Sunday, March 26, 2017

පුරන් අප්පු සිහිවීමට (?) සුද්දෙක් කල ස්මාරකය

ඡායාරූපය 1 - ස්මාරකයේ වර්තමාන තත්වය
සමාජ ජාලා (Social media) වලින් මතුවී ඇති "පේස්බුක් දේශප්‍රේමින්" අතර වසරක පමණ කාලයක සිට සැරිසරණ පෝස්ට් එකක් දුටු කල මෙය ලිවීමට සිත්විය. ඊට පෙර කොණ්ඩා රැවුල් වවාගෙන "මහා කළු සිංහලයන්" වීමට දගලන මේ රැල්ලට ගසන් යන "පේස්බුක් දේශප්‍රේමින්" ගැනද යමක් කිව යුතුය. වර්තමාන පාලකයන් විසින් රටට දැයට සහ සමයට කරන ව්‍යසන දෙස නෑසු කන්ව සිටින මේ "පේස්බුක් දේශප්‍රේමින්" ජාතියේ සැබෑ සතුරන් පසක සිටියදී ව්‍යාජ බිල්ලන් මවාගෙන ඒවාට පහරදීමට නම් අතිශයෙන්ම නිර්භීතය. අතරින් පතර රටට දැයට හිතැති සැබෑ දේශප්‍රේමින්ද නොදැනුවත් කමින් මෙවැනි "සිංහලේ", "අපි යක්කු බොලව්" වැනි "පේස්බුක් දේශප්‍රේමින්ගේ" ව්‍යාපාර වලට අසුවන අවස්ථා නැත්තේද නොවේ. ඇතැම් විට දේශද්‍රෝහී පාලකයන්ද සැබෑ දේශප්‍රේමින් නොමග යැවීමට මේ ව්‍යාපාර පසු පස සිටිමින් ඒවා මෙහයවනවා විය හැක (ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ  බැටලු හම් පොරවාගත් "හෙල කරුමයේ" ජඩයන් යුගයේ ජාතික නායකයාගේ එම රජය පැරදවීමට හලාල් සහ මුස්ලිම් විරෝධය යොදාගත් අකාරයෙන්. )
කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට අදාල පෝස්ටුවේ (ඉහත උපුටා දක්වා ඇත) දැක්වෙනුයේ මාර්ගයක කුණු කානුවක් අසල පිහිටුවා තිබෙන ශෛලමය ස්මාරකයක ඡායාරූපයකි. එහි පැවසෙන්නේ එම ස්මාරකය වීර පුරන් අප්පු ඇතුලු විරුවන් මාතලේ කැරල්ල ආරම්භ කල ස්ථානය සිහිවීමට "සුද්දෙකු" විසින් ඉදිකරපු ස්මාරකයක් බවත්, එයට වෙන රටවල මිනිසුන් මෙන් අප රටේ මිනිසුන් ගරු නොකර කුණු කාණුවක් අසල දමා ඇති බවත්ය. 
ඡායාරූපය 2 - 2008 දි ගත් ඡායාරූපය
මෙහි අංක 2 ඡායාරූපයෙන් දැක්වෙනුවේ මහනුවර-යාපනය A 9 මාර්ගයේ පසෙක මාතලේ නගරයට නුදුරින් තිබූ එම ස්මාරකයේ 2008 වර්ෂයේදි මා ගත් ඡායාරූපයකි. ඇත්ත වශයෙන්ම එම කාලයේ එය කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය නොවී මාර්ගයේ පසකින් කැලෑවට යටවී තිබුණි. මහා බැංකුවක් කොල්ලකාගෙන, පරම්පරා ගනනාවකට හම්බ කරගෙන, බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් රටේ බහුතරයක් වන බත් කන ගව රැල අන්දගෙන, යහතින් වැජඹී නොසිට දශක තුනක ත්‍රස්තවාදී කැරැල්ලක් වසර 3 කින් නිම කරමින්, රට සංවර්ධනය කරමින් සිටි "හොරෙකුගේ" පාලන කාලය වූ එකල එම මාර්ගය පුලුල් කර කාපට් කිරීමට සැලසුම් කෙරෙමින් පැවතුණි. අපගේ අනුමානය වූවේද එම ස්මාරකය සදහටම අතුරුදහන් විය හැකි බව මුත් පසුගිය වසරේ වෙනත් කටයුත්තක් සඳහා ඒ අසලින් යාමේදි නෙත ගැටුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වර්ෂ 2015 වනවිට විශේෂ පීඨිකාවක් මත ආරක්ෂාකාරි ලෙස නැවත පිහිටුවා තිබූ පෙර කී ස්මාරකයයි (ඡායාරූපය 1). 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දක්වා ඇති විස්තරයේද ස්මාරකය පිළිබඳව නොමග යනව සුළු හැඳින්වීමක් කර ඇති අයුරු
ඒ අනුව "හොරාගේ කාලයේ" අවශ්‍ය නිසි ගෞරවය එයට දී ඇති බැවින් ඉහත පෝස්ටුවේ අදාලත්වයක් මේ වන විට නොමැත. එහෙත් ප්‍රශ්නය වනුයේ සැබැවින්ම එය පෙර කී පරිදි පුරන් අප්පුගේ කැරැල්ල සිහිවීමට "සුද්දෙකු" විසින් කල ස්මාරකයක්ද යන්නය. ඉංග්‍රීසි අකුරින් කොටා ඇති එම ස්මාරකයේ ඇති අකුරු ඉංග්‍රීසි භාෂාව පිලිබඳව සුළු හෝ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට  කියවා තේරුම් ගත හැක. මේ එම වදන් වැලයි. උපුටාගැනීම J. P. ලුවිස් විසින් වර්ෂ 1913 දී පළ කල List of Inscriptions on Tombstones And Monuments in Ceylon නම් ග්‍රන්ථයෙනි.
WARIYAPOLA
REBELS
DISPERSED HERE
BY TROOPS UNDER
CAPTAIN LILLIE, C.R.R.
29 July, 1848
ඒ අනුව කවුරු නමුත් පෙර කී ඒ "සුද්දා" මෙය පිහිටුවා ඇත්තේ කැරලි ගැසූ පුරන් අප්පු සිහිවීමට නොව එම ජාතික විමුක්ති අරගලයේ යෙදුන සිංහල දේශප්‍රේමි කැරලිකරුවන් 1848 ජුලි 29 වන දින සාර්ථක ලෙස විසුරුවාහැරීමට සමත් වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හමුදාවේ කැප්ටන් ලිලීගේ වික්‍රමය සිහිවීමටය. එම ස්මාරකය වර්ෂ 1909 දී පිහිටවූ "සුද්දාගේ" නමද ලුවිස් සඳහන් කරයි. ඔහු මේ අසල වූ වාරියපොල වතුයායේ වැඩ බලන වතු අධිකාරිවරයා (Acting Superintendent) වූ තෝමස් මැක්ලක්ලන්ය (Thomas Maclachlan)
මේ එම සටන පිළිබඳව J.P. ලුවිස් සඳහන් කරන තොරතුරුය. ජුලි 28 දා රාත්‍රියේ 15 වන රෙජිමේන්තුවේ (15th Regiment) සහ සිලෝන් රයිපල් (Ceylon Rifles) බලකායේ මහනුවර සිට නික්මුන සෙබලුන්ට වාරියපොලදී කැරලිකරුවන් මුන ගැසුනි. කරත්ත පාරට නොදුරින් කෝපි වත්තක සිටිමින් කැරලි කරුවන් සහ ඔවුන්ගේ රජු ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී. ඒ පිළිබඳව The History of the Rebellion in Ceylon නම් ග්‍රන්ථයේ කැප්ටන් හෙන්ඩර්සන් (Captain Henderson) ඉදිරිපත් කරන විස්තරයේ සංක්ෂිත සිංහල අනුවාදය පහතින් ඉදිරිපත් කරමු. කෙසේ නමුත් එයට පෙර පැවසිය යුත්තේ කවරෙකු සිහිවීමට කවුරුන් විසින් පිහිටුවා ඇති මුත්, මේ ස්මාරකය මේ වන විට පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වටිනා පුරාවස්තුවක් වන බවත්, එය විනාශ නොවී නිසි ආරක්ෂාව ලබා දෙමින් රැක ගැනීම සියලු ශ්‍රි ලාංකිකයන්ගේ වගකීමක් වන බවත්ය.

"...ඉහල මාලයට පිටතින් වූ පඩි පේලියක් මගින් ඇතුලු විය හැකි ගබඩාවක් අසලට පැමිණියෙමු. කැරලිකරුවන් එම ගොඩනැගිල්ල සහ අවට කැලෑව තුල සිටින බව වැටහිණි. ...වහාම වෙඩි හුවමාරුව දෙපසින්ම ඇරඹුනි. කැරලිකරුවන් අපට තැබූ උණ්ඩ  අප අසලින්ම ගොස් අපගේ හිස් වලට උඩින් තිබූ ගස් වලට වැදීනි....මා විගසින් පඩිපෙල දිගේ උඩට දිව ගියෙමි. ඒ සමගම මැලේ සොල්දාදුවන් කිහිප දෙනෙකුම දොර කඩා කාමරයට ඇතුලුවිනි. වෙඩි තැබීම් සමගම බයිනෙත්තු මගින් කාමරයේ මැද වූ පල්ලැක්කියට (Palanquin) වේගයෙන් අනින ලදි. අසලට ගිය විට මා හට දැක ගැනීමට හැකි වූවේ ඒ තුල සැඟවුන මිනිසා මිය ගොස් ඇති බවය. මා සිතන ලෙසට මැලේවරුන් සිතුවේ ඔවුන් රාජ ප්‍රතිරූපකයා මරා දැමූ බවය. නමුත් ඔවුන්ට හමුවි තිබුනේ ඔහුගේ පල්ලැක්කිය පමණි. එය ඔවුන් විසින් වහාම කෑලි සියයකට පමණ කඩා දැමුවේය. අප කැරලිකරුවන් විසින් අල්වාගෙන සිටි දරුණු ලෙස සලකා තිබූ එක් යුරෝපියානුවෙකු (ඔහු ඒ වන විට වතු ඕවර්සියර් වරයෙකු ලෙස සේවය කල අස් වූ සොල්දාදුවෙක්ය ) සොයාගෙන ඔහුව නිදහස් කලෙමු. රාජ ප්‍රතිරූපකයා වාරියපොල ගබඩාවේ සිට පැනගොස් තිබූ අතර පසුව ඔහුව සැතපුම් කිහිපයක් එපිටින් වූ  ඇල්කඩුවේදී අල්වාගෙන මහනුවරදි මරණ දඬුවම නියම කරණ ලදී. නමුත් එය පසුව කසපහර 100 කට සහ ජිවිතාන්තය දක්වා පිටුවහල් කිරීමකට වෙනස් විය...."

* මෙහි සඳහන් වාරියපොල යනු අදද වාරියපොල වත්ත ලෙස හැඳින්වෙන මාතලේ නගරයට දකුණින් එවකට තිබූ කෝපි වතු යායකි. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වාරියපොල පෙදෙස නොවේ.

*ඇල්කඩුවේදි ගුහාවක් තුල සැගවී සිටිද්දි මැලේ සොල්දාදුවන් පිරිසක් විසින් පසුව අල්වාගත් රාජ ප්‍රතිරූපකයා වනුයේ ගොන්ගල්ලේගොඩ බණ්ඩාය.

