Monday, November 2, 2015

රාවණ කතා 2 - රාවණාගේ ලංකාගමණය

රාමායනයේ එන ලංකාපුරය පිළිබඳ විස්තර සඳහා කියවන්න - රාවණ කතා 1 - රාමායනයේ එන ලංකාපුරය

පැරණි වංශකතා සාහිත්‍යයේ පලමු වරට රාමායනයේ එන චරිත පිළිබද සදහනක් හමුවන්නේ මහාවංශයේ දෙවන භාගයේ මහා පැරකුම්බා රජු පිළිබද සදහන් කිරීමේදිය. 12-13 සියවස් වලදි පමණ රචනා කරන ලද මහාවංශයේ මෙම කොටසේ පරාක්‍රමබාහු කුමරුවා කුඩා කල ඇසූ වීර කතා අතර රාමායන මහා භාරත ආදී කතාද වූ බව මෙසේ සදහන් වේ.

"....රාමායන භාරතාදී ලෞකික කථාහීත් රාවණා මැරූ ඒ රාමකුමරුහු වික්‍රමය ද......" (මහාවංශය 64 පරිච්ඡේදය)

නැවතත් මහවංශයේ 68 වන පරිච්ඡේදයේ මහා පරාක්‍රමබාහු රජු හට ඔහුගේ ඇමතියන් විසින් දැදුරු ඔය හරහා පාලමක් (මහහෙයක්)  බැදිය නොහැකි බව පැවසූ කල්හි පැරකුම්බා රජු මෙසේ පවසයි.

"ලෙව්හී උත්සාහයවත් වූ දනන් විසින් කුමක් සිදු කළ නොහැක්කේද? රාම තෙමේ සයුරෙහි ද වඳුරු සමූහයන් ලවා මහා හෙයක් බැන්ද වීය....."

නැවත වරක් මහාවංශ කතෘ පැරකුම් රජුගේ සේනාව කිසියම් ගඟක් තරණය කල අයුරු මෙසේ විස්තර කරයි. "...රාම රාවණ සංග්‍රාමයෙහි  තරණය කරණ ලද මුහුදු ඇති වඳුරන් සෙයින්..."  (මහාවංශය 75 පරිච්ඡේදය)

පරාක්‍රමබාහු රජුගේ බිසවක් වූ රූපවතී දේවිය සම්බන්ධ වර්ණනාවකදීද මහාවංශ කතෘ රාමායනයේ චරිත යොදාගනී. .."ඒ මිහිපල් මුඳුන් මල් හු සීතා දේවිය  රාමා සෙයින්  සිත් අලවන්නා වූ...."(මහාවංශය 73 පරිච්ඡේදය)

මහා පරාක්‍රමබාහු පිළිබද විස්තරයෙන් පසු නැවතත් රාමායනය මහාවංශ කතෘ හට විෂය වන්නේ දඹදෙනිය සිය රාජධානය බවට පත් කරගනිමින් රාජ්‍යය විචාල දෙවෙනි පැරකුම්බා රජ සමයේ රජුගේ බෑන වූ වීරබාහු කුමරු ආක්‍රමනික ජාවක රජෙකු වූ චන්ද්‍රභානු ගේ සේනාවේ සතුරන් නැසූ අයුරු කීමේදීය. "වීරබා මිහිපති තෙමේ යුධයට ගොස් රාම රජහු සෙයින්  බොහෝ වූ ජාවක යෝධයන් ....භස්ම කලේය" .(මහාවංශය 83 පරිච්ඡේදය)

චන්ද්‍රභානුගේ දෙවෙනි ආක්‍රමණය සිදුවන අවස්ථාවේ රාජ්‍යය විචාල 4 වන විජයබාහු සමග එක්ව එම වීරබාහුම චන්ද්‍රභානු සමග සිදු කල සටන් පිළිබද සදහන් කිරීමේදීද මෙවන් සදහනක් නැවතත් එයි." ....චන්ද්‍රභාණු මහසෙන් හාත්පසින් වටලා රාම යුද්ධය සෙයින් දරුණු වූ මහයුධ කළහ."  (මහාවංශය 88 පරිච්ඡේදය)

මේ සෑම අවස්ථාවකදීම රාමායනයේ සිදුවීම් සහ චරිත උපයෝගි කරගනුවේ කිසියම් සිදුවීමකට හෝ පුද්ගලයෙකුට එය උපමා කරගැනීමකට විනා කිසිදු තැනක රාමායනයේ එන රාවණ මෙරට විසූ බවක් හෝ රාක්ෂයන්ගේ ලංකාපුරය යනු ලංකාව හෙවත් සිහල ද්විපය ලෙස අවම වශයෙන් 12-13 සියවස් හි හෝ සැලකූ බවට හෝ සාධක නොමැත. මහාවංශයේ මුල් පරිච්ඡේද වල මෙරට සිටි යක්ෂ වංශිකයන් ගැන සදහන් වනමුත් රාමායනයේ එන රාවණගේ ලංකාපුරයේ විසූ 'රාක්ෂයන්' හා  මහාවංශයේ 'යක්ෂ වංශිකයක්' කිසිම ආකාරයකින් එක ජන කොට්ඨාශයක් ලෙස සැලකිය නොහැක.

