Sunday, December 25, 2016

රුහුණේ පැරණි පුදබිම් 3 - යක්ෂ වාසයෙන් භික්ෂු වාසයක් වූ ධූමරක්ඛ පබ්බතය හෙවත් උදුම්බරගිර හෙවත් දිඹුලාගල වනවාසය

තහවුරු කල ප්‍රතිමා ගෘහයක්
ධූමරක්ඛ පර්වතයේ තිඹිරියංගණ විල අසල වෙලඹක වෙසින් ගැවසුන චේතියා නම් යක්ෂණිය අල්වා ගත් පණ්ඩුකාභය කුමරා ඇය මැරීමට තැත් කිරීමේදී "ස්වාමිනි ඔබට රජය ගෙණ දෙමි. මා නොමැරුව මැනැවැයි" කීවාය. ඉන්පසු කුමරු තෙමේ එම වෙලඹ පිට නැග ධූමරක්ඛ පබ්බතයට ගොස් එහි සිව් වසක් විසුවාය. මහාවංශයයේ ධූමරක්ඛ පර්වතය ගැන මුල් වරට සඳහන් වන්නේ එසේය. මහාවංශයේ ටීකාව වන වංසථප්පකාසිනිය පණ්ඩුකාභය පුවත විස්තර කිරීමේදී ධුමරක්ඛ යනු උදුම්බර පබ්බතයයි යන අර්ථය බව විස්තර කරයි. එහිම පසු අවස්ථාවක ලෝවාමහපාය ගැන එන විස්තරයකදී එය අනුරාධපුරයෙන් නවයොදුන් තැන්හී කසුප්තොට සමීපයේ උදුම්බර පබ්බතය මත සිටිනවුන් හටද දර්ශණය වූ බව පවසයි. පසු කාලීන කෘතියක් වන සමන්තකූට වණ්ණනාවේ බුදුන් වහන්සේගේ යක්ෂ දමණය සඳහා මහියංගණයට වැඩි ගමන ගැන විස්තර කිරීමේදි මහියංගණයේ මහා වාලුකා (මහවැලි) ගංගාව අසලට රැස්වූ යක්ෂයන් පැමිණි පෙදෙසක් ලෙසට ඔදුම්බර පර්වතයද සඳහන් කරයි.
තහවුරු කල ප්‍රතිමා ගෘහයක්
සද්ධර්මාලංකාරයේ නන්දිවාණිජ වස්තුවේ එන එක් කතාවකට අනුව එක්තරා දුප්පත් මිනිසෙකු සිය භාර්යාව සමග එක්ව රහතුන්ට දුන් දානයක පින් මහිමයෙන් ලංකාද්වීපයේ දිඹුලාගල සමීපයේ එක් පර්වතය දේවතාවන් වී ඉපදුන බව පවසයි. එහිම එන මේඝවර්ණ වස්තුවේ වෙනත් දුප්පත් මිනිසෙක් සිය භාර්යාව සමග බැලමෙහෙ කොට ලබා ගත් වී වලින් භික්ෂුන්ට දන්දී උදුම්බරගිරි පර්වතයේ භූමාටු දේවතාව ඉපදුන ආකාරය විස්තර කරයි. එකල්හී එම උදුම්බරගිරි පර්වතයේ චන්ද්‍රමුඛී නම් ලෙන මලියදේව මහතෙරුන්වහන්සේ වැඩ සිටි බවද එම කතාවේම සඳහන් වේ. මෙහි උදුම්බරගිරි සහ ධූමරක්ඛ යනු එකම ස්ථානයක් බව පැහැදිලිවම හඳුනාගැනීමට හැකි සදහනක් ඉහත සඳහන් මේඝවර්ණ කතාවම සඳහන් වන පාලි රසවාහිණියෙන් ලැබේ. එහි එන විස්තරයට අනුව දුප්පත් ගැමියා බූමාටු දේවතාවක වී ඉපදෙන ස්ථානය සඳහන් වන්නේ උදුම්බර පබ්බතය ලෙසය. එසේම ආසන්න ධුමරක්ඛ පබ්බතයේ චන්ද්‍රමුඛ ලෙනේ මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බවද පවසයි. මේ අනුව පාලි මූලාශ්‍රයන්ගේ උදුම්බර, ධූමරක්ඛ, ලෙසද සිංහල මූලාශ්‍රයන්ගේ දිඹුලාගල ලෙසද විස්තර වනුයේ එකම ස්ථානයක් බව පැහැදිලිය.
