පොළොන්නරුව පැරණි නගරයට එහි උතුරු දිශාවෙන් පිවිසෙන දොරටුව අසලම වම් පසින් පිහිටි කළු ගල් කුට්ටි වලින් සාදා තිබූ විෂ්ණු දේවාලයක නටබුන් පිළිබඳව බරෝස් (S.M. Burrows) 1885-86 වසර වල කැනීමක් සිදු කර විස්තර ඉදිරිපත් කරයි. එම කැනීමේදී ඔහුට එම නටබුන් ගොඩනැගිල්ලේ ගර්භ ගෘහය (Inner Shrine) ලෙසින් හඳුනාගන්නා කොටසේ තිබී කදිම කළු ගලින් නෙලූ වීෂ්ණු දේව ප්‍රතිමාවක් හමුවේ. එම ප්‍රතිමාවට අමතරව එම පරිශ්‍රයේ තිබී තවත් ශෛලමය පිලිරූ කිහිපයක්, සිංහ රූප සහිත බිත්ති හිසක් (Large bold frieze of Lions) සහ සෙල් ලිපි කොටස් දෙකක් හමුවේ. ගොඩනැගිල්ල අසලින් හමුවන තවත් සෙල් ලිපියක කොටසක් ඔහු පවසන පරිදි 'දළදා මාළිගාව' අසල තිබෙන නිශ්ශංකමල්ල රජුගේ සෙල් ලිපියේම පිටපතකි. (මෙහි දළදා මාළිගාව ලෙසින් එවකට වැරදියට හැඳින්වූ අංක 1 ශිව දේවාලය අදහස් කෙරේ. එම ශිව දේවාලය පිළිබඳව කියවීමට >> Link )
බරෝස් විස්තර කල අඩි 3 අඟල් 8 ක් වූ හිටි විෂ්ණු ප්‍රතිමාව පද්මාසනය මත බරෝස් වසර 22 කට පෙර සිටුවා තැබූ ආකාරයෙන්ම බෙල්ට හමුවන අතර අත් සතරක් සහිත එම ප්‍රතිමාවේ ඉහලට එසවුනු වම් සහ දකුණු අත් වල පිලිවෙලින් සංඛය සහ චක්‍රය දරන අතර පහලට යොමු වූ වම් අතේ පොළොවට බරවූ මුගුරක් දැකිය හැක. අනෙක් දකුණු අතින් අභය මුද්‍රාව විදහා පායි. මෙම ප්‍රතිමාව දැනට මෙම ස්ථානය නොමැති අතර එය පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඒ වෙනුවට එහි අනුරුවක් දේවාලය තුල තැන්පත් කර ඇත.
දේවාල ගොඩනැගිල්ලට පිටතින් තිබී බරෝස් විස්තර කල සෙල් ලිපි කොටස්ද බෙල්ට හමුවන අතර ඔහුද එය මාලිගා කොටුවේ (Citadel) උතුරු දොරටුව අසල ඇති (අංක 1 ශිව දේවාලය පිහිටා ඇත්තේද මේ ආසන්නයේය ) සෙල් ලිපියේ මෙන්ම නගරයට ඊසාන දෙසින් ඇතුලුවන දොරටුව අසල අංක 2 ශිව දේවාලය ආසන්නයේ දැකිය හැකි සෙල්ලිපියේද පිටපතක් ලෙස හඳුනාගනී.
![]() |
| මෙම විෂ්ණු රූපය දැනට නටබුන් කෞතුකාගරය තුල තැන්පත් කර ඇති මුල් පිලිමයේ අනුරුවක් පමණි |
![]() |
| දේවාලය තුල තිබී හමුවූ විෂ්ණු පිළිමය සහ මයුරාසනාරූඩ කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් ලෙස බරෝස් හඳුනාගන්න පිළිමය. |
- Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
- Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
- History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007

