පේරාදෙනිය උද්භීද උද්‍යානය - අද |
වර්ෂ 1821 දී මහනුවර අවටින් උද්භීද උද්‍යානයක් සඳහා සුදුසු ස්ථානයක් සොයාගන්නා ලෙසට මූන් ට පවරන අතර එම වසරේ දෙසැම්බර් 24 වන දින ඒ සඳහා පේරාදෙනිය සුදුසු බව පවසා මූන් වාර්තාවක් සපයයි. මේ එම වාර්තාවෙන් උපුටා පරිවර්තනය කල කොටසකි.
"වටපිටාවේ වූ සෑම දිශාවකම ගවේෂණය කිරීමෙන් පසු, මාගේ අදහස නම් හිටපු කන්ද උඩ රට රජතුමාගේ පේරාදෙනියේ පිහිටි උද්‍යානය අනෙකුත් සියළු ස්ථාන වලට වඩා යෝජිත උද්භීද උද්‍යානය සඳහා සුදුසු බවය. රාජකීය ඉන්ජිනේරු කැප්ටන් ඩෝසන් (Captain Dawson) නිර්ණය කරගත් පරිදි ගලන ජලයෙන් යුත් මනා දිය පාර වගා කල හැකි ඉඩම් වලින් වැඩි හරියකට ජලය සැපයීමට යොදාගත හැකිය. එහි පස තදින් ඇලී සිටින ගතියෙන් යුතු වන අතර මතුපිටින් දිරායන ශාක කොටස් සමඟ මද වශයෙන් මිශ්‍රව ඇත. කඳු වල බොරළුමය කබොක් ඇති අතර ඒවා අඩි පාරවල් වලට යෙදීමට හැකි අතර ඇතැම් පැල වලටද සුදුසු විය හැක. හුණු ගල්ද එම උද්‍යානයේ සිට මද දුරකින් සොයාගත හැක."
"දැනටද එම ස්ථානය පුරාම පාහේ විශාල ප්‍රමාණයක් පළතුරු සහ වනයේ ඇති දිවයිනේ සුලබ ගස් වර්ග ඇති අතර ඒවා හඳුන්වාදීමට අදහස් කරන ලපටි විදේශිය (Exotic) සහ දේශිය ශාක වලට හෙවන සඳහා ඉවහල් කරගත හැක....."
පේරාදෙනිය උද්භීද උද්‍යානය - 1906 |
මූන් නවීන උද්භීද විද්‍යාත්මක සහ කෘෂිකාර්මික දැනුම උපයෝගි කරගනිමින් සොයාගත් මහනුවර අවට උද්භීද උද්‍යානයක් සඳහා සුදුසුම භූමිය එයට පෙර අවසාන සිංහල රජුගේ උද්‍යානය ලෙස තෝරාගත් අපේ පැරන්නන් ඒ සඳහා කිසියම් දැනුමක් උපයෝගි කරගත්තාද? අප දන්නා පරිදි හේන් ගොවිතැන, මඩ බිම් වල කරන වී වගාව සහ තම ගෙවතු වල වැඩි සැලකිල්ලක් නොදක්වා වවන පළතුරු ආදි ශාක වගාවන් සහ ඒ හා සම්බන්ධව ගොඩනැංවූ දැණුමට අමතරව උද්‍යාන නිර්මාණය පිළිබඳ පැරණි දැනුමක් මේ වන විට නම් ඉතිරිව නොමැත.
කෙසේ නමුත් එවැනි උද්‍යානයක් සඳහා බටහිර විද්‍යාත්මක අර්ථයෙන් සුදුසු භූමිය, එහි භූ විෂමතාව සහ ශාක සඳහා සුදුසු පස පිළිබඳ මනා වැටහීමක් එම පැරණි උද්‍යාන නිර්මාණකරුවන් හට තිබෙන්නට ඇති බව නම් මින් සනාථ වේ. එම දැනුම එය සතුව තිබූ කුල හෝ පරම්පරාවන් වලින් කාලයත් සමඟ භාවිතයේ නොමැති වීම නිසාම අභාවයට යන්නට ඇත.
පේරාදෙනිය උද්භීද උද්‍යානය - 1906 |
මූලාශ්‍ර
- The Centenary of The Royal Botanic Gardens, Peradeniya, 1822-1922, F.A. Stockdale, T. Petch & H.F. Macmillan, 1922.
- Illustrated Guide to the Royal Botanic Gardens, Peradeniya, H.F. Macmillan, 1906
වෙල්ලස්සෙ කැරැළ්ල කාලෙ සහ ඊට සමකාලීනව, සිංහල ජාන සංහාරයක් (Genocide) සිද්ධ වුන බවට මතයක් තියෙනව. ඒත් එක්කම මේ කියන පුරාණ දැනුම (බොහොමයක්ම පරම්පරාගතව කටින් කට ආව දැනුම) අහිමි වෙලා ගිය බව පේනව.
ReplyDeleteඔව් එවන් සමූහ මිනිස් ඝාතනයක් (වර්තමාන අර්ථයෙන්) සිදුවූ බවට ඉංග්‍රීසීන්ගේ ලේඛන වලින්ම සාධක හමුවෙනවා. එයත් හේතු වෙන්න ඇති සම්ප්‍රදායික දැනුම් පද්ධති අභාවයට යන්න. මන් හිතන්නේ ඊටත් වඩා භාවිතයේ නොමැති විම හේතු වන්නට ඇති. වැව් බැඳීමේදි යොදාගත් තාක්ෂණය වැනි දේ ගත්තොත් මේ වන විට ඉතාම අල්ප දැනුම් ප්‍රමාණයක් තමා හොයාගන්නට පුලුවන් වන්නේ. ඒවාත් පැරණි නටබුන් අධ්‍යනය කර මෑත කාලයේ දුන් අර්ථකතන විනා පාරම්පරිකව පැවතෙන දැනුම නෙමේ.භාවිතයේ පැවතීම නිසා වෙදකම, ගොවිතැන, යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ දැනුම සහ අභිචාර විධි සම්බන්ධ දැනුම අදටත් ඉතිරි වී තිබීම එයට නිදසුනක්.
Delete