මූලාශ්‍ර
  • Letters on Ceylon 1846-50, The Administration of viscount Torrington And The 'Rebellion' of 1848, Edited by K.M. De Silva, 1965
  • List of Inscriptions on Tombstones And Monuments in Ceylon of Historical or Local Interest with an obituary of persons uncommemorated by, J. Penry Lewis, C.M.G., 1913.



Thursday, March 23, 2017

යාපහු නුවර විස්තරය 1 - ගල් වඩුවන් 20,000 ක් සහ මූලාචාරීන් 100 ක් රැස් කොට කරවූ නුවර

"මෙසේ ඒ  පරාක්‍රමබාහු රජතුමාගෙන් අණ ලත් මහ අධිකාරම් තෙමේ ඈපා මාපා ඇමතියන් සමග ගල් වඩුවන් විසිදාහක් හා මූලාචාරීන් සියයක් ද සංගිලියන් දෙසිය පණසක් හා තුන් දහසක් සිත්තරුන්ද ගල් අදනාවුන් සාර දහසක් හා තුන් රාජ්‍යයෙන් අවශෙෂ සෙනග ද රැස් කොට ගෙන අනුරාධපුරයෙන් අට ගව්වක් ගිය තැන පිහිටි සුන්දරගිරි නමැති පර්වතයෙහි යාපා නමින් නුවරක් කරවන්න පටන් ගත්තේය."

පුෂ්පදේව නම් වූ තෙරුන් විසින් ක්‍රි.ව. 1344 ට ආසන්න ඊට පසු කාලයක කරවූ මුල් ග්‍රන්ථයට, 16 වන සියවසේ අග භාගයේ පමණ වෙනත් ලේඛකයෙකු හෝ කිහිප දෙනෙකු නැවත එකතු කල කොටස් වලින්ද සමන්විත කුරුණෑගල විස්තරය නම් වූ පැරණි ග්‍රන්ථයක ඇතැම් පිටපත් වල හමුවන යාපහු නුවර විස්තරය නොහොත් යාපා නුවර විස්තරය නම් වූ කොටසට අනුව යාපහු නුවර කර්මාන්ත පරාක්‍රමබාහු නම් වූ රජ කෙනෙකු කරවන්නට යෙදුනේ ඒ අයුරිනි.

එම යාපහු නුවර විස්තරයට අනුව තෙළෙස් වෙනි ශත වර්ෂයේ දී කළිඟු රටින් ලක්දිව පැමිණි මාඝ නම් වූ කෲර රජුගේ පීඩා නිසා අනුරාධපුරය අතහැර ගිය රජ දරුවන්ගෙන් කෙනෙකු වන පරාක්‍රමබාහු නැමැති රජු එම නුවර කරවූ බව පැවසෙතත් වඩා විශ්වාසනීය සහ පැරණි මූලාශ්‍රයක් වන මහාවංශයට අනුව එය එලෙසම පිලිගත හැකිද යන්න ගැටළුවකි. ඒ පිළිබඳ විමසීම පසුවට කල් තබා  වර්තමානයේ යාපහුව රාජධානියේ ශේෂව ඇති නටබුන් කෙතරම් දුරට මෙම යාපහු නුවර විස්තරයේ සඳහන් වන කරුණු වලට අදාලද යන්න සොයා බලමු.

නුවර නිර්මාණයට පැමිණි එම පිරිස පිළිබඳ වැඩිදුරටත් විස්තර කරන යාපහු නුවර විස්තරය "....ඉන් පෙළක් ගල් කනු කපති පෙළක් ගල් අදිති පෙළක් ගල් පේකඩ නෙලති. පෙළක් ඇත් රූප නෙලති පෙළක් සිංහ රූප නෙලති පෙළක් ව්‍යාඝ්‍ර රූප නෙලති පෙලක් මනුෂ්‍ය රූප නෙලති පෙළක් හංස රූප නෙලති පෙළක් පක්ෂි රූප නෙලති. පෙළක් දේව රූප නෙලති පෙළක් නාග රූප නෙලති පෙළක් කෝලක්කාර රූප නෙලති පෙළක් බහිරව රූප නෙලති පෙළක් ගල් දොර නෙලති පෙළක් ගල් උළුවහු හා ගල් පඩි නෙලති...."

ගල් පේකඩ, ගල් කනු, ඇත් රූප, සිංහ රූප, මනුෂ්‍ය රූප, නාග රූප, කෝලක්කාර රූප, බහිරව රූප, ගල් උළුවහු හා ගල් පඩි
නුවර නිර්මාණයේදි ඉදිකල ගොඩනැගිලි පිළිබඳව විස්තර කරමින් "....මෙසේ හස්ත කර්මාන්තයන්ගෙන් නියුක්ත වූවාහු අප්‍රමාදව නව මහල් මාලිගා සතරක් හා උඩු මහල් නවයක්ද බිම් මහල් නවයක් හා ඒ අවට කුළු ගෙවල් පන්සියයක් ද අසූ රියන් මහ ගබඩාවක් හා සත් රියන් ලෝකඩ පවුරක්ද විහාර දේවාල බෝ මළු දළදා මන්දිර දාගැබ් ආදිය සහ රන් තොරන් රිදී තොරන් ධජ පතාක පූර්ණ ඝටාදිය ද සාදා හස්ත කර්මාන්ත හා විත්ත්‍ර කර්මාන්තයන්ගෙන්ද වැඩ නිමාවා ලූ සේක."

ඉහත කොටස් උපුටා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයට අයත් පුස්කොළ පිටපතකිනි. කුරුණෑගල විස්තරය ඇතැම් පිටපත් වල එන යාපා නුවර විස්තරයන්ට අනුව ඒ පරක්කන්බාහු රජු පවසා ඇත්තේ " මේ නුවර ගල්වලින් වැඩ නිම කරව.." කියාය. එසේම එම නුවර උදය කාලයේ එක් පාටකට පෙනෙන බවත් සවස් කාලයේ වෙනත් පාටකට පෙනෙන බවත් එහි ගල් වැඩ විනා සෙසු වැඩක් නැති බවත් ඒවායේ වැඩිදුරටත් සඳහන් වේ. බොහෝ විට 16 ශතවර්ෂයේ පමණ රචිත මෙම යාපා නුවර විස්තරයන් කෙතරම් දුරට සත්‍යයද යන්න යාපහුවේ ඉතිරිව ඇති නටබුන් දෙස් දෙයි. ඉහත විවිධ පාට ගැන කියන සඳහනද අතිශයෝක්තියක් නොවන බව වර්තමානයේ පවා ඇතැම් ගල් කැටයම් වල දක්නට ලැබෙන  රක්ත වර්ණාලේප ශේෂයන් මගින් පැහැදිලි වේ.

මාලිගා, කුළු ගෙවල්,  දළදා මන්දිර, දාගැබ්, පවුරු, බෝ මළු
මූලාශ්‍ර
  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • අසිරිමත් යාපහුව, මහාචාර්ය සෙනරත් දිසානායක, 2011

Monday, March 13, 2017

සල්ලි මවන කුවේර,දිසා පාලක වෙසමුණි, යකුන්ට අධිපති වෛශ්‍රවණ සහ මහායාන ජම්බාල


බෞද්ධ මෙන්ම හින්දු සාහිත්‍යයේද දැක්වෙන ආකාරයට කුවේර හෙවත් වෛශ්‍රවණ හෙවත් වෙස්සවන යනු උතුරු දිශාවට අධිපති  දික්පාල නොහොත් ලෝකපාල දෙවියාය. ඔහු යක්ෂ සමූහයාට අධිපති වන අතර වස්තුවට අධිපති දෙවියා මෙන්ම එහි ආරක්ෂකයාද වේ. හින්දු දේව කතා වලට අනුව කුබේර හෙවත් කුවේර සිය යක්ෂ පිරිවර සමග හිමාලයේ කෛලාශකූටයට ආසන්න ආලකපුරය සිය වාසභවන කරගනිමින් වැඩ වෙසේ.

මහායාන බෞද්ධ ඇදහීම් වලට අනුව ජම්බාල යනු ධනයට අධිපති දෙවියාය. ඔහුව වන්දනා කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා හට වස්තුව ලබා ගත හැක. ජම්බාල ධ්‍යානි බුදුවරයෙකු වූ රත්න සම්භවගෙන් ප්‍රභවය වී ඇත. නමුත් අක්ෂෝභය ලබ්දිකයන්ගේ පිලිගැනීම වනුවේ ජම්බාලගේ ප්‍රභවය වෙනත් ධ්‍යානි බුදුවරයෙකු වූ අක්ෂෝභයගෙන් වූ බවය. ජම්බාලගේ ශක්ති හෙවත් බිසව වනුයේ වසුධාරය. සාධනමාලාව නම් ග්‍රන්ථයේ දැක්වෙනුයේ ජම්බාල හට අක්ෂෝභයගෙන් මෙන්ම රත්න සම්භවගෙන්ද ප්‍රභවය විය හැකි බවය. අක්ෂෝභයගෙන් ප්‍රභවය වූ විට ඔහුට හිස් තුනක් සහ අත් සයක් ඇති අතර සිය මහේසිකාව සමග පෙනී සිටි. රත්න සම්භවගෙන් පහල වූ විට දකුණු අතින් මුගටියෙකු සහ වමතින් ජම්බල ගෙඩියක් දරා සිටී. ඔහුගේ ශරීර වර්ණය කහ පාට වේ.
මහායාන සංස්කෘත ග්‍රන්ථයක් වන මහාමයුරි හි කූවේර හඳුන්වා ඇත්තේ ධනේෂ්වර ලෙසය. එහි දැක්වෙන්නේ ඔහු සිංහලයන්ගේ විශ්වාසය අනුව ධනයට අදිපති දෙවියා වන බවය. එහිම සඳහන් වන පරිදි කලසෝදර (කලයක් වැනි උදරයක් ඇති) යනු සිංහල ද්වීපයේ අදහන යක්ෂයන්ට අධිපති දෙවියාය. කලසෝදර යනුද කුවේර විය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. කෙසේ වුවද පූර්වයේ පටන් කුවේර ඇදහීම මෙරට තිබූ බවට සාධක ඇත. මහාවංශයට අනුවද වෙස්සවන හට පුද කල නුග වෘක්ෂයක් පණ්ඩුකාභය රජ කල අනුරාධපුරයේ බටහිර දොරටුව අසල තිබී ඇත. අනුරාධපුරයේ දක්ෂිණ දාගැබේ ආයකයේද ඔහුගේ රූපයක් ඇත. අද පවා ජනවහරේ වෙසමුණි රජු ලෙස එම මතකයන් රැඳි පවතී.
මීට පෙරද අප සාකච්චා කල නාලන්ද ගෙඩිගේ එක් පනේලයක කුවේරගේ යැයි H.C.P. බෙල් විසින් මුල් වරට හඳුනාගත් ප්‍රතිමාවක් ඇත. එම පිළිමයේ දකුණු අතින් වරද මුද්‍රාව දැක්වෙන අතර වම් අතින් පසුම්බියක් දරා සිටී. පපුව සහ බඩ හරහා යන උපවිතක් ඇති අතර අත්පටි සහ මාල පැළැඳ සිටි. හිසට ඉහලින් ඡත්‍රයක් ඇති අතර දෙපසින් අහසින් ගමන් කරන විද්‍යාදරයන්ගේ රූප දක්නට ඇත. පල්ලව සම්ප්‍රදායේ ලක්ෂණ මෙම පිළිමයේ මුහුණේ සහ පා වල දක්වෙන බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.  වෙනත් රටවලින් ලැබී ඇති ජම්බාල ප්‍රතිමා වල වමතින් මුගටියා වෙනුවට පසුම්බියක් හෝ මුගටියා සහ පසුම්බිය යන දෙකම දක්නට ඇති බව පවසන ඒ මහතා ඒ අනුව මේ පිළිමය ජම්බාල හෙවත් කුවේරගේ ප්‍රතිමාවක් ලෙස හඳුනාගනී.

මූලාශ්‍ර
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • History of Ceylon, Volume 1, Part 1, 1959
  • Pre-Buddhist Religious Beliefs in Ceylon, S. Paranavitana, Journal of Royal Asiatic Society (Ceylon Branch), Vol. 31, Part 82. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
ආශ්‍රිත පෙර ලිපි

Friday, March 10, 2017

නීලපට දර්ශණය, රති පූජාව, තන්ත්‍රයානය සහ නාලන්ද ගෙඩිගේ

පුද්ගලයන් තිදෙනෙකු එකිනෙකා සමග මෛථුනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයම
නීලපට දර්ශණය
කුමාරදාස රජු මෙරට පාලනය කරන කාලයෙහි දඹදිව දක්ෂිණ මධුරායෙහි විසූ ශ්‍රි හර්ෂ නම් රජ කෙනෙකුන් කල, සම්මිත්තිය නිකාය වාසී වූ භික්ෂුවක් රාත්‍රි කාලයෙහි නිල් වස්ත්‍රයක් පෙරව වෛශ්‍යා වාසයකට ගොස් එහි ලැග, පහන් වූ යාමයේ නැවත විහාරයට යන කල ඔහුගේ ශිෂ්‍යයෝ එය දැක " මේ වේශය යහපත්දැයි?" විචාල බවත්, එවිට තමා ගත් වේශය බොහෝ දෙනා දුටු හෙයින් එය වර්ණනා කර එහි අනුහස් පැවසූ බවත්, ඔහුගේ වචන පිලිගත් අනෙකුත් භික්ෂුන්ද නිල් රෙදි පෙරවි බැවින් එය නීලපට දර්ශණය ලෙස ප්‍රචලිත වූ බවත් නිකාය සංග්‍රහයේ සඳහන් වේ. ඔවුන් නීලපට දර්ශණ නම් වූ ග්‍රන්ථයක් කල බවත් වෛශ්‍යාංගනාවන් ඇසුර, සුරා පානය, සහ කාමදේවයා ඇදහීම තුන් රත්නය ලෙස සැලකු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුදු ශ්‍රි හර්ෂ රජු මේ බව සැලවී, මේ වනාහී ධර්මයක් නොව ශාසන භේදයක් බව වටහා ගෙන ඔවුන් ගෙන්වා ඔවුන්ගේ පොත් පත්ද සමගින් ප්‍රාසාදයකට ඇතුළු කර අග්නි පූජා කල බව නිකාය සංග්‍රහය පවසයි. කෙසේ නමුත් ඉන්පසු ඉතිරි වූ අනුගාමිකයන් මුල් නොසිදුනු ව්‍යාධියක් මෙන් පැතිර ගිය බවත් ලක්දිව පවා පැතිරුණු බවත් නිකාය සංග්‍රහය අවසානයේ සඳහන් කරයි. නීල සධන යනු තාන්ත්‍රික ඇදහීම් වලට ව්‍යවහාර වූ නමක් බවත් නීලපට දර්ශණය ලෙස වංශ කතාව දක්වන්නේ එම ඇදහිල්ල විය හැකි බවත් සෙනරත් පරණවිතාන, නන්දසේන මුදියන්සේ වැනි වියතුන්ගේ අදහසයි.
නාලන්ද ගෙඩිගේ
තන්ත්‍රයානය 
හින්දු තාන්ත්‍රික ඇදහීම් මහායාන බෞද්ධ දර්ශණය තුලට අවශෝෂණය වීමත් සමග නොයෙකුත් හින්දු දෙවියන් සහ දේවතාවියන්ට අනුකූල බෞද්ධ දෙවිවරු ඇතිවිය. ඔවුන් ධ්‍යානී බුදුවරු ලෙස වර්ග කෙරුණි. මෙම ඇදහීම් තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් ලෙස පොදුවේ හැඳින්වේ. නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහයේ සඳහන් වන විස්තරය පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය මොරටුවේ සාසනරතන හිමියන් 'සම්මත' නම් ආචාර්යයන් විසින් පිහිටුවන ලද බැවින් 'සම්මිතිය' නම් වූ නිකාය, නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහය කතුවරයා විසින් හඳුන්වා