Friday, June 21, 2024

දඹකොල පටුනේ සිට ශ්‍රී මහා බෝධිය වැඩමවූ "බෝධි මාර්ගයේ" හමුවන පැරණි ගල් පාලම්


අනුරාධපුර පූජනීය නගරයේ නටබුන් ස්ථාන පිහිටි කලාපයට උතුරින් එකිනෙකට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි පැරණි ගල් පාලම් දෙකක නටබුන් දැකගත හැක. හල්පන් ඇල/ හාල්පාණු ඇල/ හාල්පාන් ඇල ලෙසින් වර්තමාන ව්‍යවහාරයේ හැඳින්වෙන ඇලක් හරහා මින් එක පාලමක් තිබූ බවට සලකුණු ඉතිරි වී ඇති අතර, ප්‍රමාණයෙන් විශාල අනික් පාලම මල්වතු ඔය හෙවත් පැරණි කදම්භ නදිය හරහා ඉදිකර තිබී ඇත. මෙම පැරණි ගල් පාලම් දෙක එකල ඉදිකර තිබුනේ අනුරාධපුර අගනගරයේ සිට උතුරේ ජම්බුකෝලපට්ඨන වරාය තෙක් තිබූ ප්‍රධාන මාර්ගයේ බවට සාධක හමුවී ඇත. මේ ලිපිය  එම ගල් පාලම් දෙකේ සහ මෙකල ව්‍යවහාරය අනුව නම් ඒ මතින් දිව ගිය Northern Highway එකේ මුල් අදියර පිළිබඳ කතාවයි.
 
සිය මාමාවරුන් සමග වූ යුද්ධය දිනූ පණ්ඩුකාභය කුමරු අනුරාධ නම් වූ මුත්තණුවන් විසූ තැනට පැමිණියේය. මුත්තණුවන් ඔහු විසූ රජගෙය කුමරුට දී හෙතෙම වෙනත් තැනක නිවසක් තනාගෙන එහි වාසය සඳහා ගියේය. පණ්ඩුකාභය කුමරු නිමිති දන්නවුන් සහ වාස්තු විද්‍යාඥයන්ගෙන් විමසා එම ගමෙහි උතුම් නගරයක් ඉදිකළේය. අනුරාධවරුනට වාසස්ථාන වූ හෙයින්ද , අනුර නැකතින් පිහිටවූ හෙයින්ද එම නගරය අනුරාධපුර නම් විය. පණ්ඩුකාභය කුමරා අනුරාධපුර නම් වූ නගරය නිර්මාණය කිරීම පිළිබඳව මහාවංශය දක්වන එම විස්තරයේදී පෙර ඔහුට උපකාරකර යක්ෂ යෝනියෙහි උපන් දාසිය නගරයෙහි 'දකුණු දොරටුවේ' වාසය කරවූ බව පවසයි. එසේම හෙතෙම 'ද්වාර ගම් සතරක්' කරවූ බවද නගරයෙහි 'බටහිර දොරටුව' පෙදෙසෙහි මහා සුසානය, වධකස්ථානය, පච්ඡිමරාජිනි දෙවොල, වෙස්සවණ නුගරුක, ව්‍යාධදේව තල්ගස, යෝණ සභාග වස්තුව සහ මහේජඝරය පිහිටවූ බවද එහි තව දුරටත් සඳහන් වේ.  මේ අනුව නගරයේ දකුණු සහ බටහිර දෙසින් දොරටු පිහිටි බව පැවසෙන හෙයින් සහ ද්වාර ගම් සතරක් පිළිබඳව සඳහන් වන හෙයින් බොහෝදුරට එලෙසින්ම උතුරු සහ නැගෙනහිර දිශාවලද දොරටු තිබෙන්නට ඇති බවත්, එලෙසම නගරය වටා ප්‍රාකාරයක්ද තිබෙන්නට ඇති බවටත් අනුමාණ කල හැකිය.  

