Sunday, November 5, 2023

බිජෙර්වතු කුළියෙහි රන්තිසැ හෙවත් තිස්සවඩ්ඪමානක පිහිටි මැඩිලිගිරි වෙහෙර

මැදිරිගිරිය වටදාගෙය යනු මෙරට ඕනෑම පුද්ගලයෙක් අවම වශයෙන් ඡායාරූපයකින් හෝ දැක ඇති පුද බිමක් මෙන්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. මදක් උස් වූ කළුගල් තලා දෙකක් මතට ගොඩවීමට ශෛලමය පඩිපේලි සකසා ඒ මත තැනූ ස්තූපය සහිත වටදාගෙයක්, තවත් ස්තූපයක්, ප්‍රතිමාගෘහ හතරක් සහ පොකුණු දෙකක් මෙම පරිශ්‍රයේ ප්‍රධාන වශයෙන් දැකිය හැක. එසේම පූජනීය ගොඩනැගිලි පිහිටි ගල් තලා දෙකම ආවරනය වන පරිදි ඉදි කල විශාල ප්‍රාකාර බැම්මක් මගින් විහාරයේ සීමාව සළකුණු කර ඇත. එහෙත් මෙම සීමාවන්ට පිටතින් විශාල ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිතයට අයත් වන අතර කැනීම් සිදු කර සංරක්ෂණය කල පුරාණ රෝහලක් හෙවත් වෙදහලක් ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි වලට ඊසාණ දෙසින් දැකගත හැක. සෙල්ලිපි වල සිංහල භාෂාවෙන් මැඩිලිගිරිය ලෙසත්, මහාවංශයේ පාලි භාෂාවෙන් මණ්ඩලගිරිය ලෙසත් හැඳින්වෙන මැදිරිගිරිය ලෙසින් වර්තමානයේ හඳුනාගන්නා මෙම ස්ථානයෙන් හමුවූ සෙල්ලිපි සහ වංශකතා තුලින් එහි අතීතය පිලිබඳව කරුණු ඉදිරිපත් කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කොට මෙම ලිපිය සැකසේ.    

මැදිරිගිරිය විහාරයේ ගොඩනැගිලි දැක්වෙන වීඩියෝව >>

කනිට්ඨතිස්ස රජු (පො. ව. 167 - 186) මණ්ඩලගිරි විහාරයේ උපොසථඝරයක් කරවූ බවද, සිරිසංඝබෝධි නමින් රජවූ හත්ථදාඨ රජුගේ (පො. ව. 659 - 667) අග්ගබෝධි නම් වූ බාල සොහොයුරාගේ (එනම් පො. ව. 667 - 683 කාලයේ රජ්‍ය පාලනය කල සිව්වන අග්ගබෝධි) රාජ්‍ය පාලන කාලයේ මහත් ධනවත් වූ මලය රජු, මණ්ඩලගිරි විහාරයේ චේතියට වටිනා දාගෙයක් කරවූ බවදදෙවන සේන රජු (පො. ව. 853 -887) මණ්ඩලගිරි විහාරයට ගම් පිදූ බවද, පළමුවන විජයබාහු රජු ප්‍රතිසංස්කරණය කරන ලද දිරාගිය විහාර අතර මණ්ඩලගිරි විහාරය තිබූ බවටද මහාවංශයේ තොරතුරු හමුවේ. නැවතත් මහාවංශයේ මණ්ඩලගිරි විහාරය (මණ්ඩලීගිරි ලෙසින්) ගැන සඳහන් වන්නේ දෙවන ගජබාහු රජු (පො.ව. 1132-1153) සහ පරාක්‍රමබාහු කුමාරයා අතර ඇතිවූ "සාම ගිවිසුම" පිළිබඳව වූ විස්තරයේදීය. මණ්ඩලගිරි විහාරයට පැමිණ  ඔවුන් දෙදෙනා එකඟ වූ කරුණු ගලක මතුපිට ලියවූ බව එහි සඳහන් වේ (එහෙත් එම සෙල්ලිපිය හමුවන්නේ වර්තමානයේ සංගමුව නමින් හැඳින්වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි වෙනත් විහාරයකය. එම සෙල්ලිපිය සහ විහාරය පිළිබඳව තොරතුරු මීට පෙර ලිපි දෙකකින් ඉදිරිපත් කර ඇත (1) >> (2) >>. )


මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයෙන් හමුවී ඇති 10 වන ශතවර්ෂයේ මුල් අර්ධයට අයත් සිංහල අක්ෂර වලින් රචිත ටැම් ලිපි දෙකක් වේ. බොහෝදුරට එකම ලිපියේ පිටපත් දෙකක් ලෙස සැලකිය හැකි එම ටැම් ලිපි වල සඳහන් වන ලෙසට ඔකාවස් පරපුරෙන් පැවතෙන දඹදිව් තල එක් හෙළි කොට මධුරා දිනූ සිරිසග්බො මහරද්හු පුත් දෙබිසව් දා අභා සලමෙවන් මපූර්මකා තුන්වැන්නෙහි [එනම් අභා සලමෙවන් නම් වූ රජුගේ තුන් වන රාජ්‍ය වර්ෂයේ] නවය[නවම් මස] අව විසෙනිය [චන්ද්‍ර මාස ක්‍රමයට අනුව අවපක්ෂයේ පස් වන දින] එක්තැන් සමියෙන් [Supreme Council] වදාල හෙයින් අත්තාණි ප්‍රදානයක් සඳහන් කරමින් එම ලිපි පිහිටුවා ඇත. මහවංශයේද සඳහන් ලෙසට දෙවන සේන රජු (පො. ව. 853 -887) මධුරා පුරය ආක්‍රමණය කර ඇත. එසේම දෙබිසව් දා යන අභිධානය දැරූ එකම රජු ලෙස එම සේන රජුගේ පුත් පස්වන කාශ්‍යප හඳුනාගෙන ඇති බැවින් මෙම අත්තාණි ප්‍රධානයන් සිදු කර ඇත්තේ මෙම ලිපි වල අභා සලමෙවන් විරුදය දරන 5 වන කාශ්‍යප රජුගේ (පො. ව. 914 - 923) රාජ්‍යත්වයෙන් තුන්වන වර්ෂයේදී බව පැහැදිලිය. 

වෙදහල

අත්තාණි ලිපි පිහිටුවීමේ අරමුණ ලෙස සඳහන් වන්නේ බිදෙර්වතු කුළියෙහි [බිජෙර්වතු කුළිය ලෙසින් අනෙක් ටැම් ලිපියේ සඳහන් වේ. ] රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි ඇත් වෙහෙර් පියැන්ගලැ සතර් සීමාවෙන් ඇතුලත පිහිටි භූමියෙහි [Land situated within the four boundaries of the Meditation Hall of the Inner Monastery of the මැදිලිගිරිය විහාර, situated in රන්තිසා in බිදෙර්වතු කුළියඅනෙක් ටැම් ලිපියේ මෙය සඳහන් වන්නේ බිජෙර්වතු රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි විහාරයේ සතර සීමා තුල ලෙසටය.] බලපවත්නා මුක්තීන් පිළිබඳව සඳහන් කිරීමය. අඩු වැඩි වශයෙන් වෙනත් බොහෝ අත්තාණි පිරිනැමීම් සඳහන් ටැම් ලිපි වල සඳහන් කරුණු එලෙසින්ම සඳහන් වන මෙම අත්තාණි පිරිනැමීමේදීද ඒ සඳහා එක්තැන් සමියෙන් පැමිණි නිලධාරීන්ගේ නම් ගම් සඳහන් වන අතර, ඊට අමතරව සඳහන් වන වැදගත් කරුණු ලෙසට වෙද්හල් වැස්සන්  [Employees of the hospital] ගම් වැද කිසිදු අකටයුතු කමක් නොකලයුතු බව සඳහන්වීම සහ මළ එළුවන් සහ කුකුළන් වෙහෙර් වෙද්හලට බහාලනු [ලබාදිය යුතු බවට] ලෙසට වූ සඳහන සැලකිය හැකිය (මෙම වෙදහල එනම් රෝහලේ නටබුන් විහාරය පිහිටි භූමියට ඊසාණ දෙසින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. මේ සමග ඇති ඡායාරූප සහ වීඩියෝව නරඹන්න.)

හිටි පිළිම තුනක් සහ හිඳි පිළිම දෙකක් සහිත පිළිම ගෙය

මෙම ටැම් ලිපි වලට අමතරව පුවරු ලිපි හතරක්ද මෙම පරිශ්‍රයෙන් හමුවී ඇත. ලිපියේ අර්ථය පැහැදිලිව මතු කර ගත නොහැකි ලෙසට කොටස් ගෙවීගිය, කුඩා අකුරු වලින් කල මින් එක් ලිපියක සඳහන් වන ලෙසට එය සිරිබර සැහැකුල කොත් සුදොනා පරපුරෙන් බට් සලමෙවන් අබහ මහරද් හට සහ දෙව්ගොන් බිසො හට පුත් වූ සිරිසග්බො මහරජු හට සත්වැන්නෙහි පිහිටුවා ඇත. මහාචාර්ය සිරිමල් රනවැල්ල මහතා එහි භාෂාව සහ පූර්විකාවේ ඇති සමානතාවය අනුව ලිපියේ සඳහන් සිරිසඟබෝ විරුදය දරන රජු දඹේගොඩ ලිපියේද ඒ ආකාරයෙන් විස්තර වන සිව්වන මහින්ද (පො. ව. 956 - 972) රජු ලෙස හඳුනාගනී. කෙසේ නමුත් මෙම ලිපියේද මැඩිලිගිරි මහවෙහෙර ගැන මෙන්ම විශේෂයෙන්ම එහි වෙදහල ගැනද කරුණු සඳහන් වන බව කියැවිය හැකි අක්ෂර අනුව පෙනී යයි.

