Wednesday, October 21, 2015

කෝපි කාලේ කෝපි වැවූ උඩරට සිංහලයන්

බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් මෙරටට අපනයන භෝග වගාවක් ලෙස කෝපි හඳුන්වා දුන් බව බොහෝවිට පැවසෙන මතයකි. එහෙත් එය කොතරම් දුරට සත්‍යද? 19 වන ශත වර්ෂයේ මුල් භාගයේ සිටම මෙරටින් කෝපි අපනයනය කල බවට සාධක ඇති මුත් මුල් වරට මහා පරිමාණ වගාවක් ලෙස කෝපි වගාව පටන් ගනු ලබන්නේ ජෝර්ජ් බර්ඩ් (George Bird) නම් විශ්‍රාමික බ්‍රිතාන්‍ය රජයේ සේවකයෙකු විසින් 1824 දීය. මහනුවරට නුදුරින් (ගම්පොල) අක්කර 400 ක ඉඩමක් සමගින් රික්ස් ඩොලර් 40000 ක ණයක් ඔහුට ඒ සදහා රජයෙන් ලබා දේ. එහෙත් සැලකිය යුතු ලෙස මහා පරිමාණ වතු වගාවක් ලෙස කෝපි වැවීම මෙරට ආරම්භ වනුයේ 1830 දී පමන ඇතිවූ බාහිර සාධක කිහිපයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අතරින් එම කාලයේ බ්‍රිතාන්‍යයේ සහ බටහිර යුරෝපයේ වයින් පානය අඩු වීමත් සමග ඇතිවූ ඒ වෙනුවට කෝපි සදහා වැඩි ඉල්ලුමත්, බ්‍රිතාන්‍යට මෙරටින්  කෝපි ආනයනයෙදී අයකල අසාධාරණ රේගු බදු බටහිර ඉන්දීය දූපත් වලින් ආනයනය කරන කෝපි සදහා අය කරන බදු වල අගයටම පහත හෙලීමත් ප්‍රධාන තැනක් ගනී.
දිඹුල ප්‍රදේශයේ ඉංග්‍රීසි වතු හිමියන්ට අයිති කෝපි, තේ සහ සින්කෝනා මිශ්‍ර වගාවක්.  පසුබිමින් තවමත් විනාශ නොකල කඳුකර 
වනාන්තරය දිස්වේ. උපුටා ගැනීම - Ceylon in the Jubilee Year, John Ferguson,

වර්ෂ 1800 ත් 1804 අතර කාලයේ මෙරට දේශිය ගැමි වගාකරුවන්ගේ කෝපි අපනයනයේ සාමාන්‍ය (Average peasant coffee export)  හොන්ඩර 1116  වූ අතර 1822 ත් 1825 ත් අතර කාලයේදී අපනයනය කල කෝපි වල සාමාන්‍ය අගය හොන්ඩර 10 246 ක් විය. මෙම අධික වැඩිවීමට හේතුව බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් මහා පරිමාණයෙන් කෝපි වගාවට අවතීර්ණ විමය. 1830 න් පසු මෙය සැලකිය යුතු මට්ටමකින් වැඩි වූ අතර 1865 ත් 1869 අතර කාලයේදී එය හොන්ඩර 148000 සිට 218000 දක්වා වැඩි විය.

