පොළොන්නරුව පැරණි නගරයේ
පබළු වෙහෙරේ සිට
අංක 2 ශිව දේවාලය දෙසට යන මාර්ගයේ දකුණු පස අංක 2 ශිව දේවාලයට නුදුරින් බොහෝ දෙනෙකුගේ අවධානයට බඳුන් නොවන පැරණි නටබුන් ගොඩනැගිල්ලක් වනාන්තරයේ සැඟව ඇත.
පොළොන්නරුවේ ස්මාරක සම්බන්ධයෙන් රචිත ග්‍රන්ථ වලද එම ස්මාරකය පිළිබඳව කිසිදු තොරතුරක් හමු නොවේ. එහෙත්
H.C.P. බෙල් මහතා 1909 වසර සඳහා වූ සිය පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ මේ ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කර ඇත. මේ ලිපිය ඒ ආශ්‍රයෙන් පිලියෙල කෙරුනකි.
ගඩොලින් කල කිසියම් ගොඩනැගිලි කොටසක් ඉහලට මතුවී තිබූ ගොඩැල්ලක් ලෙස එවකට දිස්වූ එම ස්ථානයේ
බෙල් මහතා සිදු කල කැනීමේදී එය බෞද්ධ විහාරයක් ලෙසට ඔහුට හඳුනාගැනීමට හැකිවේ. කුළුණු වලින් සමන්විත අන්තරාලයක්(Vestibule) සහ බොකු වහලයක් (Vaulted roof) සහිත ගඩොලින් නිර්මිත බිත්ති සහිතව තිබූ විහාරයකින්(Shrine) එම ගොඩනැගිල්ල සමන්විතව තිබෙන්නට ඇති බව ඒ අනුව ඔහු නිගමනය කරයි.
එම වහලයේ සහ බිත්ති වල කොටස් ගඩොලින් කල කුට්ටි ලෙස ඔහුට හමුවන මුත් ගොඩනැගිල්ලේ පාදම විනා අන් කිසිවක් ඉතිරි නොවන ලෙසට එය ඒ වන විටත් විනාශ වී තිබී ඇත. තවද අන්තරාලයේ තිබූ කුළුණු අටෙන් පහක පමණක් කොටස් එහි තිබී ඇති අතර ඒවායේ මුල් උස පිළිබඳව දල අනුමාණයක් විනා නිවැරදි නිගමනයකට ඒමට එම කුළුණු කොටස් වලින් නොහැකි බව හෙතෙම පවසයි. එහෙත් එම කුළුණු මත තිබූ කැටයමින් අලංකාර කල කුළුණු හිස් ගොඩනැගිල්ල තුලත් ඉන් පිටතත් තිබී මතු කර ගැනීමට ඔහුට හැකිවේ.
|
කුළුණු හිස් |
එවකට විහාරය තුලට ඇතුළු වන තැන අහුරමින් වැටී තිබූ එම ගොඩනැගිල්ලේ ගඩොල් සහ උළු බදාමයෙන් බැඳ ඉදිකර තිබූ වහලයේ ඉතිරි කොටසින් එය සමතලා මුදුනක් සහිතව තිබූ බව පෙනෙන බව
බෙල් පවසයි. විහාර ගෘහයේ තිබූ ප්‍රධාන පිළිමය එම ස්ථානයෙන් කිසියම් කලක ඉවත් කර තිබෙන්නට ඇති මුත් එය ඉදිරියෙන් තිබූ අල්තාරය නොහොත් මල් ආසනය
බෙල්ට හමුවේ. එහි යටි පැත්ත බොරදමින් අලංකාර කර තිබී ඇති අතර එහි හුණු පිරියම් කර මාරුවෙන් මාරුවට මැද නිල් පැහැ වූ රතු පාටින් සහ නිල් පාටින් යුත් පටි වලින් අලංකාර කර තිබී ඇත.
|
ගඩොලින් කල වහලයේ කඩා වැටී ඇති කොටස් |
තවද විහාර ගෘහය තුල කවන්ධ කුඩා හිටි පිළිමයක් (එහි කැඩුනු අත් වල යකඩ කට්ටා [Iron Joggles]තිබී ඇත.) සහ කහ පාටින් පාට කර තිබූ බවට සලකුණු සහිත පිළිම හිසක්ද වෙනත් පිළිමයකට අයත් පාද සහිත පාදාස්තලයක්ද (Pedestal with legs)
බෙල්ට හමු වී ඇත. (බෙල් සඳහන් නොකරන මුත් ප්‍රධාන පිළිමයේ පාදස්ථලට යටින් තිබෙන්නට ඇති කුහර 25 කින් සමන්විත යන්ත්‍ර ගලක් දැනට එම ස්ථානයේ දැකිය හැක..)
|
කුළුණු හිසේ කැටයම් සහ යන්ත්‍ර ගල |
මෑත කාලයකදි මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කර ඇත. කෙසේ නමුත් ඉහත විස්තර වන මල් ආසනය හෝ පිළිම කොටස් දැනට එම ස්ථානයේ දැකිය නොහැක. ඇතැම් විට කෞතුකාගාරයකට රැගෙන ගොස් ඇතිවා විය හැක. මෙම විහාරයේ නිර්මාතෘ හෝ එහි කාලය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැක.
|
අන්තරාලයේ බිම තබා ඇති කුළුණු හිස්. දකුණු පස එහි තිබූ කුළුණු වල ඉතිරි වූ යට කොටස් දැකිය හැක |
ස්තූතියි භූෂන. යන්ත්‍ර ගල යනු ආගමික නිධන් වස්තු තැන්පත් කල ගලක් යැයි සිතමි. මෙය නිවැරදිද?
ReplyDeleteඔව් ඔබ නිවැරදියි. හැබැයි මේ නිධන් වස්තු මැණික් රත්තරන් රිදී වැනි වටිනා දේවල් නෙමේ. මංගල සලකුණු ලෙස සැලකෙන හක්ගෙඩි දිසා පාලන දෙවිවරුන්ගේ කුඩා ලෝකඩ පිළිම, දිසාවන් සංකේත කරන ඇත්, අශ්ව, සිංහ ගව වැනි සත්වයන්ගේ රූප ආදී දේවල්. නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසු නොවූ යන්ත්‍ර ගල් වල තිබී එවැනි දේවල් සහ ඒවා නිවැරදිව තිබිය යුතු කොටු සම්බන්ධ ලිපි කිහිපයක් මත මතක හැටියට චාල්ස් ගොඩකුඹුරේ මහතා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලියනවා. ඒවා නැවත විමසා බලා ඉදිරි ලිපියකින් වැඩි විස්තර සපයන්නම්
Deleteබෙල් ගේ සඳහනක් නැති යන්ත්‍ර ගල නම් පසු කාලෙක ගෙනත් දමපු එකක් වෙන්න පුළුවන් නේද?
ReplyDeleteඇතැම් විට එහෙම වෙන්නත් පුළුවන්. ඒත් ගොඩක් දුර සිට වෙන්න බැහැ මේ අසලම තිබිලා වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ස්ථානයටම අයත් එකක් කියන එක. අනිත් එක බෙල්ගේ කාලෙට වඩා ක්‍රමවත් ලෙස කැනීමක් සිදු කරන විට තව බොහෝ දේ හමුවන්න පුළුවන්. බෙල් ඔහුට හමු වූ සියළු දේ ගැන සිය කෙටි විස්තරයේ සඳහන් නොකලා වෙන්නත් පුළුවන්නේ.
DeleteNot relevant, but interesting :-
ReplyDeletehttps://cornishbirdblog.com/2018/10/11/cornwalls-prehistoric-holed-stones/