ මනොවිකාර මෙන් මෙලෝ පදනමක් නැතිව ගොඩනගපු කතන්දර නොවන්නේ ඒ නිසා. මෙහිදි මෙම කෙටි ලිපිය මගින් ඒ මහතා ඉදිරිපත් කරන සියලු කරුණු මා සාකච්චා කලේ නැහැ. කිසිසේත්ම එය ප්‍රායෝගික නැහැ. එහෙත් ඔබගේ වචන අනුව මා එතුමාට මගේ ලිපිය තුලින් සාධාරණයක් ඉටුකර ඇති බව පැහැදිලියි.

      වෙනත් හත්තොට නම් ප්‍රදේශයක් ගැන මා අසා නැහැ. හත්තොට්ටුව යන ග්‍රාම නාමය ඇති ප්‍රදේශයක් රුහුණේ ඇතිද යන්න සොයා බැලිය යුතුයි. එය වාසගමක් ලෙසට නම් තිබෙනවා

      Delete
  5. තවත් සුවිශිෂ්ඨ ලිපියක්... ඔබ කළින් ලියූ විජිතපුර ගැන ලිපියත් කියෙව්වා. දැනට විජිතපුර කියලා හඳුනාගන්නා ස්ථාන දෙකම ඇලහැරට ආසන්නයි නේද ❤️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!. ඔව් ඒ අතරිනුත් බකමූණ දඹුල්ල හරහා කලාවැව අසල විජිතපුරට ඇති දුරට වඩා පොළොන්නරුවේ විජිතපුරට ඇති දුර අඩුයි. ඒත් අවසාන ගමනාන්තය අනුරාධපුරය නම් මාගම පිහිටියේ ඇලහැර නම් පොළොන්නරුව අසල විජිතපුර හරහා අනුරාධපුරය දෙසට යාමේ අවශ්‍යතාවයක් නැහැ.

      Delete
    2. ඊළඟ ලිපිය කවදා වගේ පළවෙයි ද... 😍😍😍😍😍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

      Delete
    3. :) මේ සතියේ අනිවාර්යෙන්ම!

      Delete
    4. සමහර විට මූලෝපායික අතින් වැදගත් විජිතපු‍රයේ බලය බිදීම අනුරාධපුරය අත්පත් කරගැනීමේ මූලික පියවරක් වෙන්නට ඇති. මාගම ඇලහැර තිබුනා යයි උපකල්පනය ‍කලොත් විජිතපුර‍යේ (කදුරැවෙල) සිට ලේසියෙන් මාගම (ඇලහැර‍ට) පහර දීමේ හැකියාවක් තිබෙනවා.

      Delete