Wednesday, June 28, 2017

කෝට්ටේ කලාලේ දත මැදගන්න රාළේ - කුරහන් ගලක දළදාව සැගවූ අඳුරු යුගයක කතාව

දෙල්ගමුව රජමහා විහාරය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
කිරවැල්ලේ හිරිපිටියේ දිව නිලමේ (දිය වඩන නිලමේ) කෝට්ටේ රාජධානියට පෘතුගීසීන් පහර දීමට පෙර දින මෙවන් සිහිනයක් දුටුවේලු. තමන් වෙත සිහිනයෙන් පිරිවැජි වෙසකින් පැමිණි එක්තරා පුද්ගලයෙක් "කෝට්ටේ කළාලේ කිසිල්ලේ - දත මැද ගන්න රාළේ." යැයි කීවේලු. එසැනින්ම නින්දෙන් පිබිද එහි අදහස කල්පනා කල ඔහුට හැඟුනේ කෝට්ටේත්, කළාලයත්  (පැදුර) කිසිල්ලට ගෙන දත මැද ගන්න යන අරුතට වඩා යමක් එහි ඇති බවය. එනිසා සිහිනයෙන් කී පරිදි දත් මැද කොට්ටය සහ පැදුර කිහිල්ලේ ගසා නොගත් හෙතෙම නුවණින් වැඩිදුරටත් විමසා සිහිනයේ අරුත මෙසේ වටහා ගත්තේලු. " රාළේ! කෝට්ටේට කළ ආලයෙන් කිසිම පලයක් නැත, දන්ත ධාතුන් වහන්සේ මධ්‍ය රාජධානියට ගෙන යන්න". ඉක්බිති හිරිපිටියේ දියවඩන නිලමේ නොපමාව ඇත් දතින් දළදා වහන්සේට සමානව සාදා තිබූ අනුරුවක් රන් කරඬුවේ තබා නියම ධාතුන්වහන්සේ සිරියේ (පිහිය) කොපුවේ සඟවාගෙන කැළණි ගඟේ දිවස්නා තොටින් රාත්‍රියේම එතෙරව සීතාවකට ගොස් එහි සිටි මායාදුන්නේ රජුට (ක්‍රි.ව. 1521 - 1581) දළදාව භාරදුන්නේලු. ජනප්‍රවාදගත තොරතුරු අනුව සහ ක්‍රි. ව. 1773 දී පමණ රචිත ලෙස සැලකෙන සුළු රාජාවලියට අනුව කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ දළදාව සබරගමුව පළාතට අයත් දෙල්ගමු වෙහෙරට පැමිණියේ ඒ ආකාරයටය.
දෙල්ගමුව රජමහා විහාරය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
පෘතුගීසීන්ගේ කොතෙකුත් අපවාද, ගැරහුම් ලබමින් සහ සීතාවක රාජධානිය කරගනිමින් විසූ සිය සොයුරු  මායාදුන්නේ සමගද  නිරන්තරයෙන් යුද වදිමින්, කෝට්ටේ අගනුවර කරගනිමින් තුන් සිංහලේ පාලකයා ලෙස විසූ හත්වෙනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1521 -1551) ප්‍රතිකාල් සොල්දාදුවෙකු තැබූ වෙඩි පහරකින් මරුමුවට පත්විමට පෙර, සිය මුණිබුරු වූ ධර්මපාල කුමරුගේ පිළිරුවක් පෘතුගාලයේ රජතුමා (Dom Joao III) වෙත යවා පෘතුගාල් රජුගේ යටත් රජෙකු ලෙස ඔහුගෙන් පසු රාජ්‍යය හිමිවන ලෙසට එම පිළිරුවට කිරුළු පලන්දවන ලදී. භුවනෙකබාහුගෙන් පසු රාජ්‍යත්වය පත්වූ එම ධර්මපාල කුමරු (ක්‍රි.ව. 1551 - 1597) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිකාල්වරුන්ගේ රූකඩයක් විය. ඔහු වර්ෂ 1557 දී කතෝලික දහම වැලඳ ගෙන දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි මූලාශ්‍ර සහ රාජාවලියට අනුව Dom Joao Periya Pandar සහ දොන් ජීවන් පෙරියපන්දාර) නමින් බෞතිස්ම ලදහ. ඉන්පසු  කැළණි විහාරය සහ කෝට්ටේ දළදා මැදුර ඇතුළු සියළු බෞද්ධාගමික වෙහෙර විහාර වලට අයත් නින්දගම් ප්‍රැන්සිස්කන් නිකායේ පූජකයන්ට පිරිනැමූහ. මෙවන් වාතාවරනයක් යටතේ කෝට්ටේ නුවර සිටි සංඝයා සීතාවකට සහ කන්ද උඩරටට ගිය බව රාජාවලිය පවසයි. දළදා වහන්සේද මෙම කාලයේම පාහේ ඉහත ජනප්‍රවාදයේ එන ආකාරයට හෝ වෙනත් ක්‍රමයකට සීතාවක රාජධානියට අයත් වන්නට ඇත.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
හිරිපිටියේ නිලමේ සීතාවක රාජධානියට ගෙන ගිය දළදා වහන්සේ ඉන්පසු එම රාජධානියේ එවකට පාලකයා වූ මායාදුන්නේ හට ලබාදුන්නා විය හැක. හෙතම වැඩි ආරක්ෂාව පතා සීතාවක සිට තවදුරටත් රට ඇතුලට වන්නට පිහිටි දෙල්ගමුවේ ඒ වනවිටත් පැවති වෙහෙරක හෝ අලුතින් සෑදු වෙහෙරක දළදා ගෙයක් සාදා දළදා වහන්සේ තැන්පත් කල බව පෙනේ. ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව දෙල්ගමු වෙහෙරේ දළදාව තැන්පත් කර තිබුනේ සාමාන්‍ය කුරහන් ගලකට වඩා විශාල ප්‍රමාණයෙන් සෑදු කුරහන් ගලක් තුල තිබූ රහසිගත කුහරයකය. අදද එම වෙහෙරේ දැකිය හැකි මෙම කුරහන් ගල තුල යටි ගලේ කුහර දෙකක් ඇත. උඩ සිදුර අඟල් 4 ක් පමණ පහතට කොටා යටම සිදුර ඊටත් මහත් ලෙස සම සතරැස්ව සාරා තිබේ. ඒ තුල දළදා කරඬුව ආරක්ෂිතව තිබූ ලෙස පැවසේ. ප්‍රතිකාල් ආදී පරසතුරු උවදුරු මෙන්ම කෝට්ටේ, සීතාවක, සෙණ්කඩගලපුර ආදී ප්‍රාදේශිය රාජ්‍ය අතරද නිබදවම යුද ගැටුම් නොඅඩුව පැවති මෙම අවදියේ රාජ්‍යයේ සංකේතය වූ දළදා වහන්සේ රැක ගැනීම දේශපාලනිකව කෙතරම් වැදගත් වූවේද යන්න මින් පෙන්නුම් කෙරේ.
ගල් ආසනය
රත්නපුර සමන් දේවාලයේ ඇති පැරණි ලේකම් මිටිය උපුටා දක්වමින් කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන්නේ සීතාවක රාජසිංහයන් (ක්‍රි.ව. 1581 - 1593) විසින් දෙල්ගමුවේ වැඩසිටි දළදා වහන්සේට දෙල්ගමුව, හඳගිරිය, මස් ඉඹුල, කුට්ටාපිටිය, පැල්මඩුල්ල හා ගනේගොඩ  යන ගම් සය සහ නෙළුම්දෙණිය නව අමුණ පූජා කල බවය.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල
එම සීතාවක පළවෙනි රාජසිංහ රජු කල අලගියවන්න මුකවෙටි විසින් රචනා කරන ලද සැවුල් අස්න හෙවත් සැවුල් සංදේශය (ක්‍රි.ව. 1581 - 1585 ) දෙල්ගමු වෙහෙර සහ එහි තිබූ දළදා මාලිගය පිළිබඳ කවි කිහිපයකින්ම වර්ණනා කරයි.

උදු ළිය සඳ කිරණ මිහි පිට හුණු ලෙසට
සුදු වැලි අතුළ වැලි මළුයෙන් සැදි සුමට
රුදු නත දරණ යුරු පවුරෙනි යුතු අවට
වදු ම මිතුර දෙල්ගමු වෙහෙර ලැගුමට

ලොවැනොමදින් පිරි ගනඳුරු දමා දුර
සිය කිරණින් හිරු පැමිණෙත උදා ගිර
ලැගි නිවෙසින් නැඟැ තෙරුවන් මෙනේ කැර
මිතුර වඩින් දළදා ගෙට මනෝහර

මෙම දළදා මැදුරේ රුවන් කරඬුවක් තුළ දළදා වහන්සේ තැන්පත් කර තිබූ බව මින් පසු එන පැදි වලින් විස්තර වේ. මෙහි එන තවත් කවකින් කියැවෙන්නේ දෙල්ගමු වෙහෙරේ සධාතුක දාගැබක්, බුදු පිළිමයක් සහ බෝ ගසක්ද තිබූ බවයි. එසේම එහි එවකට විහාරාධිපති ලෙස වැඩ විසූ මිහිඳු ලකර තෙර හිමියන් (එනම් මහින්දාලංකාර මහා ස්ථවිරයන් ) ගැනද දස පද සැහැල්ලකින් විස්තර කෙරේ.
වර්තමානයේ ඉහත කුරහන් ගල තබා තිබෙන කුඩා විහාර ගෙය
මේ යුගයේදී දළදාව පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ කන්ද උඩරට පළමුවන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1591 - 1604) පිළිබඳව එන විස්තරයේදීය. එතුමා මුලින් පෘතුගීසීන් සමග සිට, ගෝවට ගොස් කොනප්පු බණ්ඩාර නමින් කතෝලික ආගම වැලැඳ බෞතිස්ම ලැබූහ. පසුව කන්ද උඩරට අල්ලා ගත් පෘතුගීසින් එහි තැබූ රූකඩ පාලකයා වන යමසිංහ බණ්ඩාර මරා කොනප්පු බණ්ඩාර නැවතත් බෞද්ධාගම වැලඳ පළමුවන විමලධර්මසූරිය නමින් රජවී, වැටී සිටි සිංහල ජාතියට ශක්තිමත් නායකත්වයක් සැපයීහ. මහාවංශයේ විස්තර වන පරිදි නගරයේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමෙන් පසු එතුමා සර්වඥයන්වහන්සේගේ දන්ත ධාතූන් කොහිදැයි විචාරා එය ලබුජගාම විහාරයේ ආරක්ෂිතව ඇති බව දැන, බෙහෙවින් සතුටු වී, සපරගමු දිසාවේ ලබුජගාමයේ සිට තමන්ගේ පුරවරයට දන්ත ධාතුව වඩා ගෙන්වා එහි දෙමහල් පහයක තබා වඳිනටද, වත් පිළිවෙත් කරන්නටද වූහ. එම ලබුජගාම යන්න පෙල බසට පෙරළු සිංහල දෙල්ගමු යන්න බව පෙනේ.
දෙල්ගමුව විහාරගෙය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
1593 දී සිදුවූ පළමුවන රාජසිංහයන්ගේ මරණයත් සමග සීතාවක රාජධානියට අයත් ප්‍රදේශ පෘතුගීසීන් යටතට පත්විය. ඒ ආසන්න කාලයකදී සිදුවු දෙල්ගමුවේ සිට දළදාව සෙන්කඩගලපුරට ගෙන ඒමත් සමගම දෙල්ගමුව විහාරය සහ දළදා මාලිගය ඇතැම්විට පෘතුගීසි කොල්ලකෑම් වලට ලක්වන්නට ඇත. ඉහත විස්තර වූ කුරහන් ගල සහ ගල් ආසනයක් පමණක් පැරණි දේ ලෙසට දැනට මෙම ස්ථානයේ ඉතිරි වී ඇත. මෙම ස්ථානයේ පෘතුගීසි බලකොටුවක් තිබූ බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන මුත් ඒ කුමන මූලාශ්‍රයක් පදනම් කරගෙනද යන්න පැහැදිලි නැත. ස්ථානය වල් බිහිවී ගිය පසු එම ස්ථානයට පැමිණි කොළඹ සද්ධාතිස්ස නම් භික්ෂුන්වහන්සේ නමක් වර්තමාන විහාරය ආරම්භ කල බව පැවසේ.
දෙල්ගමුව විහාරගෙය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
එදා සිංහල ජාතියට සහ බෞද්ධාගමට තිබූ තර්ජනයම අඩු වැඩි ආකාරයෙන් අදද නැවතත් සියවස් ගණනාවකට පසු ඇතිවී ඇත. '1948 නිදහසින්' පසු ප්‍රථම වතාවට අන්තර්ජාතික මංකොල්ලකරුවන් පිරිසකට මේ රට ජාතිය සහ සමය ජාතියක් ජම්මයක් නැති මහා ජනතාව විසින්ම සිය කැමැත්තෙන් භාරදී තෙවසරක් ගෙවී යමින් තිබේ. රටේ ආර්ථිකයේ හදවත බඳු මහා බැංකුව මංකොල්ලකෑමෙන් නොනැවතී දඹුලු පන්සලේ පිංකැටයටද කෙල හලන බහිරවයන් පිරිසක් මේ වනවිට බිහිවී ඇත. එම බහිරවයන් පිරිස නුදුරේම දළදා මාළිගයටද අත තබනු ඇත. පෘතුගීසින්ට හපන් කොල්ලකරුවන් වන මේ අමන රැල දොන් ජුවන් ධර්මපාලටද වඩා බෞද්ධ විරෝධිය, දේශද්‍රෝහිය. මේ නිසා දොන් ජුවන් ධර්මපාලගෙන් දළදාව බේරාගත් හිරිපිටියේ නිලමෙලා මේ රටට වැඩි වැඩියෙන් අවැසි මොහොතකි මේ. දොන් ජුවන් වික්කමසිංහලා සහ දොන් ජුවන් හිටංලා වෙනුවට විමලධර්මසූරිය, මායාදුන්නේ, රාජසිංහ වැනි ශ්‍රේෂ්ඨ නරපතියෙකුද මියැදෙන ජාතිය ඉල්ලා සිටී.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
මූලාශ්‍ර
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1942
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967
  • සැවුල් සංදේශය
  • සපරගමු වංශකතාව, 2 වෙළුම, 2003
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
  • Portuguese Rule in Ceylon 1594-1612, Tikiri Abeyasinghe, 1966
  • The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume 1 1505 - 1565, V. Perniola S.J. 1989
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • දේව පුරාණය සමන් දෙවිඳු හා සමන් දෙවොල, මඩලගම වජිරබුද්ධි හිමි, 2007
  • දළදා ඉතිහාසය සහ සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර ස්ථවිර, 2008

Wednesday, June 21, 2017

යාල්පානම් වලදී කොවියාර් වූ නාගදීපයේ සිංහලයෝ

"මෙම ආගම් මාරුකිරීම සැලවීමත් සමග වයස් හෝ ලිංග භේදයක් නොමැතිවම සංකිලි හයසීයක් පමණ වූ පිරිස කඩුවෙන් ගෙල සිඳ දමා මරා දැමූහ. ....ඔහුගේ උමතු ක්‍රෝධය තව තවත් ගොදුරු සොයමින් ගොස් බෞද්ධයන් වෙතටද යොමු විය. බුදුසමය අදහන්නන් සියල්ලම සිංහලයන් වූ අතර ඔවුන් බොහෝ දෙනෙක් මෙම රාජධානියේ විසූහ. ඔහු විසින් නිකුත් කල අණ පරිදි ඔවුන්ව ඔහුට අයත් සීමාවෙන් එපිටට නෙරපූ අතර ඔවුන්ගේ අති විශාල ප්‍රමාණයක් වූ වදින පුදන ස්ථාන සියල්ලම විනාශ කලහ. ඔවුන් වන්නියට සහ උඩරට පෙදෙස් වලට සංක්‍රමණය වූ අතර කිසිදු සිංහලයෙක් ඉන්පසු මෙහි ඉතිරි වූවේ හෝ නැවත කිසි දිනක පෙරලා පැමිණියේ හෝ නැත. "

ද්‍රවිඩ කාන්තාවක් 
ලන්දේසි ආණ්ඩුකාර Maccara ගේ ඉල්ලිමකට අනුව මයිල්වාකනන්(Mayilvakanan) නම් වූ දෙමළ කතුවරයෙකු විසින් කල යාපනය රාජධානියේ ඉතිහාසය හා සම්බන්ධ යාල්පානවයිපාවමලෙයි (Yalpana-Vaipava-Malai) නම්වූ කෘතියක ඉහත විස්තර වන්නේ පෘතුගීසි බලපෑම් හමුවේ මන්නාරම ප්‍රදේශයේ කතෝලික දහම වැලැඳ ගත් 600 පමණ වූ පිරිසක් සංකිලි නම් වූ යාපනය රාජධානියේ අවසාන ද්‍රවිඩ පාලකයා විසින් මරා දැමූ අන්දම සහ ඉන් නොනැවතී ඔහු ලබ්බට තියපු අත පුහුලටත් තබා යාපනයේ සිටි සිංහල බෞද්ධයන්ද පලවා හැරි අන්දමයි. බෞද්ධ වෙහෙර විහාර විනාශ කල අන්දමයි.

කෙසේ නමුත් යාපනය රාජධානියේ ඉතිහාසය පිළිබඳව වර්ෂ 1926 දී ගවේෂණාත්මක කෘතියක් කරන C. රාසනායගම් මුදලියර්තුමා පවසන්නේ මෙම කුරිරු පලිගැනීමේදී පලායාමට නොහැකිවූවන් දෙමළ ප්‍රධානීන්ගේ වහලුන් වූ බව සහ ඔවුන් කොවියාර් ලෙස හඳුන්වන යාපනය අර්ධද්වීපයේ පමණක් පවතින කුලය තුලට ඇතුලත්වූ බවයි. යාපනය ප්‍රදේශය තුල තිබෙන සියළුම කුල වලට අනුරූප කුල දකුණු ඉන්දියාවේ පවතින මුත් කොවියාර් ඇතුළු කුල තුනක් පමණක් එසේ දකුණු ඉන්දීය ප්‍රභවයක් හඳුනාගත නොහැකිව යාපනය අර්ධද්වීපයේ පමණක් හමුවේ. රාසනායගම් මුදලියර්තුමා වැඩි දුරටත් පවසන්නේ මෙම කොවියාර් ලෙස වෙනස් වී ඇත්තේ සිංහල 'ගොවියා' හෙවත් 'ගොයියා' යන වදන බවය. ගොවියා>කොවියා>කොවියාර්

රාසනායගම් මුදලියර්තුමා පවසන්නේ කොවියාර් සහ මෙම යාපනය අර්ධද්වීපයේ පමණක් හමුවන අනෙකුත් කුල දෙකේ කාන්තාවන්ගේ ඇඳුමේ ඇතුළු අන්තය උරහිස උඩින් දමන ආකාරය අව්‍යාජ දෙමළ ජනතාවට මුළුමනින්ම ආගන්තුක වන අතර එය සමාන වන්නේ දකුණේ සිංහල කාන්තාවන්ගේ සම්ප්‍රදායික ඇඳුමට බවය. කාර්ට්මන්ට (Cartman, 1957) අනුවද  උතුරේ දෙමළ සමාජයේ පවතින විශ්වාසයක් වනුයේ කොවියාර් වරු කිසියම් කාලයකදී ද්‍රවිඩයන් විසින් වහලුන් බවට පත් කර ගත් සිංහල ගොවිගම පුද්ගලයන් බවය.

ශ්‍රි ලාංකික දෙමළ ජනතාවගේ කුල අතරින් උසස්ම කුලය ලෙස සලකන වෙල්ලාල කුලය ( ගොවි ) සහ මෙම කොවියාර් කුලය අතර ඇත්තේද අමුතුම ආකාරයේ සහ සම්බන්ධයකි. කොවියාර්වරු පෙර කල වෙල්ලාල ප්‍රධානින්ගෙ වහලුන් වූ අතර වෙල්ලාල ප්‍රධානීන්ගේ ගේ දෝර සහ ගොවිබිම් වල සේවකයන් සහ කෝකියන් ලෙස කටයුතු කලහ. පසුකාලීනවද වෙල්ලාලයන්ගේ මංගල උත්සව වල හැමවිටම පාහේ කෑම සැකසීම කොවියාර්වරු විසින් සිදු කර ඇත (Holms, 1980)

