මහා පරාක්රමබාහු රජු විසින් කරවන ලද
ආළාහණ පිරිවෙන පිළිබඳව වූ මහාවංශ විස්තරයේ පැවසෙන්නේ එතුමා විසින් භික්ෂූන් වහන්සේ උදෙසා සියලු අංගයන්ගෙන් යුක්ත, අතිශයින් රමණීය වූ සඳළුතල ඇති විවිධ කාමර වලින් යුත්, කුළු ගෙවලින් අලංකාර වූ, තුන් මහලින් යුත් දීඝපාසාද හතලිහක්ද, එපමණ වැසිකිලිද, චූළපාසාද අටක්ද, දොරකොටු හයක්ද, ගිනිහල් ගෙවල් තිස් හතරක්ද, විශාල වූ ප්රාකාර දෙකක්ද කරවූ බවය. එම පිරිවෙනේ වසන භික්ෂූන් උදෙසා රෝහලක් කරවූ බවට එහි විශේෂයෙන් සඳහන් නොවූවත්
පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ස්තූපයට උතුරින්
ආළාහණ පිරිවෙනට අයත් ඉහත මහාවංශ විස්තරයේ සඳහන් වන ආකාරයෙන්ම විශාල ප්රමාණයක් වූ භික්ෂු කුටි සහිත ප්රදේශය තුල පසුගිය සියවසේ අසූව දශකයේදී සිදු කල පුරාවිද්යා කැනීම් වලදි
මධ්යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්යාඥයන් හට භික්ෂු රෝහලක නටබුන්ද සොයාගැනීමට හැකිවිය.
 |
| සංරක්ෂණය කර ඇති භික්ෂු රෝහල |
ආළහණ පිරිවෙනේ භික්ෂු ආරෝග්යශාලාවේ වීඩියෝ දර්ශන >>
 |
| බෙහෙත් ඔරුව |
1982 වර්ෂයේ මධ්යම සංස්කෘතික අරමුදල විසින් එම ස්ථානයේ කැනීම සිදු කරන්නට පොරොතුව එහි තිබූ පසින් වැසී ගිය හැඩ නොගන්වන ලද කණු පේලියක් සහිත චතුරශ්රාකාර ගොඩනැගිල්ල කුමක්ද යන්න පිළිබඳව පුරාවිද්යාඥයන් හට පැහැදිලි අවබෝධයක් නොවීය. එහෙත් පස් ඉවත් කිරීමත් සමග එය පැරණි භික්ෂු රෝහලක් විය හැකි බවට හඳුනාගත හැකි විය.
 |
| භික්ෂූ රෝහල තුල ඉදි කල වැසිකිලිය ( පහත රූපය ) සහ එහි අපද්රව්යය එකතු වන්නට ගොඩනැගිල්ලට පිටින් තැනූ වල (ඉහල රූපය ) |
මෙම රෝහලේ එක් කුටියක් තුල වූ ශිලාමය බෙහෙත් ඔරුව වැදගත් සොයාගැනීමක් විය. එයට අමතරව බෙහෙත් සකස්කිරීම සඳහා ගත් ඇඹරුම් ගල්, මැටි භාණ්ඩ , වලං කැබලි, කෙමි, පහන් ආධාරක කැබලි, තෙල් පහන්, මැටි කොළොම්බු ආදිය මෙන්ම චීන පිඟන් භාණ්ඩද විශාල වශයෙන් මෙම ස්ථානයෙන් සොයාගැනීමට හැකි වී ඇත. එම චීන බඳුන් ඖෂධ ඉස්ම සහ තෙල් ආදිය ගබඩා කිරීම සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවද ඇණ, පොරෝ, ගිරා, උල් කටු, හුණු පෙට්ටි, හිරමණ තල, සහ කතුරු ආදී ලෝහ භාණ්ඩද කොක්කක් සහිත විශේෂ තඹ උපකරණයක්ද සොයාගැනීමට හැකි විය. එය ගඩු ඡේදනය සඳහා යොදාගත් ශල්ය උපකරණයක් බවට හඳුනාගෙන ඇත.
 |
| මැද මිදුල සහ එහි උතුරු සීමාවට ආසන්නව වූ ටැම්පිට විහාරයක ලෙස අනුමාණ කරන ඉදිකිරීමේ කණු |
පොළොන්නරුවෙන් මෙම භික්ෂු රෝහල සොයාගැනීමට පෙර අනුරාධපුරය, මිහින්තලය සහ මැදිරිගිරියෙන්ද එවන් රෝහල් සොයාගෙන තිබූ අතර ආළහණ පිරිවෙනට අයත් මෙම රෝහලද මැදිරිගිරිය රෝහලට බෙහෙවින් සමානය. දිගු හතරැස් ව්යුහයක් වූ, ප්රාකාරයකින් වටවී ඇති මෙම ගොඩනැගිල්ලේ වැසිකිලි දෙකක් තිබී ඇති බවත් ඉන් එකක් ඇතුලත කුටියකට සම්බන්ධවද අනෙක උතුරු බිත්තියට පිටතින්ද තිබී ඇති බවත් සොයාගැනීමට හැකිවිය. ගොඩනැගිල්ලේ මැද මිදුලක් ඇති අතර එහි උතුරු දෙසට වන්නට පේළියට තුන බැගින් වූ කෙටි ගල් කණු පේළි 3 ක් දකින්නට ලැබේ. මෙම ගල් කණු මත දැවයෙන් කරන ලද ටැම්පිට විහාරයක් තිබෙන්නට ඇතැයි අනුමාණ කෙරේ. මිහින්තලේ රෝහලේ මැද මිදුල මධ්යයේද ගඩොලින් කරන ලද පිළිම ගෙයක් හඳුනාගෙන ඇත. මැද මිදුල වටා රෝගීන් සඳහා වූ කාමර පිහිටා ඇත.
 |
| මැද මිදුල වටා වූ රෝගීන් සඳහා ඉදිකල කුටි |
මූලාශ්ර
- යුනෙස්කෝ - ශ්රී ලංකා සංස්කෘතික ත්රිකෝණ ව්යාපෘතිය ආළාහණ පරිවෙණ පොළොන්නරුව, තුන්වැනි පුරාවිද්යා කැණීම් වාර්තාව ( 1982 අප්රියෙල් - සැප්තැම්බර් ), පී. එල්. ප්රේමතිලක, 1994
- මහාවංස 2 වෙළුම, ක්රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්ර වික්රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015