Sunday, December 27, 2015

බලු කපුටන්ව ඉපදෙන්න රාජ්‍ය දේපල සොරා කන්න! - එහෙම හරියයිද?

 නිශ්ශංකමල්ල රජතුමා විසින් ශ්‍රිපාදස්ථානයේ සෙල් ලිපියක් පිහිටුවා තිබෙන බවත්, එහි කියවෙන පරිදි රාජ්‍ය දේපල සොරාකන්නන් මරණින් මතු බලු කපුටන් සේ ඉපදෙන බවත් මෑත කාලයේ මෙරට රාජ්‍ය පාලනයේ ඉහලම තනතුරක් හොබවන්නෙකු ප්‍රකාශ කලේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ විද්වතුන් රැසක්ද සිටි සභාවකදිය. එම ප්‍රකාශයට ඉමහත් ප්‍රචාරයක් ලැබුන මුත් එවන් සෙල්ලිපියක් ශ්‍රිපාදස්ථානයේ  තිබෙනවාදැයි කිසිවෙකු සොයා බැලුවේ නැත. මේ ඒ පිළිබඳව කෙරෙන විමසීමකි.

මෙරට රාජාවලියේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් කල රජතුමා බොහෝ විට පොළොන්නරු යුගයේ රට පාලනය කල කාලිංග වංශික නිශ්ශංකමල්ල රජතුමා විය හැක. ඔහු පිහිටවූ ලෙස හඳුනාගත් සෙල්ලිපි අවම වශයෙන් 87 මේ වනවිට කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් භගවා ලෙන නොහොත් ඇතැමුන් දිවාගුහාව ලෙස හඳුන්වන ලෙනේ ඇති සෙල්ලිපි දෙක පමණි මෙතෙක් ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව හමුවී ඇත්තේ. මීට අමතරව මාගම්පත්තුවේ වාඳුරුප්පේ පුවරු ලිපියේත්, ගිරුවා පත්තුවේ රම්බා විහාරයේ ඇති තවත් පුවරු ලිපියකත්, බුත්තල කටුගහ-ගල්ගේ ටැම් ලිපියේ සහ පඩුවස්නුවර ගල් ආසන ලිපියේත් එතුමා බොහෝ දුෂ්කරතා මැද සමනොල නැඟි බව පමණක් සඳහන් කරයි.

රූපය 1 - නිශ්ශංකමල්ල රජු සිරිපා පුදන ආකාරය දැක්වෙන
 භගවාලෙන ලිපිය
භගවා ලෙන ලිපිය 1 - තමන් විසින් සිරිලක එක්සේසත් කල බවත්, රන් රුවන් ආදි බොහෝ වස්තු දන්දී  හේන් කරන්නන්ගෙන් පෙර කල අය කල කැතිඅඩ බද්ද අහෝසි කල බවත්, යුධ කිරීමට ආශාවෙන් දඹදිව් ආක්‍රමණය කර පඩි රජු පලවා හැර ඔහුගෙන් රාජකීය ස්ත්‍රීන් හස්ති අශ්ව ආදි පඩුරුද පිළිගෙන, චෝල රටින් එවූ පඩුරුද පිළිගෙන, දේවකුලමේදි නන්දෙසින් ආ දිළිදුන්ට දන්දී, නිශ්ශංකේශ්වරය නම් වූ දේවාලයක්ද කරවා ආපසු සිරිලක පැමිණ, තුන් රජයේ බොහෝ තැන්හිද, කාලිංග, පාණ්ඩ්‍ය, චෝල රටවල් වලද, දන්ගෙවල් පිහිටුවා දිලිදුන්ට දන්දී, නවම් මස පුන් පොහෝ දිනක සමනල නැග, පට සලු සහ රන් රිදී හා නවරත්නයෙන් මලුව සරසා, පූජනීය ශ්‍රීපාදය නමස්කාර කර, අඹගමුව ග්‍රාමය නැවත ආගමික කටයුතු උදෙසා පිරිනමා, කිසිවෙකු විසින් එම ස්ථානයන්ට කිසිදු උවදුරක් නොකරන ලෙසට නියෝග පමුණුවා මෙම ලේඛනය පිහිටුවන ලද බවත් පමණි එහි සඳහන් වන්නේ. > රාජ්‍ය දේපල සොරාකෑමක් ගැන නැත.

රූපය 2 -  බලු කපුටු සහ ඉර හඳ ලකුණු  සහිත
ටැම් ලිපියක් - අලුත්වැව විහාරය, මැදගම
භගවා ලෙන ලිපිය 2 -  නිශ්ශංකමල්ල රජු සිරිපා වඳින ආකාරය දැක්වෙන රූපයක් (රූපය 1) සමග මෙම ලිපියේ දැක්වෙන්නේ "මේ නිශ්ශංක පරාක්‍රමබාහු පූජනීය ශ්‍රීපාදය වැද සිටින නියායයි" යන්න පමණි. > බලු කපුටු කතාද නැත.

කෙසේ නමුත් පැරණි රජ දරුවන් විසින් දිවයිනේ නන්දෙස පිහිටුවා ඇති ඇතැම් සෙල්ලිපි වලින් කිසියම් පරිත්‍යාගයක් බොහෝවිට විහාරයකට පිරිනමා එම දේවල් අයථා ලෙස පරිහරණය කරන්නන් සහ එම නියෝගය කඩ කරන්නන් මතු බලු කපුටන් ලෙස ඉපදෙන බව නම් සඳහන් කර ඇත. එවන් ඇතැම් ලිපි වල බලු කපුටන්ගේ රූප සහ එය සඟ සතු කල බව කියා පෑමට වටාපතක ලකුණ දැක්වෙන රූපද, එම නියෝගය ඉර හඳ පවතින තුරා පැවතිය යුතු බව පැවසීමට ඉර, හඳ ලකුණුද කොටා ඇත. (රූපය 2)

 මෙහි කොහේ හෝ පැටලැවීමක් නම් සිදුවී ඇති බව පෙනේ. එනිසා රාජ‍ය දේපල සොරාකන්නනි, තොපට බිය වීමට හේතුවක් නොමැත රාජ්‍ය දේපල සොරාකන්නන්ට බලු කපුටන් වන්නට සිදුවන වන වග නිශ්ශංකමල්ල රජු ශ්‍රිපාදස්ථානයේ සෙල්ලිපියක නම් කියා නැත.


මූලාශ්‍ර:
  • සපරගමු දර්ශන, රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමි, 1967
  • Achaeological survey of Ceylon, Inscription of Ceylon, Volume VI, G.S. Ranawella, 2007

Monday, December 21, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 4 - හය වැනි පරාක්‍රමබාහුගේ Central Cafe දෙමළ සෙල්ලිපිය සහ සපුමල් කුමරුගේ නල්ලුර් කන්දසාමි කෝවිල