පෙරකල වෙල්ලාලයන් කොවියාර් කාන්තාවන් සමග අනියම් සබදතා පවත්වා ඇති අතර ඔවුන්ගෙන් පැවත එන දරුවන් බොහෝ දෙනෙකු වෙල්ලාලයන් ලෙස සලකා ඇත. කොවියාර්වරුන්ගේ මගුල්තුලා වලට වෙල්ලාලයන්ද සහභාගී වන අතර ඔවුන්ගේ ආහාරද පිලිගනී. වෙල්ලාල පුද්ගලයෙකුගේ අවමගුලකදී කොවියාර්වරු දේහය ආදාහනය සඳහා ඔසවාගෙන යන අතර කොවියාර්වරයෙකුගේ අවමගුලකදී එම මියගිය පුද්ගලයා සේවය කල වෙල්ලාල ප්‍රධානියා එම දේහය භූමදානය සඳහා ගෙන යෑමට ප්‍රථම එය ස්පර්ශ කිරීම අනිවාර්යෙන් සිදුකල යුතුය. දෙමළ සමාජයේ වෙල්ලාල කුලවතුන් කිසි විටෙක අනෙකුත් පහත් කුල ලෙස සලකන කුල වල සේවකයන් ස්පර්ශ නොකරන බැවින් මෙය කොවියාර්වරුන් ඒ අතරින් විශේෂ කණ්ඩායමක් බව විදහාපාන අවස්ථාවකි. රඝවාන්ට අනුව කොවියාර්වරු වෙල්ලාලයන්ගේ මගුල් කපුවන් ලෙසද අතරමැදි සේවයක් ඉටුකරයි. මගුල් පෙරහැරේ වෙල්ලාල මනාලයාගෙ හිසට ඉහලින් වියන් ඇල්ලීමද කොවියාර් පිරිමින් සිදු කරන අතර මනාලයා මනාලියගේ ගෙදරට පිවිසි විට සිදුකරන ආලත්ති චාරිත්‍රයද කොවියාර් කාන්තාවක විසින් සිදු කරයි (මෙහිදි බන්දේසියක තබා දැල්වූ පහන්තිර මනාලයා ඉදිරියෙන් වැනීමක් සිදු කරන අතර ඉන් ඇස්වහ කටවහ දෝශ දුරු කිරීමක් සිදු කරයි ) වෙල්ලාල යුවතියන්ගේ කොටහළු අවස්ථාවලදීද කොවියාර් කාන්තාවන් බොහෝ කටයුතු වලදි උදව්කරුවන් ලෙස කටයුතු කරයි. කලාතුරකින් නමුත් වෙල්ලාලයන් සහ කොවියාර්වරු අතර සිදුවූ විවාහයන් පිළිබඳව තොරුතුරුද ඇත.
ද්‍රවිඩ කාන්තාවක් සිය සේවිකාව සමග

කෙසේ නමුත් මානව විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ කොවියාර්වරුන් දිගු හිස් ඇති පුද්ගලයන් බවය. එසේම ඔවුන් එම ලක්ෂණය මගින් වඩාත් සමාන වන්නේ දෙමළ වෙල්ලාලයන්ට සහ මෙරට ආදී වාසින් ලෙස සලකන වැදි ජනතාවට බවය. එම ලක්ෂණ වලට අනුව නම් ඔවුන් සිංහලයන් හා සමාන වන්නේ මද වශයෙනි. කෙසේ නමුත් සිංහල ජනතාව අතර පවතින කුල ක්‍රමයට අනුව වැදි ජනතාව ගොවි කුලයට අයත් ලෙස සලකන අතර කිසියම් කාලයකදි උතුරු ප්‍රදේශය තුලදි සිංහල බවට පත්වූ වැදි ජන කණ්ඩායමකින් කොවියාර් කුලය පැවතෙනවා විය හැක. කෙසේ නමුත් ද්‍රවිඩ වෙල්ලාලයන් සහ කොවියාර්වරු අතර ලිංගික සබදතා පැවතුනු බව ඉහත සඳහන් වූ බැවින් සැලකිය යුතු ලෙස ද්‍රවිඩ ලේ එමගින් වර්තමාන කොවියාර් වරු අතරට ගිය බව අනුමාණ කල හැකිය. එලෙසින් ඔවුන් වෙල්ලාලයන්ට මානව විද්‍යාත්මකව සමාන වීම පැහැදිලි කල හැකිය.

වෙල්ලාල ඇතුළු අනිකුත් කුල වල දෙමළ ජනතාව සියවස් කිහිපයකට පෙර මෙරටට සංක්‍රමණය වීමට පෙර උතුරේ නාගදීපයේ භූමිපුත්‍රයන් වූ සිංහල ගොවි කුල ජනයා අවසානයේ කොවියාර්වරු ලෙසින් සාපෙක්ෂව ප්‍රමාණයෙන් කුඩා ජන කණ්ඩායමක් බවට පත්වි අදවන විට දෙමළ ජන වර්ගයට අයත් කුලයක් ලෙස ශේෂ වීම මේ ආකාරයෙන් සිදු වූවා විය හැක. දශක තුනක් පුරා දකුණේ සිංහල ජනයාට එරෙහිව LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදය සිදුකල ම්ලේච්ඡ ප්‍රහාර වලට ඇතැම් විට කොවියාර් කුලයේ පුද්ගලයන්ද සම්බන්ධ වන්නට ඇත. සියවස් කිහිපයකට පෙර සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණ තුලින් උතුරේ විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ බහුතරය බවට පත්වූ දෙමළ ජන වර්ගය සමග එක්වී එලෙස තමුන්ගේ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවතෙන දකුණේ තම නෑදෑයන්ට එරෙහි වීම, එක්ව ජීවත්විය යුතු දේශය දෙකඩ කිරීමට අරගල කිරීම ඉතිහාසයේ කුරිරු සරදමක් නොවේද?

අදාල පෙර ලිපි

මූලාශ්‍ර
  • The Yalpana-Vaipava-Malai or The History of the Kindom of Jaffna, Translated from the Tamil with an Appendix and a Glossary, C. Brito,1879.
  • Ceylon: A Pictorial Survey of The People And Arts by M.D. Raghavan, 1962
  • Ancient Jaffna, being a research into the history of Jaffna from very early times to the Portuguese period, Mudaliyar C. Rasanayagam, 1926
  • The People of Ceylon, Dr. N.D. Wijesekera, 
  • Caste in Modern Ceylon, The Sinhalese System in Transition, Bryce Ryan, 1953
  • The Lion and the Sword, An Ethnological Study of Sri Lanka, Asiff Hussein Volume 2,2008
  • Caste in Sri Lanka, From Ancient Times to the Present Day, Asiff Hussein, 2013



Thursday, June 8, 2017

දියතිලකපුර හරහා මතුරට සිට සිරිවද්දන පුරවරට...

මග සලකුණ නම් වූ පැරණි පුස්කොල පොතක එන කවි අනුසාරයෙන් බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳව වන මෙම ලිපිය එම ලිපි පෙලේ සිව්වන සහ අවසාන ලිපියයි. පෙර ලිපි සඳහා
සැඩ නල එකත් මැඩගෙන මෙර සිඳු දෙරණ
රකින කග පලහ ගෙන ඉදිරියට පැන
නොමින විකුම් යුතු සෙබලුන් මුර කරන
ගමන යෙහෙකි සකි මතුරට කඩවතින

ඉහත කවියේ කියවෙන ලෙසට මග සලකුණ ලිවූ කාලයේ මතුරට සෙබලුන් මුර කරන කඩවතක් තිබී ඇත. පසු කාලයේ ඩේවි මතුරටින් යනවිට එහි තිබී ඇත්තේ ඉංග්‍රිසි යුද භටයන් සිටින බල කොටුවකි. ඉංග්‍රිසින් මෙම මාර්ගයේ උපාය මාර්ගික වැදගත්කමින් යුත් ස්ථාන වල බලකොටු ඉදි කිරීමට ප්‍රථමයෙන් සිංහල රජවරුද එම ස්ථාන වල ඇති වැදගත්කම වටහාගෙන සෙබලුන් රැඳවූ බව පෙනේ (සසදන්න දොඩම්වතුකපල්ල පසුකල විට හමුවන කඩවත සහ පසු කලක එහි පාමුල ඉදි කල මැක්ඩොනල්ඩ් කොටුව සමග)
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ ඇති මාර්ගය
ඩේවිගේ විස්තරයට අනුව මතුරට(Maturatta) කොටුව කුඩා කඳු ගැටයක් මත, මුහුදු මට්ටමේ සිට අඩි 2700 පමණ උසින්  සහ පහල නිම්නයේ සිට අඩි 1000 පමණ ඉහලින් පිහිටා ඇත. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරින් කන්දක පැත්තකින් (Side of the Mountain) තිබූ වෙඩි ලුනු ගුහාවක් (Nitre Cave) පිළිබඳවද ඩේවි විස්තර කරයි.
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ  ඇති මාර්ගය
මතුරට සිට දියතිලක පුරට
මග සලකුණ විස්තරයට අනුව මතුරට කඩවතින් පසු බෙලිහුල් ඔය සිරි නරඹා පදියපැලැල්ලෙන් ළඳුන් බලා යා ගන්නා ලෙස පවසයි. ඉන්පසු හමුවන කොස්රුප්ප පසු කර ගිය පසු හමුවන මැටිවල අම්බලමේ ඉඳ, එතනින් නික්ම වලුගන්හින්න පසු කර රිකිල්ලගස්කඩින් ගොස් මාදන්වල විහාරය වැඳ මග සලකුණ මගියා පිවිසෙන්නේ දියතිලක පුරයටය.
පදියපැලැල්ලේ සිට රිකිල්ලගස්කඩට මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම මෙසේ යොමු වී තිබුණා විය හැක
මෙම ස්ථාන නාම වලින් බෙලිහුල් ඔය, පදියපැලැල්ල, රිකිල්ලගස්කඩමාදන්වල විහාරය (මාදන්වල  රජමහා විහාරය ලෙසින්) සහ දියතිලකපුර (වර්තමාන හඟුරන්කෙත) වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැක. ඒ අනුව පැරණි මාර්ගය මෙම සිතියම් වල දැක්වෙන ආකාරයෙන් තිබුණා විය හැක.
ඩේවි ඒදණ්ඩක් (Singalese Bridge) මතින් බෙලිහුල් ඔයෙන් එතෙර වූ ස්ථානය විය හැකි ස්ථානයේ (පදියපැලැල්ලේ ) අද ඉදිකර ඇති පාලම - Google Street View ඇසුරින්
මතුරට සිට මහනුවරට (Kandy) සැතපුම් 26 ඇති බවද, එම කොටස එතරම් සිත්ගන්නා කොටසක් නොවන බවද, මාර්ගය අධික ලෙස කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවද, එහි සැලකිය යුතු කොටසක වගාවන් ඇති නමුදු වැඩි කොටසක් ඒ වන විටත් නොඋස් වනාන්තර වලින් යුක්තව තිබූ බවද ඩේවි පවසයි. එම මගෙහි දිය කඳුරු කිහිපයකින්ම එගොඩ විය යුතු නමුත් මතුරට නිම්නය හරහා පහලට බසින බෙලිහුල් ඔය (Bilhool Oya) සහ හඟුරන්කෙත (Hangranketty) අසලින් ගලන මහා ඔය (Maha Oya) ඒ අතරින් විශේෂයෙන් සඳහන් කල යුතු බව ඔහු පවසයි. ඒ එම ඔයවල් දෙකම සැලකිය යුතු මට්ටමේ ජල ප්‍රවාහයන්(Both are considerable torrents) වන බැවිනි.මෙයින් මුල් එක එනම් බෙලිහුල් ඔය කලාතුරකින් බැස යා හැකි මට්ටමේ (Fordable) එකක් වන බැවින් ඒ හරහා යා යුත්තේ දිය පහරට අඩි 20 ක් හෝ 30 පමණ උඩින් ඔයෙහි ඉවුරු දෙක හරහා ගසක කඳක් දමා සදා තිබූ සිංහල පාලමක් (Singalese Bridge) මතින් යන බියකරු ගමනකින් බව හෙතෙම සඳහන් කරයි. මහ ඔය ඔහු එහි යන අවස්ථාවට ආසන්න කාලයේ වට වැසි නිසා ඉදිමුණු බවක් තිබුනද එහි ගල් සහිත පත්ල හරහා ඩේවි එතරම් අපහසුවකින් තොරව ඇවිද යයි.