පණ්ඩුකාභය යුගයෙන් සියවස් කිහිපයකට පසුව මහාවංශයේ ලියැවෙන මෙම විස්තරය මගින් ඇතැම් විට මහානාම හිමියන් විසින් මහාවංශය ලියූ එම කාලයේ  අනුරාධපුර නගරයේ තිබූ භූමි දර්ශය පණ්ඩුකාභය යුගයට අදාල කෙරුවා වුවද වියහැකි මුත්, වෙනත් ඓතිහාසික වාර්තා සහ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් හෙලිවී ඇති කරුණු අනුව පණ්ඩුකාභය යුගයෙන් පසුව හෝ අනුරාධපුර නගරය නිර්මාණය කර තිබූ ආකාරය පිළිබඳව එම විස්තරයේ සඳහන් ඇතැම් තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සැකයක් නොමැත.

මහාවංශයේම පසු අවස්ථාවක වසභ රජු විසින් අතුළත නොපෙනෙන ලෙස නගර ප්‍රාකාරය  උස් කරවූ බව සහ සිව් දොරටුවේ ගෝපුර ඉදි කල බව පැවසේ. පොදු වර්ෂ පූර්ව හත්වන සියවසේ පමණ ලියවුන ලෙස සැලකෙන මානසර නම් වූ භාරතීය වාස්තු විද්‍යාත්මක ග්‍රන්ථයක සඳහන් වන්නේ නගරයක උතුරු, දකුණු , නැගෙනහිර සහ බටහිර යන සිව් කොනේ නගරද්වාර තිබිය යුතු බව සහ ඒවා නගරයෙන් පිටත පිහිටි ද්වාර ගම් වලට සම්බන්ධව තිබිය යුතු බවය. 

පුරාවිද්‍යාඥයින් විසින් H.C.P.  බෙල්ගේ යුගයේ පටන්ම සිදුකල ගවේෂණ සහ කැනීම් මගින් පුරාණ අනුරාධපුර නගරයේ ඇතුළු නුවර සීමාවන්, එහි තිබූ මෙම නගර දොරටු මෙන්ම එම දොරටු අතර නගරය තුල තිබූ සහ එයින් පිටත වෙනත් ප්‍රදේශ දක්වා, ප්‍රධාන වශයෙන් වෙරළබඩ පිහිටි වරායන් දක්වා විහිදී ගිය මාර්ග පද්ධතිය පිළිබඳව බොහෝ කරුණු සොයාගෙන ඇත.

ඒ අනුව 1960 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුරාධපුර ඇතුළු නුවර දකුණු දොරටුවේ සිදු කල කැනීම් මගින් පැරණි මාර්ගයක සලකුණු හඳුනාගෙන ඇත. එම මාර්ගය අඩි 57 පලලට ඉදිකර තිබී ඇති අතර එය නගර ප්‍රාකාරයට සෘජුකෝණාශ්‍රාකාරව ඉදිකර තිබී ඇත. එසේම දොරටුවේ මධ්‍යයට වන්නට එය දෙකට බෙදෙන ආකාරයට ඉදිකර තිබූ මුර කුටියක් විය හැකි ගොඩනැගිල්ලක ශිලා පාදම සහ එහි ගඩොල් ඉදිකිරීමෙහි අවශේෂද මෙහිදි හඳුනාගෙන ඇත.  එය අඩි 24 X 16 ප්‍රමාණයේ ඉදිකිරීමකි. 

මෙම ගූගල් සිතියමේ පැරණි අනුරාධපුර ඇතුළු නුවර (Citadel) සීමාවන් පැහැදිලිව හඳුනාගත හැක. මෙහි සුදු පාට ඉරි වලින් සලකුණු කර ඇත්තේ පෙර කල දිය අගල තිබූ ප්‍රදේශයයි. එම දිය අගලේ බොහෝ කොටස් මේ වන විට කුඹුරු බවට පත්වී ඇත. ඇතුළු නුවර සීමාව තුල වූ භූමි ප්‍රදේශ වලින් බොහොමයක් වර්තමානයේ පුද්ගලික දේපල බවට පත්වී පොදු ජනයාගේ වාසස්ථාන බවට පත්වී ඇති මුත්, විජයබාහු මාළිගය ලෙස හැඳින්වෙන පොළොන්නරු යුගයේ ඉදි කල රජ මාළිගයේ කොටසක්, දළදා මාළිගාව, මහාපාලි දාන ශාලව සහ එහි බත් ඔරුව වැනි පැරණි ගොඩනැගිලි කිහිපයක නටබුන් ආරක්ෂිත ස්ථාන ලෙසින් වෙන් කර ඇත. (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

