Tuesday, October 9, 2018

ආලකමන්දාවක සැඟවුණු පබ්බත විහාරය

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. ......දර්ශනීය වූ මනරම් වූ, දෙවන ආලකමන්දාවක් වැනි වූ රජගෙයක් කරවා කුවේර මෙන් එහි විසුවේය."

 පළමුවන කාශ්‍යප රජු විසින් සීගිරියේ ආලකමන්දාව වන් වූ රජගෙයක් සහ සිංහයකුගේ ආකාරයෙන් කල ඉණිමං සහිත ගෙවල් පිළිබඳව එලෙස විස්තර කරන මහාවංශය ඉන් අනතුරුව පවසන්නේ කාශ්‍යප රජු සීගිරි පර්වතය අසල උයනෙහි විහාරයක්ද කර වූ බවයි. එම විහාරය ඔහුගේ නමින් හැඳින්වූ බවද, සිව්පසයෙන් යුත් එම විහාරයද , උතුරු දෙසින් වූ උයනද , ඔහු ධම්මරුචි භීක්ෂූන්ට පූජා කල බවද එහි සඳහන් වේ. තවද එම පළමුවන කාශ්‍යප රජුට පසුව රාජ්‍යත්වයට පත්වන ඔහුගේ සොයුරු මොග්ගල්ලාන සීගිරියේ දළ්හ නම් විහාරය හා දාඨා කොණ්ඩඤ්ඤ විහාරය ධම්මරුචි හා සාගලිය නිකායවල භික්ෂූන්ට පූජා කල බව මහාවංශයේ පසුව එන ගාථා වලින් පැවසේ. එපමනකින් නොනැවතුන මොග්ගල්ලාන රජු සීගිරි පර්වතය විහාරයක් කොට, දීඝසන්ද විහාරයෙහි මහානාම තෙරුන්ට පිදු බවද මහාවංශයේ වැඩිදුරටත් සඳහන් වේ.
පිළිමගෙය
මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කල පබ්බත විහාර ලෙස වර්තමානයේ පුරාවිද්‍යාඥයන් හඳුන්වන පැරණි බෞද්ධ විහාර වර්ගයේ විහාරයක නටබුන් සීගිරියේ ජල උද්‍යානය (Water garden) පසු කර පර්වත උද්‍යානය (Boulder Garden) දෙසට යන විට දකුණු පසින් හමුවේ. ස්තූපයක, බෝධිඝරයක, පිළිමගෙයක සහ පොහොය ගෙයක නටබුන් මෙම පරිශ්‍රයේ හඳුනාගත හැක. 

මෙම නටබුන් අතර ඇති ගඩොලින් නිර්මිත මැද සතරැස් කොටුවකින් (එම සතරැස් කොටුව තුල බෝධි වෘක්ෂය රෝපණය කර තිබෙන්නට ඇත.) සහ උතුරු සහ නැගෙනහිර දිශාවෙන් දොරටු සහිත වෘත්තාකාර ශෛලමය බැම්මකින් වටවුණු නටබුන් ගොඩනැගිල්ල බෝධිඝරයක් ලෙස හඳුනාගෙන ඇත. මෑත කාලයේදී නැවතත් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැනීම් කොට සංරක්ෂණය කිරීමට පෙර H.C.P. බෙල් මහතා  මෙම ස්ථානයේ කැනීමක් කර එම නටබුන් වටදාගෙයක බව පවසමින් 1899 පුරාවිද්‍යා පාලන වාර්තාවට විස්තර ඉදිරිපත් කර ඇත.
 බෝධිඝරය
ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවස් වල අක්ෂර වලින් ලියූ සෙල්ලිපියක් මගින් භික්ෂූන් උදෙසා පිරිනැමූ කටාරම් කොටන ලද මේ අසලම ඇති ලෙනක් පසු කාලීනව පිළිම ගෙයක් ලෙසට පරිවර්තනය කර ඇති බව එහි තිබී හමුවූ දෙඅත් රහිත කවන්ධ හුණු ගල් බුදු පිළිමයෙන් තහවුරු වේ (දැනට එම පිළිමය සීගිරිය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.) එම ලෙනෙහි ඉදිරිපස ගඩොලින් කල බිත්තියක නටබුන් ඉතිරි වී ඇති අතර, ගුහාවේ ඇතුලත කුටීර තුනකට වෙන්කර, ඒවාට පිවිසීමට වෙන වෙනම දොරවල් තුනක්ද තිබී ඇත. බුදු පිළිමය හමු වී ඇත්තේ විශාල මැද කුටීරය තුලිනි. ලෙනෙහි වියන හුණු පිරියම් කර සිතුවම් ඇඳ තිබූ බවට තැනින් තැන ඉතිරි වී ඇති සිතුවම් වල ශේෂ වලින් හඳුනාගත හැක. 

