Wednesday, February 1, 2017

පැරණි පධානඝර පිරිවෙන හෙවත් පියන්ගල් පිරිවෙන වනවාසී භික්ෂුන්ගේ භාවනාකුටිද?

තහවුරු නොකල පධානඝරයක් - රිටිගල

අනුරාධපුරයේ පිහිටි වර්තමානයේ බටහිරාරාම(Western monasteries)  ලෙස හඳුන්වන නටබුන් ගොඩනැගිලි පෙල පුරාවිද්‍යාඥයන් විසින් එක් එක් කාලයන්හීදී විවිධ නම් වලින් හඳුන්වා ඇත. මුලදී ඒවා ද්විත්ව වේදිකා ගොඩනැගිලි (Double-platform) ලෙසින් හැඳින්වූවේ මේවායේ එක් පොදු ලක්ෂණයක් වන වේදිකා දෙකකින් සමන්විතවීම නිසාය. එම වේදිකා දෙක එකිනෙකට යා කරමින් පටු ගල් පාලමක් මේ ආකාරයේ සෑම ගොඩනැගිල්ලකම පාහේ දක්නට ඇත.  මේ ආකෘතියේ නටබුන් වූ ගොඩනැගිලි අනුරාධපුර පැරණි නගරයේ පමණක් නොව දිවයිනේ වෙනත් ස්ථාන කිහිපයකින්ම හමුවී ඇත. ඒ අතරින් රිටිගල මෙවන් පධානඝර 50 ක් පමණ දැකිය හැකි අතර මානාකන්ද සහ නුවරගල්කන්ද යන ස්ථාන වලද ඉන් අඩක් පමණ වන ප්‍රමාණ වලින් යුත් පධානඝර හමුවේ. අරංකැලේ පුරාවිද්‍යා ස්ථානයේද සැලකියයුතු පධානඝර ප්‍රමාණයක් හමුවන අතර එයට අමතරව තන්තිරිමලය, වෙහෙරබැඳිගල, කළුදියපොකුණ, නාගොල්ල, මාළිගාතැන්න, අමුණුකොලේ, සීතාකොටුව, ගල්ඇඳහේන, අභයගිරි විහාර පරිශ්‍රය, රාජාංගනයේ හස්ථිකුච්ජි විහාරය හා සබරගමුව දිස්ත්‍රික්කයේ කල්තොට පිහිටි බුදුගල යන ස්ථාන වලද පධානඝර පිරිවෙන් දැකිය හැක.
මාලකය සහ කුටිය සම්බන්ධ වන ගල් පාලම - අරංකැලේ
මෙම ද්විත්ව වේදිකා වල ඉදිරිපසින් පිහිටි වේදිකාව මාලකය ලෙසද, පසුපසින් ගල් පාලමෙන් සම්බන්ධ වන කොටස කුටිය නොහොත් පාසාදය ලෙසද වර්තමානයේ හඳුනාගනී (මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාට අනුව). මෙම ඉදිරිපස මාලකය විවෘතව වහලයක් රහිතවද කුටිය උළු සෙවිල කල වහලයකින් යුක්තවද තිබූ බව පුරාවිද්‍යා ගවේෂණ මගින් සොයාගෙන ඇත. ඉදිරිපස මාලකයේ පමණක් එකතුවන වැසි වතුර පිටවීමට යෙදූ ජල පිහිලි ඇති බැවින් එය විවෘතව තිබූ බව තවදුරටත් තහවුරු වේ. බොහෝ පධානඝර වල කුටිය (හෝ ඇතැම් අවස්ථා වලදී මාලකයද)  ඉදිකර ඇත්තේ එම ස්ථානයේ මතුපිට පස ඉවත් කර පිහිටි ගල පාදාගැනීමෙන් පසු ඒ මත වන අතර (ගල් පර්වත අශ්‍රිත ප්‍රදේශ වල පධානඝර වැඩි වශයෙන් ඉදිකර ඇති බැවින් මෙය පහසු වේ.) බොහෝවිට කුටිය වටා දිය අගලක් දැකිය හැකිය. ඉදිරිපස කොටසේ සිට ගල් පාලම හරහා පසුපස කොටසට ඇතුලු වීමට ඇති ස්ථානයේ දොරක් සවිකර තිබූ බවට සාධක හමුවන බැවින් කුටිය බිත්ති වලින් වටවී තිබූ බව පැහැදිලි වේ.
පධානඝරයක් - අරංකැලේ

වේදිකා දෙකම ඇතුලත් වන පරිදි වටා පිහිටි සීමා ප්‍රාකාරය, සැම විටම නැගෙනහිර දිශාවට යොමුකර පිහිටවූ ද්වාර මණ්ඩපය, එයට ගොඩවීමට ගලින් කල පියගැටපෙළක් සහ පාමුල මෝස්තර රහිත සඳකඩපහණ,වේදිකා දෙක යා කරන ගල් පාලම දෙපසින් පිහිටි පියගැටපෙළවල් සහ එම පියගැටපෙළවල් වලට මුහුණලා උතුරු සහ දකුණු දෙසට යොමුව පිහිටි උප දොරටු බොහෝ පධානඝර වලට පොදු ලක්ෂණ වන අතර ඇතැම් පධානඝර ආශ්‍රිතව වෙනත් සේවා ගොඩනැගිලිද දක්නට ඇත. ප්‍රධාන කුටිය ඇතැම්විට කුඩා කුටි වලට බෙදා ඇති අවස්ථාද හමුවේ. පධානඝර පිරිවෙන් වල ගල් කැටයම් දැකිය හැක්කේ ඉතාමත් අඩුවෙන් වන අතර බොහෝ අවස්ථාවලදි කැසිකිලි ගල් අලංකාර කැටයමින් යුක්තව නිමවා තිබීම විශේෂිතය. මෙම කැටයම් වල අලංකාර ගොඩනැගිල්ලක ඉදිරිපස පෙනුම කැටයම් කර ඇත.
වැසිකිලි ගලක්- රිටිගල
ඇතැම් අවස්ථා වලදී දිය අගල නොමැති පධානඝර ගොඩනැගිලි හමුවී ඇති මුත් ගොඩනැගිල්ල වටා පිහිටි දිය අගල මගින් කාර්යයන් කිහිපයක් ඉටු වන්නට ඇතැයි සැලකේ. වනාන්තර අශ්‍රිතව පිහිටි හෙයින් වන සතුන්ගෙන් වන උවදුරු වැලකීම, වියලි කලාපීයව පිහිටි හෙයින් කුටියට සිසිලසක් ගෙනදීමට අමතරව එහි එකතු වන ජලය ඇතැම් අවස්ථා වලදී එදිනෙදා කටයුතු වලටද යොදා ගත්තා විය හැක. අනුරාධපුර බටහිරාරාම පෙදෙසේ හමුවන පධානඝර සාපේක්ෂව දියුණු අවධියක් නියෝජනය කරන අතර මූලික සැලැස්ම ඉක්මවා ගිය ලක්ෂණ ඒවායේ හමුවේ.
තන්තිරිමලය පධානඝරය
පධානඝර ගොඩනැගිලි වල සුවිශේෂිතම වැදගත් කම වන්නේ මේ අකාරයේ ගොඩනැගිලි මෙරට හැර වෙනත් කිසිම රටකින් මෙතෙක් හමුවී නොතිබීමය. මෙරට පැරණි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ කලාකරුවන්ගේ නිර්මාණ සැම විටම පාහේ අසල්වැසි භාරතයේ විවිධ ප්‍රදේශ වලින් ආභාෂය ලබා කල ඒවා ලෙස හණ්වඩු ගසන මෙරට අනුකාරක විද්වතුන් අසරණ වන එක් ප්‍රධානතම අවස්ථාවක් වන්නේ පධානඝර සම්බන්ධයෙනි. පධානඝර යනු මෙරටදී සම්භවය වී මෙහිදීම දියුණු වූ සංකල්පයකි.
මාලකය සහ කුටිය සම්බන්ධ වන ගල් පාලම - රිටිගල
වංශකතාවල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
මහාවංශයේ මුල් වරට පධාන යන වචනය හමුවන්නේ 3 වන සියවසේ දී ගෝඨාභය (ක්‍රි.ව. 249-262) රජු මහා විහාරයට බටහිරින් පධානඝරයක් සෑදවූ බවට එන සඳහනෙහිය. එසේම පළමුවන මුගලන් (ක්‍රි.ව. 491-508) රජුගේ උත්තර නම් සෙනෙවියා සිය නමින් පධානඝරයක් කරවූ බවටද, අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් මහාවිහාරයේ මහාපධානඝරයට ගොස් සංඝපාල තෙරුන්ගෙන් සිංහල අටුවා උගත් බවටද, දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604-614) රජු කල කාලිංගයේ සිට යුදයේ සතුන් මැරෙන්නා දැක කලකිරී මෙරටට පැමිණි කාලිංග රජු ජෝතිපාල මහ තෙරුන් කෙරෙහි පැවිදි වූ කල ඔහු වෙනුවෙන් මත්තපබ්බත විහාරයේ පධානඝරයක් කරවූ බවටද, තුන්වන අග්ගබෝධි (ක්‍රි.ව. 628-639) රජු උපරජ සමග ඔහු ඉදිකල මහල්ලරාජ නම් පධානඝරයේ තෙරණුවන්ට හංකාර සහ සමුගාම නම් ගම් සහ කෙහෙල්ල ගාමයේ රාජ භාරය පිදූ බවද, හතරවන අග්ගබෝධි (ක්‍රි.ව. 667-683) රජු දාඨාශිව නම්වූ තෙරුන්ට ඔහුගේ නමින් පධානඝරයක් තනවා පූජා කල බව සහ ගම් කිහිපයක්ම එම ගෙයට පවරා දුන් බවද මහාවංශයේ  පධානඝර යන වචනය ඇතිව සඳහන් වේ. 
පධානඝරයක් - අරංකැලේ
සෙල්ලිපි වල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
වසභ (ක්‍රි.ව. 67-111) රජුගේ පෙරුමියන්කුලම පර්වත ලිපියේ සුදසන පතනගල විහාරයට පිරිනැමූ ජල බදු ආදායම් ආදී පිරිනැමිම් ගැන සඳහන් වේ. එසේම සිව්වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) රජුගේ මන්නාරම කච්චේරි ටැම් ලිපියෙහි බහදූර්සෙන් පියන්ගල වෙහෙරට අයත් වූ ඉඩම් සඳහා පිරිනැමූ වරප්‍රසාද පිළිබඳව කියැවේ. පස්වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) රජුගේ අනුරාධපුර පුවරු ලිපියේ පියන්ගල් යන වචනය පිරිවෙන්හි, රජ්මහවෙහෙර්හී, පියන්ගල්හි සහ මෙහෙණිවර්හි ලෙස පූජනීය ස්ථාන වර්ග කිහිපයක් ගැන එන සඳහනක ඒ. ඒ අනුව එමගින් කිසියම් සංඝාරාම හෝ විහාර විශේෂයක් හැඳින්වූ බව පැහැදිලිය. පස්වන කාශ්‍යප  (ක්‍රි.ව. 914-923) රජුගේම මැදිරිගිරිය අත්තානි ටැම් ලිපියෙහි බිදෙර්වතුකුළියෙහි, රන්තිසායේ පිහිටි මැඩිලිගිරිවෙහෙර් පියන්ගලැ සතර සීමා ගැන සඳහනක් ඇත. සිව්වන මහින්ද (ක්‍රි.ව. 956-972) රජුගේ මිහින්තලා පුවරු ලිපියේ පියන්ගල් පෙරෙවැළියෙකුට (පරිපාලකයෙකුට) ගෙවූ වේතන ගැන සදහනක් එයි.  පධානඝෙරෙහි වසන භික්ෂූන්ට බාධා නොකර සාමනේර භික්ෂූන් ධර්මය උගත යුතු බවට මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජුගේ ගල් විහාර සෙල්ලිපියේ සදහන් වේ. 
පධානඝරයක් - රිටිගල 

පතනගල, පියන්ගල්, පධානඝෙර, පධානඝර ලෙස මේ සෙල්ලිපි වල සහ වංශ කතා වල හැඳින්වෙන්නේ අප කතා කරන ගොඩනැගිලි විශේෂය විය හැකි බවට මත පලවී ඇත. එසේම ඒවා වනවාසීව භාවනානුයෝගී දිවියක් ගත කල භික්ෂූන් උදෙසා කල බවට විශ්වාස කෙරේ. ඉදිරිපස මාලකය විවිධ භාවනා ක්‍රම වල යෙදීමටත් පසු පස කුටිය වාසය කිරීම උදෙසාත් නිර්මිත බවට මත පලවී ඇතිමුත් විද්වතුන් අතර ඒ පිළිබඳ ස්ථිර එකඟතාවයක් නොමැත.
මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume III, 1928-1933 Edited by S.Paranavitana, 1933
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume II, 1912-1927 Edited and translated by Don Martino de Zilva Wickremasinghe, 1928
  • ශිලාලේඛන සංග්‍රහය, 1 වෙළුම 1904-1912, සංස්කරණය දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ, පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න, 2000
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part 1, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • The Mahavamsa or The Great Chrinicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part1, Edited by Sirimal Ranawella, 2001
  • Sinhalese Monastic Achitecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake,1974
  • පධානඝරවල වාස්තු විද්‍යා ලක්ෂණ, යුරේන් අතුකෝරළ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුම 6, 2016, සංස්කාරක ධනේෂ් විසුම්පෙරුම
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007

5 comments:

  1. සෑහෙන්න පරිපූර්ණ ලිපියක්. ඇත්තමයි ඔබට ස්තූතියි මෙවන් ලිපි බෙදා හදා ගැනීම සම්බන්ධව.
    ජය

    ReplyDelete
  2. වටිනවා මේ ලිපිය.

    ජයවේවා!!!

    ReplyDelete
  3. වටිනා ලිපියක් .ස්තූතියි.

    ReplyDelete