වෙදහල තුල තිබුණා විය හැකි බෙහෙත් ඔරුවක්. එහෙත් මෙය කිසියම් කලක එයට සැලකිය යුතු තරම් දුරකින් පිහිටා ඇති සැතපෙන පිළිමයක් සහිත ප්‍රතිමාගෘහය පිහිටි මළුවට රැගෙන විත් ඇත. 

අභා සලමෙවන් මපුර්මකා පස්වැන්නෙහි මැන්දින් දිනැ පුර විසෙනිය [එනම් අබා සලමෙවන් නම් මහ රජුගේ රාජ්‍යත්වයෙන් පස් වන වර්ෂයේ මැදින් දින චන්ද්‍ර මාස ක්‍රමයට අනුව පුර පක්ෂයෙන්  පස්වන දින], රාල් පුවිළ නම් වූ පුද්ගලයෙක් පනස් කලඳක් රන් දී පිඬින් වසගක් [Food ration] ගෙන මැඩිලිගිරි  වෙහෙර මහ සඟ්නට [සංඝයා හට] දිනපතා එක් කෙනෙක් හට රදින් තුන් අඩ්මනාක් සාලෙ බත් [Boiled rice cooked of three අඩ්මනාක්  of raw rice from the royal house], තුන් මාළුවක් [Three curries] සහ දෙහිරා බුලතක් [Two sheaves of betel] දෙන ලෙසින් පවසා පිහිටවූ පුවරු ලිපියක්ද මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ තිබී හමුවී ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන ලෙසට මෙම දන් සැපයීම කඩ කරන සඟුන් වුව උපැවිදි කර ආවාසයෙන් පිටුවහල් කල යුතු අතර, කැමියන් [officials] දාසයන් කල යුතුය.  

ස්තූපයක්

අඩු වැඩි වශයෙන් මෙම කරුණුම සඳහන්  මෙහි හමුවන තවත්  පුවරු ලිපියක් පිහිටුවා ඇත්තේ රද් මදියා නම් පුද්ගලයෙක් අභා සලමෙවන් නම් රජෙකුගේ [මපුර්මකා] රාජ්‍යත්වයෙන් නවවැන්නේ හිලැ පුර දසවක් දවස [හිල මස පුර පක්ෂයෙන් දසවන දින] මැඩිලිගිරි රද් වෙහෙරට පනැස් කළන්දක් රන් දී පිඩින් වසගක් [Food ration] ගෙනය.  මෙම පුවරු ලිපි දෙකෙහි මෙන්ම ලිපියේ නම සඳහන් රජු හඳුනාගත නොහැකි, එහෙත් සිරිසඟබො මපුර්මකා පළමුවන්නේ මැන්දින් දින පුර විසෙනි දවස් මහ අරකි බුදල්නාවන්ගෙ සුත්කා... ලෙසින් ආරම්භ වන ලිපියේ අන්තර්ගතය හඳුනාගත නොහැකි ලෙසින් ගෙවී ගිය තවත් පුවරු ලිපියක් මැදිරිගිරිය විහාරයේ නටබුන් අතර තිබී හමුවී ඇත.   

ටැම් ලිපිය 

ස්වස්ති බිජෙර්වතුකුළියැ සෙල බොය් (මෙ) ගී

(ඇජැ තබ) ය්  බෙයන්දහි [රන්] වන් පිළිබිබ් ඇත්නි

(හැ)ජවෙය් මෙ (සෙස්) සිත සිරිබර්නි පෙවෙහි කා අවද්

අට වෙනි සියවසේ අවසාන භාගයට හෝ නව වන සියවසේ අරම්භක යුගයට අයත් කල හැකි සිංහල අක්ෂර වලින් ලියා ඇති ඉහත සඳහන් සීගිරි ගීයෙහි සඳහන් වන පරිදි බිජෙර්වතු කුළියේ සෙල බොය් නම් පුද්ගලයා සිගිරි පැමිණ කැටපත් පවුරේ ගීයක් සටහන් කර ඇත.

ගඩොලින් කල සැතපෙන පිළිමය සහිත ප්‍රතිමාගෘහය
යක්ෂයන් සහ මනුෂ්‍යයන් අතින් මෙහෙ ගෙණ මහසෙන් රජු (පො.ව. 274 - 301) බැඳවූ සතලොසක් වූ වැව්  අතර රන්තිසැ නම් වූ වැවක් පිළිබඳව පූජාවලියේ සඳහන් වේ. තවද මේ පිළිබඳව සඳහන් කිරීමේදී රාජාවලියද මහසෙන් රජු යකුන්ගෙන් රාත්‍රියෙ මෙහෙ ගෙන දවාල මිනිසුන් ලවා මෙහෙ ගෙන බැඳි පහළොසක් වැව් අතර රන්තිස නම් වූ වැවද වූ බව සඳහන් කරයි. මහාවංශයේ මහසෙන් රජු කරවූ එම වැව් සොලොස ගැන සඳහන් කිරීමේදී පාලි භාෂාවෙන් තිස්සවඩ්ඪමානක වැව ලෙසින් සඳහන් වන්නේ පූජාවලියේ රන්තිසැ ලෙසින් සඳහන් වන වැව වියහැකි බව සැලකේ. වසභ රජු (පො.ව. 67 - 111) තිස්සවඩ්ඪමානකයෙහි මුචේල විහාරය කරවා ආලිසාර ඇලේ දියභාගය එම විහාරයට පූජා කල බව මහාවංශයේ සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජු අලුත්වැඩියා කල වැව් අතර මහාවංශයේ සුවණ්ණතිස්ස වැව ලෙසින් සඳහන් වන්නේද මෙකී රන්තිසා වැවම විය යුතුය.

කවන්ධ හිටි පිළිම තුනක් සහිත ප්‍රතිමාගෘහයක්

නිශ්ශංකමල්ල රජතුමා පිහිටවූ සෙල්ලිපි කිහිපයකම (රන්කොත් දාගැබ ටැම් ලිපිය, ශිව දේවාල පුවරු ලිපිය සහ Polonnaruva Stone-Bath Slab Inscription ලෙසින් හැඳින්වෙන පුවරු ලිපිය)  රන්තිසැ, මිණිහොරු, ගඟතළා, පදී ඇතුළු වූ තුන් රජයෙහි මහවෑ (තැනැ) අශේෂ ප්‍රාණීන්ට අභය දී නොමරන නියායෙන් සම්මතකොටැ... ලෙසින් සඳහන් කරන පරිදි එතුමා රන්තිසැ, මිණිහොරු (වර්තමාන මින්නේරිය වැව), ගඟතළා (වර්තමාන කන්තලේ වැව), පදී (වර්තමාන පදවිය වැව)  ආදී තුන් රජයේ මහ වැව් වල සියළු සතුන් නොමැරිය යුතු බවට නියෝග කර ඇත. 

පොකුණ

 මැදිරිගිරිය විහාර පරිශ්‍රයෙන්  හමුවන සෙල්ලිපි වල සඳහන් වන පරිදි එය පිහිටා ඇත්තේ බිජෙර්වතු (හෝ බිදෙර්වතු) කුළිය ලෙසින් හැඳින්වූ ප්‍රදේශයක පිහිටි රන්තිසා නම් වූ උප කොට්ඨාශයක බව පැහැදිලිය. එම රන්තිසා නම් වූ ප්‍රදේශය තුල එම නමින්ම වූ වැවක් මහසෙන් රජු ඉදිකර ඇති අතර එය මහාවංශයේ තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇත. රන්තිසා නම් වූ ප්‍රදේශයද මහාවංශයේ වසභ රජු කල තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇති අතර, එහි එතුමා මුචේල නම් වූ විහාරයක් ඉදිකර එයට ආලිසාර ඇලේ දියබාගය පවරා දී ඇත. ආලිසාර ඇල යනු මහවැලි ගඟේ අතු ගංගවක් වන අඹන් ගඟ වර්තමාන ඇලහැර ප්‍රදේශයේදී පුරාණ අමුණක් මගින් හරවා මින්නේරිය ප්‍රදේශය කරා ජලය ගෙන ගිය ඇලක් වන අතර එය වසභ රජු කරවූ ලෙස  පිළිගැනේ. ආලිසර ඇල පිළිබඳව වූ ලිපිය කියවීමට >> 

කවුඩුල්ල හෙවත් පුරාණ රන්තිසා වැව
මේ සියළු කරුණු සලකා බැලූ කල පුරාණ රන්තිසා වැව වර්තමානයේ කවුඩුල්ල ලෙසින් හැඳින්වෙන මැදිරිගිරිය ප්‍රදේශයට ආසන්නව පිහිටා ඇති වැව ලෙසින් හඳුනාගත හැකි අතර, තිස්සවඩ්ඪමානක හෙවත් රන්තිසැ නමින් එකල හැඳින්වූ ප්‍රදේශය වර්තමාන කවුඩුල්ල සහ මැදිරිගිරිය අවට ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. බිජෙර්වතු කුළිය ලෙසින් එකල හැඳින්වූ ප්‍රදේශය වර්තමානයේ සිංහල පත්තුව ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ උතුරු දෙසින් වූ විශාල ප්‍රදේශයක් විය හැකි බව C. W. නිකොලස් මහතා සඳහන් කරයි.