මාදන්වල විහාරය මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය
රිකිල්ලගස්කඩ සිට මාදන්වල විහාරය හරහා දියතිලකපුරට (හඟුරන්කෙත) මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම වූවා විය හැක.
දියතිලක පුර
මග සලකුණේ දියතිලක පුර වර්ණනාව යටතේ දකුණු දෙසින් පෙනෙන පුල්වන් දෙව් රද විමන (එනම් උපුල්වන් දේවාලය) නමැද ඉන්පසු මාර්ගයේ දකුණු දෙසින් පෙනෙන දියතලා කන්ද නරඹා උඩ වීදියට යාගන්නා ලෙසත්, දකුණේ ඇති කොත්මලේ වහල් කඩ දැක, වම් පස ඇති අන්කෙළිහින්නේ බෝ තුර බලා යාගන්නා ලෙසත් පවසයි. මෙම ස්ථාන අතරින් අද වන විට උපුල්වන් දෙව් විමන ලෙසින් හැඳින්වූ වර්තමාන විෂ්ණු දේවාලය පහසුවෙන් හඳුනාගත හැක. අප මෙම ලිපි පෙලේ මුල් ලිපියේ කතරගම දෙවියන් ලෙස වෙනස් වූ මහසෙන් දෙවියන් ගැන පැවසූ පරිද්දෙන්ම මග සලකුණ ලියවෙන කාලය වන විටද සිංහල බෞද්ධ දේව ඇදහිල්ලක් වූ උපුල්වන් දෙවියන් දකුණු ඉන්දියාවෙන් පැමිණි විෂ්ණු දෙවියන්ගෙන් අතික්‍රමනය වී නොතිබුණු බවට මග සලකුණ සාක්කි දරයි.
විෂ්ණු දේවාලය සහ පත්තිනි දේවාලය. මෙහි ඇති පොත්ගුල් විහාරය සෑදීම සඳහා පැරණි රජ මාලිගයේ නටබුන් යොදාගෙන ඇත.

දියතලා කන්ද සහ පල්ලේ මළුව වැව. පල්ලේ මළුව වැවට දකුණෙන් රජ මාළිගය පිහිටා තිබී ඇත. (සෙනරත් දිසානායක මහතා පල්ලේ මළුව වැව ලෙස ලකුණු කර ඇති ස්ථානයේ Google Maps අනුව ඇත්තේ ඉහල මළුව වැව ලෙස සඳහන් වන වැවකි )
හඟුරන්කෙත පැරණි නගරයේ නටබුන් වී තිබූ රජ මාලිගාව සහ ඒ සමග වූ විහාරය ගැන ඩේවි මෙසේ පවසයි. "1815 දී අප මෙම ප්‍රදේශ වලට ඇතුළු වනවිටද මාළිගාව සහ විහාරය හොඳ තත්වයේ තිබුණි. එහෙත් මේ වන විට නටබුන් වී ඇති  මාළිගය එය තිබූ තැන සොයාගත නොහැකි මට්ටමටම පත් වී ඇත [පල්ලේමළුව නම් වූ වැවට යාබදව පැරණි රජ මාළිගය පිහිටා තිබූ බව සෙනරත් දිසානායක මහතා සාධක සහිතව පෙන්වා දී තිබේ.] වසර දෙක තුනකින් විහාරයද පොළවටම සමතලා වනු ඇත. පත්තිනි දේවාලයද මේ වනවිට නටබුන් වී ඇති අතර මහා විෂ්ණු දේවාලය නටබුන් වෙමින් පවතී. එහි සියළුම කාමර හිස්වී තිබූ අතර, දොරවල් කඩා බිඳ දමා තිබුණි. ගොඩනැගිල්ලේ වැඩි වශයෙන් වහලය නොමැති තත්වයකි ඇත්තේ. මාළිගය විනාශ කිරිමේ වගකීම ස්වදේශිකයන් විසින්ම භාරගත යුතුය. එය කොල්ලකෑමෙන් පසු ඔවුන් එයට ගිනි තැබූහ. විහාරය නම් විනාශ කලේ අපේ හමුදාවය. කැරැල්ල කාලයේ ඔවුන් ඒ තුල විසූ අතර එක් වරකට වඩා මෙහි විශාල වශයෙන් එකතු වූ සතුරන් හට පහර දීම් සිදුවුනි." (එහෙත් අද වන විට පත්තිනි දේවාලය සහ විෂ්ණු දේවාලය නැවත පිලිසකර කර ප්‍රකට පූජනීය ස්ථාන ලෙසින් පවතී.)

දියතිලක පුර සිට බෝලාපේට
මග සලකුණට අනුව දියතිලක පුර සිට මාර්ගය යොමුවන්නේ රත්මැටිය හරහා ඩේවි ඉහත සඳහන් කරන මහ ඔයෙන් එතෙර වී (මග සලකුණේ එම ඔය සඳහන් වන්නේ මා ඔය ලෙසිනි.) මිලලේ, දෙගල්කඩ කඩවත, මීරුප්පේ, මාරස්සන වෙහෙර හරහා බෝලාපේ ට ලඟා වීමෙනි. හඟුරන්කෙත සිට මා ඔය දක්වා වර්තමානයේ මාර්ග 3ක් යොමුවී ඇත (ඉහත සිතියම බලන්න) මින් කුමන මාර්ගයක් පැරණි මාර්ගය වූවාද යන්න නිශ්චිතව පැවසිය නොහැක. පැරණි විහාරයක් වන අරත්තන විහාරය මේ මාර්ග අතුරින් B413 මාර්ගයේ යනවිට හමුවන බැවින් ඇතැම් විට පැරණි මාර්ගය එය විය හැක (එහෙත් එම විහාරය මග සලකුණේ විස්තර නොවන බැවින් ඉඳුරාම එසේ පැවසීම නිවරදි නොවිය හැක.) මා ඔයෙන් එගොඩ වූ තොටමුණ බොහෝ දුරට වර්තමාන පාළම පවතින ස්ථානය විය හැක
මා ඔය සහ වර්තමාන මාර්ගය ඔය හරහා යන පාළම - Google Street View ඇසුරින්

මා ඔයෙන් එගොඩ වූ පසු මගියාට බිම බටු සුරඟන වන් අඟනන් සිටින මිලලේ පසු කර දෙගල්කඩ කඩවත හරහා මීරුප්පේ සෙවනේ මදක් ගිමන් හැර මාරස්සන වෙහෙර තොසින් වැඳ බෝලාපේ නුදුරින් යා ගන්නා ලෙසට මග සලකුණ කවියා පවසයි. මෙයින් මාරස්සන නමින් හැඳින්වෙන මං සන්දියක් අද දක්වාම පවතින මුත් මෙට්‍රික් සිතියම් වල මී රුප්පේ ලෙසින් ලකුණු කර ඇති ස්ථානය ඇත්තේ එම මං සන්දියට මදක් උතුරිනි. එම නිසා මාරස්සන වෙහෙර එයටත් උතුරු දෙසින් තිබුණා විය හැක. ඒ අනුව පැරණි මාර්ගය මේ ආකාරයෙන් තිබූ ලෙසට පෙන්වා දිය හැක (පහත සිතියම බලන්න). මාරස්සන දක්වා වූ වෙනත් ස්ථාන හඳුනාගත නොහැකි මුත් දෙගල්කඩ කඩවත පහත සිතියමේ දක්වා ඇති කඳු දෙක මැඳින් මාර්ගය වැටී ඇති ස්ථානය විය හැක.
මග සලකුණ විස්තරයේ දැක්වෙන මීරුප්ප වර්තමාන මාරස්සන මංසන්දියට දකුණෙන් වූ ස්ථානයක තිබූ වෙනත් මීරුප්පයක් වී මාර්ගය ඉහත සිතියමේ දෙගල්කඩ කඩවත ලකුණු කර ඇති ස්ථානයේ සිට පහලට යොමු වී ඇති මාර්ගය හරහා වර්තමාන මාරස්සන මං සන්දිය හරහා තිබුණා වීමටද ඉඩ ඇත.

මාරස්සනදී ඩේවි රාත්‍රිය ගත කිරීමට නැවතේ. එම ස්ථානය මහනුවර සිට සැතපුම් 10 පමණ දුර්න් වූ බව ඔහු සඳහන් කරයි. එහි තිබූ කදිම විහාරය සුදු පැහැති බිත්තියකින් වටවී තිබූ බවත් එය විශිෂ්ට දෙයක් ලෙසත් ඩේවි සඳහන් කරයි (Its neat vihare, enclosed by a white wall, is a conspicuous object). ඒ වන විට එහි බෙන්ගාලි සිපයි ඒකකයක් (Detachment of Bengal Sepoys) නැවතී සිටි බවත් ඔවුන් එහි තිබූ බුදු පිළිමය (Figure of the Boodhoo) ඔවුන්ගේ මහා දෙවියා (Maha Deo) ලෙස සලකා එයට වැඳුම් පිඳුම් කල බවත් ඩේවි වැඩිදුරටත් සඳහන් කරයි. මේ මාරස්සන වෙහෙර අද දක්වාම පවතින්නේද යන්න ගැන නිශ්චිතව කීමට අපට  සාධක කිසිවක් හමු නොවිනි.

බෝලාපේ සිට සිරිවද්දනපුරය
මාරස්සන වෙහෙරින් පසු බෝලාපේ නුදුරෙන් ගොස් කිවුල් ළිඳේ පාළම නැඟ තළාවතු ඔයෙන් යාගන්නා ලෙසත්, ඉන්පසු රදා ගැහූ පාණ පසු කර අන්පිටියේ බණ මඩුවේ නොරදා, සිහිල් පැන් කඳුර දැක, මී ගොන් අරඹ වෙලට ගොස් වමෙහි පෙනෙන පල්ලේවාහල අටුව දැක, අංගම් පොර අරින සෙබලුන් සිටින අංගම් මැඩිල්ලෙන් ගොස්, පරගහ මුල මළුව බලා දළදාගේ පිහිල්ලට බැස පැන් නාන ලෙසත් මග සලකුණ කවියා මගියාට පවසයි.
මාරස්සන සිට තළාතු ඔය දක්වා ගමන් මග
වර්තමාන වික්ටොරියා ජලාශය අද්දර බෝලාපේ නම් ස්ථානයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මාරස්සන සිට එම ස්ථානය හරහා තළාතු ඔය දක්වා යන විට කිවුල්ලිඳ නම් වූ බස් නවත්වන ස්ථානයක් Google Map වල දැකිය හැක. එම ස්ථානයට පෙර වර්තමානයේ වික්ටෝරියා ජලාශයට වැටෙන (ජලාශය සෑදීමට පෙර මහවැලි ගඟට එකතු වූ) කුඩා දිය පාරක් දැකිය හැකි අතර, ඉහත කිවුල් ළිඳේ පාළම මෙම ස්ථානයේ තිබුනා විය හැක. කෙසේ නමුත් මෙට්‍රික් සිතියම් වල කිවුල් ළිඳ ලකුණු කර ඇත්තේ තවදුරටත් තළාතු ඔය දෙසට වන අතර එම ස්ථානයේද කුඩා දිය කඳුරක් හරහා වර්තමාන පාර වැටී ඇත. එබැවින් කිවුල් ළිඳේ පාළම එම දිය කඳුර හරහා තිබූවක් වූවාද විය හැක.  තළාතු ඔයෙන් එතෙර වූ පසු හමුවන අන්පිටිය අම්පිටිය ලෙසින් අද දක්වාම පැවත එන ප්‍රදේශයයි.

තළාතුඔය සිට මහනුවර දක්වා අම්පිටිය හරහා යන මාර්ගය
සෙන්කඩගලපුර තුල දළදා ගේ පිහිල්ලෙන් පැන් නාගත් පසු, ගල් පඩි පෙළින් මහ මළුවට නැගගන්නා ලෙසත්, ඉන්පසු නාත සුර විමන, වම් පසින් ඇති යකරුහල ( යකඩ කරුවන්ගේ ශාලාව හෙවත් කම්මලක්) දකුණෙන් පෙනෙන මහවාසල් දොර ආදිය දැකගන්නා ලෙසත් සිරිවද්දනපුරය පිළිබඳ නගර වර්ණනාවකින් පසු දළදා මාළිගයට පිවිසෙන ලෙසත් පවසා මග සලකුණ සිය ගමන් විස්තරය නිම කරයි. මේ අතුරින් නාථ දේවාලය (නාත සුර විමන), මහා වාසල සහ දළදා මාළිගය පිහිටි ස්ථාන පහසුවෙන් හඳුනාගත හැක.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Kandy, Anuradha Seneviratna,1983
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • දියතිලක නුවර, පැරණි ස්මාරක සහ ස්ථාන, සෙනරත් බණ්ඩාර දිසානායක, 1997

Sunday, June 4, 2017

Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..

මතුරට කඳු  (උපුටා ගැනීම - http://www.imagesofceylon.com)
මෙම ලිපිය මග සලකුණ නම් වූ පැරණි කවි පොතක ඇති විස්තරය අනුව බදුල්ල නගරයේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳවය. මෙම ලිපිය කියවීමට පෙර මෙහි මුල් ලිපි දෙක මෙතනින් කියවන්න.
නූතන පළාත් හා දිස්ත්‍රික්ක බෙදීම් අනුව ඌව පළාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුලු වන කඩවතින් අප පෙර ලිපිය අවසන් කලෙමු. මේ එතැන් සිට මාර්ග විස්තරයයි.

ජෝන් ඩේවි සහ මැක්ඩොනලඩ් කොටුව
අප මෙහි විස්තර කරන ප්‍රදේශය භූගෝලිය ලක්ෂණ අනුව එක්තරා සුවිශේෂී කලාපයකි. මේ පහල ඌව ප්‍රදේශයේ සිට (බොහෝ දුරට වර්තමාන මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශය) හපුතලේ දුර්ගය හරහා ඉහළ ඌව ප්‍රදේශයට පිවිසි පසු හමුවන ඌව ද්‍රෝණියේ (Uva Basin) සිට ඊලග අඩතැන්නට (Peneplain) පිවිසෙන දොරටුවයි (රූපය බලන්න).  ඒ අනුව ස්ථානයේ වැදගත්කම වටහා ගත් ඉංග්‍රීසීන් මෙම ස්ථානයේ දොඩන්වතුකපල්ල පාමුල බලකොටුවක් ඉදිකලහ. දොඩන්වතුකපල්ලට සහ පරණගම ලෙස සලකුණු කල ස්ථාන වලට පෙර සපුගොල්ලේ සිට එන මාර්ගය අද්දර Fort Mcdonald නම් වූ ස්ථානයක් මෙයට පෙර ලිපියේ වූ සිතියම් වල අප ලකුණු කල මුත් ඒ සම්බන්ධව විස්තරයක් ඉදිරිපත් නොකලෙමු. ඒ එම ඉංග්‍රිසී බලකොටුව පිහිටි තැන ලෙස මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානයයි. 
මැක්ඩොනලඩ් කොටුවේ පිහිටීම සම්බන්ධව ජෝන් ඩේවි ඉදිරිපත් කරන විස්තරය මේ ආකාරයෙනි. "මුහුදු මට්ටමේ සිට අඩි 3000 පමණ උසින් මැක්ඩොනල්ඩ් කොටුව තිබුණි.  එය සරුසාර මෙන්ම පුළුල් පරණගම නිම්නයේ එතරම් උස නැති කන්දක ඉහල ඌව බාධක කඳු වල පාමුල සහ උස්වූ දොඩන්වතුකපල්ල කඳු දුර්ගය පාමුලම වාගේ පිහිටා ඇත." (Fort M'Donald is about 3000 feet above the level of the sea. It is situated on a low hill, in the fertile and extensive valley of Parnegamme, at the foot of the barrier-mountains of Upper Ouva, and immediately under the pass of the lofty Dodanatukappella mountain.)

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වර්ෂ 1816 සිට 1820 දක්වා මෙරට සේවය කල ජෝන් ඩේවි [John Davy] (හෙතම සුප්‍රකට විද්‍යාඥයකු වූ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවිගේ [Sir Huphrey Davy] බාල සොහොයුරාය.) මෙහි සිටි කාලය තුල දිවයිනේ බොහෝ පෙදෙස් වල සංචාරය කර සිය අත්දැකීම් ඇසුරින් නැවත බ්‍රිතාන්‍යයට ගිය පසු 1821 දී An Account of the Interior of Ceylon and of its Inhabitants with Travel in that Island නමින් පොතක් පළ කලහ. 1815 දී ඉංග්‍රීසීන් කන්ද උඩරට අල්ලාගත් පසු එම ප්‍රදේශ වල සංචාරය කල මුල්ම පුද්ගලයන් අතර ඩේවි පෙරමුණේම සිටී. එසේම 1818 කන්ද උඩරට නිදහස් අරගලය ඉංග්‍රීසින් විසින් කුරිරු ලෙස මර්දනය කල ආකාරය සහ එයින් පසු මෙරට සිංහලයන් පත්ව සිටි ශෝචනීය තත්වය පිළිබඳවද ඩේවි සිය පොතේ කරුණු ඉදිරිපත් කරයි. කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට ජෝන් ඩේවි වැදගත් වන්නේ ඔහු දෙවරක්ම මෙම මැක්ඩොනල්ඩ් බලකොටුව හරහා අප මෙහි කතා කරන මාර්ගයේ දොඩන්වතුකපල්ලේ සිට මහනුවර දක්වා ගමන් කර සිය අත්දැකීම් විස්තර කරන බැවිනි.

පළමුවරට කතරගම (Katragam) සිට වැල්ලවාය (Weleway) හරහා හපුතලේ දුර්ගය (Apotella Pass) ඔස්සේ මැක්ඩොනල්ඩ් කොටුව වෙත ලඟා වන ඩේවි එතැන් සිට මහනුවර දක්වා වූ ගමන් මග පිළිබඳව ළගන්නා සුලු විස්තරයක් ඉදිරිපත් කරයි. මේ අවස්ථාවේ ඔහු සමග පැමිණි Mt. Wright නමැත්තා ඩේවි සමග නොයා බදුල්ලට යාම සඳහා ඔහුගෙන් වෙන්වී ගිය බව සඳහන් වන බැවින් බදුල්ලේ සිට මෙම මැක්ඩොනල්ඩ් කොටුවට වූ මාර්ගය එවකටද භාවිතා වූ බව පෙනේ (එහෙත් එඩ්මන්ඩ් පීරිස් පියතුමා පවසන ලෙසට ඩේවි බදුල්ලේ සිට පයින්ම මෙම ස්ථානයට පැමිණි බවක් ඔහුගේ ගමන් විස්තරයේ කියවෙන්නේ නැත.) 

දෙවෙනි වර ඔහු මැක්ඩොනල්ඩ් කොටුවට පැමිණෙන්නේ කොත්මලේ ප්‍රදේශයේ සිට පුසුල්පිටිය (Pouhalpittye),  දිඹුල (Dimbola), පුණ්ඩලුඔය (Poodool Oya), නුවරඑළිය පතන (Neuraellyia-pattan) හරහා වන මාර්ගයකින් ඉහළ කඳුකරයේ සිට පහලට බසිමිනි. (මැක්ඩොනල්ඩ් කොටුව දක්වා වූ මෙම අවස්ථා දෙකෙහිදීම ගමන් මාර්ග හඳුනාගත හැකි පරිද්දෙන් ඩේවි සවිස්තරව ඉදිරිපත් කරන මුත් ඒ පිළිබඳව වෙනම විමසා බැලිය යුතුය.)