මහා බෝධිය සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කිරීමේදී දේවානම්පියතිස්ස රජු නගරයේ උතුරු දොරටුව සිට දඹකොළ පටුන (ජම්බුකොලං මහාපථං) දක්වා මග සරසවා මහමග රිදීපටක පැහැ ගත් වැලි විසිරවූ බව මහාවංශයේ සඳහන් වේ. තවද එහිම මහාබෝධිය උතුරු දොරටුවෙන් නගරයට වඩම්මවා, නගරය මැදින් රැගෙන විත් දකුණු දොරටුවෙන් නික්ම...ලෙසින් සඳහන් වන හෙයින් දඹකොළ පටුනේ සිට නගරයට මාර්ගයක් වූ බවත්, නගරයේ උතුරු සහ දකුණු දිසා වල දොරටු වූ බවත්, එම දොරටු දෙක අතරද මාර්ගයක් තිබූ බවත් පැහැදිලිවේ. සිංහල මහාබෝධි වංසයේ මෙය විස්තර වන්නේ නුවර උතුරු දොරටුවේ සිට දඹුලු තොට දක්වා මඟ ලෙසිනි. එසේම නුවරට උතුරු දොරින්  බෝධීන් වහන්සේ ඇතුළට ගෙනවුත්,.... නුවර මධ්‍යයෙන් මඟුල් මහා වීථියෙන් ගෙන ඇර දකුණු දොරින් පිටත් කොට මහමෙවුනා උයනට පමුණුවා ලෙසිනි. ඒ අනුවඇතුළු නුවර උතුරු සහ දකුණු දොරටු අතර වූ වීදීය මගුල් මහා වීථිය ලෙස හැඳින්වූ බව පෙනේ.

මල්වතු ඔය සහ ඒ හරහා වැටී ඇති පැරණි ගල් පාලමේ කොටසක්

ඔහු විසින් හඳුනාගත් සේල චේතියේ සිට මල්වතු ඔය දක්වා වූ පුරාණ මාර්ගයක් පිළිබඳව H.C.P. බෙල් 1891 වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ කරුණු ඉදිරිපත් කරයි. ඔහුට අනුව නව රෝහල සඳහා වෙන් කල භූමිය පසුපසින් ගොස් එම පුරාණ මාර්ගය පොල් වත්තක් තුලට ඇතුළු වේ.ඉන්පසු ගල් ඔරුව සහ වෙනත් නටබුන් අද්දරින් බටහිරට යොමුව කැලෑව තුලින් බසවක්කුලම ඔයෙන් දැනට නටබුන් ඉතිරි වී ඇති දියමංකඩක් (Causeway) ඔස්සේ එතෙර වී කුට්ටම් පොකුණට මදක් බටහිරෙන් එම මාර්ගය පිටත වට රවුම් මාවතට සම්බන්ධ වේ. ඉන්පසු විහාරාරාම දෙක වෙන් කරමින්  ලඳු කැලෑව තුලින් ගොස් විශාල රම්බා පොකුණ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් වෙත ලඟා වේ. ඉන්පසු ඊසාන සහ උතුරු දෙසට යොමුවෙමින් "වලව්ව" ලෙසින් හැඳිවෙන ස්ථානය පසු කරමින් මාර්ගය, අතහැරදමා ඇති එලපත්වැව හෝ එහි කුඹුරු වලට ලඟාවේ. ඉන්පසු තව දුරටත් වනාන්තර තුලට ඇතුළු වී "යෝධ ඇල" හරහා ඇති පුරාණ ගල් පාලම හමුවන තෙක් වනාන්තරය තුලින් ගමන් කරයි. එම ගල් පාලමින් එගොඩ වූ පසු මල්වතු ඔය හරහා ඉදිකර තිබූ විශාල ගල් පාලම දක්වා දුර සැතපුම් භාගයක් පමණ වේ.

මල්වතු ඔය හරහා ඉදිකර තිබූ පුරාණ ගල් පාලමේ නටබුන් දැක්වෙන වීඩියෝව >>

මෙම විස්තරයේ සඳහන් භූගෝලිය ස්ථාන සහ ලක්ෂණ බොහෝමයක් මේ වන විට වෙනස් වී ඇතත් ඒ අතරින් ස්ථාන කිහිපයක් අදටද පැහැදිලිව හඳුනාගත හැක. කුට්ටම් පොකුණ සහ මල්වතු ඔය හරහා වූ විශාල ගල් පාලම මෙන්ම එයට සැතපුම් භාගයක් පමණ මෙපිටින් වූ බෙල් සඳහන් කරන යෝධ ඇල හරහා වූ පුරාණ ගල් පාලම කිසිදු සැකයකින් තොරව හඳුනාගත හැක. බෙල් යෝධ ඇල ලෙසින් හඳුන්වන පුරාණ ගල් පාලම සහිත ඇල මාර්ගය අද වන විට හැඳින්වෙන්නේ යෝධ ඇල ලෙසින් නොව හල්පන් ඇල/හාල්පන් ඇල/හාල්පාන් ඇල/හාල්පාණු ඇල ලෙසින්ය. 

බෙල් යෝධ ඇල හරහා වැටී තිබූ ගල් පාලම ලෙසින් හඳුන්වන වර්තමානයේ හල්පන් ඇල ලෙසින් හඳුන්වන ඇල හරහා වැටී ඇති ගල් පාලමේ වීඩියෝ දර්ශන >>



මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

එසේම බෙල් සඳහන් කරන ගල් ඔරුව සහ වෙනත් නටබුන් අනුරාධපුර ඇතුළු නුවර ලෙස හඳුනාගෙන ඇති කොටසේ ඇති මහාපාලි දාන ශාලාවේ ඇති ගල් ඔරුව සහ ඒ අවට ඇති මහාපාලි දාන ශාලාවේ සහ අනෙකුත් ඇතුළුනුවර ගොඩනැගිලි නටබුන් බව පැහැදිලිය. රුවන්වැලි සෑයෙන් නැගෙනහිරට වන්නට ඇති කුඩා දාගැබ අදටත් සේල චේතිය/ශිලා චේතිය නොහොත් කුජ්ජතිස්ස ස්තූපය ලෙසින් හඳුන්වන බැවින් පුරාණ මාර්ගය ආරම්භ වන ස්ථානය ලෙසින් බෙල් හඳුන්වන ස්ථානයද වැඩි අපහසුවකින් තොරව හඳුනාගත හැක. එවකට අතහැරදමා තිබූ එලපත්වැව අද සක්‍රිය වැවක් බවට නැවත පත්වී එයින් පෝෂණයවූ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයයි. කුට්ටම් පොකුණට උතුරින් කපාරාමූල විහාරයේ නටබුන් ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිලි සහ ඒ අසල තිබෙන පොකුණ මෙහි බෙල් විසින් විශාල රම්බා පොකුණ සහ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් ලෙස හඳුන්වන ස්ථාන විය යුතුය.

ඉහත රම්බා පොකුණ ලෙසින් බෙල් හඳුන්වන පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති පොකුණේ වීඩියෝ දර්ශන >>

 මෙලෙස හඳුනාගත් ස්ථාන සිතියමක සලකුණු කල විට පහත පරිදි වේ.

A - කුජ්ජතිස්ස ස්තූපය, B - මහාපාලි දානශාලාව සහ බත් ඔරුව (සුදු පාටින් සලකුණු කර ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුල් නුවර සීමාව වේ.), C - කුට්ටම් පොකුණ, D - කපාරාමූල විහාරයේ නටබුන්, F -  රම්බා පොකුණ ලෙස හඳුන්වන පොකුණ විය හැකි නටබුන් පොකුණ, G - ඇලපත් වැව, H - හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී ඇති ගල් පාලම,  I - මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම  


මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

ජය ගඟ, එයින් පෝෂණය වන අනුරාධපුර අගනගරයේ වැව් සහ නගරය තුල ජලවහන රටාව

දීර්ඝ ලෙස වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කල යුතු මාතෘකාවක් වුවද ජය ගඟ එසේ නැතහොත් කලා -තිසා යෝධ ඇල පද්ධතිය පිළිබඳව කෙටි හැඳින්විමක් නොමැතිව මෙම ලිපියට අදාල කරුණු නිරවුල්ව ඉදිරිපත් කිරීමට අපහසු බැවින් ඉතාමත්ම කෙටියෙන් වුවද ඒ පිළිබඳවද විස්තර ප්‍රථමයෙන් විමසා බැලිය යුතු වේ. 

හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

මාතලේ කඳු පන්තියේ උතුරු විහිදුමේ කඳු වලින් ඇරඹෙන දිය කඳුරු වලින් පෝෂණය වන දඹුළු ඔය සහ මිරිස්ගෝනියා ඔය (ඇරෑවුල සහ කළුන්දාව ඔය මගින් පෝෂණය වන කණ්ඩලම වැවේ ජලය එක් වන්නේ මිරිස්ගෝනියා ඔයට වේ.) එක් වීමෙන් ඇරඹෙන දුණුමඩල ඔයේ ජලය ලබන කලා වැව සහ මොරගොල්ල ඔය, හැවැන් ඇල්ල ඔය සහ රණව ඇල මගින් පෝෂණය වන බළලු වැව, එක් වැවක් ලෙසට එක්කිරීමෙන්  කලා ඔය නිම්නයේ ඉදි කල කලා - බළලු වැවට එකතු වන ජලය, එහි සිට පටන් ගන්නා යෝධ ඇලක් ඔස්සේ එකල අගනගරය වූ අනුරාධපුරයේ නාගරික වැව් පද්ධතියට එකතු කිරීම එක් අරමුණක් ලෙස සලකා පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් විසින් මෙම ජය ගඟ ලෙසින් හැඳින්වෙන යෝධ ඇල මාර්ග පද්ධතිය ඉදිකර ඇත. 

කලා වැවේ ජලය ගෙන එයින් නික්මෙන ජයගඟ හෙවත් යෝධ ඇල, කලා ඔය නිම්නයේ සිට මල්වතු ඔය නිම්නයට පිවිස කෙලින් දුර සැතපුම් 30 ක් වනමුත් වංගු ගසමින් සිය මාර්ගයේ පිහිටි ලොකු කුඩා වැව් රාශියකට ජලය සපයමින් සැතපුම් 54.5 පමණ දුරක් ගොස් අනුරාධපුර නගරයේ මල්වතු ඔයෙහි වම් ඉවුරේ පිහිටි තිසා වැවට ඇතුළු වේ. එයට පෙර කලා වැවේ සිට සැතපුම් 26 ක් පමණ ගිය විටදී එයින් නික්මෙන තවත් ශාඛා ඇලක් මගින් නාච්චාදූව වැවටද ජය ගඟ ජලය සපයයි. නාච්චාදූව වැව ඉදිකර ඇත්තේ රිටිගල කඳු පන්තියේ සිට ඇරඹෙන මල්වතු ඔය හරස් කරමිනි. නාච්චාදූව වැවේ සිට නික්මෙන තවත් යෝධ ඇලක් මගින් අනුරාධපුර නගරයෙන් නැගෙනහිර දෙසට වන්නට මල්වතු ඔයේ දකුණු ඉවුරේ පිහිටි නුවර වැවට ජලය සපයයි. 