හුණුගලක දෙමළ අකුරු වලින් කොටා තිබූ සෙල්ලිපියක් යාපනයේ ප්‍රධාන වීදීයේ (Main Street) පිහිටි Central Cafe නම් වූ වෙළඳ සැලක දොරක් අභියස බිමට අතුරා කිසිවෙකුගේ අවධානයට ලක් නොවී වසර ගණනාවක්ම තිබුනි. එම වෙළඳ සැලට ඉදිරියෙන්ම පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ සේවකයන්ද දිනපතාම පාහේ මෙම ස්ථානයට තේ පානය සඳහා පැමිණි මුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය වර්ෂ 1968 වනතුරුම අනාවරනය වූවේ නැත.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
වර්ෂ 1915 දී  Yalppana Carittiram නමින් මුත්තුසාමි නම් වූ පුද්ගලයෙක් කල ග්‍රන්ථයක එන සඳහනකට අනුව පෘතුගීසීන් විසින් නල්ලුර් නගරය විනාශ කිරීමෙන් පසු එහි තිබූ ගොඩනැගිලි වල ගඩොල් සහ ගල් කනු ආදිය යාපනය කොටුව සහ නිවාස සෑදීමට උපයෝගි කරගෙන ඇති අතර යාපනයේ පැරණි නගරයේ පරංගී විදියේ (වර්තමානයේ Main Street හෙවත් ප්‍රධාන විදිය ) පිහිටි පජානානන්තර්ගේ පැරැණි නිවසේ පඩියකට යොදාගෙන ඇත්තේද අකුරු කෙටූ එවන් ගලකි. පජානානන්තර්ගේ එම නිවස අප මෙහි සඳහන් කල Central Cafe සහ වෙනත් වෙළඳ සැල් පිහිටි 18 වන ශතවර්ෂයේ අවසාන භාගයේ හෝ 19 වන ශතවර්ශයේ මුල්භාගයේ පමණ ඉදිකල බව හැඟෙන ගොඩනැගිල්ල බව මේ පිළිබඳව කරුණු සෙවූ ඉහත සඳහන් සෙල්ලිපිය පසුව පරිවර්තනය කර Epigraphia Tamilica පලමු වෙලුමේ ඉදිරිපත් කල මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල (Karthigesu Indrapala) මහතා හඳුනා ගනී.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
කැබැලි වූ මෙම සෙල්ලිපියේ පේලි 25 පමණ ඇති මුත් ඉන් කියවිය හැකි මට්ටමේ පවතින්නේ පේලි 15 පමණි.  ලිපිය ආරම්භයේම ඇති  'ශ්‍රී' අකුර ග්‍රන්ථ අක්ෂර වලින් සහ ඉතිරි කොටස 15 වන ශතවර්ෂයේ භාවිත දෙමළ අකුරු වලින් රචිත මෙම ලිපිය කෝට්ටේ සිට තුන් සිංහලය අවසාන වරට එක්සේසත් කල 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ නයිම්මන සහ මුන්නේස්වරම් (කියවන්න සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා) දෙමළ සෙල් ලිපි වලට බොහෝ දුරට සමාන කමක් දක්වයි. ලිපිය පිහිටුවීමේ අරමුණ සඳහන් කොටස ගෙවී ගොස් ඇති බැවින් කියවිය හැකි කොටසින් අනාවරනය වනුයේ එය පිහිටවූ රජතුමාගේ නම පමණි. ශ්‍රී සංඝබෝධිවර්මන් ත්‍රිභුවණ චක්‍රවර්ති  ශ්‍රී පරාක්‍රමබාහු දේවා ලෙස සඳහන් එම රජු හඳුනා ගැනීම එතරම් අපහසු නැත. 15 වන සියවසේ එම නමින් යාපනය ප්‍රදේශය හා සම්බන්ධව නම කියවෙන්නේ ඉහත සඳහන් සෙල්ලිපි දෙකෙහිද සඳහන් 6 වන පරාක්‍රමබාහු (ක්‍රි.ව.1412 - 1467) රජු පමණි.

නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරි න
දුල කර සේසත් මිණිබරණ කිරණි    න
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙ    න
බල සේනානායක සපු කුමරු එ        න

සැළළිහිණි සංදේශයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එලෙසින් වර්ණනා කරන්නේ පරාක්‍රමබාහුගේ හදාවඩා ගත් දරුවෙකු වන සේනානායක සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල්, ආර්යචක්‍රවර්ති නම් වූ යාපා පටුන ප්‍රදේශයේ බලය පැතිරවූ ප්‍රාදේශිය රජු මරා ඔහුගේ රාජධානියේ බලය අල්ලා ගෙන නැවැත පැමිණෙන අයුරුය. ඉන් පසු එම සපුමල් කුමරු යාපා පටුනේ පරාක්‍රමබාහු යටතේ පාලනය මෙහෙය වූ බව රාජාවලිය පවසයි. වර්තමානයේ නල්ලුර් වල තිබෙන කන්දසාමි කෝවිල හෙවත් කතරගම දෙවිඳුන් සඳහා පුද කල දේවාලය පිහිටුවන්නේද එම සපුමල් කුමාරයාය. ඒ බව අදටත් එම දෙවොලේ ගැයෙන කත්තියම් (Kattiyam) වල සඳහන් වේ (6 වන පරාක්‍රමබාහුට පසුව භුවනෙකභාහු ලෙසින් කෝට්ටේ රජ වන සපුමල් කුමරු එම කත්තියම් වල හැඳින්වෙන්නේ ශ්‍රී සංඝබෝධි භුවනෙකබාහු ලෙසිනි.). එසේ නම් මෙම ලිපිය එම යාපා පටුන ජයගැනීම ගැන හෝ නල්ලුර් දේවාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ සඳහනක් විය නොහැකිද?