දොඩන්වතුකපල්ලේ සිට මතුරටට
කඩවත පසු කිරීමෙන් පසු මග සලකුණ කවියා යොමු වන්නේ පද්‍ය 31 කින් යුත් දීර්ඝ වන වර්ණනාවකටය. ඔහුගේ විස්තරයේ සත්‍යය බව පසක් කරමින් ඩේවිද පවසනුයේ කඩවත පසු කල පසු වනාන්තරයට අවතිර්ණ වන බවය. 
දොඩන්වතුකපල්ලේ සිට කඩවත දක්වා යෑමේදී දර්ශනය වන ඩේවි සහ මග සලකුණ කවියා විස්තර කරන රමණිය දර්ශනය (Google Street View ඇසුරින්)
ඩේවිගේ විස්තරයට අනුව මතුරට දක්වා වූ ගමන් මග පිළිබඳ වැදගත් තොරතුරු මෙසේ කැටිකර දැක්විය හැක. මැක්ඩොනල්ඩ් කොටුවේ සිට මතුරට දක්වා දුර සැතපුම් 16 පමණ වේ. එම දුර යෑම සඳහා ඔහුට පැය 8ක් ගතවී ඇත. මැක්ඩොනල්ඩ් කොටුව පසු කල වහාම මද දුරක් හැරුන කල මුදුන දක්වාම අධික බෑවුම් ඇති දුර්ගය හමුවේ (Very Steep up to its summit with very little interruption.). මෙම දුර්ගය නැගීමේදි වියලුව (Weyaloowa), ඉහළ ඌව වැනි ප්‍රදේශ දර්ශණිය ලෙස දිස්වේ. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරක් ගමන් කල පසු පැරණි කඩවතක නටබුන් හමුවේ.  ඉන්පසු පිවිසෙන්නේ වනාන්තරයටය. කොටුව පසු කල පසු අවම වශයෙන් සැතපුම් 10 ක් වත් නිරන්තර නැගීම් බැසීම් සමග උන්නතාංශය (Altitude) ක්‍රමයෙන් වැඩිවෙන ලෙස මාර්ගය වැටී ඇත. කොටුවේ සිට සැතපුම් 7 පමණ ගිය පසු මාර්ගයේ උසම ස්ථානයට ලඟාවේ.
කඩවතේ සිට හාල් ගරන් ඔය දක්වා ගමන් මාර්ගය
මග සලකුණ විස්තරයට අනුව මෙම මාර්ගයේ වනාන්තරය තුලින් යන විට අළුගල්ගෙය හමුවේ. ඉන්පසු වලහා මැරූ පතන සහ හාල් ගරන ඔයද පසු කල යුතුය. මාර්ගයේ මේ ඉසව්ව්වේදි පතන්වල සිටින දළ වලින් ඇනගනිමින් පොර ඇනගන්නා ඇතුන් දැකිය හැක. ඉන්පසු එළමල් පත කඳුර බැස පැන් සනහා, කුඩා නාන්බා හෙල නැග යාමේදී කොට පාමා නම් වස සෙබලෙක් පෙර කල පිට වානට උඩින් දිය ගෙන යාම සඳහා පතනේ දිගට හරහට කල අගල් දැකිය හැකිය. ඉන්පසු නැබළ නාම්බා හෙල සහ දඬු බැඳි රුප්පේය පසු කර කුරුඳු ඔයෙන් එගොඩ වූ පසු රත්මල්කරාන සහ කුරුවිට රාල පැන්න ගල හමුවේ. ඕලුවා මංකඩින් ගිය පසු රුසිරැති අඟනන් සිටින බලගහරුප්පේ සෙවනේ මඳක් නැවතී සිටින ලෙස කවියා පවසයි.

කඩවතේ සිට හාල්ගරන් ඔය දක්වා ගමන් මාර්ගය
මේ මාර්ගය ඔස්සේ යන ඩේවිගේ දෙවන සංචාරයේදි ඔහු හාල්ගරන් ඔයට ඉහලින් ඇති උස් බිමේ දවල් කාලය සහ රාත්‍රිය ගත කරයි. පසු දින මෙම මාර්ගයේ යාමට නියමිතිව සිටි බාන්ස් ආණ්ඩුකාරයා (Major General  Sir Edward barnes) උදෙසා ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක්ද එම ස්ථානයේ තිබූ බව ඩේවි පවසයි. එම ස්ථානය බොහෝ දුරට මග සලකුණේ වලහා මැරූ පතන ලෙස හඳුවන පතන් භූමිය විය හැක.
වළහාමැරූ පතන විය හැකි පතන් ප්‍රදේශය

ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි කඳු වැටි දෙකකින් සීමා වූ විවෘත ප්‍රදේශය (කහ පාටින් ලකුණු කර ඇත්තේ හාල්ගරන් ඔයයි )
ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි කඳු වැටි දෙකකින් සීමා වූ විවෘත ප්‍රදේශය
මග සලකුණ විස්තර කරන මාර්ගය හාල්ගරන් ඔය හරහා යාමට ඇත්තේ හාල්ගරන් ඔයේ ඉහල කොටසේ මෙවැනි ස්ථානයකිනි (Google Street View ඇසුරින්)

හාල්ගරන් ඔය විස්තර කිරීමෙන් පසු එළමල් පත කඳුරින් පැන් සනහා කුඩා නාම්බා හෙල නැග යන්න ලෙස පවසන බැවින් සිතියමේ දක්වා ඇති අධික නැගමකින් යුත් හෙල කුඩා නාම්බා හෙල ලෙස ගත හැක. පහත මෙට්‍රික් සිතියමට අනුව එම ප්‍රදේශයේ බොහෝ දිය කඳුරු ඇති බැවින් එළමල් පත කඳුර ඉන් එකක් විය හැක.
කුඩා නාම්බ හෙල සහ කුඩා දිය කඳුරු. එළමල් පත කඳුර යනු මාර්ගයට ආසන්න මෙවන් දිය කඳුරක් විය හැක.
කුරුඳු ඔය ඉහල පෙදෙස හරහා වැටී ඇති මාර්ගය සහ නැබල නාම්බා හෙල විය හැකි පෙදෙස. කොට මාපා සැදූ අගල් නැබල නාම්බා හෙලට පෙර කිසියම් තැනක තිබුණා විය හැක. මග සලකුණේ 'නැබල නාම්බා හෙල අසලින් යන්න' කියන බැවින් එය මාර්ගයේ දෙපස ඇති හෙලක් වුවද විය හැක
ඉහත ලකුණු කර ඇති පැරණි මාර්ගය විය හැකි මාර්ගයේ වර්තමානයේ කුරුඳු ඔයෙන් එගොඩ වීමට ඇති පාලම සහ කුරුඳු ඔයේ දර්ශණයක් (Google Street View ඇසුරුනි ) - මෙම ස්ථානයට පෙර හමු වන දඬුබැඳිරුප්පේ නම් ස්ථානය අද හඳුනාගැනීමට නොහැක.
සිරසර බැඳන ඔපකර වරල පෙම්මා
මනහර දෙතන රන කළ යුරු රුවිම්මා
නිසිසර සිටින රුසිරෙන් සේ සුරම්මා
පසුකර යාගන්න කලවිට කුඩම්මා

ඉන්පසු හමුවන්නේ ඉහත කවියෙන් විස්තර කල පරිදි සුරම්බා (දෙවඟනන්) සේ වු ස්ත්‍රීන් (නිසිසර) සිටින කුඩම්මා කලවිටය. කලවිට යනු කමතය . ඒ අනුව ඕලුවා මංකඩින් මෙපිට ප්‍රදේශය ජනාවාස වූ පෙදෙසක් බව පෙනේ. මාර්ගය ඉන්පසු යොමුවන්නේ මතුරට ඉඩම ලෙසින් පැවසෙන මතුරටටය.
වනාන්තරය ඉවර වන ස්ථානයේ සිට (බොහෝ විට ඉහත X ලෙස ලකුණු කර ඇති ස්ථානය) මතුරට දක්වා හෙලක් බැසිය යුතු බව ඩේවි සඳහන් කරයි.
හාල්ගරන ඔය (එනම් හාල්ගරන් ඔය) සහ කුරුඳු ඔය හැරුන විට මෙම මාර්ගයේ විස්තර වන කිසිදු ස්ථානයක් මේ වන විට හඳුනාගත නොහැක. ඩේවි දුර්ලභ මල් සහ මල් පිපී තිබූ පඳුරු තිබූ ලෙස පැවසු කඳු මුදුන් සහ පතන් සියල්ල ඩේවිගේ රටේ වැසියන් විසින් පසුකලක මුලින් කෝපි හා පසුව තේ වගාවන් සඳහා එලි කර දැමූහ. උඩරට සිංහල ගැමියන්ගේ ඉඩම් මුඩු බිම් පනත මගින් පවරා ගත් අධිරාජ්‍යවාදි පාලකයන් බ්‍රිතාන්‍යයේ නගර වල නම් සහ වතු අයිතිකරුවන්ගේ නම් වලින් නාමකරණය කල තේ වතු වලින් මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ පසු කලක සැකසු අගලේ සිතියම් වල සලකුණු කලහ. අතරින් පතර සිංහල නම්ද කඳු මුදුන්, පතන්, පැරණි සිංහල ගම් සහ ඇතැම් තේ වතු වලද ඉතිරිව ඇති මුත් අපගේ ගමන් මගේ නම් සඳහන් ස්ථාන Google maps සහ මෙට්‍රික් සිතියම් ආශ්‍රයෙන් සෙවීම දුෂ්කරය. එබැවින් දොඩන්වතු කපල්ලේ සිට මතුරට දක්වා අනුමාණ කරන මාර්ගයක් පමණි දැක්විය හැක්කේ (මේ සමග ඇති සිතියම් සහ ඒවායේ විස්තර අනුගමනය කිරීමෙන් එම ගමන් මග හඳුනා ගත හැක). ගමන් මගේ කිසියම් ස්ථානයකදි හාල්ගරන් ඔය සහ කුරුඳු ඔයෙන් එගොඩ විය යුතු බව පමණි නිසැකව කිව හැක්කේ.
මතුරට Maquerile Estate හි සිට දර්ශනයක් (උපුටා ගැනීම -  http://www.imagesofceylon.com/)
මතුරට දක්වා ගමන් මගේ ඉතාමත්ම රමණීයම කොටස ලෙස ඩේවී පවසන්නේ හාල්ගරන් ඔයෙන් දෙපස එක් පසකින් සැතපුම් 1.5 පමණ වන කඳු දෙකක් අතර වූ විවෘත බිම බවයි. මග සලකුණේ කොට පාමා (කොට මාපා විය යුතුය) තැනූ අගල් ලෙස විස්තර වන නටබුන් ගැන ඩේවිද විස්තර කරයි. ඔහු පවසන්නේ එම නටබුන් අගල් සහ නොඋස් ගල් බැමි වලින් සමන්විත වූ බවත්, ඒවා සරල කොටු පවුරක් (Simple Enclosures) විනා කොටුවක් (Fortification) විය නොහැකි බවත්ය. ඩේවි සඳහන් කරන්නේ එය කඳු පසකින් යෝධ ගල් ගැටියක්සේ නෙරා ගොස් සෘජුව හිටගත් කදිම කුළු පව්වකට දකුණු පැත්තෙන් පිහිටි හෙලක් මත තිබූ බවය. ඩේවිට අසන්නට ලැබූ ජන කතාවකට අනුව මෙය මෙම ස්ථානයට පිටුවහල් කල කුමාරයකු පාරේ යන එන පිරිස්  නවතා බලෙන් වැඩගෙන ඉදි කල එකකි.
ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි මෙම ගමන් මාර්ගයේ දර්ශණියම විවෘත පෙදෙස නුවර එළිය - උඩ පුස්සැල්ලාව මාර්ගයේ සිට අද දිස්වන ආකරය (Google Street View ඇසුරිනි )