(මෙහිදී යෝධ ඇල නැතහොත් ජයගඟ ලෙසින් මෙහි විස්තර වන්නේ පැරණි යෝධ ඇල විනා මහවැලි ව්‍යාපාරය විසින් එම පැරණි යෝධ ඇල ජල/පරිසර පද්ධතිය විනාශ කර දමා අළුතින් ඉදි කල වාරි ඇල ගැන නොවන බව මෙහිදී අවදාරනය කල යුතුවේ.)

සිතියමේ වම්පස පහලින් දම්පාටින් දැක්වෙන්නේ ඉහත විස්තර කල කලා වැව නිම්නයේ සිට ජලය ගෙන එන ජයගඟ මල්වතුඔය නිම්නයේ පිහිටි (සිතියමේ රතු පාටින් ලකුණු කර ඇත්තේ මල්වතු ඔයයි ) තිසා වැවට ඇතුළු වන ආකාරයයි. ඉන්පසු එයින් නික්මෙන අතිරික්ත ජලය  නිල්පාටින් දැක්වෙන ඇල මාර්ගය ඔස්සේ බසවක්කුලම හෙවත් අභය වැවට සිය දියවර මුදාහරී. සිතියමේ කොල පාටින් දැක්වෙන කුඹුරු මෙම වැව් වල ජලයෙන් පෝෂණය වන අතර එම කුඹුරු දැක්වෙන ප්‍රදේශයේ නිල් පාටින් සලකුණු කර ඇති ඇල මාර්ග ඔස්සේ නැවතත් එම අතිරික්ත ජලය දම්පාටින් දැක්වෙන ජයගඟේ දිගුව හෙවත් උතුරු ඇල මාර්ගය හෙවත් යෝධ ඇලට එක්වේ. සිතියමේ සුදු පාටින් ලකුණු කර ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවර (Citadel) ප්‍රදේශය වන අතර එහි රතු පාට කොටුවකින් ලකුණු කර ඇති ස්ථානයෙන් එනම් කුජ්ජතිස්ස ස්තූපය අසලින් ආරම්භ වන මෙම ලිපියේ විස්තර වන පැරණි උතුරු මාර්ගය කහ පාටින් පෙන්වා ඇත. A - හල්පන් ඇල ගල් පාලම, B - මල්වතු ඔය ගල් පාලම, F - එලපත් වැව, E - කුට්ටම් පොකුණ, D - මහාපාලි දානශාලව සහ බත් ඔරුව  (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන විස්තර උපයෝගී කරගනිමින් පිළියෙල කල මේ සමග දැක්වෙන සිතියමේ පෙන්වා ඇති පරිදි ජය ගඟේ ජලය ලබන තිසා වැවේ සිට බසවක්කුලම එනම් පුරාණ අභය වැවට ගෙන යන ජලය ඉන්පසු එම වැව් දෙකින් සහ බුලංකුලම වැවෙන් වගා කෙරෙන කුඹුරු පෝෂණය කර ඒවායින් පිටවන අතිරික්තය ලෙසින් එම කුඹුරු අතර විහිදී ඇති ලොකු කුඩා ඇල මාර්ග වලට එක් වේ. (පැරැන්නන් විසින් වෙල් පහු වතුර ලෙසින් හැඳින්වූවේ මෙසේ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයා එයින් නික්මෙන අතිරික්ත ජලයටය.) එම ඇල මාර්ග වලින් එකතු කර ගන්නා ජලය අවසානයේ උතුරු ඇළ මාර්ගය ලෙසින් හැඳින්වෙන අනුරාධපුර නගරයට උතුරින් පිහිටි මල්වතු ඔයේ වම් ඉවුර ඔස්සේ ගලා යන තවත් පැරණි යෝධ ඇලකට එකතුවේ. ඉන්පසු අනුරාධපුර නගරයෙන් වයඹ දෙසට (තන්තිරිමලේ දෙසට) ගමන් ගන්නා එම පැරණි යෝධ ඇලද පැරණි අඟලේ සිතියම් වල සැලකිය යුතු දුරක් යනතෙක් ලකුණු කර ඇති අතර එහි ගමනාන්තය දැනට සොයාගත නොහැකි බව බ්‍රොහියර් පවසයි. බෙල් විසින් ඉහත බසවක්කුලම ඇල ලෙසින් හඳුන්වා ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවරට මදක් උතුරින් කුට්ටම් පොකුණ ආසන්නයේදී ඉහත සිතියමේ කහපාටින් දැක්වෙන මාර්ගය හරහා යන ඇල මාර්ගය විය යුතුය. එහි ජලය පැරණි යෝධ ඇලට නැතහොත් වර්තමාන හල්පන් ඇලට එකතු වේ.