ජෝන් ෆර්ගියුසන්ට* අනුව පෘතුගීසින් පැමිනෙන්නටත් පෙර සිටම ආරාබීන් විසින් කෝපි ගස මෙරටට
හඳුන්වා දී තිබී ඇත. එමර්සන් ටෙනන්ට්* පවසන්නේ ඕලන්දයන් විසින් 1690 දී කෝපි ගස බතාවියාවලට හඳුන්වා දුන් බැවින් එම කාලයේදීම එය මෙරටදීද වගා කරන්නට ඇති බවය. නමුත් එහි ඇට වලින් පානයක් සාදාගත හැකි බව සිංහලයන් දැන සිට නොමැත. ඔවුන් එම ගසේ දලු වෑංජන සෑදීම සදහා යොදාගෙන ඇති අතර මල් ඔවුන්ගේ බුදු මැදුරු අලංකාරයට යොදාගෙන ඇත. ජෝන් ෆර්ගියුසන් ද බොහෝවිට ටෙනන්ට් මූලාශ්‍ර කරගෙන එයම පවසයි. වැඩි දුරටත් ෆර්ගියුසන් පවසන්නේ ඕලන්දයන් විසින් 1740 දී ක්‍රමාණුකූල ලෙස කෝපි වගා කරන්නට උත්සහ කල මුත් පහත රට ප්‍රදේශ වල එය එතරම් සාර්ථක වී නොමැති බවය. ඔවුන් වසරකට හොණ්ඩර 1000 කට වඩා අපනයනය කර නොමැත.  ටෙනන්ට් පවසන පරිදි ඕලන්දවරුන් 1739 වන විට කෝපි වගාව අසාර්ථක වීම නිසා අතහැරදමන මුත් මේ වන විට සිංහලයන් සහ අරාබින් (සංක්‍රමණික මුස්ලිම් වෙළෙන්දන්) කෝපි වල ඇති අගය හඳුනාගෙන ඇති අතර ඉංග්‍රීසීන් පැමිනෙන විටත් ඔවුන් පිලිවෙලින් කෝපි වගාව සහ වෙළදාම පවත්වාගෙන ගොස් ඇත.

උඩරට සිංහලයන් පසුකාලීන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙන් උස් කඳුකර බිම් වල තිබූ වන වගාව වනසා කෝපි වගාව සිදු නොකල අතර ඔවුන් කෝපි ගස් වගා කලේ ඔවුන්ගේ ගෙවතු වල අනෙකුත් බෝගද සමගිනි. කිසිදු සැලකිල්ලක් නොදක්වා වැවුනු එම ගස් වල ගෙඩි හටගත් විට ඇතැම් විට මෝරන්නටද පලමුව කඩා ගමට පැමිනෙන මුස්ලිම් වෙළෙන්දන්ට මුදල් වලට හෝ භාණ්ඩ හුවමාරුවට විකුනා ඇත. කෙසේ නමුත් 1830 පමණ වන තුරුම අපනයන කෝපි වලින් වැඩි ධාරිතාවක් සපයා ඇත්තේ මෙම උඩරට වැසියන් වන අතර කෝපි වගාව එහි උපරිමයටම පැමිණි 1850 සිට 1860 අතර කාලයේදීද උඩරට ගැමියන් මුලු අපනයන ධාරිතාවයෙන් 1/5 සිට 1/4 අතර ප්‍රමාණයක සැපයුම් කරුවන්ව සිට වාර්ෂිකව පවුම් 250000 ත් 300000 ත් අතර ආදායමක් ඉන් උපයා ඇත.

මෙයින් පෙනී යන්නේ බ්‍රිතාන්‍යයන් විසින් වානිජ භෝග වගාවක් ලෙස කෝපි මෙරටට හඳුන්වාදුන්නායැයි යන පොදු පිලිගැනීම මිත්‍යාවක් බවය. ඇත්ත වශයෙන්ම සිදුවූවේ උඩරට ගැමියන්ගේ කෝපි වගාවේ සාර්ථකත්වයන් සහ වැරදීම් තුලින් ඉගෙන ගත් ඉංග්‍රීසීන් උඩරට සිංහලයන්ගේම හේන් ඉඩම්, විහාර දේවාල ගම් සහ තහංචි කැලෑ බලෙන් පවරාගෙන විනාශකාරී ලෙස ලාභය පමනක්ම ඉලක්ක කරගනිමින් අනාගතයේදී ඇතිවන (තවමත් නොවිසදී පවතින) ගැටලු රාශියකටම මේ රට ඇද දැමිමය.

මූලාශ්‍ර

Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950
Agricultural, Commercial and Financial Interests of Ceylon , Anthony Bertolacci, 1817
* -  Ceylon in the Jubilee Year, John Ferguson, 1887
   -  Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859

2 comments: