Thursday, May 5, 2016

දුටුගැමුණුගේ යෝධයන් වූ ලෙන් පිදූ සෙන්පතියෝ.

සෙල් ලිපි වලින් තහවුරු වන මහාවංශයේ එන දුටුගැමුණුගේ යෝධයන් දස දෙනාගෙන් එක් අයෙකු වන නන්දිමිත්‍ර පිළිබඳව පෙර ලිපියකින් කතා කලෙමු.  >  ලෙන් පිදූ පරුමක මිත්ත, ඇඹරුම් ගල ඇදන් ගිය නන්දිමිත්‍ර යෝධ පැටියාද? <  එහිම දිගුවක් ලෙස සෙල් ලිපි සාධක හමුවන, 'යෝධයන්' ලෙස මහාවංශ කතෘ හඳුන්වන තවත් සෙන්පතියන් සිව් දෙනෙකු පිළිබඳ මෙම ලිපියෙන් වැඩිදුරටත් සලකා බලමු.

ගෝඨයිම්බර යෝධයාගේ ලෙන් ලිපිය ඇති නයින්දනාව ලෙන්
ඵුස්සදේව
සිතුල්පව් දෙකුන්දර වැව සෙල් ලිපි දෙකකම සදහන් වන පරුමක පුශදෙව යනු දුටුගැමුණු රජුගේ සෙන්පතියෙකු වූ මහාවංශය ඵුස්සදේව යෝධයා ලෙස හඳුන්වන පුද්ගලයා බව පරණවිතාන මහතා හඳුනාගනී. මින් එක් සෙල්ලිපියක පරුමක පුශදෙවගේ පුත් පරුමක අභය නම් පුද්ගලයෙකුට අයත් ලෙනක් පිලිබඳවද අනිකෙන් පරුමක පුශදෙවගේ දියණිය සහ පුශදෙව කුමාරයාගේ බිරිඳ වූ අනුරාධි නම් කුමරියට අයත් ලෙනක් පිළිබඳවද කියවේ. තවද වැලඑල්ලූගොඩ කන්ද සෙල් ලිපි දෙකකම නම කියැවෙන ශෙනපති පරුමක පුශදෙවද මෙම ඵුස්සදේව නම් ඓතිහාසික පුද්ගලයා බව පැහැදිලිය. මින් එක් ලිපියක ලෙනක් සඝසතු කරන්නේ තිස්ස මහ රජතුමාගේ (සද්ධාතිස්ස?) හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධරයා වූ ශෙනපති අග්ගිදත්තගේ බිරිඳ වූද, ශෙනපති පරුමක පුශදෙවගේ දියණියක වූද නාගා නම් උපාසිකාව විසිනි. අනෙක් සෙල්ලිපියේද පරුමක පුශදෙවගේ දියණියක වූ නාගා නම් වූ මෙහෙණින් වහන්සේගේ ලෙන සඝසතු කල බව පැවසේ. මේ නාගා ද පසුකලක පැවිදි වූ කලින් සෙල්ලිපියේද නම සඳහන් කාන්තාවම  විය හැක.

වේළුසුමණ
සිතුල්පව්වේ දෙකුන්දර වැවම හමුවන වෙනත් සෙල්ලිපියක පරුමක වෙලුසුමණගේ පුත් වු පරුමක වෙලු ගේ පුත් දෙවනපිය තිස්ස රජුගේ (මේ රජු මහචූලික මහාතිස්ස ලෙස පරණවිතාන මහතා හඳුනාගනී ) ආදායම් නිලධාරි [අයක] පරුමක පුශදෙවගේ ලෙන සඝසතු කල බව පැවසේ. මෙහි එන පරුමක වෙලුශුමන මහාවංශයේ එන වේලුසුමන යෝධයා බව පරණවිතාන මහතාගේ අදහසයි.

ථෙරපුත්තාභය
 පරුමක ශෙනපති අභයගේ පුත්, පරුමක පුශදෙවගේ ලෙන සඝසතු කල බව පැවැසෙන ගෝණගල ලෙන් ලිපියක සඳහන් පරුමක ශෙනපති අභය, ථෙරපුත්තාභය විය හැකි බව පරණවිතාන මහතා සදහන් කරන්නේ සමකාලින සෙල් ලිපි වල 'පරුමක ශෙනපති' ලෙසින් ඉහත සදහන් වන්නේ දුටුගැමුණු රජුගේ සෙන්පතියන් වන බැවිනි.

ගෝඨයිම්බර 
වෙනත් සිතුල්පව්ව සෙල්ලිපියක පරුමක මහතිස්සගේ පුත් පරුමක අයිමර ගේ ලෙනක් ගැන සඳහන් වේ. එසේම මගුල් මහා විහාරයේ ඇති තවත් ලෙන් ලිපියක පරුමක අයිමරගේ පුත්වූ පරුමක චූල තිස්සගේ පුත් පරුමක චූල තිස්ස නමින්ම හැඳින්වූ පුද්ගලයෙකුගේ ලෙනක් සඝසතු කල බව පැවැසේ. මෙම ලෙන් ලිපි දෙකෙහි නම් සඳහන් පරුමක අයිමර දුටුගැමුණුගේ යෝධයෙකු ලෙස මහාවංශය පවසන ගෝඨයිම්බර විය හැක. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නයින්දනාව විහාරයේ ඇති තවත් ලෙන් ලිපියක සදහන් වන පරුමක මහතිස්සගේ පුත් චූඩ අයිමර, ගෝඨයිම්බර විය හැකි වන්නේ චූඩ සහ ගෝඨ යන වචන දෙකෙහිම සමාන තේරුම් ඇති බැවිනි. (ගෝඨ = මිටි, චූඩ = කුඩා)

මූලාශ්‍ර
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.


3 comments:

  1. අගනා ලිපි පෙළක්...
    ඉතුරු කොටසුත් හනික යාවත් කාලීන වෙයි කියල හිතනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      දස මහා යෝධයන් ලෙස මහාවංශයේ දැක්වෙන සෙන්පතියන්ගෙන් සෙල්ලිපි වලින් හඳුනාගත හැක්කේ නම් මෙපමනයි. එහෙත් මහාවංශයේ දැක්වෙන වෙනත් කරුණු තහවුරු වන සෙල්ලිපි සාධක ගැන ඉදිරියටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා

      Delete
  2. අපි නයින්දනාව ගියා. හරිම අපූරු තැනක්

    ReplyDelete