තහවුරු කල ආරාම ගොඩනැගිල්ලක්
නිකාය සංග්‍රහය දක්වන පරිදි පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජතුමා තුන් නිකාය සමගි කර ශාසන ශුද්ධියක් සිදුකරනුයේ ඖදුම්බර ගිරි ආරණ්‍ය වාසී මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ නායක හිමිවරුන් මුල් කරගනිමිනි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ ගල්විහාර සෙල් ලිපියෙන් එම පුවත තහවුරු වන අතර එහි උදුම්බරගිරි නිවාසි මහාකාශ්‍යප මහ තෙර ලෙස ඒ හිමියන් හඳුන්වයි. වර්තමානයේ දිඹුලාගල  නාමල් පොකුණ ලෙසින් හැඳින්වෙන කොටසේ ඇති නටබුන් පොළොන්නරු යුගයේ මෙහි ඉදිකල විහාරයේ බවට සැලකිය හැකිය. එම සංඝ පරපුර අවම වශයෙන් දඹදෙනි යුගය දක්වාවත් එහි විසූ බව නිකාය සංග්‍රහයේම තෙවන විජයබාහු යුගයේ දිඹුලාගල වනවාසී මේධංකර මහස්ථවිරයන් එම රජතුමන් විසින් සිදුකල මහා සංගායනාවට සහය වූ බව එන සඳහනින් පැහැදිලි වේ. 
ස්ථූපය
 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ ලියවුන අස්ගිරි තල්පත දක්වන විස්තර වලට අනුව නම් වලගම්බා රජු කල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමටද ප්‍රධාන වූ කුන්ත ගත්ත තිස්ස මහතෙරුන් දනව් සැරිසරා දිඹුලාගලට වැඩමවා එහි ගිරි ගුහාවක ධ්‍යාන සුවයෙන් සිටින බව  වලගම්බා රජුට සැලව රජු මහ පිරිවර සමග එහි පැමිණ ගිරි ලෙන ඇතුළුව බොහෝ ලෙන් සහ පිරිවෙන් කර්මාන්ත කර ශාසනයට පූජා කල බවට වූ සඳහනක් එයි. එතරම් විශ්වාස කටයුතු මූලාශ්‍රයක් නොවූවද දිඹුලාගල වෙහෙරේ ආරම්භය සිදුවූ කාලය පිළිබඳ වූ මුල්ම සඳහන එයය. කෙසේ නමුත් මේ කඳුවැටිය ආශ්‍රිතව මෙතෙක් සොයාගෙන ඇති ලෙන් පූජා කිරීම් සම්බන්ධ කෙටි ලිපි වලින් එහි ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවසේ අවසානයට හෝ ක්‍රි.පූ. 2 වන සියවසේ ආරම්භයට පමණ විහිදෙන බව අවිවාදිතවම නිගමනය කල හැක. මුලින් යක්ෂ ගෝත්‍රික ජනතාවගේ නිජබිමක් වූ උදුම්බරගිර භික්ෂුන්ගේ වාසය සඳහා පිරිනැමීම එම කාලයේ සිදුවන්නට ඇත.