මෙම සිතියමේ හල්පන් ඇල ලා නිල්පාටින් දක්වා ඇති අතර තද නිල්පාටින් මල්වතු ඔය ලකුණු කර තිබේ. හල්පන් ඇල මල්වතු ඔයේ ඉහත A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේ ඉදිකර ඇති අමුණකින් ආරම්භ වන අතර ඒ මතින් වැටී තිබූ පැරණි ගල් පාලම සිතියමේ B ලෙසින් ලකුණු කර ඇත. C - මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල

හල්පන් ඇල (යෝධ ඇල) සහ එය හරහා වැටී තිබූ පැරණි ගල් පාලමේ නටබුන්

බෙල් විස්තර කරන ලෙසට මෙම පැරණි මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට යනවිට හමුවන පළමුවන ගල් පාලම වැටී ඇත්තේ යෝධ ඇල මත්තෙන්ය. පැරණි අඟලේ සිතියම් වලද යෝධ ඇල ලෙසින් හඳුන්වන එම ඇල සහ පැරණි මාවතේ කොටසක් පැහැදිලිව හඳුනාගත හැක. එම ගල් පාලමේ සිට මල්වතු ඔය හරහා වැටී තිබෙන අනික් විශාල ගල් පාලම වෙත බෙල් දක්වන දුරද සැතපුම් භාගයක් පමණ වේ. එහෙත් අද මෙම ගල් පාලම වැටී ඇති ඇල මාර්ගය හඳුන්වන්නේ හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල යන නම් වලිනි. පැරණි යෝධ ඇලේ මතකය ජන ව්‍යවහාරයෙන් වියකී ගොස් මෙම නව නාමය කිනම් කලක භාවිතයට පැමිණියේදැයි පැහැදිලි නැත. එහෙත් අද Google සිතියම් වල සහ භූමියේ හඳුනාගත හැකි හල්පන් ඇල, මල්වතු ඔයේ නගරයට දකුණින් පිහිටි ස්ථානයකදී අමුණක් බැඳ හරවා ගන්නා ජලය මෑත කාලීන වාරි ඇළක් මගින් පැරණි යෝධ ඇල කිසියම් කාලයකදී සම්බන්ධ කිරීමෙන් ඉදිකල එකක් බව පැහැදිලිය. ඉහත සිතියමේ A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේදී මල්වතු ඔය හරහා ඉදි කල කොන්ක්‍රීට් අමුණකින් බොහෝවිට කලින් මල්වතු ඔයට ජලය බැස ගිය ස්වභාවික ඇළ මාර්ගයකට (එම පැරණි ඇළ මාර්ගය ඉහත පැරණි අඟලේ සිතියමේ හඳුනාගත හැක) හරවා ගන්නා ජලය, ඇල මාර්ගයේ ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරවා, එයට උතුරින්ද ඉහත සිතියමේ දක්වා ඇති පරිදි ඒ වන විටත් පැවති ඇතැම් ස්වභාවික හෝ පෙර කල කුඹුරු අතර ජල වහනය උදෙසා ඉදි කල ඇල මාර්ගද උපයෝගි කරගනිමින්, බොහෝවිට ඒවා අළුතින් ඉදි කල වාරි ඇලවල් මගින් සම්බන්ධ කර, අවසානයේ පැරණි යෝධ ඇලේ ගමන් මාර්ගයටම යොමු කල බවක් දිස්වේ. මල්වතු ඔයේ වම් ඉවුරේ අනුරාධපුර නගරයට නැගෙනහිර දෙසින් පිහිටි කුඹුරු වලට අවශ්‍ය ජලය සැපයීම එහි අරමුණ බව පෙනේ. කෙසේ නමුත් පැරණි ගල් පාලමට මෙපිටින් ඉහත සිතියමේ දම්පාටින් සලකුණු කර ඇති පැරණි යෝධ ඇල මෙයින් බලපෑමක් වූ බවක් නොපෙනේ. හල්පන් ඇලේ ගල් පාලම අද තිබෙන්නේද එම යෝධ ඇල හරහා වන අතර එහි නම පමණක් හල්පන් ඇල ලෙසට වෙනස් වී ඇත. 

හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

වංශ කතාවට අනුව ශ්‍රි මහා බෝධිය රැගෙන ආ මාවත හෙයින් රෝලන්ඩ් සිල්වා මහතා බෝධි මාර්ගය ලෙසින් හඳුන්වන අනුරාධපුර උතුරු දොරටුවෙන් නික්මී හල්පන් ඇල (පැරණි යෝධ ඇල) සහ මල්වතු ඔය මතින් වූ ගල් පාලම් වලින් එතෙර වී ජම්බුකෝලපට්ඨනය හෙවත් දඹකොල පටුන දක්වා තිබූ පැරණි උතුරු මාර්ගය පිළිබඳව රෝලන්ඩ් සිල්වා මහතා මෙන්ම P. විදානපතිරණ මහත්මියද පර්යේෂණ සිදු කර ඇත. H.C.P. බෙල්ගේ කාලය වනවිටත් සලකුණු ඉතිරි වී තිබූ එම මාර්ගයේ සහ එයටම සම්බන්ධ වන අනුරාධපුර ඇතුළු නුවර හරහා උතුරු - දකුණු දිශා ඔස්සේ වැටී තිබූ මගුල් මහා වීථිය මෙන්ම එම වීථියට නගරයේ දකුණු ද්වාරය හරහා සම්බන්ධ වූ දකුණු දොරටුවෙන් නික්මී අනුරාධපුර නගරයේ දකුණු දිශාවට යොමු වූ මාර්ගයක කුජ්ජතිස්ස ස්තූපය (සේල චේතිය) දක්වා ඉතිරි වූ කොටසක් පිළිබඳවද බෙල් විස්තර ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ ඉහත පර්යේෂකයන් විසින් හඳුනාගත් මාර්ගය ඔවුන් විසින් සිතියම් වල ලකුණු කර ඇති අතර මෙම ලිපියේ කරුණු එම විස්තර අනුව ඉදිරිපත් කර ඇත. P. විදානපතිර මහත්මිය විසින් මල්වතු ඔය ගල් පාලමෙන් ඔබ්බටද එම බෝධි මාර්ගයේ ඇතැම් ස්ථාන හඳුනාගෙන තිබෙන මුත් එම කරුණු මෙම ලිපියේ සන්දර්භයට අදාල නොවන හෙයින් මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.

බෙල් ඉහත විස්තර කරන රම්බා පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති කපාරාමූල විහාර නටබුන් අසල තිබෙන පොකුණ

කපාරාමූල විහාරයේ සංරක්ෂිත කොටසක්

මූලාශ්‍ර

  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Reflections on a heritage, Historical Scholarship on Premodern Sri Lanka, 2000
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
  • ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය, භූගෝලිය පසුබිම සහ සුරක්ෂිතතාව, පී විදානපතිරණ, 2022
  • Archaeological survey of Ceylon, North Central Provinces, Annual Report, 1891, Bell, H.C.P. 1904
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • Jetavanaramaya Project Anuradhapura, first Archaeological Excavation an Research Report ( January - June 1982 ), Hema Ratnayake, 1984
  • 2009 වර්ෂය සඳහා පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාව සෙනරත් බණ්ඩාර දිසානායක, 2024
  • The Road Network: Within the city of Anuradhapura and the suburbs by P. Vidanapatirana IN Roalnd Silva Felicitation Volume, Nandana Chutiwongs & Nimal de Silva, 2008
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007