Sunday, August 25, 2019

පාර දිගේ - මන්නාරම සිට විල්පත්තු මැදින් පුත්තලමට

තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා දිවෙන A14 මාර්ගයෙන් තල්අඩි පසුකර මද දුරක් ගියවිට දකුණු අතට යොමු වූ B403 මාර්ගය වන්කාලෙයි කුරුළු අභයභූමිය (මන්නාරමට දකුණින් පිහිටි වන්කාලෙයි තෙත් බිම සංචාරක සහ දේශීය පක්ෂි විශේෂ රැසකට වාස භූමිය වන බැවින් කුරුළු අභයභූමියක් ලෙස නම් කර ඇත.) හරහා වන්කාලෙයි ධීවර ගම්මානය මැදින් නානත්තාන් මංසන්ධිය දක්වා වැටී ඇත.  නානත්තාන් සිට අරුවි ආරු (මල්වතු ඔයෙහි පහල කොටස මේ ප්‍රදේශයේදී අරුවි ආරු ලෙසින් හැඳින්වේ) මතින් තනා ඇති පාලම හරහා B403 මාර්ගය අරිප්පුසිලාවතුරෙයි, කොන්ඩච්චි හරහා මරිච්චුකඩ්ඩි වෙත ගොස් අවසන් වේ. මාර්ගයේ එම කොටසේදී අරිප්පු කොටුව සහ ඩොරික් බංගලාව හමුවේ (ඩොරික් බංගලාව පිළිබඳව වීඩියෝව නැරඹීමට Link>>

කොන්ඩච්චි සිට මරිච්චුකඩ්ඩි දක්වා කොටසේ මාර්ගයේ වම් පස මෑතක් වන තුරුම කල් ආරු වන රක්ෂිතයට ( B403 මාර්ගයේ හමුවන කල්ආරු නම් වූ ඔය දෙපසින් එම රක්ෂිතය නැගෙනහිර දෙසට රට ඇතුලට විහිදේ) අයත්ව තිබූ මුත් ඊලාම් ත්‍රස්තවාදී ගැටළුව අවසන් වීමත් සමග අවතැන් වූ ජනයා නැවත පදිංචි කිරීමට මුවාවී වනාන්තරය එලි කරමින් මූලික වශයෙන් ඉස්ලාම් ජානපදිකයන් පදිංචි කිරීමේ ව්‍යාපාරයක් රිශාද් බදූර්දීන් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය. දේශපාලනිකව සහ පාරිසරිකව ලාංකීය සමාජයේ උණුසුම් පුවත් මැවූ එම අර්බුදය මේ වන තුරුද සාර්ථක ලෙසින් අවසන් වී නැත. ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

පැරණි ගම්මානයක් වන මරිච්චුකඩ්ඩි සිට මෝදරගම් ආරුව මතින් තනා ඇති පාලමින් එතෙර වූ පසු  පුත්තලම දක්වා වූ මාර්ගය විල්පත්තු ජාතික වනෝද්‍යානය  හරහා වැටී ඇත.. මරිච්චුකඩ්ඩි සිට එළුවන්කුලම, වනාතවිල්ලු හරහා පුත්තලම දක්වා ගමන් කල හැකි එම මාර්ගය B379 ලෙසින් නම් කර ඇත. මාර්ගයේ විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුලත කොටසේදී අතහැර දැමූ ගමක් සහ වෙල් යායක් සහිත පොම්පරිප්පුව හමුවේ. පොම්පරිප්පුව සම්බන්ධව වැඩිදුර විස්තර සඳහා  Link>>

විල්පත්තු වන උද්‍යානයේ දකුණු පස සීමාව වන කලාඔය හරහා මාර්ගය වැටී ඇත්තේ සපත්තු පාලමක් මතින් වන අතර කලාඔයේ වතුර මට්ටම ඉහල ගිය විට එම මාර්ගය වාහන ගමනාගමනය සඳහා සුදුසු නොවේ. තවද අධික වැසි සහිත සමයන්හීදී මෝදරගම් ආරු සිට කලාඔය දක්වා වූ බොරළු මාර්ගය ලිස්සන සුළු බැවින් 4WD වාහන නොවන අනෙකුත් වාහන ගමන්කිරීම අවදානම් සහගතය.

මල්විල පුරාවිද්‍යා භූමිය මෙම මාර්ගයේ පුත්තලමට පෙර  හමුවන කරදිපුවල් ප්‍රදේශයේදී නැරඹිය හැක. මල්විල පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

3 comments:

  1. කොල්ලන්කනත්ත ප්‍රාග් අයිතිහාසික සුසාන භූමිය ගැනති ලියනවද?ඒක මුහුදට සේදීගෙන යනවා

    ReplyDelete
  2. ඔව් ප්‍රා ඒ ගැනත් ලියන්න ඕනේ. මට තාම එතෙන්ට යන්න හැකියාවක් ලැබුනේ නැහැ.

    ReplyDelete
  3. ඉතා වැදගත්. Pra Jay ඉල්ලීමම මාත් කරනවා.

    ReplyDelete