ගල් ගුහාව
මූලාශ්‍ර

  •  Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part III, Edited by Sirimal Ranawella, 2005
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Edited by Sirimal Ranawella, 2001
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2015
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • A Short History of Ceylon, H.W. Codrington, 1926.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • Ancient Irrigation Works in Ceylon, Part 1, R.L. Brohier, 1934
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980

Tuesday, September 12, 2023

කොස්පොතු ඔයේ අමුණු බැඳ කුඹුරු අස්වද්දා ලංකාතිලක විහාරයට පිදූ, නම නොදන්නා රජ්ජුරු සාමී

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සහ එම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් ගවේෂකයන් විසින් මේ වන විට ගල් ලෙන් වල, ගල් තලා මත මෙන්ම ශෛලමය ටැම් සහ පුවරු මත කොටා ඇති ඓතිහාසික යුගයට අයත් සෙල්ලිපි අවම වශයෙන් 5000 කට අධික ප්‍රමාණයක් මෙරටින් සොයාගෙන ඇත. එසේම දිවයින පුරා විශේෂයෙන්ම පහත රට වියලි කලාපයට අයත් ප්‍රදේශ වල වනාන්තර වල සැඟවී තවමත් සොයාගෙන නොමැති සෙල්ලිපි සිය ගානක් තව දුරටත් තිබෙනවා විය යුතුය. මක්නිසාද යත් මෙතෙක් වාර්තා නොවූ එවන් අලුත් සෙල්ලිපි පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වරින් වර වාර්තා වන බැවිනි. එහෙත් මෙතෙක් කියවා ඇති මෙවන් කිසිදු සෙල්ලිපියක එම ස්ථානයේ කිසියම් වටිනා දේ සඟවා ඇත වැනි දෙයක් සඳහන්ව නොමැති බව එම විෂය පිළිබඳව අවම හැදෑරිමක් හෝ ඇති ඕනෑම කෙනෙකුට රහසක් නොවේ. ඒ වෙනුවට ඒ බොහෝමයක් ලිපි වල ඇත්තේ කිසියම් බෞද්ධ විහාරස්ථානයකට හෝ සංඝයාට විවිධ යුග වලදී සිදු කල ප්‍රදානයන් පිළිබඳව විස්තරය. එහෙත් මෙරට උගත්/නූගත් නූගතුන් (එක් හෝ වෙනත් ක්ෂේත්‍රයක උගතුන් ලෙස මෙරට සිටින බොහෝමයක් දෙනා එම ක්ෂේත්‍රයෙන් පිට වෙනත් දේ පිළිබඳව නූගතුන්ය. ඔවුන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව වුවද ඔවුන් ඇතැම්  විට යාවත්කාලීන නොවන අතර විභාග සමත්වීමට කට පාඩම් කල දැනුමෙන් කොටසක් මත පමණක් සදාකාලිකව ජීවත්වේ. එබැවින් ඔවුන් උගත් නූගතුන්ය.) සිතන්නේ එවන් අකුරු කොටා ඇති හෝ අකුරු සහිතව හෝ රහිතව වෙනත් සංකේත කොටා ඇති තැන් වල පෙර සිටි රජවරුන් නිධන් සඟවා ඇති බවය. එම මිත්‍යා විශ්වාසය නිසාම පසුගිය සියවස් වල වාර්තා කර තිබූ ඇතැම් සෙල්ලිපි මේ වන විට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ කර දමා ඇත. තව දුරටත් දිනපතා සිදුවෙමින් පවතී. එම විනාශය සිදු කිරීමෙන් ඔවුන් ලැබූ දෙයක් නොවන්නේ වෙනත් ස්ථාන වල කෙසේ වෙතත් මෙවැනි සෙල්ලිපි ඇති ස්ථාන වල ගල් යට නම් කිසිම නිධානයක් තිබීමට නොහැකි බැවිනි. 
කොස්පොතු ඔය නිම්නයේ කුඹුරු යායවල්
මෙම ලිපියේ මාතෘකාවට අදාල දැදුරු ඔයේ ශාඛාවක් වන එහි ඉහල ජලධාරා ප්‍රදේශයේ පිහිටි කොස්පොතු ඔය නිම්නයේ පිහිටි ගිරි ලිපියද කිසියම් කාලයක එවන් ඉරණමකට ලක්ව එහි මුල් පේලි කිහිපයම, විශේෂයෙන්ම ලිපිය පිහිටවූ රජුගේ නම සදහන් කොටසද සදහටම අහිමි වූ, අද පවා තර්ජනයකට ලක්ව ඇති සෙල්ලිපියකි. මෑතකදි එහි ගොස් සෙල්ලිපියේ ඡායාරූපයක් ගැනීමට මද වෙලාවක් අවශ්‍ය ආලෝක තත්වය ලැබෙන තුරු එහි රැඳි සිටි මා සමග කතා බහ කල ගැමියන් දෙදෙනෙකුට අවශ්‍ය වූවේ මා එය සම්පූර්ණයෙන් කියවා එහි සඳහන් දේ දැනගත්තේද යන්න දැනගැනීමටය. මා එය කියවීමට තැත් නොකල බවත්, එම අකුරු කියවීමට හැකි විද්වතුන්  එය කියවා ප්‍රකාශයට පත් කර ඇති බවත්, එහි සඳහන්ව ඇත්තේ කුමක්ද යන්නත්, මා හැකි තරම් සරලව ඔවුනට පහදා දුන් මුත් ඔවුන් එය විශ්වාස කල බවක් නොපෙණුනි (තකහනියක්ම කොළඹ සිට ඡායාරූපයක් ගැනීමට පමණක් එහි ඒමට තරම් පිස්සු පොරවල් මේ වගේ කාලයක සිටිය හැකි බව ඔවුන්ට විශ්වාස කිරීමට නොහැකි වීම සාධාරනය.) ඔවුන් සමග කතා බහ කිරීමේදී ඔවුන් හැඟවූවේ මා එහි ඇති යම් දෙයක් ගැනීමට වෙහෙසෙන්නේ නම් එයට ඔවුන්ගේ අකමැත්තක් නොමැති බවය. එසේම අවශ්‍ය සහයෝගයක් දිය හැකි බවය. තවද මේ සෙල්ලිපියට පහලින් පිහිටි අලවල අමුණ අසල ඇති පැරණි අමුණේ ලී කණු සිටවූ ගල මත වූ කුහර මෙන්ම ඔයේ ගල් තලාවේ ස්වාභාවිකව ඇතිවූ ගල් කුහර පිළිබඳවද ඔවුන්ට දැනගැනීමට අවශ්‍ය විය. එවන් එක් ස්වභාවික ගල් කුහරයක වූ කොළ රොඩු සහ වැලි පස් ආදිය කිසියම් අයෙකු හෝ කිහිප දෙනෙකු ඉතෑම මෑත දිනයකදී හාරා ඉවත් කර ඇති බවත් නිරීක්ෂණය විය. එම ස්වභාවික ගල් කුහර ඇති වන ආකාරය ඔවුන්ට පැහැදිලි කර දුන් විට නම් එය පිළිගත් බව හැඟී ගියේ එය හෑරූ අය හට කිසිවක් නොලැබී ගිය බව ඔවුන් දැනසිටින්නට ඇති බැවින් විය යුතුය. මෙහි පිහිටි නූතන යුගයට අයත් අමුණ ඉදි කල කාලය පිළිබඳව මා හට තොරතුරු සොයාගැනීමට නොහැකි වූ මුත් එය බොහෝවිට ඉංග්‍රීසි පාලන යුගයේ විය යුතු බව පෙනේ. පැරණි අමුණේ වූ ගල් කුහර ඔයේ එක් පසක පමණක් ඇත්තේ ඔය එම ස්ථානයෙන් පමණක් හරස් කර ජලය හරවා යැවූ බැවින්ද නොමැති නම් එහි අනික් පස වූ ගල් තලාවේ ගල් නව අමුණ සෑදීමට කැඩීම නිසා එම කුහරද ඒ සමග විනාශ වූ නිසාද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් එම කාලයෙන් පසුවද දැනට දැකගැනීමට ඉතිරිව ඇති ගල් කුහර ඇති ස්ථාන වල පතුරු මිනිස් ක්‍රියාකාරකම් මගින් ඉවත් කර ඇති බව පෙනී යයි. නැවතත් අරමුණ ගල යට තිබෙනවායැයි ඔවුන් සිතන වස්තුව සේවීම විනා අන් යමන් විය නොහැක. 

අලවල අමුණේ සහ සෙල්ලිපියේ වීඩියෝ දර්ශන >>


 කුරුණෑගල සිට සැතපුම් 6 ක පමණ දුරින් පිහිටි කොස්පොතු ඔයේ අලවල අමුණ පිහිටි ස්ථානයේ [මියුලර් එම ස්ථානය ගැන කරන සඳහන අනුව පෙනී යන්නේ එම යුගය වන විටත් එහි පැරණි හෝ නව අමුණ තිබී ඇති බවය.] ගඟට ආසන්නව පිහිටි ගල් තලාවක විශාල ප්‍රමාණයේ  නූතන අකුරු වලින් කොටා ඇති සෙල්ලිපියක් ගැන මෙරට සෙල්ලිපි අධ්‍යයනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් 1883 වර්ෂයේ පළවූ සිය ග්‍රන්ථයේ කෙටි සටහනක් තබා ඇත. සෙල්ලිපියේ පෙල ඉදිරිපත් නොකරන මුත් එහි සඳහන් වන්නේ ඒ ආසන්නයේ පිහිටි මැදගම විහාරයට දඹදෙණියේ පරාක්‍රමබාහු (එනම් දෙවන පරාක්‍රමබාහු [පො. ව. 1236 - 1270]) විසින් සිදුකල ප්‍රදානයක් පිළිබඳව බව මියුලර් එහි සඳහන් කරයි.
අලවල සෙල්ලිපිය

මියුලර්ට පසුව වර්ෂ 1931 දී මෙම සෙල්ලිපියේ පිටපතක් ගැනීම උදෙසා මෙම ස්ථානයට යන සෙනරත් පරණවිතාන මහතා හට ප්‍රදේශවාසීන් පවසා ඇත්තේද මියුලර් සිය ග්‍රන්ථයේ සඳහන් කල මැදගම විහාරය සහ දඹදෙනියේ විසූ පරාක්‍රමබාහු පිළිබඳව වූ කතාවම වීම නිසා (අදට වඩා එදා සිටි ගැමියන් මෙහි සඳහන් වන්නේ කිසියම් හෝ විහාරයකට රජ කෙනෙකු විසින් පිරිනැමූ ප්‍රදානයක් බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධිමත් වූ බව පෙනේ.) පරණවිතාන මහතා සැක කරන්නේ මියුලර් සඳහන් කරන විස්තරයද ඔහු එම ලිපිය කියවා පවසන්නකට වඩා ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමක් විය යුතු බවය. සෙනරත් පරණවිතාන මහතා එහි යන සමය වන විටත් ලිපියේ මුල් පේලි දහයේ කොටස් මෙහි නිධන් සෙවූ අමනයන් දරුණු ලෙස විනාශ කර තිබී ඇති අතර, ලිපිය පිහිටවූ රජුගේ නම සඳහන් වන සිව්වන පේලියේ අකුරු ඔවුන් විසින් සදහටම නැති කර දමා ඇත (ගිරි ලිපියේ මුල් කොටස විනාශ කර දමා ඇති ආකාරය මෙම ලිපියේ පළමු ඡායාරූපයෙන් දැකගත හැක) එහෙත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ මියුලර් මෙහි ආ කාලයේදී ඇතැම්විට එම විනාශය සිදු වී නොතිබෙන්නට ඇති බවත්, පරාක්‍රමබාහු යන වචන එමනිසා ලිපියේ ඇති බව ඔහු බොහෝවිට දකින්නට ඇති බවත්, එනිසාම ඔහුට මෙන්ම මියුලර්ටද ප්‍රදේශවාසීන් පැවසූ දේ මියුලර් විශ්වාස කරන්නට ඇති බවත්ය. 

අලවල සෙල්ලිපිය

ලංකා විශ්ව විද්‍යාලය විසින් පළකල University of Ceylon Review සඟරාවට 1960 වර්ෂයේදී  Lankatilaka Inscription යන මැයෙන් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් මෙම සෙල්ලිපියේ පෙළ සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයක් මුල් වරට ලංකාතිලක විහාරය පිහිටි පරිශ්‍රයේ පිහිටි වෙනත් සිංහල සෙල්ලිපි කිහිපයක් සහ දෙමළ සෙල්ලිපියක්ද එම විහාරය සතු තඹ සන්නසක්ද සමගින් පල කරන පරණවිතාන මහතා එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් කරුණු මෙම සෙල්ලිපියේ කරුණු සමග සසදමින් පවසන්නේ මෙම සෙල්ලිපිය අනිවාර්යෙන් සිව්වන බුවනෙකබාහු [පො. ව. 1341 - 1351] හෝ පස්වන පරාක්‍රමබාහු [පො. ව. 1344 - 1359] විසින් පිහිටවූවක් බවය. ඒ අතරින්ද ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ පස්වන පරාක්‍රමබාහු වීමට බව ඔහු පවසයි (ඒ මන්දැයි මේ ලිපියේ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කර ඇත.) 

නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. 

මෙම සෙල්ලිපියේ සඳහන් කරුණු සහ එම කරුණු ඉදිරිපත් කර ඇති භාෂා විලාශය සහ වචන පවා අඩු වැඩි වශයෙන් ලංකාතිලක විහාර පරිශ්‍රයේ පිහිටි එම අනෙකුත් සෙල්ලිපි සහ තඹ සන්නස  සමග සමාන වේ. එහෙත් එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් වන ආකාරයට පරණ බදලගොඩකසඹිලියාගොඩනාරංගොඩඅලුත් බදලගොඩ යන ප්‍රදේශ වලින් ලංකාතිලක විහාරයට පිරිනමා ඇති කුඹුරු වල මුළු වපසරිය යාළ් 14 ක් පමණ වේ. එහෙත් මෙම අලවල අමුණ සෙල්ලිපියේ එම ප්‍රමාණය යාළ් 90 ක් ලෙසින් සඳහන් වේ. මෙම නොගැලපීම විස්තර කරමින් පරණවිතාන මහතා පවසන්නේ ලංකාතිලක විහාරය ඉදිකර මුලින් එම ස්ථානයේ පිහිටවූ සෙල්ලිපි වල එවන් අඩු ඉඩම් ප්‍රමාණයක් සඳහන් කලද, ඊට පසු කාලයකදී එම ඉඩම් පිහිටි ගම් අයත් ප්‍රදේශයේ පිහිටවූ මෙම සෙල්ලිපිය පිහිටවන අවස්ථාව වන විට මුලින් තිබුනාට වඩා වැඩි ප්‍රදේශයක් අස්වද්දා එම කුඹුරු වල ආදායමද ලංකාතිලක විහාරයට පිරිනමන්නට ඇති බවත්, ලංකාතිලක විහාරයේ ඇති සෙල්ලිපි පිහිටවීමට පසුව කාලයකදී මෙම සෙල්ලිපිය පිහිටවූ බවට ඒ අනුව සිතිය හැකි බවත්ය. එනයින් අලවල අමුණ සෙල්ලිපිය පිහිටවා එම ප්‍රදානයන් සිදු කල රජු පස්වන පරාක්‍රමබාහු වීමට වැඩි ඉඩක් ඇති බව පරණවිතාන මහතා සඳහන් කරයි.

නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. 

ඉහත සඳහන් කල පරිදි කිසියම් කාලයක විනාශ කල ලිපියේ මුල් පේලි වලින් කියැවෙන්නේ ලංකාතිලක විහාරය උභය වාසයෙහි මහා සංඝයා (ආරණ්‍ය වාසී සහ ග්‍රාමවාසී) විසින් ඉදි කල බවත්, මහල් සතරකින් යුත් එහි එක් එක් මහල් ඉදි කල පුද්ගලයන් සහ ඒවායේ වූ පිළිම සහ අනෙකුත් පූජනීය දේ පිළිබඳවත්ය. එම විස්තර ලංකාතිලක විහාර පරිශ්‍රයේ ඇති සෙල්ලිපි වලද කියැවෙන බැවින් මෙම ලිපිය විනාශ කලා වුවත් එම තොරතුරු එහි සුරැකිව ඉතිරි වී ඇත. එහි පළමුවන මහල තුන් රජයේ (රුහුණු, මායා, පිහිටි) සේනාව සමග එක්ව සෙනාලංකා අධිකාරයන් කරවූ බවත් එහි වජ්‍රාසනයේ සාමීන්ද (විදුරසුන් මත වූ බුදු පිළිමයක්) වෙනත් පිළිම දහසකින්ද ( ඒ අතරින් දෙදහසක් පන්සිය පනස් ජාතක කතා නිරූපනය කරමින් අඹා ඇත.) බ්‍රහ්ම, විෂ්ණු, මහෙශ්වර, සතර වරම්, කිහිරැළි උපුල්වන්, සමන් , විභීෂණ, ගණපති, කන්දකුමාර ආදී ලෝකපාල දෙවියන්ගෙන්ද බබලන්නා වූ බව ලිපියේ විනාශ නොකල කොටසින් සම්පූර්ණ ලෙස කියවිය හැක.

අලවල අමුණ

ඉහත කී ආකාරයෙන් ලංකාතිලක විහාරය රන් තුන් කෙළ සැට ලක්ෂයක් (මිලියන 36 ක්) දී කරවා, උභය වාසයේ සංඝාරාම කරවා (එනම් නිකාය දෙකේ භික්ෂූන්ට සංඝාරාමද කරවා) මතු පවත්නා ලෙස භූමි දානයක් ඇත මැනැවැයි සිතා, යම් යම් කෙනෙකුන් සන්තක ගමක් බිමක් උදුරා පිදුවහොත් මතු නොපවතී කියා ප්‍රධාන ගණා හා සේනාව (රාජ්‍යයේ ප්‍රධානීන් සහ සේනාව) රැගෙන රජ්ජුරු සාමි මෙම තැනැට වැද වදාරා අමුතුව ඇළ අමුණු බන්දවා* වෙල් වල් කප්පා තනා (අලුතින් ඇළවල් සහ අමුණු බැඳ, කැලෑ කපා වෙල් තනා) ගොවීන්, එඩේරන් වහල් [වහලුන්], සරක් [හරක්] පුදා මතු ඇතිවන රජ, යුවරජ මහාමාත්‍යාදීන් නූගුලුවන ලෙස ඉර සඳ ඉම් පමුණු කොට (එනම් ඉර හඳ පවතින තුරා අනාගතයේදී පැමිණෙන රජවරු , යුවරජවරු හෝ මහ ඇමැති ආදීන් විසින් අහිමි නොකරන පරිදි) ලෙසින් සඳහන් කරමින් පහත දැක්වෙන ලෙසට කුඹුරු විහාරයට ප්‍රදානය කර ඇත.