ඌව ඉතිහාසය ග්‍රන්ථයේ සඳහන් වන ලෙසට ඌවේ උඩුකිඳ ප්‍රදේශයේ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව දෙහිවිනි පලාත කොරලේ උළුගලට උතුරින් මාපාගල නම් වූ තැනක සිහසුනට උරුමය ඇති කුමරුවෙකු සැඟවි සිට ඇත. එසේම 1818  නිදහස් අරගලයට දායක වූ කොටමාපානේ රටේ රාල නම් වු පුද්ගලයකු ගැනද කියවේ (කෙසේ නමුත් මෙම නම සඳහන් වන්නේ යැයි එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහන් කරන 1818 අප්‍රේල් 12 දින අංක 278 දරන බ්‍රවුන්රිග් (Robert Brownrigg) ආණ්ඩුකාරයා විසින් යටත් විජිත ලේඛම් බැතර්ස්ට් වංශාධිපතිට [Earl Bathurst] යවන ලද රහස් ලිපියේ එවැන්නක් සඳහන් නොවන අතර, තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් පලකල 1818 කැරලි සමයට අයත් වෙනත් කිසිදු බ්‍රිතාන්‍යය ලේඛනයකද එවැනි නමක් හමු නොවේ.)  මෙම සාධක පාදක කරගනිමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහන් කරන්නේ මෙම මාපා සැබවින්ම සිටි පුද්ගලයෙකු බවට සිතිය හැකි බවය. එහෙත් ඩේවි සඳහන් කරන ලෙසට මෙම අගල් සහ ගල් බැමි 1818 කැරැල්ල කාලයට වඩා පැරණිය. එසේම මෙම ස්ථානයේ 1818 කැරැල්ලේ රාජ ප්‍රතිරූපකයා (දොරේසාමි ලෙසින් පෙනී සිටි විල්බාවේ රාල) සඳහා සෑදු විශාල බංගලාවක ඔහු මද කලක් සිට ඇති අතර එම නව බංගලාව ඩේවි එම ස්ථානයෙන් යන විටද තිබී ඇත. එහි නියත දුරවල් වලින් ඉදිරිපස තනා තිබූ මුර කුටි (Watch houses) ගැනද ඩේවි විස්තර කරයි.
ඉහත විස්තර කල අගල් සහ ගල් බැමි පිළිබඳව විස්තර කිරීමෙන් අනතුරුව ඩේවි එම ප්‍රදේශයේ ඇති වනාන්තරය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරයි. එය ඉහළ කඳුකරයේ කඳුකර වනාන්තර (Montane Forests) ලෙස හඳුන්වන වනාන්තර වර්ගය පිළිබඳව වූ විස්තරයකි. එම වනාන්තරය අවසාන වූ වහාම මතුරට දක්වා මාර්ගය පහලට බැසීම පටන් ගන්නා බවත්, එම ප්‍රදේශය අඩ වශයෙන් වනයෙන් ගැවසිගත් බවත්, ඉතිරි කොටස මිටි පඳුරු සහ පැඟිරි තෘණ වලින් සමන්විත විවෘත ප්‍රදේශයන් වූ බවත් පවසයි. එසේම ගැඹුරු නිම්නය පහලින් දිස්වන බවත් ඔහු වැඩි දුරටත් පවසයි. පහත සිතියමේ X ලෙස ලකුණු කර ඇති ස්ථානයේ සිට මතුරට දක්වා වූ ගමන් මාර්ගය ඉහත විස්තරය හා මැනවින් ගැලපේ. එසේම මෙම හෙල බැසීමේදී හමුවන වර්තමානයේ එළවළු වගා කරන සහ තේ වතු වල වැඩ කරන ජනයාගේ 'ලයිම්' ඇති සාපේක්ෂව සමතලා බිම් පෙර කර හෙල්මළු ක්‍රමයට වී වගාව කල බිම් විය හැක. මග සලකුණේ කුඩම්මා කලවිට (එනම් කුඩම්මා කමත) ලෙස හඳුන්වන ස්ථානය මෙවන් බිමක තිබුනා විය හැක.

මතුරට සිට මහනුවර දක්වා මග සලකුණ ඔස්සේ ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • The Great Rebellion of 1818, Tennakoon Vimalananda,  1970
  • උඩරට මහ කැරැල්ල, තෙන්නකෝන් විමලානන්ද, 2006

Friday, June 2, 2017

මග සලකුණ පාර කියන බදුලු මගියාගේ සෙන්කඩගල වන්දනාව

බදුල්ල සේනානායක උද්‍යානයේ පැරණි ඡායාරූපක් - උපුටා ගැනීම https://amazinguva.wordpress.com
මග සලකුණ නම් වූ පැරණි කාව්‍යයක එන තොරතුරු අනුව බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක තොරතුරු සොයා යන මෙම ලිපි පෙලේ පළමුවැන්න අප මෙයට පෙර ඉදිරිපත් කලෙමු (කියවන්න - මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට). එහෙත් පසුව හෙළිවූ තොරතුරු අනුව එහි අප ඉදිරිපත් කල මාර්ගයේ යම් කිසි වෙනසක් සිදු කල යුතු බව පෙනේ.
අලුගොල්ල මංසන්දිය - Google Street View ඇසුරින්
බදුලු පුරවරයේ සිට අලුත්වෙලින් පසු කැටවල දක්වා මග සලකුණ ඉදිරිපත් කරන ස්ථාන නාම හඳුනාගැනීමට නොහැකි බව අප පැවසූ මුත් මෙට්‍රික් සිතියම් වල නොමැති එහෙත් Google Map වල ලකුණු කර ඇති ස්ථාන දෙකක් අනුසාරයෙන් අප සිතූ පරිදි කැටවල දක්වා වූ මාර්ගය වැටී ඇත්තේ හාළිඇල හරහා නොව අලුත්වෙල සිට තව දුරටත් උතුරට ගොස් කඳු දුර්ගය මග හැර අලුගොල්ල සහ කොහොවිලකඳුර හරහා යන මාර්ගයක බව පෙනේ. මෙම ස්ථාන දෙක පිළිවෙලින්  අලුගොල්ලේ බැවුල සහ කොහොල්විලේ කඳුර ලෙසින් මග සලකුණ කවියා ඉදිරිපත් කරයි. මෙ අනුව අලුත්වෙලින් පසුව හමුවන මහගල්කඩ, අලුත්වෙල සිට අලුගොල්ල දක්වා ශ්‍රීඝ‍්‍ර නැග්මකින් යුත් දුර්ගය හෝ එහි කිසියම් ස්ථානයක් ලෙසට හඳුනාගත හැක.
කොහොල්විලේ කඳුරෙන් පසු හමුවන ස්ථානයක් ලෙසින් මග සලකුණ දක්වන කහටගහරුප්පේ, කහටරුප්ප ලෙසින් නම් වෙනස් වී අදද ඇති බව මෙහි පළමු ලිපියේ අදහස් පල කර මහත්මයෙකු පැවසූ මුත්, එම කහටරුප්ප බදුල්ල නගරයට ඊසාන දෙසින් වන පෙදෙසක් වන බැවින් අපගේ ගමන් මගට අදාල කර ගත නොහැක (මෙට්‍රික් සිතියම් හෝ Google Map වල නොමැති වුවද අපගේ ගමන් මාර්ගයේද එම නම ඇති ස්ථානයක් දැනටද තිබෙනවා විය හැක.)
කැටවල මංසන්දිය - Google Street View ඇසුරින්
කොහොවිල කඳුරේ සිට කැටවල දක්වා වූ මාර්ගය සිතියමේ ලකුණු කර ඇති පරිදි වර්තමාන අලුගොල්ල - කන්දේගෙදර මාර්ගයේ ගොස් කන්දේගෙදර හන්දියෙන් හැරී කන්දේගෙදර - කැටවල මාර්ගය ඔස්සේ වැටී තිබුනා විය හැක. එසේ නොවන්නේ නම් තරමක් දුෂ්කර කඳු පන්ති මතින් යන මාර්ගයක් වූවා වීමටද ඉඩ ඇත. දැනටද තේ වතු මැදින් වැටී ඇති එවැනි මාර්ග ප්‍රදේශයේ ඇති මුත් ඒවා පැරණි මාර්ග වලට වඩා තේ වතු වල ගමනාගමනය උදෙසා පසුව තැනූ ඒවා බව පෙනේ. 
අද පවතින කන්දේගෙදර හරහා අලුගොල්ලේ සිට කැටවලට මාර්ගය කළු පාටින්ද
 වෙනත් විකල්ප මාර්ග විය හැකි මං පෙත් කොළ පාටින්ද ලකුණු කර ඇත.
බෝගොඩ
නොමින පහඟ රැඳි රන්කොත් රැසිනි තිර
දිලෙන වෙනස නොවැ දිව රෑ එක අයුර
දකුණ සුසැදි සිරිසර බෝගොඩ වෙහෙර
තොසින නැමැද යව ලබනට සැප අමර

මග සලකුණ මාර්ග විස්තරයට අනුව කැටවලින් පසුව මිලිලගස්රුප්පේ පසුකර පිවිසෙන්නේ බෝගොඩ වෙහෙරටය. මිලිලගස්රුප්පේ හඳුනාගැනීමට නොහැකි වුවද බෝගොඩ වෙහෙර හඳුනා ගත හැක. බෝගොඩ රජමහ වෙහෙර සහ ඒ අසල ඇති ගල්ලන්ද ඔය හරහා නිර්මිත සුප්‍රකට පැරණි බෝගොඩ ලී පාලම අදටද මෙම ස්ථානයේ ඉපැරණි බවට දෙස් දෙයි. මෙම ලී පාලම බදුල්ල - මහනුවර පැරණි මාර්ගයේ ඉදි කර ඇති බවට වන ප්‍රදේශයේ සුපතල ජනප්‍රවාදය මේ අනුව නිවැරදි බව පෙනේ. කැටවල සිට බෝගොඩ දක්වා වූ මාර්ගය වර්තමාන කැටවල - කන්දෙකැටිය මාර්ගය ඔස්සේ ගොස් බෝගොඩ රජමහ විහාරය දක්වා වැටී ඇති අතුරු පාර ඔස්සේ තිබුණා විය හැක. 
බෝගොඩ පාලම
කෙසේ නමුත් මෙහිදි සලකා බැලුය යුතු එක් වැදගත් කාරණයක් වන්නේ අප මුලින් උපකල්පනය කල පරිදි අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ මාර්ගය කන්දේගෙදර දෙසට ගොස් නැවත කැටවල දෙසට එන මාර්ගය විය හැකිද යන්නය . මක් නිසාද යත් කන්දෙගෙදර සිට කැටවලට නොපැමිණ බෝගොඩ දක්වා පහසුවෙන් ලගා විය හැකි බැවිනි (සිතියම බලන්න). ඒ අනුව අප ඉහත සඳහන් කල එක් විකල්ප මාරගයක් අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ පැරණි මාර්ගය වීමට වැඩි සම්භාවිතාවයක් ඇත.
අලුගොල්ලේ සිට බෝගොඩ දක්වා මාර්ගය කළු පාටින් ලකුණු කර ඇත. කන්දේගෙදර සිට බෝගොඩට පහසුවෙන් ලගාවිය හැකි රතු පාටින් ලකුණු කර ඇති මාර්ගය කැටවල හරහා නොයන බැවින් අලුගොල්ලේ සිට කැටවලට පැරණි මාර්ගය කන්දේගෙදර හරහා නොගිය බව පෙනේ.