12-13 සියවස් හිදි පලමුවරට රාමායනයේ එන සිදුවීම් පැරණි වංශකතා වල හමුවීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද? මේ කාලය වනාහි අඩ සියවසකට ආසන්න කාලයක් පුරා විහිදුනු චෝල යටත්විජිත පාලනයකින් (ක්‍රි.ව. 1029 - 1070) පසු නිදහස ලබා, දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් දැඩි ලෙස සිංහල සමාජය වෙලාගත් යුගයක් වූ බවට සාධක වංශකතා වල මෙන්ම පැරණි නටබුන් වලින්ද හමුවේ. හින්දු භක්තික ද්‍රවිඩ ජනයාගේ සංස්කෘතික, ආගමික සහ සමාජීය බලපෑම් සැලකිය යුතු මට්ටමින් සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට අවශෝෂනය වීම එවන් තත්වයක් යටතේ වැලැක්විය නොහැක. එය කෙතෙක්ද යත් මහාවිහාරික හික්ෂුන් විසින් රචනා කල මහාවංශය වැනි වංශ කතා තුලට පවා එම බලපෑම ඇතුල්වීමෙන් පෙනීයයි. එසේම පොළොන්නරු යුගයේ සිංහල රාජ වංශය සමග පාණ්ඩ්‍ය සහ චෝල වංශවතුන් අවාහ විවාහ ආදියෙන් එක්වීමෙන් මෙය තවත් වේගවත් වන්නට ඇත.

කෙසේ නමුත් මජ්ඣිම නිකාය සදහා 5 වන සියවසේ පමණ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියෙන් සම්පාදනය කල පපඤ්ච සුදනී නම් වූ අට්ඨ කතාවේ සම්ම දිට්ඨි සූත්‍ර වර්ණනාවේ පිසුනා වාචා විස්තර කිරීමේදී 'භාරත, සීතාහරණ ආදි නිරර්ථක කතා.. ' පිළිබද උදාහරණයක් එයි. බුද්ධගයා හී බ්‍රාහ්මනයෙක් ලෙස සිට සතර වේදය මැනවින් හදාරා පසුව බුදු සසුන වැලඳ ගත් එසේම දකුණු ඉන්දියාවේ කාංචි පුරයෙහි දිගු කලක් සිටි බව පැවසෙන ඒ හිමියන්ගේ ඉන්දිය සාහිත්‍යය පිළිබඳ දැනුම සිය කෘතිය තුලට මුසු කල අවස්ථාවක් ලෙස එය සැලකිය හැක.

මෙම සංස්කෘතික ආක්‍රමණය නවතාලිය යුතු බවට බෞද්ධ භික්ෂුන් මුල් කාලයේදීම පාහේ අවබෝධ කරගත් බවට ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලියේ (ක්‍රි.ව. 1220-1293 පමණ රචිත) රාම සීතා කතා ආදිය දෙවිලොව සම්පත් ලබාගැනීමට බාධකයක් වන බවට සදහන් කිරීමෙන් පැහැදිලි වේ. නමුත් මෙම කාලයෙන් පසු විශේෂයෙන්ම කෝට්ටේ යුගය පමණ වන විට බොහෝ සාහිත්‍ය නිර්මාණ තුල රාමායනයේ සහ මහාභාරතය වැනි වෙනත් ඉන්දිය ප්‍රබන්ධ වල ආභාෂය දක්නට ලැබේ. එසේම එය මෙරට දේව ඇදහිල්ල සහ අභිචාර විධීන්  තුලටද ඇතුලු වූ බවට සාධක හමුවේ. ඒ පිළිබද පසුව විමසා බලමු.

මූලාශ්‍ර
  • Ramayana in Sri Lanka and Lanka of the Ramayana by C.E. Godakumbura IN Journal of Royal Asiatic Society of Sri Lanka New Series, Volume 59 Part 2, 2014.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පපඤ්ච සුදනී නම් වූ මජ්ඣිම නිකායට්ඨ කතා (සිංහල පරිවර්තනය ) ආඳාවල දේවසිරි මහ ස්ථවිර., බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008
  • සද්ධර්මරත්නාවලිය - සංස්කරනය කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994


4 comments:

  1. මගෙත් අදහස නම් රාවණ සංකල්පය, කල්පිත කතාවක් මත පදනම් කරගෙන අපේ මහා සභ්‍යත්වයක් මවා පාගෙන සල්ලි හම්බ කිරීමේ ප්‍රයත්නයක් සහ එයින් ලැබෙන ආතල් එකෙන් නැටීමක් පමණක් බවයි.

    ReplyDelete
    Replies
    1. ලෝකේ හැමෝටම කලින් සිරාම දේවල් ටික කලේ අපි කියලා කියන්න දගලන හීනමානයෙන් යුත් පිරිසකගේ වැඩපිලිවෙලක් තමා මේ රාවනා ඇදහිල්ල. ඔව් ඒ අතරින් හම්බ කරගන්න පිරිසකුත් බිහි වෙලා ඉන්නවා. රාවණා කියන නම දාගෙන පොතක් ගැහැව්වොත් ගහන පරක්කුවෙන් විකුනගන්න පුලුවන්. මේ වගේ මවපු කතා නැතිව අපි කල හුගක් දේවල් තියෙනවා. මේකෙන් වෙන්නේ ඒව ගැන කියන එකත් විහිලුවක් වෙන එක

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. සැබවින්ම ඇත්ත නිර්භයව ප්‍රකාශ කරන ඔබ තුමා කවරෙක්ද?

    ReplyDelete