* මෙම ස්ථානයේ ඇති ඉහත විස්තර කල පැරණි අමුණේ සාධක බොහෝවිට මෙසේ ඉදි කල අමුණක නටබුන් විය හැක.

අලවල අමුණ

පරණ බදලගොඩ, කසඹිලියාගොඩ, නාරංගොඩ, අලුත් බදලගොඩ යන ගම් සතරින් සතර දිගින් යොත්නකින් කුඹුරු බිජුවට අනූ යාළක්, එනම් ඉහත කී ගම් වල පිහිටි (බොහෝවිට ලිපිය පිහිටවූ ස්ථානයේ සිට සතර දෙසින් යොදුනක් දුරට වූ) කුඹුරු යාළ් අනූවක්, සිගුරුවාණෙන්, සිද්දාවුල්ල, ගොන්වණකේ, කිරිවවුල, ගොඩවෙල ඇතුළු වූ තෙනින් කුඹුරු බිජුවට තුන් යාළක් එනම් සිගුරුවාණේ පිහිටි ඉහත කී ගම් සතරින් යාළ් තුනක් පමණ වූ කුඹුරු සහ සැදැ ඇත්තන් නොයෙක් තැන් වලින් පිදූ කුඹුරු බිජුවට සත් යාළක් (එනම් සැදැහැවතුන් විසින් නොයෙකුත් ස්ථාන වලින් පූජා කල කුඹුරු යාළ් සතක්) ඇතුළුව කුඹුරු බිජුවට සියක් යාළක් මෙම ලිපියේ කියැවෙන ලෙසට ලංකාතිලක විහාරයට පිරිනමා ඇත. 

අලවල අමුණට ඉහලින් කොස්පොතු ඔය

සෙල් ලිපියේ තව දුරටත් සඳහන් වන ලෙසට මේ කුඹුරු වලින් ලැබෙන දේ කොටස් පහකට බෙදා ඉන් කොටස් තුනක් තුණුරුවනට, එක් කොටසක් දේවාල පහට සහ ඉතිරි කොටස විහාරය මතු පවත්වන (එනම් ඉදිරියට විහාරයේ කටයුතු පරිපාලනය කරන) සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීහුගේ බන්ධූන්ට (එනම් සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීවරයාගේ ඥාතීන්ට) ලැබිය යුතුය.  

මෙම ලිපිය පිහිටවූ තැනට රජු පැමිණ ඉහත විදානයන් ලියවා වදාළ බව එහි අවසානයේ සඳහන් වේ. තවද ඉහත සඳහන් භූමින්ට භයකින් වන් කෙනෙකුන්ට අභය දානය ලැබෙන බවත්, එහි සඳහන් විදානයන් කඩ කරන පුද්ගලයන් පංච චණ්ඩාලයන්ටත් අන්තව  කවුඩන්ට බල්ලන්ටත් පුත් වන බවත්, නරකාදියේ වැටෙන බවත්, එම විදානයන්ට බසකින් හෝ සහයෝගය දක්වන උත්තමයන් මෙම කුසලෙන් කොටසක් ලැබ දිව සැපත්, නිවන් සැපත් ලබන බවත් සඳහන් වේ. 

මූලාශ්‍ර

  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 7 , Sirimal Ranawella, 2014
  • University of Ceylon Review, Vol XVIII Nos. 1 & 2, 1960
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Saturday, August 5, 2023

    හතර වෙනි සියවසේ සිරි මෙකවන අබ මහ රජු කල හොරණ-පොකුණුවිට පිහිටි රබගම කර්ණිකාවේ පචරිය විහාරය

    මෙරට දේශගුණික කලාප අනුව ගතහොත් තෙත් කලාපයට අයත් වන, වර්තමාන බෙදීම් අනුව කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයේ මුල් ඓතිහාසික යුගයට අයත් මානව ක්‍රියාකාරකම් සිදුවූ ප්‍රදේශයක් ලෙසට හඳුනාගත හැකි පුරාවිද්‍යාත්මක සාධක එතරම් හමුවන්නේ නැත. අනුරාධපුර යුගය ලෙස හැඳින්වෙන එම වකවානුවේ මෙරට සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය මූලිකවම ගොඩනැගුනේ වියලි කලාපයට අයත් එවකට රජරට සහ රුහුණු රට ලෙසින් හැඳින්වූ කලාපයේ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් මුල් කරගෙනය. එහෙත් මලය රට නැතහොත් පසු කාලීනව දක්ඛිණ දේශය හෝ මායා රට ලෙසින් හැඳින්වූ කලාපයට අයත් ප්‍රදේශ වලද කිසියම් මට්ටමකින් හෝ ජනයා එම මුල් ඓතිහාසික යුගයේද  සිටි බවට එම ප්‍රදේශ වල අතරින් පතර හෝ හමුවන සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක සාධක දෙස් දෙයි. එවන් එක් පර්වත ලිපියක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයට ආසන්නව පොකුණුවිට මංසන්ධියට නුදුරින් පිහිටි ස්වභාවික කඳු ගැටයක් මුදුනේ ඇති බව ඒ අවට වෙසෙන බොහෝදෙනෙක් පවා නොදන්නා කාරණයකි. 
    මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහිත විහාරගෙයක්ද සහිත පොකුණුවිට කොණ්ඩඤ්ඤාරාමය ලෙසින් හැඳින්වෙන විහාරස්ථානයේ එකී විහාරගෙයට ආසන්නව පිහිටි ගල් තලාවක මෙම සෙල්ලිපිය කොටා ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1933 තරම් ඈත කාලයකදී මේ පිළිබඳව සටහනක් Ceylon Journal of Science කලාපයකට සැපයූ ඔහුගේ ලිපියක සඳහන් කර ඇති මුත් ලිපියේ ස්පර්ශ ලාංජනයක් (Estampage)  ගෙන එය කියවා ප්‍රකාශයට පත් කිරීමක් මෑතක් වනතුරුම සිදුකර නොතිබුණි. පරණවිතාන මහතා එහිදී මෙම ලිපියෙන් සිරි මේඝවර්ණ රජුගේ කාලයේදී සිවගේ පුත් දේව නැමැත්තෙකු විසින් විහාරයකට කරන ලද පූජාවක් පිළිබඳව කියැවෙන බව පවසා ඇත. එම කාලයේදීම ගත් ස්පර්ශ ලාංජනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබී ඇති මුත් එය පසුකාලීනව සොයාගැනීමට නොහැකි වී ඇත. 1963 වර්ෂයේදී C.W. නිකොලස් මහතාද ඔහුගේ පුරාතන සහ මධ්‍යතන යුගයේ ඓතිහාසික ස්ථාන පිළිබඳව විස්තර ඇතුලත්ව සැකසූ ග්‍රන්ථයේ කැඩී බිඳී ගිය මෙම මේඝවණ්ණාභය රජුගේ කාලයට අයත් සෙල්ලිපිය සම්බන්ධව කෙටි සටහනක් තබා තිබේ.
    එදා මෙදා තුර කාලයේදී ලිපියේ අක්ෂර ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තව දුරටත් මැකී යෑම සහ ඇතැම් අක්ෂර විනාශ කිරීම සිදුවී ඇත. සුපුරුදු පරිදි මෙවන් අක්ෂර කොටා ඇති ස්ථාන වල ගල තුල නිධන් තැන්පත් කර ඇතැයි යන මිත්‍යාව හේතුවෙන් ඒවා විනාශ කිරීමේ පෙලඹවීමක් ජාතියක් ජම්මයක් නොමැති ඇතැම් වර්තමාන ශ්‍රී ලාංකිකයන් අතර ඇතිවී ඇති බැවින් එහි අනිටු ඵල විපාකයන්ට මුහුණ දීමට මෙම වැදගත් සෙල්ලිපියටද සිදුවී ඇත. ඒ අවට ඇතැම් ගල් පතුරු එවැනි පුද්ගලයන් විසින් ගලවා ඇති අතර සෙල්ලිපිය අසලින්ම වර්තමාන විහාරයේ ඝණ්ටාර කුළුන සිටවීමටද ගල හාරා ඇත. කෙසේ නමුත් මේ සමග පළවන ඡායාරූප වල පෙනෙන පරිදි මෙම සෙල්ලිපියට නිසි ආරක්ෂාවක් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සපයා ඇත (මෙම ඡායාරූප 2018 වර්ෂයේ ජනවාරි මාසයේදී ලබාගත් ඒවා වේ.)
    මහනුවර සම්ප්‍රදායේ මූර්ති සහ සිතුවම් සහිත විහාරගෙය

    කෙසේ නමුත් ඉතාම මෑතකදී (2022 වර්ෂයේදී) මෙම ලිපිය කියවා ප්‍රකාශයට පත් කල පුරාවිද්‍යාඥ නාමල් කොඩිතුවක්කු මහතාට අනුව එහි පෙල මේ ආකාරයට වේ. 

    සිරි මෙකවන අබ මහ රජ චත ලෙගිතෙක (හි) දස අවනක වසහි (පතය) ම....
    සිවයහ පුත දෙවයහ අතනයෙහි තුම පිතහිච පති....(වක රබගම කණියෙ) පචරිය වෙහෙරහි දිනි (බුමි)...

    සිරි මෙකවන අබ මහ රජුගේ අභිෂේකයෙන් දසවන වර්ෂයේ සිවගේ පුත් දේවගේ ආස්ථානයෙහි තම පියා සතු කොටසද.. රබගම කර්ණිකාවේ පචරිය විහාරයට දෙන ලදී යන අර්ථය සහිත මෙහි නම සඳහන් සිරි මෙකවන අබ මහ රජු පොදු වර්ෂ 301 සිට 328 දක්වා කාලයේ රාජ්‍යය විචාල කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරි මෙවන් රජු ලෙස හඳුනාගත හැක. මෙහි සඳහන් සිව හෝ ඔහුගේ පුත් දෙව යන පුද්ගලයන් පිළිබඳව තොරතුරක් මෙම ලිපියේ ඉතිරිව ඇති කොටසින් සොයා ගත නොහැකි මුත් සිරි මෙකවන අබ රජුගේ කාලයටම අයත් එකී නමද සඳහන් වන වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි තෝනිගල සෙල්ලිපියේ සිවයහ පුත දෙවයහ නම් පිය පුතු දෙපලක් ගැන කියැවේ. සිරි මෙකවන අබ මහ රජුගේ තුන්වන රාජ්‍ය වර්ෂයට අයත් එම තෝනිගල ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිව නැමැත්තා කඩුබල නම් ගම්හි වසන අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු බවය. මෙම සෙල්ලිපි දෙකෙහිම නම් සඳහන් වන්නේ එකම පිය පුතු දෙපලක් පිළිබඳවය යන්න ඒ අනුව බොහෝදුරට අනුමාණ කිරීමට හැකිය. 

    ආස්ථානය හෙවත් අතන ලෙසින් මෙම සෙල්ලිපියේ සහ මේ යුගයට අයත් වෙනත් ඇතැම් සෙල්ලිපි වල සඳහන් වන වචනයෙන් වෙළඳපොල, වෙළඳ මධ්‍යස්ථානය හෝ බැංකුව වැනි ආයතන හැඳින්වූ බව යන්නය පොදු පිළිගැනීම වන්නේ. වර්තමාන බැංකුවක සිදුවන ආකාරයට එවන් ස්ථාන වල මුදල් හෝ ධාන්‍ය තැන්පත් කර ඒවායේ පොළියෙන් විහාරවල සිදුවන පිංකම් කටයුතු සහ ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරිම් කල බවට වූ සාධක එවන් සෙල්ලිපි කිහිපයකින්ම හමුවී ඇත. 
    මෙහි සඳහන් කණිය යන වචනයෙන් එවකට මෙරට බෙදා තිබූ විවිධ පාලන ප්‍රදේශ හැඳින්වූ බව හඳුනාගෙන ඇත. වර්තමාන දිස්ත්‍රික්කයක් වැනි වූ එවන් ප්‍රදේශයන් කිහිපයක් පිළිබඳවම මේ ආකාරයේ වෙනත් සෙල්ලිපි ගණනාවකම සඳහන් වේ. රබගම කණිය යන්නෙන් මේ ලිපිය පිහිටා ඇති ප්‍රදේශය හෝ ඒ ආසන්න වෙනත් ප්‍රදේශයක් හැඳින්වූවා විය හැක. කෝට්ටේ යුගය වනවිටද මෙම පොකුණුවිට ප්‍රදේශයද අයත් වන ප්‍රදේශය හැඳින්වූ රයිගම යන්න රබගම > රයගම > රයිගම ලෙසින් වෙනස් වූවා විය හැක. නැතහොත් පාළි භාෂාවෙන් රම්බා ලෙසින් හැඳින්වෙන කෙසෙල් යන්නෙන් රබ ලෙස සිංහල භාෂාවට පැමිණි වචනයක් අනුසාරයෙන් කෙසෙල් ගම යන්න රබගම වූවා විය හැක. එයට අදාලව මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ දඹදෙණි යුගයේ සිටම පැවතෙන කෙසෙල්සේනා ගම (පූජාවලියේ දඹදෙණි යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ පතිරාජ නම් වූ ඇමැතිවරයා කෙසෙල්සේනාව නම් ගමෙහි පන්සියයක් රියන් දික්වූ මහ හෙයක් [පාලමක්] තැනවූ බව පැවසෙන එම සඳහන මහාවංශයේ පාළියෙන් සඳහන් වන්නේ කදලීසෙනගාමයෙහි රියන් 100 ක් වූ පාලමක් තැනවූ ලෙසින්ය.) නම් වූ ප්‍රදේශයක් වර්තමානයේ කෙසෙල්හේනාව නමින් යුතුව කළුතර දිස්ත්‍රික්කය තුලම ඇති අතර, එහි පැරණි අනුරාධපුර යුගයට අයත් බවට හඳුනාගත් ස්ඵටික හුණුගලින් තැනූ බුදු පිළිමයක්ද ලෙන් විහාරයක් තුල තැන්පත් කර ඇත. 

    ලිපියේ සඳහන් පචරිය විහාරය පිළිබඳව සඳහනක් වෙනත් සෙල්ලිපි වල හෝ පැරණි සාහිත්‍යමය මූලාශ්‍ර වල හමු නොවේ. එම විහාරය මෙම ලිපිය පිහිටුවා ඇති කඳුගැටයේ වර්තමාන විහාරය පිහිටි භූමියේ හෝ මේ ආසන්න වෙනත් ස්ථානයක තිබුණා විය හැක. 

    මූලාශ්‍ර
    • අභිලේඛන සංග්‍රහය - 1, පුරාවිද්‍යාඥ නාමල් කොඩිතුවක්කු, 2022
    • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1933
    • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
    • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015 
    • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.

    Friday, July 28, 2023

    නානාදේසීන් අග්නි විහාරයේ පිහිටවූ දෙමළ පුවරු ලිපිය විහාරහින්නෙන් හමුවේ


    වර්තමානයේ මෙරට දමිල ජනයා වැඩි වශයෙන් ජීවත් වන උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුවන පැරණි නටබුන් වෙහෙර විහාර බහුතරයක සෙල් ලිපි හමුවේ නම් ඒවා ලියා ඇත්තේ පූර්ව හෝ අපර බ්‍රාහ්මි අක්ෂර වලින් ඒ යුගයේ භාවිතා වූ සිංහල ප්‍රාකෘත භාෂාවෙන්ය. නැතහොත් එයට පසු කාලවලදී නම් අපර බ්‍රාහ්මි අක්ෂර වලින් හෝ එම අක්ෂර විකාශනය වීම මගින් බිහිවූ සිංහල අකුරු වලින් සිංහල භාෂාවෙන් ඒවා ලියා ඇත. ඒ අතර චෝල ආධිපත්‍යට යටත්ව පැවති යුගයේ බෞද්ධ විහාරයක් වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වෙල්ගම් වෙහෙර වැනි ස්ථාන වල පිහිටවූ දෙමළ සෙල්ලිපිද කිහිපයක් හමු වේ. එහෙත් එම යුගයට අයත් ඇතැම් නටබුන් වූ වෙහෙර විහාර තිබූ තැන් වලින් හමුවන දෙමළ භාෂාවෙන් සහ දෙමළ අක්ෂර හෝ ග්‍රන්ථ අක්ෂර වලින් රචිත සෙල්ලිපි වැඩිවශයෙන් හමුවන්නේ අද වන විට සිංහල ජනයා මුළුමනින්ම හෝ බහුතරයක් සිටින ප්‍රදේශ වලින් වීමද විශේෂත්වයකි. වර්තමාන පළාත් සහ දිස්ත්‍රික් බෙදීම් අනුව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ බටහිර මායිමට ආසන්නව මොරගොල්ල ප්‍රදේශයේ පැහැදිලිවම අනුරාධපුර යුගයේ සිට පැවත එන බෞද්ධ පබ්බත විහාරයක් ලෙස හඳුනාගත හැකි ස්ථානයක, එකල අන්තර්ජාතික වෙළදාමේ යෙදුන දකුණු ඉන්දීය වෙළඳ සමාගමක් මගින් පිහිටවූ එවන් එක් දෙමළ පුවරු ලිපියක් දැකගත හැක. විහාරහින්න ලෙසින් මේ වන විට හැඳින්වෙන එම ස්ථානය පිළිබඳව සහ එහි තිබෙන නානාදේසීන් නම් වූ දකුණු ඉන්දීය වෙළඳ ශ්‍රේණිය විසින් පිහිටවූ පුවරු ලිපිය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.
     
    සංස්කෘතික අමාත්‍යංශය මගින් 1972 වර්ෂයේදී ප්‍රකාශයට පත් කල පැරණි ස්මාරක නාමාවලියේ දෙපැත්තේ උස් කණ්ඩි දෙකකින් සෑදුනු පැරණි මාර්ගයක්* දිගේ ප්‍රාකාරයකින් වටවූ පැරණි ගොඩනැගිලි ඇති විහාරහින්න නම් වූ මෙම ස්ථානයට පිවිසිය හැකි බව සඳහන් කර එහි ඇති පැරණි දේ අතර දාගැබක අවශේෂයන් සහ එයට නිරිත දිගින් විශාල ගල් කුළුණු සහිත විහාර ගෙයක අවශේෂයන් ගැන සඳහන් වේ. එම ගොඩනැගිල්ල මැද හොරු හෑරූ වලක් තුළට විහාරයෙහි තිබුණ වැඩ හිදින බුදු පිලිමය දෙකට කඩා දමා ඇති බවත්, ප්‍රාකාරයකින් වටවූ එම ප්‍රදේශය තුළ තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ සහ දාගැබ අසල බාගෙට අකුරු ගෙවී ගිය දෙමළ පුවරු ලිපියක් ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. 

    *[දෙපැත්තේ කණ්ඩි දෙකක් එන ලෙසට කන්ද කපා මෙම මාර්ගය තනා ඇත්තේ මේ ආසන්නව පිහිටි දේවහූව වැව තැනිමේ කටයුතු සිදු කිරීමට පැමිණි සේවකයන් විසින් බව ප්‍රදේශවාසීන් පවසයි. එම සේවකයින්ගේ තාවකාලික නිවාස තනා තිබී ඇත්තේ මෙම නටබුන් පිහිටි ස්ථානයේ වන අතර මෙම පූජනීය ස්ථානය මත නිවාස තනාගෙන සිටීම හේතුවෙන් ඔවුනට සිදුවූ උපද්‍රව නිසා ඒවායින් මිදීම උදෙසා ප්‍රදේශ වාසීන්ගේ උපදෙස් පරිදි මෙම ස්ථානයට වූ බාරයක් ඔප්පු කිරීමක් ලෙසට එය කල බවය පැවසෙන්නේ.] 

    ප්‍රධාන පිළිම ගෙය සහ එහි පිවිසුම දෙපසින් තනා තිබූ කුඩා පිළිම ගෙවල් දෙක මෙහි දැකිය හැක

    මෙම ස්ථානයේ පිලිම ගෙය සහ නිධන් සොයන්නන් විසින් විනාශ කල ප්‍රතිමාව සංරක්ෂණය කල බව 1994 සහ 1995 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ පාලන වාර්තා වල සඳහන් වේ.

    "සිරිසංබො මපුර්මකා අට්ළොස්වන්නෙහි ඇසෙළ පුර විසෙවිනි දවස්" එනම් සිරිසඟබෝ නම් විරුදය සහිත රජෙකුගේ රාජ්‍යත්වයෙන් 18 වන වර්ෂයේ ඇසළ මස පුර පක්ෂයේ පස්වෙනි දවස "සිරිසංබෝ මහරද්හු වජනින්" එනම් එම රජුගේ නියමයෙන් "මිහින්ද් මහපාණන්.." යන වචන පමණක් ඉතිරි වී ඇති මුදුනේ පුන් කලසක් සහිත සහ එයට පහලින් ඔටුන්නක රූපයක් කොටා ඇති ටැම් ලිපියක් මෙම පරිශ්‍රයේ තිබී හමුවී ඇත. පැති හතරකින් යුත් මෙම ටැම් ලිපියේ එක් පැත්තක පමණක් සිරස් ලෙස පේලි දෙකකින් කොටා ඇති ඉහත කොටස පමණක් කියවිය හැකි අතර එහි අන්තර්ගතය අනුව තවත් වචන තිබිය යුතු මුත් පසු කලක වෙනත් කිසියම් කටයුත්තක් උදෙසා යොදාගැනීම නිසා හෝ කාලගුණික තත්වයන් හේතුවෙන් ඛාදනය වීම නිසා හෝ එම අකුරු දැනට දැකිය නොහැක. නව වන ශතවර්ෂයේ දෙවන අර්ධයට අයත් සිංහල අකුරු ලෙස හඳුනාගත හැකි ලිපියේ අකුරු අයත් කාලයේ වසර 18 කට වඩා රාජ්‍යය විචාල එසේම මහින්ද මහපා (මිහින්ද් මහපාණන්) නම් මහපාවරයෙකු සිටි එසේම සිරිසඟබෝ යන විරුදය භාවිතා කල  එකම රජු , වංශ කතාවට සහ වෙනත් සෙල්ලිපි සාධක අනුව දෙවන සේන රජු (පො. ව. 853-887) පමණි. එබැවින් වැඩි අපහසුවක් නොමැතිව මෙම ටැම් ලිපිය පිහිටවූවේ දෙවන සේන රජුගේ කාලයේදී බව නිගමනය කල හැක. ලිපියේ අරමුණ ඉතිරිව ඇති කොටසින් පැහැදිලිව පැවසිය නොහැකි මුත් මේ ආකාරයටම වචන සංයෝගයක් සහිත එම දෙවන සේන රජුගේම වියඋල්පොත ලිපිය අනුව මේ ලිපියද අත්තාණි ප්‍රදානයක් ගැන විය යුතු බව එය කියවා පල කල සිරිමල් රණවැල්ල මහතා අනුමාණ කරයි.

    ප්‍රධාන පිළිමගෙය

    සිරිසංබො මපුර්මකා තුදුස්වන්නෙ අග්(නි)ගිරි පිරිවෙන....ලෙසින් ආරම්භ වන 9-10 සියවස් වල සිංහල අක්ෂර වලින් රචිත තවත් කැබලි වූ ටැම් ලිපියක්ද මෙම ස්ථානයෙන්ම හමුවී ඇති අතර  එහි ඉතිරි වූ අනිත් අක්ෂර වලින් රක්සමණ [Chief Guardian] ළම්බදෙටුන් නියමයෙන් ආ කුඩසලා යන්න පමණක් කියවිය හැක. ලිපියේ අක්ෂර අයත් කාලයේ සිරිසඟබෝ විරුදය භාවිතා කල, එසේම ලිපිය පිහිටුවන්නේ එම රජුගේ තුදුස්වැන්නේ එනම් 14 වන රාජ්‍යය වර්ෂයේ හෙයින් වසර 14 කට වඩා රාජ්‍යය විචාල රජවරු හමුවන්නේ දෙදෙනෙකු පමණක් බැවින් මෙම ලිපියද කියවා පල කල සිරිමල් රණවැල්ල මහතා එය දෙවන සේන (පො. ව. 853-887) හෝ සිව්වන කාශ්‍යප (පො. ව. 898-914) යන දෙදෙනාගෙන් කෙනෙකුගේ කාලයේදී පිහිටවූ ලිපියක් ලෙසට අනුමාණ කරයි. කෙසේ නමුත් මෙම ස්ථානයේ පැරණි නාමය අග්නිගිරි පිරිවෙන විය හැකි බවට ලිපියේ කියවිය හැකි කොටසින් අනුමාණ කිරීමට හැක. එහෙත් අග්නිගිරි පිරිවෙන නමින් වූ විහාරයක්  පිළිබඳව සඳහනක් වංශ කතා ආදී සාහිත්‍යමය මූලාශ්‍ර වල හමු නොවේ. 

    කුඩා පිළිම ගෙවල් දෙකින් සංරක්ෂණය කර ඇති පිළිම ගෙය

    මෙම පරිශ්‍රයේ දැනට සංරක්ෂණය කර ඇති පිළිමගෙය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල ඇත්ත වශයෙන්ම කළුගල් ප්‍රාකාර බැම්මකින් වට කරනු ලැබූ ප්‍රතිමාගෘහ තුනක් ලෙස හඳුනාගත හැක. මේ අතරින් විශාලම පිළිමගෙයට ඇතුලුවන දොරටුව දෙපස කුඩා ප්‍රමාණයේ පිළිමගෙවල් දෙකක් එකිනෙකට මුහුණලා දෙපසින් තනා ඇත. විශාල ප්‍රතිමාගෘහයේ තිබූ හිටි පිළිමය නිධන් සොයන්නන් විසින් විනාශ කර කැබලි කර ඇති අතර එහි හිස සහ දෙපා දකින්නට නොමැත. කුඩා පිළිම ගෙවල් දෙකින් එකක් පමණක් කැනීම් කර සංරක්ෂණය කර ඇත. එහි පිළිමය තබා තිබූ ගඩොලින් තැනූ ආසනය දැකිය හැකි මුත් එහි තිබූ පිළිමය අස්ථානගතවී ඇත. එය බොහෝවිට සමාධි පිළිමයක් විය හැකියැයි ආචාර්ය දනන්ජය ගම්ලත් මහතා අනුමාණ කරයි. මෙම පිළිමගෙවල් පො.ව. 5 වන සියවසට හෝ ඉන් සියවස් දෙකකට හෝ තුනකට පසු කාලයක් තුලට කාල නිර්ණය කල හැකි බව ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

    ප්‍රධාන පිළිම ගෙයි තිබූ නිධන් හොරුන් විසින් විනාශ කල හිටි පිළිමය

    මෙම ලිපියේ මුලදී පැවසූ පරිදි ඉහත විස්තර වූ සිංහල සෙල්ලිපි වලට අමතරව මෙම ස්ථානයෙන් ඉතා විශාල ප්‍රමාණයේ පුවරු ලිපියක්ද හමුවී ඇත. පො.ව. 12 වන සියවසට අයත් කර ඇති එහි අන්තර්ගතයෙන් වේනාටු උදයියාර් නම් පුද්ගලයෙකු (බොහෝවිට ප්‍රදේශීය පාලකයෙකු විය හැක) සහ වෙළද මඩුල්ලක සාමාජිකයන් අතර ඇතිවූ අර්බුදයක් පිලිබඳව සඳහන් වේ. 

    විහාරහින්න නටබුන් දැක්වෙන වීඩියෝව >>

    මෙම ලිපිය ප්‍රධාන වශයෙන් දෙමළ භාෂාවෙන් සහ දෙමළ අක්ෂර වලින් කොටා ඇති මුත් ලිපිය ආරම්භ වන්නේ ග්‍රන්ථ අක්ෂර වලින් සහ සංස්කෘත භාෂාවෙන් ලියූ කොටසකිනි. මුල් වරට මෙහි දෙමළ පෙල A. වේලුපිල්ලෙයි මහතා විසින් 1971 වසරේදී ප්‍රකාශයට පත් කර ඇති මුත් එහි ඉංග්‍රීසි පරිවර්තනයක් එය පලවූ Ceylon Tamil Inscriptions Part 1 හි ඉදිරිපත් කර නැත. මෙවැනිම වූ  තවත් පුවරු ලිපි දෙකක් පදවියෙන් සහ වාහල්කඩින් හමුවී ඇති බවත් ඒ සියල්ලෙහි අක්ෂර අනුව ඒවා අනුමාණ වශයෙන් 12 වන හෝ 13 වන සියවස්වලට කාල නිර්ණය කල හැකි බවත් ඒ මහතා සඳහන් කරයි. 

    දෙමළ පුවරු ලිපිය

    එම යුගයේදී දකුණු ඉන්දියාවේ මෙන්ම කලාපයේ වෙනත් රටවලද (සුමත්‍රා සහ මියැන්මාර් [බර්මා] වැනි රටවලින්ද ඔවුන්ගේ සෙල්ලිපි හමුවී ඇත.) අන්තර්ජාතික වෙළදාමේ යෙදෙමින් ඇත්, අස්, මුතු, මැණික්, දියමන්ති, කරඳමුංගු, කරාබුනැටි, සඳුන්, කපුරු, කස්තුරි. කහ වැනි වටිනා ද්‍රව්‍ය සහ කුළුබඩු වෙළදාම් කල නානාදේසී නම් වූ වෙළඳ සමාගමක් විසින් මෙම ලිපිය සහ ඉහත කී වෙනත් ලිපි පිහිටුවා ඇත. මේ  වන විට එම වෙළඳ සමාගමට අයත් සෙල්ලිපි 20 කට නො අඩු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත. ඉන් අනුරාධපුරයෙන් සහ පොළොන්නරුවට ආසන්න ආනඋලුන්දාවෙන් සොයාගත් සිංහල භාෂාවෙන් ලියා ඇති ලිපි දෙක හැර වෙනත් ඒවා දෙමළ භාෂාවෙන් ලියා ඇත. මෙම වෙළඳ සමාගමට අයත් ඔවුන් විසින් ඒවායෙහි පාලනය මෙහෙයවූ නකරම් ලෙසින් හැඳින්වෙන වෙළඳ නගර කර්ණාටක, ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු සහ කේරල යන ප්‍රදේශ වල තිබූ බවට සාධක හමුවී ඇති අතර මෙරට චෝල ආධිපත්‍යට පත් වීමත් සමග සහ ඉන්පසු අවධියේ එවන් නකරම් මෙරටද විවිධ ප්‍රදේශ වල වූ බවට මතයක් ඉහත සෙල්ලිපි වල හමුවන තොරතුරු පාදක කරගනිමින් ඉදිරිපත් වී ඇත. අයින්නුරුවර් ලෙසින්ද හැඳින්වෙන නානාදේසීන්ගේ බොහෝ ලිපිවල ඔවුන්ගේ සම්භවය, සම්බන්ධතා සහ ක්‍රියාකාරකම් පිළිබඳව වූ සම්ප්‍රදායික ප්‍රශස්තියක් ඇතුලත් වන අතර මෙම විහාරහින්න ලිපියේද එය අඩංගු වේ. එසේම ලිපියේ මුල් කොටසේ සංස්කෘත භාෂාවෙන් වූ කොටසින් පරමේශ්වරී දෙවඟන (දුර්ගා) පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කර ඇත. 

    දෙමළ පුවරු ලිපියේ යට කොටස. මෙහි ලිපියට පහලින් වූ කොටසේ කඩු ආදී ආයුධ වල රූප කොටා ඇති බවක් පෙනේ.

    S. පත්මනාදන් මහතා ඔහුගේ ග්‍රන්ථයක සඳහන් කරන පරිදි ජපානයේ ටයිෂෝ විශ්වවිද්‍යාලයේ නොබොරු කරෂිමා ප්‍රධාන ජපන්, ශ්‍රි ලංකා සහ ඉන්දියානු විද්වතුන් පිරිසක් එක්ව මෑතකදී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව ලබාගත් ස්පර්ශ ලාංජනයක් අනුසාරයෙන් මෙම විහාරහින්න ලිපියේ නව කියැවීමක් තංජවූර් දමිල විශ්ව විද්‍යාලයේ අභිලේඛන පිළිබඳව මහාචාර්ය Y. සුබ්බාරයාලු විසින් සිදු කර ඇත. එම කියැවීමට අනුව මෙම ලිපියේ වේලුපිල්ලෙයි මහතා විසින් පෙර සිදු කල කියැවීම සහ ඒ අනුව ඉදිරිපත් කල කරුණු බොහෝ සෙයින් දෝෂ සහගතය. [කෙසේ නමුත් මෙතෙක් මෙහි පෙල ඉංග්‍රීසි හෝ සිංහල භාෂාවට හෝ අවම තරමින් වර්තමානයේ ව්‍යවහාර වන දෙමළ භාෂාවට හෝ පරිවර්තනය කර පළකර ඇති බවක් නොපෙනේ.]

    විහාරහින්න ලිපියෙන් තන්මඛාකරප්පට්ටිනම් නැතහොත් මාසේන-කාමම් ලෙසින් හැඳින්වූ නකරම් හි යම් යම් පුද්ගලයන් වෙත පිරිනැමූ වරප්‍රසාද ගැන සඳහන් වේ. මෙහි ප්‍රශස්ති කොටසින් වෙනත් වෙළඳ ශ්‍රේණියක් වූ වලඤ්ඤියාර් ගැන විස්තර වීම සුවිශේෂ කාරණයක් වන මුත් පට්ටිනම් ගැන විස්තර වන ලිපියේ කොටසින් නානාදේසීත්-තෛකයි-අයිරට්ටු-අයින්නුරුවර් (එනම් නානාදේසීන්ගැන සඳහන් වේ. 

    පබ්බත විහාරයට අයත් කැනීම් සිදු නොකල ගොඩනැගිල්ලක්

    සෙල්ලිපියේ සඳහන් වඩාත්ම සිත් ගන්නා කාරණය නම් මුක්තා තවලන් මුත්තාන් හෙවත් නානාදේසී-ආන්තාන් නම් වූ පුද්ගලයෙකුව වේනාටු උදයියාර් නම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන දම්වැල් වලින් බැඳ තැබූ සිද්ධියක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් සමනය කිරීම උදෙසා නකරම් මගින් සිදු කල කිසියම් ගනුදෙනුවක් මෙහි සඳහන් කර තිබීමයි. එම නකරම් හි පරිපාලනයට සම්බන්ධ ප්‍රධාන වෙළෙන්දන් සහ රණශූරයන් පිරිසක් විසින් ලිපිය පිහිටවූ බව පෙනේ. බෞද්ධ විහාරයක් ලෙසින් හඳුනාගත හැකි අනුරාධපුර යුගයේදී අග්නි පිරිවෙන ලෙසින් හැඳින්වූ මෙම පරිශ්‍රයේ, බෞද්ධ විහාරයක් වූ එම ස්ථානයේ කාර්යන්ට අදාල නොවන, ආගමික නොවන මෙවන් ලිපියක් පිහිටුවීමෙන් මෙම පිරිවෙන සමග බොහොදුරට මේ ආසන්න ස්ථානයක තිබූ නානාදේසී වෙළඳ ශ්‍රේණියට අයත් නකරම් හී පාලකයන් පැවැත්වූ කිට්ටු සම්බන්ධතාවය පෙන්වනවා විය හැක. පත්මනාදන් මහතා අනුමාන කරන්නේ මලය රටේ කඳු පාමුල දඹුල්ල ආසන්නයේ කිසියම් ස්ථානයක තිබුනා වූ මෙම වෙළඳ ශේණියේ පාලනයට නතුවූ නකරම් මගින් කඳුකරයේ නිෂ්පාදන වූ ගම්මිරිස්, ඉඟුරු සහ කහ වැනි කුළු බඩු එකතු කිරීම සිදුවන්නට ඇති බවය.  

    ස්තූපය

    මූලාශ්‍
    • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
    • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 3 , Sirimal Ranawella, 2005
    • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
    • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
    • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
    • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
    • History of Ceylon, Volume 1, Part 2, 1960
    • Ceylon Tamil Inscriptions, Part 1, Edited by A. Veluppillai,  1971
    • Facets of Sri Lankan History and Culture, S. Pathmanathan, 2015
    • ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සිහිවටන, නන්දසේන මුදියන්සේ, 2016
    • Sri Lanka and The Cholas, W.M.K. Wijetunga, 2003