Thursday, October 15, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා

6 වැනි පැරකුම්බා යනු අවසාන වරට සිංහලේ එක්සේසත් කල රජු ලෙස සැලකේ. කෝට්ටේ හෙවත් ශ්‍රි ජයවර්ධනපුර රාජධානිය කරගනිමින් රාජ්‍යය විචාල එතුමන් ද්‍රවිඩයකු වන සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල් යවා ආර්ය චක්‍රවර්තිගෙන් යාපාපටුන මුදාගත් බව කෝකිල, සැළලිහිනි සංදේශ වැනි සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකින් මෙන්ම රාජාවලිය වැනි ඉතිහාස ග්‍රන්ථ වලින්ද හෙලිවේ.

කිනම් කලක ආරම්භ වී දැයි නිශ්චිතවම කීමට පිලිගත හැකි සාධක නොමැති මුත් කෝට්ටේ යුගය වන විට මුන්නේස්වරම  දේවාලය තිබූ බවට ක්‍රි.ව. 1441 - 1446 කාලයේ ලියවුන කෝකිල සංදේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.

පැල දිඟු වෙනුර සරහන කොතබු මිණ ලෙසින්
දළ රිවි බිඹු බබළත වෙසෙස සහ රසින්
දළ සඳ පිහිටි මුන්නේ සරම දැක තොසින්
ලෙළ තුඟු තුරෙක වැද සැතපෙන්න සිතුලෙසින්

මෙහි 'දළ සඳ' ලෙසින් හැදින්වෙන්නේ මෙහෙසුරු හෙවත් ඊස්වර දෙවියන් බැවින්, මුන්නේස්වරම යනු ඊස්වර දෙවියන් වෙනුවෙන් වූ දෙවොලක් බව පෙනේ. එසේම 'මුනි' සහ 'ඊස්වරම්' යන වචන එකතු වීමෙන් මුන්නේස්වරම යන්න සෑදී ඇති බවද සැලකිය හැක. මේ කාලය වන විට සලාවත් තොට (හලාවත) ජනාකීර්ණ වරායක්ව පැවති බැවින් ඒ ආසන්නයේ පිහිටි මෙම දෙවොලද මෙම නැව් තොටින් වෙළදාම සඳහා පැමිනි ශිව දෙවියන් අදහන දකුනු ඉන්දීය හින්දු භක්තික දෙමළ වෙළෙදුන්ගේ ජනප්‍රිය පූජනීය ස්ථානයක් වූවා විය හැක. එසේම මෙම සියවස් වල විවිධ දකුනු ඉන්දිය ජන කණ්ඩායම් වරින් වර මෙරටට සංක්‍රමණය වීම් සිදුවූ බවට සාධක ඇති බැවින් මෙරට බටහිර වෙරලේ පදිංචි වූ එම ජන වර්ග වල පුදපෙත් කටයුතු වෙනුවෙන් මුන්නේස්වරම ඉදිවූවාද  විය හැක. (මෙම ජන කණ්ඩායම් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝසනය වූ අතර පසු කාලීනව ඔවුන් හින්දු ආගම අතහැර කතෝලික සහ බෞද්ධ ආගම් වැලඳ ගත්හ. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පසුව සලකා බලමු ) තවද හලාවත කේන්ද්‍රගත කරගෙන සිදුවූ මුතු සහ වාලම්පූරි සෙවිම සදහා කිමිදීමේ කටයුතු වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් මෙරටට වසරේ එම කිමිදීම් සිදුවන කාල වලදී පැමිණි දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගෙන් නිතර වැඳුම් පිදුම් ලැබූ පුද බිමක් ලෙසටද ඇතැම් විට මුන්නේස්වරම පවතින්නට ඇත.

