Monday, April 10, 2017

යාපහු නුවර විස්තරය 2 - කේරල රකුසන් මැඩීමට සුභ සෙනෙවි සුභ පර්වතයේ ඉදිකල ආලකමන්දාව, අගනුවරක් වූ හැටි

කාලිංග මාඝ පාලනයට රජරට ප්‍රදේශය හෝ එහි සැලකිය යුතු කොටසක් නතුව පැවැති සමයේ දිවයිනේ රුහුණ ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල ප්‍රාදේශිය පාලන ප්‍රදේශ පවත්වා ගනිමින් පරසතුරු උවදුර පැතිරීම වලක්වා ලූ ජන නායකයන් සම්බන්ධව එන සඳහනකදි සුභ නම් වූ දුර්ග පර්වතයක් සම්බන්ධයෙන්ද විස්තරයක් මහාවංශයේ සඳහන් වේ. සුභ නම් වූ සේනාධිපතියෙක් සතුරන්ට පහසුවෙන් ලගාවිය නොහැකි සුභ පර්වත මුදුනේ ආලකමන්දාව වන් වූ පුරයක් කොට වෙස්සවන මෙන් කේරල රකුසන් මඩිමින් අවට ප්‍රදේශය සහ සාසනය රැකගත් බව එහි සඳහන් වේ.
පිට දිය අගල සහ ප්‍රාකාරය
පසුකාලීනව මායා රටේ ජම්බුදෝනි පුරවරය (දඹදෙණිය) අගනුවර කරගනිමින් රාජධානියක් බිහිකරන තුන්වන විජයබාහු මාඝ පළවා හැරීම සඳහා අවශ්‍ය පදනම දැමූ පසු, ඔහුගේ  පුත් වූ දෙවන පරාක්‍රමබාහු රජු එම කර්තව්‍යය පසුව සාර්ථකව නිමා කරයි. එම දෙවන පරාක්‍රමබාහුගේ අවසාන කාලයේ ඔහුගේ රෝගී තත්වය හේතුවෙන් රාජ්‍ය  පාලනය ඔහු පුත් සිව්වන විජයබාහු හට පැවරූ කල්හි ඔහු සිය මලණුවන් වූ බුවනෙකබාහු කුමරුවන්, සේනාව සමග උතුරු දෙසින් එන සතුරන්ගෙන් සිය රාජධානිය රැකගනු වස් සුන්දරපබ්බතයේ රැඳවීය.
පිටපවුරේ දකුණු දොරටුව
බෝසත් විජයබාහු ලෙසින්ද වංශකතාව හඳුන්වන එම සිව්වන විජයබාහු රජු ඉක්බිති සිව් රඟ සේනාව සමඟ වාතගිරි (කෑගල්ල දිස්ත්‍රික්කයේ වාකිරිගල) මුදුනේ රජ මාලිගාවක් ඉදිකර එහි විසූ බවත්, පිය රජු විසින් දුන් ධනය ආපදා අවස්ථා සඳහා එහි තැන්පත් කල බවත් පවසන වංශ කතාව එම රජු සුමණකූටය නැග මුණි සිරිපා වැඳගත් බවත්, ගංගාසිරිපුර(ගම්පොළ), සිඳුරුවාණ ආදී ප්‍රදේශ වල සිදු කල වෙහෙර විහාර පිළිසකර කිරීම් සහ අලුතින් ඉදිකිරීම් නිමවා, හස්තිගිරිපුරද (කුරුණෑගල) භුවනෙකබාහු නම් වූ තම සුළු පියා ඉදිකල විහාරයේ තුන් මහල් පිළිමගෙයක් ආදිය කරවා, එම හස්තිගිරි පුරය වටා ප්‍රාකාර, දිය අගල් ආදිය නිම කර සේනාව සමග සුභගිරිපුරවරට නික්මුණ බව පවසයි. මහාවංශයේ දැක්වෙන අයුරින් ඒ වන විට මෙයට පෙර අවස්ථාවකදී පැරදී පලා ගිය චන්ද්‍රභාණු නම් ජාවක ආක්‍රමණිකයා චෝළ පාණ්ඩ්‍ය ආදී රටවලින් දමිළ හේවායන් එක් රැස් කරගනිමින් සිය ජාවක බල සේනාද සමගින් මහාතිත්තයට (මාතොට) ගොඩ බැස පදී, කුරුන්දි ආදි ප්‍රදේශ වල සිංහලයන්ද එකතු කරගනිමින්  (සතුරන් දුටු වහා ඔවුන් හා එක්වි ජාතිය වනසන වික්කමසිංහලා, මොංගල සරමේ විරලා එකලද ඉඳ ඇත.) තුන් සිංහලය ගනිමැයි පවසමින් පැමිණ සුභගිරි අසල කඳවුරු ලා ගෙන ඇත.
ඇතුල් පවුර
සිය පියාගේ සහෝදරියගේ පුතණුවන් වූ වීරබාහු ආදිපාදවරයා සමග එක්ව යුද වැදී චන්ද්‍රභාණු පලවා හරින බෝසත් විජයබාහු රජු ඉනික්බිති මුළු ලංකාවම සිය ආධිපත්‍ය යටතට ගෙන එක්සේසත් කල බවත් සුභගිරි පව්ව වටා උස් ප්‍රාකාරයක් සහ දිය අගලක් ඉදි කර, එහි මාහැඟි රජ මාළිගයක්ද කොට නිමවා, එම නගරයේ වැසි භික්ෂුන්ට දන්වැට ද තැබූ බවත්, සිය මලණුවන් වූ භුවනෙකබාහු පෙර පරිදිම සුභ පබ්බතයෙහි රැඳවූ බවත් මහාවංශය වැඩි දුරටත් සඳහන් කරයි.
"රජ මාළිගය" ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල
ගිලන්ව සිටි 2 වන පරාක්‍රමබාහු රජුගේ මරණයත් සමග රාජාභිෂේක ලබන බෝසත් විජයබාහු රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේදී මිත්ත නම් වූ සෙනෙවියෙක් දාසයකු ලවා රජු මරවා රාජ්‍යය පැහැරගනු ලැබූහ. එවිට ඔහු මල් වූ භුවනෙකබාහු ජම්බුදෝණියෙන් (දඹදෙණිය) වහා නික්ම සුභචාල කොටුව (සුභගිරි) දක්වා යෑමට නික්මුනි. කැරලිකරුවන්ගෙන් ඔහුටද බාදා එල්ලවූ මුත් කාලගල්ලක නම් වූ ගමට ගොස් (කාලගල්ලක යනු කුඩා ගල්බොඩ කොරලයේ කලුගල්ලගම ලෙස ගයිගර් පවසයි) ඇතෙකු පිට නැගී කොළබින්න ගඟ තරණය කර සුභගිරි වෙත නිරුපද්‍රිතව ලගා වූහ. රජුගේ සේනාවේ සිටි සිංහල යුද හේවායන් රාජ්‍ය පැහැරගත් මිත්ත සෙනවියාගෙන් පඩි ලබා, ඔහු හා එක්වද්දි මහාවංශය ආරිය (ආර්ය) හේවායන් ලෙස හඳුන්වන කොඩ්රිංටන් මහතා උතුරු ඉන්දීය රාජ්පුත් වරුන් වියහැකියයි පවසන සේනාවට අධිපති ඨකූරක සෙනෙවියා ඔහුගේ බලසෙන් හා එක්ව රාජ්‍යය පැහැරගත් මිත්ත සෙනෙවියා මරා, භුවනෙකබාහු හට රජකම ලබාදේ. ඉන්පසු ඔහු වසර කිහිපයක් දඹදෙණියේ සිට රාජ්‍ය මෙහෙයවා රාජධානිය සුභගිරි නගරයට රැගෙන යයි.
විසිතුරු සෝපානය
වසර එකොලහක් සුභගිරි හි සිට රාජ්‍ය පාලනයෙන් පසු භුවනෙකබාහු රජු සුර පුර වැඩි බව වංශ කතාව සඳහන් කරයි. ඉන්පසු සිදුවූ දේ සම්බන්ධව මහාවංශය නිහඩ බවක් දක්වන මුත් දළදාසිරිතේ දැක්වෙන ලෙසින් ඉන් පසු අරාජික කාලයක් තිබූ බව පෙනේ. මේ කාලයේ පාණ්ඩ්‍ය රටේ සිට පැමිනි ආර්යචක්‍රවර්ති සුභගිරි නගරයට ඇතුළු වී දන්ත ධාතුව සහ අනෙකුත් වටිනා දේ කොල්ලකමින් ඒවා පාණ්ඩ්‍ය දේශයට රැගෙන ගොස් එහි කුලසේකර රජු හට දුන් බව පැවසේ. 
විසිතුරු සෝපානය
ඉන්පසු රජ පැමිණි බෝසත් විජයබාහු රජුගේ පුත් තුන්වන පරාක්‍රමබාහු පාණ්ඩ්‍ය දේශයට ගොස් පාණ්ඩ්‍ය රජු හා සාකච්චා කර දළදාව නැවතත් මෙරටට රැගෙන ආ බවත් එය පුලස්ති නගරයේ (පොළොන්නරුව) පැරණි දළදා මැදුරෙහි තැන්පත් කර ඔහු එහි සිට රාජ්‍යය විචාල බවත් මහාවංශයේ සඳහන් වේ. දෙවන භුවෙනෙකබාහු ලෙසින් ඉන්පසු රජවූ 1 වන භුවනෙකබාහු රජුගේ පුත් සිය රාජධානිය හස්තිගිරිපුරට (කුරුණෑගල) ගෙනගිය බැවින් සුභගිරි පුරයේ රාජධානිය කෙටි කලකින්ම නිමාවිය. වර්තමානයේ දක්නට ලැබෙන නටබුන් නගරයේ ඉහත සඳහන් සුභ සෙනෙවියාගේ පටන් තුන්වන විජයබාහු, 1 වන භුවනෙකබාහු ආදී රජවරුන්ගේ ඉදිකිරීම් දක්නට ලැබෙනවා විය හැකි මුත් ඒවා වෙන් වෙන්ව හඳුනාගැනීම මේ වන විට දුෂ්කර කාර්‍යයක් වි ඇත. මහාවංශය සුභගිරි , සුභ පබ්බත, සුන්දර පබ්බත ආදි විවිධ නම් වලින් හඳුන්වන මෙම පුරවරය පූජාවලියේ හැඳින්වෙන්නේ යාපවුගල ලෙසිනි. තෙවැනි විජයබාහු රජු සිය මල් වූ භුවනෙකබාහු කුඩාවැලිගං හි ද්‍රවිඩයන් බොහෝ සේ බස්නා හෙයින් උතුරු පෙදෙස රැකීම උදෙසා යාපහුගල බල පිරිස් සමග රැඳවූ බව පැවසීමේදි එම නම එහි මුල් වරට සඳහන් වේ. ඉන්පසු චන්ද්‍රභාණු ආක්‍රමණය ගැන පැවසීමේදිද පූජාවලිය නැවතත් යාපහු ගල අසල සිදුවූ සටන් පිළිබඳවත් ඉන්පසු එහි විජයබාහු රජු කරවූ ඉදිකිරීම් ගැනත් පවසයි. පූජාවලිය දෙවන පැරකුම්බා රජුගේ තිස්වන රාජ්‍ය වර්ෂයේ ලිවූ බැව් එහිම සඳහන් වන බැවින් යාපහු ගල පුරවරය අගනුවරක් වීමට අදාල තොරතුරු එහි සඳහන් නොවේ.
දළදා මාලිගය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල

පෙර ලිපි

යාපහු නුවර විස්තරය 1 - ගල් වඩුවන් 20,000 ක් සහ මූලාචාරීන් 100 ක් රැස් කොට කරවූ නුවර


මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • දළදා සිරිත, වී. ඩී . එස්. ගුණවර්ධන සංස්කරණය

4 comments:

  1. වැදගත්.
    පුලවන් නම් පෙර ලිපියේ සබැඳිය නිතරම පෝස්ටුවේ මුලට දාන්න බලන්න. මම පලවෙනි එක හොයල (ෆෝන් එකෙන් කියවන්නෙ) හොයාගන්න බැරිව මේක කියවල ඉවර වෙද්දි තමා පළවෙනි එක දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. පෙර ලිපියේ සබැඳිය මුලට දැමීම පිළිබඳ යෝජනාවද පිලිගනිමි. බොහෝ විට මා එසේ කරන මුත් මෙහිදි එම සම්ප්‍රදායෙන් බැහැර වූවේ මෙහි පෙර ලිපිය මෙම ලිපියෙන් තරමක් ස්වායත්ත බැවිනි. එනම් පෙර ලිපිය නොකියවා වුවද මෙය කියවීමට බාදාවක් නොවන බැවිනි. එහෙත් 1, 2 ලෙස නම් කිරීමේදි 1 වන ලිපිය නොකියවූ කෙනෙකු නිතැතින් මෙම ලිපිය කියවීමට පෙර මුල් ලිපිය සෙවීමට පෙලඹෙන හෙයින් තරමක අපහසුතාවයකට පත්වීම සිදුවන බව පිලිගනිමි.

      Delete
  2. ගියපු නැති යන්න ආස දිහාවක්...
    මේ විස්තර වලට ස්තුතියි භූෂණ...

    ReplyDelete