ඉහත විස්තර කල පිළිම ගෙයට ඉදිරි පසින් ගල් පර්වතයක් මත ඉදි කල නටබුන් වූ ස්තූපයක අවශේෂ දැක ගත හැක. උපෝසථඝරයේ නටබුන් පිළිම ගෙය අසල ගල් පර්වතය මුදුනේ පිහිටා ඇත.
ස්තූපය
මෑත කාලීන කැනීම් මගින් තහවුරු වී ඇති ආකාරයට මෙම පබ්බත විහාරයේ නටබුන් ක්‍රි.ව. 5-6 සියවස් වල සිට ක්‍රි.ව. 12-13 සියවස් දක්වාම ඉදි කල ඉදිකිරීම් වලින් සමන්විත වේ. එසේම මෙය පබ්බත විහාර වර්ගයේ සංඝාරාම අතරින් මුල් අවධියේම ඉදි වූවක් බවටද හඳුනාගෙන ඇත. ඉහත විස්තර වූ මහාවංශ උපුටාගැනීම් අනුව ඇතැම් වියතුන් මෙම පබ්බත විහාරය මොග්ගල්ලාන රජු විසින් ඉදි කර මහානාම හිමියන්ට පිරිණැමූ දික්සඳ (දීඝසන්ද) පිරිවෙන විය හැකි බව පවසති. කෙසේ නමුත් කාශ්‍යප රාජ්‍ය සමයේම එම රජතුමන් විසින් සීගිරිය පර්වතය අසල උයනෙහි විහාරයක් කරවා එම විහාරයද, එයට උතුරින් වූ උයනද ධම්මරුචි නිකායේ භික්ෂූන්ට පූජා කල බව පවසන බැවින් මෙම ස්ථානයේ පිහිටීම අනුව මෙම පබ්බත විහාරය කාශ්‍යප රජු ඉදි කල එම විහාරය වීමට බෙහෙවින්ම ඉඩ ඇති බව පෙනේ. දැනට සීගිරිය පර්වතය පාමුලට වන්නට පිහිටි පර්වත උද්‍යානය ලෙස හැඳින්වෙන මෙම උයනේ පබ්බත විහාරයේ නටබුන් වලට ඉහලින් මෙන්ම උතුරු දෙසින්ද බෞද්ධ විහාරයකට අයත් බවට හඳුනාගත හැකි තවත් නටබුන් හමුවන බැවින් එම හඳුනාගැනීම වඩාත් නිවැරදි බව හැඟේ. කෙසේ නමුත් මහාවංශයේ ගෛගර් සංස්කරණයේ එම අදහස හැඟෙවෙන ගාථා වල පරිවර්තනය පසුකාලීන පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි/බටුවන්තුඩාවේ පඬිතුමන් සහ අරුණ තලගල පරිවර්තනයන්ට වඩා වෙනස් හෙයින් මේ පිළිබඳව විමසා බැලූ වියතුන්ට කාශ්‍යප ඉදි කල එම විහාරය පිළිබඳව වූ මහාවංශ සඳහන මගහැරෙන්නට ඇත. විල්හෙල්ම් ගෛගර් මහතා  එය සඳහන් කරන්නේ මේ ආකාරයෙනි.

In the same way he built a vihara in the Niyyanti-garden near the mountain, which then bore their name. He granted this vihara equipped with the four necessaries to the Dhammaruci's and in addition a garden lying to the north of it. 

අදාල පාළි ගාථා මේ ආකාරයෙනි. 

තථා නිය්‍යන්තිඋය්‍යානෙ සමීපෙ පබ්බතස්ස සො
කාරාපෙසි විහාරං, සො තෙසං නාමො තතො අහු.

අදා ධම්මරුචීනං තං සම්පන්නචතුපච්චයං
විහාරඤ්චෙ'ච උය්‍යානං දිසාභාගම්හි උත්තරෙ
ස්තූපය
සීගිරියේ පබ්බත විහාරය පිළිබඳව වූ කෙටි වීඩියෝව නැරඹීමට Link>>
මූලාශ්‍ර
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • Sigiriya, City palace gardens monastries paintings, Senaka Bandaranayake, 2013
  • Sigiriya Project, 3rd Progress Report Excavation at Sigiriya (January - June 1983), Senaka bandaranayake, 1989
  • සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරාවිද්‍යාත්මක කැණීම් (1983 ජූලි-දෙසැම්බර්) සේනක බණ්ඩාරනායක, 1993
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016

12 comments:

  1. නිශ්චිත සාක්ශි නැතිවිට ආසන්න යුග දෙකක සිදුවූ බවට සැක කෙරෙන ගොඩනැගීම් වල කාළ නිර්ණය සිදුකරන ක්‍රමයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. භාවිතා කර ඇති ගඩොල් වල ප්‍රමාණයන්ගෙන්, හමුවන ප්‍රතිමා ආදියේ ශෛලිය, ලක්ෂණ ආදිය මගින්, සෙල්ලිපි ඇත්නම් ඒවාගේ අක්ෂර වල යුගය අනුව කාල නිර්ණය කරන්න පුළුවන්. කාබන් කාල නිර්ණය වැනි ක්‍රමත් යොදාගන්නවා

      Delete
  2. සීගිරියට උතුරේ උන උදයානය දැනට හදුනාගෙන තිබේද?

    ReplyDelete
    Replies
    1. දැනට පර්වත උද්‍යානය (Boulder garden) ලෙසින් සේනක බණ්ඩාරනායක මහතා හඳුන්වන උද්‍යානය හෝ එහි කොටසක් විය යුතුයි. එය සීගිරි ගල පාමුල ජල උද්‍යානයේ සිට මාලක කිහිපයක් ඔස්සේ කැටපත් පවුර අසලට යනතෙක් සීගිරි ගල පාමුල බටහිර කොටසේ ඉහලට විහිදෙනවා. මා දන්නා තරමින් මහාවංශ පාඨයෙන් දැක්වෙන කාශ්‍යප රජු විසින් කල විහාරය ගැන සඳහන සහ මෙම පබ්බත විහාරය අතර සම්බන්ධය ගැන මෙයට පෙර කිසියම් හෝ පුරාවිද්‍යාඥයෙක්/ඉතිහාසඥයෙක් අවධානය යොමු කර නැහැ. එහි සඳහන් වන්නේ "සීගිරියට උතුරින් වූ උද්‍යානයක්" ගැන නොවේ කාශ්‍යප රජු "සීගිරි පර්වතය අසල උයනේ" විහාරයක් කරවා "එයට උතුරින් වූ උයනද" භික්ෂූන්ට පූජා කල බවයි (ඉහත මා දැක්වූ පාලි ගාථාවේ මා මූලාශ්‍ර කරගත් සිංහල පරිවර්තන වලට අනුව. ගෛගර්ගේ ඉංග්‍රිසි පරිවර්තනය එයට වෙනස් ආකාරයට තමා එය පරිවර්තනය කරන්නේ.) මට හැඟෙන ආකරයට නම් මෙම ස්ථානයේ පිහිටීම එම මහාවංශ සඳහන සමග මැනවින් ගැලපෙනවා.

      Delete
    2. සීගිරියේ දැනට තියෙන පර්වත උදයාන කොටස විතරයි නේ තහවුරැ කරලා තියෙන්නෙ? ගලින් පසු පස තොටස තවම තහවුරැ කරලා නෑ නේ?

      Delete
    3. ඔව් එම කොටස එනම් සීගිරි පර්වතයෙන් නැගෙනහිර දෙසට පිහිටි කොටස තවම තහවුරු කර නැහැ. බටහිර දෙස කොටසේ උනත් සියළුම ස්ථාන තහවුරු කර නැහැ. උදාහරනයක් වශයෙන් බටහිර දොරටුවෙන් ඇතුළු වූ පසු වම් පසින් දිස්වන ජල උද්‍යානයේ ඇතැම් කොටස්.

      Delete
  3. ෆෝබ්ස් ගේ සීගිරිය ගැන විස්තරයත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රා එම විස්තරයේ පරිවර්තනයක් ඉදිරිපත් කිරීම වැදගත් තමා. ස්තූතියි අදහසට

      Delete
  4. දිනේවා! දිගු කල් දිනේවා, ඔබත් ත්‍රිසිංහලයත්!

    ReplyDelete
  5. වටිනා ලිපියක්... තවත් ලියන්න්

    ReplyDelete