ඇති බව පෙන්වා දෙයි. නීලපට දර්ශණය යනුවෙන් හැඳින්වෙන ග්‍රන්ථය ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථයක් විය හැකි බවත් නිකාය සංග්‍රහය කතුවරයා දක්වන සිද්ධිය කොතරම් දුරට සත්‍යක්ද යන්න සෙවිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි. එම ග්‍රන්ථයේ එන ලෙස නිකාය සංග්‍රහය දක්වන 'වෛශ්‍යාරත්නං සුරාරත්නං...' යන පද්‍යයෙන් දැක්වෙන්නේ එම වචන වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන දේ නොව වෙනත් ගුප්ත දාර්ශණික ඉගැන්වීම් විය හැකි බවය උන්වහන්සේගේ අදහස.
හිටි බුදු පිළිමයක්- නාලන්ද ගෙඩිගේ 
නාලන්ද ගෙඩිගේ
මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න ජලාශය ආසන්නයේ තිබෙන නාලන්ද ගෙඩිගේ ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන පල්ලව සම්ප්‍රදායට අයත් ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත පිළිම ගෘහයේ පාදමේ ඇති එක් සුවිශේෂ කැටයමක් වැදගත් වන්නේ මෙරට පැරණි බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිර්මාණය වූ අනිකුත් ස්ථාන වල ඇති කැටයම් සමග සැසදීමේදි මෙහි විෂය අසාමාන්‍ය එකක් වීම නිසාය. පුද්ගලයන් තිදෙනෙකු අතර සිදුවන ශෘංගාරාත්මක මෛථුන සම්බන්ධතාවයක් එයට වස්තු විෂය වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසන්නේ ශෛලිය අතින් නාලන්ද ගෙඩිගෙය 8 වන ශත වර්ෂයට පමණ අයත් විය හැකි බවත්, එයින් එම කාලයේ පැවති තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් වල නරකම ආකෘතියක්(Worst form) පිළිබිඹු වන බවත්ය. අභයගිරි පරිශ්‍රයෙන් සොයාගත් ධාරණී ගල් වලද සඳහන් වන රති පූජාවන් ඉහත ගල් කැටයමින් නිරූපණය වනවා විය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ මෙවන් තවත් කැටයමක් පිළිබඳ 1910-11 වර්ෂ සඳහා වූ H.C,P. බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් වන මුත් එය මේ වන විට සොයාගැනිමට නොහැක. මේ නිසා මේ ස්ථානය තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් සිදු කල ස්ථානයක් ලෙස හඳුනාගත හැක. මෙයට ආසන්නව ස්ථූපයක් දක්නට ඇති අතර විහාර ගෙය තුල හිටි බුදු පිළිම සහ වෙනත් මූර්ති කිහිපයක අවශේෂද දක්නට ඇත. ස්ථානය පුරා විවිධ ආකාරයේ ශෛලමය නිර්මාණ වල නටබුන් විසිරි පවති.
නාලන්ද ගෙඩිගේ

මූලාශ්‍ර
  • ලක්දිව මහායාන අදහස්, මහාචාර්ය පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිර, 1952
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • History of Ceylon, Voume 1, Part 1, 1959
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • ලංකාවේ මහායානවාදය, සෙනරත් පරණවිතාන, පුරාණ යුගය, ශාස්ත්‍රිය ලිපි, පළවෙනි කාණ්ඩය, 1962