දේවාලයේ පාදමේ දැකිය හැකි සෙල්ලිපිය 
 අපගේ ප්‍රස්තුතය වන මෙම දේවාලයේ පිහිටි දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර උපයෝගි කරගනිමින් දෙමළ සහ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් ලියා ඇති සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ යාපා පටුන (වර්තමාන යාපනය ) අල්ලා ගෙන සිටි ඇතමුන් ද්‍රවිඩ රජෙකැයි පවසන ආර්ය චක්‍රවර්ති හෝ වෙනත් ද්‍රවිඩ සම්භවයක් ඇති රජ කෙනෙකු නොව කෝට්ටේ රජකම් කල සිංහල බෞද්ධ පාලකයකු වන හයවැනි පරාක්‍රමබාහු රජතුමාය. ආචාර්ය S. පත්මනාදන් මහතාට අනුව මෙම ලිපියෙන් කියවෙන ලෙසට පරාක්‍රමබාහු රජු ඔහුගේ 38 වන රාජ්‍ය වර්ෂයේදි මුන්නේස්වරම් දේවාලයේ ප්‍රධාන පූජක වරුන් කැඳවා දේවාලයේ කටයුතු කෙලෙසදැයි විමසා, පෙර එම පූජකයන්ට අයත්ව තිබූ මුන්නේස්වරම් ප්‍රදේශයේ ඉඩම් දේවාල බිම් ලෙස පවරාදී ඇත. තවද පූජක වරුන්ට ඉල්ලුප්ප දෙනියේ (Illuppa deni) අමුණු* 22 ක්ද, ප්‍රධාන පූජකයන්ට කෝට්ටයිපිට්ටි (Kottaipitti) හි අමුණු 30 සහ ටිට්ටක්කටයි (Tittakkatai) හි අමුණු 8 ක්ද පූජා කිරීමක් ලෙස දී ඇත. එසේම දිනපතා දවසට තුන්වරක් බත්, වෑංජන, බුලත් සහ සුවද වර්ගද, ප්‍රධාන පූජකයන්ට මාසිකව පනම් 30 බැගින් සහ අනෙකුත් පූජකවරුන්ට පනම් 11 බැගින්ද ඉර හඳ පවතින තුරා බදු රහිතව දීමනා දෙන ලෙසටද ඔහු  එයින් අණ කර ඇත. මෙම අණ කඩකරන්නන්ට දරුණු පස් මහ අපරාධ කරන්නන් රැස්කරන පව් ලැබෙන බවත් එහි අවසානයේ සටහන් කර ඇත.

සෙල්ලිපියේ කොටසක්
කෝට්ටේ යුගය අවසානය දක්වාම මෙම අණ ක්‍රියාත්මකව තිබී ඇත. පසු කාලීන පාලකයකු වන 9 වන පරාක්‍රමබාහු රජතුමාද 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ තඹ සන්නසක් මගින් තවත් ඉඩම් පවරාදීමක් මෙම දේවාලයට සිදු කර ඇත. එසේනම් එම අණ කඩකලෝ කවරහුද?

ප්‍රතිසංස්කරණය වූ මුන්නේස්වරම් දේවාලය
කෝට්ටේ රාජධානියේ සිංහල රාජ්‍ය බලය කෙමෙන් වියැකෙමින් යද්දී නැවතත් 'ශිෂ්ඨ සම්පන්න සුදු හම ඇති යුරෝපීයන්ගේ' ආගමික සහජීවනය සහ 'සිංහල බෞද්ධ ම්ලේච්චයන්' වන අපගේ ආගමික සහජීවනයේ වෙනස මැනවින් පසක් කරමින් දියෝගෝ ද මේලෝ (Diogo de Mello) යටතේ පෘතිගීසි බල සෙන් 1578 දී මෙම දේවාලය බිමට සමතලා කර න ලදි. පසුව මුන්නේස්වරම් පත්තුවේ දේවාලයට අයත් ගම් 62 ක් ජේසු නිකායේ (Jesuits) පූජකයන් 1606 දී ආරම්භ කල සාන්ත පාවුලු (St. Paul) දේවස්ථානයට පවරා දෙන ලදී.

17 වන ශතවර්ෂයේදී නැවතත් උඩරට සිංහල රාජධානියේ බලයට මෙම ප්‍රදේශය නතුවීමෙන් අනතුරුව, 18 වන ශතවර්ෂයේදී මුන්නේස්වරම නැවතත් ප්‍රතිසංස්කරණය වන්නේ රට පුරා විනාස වී තිබූ බෞද්ධ පුදබිම් අති විසාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණයට ලක් කල සිංහල බෞද්ධ සංස්කෘතිය වැලඳ ගත් දකුණු ඉන්දීය නායක්කර් රජ කෙනෙකු වන කීර්ති ශ්‍රී රාජසිංහ නරපතියන්ගේ අතිනි. ඉන්දියාවෙන් ගෙන්වූ ශිල්පීන් ලවා 1753 දී එහි වැඩ අවසන් කල බව පැවසේ.

* අමුණු - වී අමුනක් වගා කල හැකි වපසරියක් ඇති ඉඩමක්. මෙහි ප්‍රමාණය ප්‍රදේශය අනුව වෙනස් වේ.

මූලාශ්‍ර
  • The Munnesvaram Tamil Inscription of Parakramabahu VI, Pathmanathan, S. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XVIII, 1974.
  • කෝකිල සංදේශය 
  • සැළලිහිණි සංදේශය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913

2 comments:

  1. ගොඩක් ස්තූතියි භූෂන මේ විස්තරයට... මයෙ හිතේ කලිං ලිපියෙ කිව්ව දෙමළ සෙල්ලිපි මාළාවෙ ආරම්භය නේද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි එහෙම පෝස්ට් පෙලකට අදහස දුන්නටත් ස්තූතියි.

      Delete