බෝගොඩින් පසු මගියාට උමා ඔය හමුවේ. උමා ඔය පිළිබඳව කරන වර්ණනාවකින් පසුව සලාතොට නම් වූ ස්ථානයකින් යන ලෙස පවසයි. බොහෝ විට එය උමා ඔය හරහා එගොඩ වීමට තිබූ තොටුපලක් වූ බව හැඟේ. ඉන්පසු දඹරුප්පේ සිට ගිමන් හරින ලෙස පවසා ඔය අසල වූ ඇතුන් බඳින ඇත්සල නරඹන ලෙසද පවසයි. ඉන්පසු විස්තර වන්නේ තුප්පිටියේ උයන නම් වූ ස්ථානයක් පිළිබඳවය. බෝගොඩ සිට උමා ඔය තරණය කල විට හමුවන තුප්පිටිය නම් වූ කුඩා කඳු ගැටයක් පිහිටි පෙදෙසක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. තුප්පිටිය විහාරය නම් වූ වෙහෙරක්ද මෙම ස්ථානයට නොබෝ දුරකින් Google Maps වල සලකුණු කර ඇත.
බොගෝඩ පාලම පිහිටි ස්ථානයේ සිට උමා ඔය දක්වා වැටී ඇති කුඩා අඩි පාරක් ඇසුරින් පුරාණ මාර්ගය පිළිබඳ අනුමානයක් මේ ආකාරයට ලබා ගත හැක (සිතියම) මෙම අඩි පාර උමා ඔය හමුවන ස්ථානයේ  දැනට කුඩා ඒදණ්ඩක් දැකිය හැක. පැරණි සලාතොට එම ස්ථානයේ  හෝ ඒ අසල වෙනත් තැනක තිබුණා විය හැක.


තුප්පිටිය උයනේ සිට ගමන් අරඹන මගියාට ඉන්පසු හමුවන්නේ වැලිහෙල පිහිටි සරණගොඩය. එය අසීරු නැග්මක් සහිත පෙදෙසක් බවය පහත කවිය අනුව හැඟෙන්නේ.

නේනුව නොම සිතා ලිය මෙ ගම නැණ බල
ගානුව මෙන් රැගෙන පය ලෙඩට ඔසු තෙල
සේනුව හොත් යන ගමනට වෙයි අබල
පේනුව සරණගොඩ නැගපන්න වැලි හෙල

තුප්පිටියට නුදුරින් වූ වැලිහෙල මෙට්‍රික් සිතියම් අනුසාරයෙන් සොයා ගත හැක. සලාතොට සිට තුප්පිටිය හරහා වැලිහෙල දෙසට ලඟා වීමට මාර්ග දෙකක් Gogle Earth ඇසුරින් පෙන්වා දිය හැක. 

1) සලාතොට සිට තුප්පිටිය කන්ද තරණය කර කදු මුදුන් මතින් වැටී ඇති මාවතක් ඔස්සේ වැලිහෙල මුදුනට ලගා වීම.
2) සලාතොට සිට මදක් දකුණට බරව ගමන් කර වැලිහෙල පාමුලට පැමිණ වැලිහෙල නැග එහි මුදුනට ලගා වීම.

නැගපන්න වැලි හෙල ලෙසින් කවියා පවසන බැවින් මෙම මාවත් දෙකින් පැරණි මාවත විය හැක්කේ දෙවෙනි එක බව පෙනේ. එසේම එය වෙල් යායක් මැදින් වැටී ඇති බැවින් ජනාවාස වූ පෙදෙස් මතින් පැරණි මං පෙත් තිබීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි බව සැලකීමෙන් දෙවෙනි මාවත අපට අවශ්‍ය පැරණි මාවත ලෙසට පහසුවෙන් තෝරා ගත හැක.
උමා ඔය තොටුපලේ සිට වැලිහෙල මුදුන දක්වා ගමන් මාර්ගය - මෙහි වැලි හෙල මෙට්‍රික් සිතියම් වල දක්වා ඇත්තේ වම් පස කොනේ ඇති මුදුන ලෙසය. නමුත් වර්තමාන මාර්ගය එයට මදක් දකුණු පසින් වූ මුදුන හරහා විහිදේ. (ස්ථාන දෙකෙහිම හෙල නැගිය යුතුය)
මග සලකුණ මාර්ග විස්තරයට අනුව එතැන් සිට සිහිල්පැන් කඳුර, කොට්ටාගොඩ යන ස්ථාන පසු කර යෑමේදී මානාවෙල පොර ඇන ගන්න ගවයන් දැකිය හැකිය. ඉන්පසු වැවගෙදර නම් ප්‍රදේශය පසු කර හපුගොල්ලට පිවිසේ. මෙයින් කොට්ටාගොඩ (කෝට්ටේගොඩ ලෙසින්), මානාවෙල සහ හපුගොල්ල (සපුගොල්ල ලෙසින්යන ප්‍රදේශ අදද හඳුනා ගත හැක. ඒ අනුව වැලිහෙල සිට හපුගොල්ල දක්වා පැරණි මාර්ගය පහත සිතියම් වල පෙන්වා ඇති ආකාරයෙන් වූවා විය හැක.




හපුගොල්ලෙන් පසු හාල්තොට නම් වූ තොටමුණකින් එගොඩ වන මගියා ඉන්පසු පිවිසෙන්නේ පරණගමටය. ඉන්පසු යොනුන් (එනම් කාන්තාවන්) විසින් පාවලන් (පා + වලන් - පාත්‍ර හා වලං හෝ පබළු) කරවල, ලුණු ආදිය විකුණන තවලන් පළ දැක යා ගන් මිතුර ලෙසින් කවියා පවසයි.  මෙයින් පරණගම සහ තවලන් පළ යන ස්ථාන දෙකම මෙට්‍රික් සිතියම් වල දැක ගත හැක. හාල්තොට සලකුණු කර නොමැතිමුත් හපුගොල්ලේ සිට පරණගම දක්වා පාර තරමක දිය පාරක් හරහා වැටී ඇත. නිසැකවම හාල්තොට එම තොටමුණ විය යුතුය.



 කඩින් කඩ තිබෙන ගිරිකුළු මත පතර
විඩින් විඩ රඟන සෙබඩුන් මැද මොනර
ඉඩන් නැත බලා ඉඳිනට මහ වගුර
දොඩන් වතු කපල්ලෙන් යා කර මිතුර

තවලන් පළ පසු කල පසු මග සලකුණ මාර්ග විස්තරයට අනුව හමුවන්නේ දොඩන්වතු කපල්ල නම් වූ ස්ථානයකි. එම ස්ථානයේ සිට බැලු විට මොනරුන් සමග සෙබඩන් රඟන මහා වගුරක් දිස්වන බවද ඉහත කවිය අනුව අවබෝධ වේ. මෙට්‍රික් සිතියම අනුව යමින් ඉහත රූපයේ අප තවලන් පළ ලකුණු කල ස්ථානය හරහා යන මග වැටී ඇත්තේ කඳු දෙකක් මැදිනි.මේ වන විට පොදුවේ එම ප්‍රදේශයටම තවලන් පළ යන නම ව්‍යවහාර වුවත් මග සලකුණේ විස්තර වන තවලන් පළ තිබෙන්නට ඇත්තේ ඇතැම් විට පරණගමට කිට්ටුව සම බිමක වීමට බෙහෙවින්ම ඉඩ ඇත. ඒ අනුව එය පසු කර යෑමේදී හමුවන දොඩන්වතු කපල්ල මෙම කඳු දෙක මැදින් වැටී ඇති කපොල්ල බව පැහැදිලිය.
අද වන විට දෙපස පිහිටි කඳු මුදුන් වල කැලය එලි වී ජනාවාස ඇතිවි ඇති නමුදු මෙම ප්‍රදේශයේ කඳු වැටි දෙක අතර පහත් බිම් ප්‍රදේශය පෙර කල ජලය රඳන වගුරක් ව තිබූ බවට මෙට්‍රික් සිතියමේ කුඩා වගුරු ප්‍රදේශයක් සලකුණු කර තිබීමෙන්ද පැහැදිලි වේ (එම ප්‍රදේශයද ඇතුළුව සියලුම බිම් මේ වන විට වෙල් යායකින් සහ ජනාවාස වලින් ප්‍රතිස්ථාපනනය වී ඇත.) 
මෙනේ තොසින් ගොඩ නැග කැරකී එවිට
මිණේ ඉඳු අයුරු දෙනෙතින් බැලු කලට
අනේ වතු ගෙවතු වෙල් යා සැදි අවට
පෙනේ ඌවතුන්කිඳ අතැඹුල ලෙසට

මෙම උස් ස්ථානයේ සිට බැලූ විට ඌවතුන්කිඳ ප්‍රදේශයේම වතු ගෙවතු සහ වෙල් යායවල් පෙනෙන බව ඉහත කවියෙන් පැවසේ. මෙහි ඌවතුන්කිඳ යනු උඩ කිඳ, මැද කිඳ සහ යටි කිඳ යන ඌව රටට අයත් පෙදෙස්ය. දොඩන්වතු කපල්ලෙන් පසු මාර්ගය යොමුවන්නේ අඩයටි සහ කඟ (තෝමර සහ කඩු) රැගත් සෙබලුන් මුර කරන කඩවතටය. ඉහත මෙට්‍රික් සිතියමේ පෙන්වා ඇති ආකාරයට අදටද එම පෙදෙස කඩවත ලෙසින් සලකුණු කර ඇත. 
කඩවත සහ ඒ වෙත යොමුවන මාර්ගය පහත සිතියම් වල ලෙසට තිබුණා විය හැක. මෙම කඩවත පසුකිරීමත් සමග දැනට පවතින පළාත් බෙදීම් අනුව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත අපගේ ගමන් මාර්ගය යොමුවේ. එතැන් සිට සෙන්කඩගල පුර දක්වා ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.