* මෙහි එන සියලු ඡායාරූප දැනට නාමල් පොකුණ නමින් හැඳින්වෙන පෙදෙසේ ඇති නටබුන් වල වන අතර දිඹුලාගල විහාර ආරාම වල නටබුන් වැඩි වශයෙන්ම හමුවන්නේ මෙම පෙදෙසින්ය.
නටබුන් වූ ප්‍රතිමා 
 මූලාශ්‍ර
  • සන්න සහිත සමන්තකූට වණ්ණනා, වෑගම පියරතන හිමි සංස්කරණය, 2002
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VI, Ranawella G.S.,  2007
  • සද්ධර්මාලංකාරය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 1997
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
ආශ්‍රිත පෙර ලිපි

Wednesday, December 14, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 3 - කුවේණියට පැලස් එකක් වූ විල්පත්තුවේ බොදු පුද බිම.



විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කාලි විල්ලුව ආසන්නයේ පිහිටි ගල් කණු පේලි කිහිපයකින් සමන්විත ස්ථානයක් 'කුවේනි මාළිගය' හෙවත් 'කුවේනි පැලස්' ලෙස එහි යන නරඹන්නන්ට වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයන් සහ සෆාරි ජීප් රථ රියදුරන් විසින් හඳුන්වාදෙනු ඇත. ඒ සමගම ඒ හා සම්බන්ධ රසවත් ඉතිහාස කතා ද නරඹන්නන්ගේ උනන්දුව අනුව අවශ්‍ය නම් ඔවුන්ගෙන් අසා දැන ගත හැක. විදෙස් සංචාරකයන්ට නම් ඔවුන් සමග එහි යන ගයිඩ් මහතුන්ගේ ආලවට්ටම්ද සහිතව එම Fabulous legend එක අසා සිටීමට සිදුවනු ඇත. විල්පත්තු වනෝද්‍යානය තුල වූ ස්ථාන කිහිපයක්ම විජය-කුවේනි පුරාවෘත්තය හා සම්බන්ධ කරමින් ගෙතූ ජනප්‍රවාද වලින් සමන්විත වන අතර ඒවා කෙතරම් පොදු ජනතාව අතරට ගොස් ඇත්ද යත් අද වන විට එම ජනප්‍රවාද මෙරට ජනප්‍රිය ඉතිහාසයේ (Popular History) 'පරම සත්‍ය වූ ඉතිහාසය' බවටද පත්වී ඇත.
 සාමාන්‍ය මිනිසෙකුගේ උස මෙන් දෙගුණයක් පමණ උස ගල් කණු වලින් සමන්විත ගොඩනැගිලි දෙකක නටබුන් මෙම ස්ථානයේ ඇත. ඒ අසලම පිහිටි විනාශ වූ ස්ථූප ගොඩැල්ලක ගඩොලු මගින් පැහැදිලිවම මෙම ස්ථානය අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් වූ බෞද්ධ ආරාමයක නටබුන් බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි. (පැරණි ගඩොල් වල ප්‍රමාණ අනුව අනුමාණ වශයෙන් එම ගඩොල් යොදවා තැනූ ගොඩනැගිලි වල කාල නිර්ණය සිදු කල හැක. එසේම මෙම ස්ථානයේ දක්නට ඇති නිදන් හොරුන් විසින් හාරා විනාශ කල තරමක් විශාල ස්ථූපය බෞද්ධ විහාරයකට අයිති ස්ථූපයක් බව සහ ඒ අනුව ඒ අසලම ඇති අනෙකුත් ගොඩනැගිලිද එම විහාරයේම අවශේෂ ගොඩනැගිලි බව පැවසිය හැක.)
කෙසේ නමුත් මේ වන තුරුත් මෙම ස්ථානයේ විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් හෝ කැනීමක් සිදු කර නොමැති බැවින් තවත් චිරාත් කාලයක් මෙය 'කුවේනියගේ මාළිගාවමවනු ඇත. වර්තමානයේ වෙස්සගිරිය යනුවෙන් හදුන්වන්නේ එම නමින් වංශ කතා වල හැඳින්වෙන ස්ථානය නොව පැරණි ඉසුරුමුණිය බව විද්වතුන් එම ස්ථානයේ ඇති සෙල්ලිපි ආශ්‍රයෙන් නොයෙක් වර පෙන්වා දී  ඇති මුත් තවමත් සඥා පුවරු වල, ඇතැම් ග්‍රන්ථ වල, සිතියම් වල සහ මාර්ගෝපදේශක පත්‍රිකා වල එය වෙස්සගිරියම වන්නා සේය (මෙවැනි උදාහරණ මෙරට පුරාවිද්‍යා සහ ඉතිහාස ක්ෂේත්‍රයේ නොඅඩුව ඇත ).


මූලාශ්‍ර
  • ගවේෂණ තුළ ගවේෂණ, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Handbook for the Ceylon Traveller, Studio Times Publication, 1983.
  • Wilpattu, Villus And Beyond, Compiled by Vimukthi Weeratunga, 2009