* 70 දශකය වන විටත් Central Cafe භූමියේ පිහිටි එම සෙල්ලිපියේ වර්තමාන ඉරණම පිළිබඳව ලිඛිත මූලාශ්‍ර වල කිසිවක් සඳහන් නොවේ.

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර 
  • Epigraphia Tamilica, A Journal of Tamil Epigraphy Volume 1, Part 1, Edited by Karthigesu Indrapala, Jaffna Archaeological Society, 1971.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සැළළිහිණි සංදේශය
  • Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXVI, 70.
  • Ancient Jaffna, Mudaliyar C. Rasanayagam, 1926

Monday, December 14, 2015

නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණය

 දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් විනාශ කර  දැමීමට ලැබූ අනගි අවස්ථාවක්  ලෙස බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න මහතුන්ගේ නායකත්වයෙන් 1987 දී සිදුකල වඩමාරච්චි  මෙහෙයුම සැලකිය හැකිය. එය ඉන්දියානු ව්‍යාප්තිවාදීන්ගේ බලපෑම් හමුවේ ජයග්‍රහණය පෙනි පෙනි නතර කර දැමීමට එවකට සිටි නිවට නායකත්වයට සිදුවීමෙන් දෙමළ ත්‍රස්තවාදය අතුගෑ දැමීම තවත් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් දහස් ගනනකගේ ජීවිත අහිමි වීමෙන් පසු වර්ෂ 2009 දක්වාම කල් තැබුනි. නැවතත් නිවට නායකත්වයක් යටතේ අලු ගසා නැගී සිටින දෙමළ ජාතිවාදීන්ගේ නාගදීප, නයිනතිව් කිරීමේ පුරසාරම් කතා අසා සිටින්නට සිදු වී ඇති මෙම අවස්ථාවේ වර්තමාන යාපනය අර්ධද්වීපය දෙවන සියවසේ නාගදීපය ලෙසින් හැදින්වූ බවට ඇති ප්‍රබලම සාක්කිය හමුවන්නේද යාපනය දීස්ත්‍රික්කයේ එම වඩමාරච්චි කලාපයේ වල්ලිපුරම් ගමෙන් බව පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
වල්ලිපුරම් රන්පත
වල්ලිපුරම් ග්‍රාමයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරි පවතින ගොඩනැගිලි පාදම්, ගඩොල්, වලං කැබැලි, පැරණි කාසි ආදි නටබුන් හමුවන ප්‍රදේශයක් ඇත. එහි පිහිටි විෂ්ණු කෝවිලට අයත් ඉඩමක තිබී වසර ගනනකට පෙර හමු වූ අමරාවති සම්ප්‍රදායේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව මෙම නටබුන් විවාදයක් නොමැතිවම පැරණි බෞද්ධ විහාරයක බව පසක් කරයි (එම ප්‍රතිමාව වර්ෂ 1906 දී හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරයා විසින් සියම් රජුට තෑගි කරයි )

මෙම  විෂ්ණු කෝවිල ප්‍රදේශයෙන් 1936 දී හෝ ඒ ආසන්න වසරකදී අකුරු කෙටූ රන් පතක් හමුවේ. පැරණි ගොඩනැගිලි පාදමක පතුලේ තිබී හමු වූ මෙම රන් පත බ්‍රාහ්මි අක්ෂර වලින් සහ දෙවැනි ශතවර්ෂයේ වෙනත් සෙල්ලිපි ආදියේ හමුවන පැරණි සිංහල භාෂාවෙන් ලියැවි ඇත.  වසභ රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 67-111 ) ඉසිගිරිය ඇමතියා විසින් නකදිව පාලනය කරන අවධියේ බදකරඅතනෙ හි පියගුක තිස විසින් විහාරයක් කරවූ බව එම රන් පතින් කියවේ. (මෙම ලිපියේ වෙනත් කියවීමකට අනුව කරඅතනෙහි කල විහාරයේ නම පියගුකතිස වෙහෙර වේ. එවිට එම විහාරය ඉදි කර ඇත්තේ වසභ රජු සහ ඉසිගිරිය ඈමැතියා ලෙස ගත හැක.)

නකදිව - සිංහල 'නක' ශබ්දය පාලියට පෙරලූ විට 'නාග' වේ. ඒ අනුව සිංහලෙන් නකදිව යනු පාලියෙන් නාගදීපයයි.

බදකරඅතන - 'අතන' ශබ්දය වෙනත් සෙල්ලිපි වලද ස්ථාන නාම සමගින් හමුවේ. එවිට බදකරඅතන යනු වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය එවකට හැඳින්වූ නාමය ලෙස ගත හැක.

පියගුකතිස - මහාවංශයේ දුටුගැමුණු රජු හා සම්බන්ධ කතාවකදි පියංඟු දිවයිනේ වැඩසිටි තිස්ස නම් තෙර නමක් ගැන සඳහන් වේ. වල්ලිපුරම් රන්පතේ සඳහන් වන පියගුක තිස යන්න විහාරයේ නම ලෙස ගතහොත් එම විහාරය ඇතැම්විට මෙම පෙර සිටි තෙරණුවන්ගේ නමින් නම් කලා විය හැක. මහනුවර යුගයේ රචිත එවකට වැඳුම් පිඳුම් කල විහාර දේවාල ලේඛනයක් අඩංගු වන නම්පොතේ සඳහන් වන පුවංඟු දිවයින අවිවාදිතවම මෙම පියංඟු දිවයින ලෙස සැලකිය හැක. එය වර්තමාන පුන්කුඩුතිව් විය හැකි බව පරණවිතාන මහතා ඇතුලු විද්වතුන්ගෙ මතයයි.

වල්ලිපුරම් රන්පතින් හෙලිවන වැදගත් කරුණු  මෙලෙස කෙටියෙන් ගෙනහැර දැක්විය හැක : -

  •  එවකට බදකරඅතන ලෙසින් හැදින්වූ වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය පිහිටි යාපනය අර්ධද්වීපය 2 වෙනි සියවසේදී නකදිව හෙවත් නාගදීපය ලෙසින් හැඳින්වූ බව.
  • එහි ප්‍රාදේශීය පාලනය අනුරාධපුරයේ සිට තුන් සිංහලේම පාලනය කල වසභ රජුගේ ඉසිගිර නමැති ඇමැතිවරයා අතින් සිදුවූ බව.
  • එම කාලයේ නාගදීපයේ සිංහල බෞද්ධ ජනතාව විසූ බව සහ ඔවුන් බෞද්ධ වෙහෙර විහාර ඉදි කල බව.
පසුකාලිනව දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ යාපනය අර්ධද්වීපයේ සිංහල ජන වර්ගය කෙමෙන් දකුණු ඉන්දීය සංක්‍රමණික හින්දු ද්‍රාවිඩ ජනයාගෙන් ප්‍රතිස්ථාපනය වුවද සියවස් ගණනාවකට පෙර සිටි එක් පුද්ගලයෙකු කිසිදා කිසිවකුට දැකිය නොහැකි වනු ඇතැයි සිතා තම පුණ්‍ය ක්‍රියාව සටහන් කර තැන්පත් කල රන් පතකින් එම සැඟවුනු ඉතිහාසය ඉස්මතු වූ අයුරු කෙතරම් අපූරුද?

සම්බන්දිත පෙර ලිපි -   


මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • නම්පොත

Sunday, December 6, 2015

කන්ද උඩරට චරපුරුෂ පරංගි පූජකයා සහ පරංගියාගේ ආගමික සහජීවනය

වීදාගම නටබුන්

ට්‍රිනිඩේඩ්ගේ කෘතියේ එන 17 වන ශතවර්ෂයේ මෙරට තිබූ ප්‍රැන්සිස්කානු නිකායේ කතෝලික දේවස්ථාන පිලිබඳ විස්තරයේ, එම දේවස්ථාන පිහිටවූ ස්ථාන වල පෙර පැවැති පෘතුගීසීන් විසින් විනාශ කල බෞද්ධ වෙහෙර විහාර සහ දේවාල පිළිබඳ සඳහන් වන අවස්ථා ඇසුරින් සම්පාදිත ලිපියේ දෙවන කොටස වන මෙමගින් දකුනු වෙරල තීරයේ තවත් එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳ සලකා බලමු. පෙර ලිපිය සඳහා - 17 වන සියවසේදි ප්‍රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්

දික්වැල්ල
ශාන්ත ලුසි (St. Lucy) වෙනුවෙන් වූ දික්වැල්ලේ දේවස්ථානය ඇතුලු දේවස්ථාන 3 කට භාර කරනු ලැබූ දික්වැල්ල ප්‍රදේශය (Dicvela) ඊට පෙර කපුවන්ට (Capuas, ministers of the temples) අයිතිව තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. බොහෝවිට ආසන්නයේ පිහිටි දෙවිනුවර උපුල්වන් දේවාලයේ කපු මහතුන් මින් අදහස් කරන්නට ඇත.

දෙවිනුවර 
දෙවිනුවර දේවාලය පෘතුගීසින් විසින් විනාශ කල අයුරු සඳහා කියවන්න - පරංගියා දෙවිනුවර ගිය හැටි
ගම් 70 කටත් වඩා ප්‍රමාණයකින් ලබන ආදායමකින් යුත්ත වූ දෙවිනුවර (Tanavare) දේවාලය බිමට සමතලා කිරීමෙන් පසු එම ස්ථානයේම විශාල සහ අලංකාර කොටස් තුනකින් යුත් දේවස්ථානයක් ඉදිකල බවත් ඒවා ගල් කනු වලින් වෙන් කර තිබූ බවත් ට්‍රිනිඩේඩ්  පවසයි (Three naves divided by stone pillars) . එම දේවස්ථානයේ 2400 කට වඩා බැතිමතුන් සිටි බවත් එම සංඛයාව දිනෙන් දිනම වැඩි වන බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

ගලපාත
කලුතර සිට ගඟ දිගේ ඉහලට ගිය විට හමුවන දියගමට නුදුරින් වූ ගලපාත ග්‍රාමයේ පෙර කල යක්ෂයා වන්දනා කල පන්සලක් (Formerly the devil was worshiped in a temple) පිහිටි තැන ශාන්ත ජෝන් (St. John the Baptist) වෙනුවෙන් කැපවූ දේවස්ථානයක් ඉදි කල බවත් පැරණි පන්සලේ නටබුන් ඒ වන විටද ඉතිරි වී තිබූ බවත්  ට්‍රිනිඩේඩ් සඳහන් කරයි.

වීදාගම
රයිගම් කෝරලයේ වීදාගම (Vidagama) පෙර පන්සලක් තිබූ තැනක (Where a temple once stood) Our Lady of Miracle දේවස්ථානය වර්තමානයේ ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. එහි බැතිමතුන් 1300 පමණ ඒ වන විට සිට ඇත.
වීදාගම නටබුන්
මේ කාලය වන විට කන්ද උඩරට සිංහල රාජධානියේද (Kindom of Candia) ප්‍රැන්සිස්කානු නිකායට අයිති දේවස්ථානයක් පිහිටා තිබූ බවත් එහි සිටි පූජකයාට මිත්‍යාදෘෂ්ටික රජතුමා (Pagan King) සහයෝගය දැක්වූ බවත් එම පූජකයා කැප්ටන් ජෙනරාල්ට එහි සිදුවන වැදගත් දේවල් දැනුම්දෙන බැවින් ඔහුගේ සේවය දිවයිනට සහ පෘතුගාලයේ මහ රජතුමාට ඉතාම වැදගත් වූ බවත් (It is the duty of this father to warn the Captain General about anything of importance which may occur there and thus service of His Majesty) ට්‍රිනිඩේඩ් සිය විස්තරයේ අවසානයේදි පවසයි. කෙසේද පහත රට බෞද්ධ විහාරස්ථාන විනාශ කරමින් එම ස්ථාන වල කතොලික දේවස්ථාන ඉදි කරද්දිත් තම බල ප්‍රදේශයේ පෘතුගීසින්ට දේවස්ථානයක් ඉදි කරගැනීමට අනුබල දුන් සිංහල රජතුමාගේ සහ සිංහලයන්ගේ 'ආගමික සහජීවනය' අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් පෘතුගීසි පූජකයා උඩරට රාජධානියේ ඔත්තු බැලූ අයුරු?  
මූලාශ්‍ර
    The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991