Saturday, January 27, 2018

නිශ්ශංකමල්ලට කාලිංග උයන වූ පරාක්‍රමබාහු රජුගේ දීප උයන

මහාවංශයේ විස්තර වන පරිදි පරාක්‍රමබාහු රජු දෙපසින් දියපහර ගලාගිය හෙයින් දිවයිනක් බඳු පෙදෙසක දීපුය්‍යානයක් (දීප උද්‍යානයක්) කරවීය. එම දීප උද්‍යානයේ වූ වෙනත් ගොඩනැගිලි සම්බන්ධව විස්තර කරන මහාවංශ ගාථා වලින් ඉන්පසු පැවසෙන්නේ එම උද්‍යානයේ 1) සියලු සුධාකර්මයෙන් යුක්ත විශ්මය දනවන කෛලාස පර්වතයට සමාන ධවල මන්දිරය [ධවලාගාරං/White House] 2) නොයෙකුත් විද්‍යා විශේෂයන් දක්වනු පිණිස කරන ලද හෙයින් විද්‍යා මණ්ඩප [විජ්ජාමණ්ඩප/Science Pavilion] නමින් යුත් විමානය 3) ස්වර්ණමය කිංකිණි  වලින් යුත් දර්ශනීය ඔංචිල්ලාවෙන් යුක්ත වූ දෝලාමණ්ඩපය [දොලාමණ්ඩප/Swing Pavilion]  4) හාස්‍ය රසය මනාව දත් ඇමැතියන් පෙරටු කොට ගත් රජු අතිශයෙන් සතුටට පත් වූ ස්ථානය වූ  ක්‍රීඩා මණ්ඩපය [කීළාමණ්ඩප] 5) විමානයන්ගෙන් බබලන, ඇත්දළින් නිමවුණු සාණිමණ්ඩපය (Pavilion of the planet Saturn) 6) මොරමණ්ඩපය (Peacock Pavilion) 7) කැඩපත් බිත්තිවලින් යුත් ආදාසමණ්ඩපය (Mirror Pavilion) යන ගොඩනැගිලි වලින් අලංකාර වූ බවය.
තානායම අසල ඇති බිසෝකොටුව
තව දුරටත් එම දීප උද්‍යානයේ වූ අනෙකුත් ඉදිකිරීම් විස්තර කරන මහාවංශ කතුවරයා පවසන්නේ අනන්ත නාග රාජයාගේ දරණ වැල හා සමානව පිහිටවූ ගලින් යුතු අනන්ත පොක්ඛරණී නම් වූ පොකුණ හැම විටම ජනයා සතුටු කල බව සහ විසිතුරු සිතුවමින් යුත් චිත්තා නම් පොකුණ පරාක්‍රමබාහු රජු සතුටු කල බවත්ය. එසේම විසිතුරු සිතුවමින් සහ ශෘංගාර ශබ්දයන්ගෙන් යුත් සිව් මහල් ශෘංගාර මණ්ඩපයද එහි වූ බවත් තල්, කිතුල්, නා, දොඹ, කෙසෙල්, කිණිහිරි සහ යොහොඹු ආදි ගසින්ද උයන යුක්ත වූ බවත්ය.
භූගත නල මාර්ගයක් ඔස්සේ පරාක්‍රම සමුද්‍රයෙන් බිසෝකොටුව හරහා පැමිණෙන ජලය පලමුවෙන් ඇතුළු වන පොකුණ
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට යාබදව වර්තමාන තානායම පිහිටි ස්ථානයට උතුරින් වූ නටබුන් ගොඩනැගිලි සහ පොකුණු සහිත පෙදෙස මෙම දීප උද්‍යානය පිහිටා තිබූ ස්ථානය වූ බව පොදුවේ සියළුම විද්වතුන් පාහේ පිලිගන්නා මතයයි. මෙයට පෙර අප කතා කල නිශ්ශංකමල්ල රජුගේ සභා ශාලාවද මෙම පෙදෙසේ උතුරු සීමාවේ පිහිටා ඇත Link>>. තානායම අසල ඇති පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ වූ බිසෝකොටුවක්, එයින් ජලය සැපයෙන පොකුණු දෙකක් (එක් පොකුණක පිටාර ජලය එහි නැගෙනහිර සීමාවේ වූ වලයාකාර බැම්ම හරහා වූ කාණු දෙකක් මගින් අඩු වැඩි වශයෙන් චතුරශ්‍රාකාර වූ අනෙක් පොකුණට යොමු කෙරේ), පලමු පොකුණට උතුරු දෙසින් ජල පිහිල්ලක් සහිත ස්නානාගාරයක් සහ එයට ඉහලින් වෘත්තාකාර වෙනත් ඉදිකිරීමක නටබුන්ද (මෙයද ස්නානාගාරක් විය හැකි බවට වූ මත පලවී ඇත.) අද වනවිට මෙම ස්ථානයේ දැකිය හැක.
පළමු පොකුණට ජලය ඇතුළු වන දියවාන
මෙම වෘත්තාකාර ඉදිකිරීමේ බිත්තියේ මධ්‍යයෙහි පිහිටි කාණුවක් මගින් එහි ජලය පහලින් පිහිටි සෘජුකෝනාශ්‍රාකාර ස්නානාගාරයට යොමුකර ඇත. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුම මගින් මෙම වෘත්තාකාර ඉදිකිරීම සංරක්ෂණයෙන් පසුව ජල ටැංකිය ලෙසින් නම් කර ඇත. ජල පිහිල්ලක් සහිත වූ ස්නානාගාරය කොටස් දෙකකට සාදා ඇති අතර පඩි පේලි දෙකක් ඒවාට බැසීම සදහා ඉදිකර ඇත. එහි බිත්ති වල සහ පත්ලෙහි ගල් පුවරු අතුරා ඇති අතර බිත්ති ගඩොලින් බැඳ කපරාරු කර තිබී ඇති බව එහි ඉදිරි කොටසේ ඉතිරිව ඇති කපරාරු කොටස් වලින් පැහැදිලි වේ. සතර කොනේ ගල් කණු සිටුවා ඇති අතර ඒවා මත වූ වහලයක් මගින් මෙයට ආවරනය සැපයූ බව පෙනේ.
පළමු පොකුණේ සිට දෙවෙනි පොකුණට ජලය ඇතුළු වන ස්ථානය සහ දෙවෙනි පොකුණ
ඉහත විස්තර වූ බිසෝකොටුව අසල එයට උතුරු දෙසට වන්නට ගඩොලින් කල සෘජුකෝණාශ්‍රාකාර ගොඩනැගිල්ලක් ඇති අතර එහි පිවිසුමේ බෙහෙවින් ගෙවී ගිය සඳකඩපහණක්ද ඇති අතර පොළොන්නරු යුගයට පෙර  සඳකඩපහණ වල තිබූ ලෙසින් එහි ඇත්, අශ්ව, ගව සහ සිංහ යන සතුන් සිව් දෙනාගේම රූප දැකිය හැක (හින්දුන්ගේ පූජනීයත්වයට ලක්වන සතෙකු බැවින් පොළොන්නරු යුගයේ සඳකඩපහණ වල ගවයා දක්නට නොලැබේ.) එබැවින් මෙම ගොඩනැගිල්ල අනුරාධපුර යුගයට අයත් බව මත පලවී ඇත (අනුරාධපුර යුගයේ ගොඩනැගිල්ලක නටබුන් පොළොන්නරු යුගයේ ඉදිකිරීමක් සඳහා යොදා ගත්තා වන්නටද ඉඩ ඇත.)  එම ගොඩනැගිල්ල අසලින් වැවට බැසීම සඳහා යෙදු පඩි පේලියක්ද දැකිය හැක. තවද වර්තමානයේ පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් යටවන පෙදෙසේ දැකිය හැකි වෙනත් චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක්ද දීප උයනට අයත්ව තිබුනා ලෙස සැලකේ.
වෘත්තාකාර ඉදිකිරීම( ජල ටැංකිය/ස්නානාගාරය ?) දකුණු පසින් දිස්වන්නේ පහල පිහිටි ස්නානාගාරය සහ එහි ජලය පිටවන පළමු පොකුණයි.
මෙම දීප උයන සම්බන්ධව වංශ කතාවේ ඉන්පසු කිසිදු සඳහනක් හමු නොවන මුත් නිශ්ශංක්මල්ල රජු විසින් පිහිටවූ මෙම ස්ථානයේ තිබී හමුවු සෙල්ලිපි දෙකක් මගින් පැහැදිලි වන්නේ එම රජතුමා විසින් මෙම දීප උයනේ වූ පැරණි ඉදිකිරීම් අලුත්වැඩියා කිරිම, වෙනස් කිරීම හෝ නැවත ඉදිකිරීම් සිදු කර ඇති බවය. එසේම එහි වූ ඇතැම් ගොඩනැගිලි අවශේෂ අසල පිහිටි ඔහුගේ සභා ශාලාව සහ රජ මාළිගය නොහොත් මගුල් මඩුව ලෙස හඳුනාගන්නා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදා ගත්තා වන්නටද පුළුවන.
ස්නානාගාරය සහ එහි ඇති ජල පිහිල්ල
නිශ්ශංකමල්ල රජුගේ එක් ලිපියක් හමුවන්නේ ඉහත ස්නානාගාරය ලෙස හැඳින්වූ ඉදිකිරීමේ පැතලි ගලක් ලෙස යොදා තිබීමෙන්ය. ස්නානාගාරයේ නිශ්ශංකමල්ල යුගයට පසු කාලයේ සිදුවූ පිළිසකරකිරීමකදි එය සිදුවී ඇති බව පෙනේ. Z. වික්‍රමසිංහ මහතා එය කියවන යුගය වන විටද (1927 ට පෙර) ලිපිය කොටස් වලට කැඩි තිබූ අතර එහි එක් කොටසක් තෝපාවැව ග්‍රාමයේ තිබූ බවත් අනික්වා අස්ථානගතවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි. කෙසේ වුවත් එහි පෙල ඒ මහතා රන්කොත් දාගැබ පරිශ්‍රයේ හමුවූ නිශ්ශංකමල්ල රජුගේ ටැම්ලිපියක ආධාරයෙන් සකස් කර ඇති අතර අවසාන වාක්‍යය හැරුන කොට එය එම ටැම්ලිපියේ අන්තර්ගතයම වූ බව පවසයි. එමගින් අඩු වැඩි වශයෙන් රජුගේ රට පුරා කල සංචාර, සතුන්ට අභය දානය දීම්, බදු අහෝසිකිරිම්, පෙර රජවරුන් විසින් දඩුවම් පැමිණවූ පුද්ගලයන් නිදහස් කිරීම්, සහ හෙතෙම සිදුකල විදේශ ආක්‍රමණ ගැන පවසා අවසානයේ පවසන්නේ මෙය "ශ්‍රි විර කාලිග ලංකේශ්වර අප්‍රතිමල්ල නිශ්ශංකමල්ල ශ්‍රි පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ......නිමවා වදාරන පතැසයි" යන්නය. මැකී ඇති අකුරු වලින් දියකෙලිය (The Ceremony of bathing) යන්න අදහස් වූ බව සැක කෙරේ.
ස්නානාගාරයේ පහල කොටස, පඩිපෙල සහ ඉතිරිව ඇති පැරණි කපරාරුව වම් පසින් දැකිය හැක.
නිශ්ශංකමල්ල රජුගේ මෙම ස්ථානයෙන් හමුවන අනික් ලිපිය දිවයිනේ වෙනත් බොහෝ ස්ථාන වලින් හමුවී ඇති ආකාරයේ ගල් ආසන ලිපියකි (කියවන්න - මුල් ගල් ඉදිරීම, අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම සහ නිශ්ශංකමල්ලගේ ගල් ආසන සෙල්ලිපියක්) නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය අසලින් එහි දකුණු පසින් හමුවූ මෙම ලිපියේ වූ ඔහුගේ වෙනත් එවැනි ගල් ආසන ලිපි වල පැවසෙන ආකාරයේ සුපුරුදු විස්තර වලින් අනතුරුව පවසන්නේ මෙය රජු කාලිංග උද්‍යානයේ නෘත්‍ය ගීතාදී කලා ක්‍රීඩා පිණිස වැඩහිඳිනා සිංහාසනය බවයි. එසේම එම ගල එඩේරගල්ලෙන් ගෙනා බවද එහි පවසා ඇත (මෙය සීගිරියට සැතපුම් 5 පමණ බටහිර දෙසින් පිහිටි වර්තමාන එඩේරුගල ග්‍රාමය විය හැක.)
නිශ්ශංකමල්ල කාලිංග උයන ගල් ආසන ලිපිය

බිසෝකොටුව අසල ඇති සඳකඩපහණ සහිත ගොඩනැගිලි පාදම
වර්තමාන කාලයේ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කල නෙළුම් කුළුන ජඩපාලකයන්ට ඔවුන්ගෙ සංකල්පයක් පරිදි ඔවුන් ආරම්භ කර නිමවමින් තිබෙන සංනිවේදන කුළුනක් වී ඇති ආකාරයෙන්ම පරාක්‍රමබාහු රජු නිමවූ 'දීප උයන' නිශ්ශංකමල්ල 'කාලිංග උද්‍යානයක්' කර එඩේරුගලින් ගෙනා ගලක සිය නම කොටා අපට සිය පම්පෝරියද සමගින් ඉතිරි කර තැබුවාද? සීතාවක උද්භීද උද්‍යානය, වරාය නගරය, මොරගහකන්ද, බැද්දගාන තෙත් බිම් උද්‍යානය අදියේ ඒවා ඉදිකර හෝ වැඩ අරඹමින් මහින්ද රාජපක්ෂ මහතා තැබූ මුල් ගල් සහ ඵලක අස්ථානගතවූ පරිද්දෙන්ම පරාක්‍රමබාහු රජතුමා තැබූ ඵලක පරාක්‍රමසමුද්‍රය පතුලට ගොස් නිශ්ශංකමල්ලගේ ගල් ආසන පමනක් ඉතිරි වූවාද? එහෙත් ඔහුට අමතක වූ දෙයක් නම් මහාවංශය ලියූ යතිවරයන්වහන්සේ විසින් පරාක්‍රමබාහුගේ දීප උද්‍යානය ගැන සියළු තොරතුරු එයට පොරොතුව ලේඛනගත කර අනාගත පරපුරට ආරක්ෂා කර තැබූ බවයි. වර්තමාන ජඩපාලකයන්ද තේරුම් ගත යුත්තේ වැඩබැරි  ඔවුන් වැනි සොර මුලක් කෙසේ යටගැසීමට උත්සාහ කලද ඉතිහාසය සැඟවීම එතරම් ලේසි පහසු දෙයක් නොවන බවය. නොමැති නම් මේ රටේ බුද්ධිමත් ජනතාව ඔවුන්ට එය තව සති දෙකකින් ඔලුවට පොල්ලකින් ගසා මතක් කර දෙනු ඇත.
පරාක්‍රමසමුද්‍රයේ ජලයෙන් යටවන කොටසේ ඇති ගොඩනැගිල්ල
මූලාශ්‍ර
  • Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196), Raja de Silva, 2016
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928

2 comments: