Saturday, May 26, 2018

ආසියාවේ පැරණිම රාජකීය උද්‍යානයක් - අනුරාධපුරයේ රන්මසු උයන

මෙරට මෙන්ම භාරත දේශයේද පෞරාණික නගර වල තිබූ  උයන් පිළිබඳව පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල විස්තර හමුවේ. එම මූලාශ්‍ර වල 'ආරාම', 'උද්‍යාන', 'විහාර', 'උපවන' වැනි විවිධ නම් වලින් එම උද්‍යාන හඳුන්වා ඇත. ඉපැරණි වෛදික යුගයේ ආගමික ග්‍රන්ථ වල මෙන්ව පාලි ජාතක කතා වලද, සංස්කෘත නාටක වලද එවන් තොරතුරු දුලබ නොවේ. නගර නිර්මාණය සහ මාළිගා ඉදිකිරීම සම්බන්ධව රචිත 'ශිල්පශාස්ත්‍ර' ග්‍රන්ථ වලද උද්‍යාන සහ ගෙවතු පිහිටිය යුතු ස්ථාන පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර ඇත. උද්‍යාන වල ශාක වගාව සම්බන්ධයෙන් වූ තොරතුරු 'උපවන-විනෝද' නම් සංස්කෘත ග්‍රන්ථයේ විස්තර වේ.
රන්මසු උයනේ කැටයම් කල ගල් වලින් සැදි නාන පොකුණු
සපුෂ්ප ශාක දෙපස වවා ඇති මංපෙත් වලට අමතරව එවන් උද්‍යාන වල නාන පොකුණු (ඒවායේ ඉවුරු කැටයම් කල ගල් වලින් සාදා තිබී ඇත), මල් පිපෙන විවිධ ජලජ ශාක සහිත පතැස්, කෘතිමව නිර්මාණය කල ජල තල, ශිඛර, ගුහා, මල් පිපෙන වැල් වලින් සැදි ලතා-මණ්ඩප, ධාරාගෘහ (වතුර මල් වලින් සැදි නාන ගෙවල්/Shower-bath-houses), සමුද්‍රගෘහ (ජලය විදින නාන ගෙවල්/Bath-houses with douches), කදලිගෘහ (කෙසෙල් ගස් වලින් සැදි මණ්ඩප), ඔංචිල්ලා සහිත ගෙවල් (දෝලාගෘහ/දෝලා මණ්ඩප), චිත්‍ර ශාලා සහ ශෛලමය ආසන ආදිය තිබූ බව එවන් සාහිත්‍ය මූලාශ්‍ර වල වැඩිදුරටත් සඳහන් වේ.
රන්මසු උයනේ එක් පොකුණකට ඉහලින් කැටයම් කර ඇති ජල ක්‍රිඩා කරන ඇත් පංතිය
රජවරු මැති ඇමැතිවරු සහ බිසෝ වරුන්ට මෙන්ම ඇතැම් විට මහජනයාටද විවෘත වූ මෙවන් උද්‍යාන ඉදිකිරීම සහ නඩත්තුව භාරව කටයුතු කල 'ආරාමාධිපති' නම් වූ තනතුරක් පිළිබඳවද තොරතුරු හමුවේ. මල් සහ පළතුරු හටගන්නා ගස් වැවීම සහ ඒවාට සාත්තුකිරීම පිළිබඳව මෙන්ම, ඒ ඒ ශාක වලට වඩාත් සුදුසු පස් වර්ග, ජලය දැමිය යුතු නිවැරදි කාලය පිළිබඳව සහ එවන් ශාක වල ඖෂධීය අගයන් පිළිබඳවද ඔහු දැනුවත් විය යුතුය. ආරාමාධිපතිට සහයට උයන්පල්ලන් සිටි අතර මල් සහ පළතුරු නිවැරදි කාලයේදි නෙලා ගැනීමද ඔවුන්ට භාර රාජකාරි අතර විය.
රන්මසු උයනේ පොකුණු අසල ඇති ගොඩනැගිල්ලක නටබුන්
මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වය ආරම්භ වූ මුල් යුගයේදීම අනුරාධපුර නගරයේ ඉදි කල එවන් උද්‍යාන පිළිබඳව විස්තර මහාවංශයේ සඳහන් වේ. මුටසීව රජු නගරයේ දකුණු කොටසේ ඉදි කල මහාමේඝවන උද්‍යානය මෙන්ම මහින්ද හිමියන් මෙරට වැසියන්ට ධර්මය දේශනා කල නගරයේ දකුණු දොරටුවෙන් පිටත පිහිටි නන්දන උයනද ඒ අතර වේ. මහින්ද හිමියන්ගේ සමයේදීම මහාමේඝවනය භික්ෂූන් උදෙසා පිරිනැමූ අතර කාලයත් සමග මහාවිහාරය, ජේතවනය වැනි මහාවිහාර වල ගොඩනැගිලි එහි ඉදිවූ බව පෙනේ. නගරයට බෙහෙවින් ළංව පිහිටි හෙයින් මිහිදු හිමියන් මුලදි ප්‍රතික්ෂේප කලමුත් නන්දන උයනද පසුව මහාවිහාරයේ භුක්තියට වෙන්වූ බව පෙනේ. ඒ වෙනුවට ඉදිවූ වෙනත් උද්‍යාන සම්බන්ධව වංශ කතාවේ සෘජු සඳහන් හමු නොවන මුත්, අතරින් පතර නගරයේ පිහිටි විවිධ උද්‍යාන පිළිබඳව වූ සඳහන් කිරීම් ඉන්පසුවද විවිධ රජවරුන්ගේ කාලයන්හිදි හමුවේ.
ධාරාගෘහයක් (Shower-bath-house) ලෙස පරණවිතාන මහතා හඳුනාගන්නා ශෛලමය ඉදිකිරීමක් සහිත පොකුණක්
අනුරාධපුර නගරයේ තිසා වැවේ වැව් කණ්ඩියට පහලින් පිහිටි පොකුණු දෙකක නටබුන් වලින් සමන්විත පෙදෙස පිළිබඳව H.C,P. බෙල් මහතා 1901 දි මුල්වරට විස්තරයක් ඉදිරිපත් කර ඇත. ඔහුට අනුව ඒවා අසල පිහිටි ඉසුරුමුණි විහාරයට හෝ එහි වෙනත් පරිවාර විහාරයකට හෝ එසේත් නැතිනම් භික්ෂුණී ආරාමයකට අයත් වූවා විය යුතුය. කෙසේ නමුත් බෙල්ට හෝ පසුව 1940 වර්ෂයේ අවසාන කාලයේ පටන් සෙනරත් පරණවිතාන මහතා එහි සිදු කල කැනීම් සහ සංරක්ෂණ කටයුතු වලදි එතුමාට හෝ මෙම නටබුන් ආගමික ස්ථානයකට අයත් බව සනාථ කල හැකි කිසිදු සාක්ෂියක් හමු වූයේ නැත. වර්තමානයේ ඉසුරුමුණි විහාරය ලෙසින් හඳුන්වන විහාර පරිශ්‍රයට පරිබාහිරව පැහැදිලි ලෙසම ප්‍රාකාරයකින් වටවු පෙදෙසක (එම ප්‍රාකාරයේ  නැගෙනහිර හා දකුණු කොටස් වල අත්තිවාරම්  ඇතැම් ස්ථාන වල තවමත් දැකිය හැක.) වූ මෙම නටබුන් පෙදෙස පරණවිතාන මහතා හඳුනාගන්නේ පැරණි අනුරාධපුර රාජකීය මඟුල් උයන ලෙසය.
රන්මසු උයනේ එක් පොකුණකට ඉහලින් කැටයම් කර ඇති ජල ක්‍රිඩා කරන ඇත් පංතිය. ඉහල සිට ගලා එන ජලය මෙහි දකුණු පස ඇති කානුව දිගේ විත් මෙම කැටයම් උඩින් පහලට ගලා යන ලෙස තනා තිබේ.
තවමත් වෙස්සගිරිය ලෙසින් වරදවා හඳුන්වන පැරණි ඉස්සරසමණ හෙවත් ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ තිබී හමුවූ සිව්වන මහින්ද රජුගේ පුවරු ලිපියක එන සඳහනක් පාදක කරගනිමින් පරණවිතාන මහතා මෙය රන්මසු උයන ලෙසින් හැඳින්වූ පැරණි රාජකීය මඟුල් උයන වශයෙන් හඳුනාගනී. එම පුවරු ලිපියේ තිසා වැවේ සිට ඉස්සරසමණ විහාරයට# අයත්, එම විහාරය අවට පිහිටි කුඹුරු වලට 'රාජකීය සොරොව්වෙන්'^ ජලය සැපයීමේදි අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත විස්තර කිරීමේදී, එම සොරොව්වෙන් ජලය සැපයිය යුතු අනෙකුත් ස්ථාන අතරට රන්මසු උයන, කෙල හෙය*, උයන් කෙය*, මහනෙල් කෙය* ආදී තැන්ද ඇතුලත් කර ඇත.

   # පුවරු ලිපියේ එම විහාරය හඳුන්වන්නේ ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර ලෙසිනි.
   *  මෙහි කෙය යනු පාලම යන අර්ථයද, හෙය යනු කෙත යන අර්ථයද ගන්නා බව සිරිමල් රනවැල්ල මහතාගේ අදහසයි.
   ^ 'රද් සොරො' ලෙසින් ලිපියේ සඳහන් වේ.
පොකුණු වලට තිසා වැවේ සිට ජලය ගෙන එන අගල
මෙම නියෝගය පිළිපැදිය යුතු පුද්ගලයන් ලෙසට ලිපියේ සඳහන් වනුයේ මගුල් මහ උයන්කැමි රද්කොල් සම්දරුවන්ය. එනම් රාජකීය උද්‍යානයේ ප්‍රධාන උයන්පල්ලා සහ රාජකීය නිලධාරීන්ය. (Chief Park-keeper of the Royal park and the officials of the royal household)
ගල් ආසනයක් සහිත ධාරාගෘහයක් (Shower-bath-house) ලෙස පරණවිතාන මහතා හඳුනාගන්නා ශෛලමය ඉදිකිරීමක් 
ලිපියේ වචන වලට අනුව පැහැදිලි වනුයේ තිසා වැවේ සිට 'රාජකීය සොරොව්ව' හරහා ගලා එන ජලය පළමුව ඉහත සඳහන් රන්මසු උයන සහ අනෙකුත් ස්ථාන පසුකොට අවසානයේ ඉසුරුමුණි විහාරයේ කෙත් වලට ගලා යන බවය. ඒ අනුව එම උද්‍යානය තිසා වැව අසල තිබිය යුතුය. එබැවින් අප මෙහිදි සලකා බලන නටබුන් පිහිටි පෙදෙස රන්මසු උයන ලෙසින් හැඳින්වූ පැරණි රාජකීය මගුල් උයන ලෙස හඳුනාගැනීම නිවැරදි බව පෙනේ.
රන්මසු උයනේ උතුරු දෙස ඇති අටපට්ටම් හැඩැති පාදමක් සහිත ගොඩනැගිල්ලක්. මේ දෙපස තවත් එවන් කුඩා ගොඩනැගිලි දෙකක නටබුන්ද දැකිය හැක.
මෙම මඟුල් උයන කිනම් කලක මුල්වරට ඉදි කරන ලද්දක්ද යන්න අවිනිශ්චිත මුත් පරණවිතාන මහතා එහි ඇති පොකුණක් 7-8 වන ශතවර්ෂ වලට අයත් විය හැකි බවට එහි ශෛලිය අනුව අනුමාණ කරයි. කෙසේ නමුත් ඉහත විස්තර වූ පැරණි උද්‍යානයක අඩංගු වූ බවට සාහිත්‍යමය මූලාශ්‍ර වල සඳහන් ඇතැම් අංග මෙම රන්මසු උයනේද හමුවේ. ඒ අතර කැටයම් කල ගල් පුවරු වලින් සැදි නාන පොකුණු, ධාරාගෘහ, ගුහා, කෘතිමව සෑදු ශිඛර, ශෛලමය ආසන ආදිය දැනටද හඳුනාගත හැක.
රන්මසු උයනේ ඇති පොකුණක ඉහල ගඩොල් වලින් කල ඉදිකිරිම්
මෙම ලිපියේ ආරම්භයේදී පැරණි භාරත දේශයේ සහ සිංහල ද්වීපයේ තිබූ බවට සාහිත්‍යමය මූලාශ්‍ර වල සඳහන් උද්‍යාන පිළිබඳව සඳහන් විය. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාට අනුව මුළු මහත් ආසියාවේම ක්‍රි.ව 1000 ට පෙර කාලයේ ඉදි කර, මේ වන විටත් හොඳ මට්ටමින් සුරැකී තිබෙන පැරණි උද්‍යාන ඇත්තේ දෙකක් පමණි. ඒ 5 වන ශතවර්ෂයට අයත් සිගිරියේ රාජකීය උද්‍යානය සහ 10 වන ශතවර්ෂයට අයත් අනුරාධපුර රන්මසු උයන වේ. දිනපතා අනුරාධපුර පැරණි නගරයට ඇදෙන බැතිමතුන් සහ සංචාරකයන්ගේ අවධානයට එතරම් ලක් නොවී, එවන් ආසියාවේ පැරණිම උද්‍යානයක් මෙරට පවතිද්දි, මෙරට ඉහල මධ්‍යම පන්තියේ  'පුරවැසියන්' ආසියාවේ සංචාරක ආකර්ශනිය නගරවල කොන්ක්‍රිට් ගොඩවල් බැලීමට මෙරට විදේශ විනිමය වැය කරමින් "ෆොරින් ටුවර්ස්" යති. 5 වන 10 වන සියවස් වල එවන් නිර්මාණ ඉදි කල ජාතියක වර්තමාන ඉරණම එවැනිය.
රන්මසු උයනේ ඇති කටාරම් කෙටූ ගුහාවක්
මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume I, 1904-1912, 1912, Edited and Translated by D.M.D.Z. Wickremasinghe
  • Archaeological survey of Ceylon Inscriptions of Ceylon Vol V, Part II, G.S. Ranawella, 2004
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • Magul Uyana (Royal Park) of Ancient Anuradhapura, Paranavithana S., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXXVI, No 97, 1944

7 comments:

  1. තවමත් අපි ඉසුරුමුණිය කියන්නේ වැරදි විහාරයකටද?එහෙමනම් එහි නිවැරදි නම කුමක්ද? නිවැරදි වෙස්සගිරිය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. දැනට අපි වෙස්සගිරිය කියන්නේ පැරණි ඉසුරුමුනි විහාරයට. වර්තමාන ඉසුරුමුනි විහාරය පැහැදිලිවම මෑත කාලයේ අනුරාධපුරය නැවත බෞද්ධ බැතිමතුන්ගේ අවධානයට ලක්වීමත් සමගා අවට පිහිටි වෙනත් පැරණි ගොඩනැගිලි වල කොටස් එකතු කර සාදා ගත් නූතන විහාරයක්. ඒ සම්බන්ධව ඉදිරියේදි වෙනත් ලිපියකින් වැඩි විස්තර ඉදිරිපත් කරන්නම්. පැරණි වෙස්සගිරිය සම්බන්ධ විවිධ මත තියෙනවා. නමුත් නිශ්චිතවම එය සොයාගෙන නැහැ. එය අනුරාධපුරයට දකුණින් එයට සැලකිය යුතු දුරකින් තියෙන්න ඕනේ මහාවංශ විස්තර වලට අනුව. රැස්වෙහෙර ලෙස වර්තමානයේ හඳුන්වන විහාරය සහ ඒ අසල කඳු වැටියේ ඇති නටබුන් පැරණි වෙස්සගිරියේ බවට එක් මතයක් ඉදිරිපත් වී තියෙනවා.

      Delete
    2. ස්තූතියි ඔබේ ලිපියට හා පිලිතුරට. මිනිසා සහ අශ්ව හිස වැනි නිර්මාණ අලුත් නිර්මාණ නොවෙයි නේද? එසේනම් වැරදියට හදුන්වන ඉසුරුමුණි වෙහෙරත් යම් වැදගත්කමක් සහිත තැනක් නේද?

      Delete
    3. මිනිසා සහ අශ්ව හිස අලුත් නිර්මාණ නෙමේ. එමෙන්ම ඒ අසලම එයට පහලින් පොකුණේ තිබෙන ඇත් පංතියේ කැටයමද අලුත් නිර්මාණ නෙමේ. මේ ස්ථානයේ තිබූ පැරණි නිර්මාණ සහිත භූමියක තමා ඒවාත් උපයෝගි කරගනිමින් එමෙන්ම අවට රන්මසු උයන වැනි වෙනත් ස්ථාන වල පිහිටි දේවල්ද රැගෙනවිත් වර්තමාන විහාරය ඉදි කර ඇත්තේ. පරණවිතාන මහතා පවසනවා මේ ස්ථානයේ පැරණි මේඝගිරි විහාරය තිබූ බවට. නව විහාරයක් මේ ස්ථානයේ ඉදි කල බවට ඇති සාධක ඉදිරි ලිපියකින් ඉදිරිපත් කල විට ඔබේ ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලැබේවි. හැකි විගසින් එය ඉදිරිපත් කරන්නම්.

      Delete
  2. විහාරය පහල පොකුණේ සහ රන්මසු උයනේ පොකුණුවල ඇත් කැටයම් එකම ශයිලියක සහ/හෝ කාලයක නෙමෙයිද?
    රන්මසු කියන්නෙ ගෝල්ඩ්ෆිෂ්ද? මසුරන්ද?

    ReplyDelete
    Replies
    1. විහාරය පතුලේ සහ රන්මසු උයනේ කැටයම් වල කාලය හෝ/හා ශෛලිය පිළිබඳව නම් මට යමක් පවසන්න පුළුවන් දැනුමක් නැහැ. බැලූ බැල්මට ඒවා එකම ශෛලියකට අයත් බව තමා මට නම් පේන්නේ. රන්මසු කියන්නේ Gold Fish තමා. ඒත් අද අපි Gold fish කියන විදේශිය මාළුවා නම් නෙමේ. පරණවිතාන මහතා ඒ බුලත්හපයා (http://biodiversityofsrilanka.blogspot.com/2014/02/bulath-hapayamanamalayablack-ruby.html) විය හැකි බව පවසනවා. ඇතැම් විට කිසියම් රන් පැහැයට හුරු ඇතැම්විට දැනට වඳවී ඇති මසුන් විශේෂයක් එහි ඇති පොකුණු වල සිටියා විය හැකියි එවැනි නමක් ව්‍යවහාර වන්නට. ඒ කුමන විශේෂයක්ද යන්න අපැහැදිලියි. මෙරටට ආවේනික වර්නවත් මසුන් බොහෝමයක් තෙත් කලාපයේ තමා හමුවන්නේ. අනෙක් අතට උන් ප්‍රමාණයෙන් කුඩයි. මෙවැනි පොකුණක සිටියා නම් එවන් මසුන් අලංකාර ප්‍රමානයෙන් විශාල උන් වීමේ හැකියාව වැඩියි. කෙසේ නමුත් ප්‍රමානයෙන් විශාල පෙතියන් වර්ග වියලි කලාපයේ ජලධාර වලත් හමුවනවා.

      Delete
  3. පද්මස්වර උයන ගැනැත් විස්තර හොයන්න

    ReplyDelete