Sunday, April 24, 2016

ලෙන් පිදූ පරුමක මිත්ත, ඇඹරුම් ගල ඇදන් ගිය නන්දිමිත්‍ර යෝධ පැටියාද?

පරුමක මිත පිදු ලෙන් පිහිටි සිතුල්පව්වේ කටාරම් කෙටූ ලෙන්
උතුරේ ඊලාම්වාදීන්ගේ මෙන්ම දකුනේ ඔවුන්ට බැලමෙහෙවර කරන ඊනියා සිංහල සිවිල් (හිවල්) සමාජයේද නිබඳ විවේචනයට ලක්වන ග්‍රන්ථයක් වේ නම් ඒ මහාවංශයයි. මක් නිසාද යත් ඔවුන් නිර්මාණය කිරීමට වලිකන ඊණියා දෙමළ නිජබිම් මිත්‍යාවට එහි අඩංගු කරුණු බාධකයක් වන බැවිනි. එසේම ඔවුන්ට නයාට අඳුකොළ බඳු, 'සිංහල ජාතිකත්වයේ ඉතිහාසය' ලියවී ඇති ග්‍රන්ථය එය බැවිනි. මහාවංශය යනු මිත්‍යා මත වලින් සහ සිදුවිය නොහැකි දේවලින් සපිරි කතන්දර පොතක් ලෙස හඳුන්වාදීමට ඔවුන් වඩාත් කැමැතිය.  එමගින් එහි ගැබ්ව ඇති ඓතිහාසික කරුණු වල වැදගත්කම පහසුවෙන් නොසලකාහැරිය හැකි බැවිනි. කෙසේ නමුත් මහාවංශය තරම් දීර්ඝ කාලයක් පුරා එක් රටක සිදුවූ සිද්ධීන් සටහන් කර තැබූ, එම සිද්ධීන් වෙනත් ප්‍රභව මගින් සත්‍ය යැයි වර්තමාන ඉතිහාසඥයන් සහ පුරා විද්‍යාඥයන් තහවුරු කෙරූ ඉතිහාස ග්‍රන්ථයක් ආසියානු කලාපයේ අන් රටවල පමණක් නොව ලොව කිසිදු රටක නැති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

එබැවින්  මහාවංශයේ සඳහන් කරුණු වෙනත් ආකාර වලින් තහවුරු වූ අවස්ථා වරින් වර පෙන්වාදීම ඊලාම්වාදීන් නැවතත් සක්‍රීයව නැගිසිටිමින් සිටින මේ ඊණියා "සහජීවන යහපාලන" අවධියේ කාලීන යැයි හැඟේ.  විජාතික බත් බැලයන්ගෙන් නිරතුරුවම දෝෂාරෝපණයට ලක්වන දුටුගැමුණු රජතුමාගෙන්ම පටන් ගනිමු.

දුටුගැමුණු රජතුමාට නැතහොත් ඔහුට පෙර සිටම රුහුණේ මාගම සිට රජකම් කල ඔහුගේ පියා වූ කාකවණ්ණතිස්ස රජතුමාට යෝධයන් දශ දෙනෙක් සිටි බවත්, ඔවුන් ඇදහිය නොහැකි විශ්වකර්ම වැඩ කර රටවැසියන් මවිත කල බවත් මහාවංශ කතුවර මහාවිහාරවාසී මහානාම හිමියන් ඉමහත් අභිරුචියෙන් විස්තර කරයි. 'යෝධයන් 'යැයි කිවූ විට නිබඳවම සිහිවන්නේ සාමාන්‍ය මිනිසෙකුට වඩා උස මහත හැඩි දැඩි පුද්ගලයෙකි. දුටුගැමුණුගේ යෝධයන් සම්බන්ධ මහාවංශ විස්තරය කියවන විටද එවැනි සිතුවිල්ලක් ඇතිවීම අනිවාර්යය. මහාවංශයේ ඇතුලත් මේ යෝධයන් හා සම්බන්ධ ඇදහිය නොහැකි සිදුවීම් සහ සිදුවිය හැකි නමුත් අතිශයොක්තියට නගා ඉදිරිපත් කල සිදුවීම් මදකට පසෙකලා විවෘත මනසකින් බැලුවහොත් අපට ඉන් ගත හැකි දෙය නම් මේ පුද්ගලයන් දශ දෙනා රජතුමාගේ සෙන්පතියන් දශ දෙනෙකු විනා වෙනත් අද්භූත පුද්ගලයන් නොවන බවය. ඉන්පසු පැන නගින ප්‍රශ්ණය නම් මෙ කියන පුද්ගලයන් සැබෑවටම සිටි බවට මහාවංශය සහ වෙනත් එවැනි වංශකතා හැර වෙනත් සාධක තිබේද යන්නය?

අවම වශයෙන් මෙම සෙන්පතියන් දශ දෙනාගෙන් හරි අඩකගේම නම් සෙල්ලිපි මඟින් තහවුරු වී ඇත. මේ එම සෙල්ලිපි සහ එවාහි ඔවුන් හඳුන්වා ඇති ආකාරය පිළිබඳ විමසුමකි.

1) නන්දිමිත්ත

  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි නැට්ටුකන්ද සෙල්ලිපියේ සඳහන් වෙන්නේ පරුමක නන්දිකගේ පුත් පරුමක මිත්ත ට අයත් මහා සුදස්සන නම් වූ ලෙන සිව් දෙසින් පැමිණි/නොපැමිණි සංඝයාට දුන් බවයි. එසේම එම දිස්ත්‍රික්කයේම පිහිටි මහා ඇළගමුව සෙල්ලිපියකද පරුමක නන්දිකගේ පුත් පරුමක මිත්තගේ ලෙන සංඝයාට පිරිනැමූ බව පැවසේ.  තවද වවුනියා දිස්ත්‍රික්කයට අයත් එරුපොතාන පිහිටි ලෙනක්ද පරුමක නන්දිකගේ පුතු වන පරුමක මිත්තට අයත්ව තිබී සිව්දෙසින් පැමිණි/නොපැමිණි සංඝයාට පිරිනැමූ බව පැවසෙන සෙල්ලිපියක් එහි කොටා ඇත (පරුමක මිත්තගේ බිරිඳට අයත් ලෙනක් සඝසතු කල බවට වූ ලිපියක්ද එරුපොතානෙන්ම හමුවේ).  නැගෙනහිර පලාතේ පිහිටි කුඩුම්බිගල පිහිටි මහාසුදස්සන නම් වූ තවත් ලෙනක්ද පරුමක නන්දිකගේ පුත් පරුමක මිත්තට අයත්ව තිබී සඝසතු කල බව එහි එන සෙල් ලිපියකින් පෙනේ. පරුමක මිත්ත යන නම සඳහන් වන තවත් සෙල්ලිපි දෙකක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ කන්දේගමකන්ද ප්‍රදේශයේ සහ සිතුල්පව්වේ පිහිටි කොරවක්ගල ප්‍රදේශයේ ලෙන් වලින් හමු වන මුත් ඒවායෙහි ඔහුගේ පියාගේ නම නොමැත. එම සෙල්ලිපි වලින් පරුමක මිත්තගේ පුතුන් දෙදෙනෙකුට (පිළිවෙලින් උත්තිය සහ දත්ත ) අයත් ලෙන් පිළිබඳ සඳහන් වන බැවින් මිත්තගේ පියාගේ නම සඳහන් කිරීම අනවශ්‍ය වූවා විය හැක (එම පරුමක මිත්ත යනු ඉහත ලෙන්ලිපි වල සඳහන් පුද්ගලයා නොවී වෙනත් පුද්ගලයෙක් විය හැකිය යන මතයද  බැහැර කල නොහැක.)

මේ සියලු ලෙන් ලිපි මුල් බ්‍රාහ්මි සෙල් ලිපි වන අතර ඒවායෙහි පරුමක යනුවෙන් හැඳින්වෙන්නේ රාජ්‍යයේ විවිධ තනතුරු දැරූ ප්‍රාධානීන්ය (Chieftains). මහාවංශයේ නන්දිමිත්‍ර යනුවෙන් හැඳින්වෙන යෝධයා නොහොත් සෙන්පතියා මෙම නන්දිකගේ පුත් මිත්ත වීමට බොහෝවිට ඉඩ ඇත. රජවරුන්ට සහ වෙනත් පුද්ගලයන්ට නම් පටබැඳිමට මනා දක්ෂතාවයක් තිබූ මහානාම හිමියන් නන්දිකගේ පුත් මිත්ත -> නන්දිමිත්‍ර කලා විය හැක*. කෙසේ නමුත් නන්දිමිත්තගේ අනන්‍යතාවය කිසිදු සැකයකින් තොරව හෙලිවන සෙල් ලිපියක්ද සිතුල්පව්වේ කොරවක්ගල පිහිටා ඇත. එහි සඳහන් වනුයේ දෙවනපිය අභය රජුගේ සෙන්පති වූ පරුමක මිත්තගේ ලෙන පැමිණි/නොපැමිණි සංඝයාට පූජා කල බවය. සෙල් ලිපි වල 'දෙවනපිය' යන විරුදය භාවිතා කල 'අභය' යනු දුටුගැමුණු ලෙස වංශකතාවේ එන රජතුමන් බව පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව මේ සෙන්පතියා අන් කවරෙකුවත් නොව දශමහා යෝධයන්ගෙන් කෙනෙකු වූ නන්දිමිත්‍ර බව එතුමන් නිගමනය කරයි.

මේ අතර නන්දිමිත්තගේ නම පරුමක නදික මිත යනුවෙන්ම සඳහන් වන ලෙන් ලිපියක් අම්පාර දිස්ත්‍රික්කයේ ඕමුණගල ලෙන් විහාරයේ තිබී පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් කියවා ප්‍රාශයට පත් කර ඇත. එහි සඳහන් වනුයේ පරුමක නදික මිතගේ දියණිය වූද, පරුමක තිලකණගේ බිරිඳ වූද ගුත්තා නම් උපාසිකාව විසින් එම ලෙන පූජා කල බවය.

සෙල් ලිපි වල නම් සඳහන් අනෙක් දුටුගැමුණුගේ යෝධයන් සිව් දෙනා පිළිබඳ තොරතුරු වෙනත් දිනක සලකා බලමු.

* මිත්ත නම් වූ මේ යෝධයා නන්දි මිත්ත වනුයේ කුඩා කල ඉනවටා බැඳි වරපටකින් ඇඹරුම් ගලකට බැඳ සිටියදී එය ඇදගෙන ගොස් වරපට කඩා දැමූ හෙයිනයි මහානාම හිමියන් පවසයි. නන්දි = වරපට = Thong

මූලාශ්‍ර

  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • එල්ලාවල මේධානන්ද ස්ථවිර, 2003, පාචීන පස්ස - උත්තර පස්ස, නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.




2 comments:

  1. ස්තුතියි මේවා ගැන අපිව දැනුවත් කරනවට...
    ඉතිරි විස්තර ටිකත් මේ පාරම දැම්මනම් තමයි වඩා හොඳ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඊ ලග පෝස්ට් එකත් මේ ගැනම තමා.

      Delete