Sunday, October 13, 2019

පොල්ගෙඩි අකුරින් වලස්ගල වෙහෙරට වැවක් පිදූ පරුමක තිශගේ තෝනිගල පිහිටි මෙරට විශාලම සෙල්ලිපිය



ඔරුවක හැඩය (දෙමළ තෝනි) සහිත ගල යන තේරුම දෙන තෝනිගල නමින් යුත් ගල් පර්වත සහිත ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව නගරයට තරමක් උතුරට වන්නට එනමින්ම වර්තමානයේ හැඳින්වෙන වැවක් අසල පිහිටා ඇත. මෙහි අඩු වැඩි වශයෙන් එකම අර්ථය සහිත සෙල් ලිපි දෙකක් එකිනෙකට ආසන්නව හමුවේ. පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ නම් පුද්ගලයෙක් ඔහුට අයත් වැවක් අචගිරික තිශ පර්වතයේ සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට පූජා කල බව එම ලිපි වල සඳහන් වේ. එම අචගිරික තිශ විහාරය (අචගිරික යන්නෙහි සිංහල තේරුම වලස්ගල ලෙස ගත හැක.) මේ ආසන්නයේම පිහිටි පූර්ව බ්‍රාහ්මි අක්ෂර වලින් ලිපි කොටා ඇති කටාරම් සහිත ලෙන් හමුවන වර්තමානයේ පරමාකන්ද ලෙසින් හැඳින්වෙන පුරාණ සංඝාරාමය විය හැක.  තවද දෙවනපි යන විරුදය ලත් මහරජ ගමිණි අබය නම් රජෙකු විසින් අචනගර සහ තවිරිකියනගර නම් ප්‍රදේශද එම විහාරයට පිරිනැමූ බව එම ලිපි වල සඳහන් වේ. එම ප්‍රදේශ ස්ථිර ලෙසින් හඳුනාගත නොහැකි වුවත් ලිපියේ සඳහන් රජු දුටුගැමුණු හෝ වලගම්බා  යන රජවරුන්ගෙන් කෙනෙකු බවට විවිධ විද්වතුන් මත ඉදිරිපත් කර ඇත. එක් එක් ලිපි අඩි 100 පමණ දිගින් යුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අඩියක් පමණ විශාල වේ. එම අකුරු අඟලක් පමණ ගැඹුරට ගල මතු පිට කොටා ඇත. මෙතරම් දිගින් සහ විශාල අකුරු වලින් යුත් වෙනත් ලිපි මෙරටින් හමුවී නැත.

**තෝනිගල සෙල්ලිපිය පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

12 comments:

  1. භූෂණ, මොකද පෙරවදන විතරක්? බලාපොරොත්තු වෙනවා තමයි!

    ReplyDelete
    Replies
    1. ඔව් Youtube Video ට ලියපු පොඩි පෙරවදන විතරයි මේක.

      Delete
  2. සෙල්ලිපි බ්‍රාහ්මී අක්ෂර වලින් ලියල තියෙන්නෙ මොකද
    සෙල්ලිපි ලියල තියන්න ඕන හැමෝටම තේරෙන භාෂාවෙන්නෙ
    එහෙමනම් එයින් එයින් අදහස්වෙන්නෙ ඒ කාලෙ හිටපු හැමෝටමවගේ බ්‍රාහ්මී අකුරු කියවන්න පුලුවන්ව හිටියා කියන එකද

    ReplyDelete
    Replies
    1. එකල මෙරට භාවිතා උනේ බ්‍රාහ්මි අක්ෂර හෝඩිය. එයින් තමා ක්‍රමාණුකූලව දැන් අපි භාවිතා කරන සිංහල අකුරු විකාශනය වන්නේ. පසු කාලීනව ග්‍රන්ථ අක්ෂර වල බලපෑම හින්දා සිංහල අකුරු වලට රවුම් හැඩයක් ලැබිලා කියලා තමා කියන්නේ. හැමෝටම කෙසේ වෙතත් එකල අකුරු කියවීමේ හැකියාව තිබූ සැමට ඒවා කියවන්න පුළුවන් වෙන්න ඇති. බ්‍රාහ්මී අක්ෂර විනා වෙනත් අකුරු එකල මෙරට භාවිතා වූ බවට සාධක නැහැ

      Delete
  3. ඕකටත් කුවේණි කතාවක් ආවෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. තෝනිගලට 'ල' යන්නක් එකතු කරලා ලතෝනිගල කලා. එතකොට කුවේනි ඇවිල්ලා ලතෝනි දුන්නේ ඔය ගල ලඟ. හැබැයි මේ කතාව නම් මෑතකදි රාවන බ්‍රදර්ස්ලා හදපු අතේරෝල් නෙමේ. මේ ප්‍රදේශ වල ජනතාව අතර පැවතෙන ජන කතා. නමුත් ඒවායේ ඓතිහාසික වටිනාකමක් නැහැ. ආනමඩුව, කොට්ටුකච්චිය වගේ මේ අවට තියෙන බොහෝ ග්‍රාම නාම වල ප්‍රභවය සියවස් කිහිපයකට පෙර මේ ප්‍රදේශ වල සිටි දකුණු ඉන්දීය සංක්‍රමණික දෙමළ භාෂාව කතා කල ජනයාගෙන් එන්නේ. ඔවුන් පසු කලක සිංහල වූ පසු ගමේ නමේ මූලය අමතක වෙනවා. දන්න සිංහලෙන් ගමේ නම හැදුන විදිය ගැන ප්‍රබන්ද හැදෙනවා. ඉතිහාසය සම්බන්දයෙන් එකල සිටි අපේ ගැමියා දන්නේ බොහෝම සීමිත විස්තර ටිකක්නේ. ඒකේ ඉන්නේ විජය, කුවේනි, දුටුගැමුණු ගජබාහු වගේ සීමිත චරිත ටිකක්. ඉතින් කතා සියල්ල හැදෙන්නේ ඒ සීමිත චරිත ටික වටා. ඒකේ අවුලක් නැහැ. අවුල අද සමහරු මේ කතා අහුලන් වැරදි ඉතිහාසයක් හදන්න යන එක

      Delete
    2. ඇත්තෙන්ම අයිතිහාසික චරිත වටා ප්‍රබන්ධ ගෙතෙන එක ස්වාභාවිකයි මෙන්ම හැම රටේම වෙනවා.
      අපි මේ දවස්වල ප්‍රබන්ධ චරිත වටා විද්‍යා ප්‍රබන්ධ ගොතමින් රාවණාගේ අඟහරු න්‍යෂ්ඨික ආයුධ ස්ටොක්පයිල් එක ගැන කියන එකේ ඕක මොකක්ද නේද?

      Delete
    3. එවැනි මනස්ස්ගාත කියන මිරැන්ඩෝ, සූරිය ගුණසේකර වැන්නන්ට ජාතික පත්තර වල සතිපතා පිටු ගනන් වෙන් වෙන එක තමා අවාසනාව. අපේ රටේ මිනිස්සු තාම හිතන්නේ පත්තරේ ගියා නම් රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකාවක කිව්වා නම් ඒවා සේරම සත්‍ය කියලනේ.

      Delete
  4. ත්‍රී සිංහලේට පේස්බුක් පේජ් එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැනේ ඒ සඳහාත් මිඩංගු කරන්න කාලයක් හොයාගන්න අමාරුයි

      Delete
  5. වීඩියෝ එක බැලුවා. අකුරු ආරක්ෂා කරන්න දාපු කොන්ක්‍රීට් එක හරි අපුරුවට දාල තියෙනවා ගූ ගැව වගේ චිරි පයින්ඩම..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ. බාල විදිහට වැඩේ කරලා වගේ වැක්කිරිලා ලිපිය පුරා. මන් මුලින් හිතුවේ ගලේම තියෙන පාට වෙනසක් කියලා ඒ තරමටම ඒක ගලට කා වැදිලා.

      Delete