Sunday, March 26, 2017

පුරන් අප්පු සිහිවීමට (?) සුද්දෙක් කල ස්මාරකය

ඡායාරූපය 1 - ස්මාරකයේ වර්තමාන තත්වය
සමාජ ජාලා (Social media) වලින් මතුවී ඇති "පේස්බුක් දේශප්‍රේමින්" අතර වසරක පමණ කාලයක සිට සැරිසරණ පෝස්ට් එකක් දුටු කල මෙය ලිවීමට සිත්විය. ඊට පෙර කොණ්ඩා රැවුල් වවාගෙන "මහා කළු සිංහලයන්" වීමට දගලන මේ රැල්ලට ගසන් යන "පේස්බුක් දේශප්‍රේමින්" ගැනද යමක් කිව යුතුය. වර්තමාන පාලකයන් විසින් රටට දැයට සහ සමයට කරන ව්‍යසන දෙස නෑසු කන්ව සිටින මේ "පේස්බුක් දේශප්‍රේමින්" ජාතියේ සැබෑ සතුරන් පසක සිටියදී ව්‍යාජ බිල්ලන් මවාගෙන ඒවාට පහරදීමට නම් අතිශයෙන්ම නිර්භීතය. අතරින් පතර රටට දැයට හිතැති සැබෑ දේශප්‍රේමින්ද නොදැනුවත් කමින් මෙවැනි "සිංහලේ", "අපි යක්කු බොලව්" වැනි "පේස්බුක් දේශප්‍රේමින්ගේ" ව්‍යාපාර වලට අසුවන අවස්ථා නැත්තේද නොවේ. ඇතැම් විට දේශද්‍රෝහී පාලකයන්ද සැබෑ දේශප්‍රේමින් නොමග යැවීමට මේ ව්‍යාපාර පසු පස සිටිමින් ඒවා මෙහයවනවා විය හැක (ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ  බැටලු හම් පොරවාගත් "හෙල කරුමයේ" ජඩයන් යුගයේ ජාතික නායකයාගේ එම රජය පැරදවීමට හලාල් සහ මුස්ලිම් විරෝධය යොදාගත් අකාරයෙන්. )
කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට අදාල පෝස්ටුවේ (ඉහත උපුටා දක්වා ඇත) දැක්වෙනුයේ මාර්ගයක කුණු කානුවක් අසල පිහිටුවා තිබෙන ශෛලමය ස්මාරකයක ඡායාරූපයකි. එහි පැවසෙන්නේ එම ස්මාරකය වීර පුරන් අප්පු ඇතුලු විරුවන් මාතලේ කැරල්ල ආරම්භ කල ස්ථානය සිහිවීමට "සුද්දෙකු" විසින් ඉදිකරපු ස්මාරකයක් බවත්, එයට වෙන රටවල මිනිසුන් මෙන් අප රටේ මිනිසුන් ගරු නොකර කුණු කාණුවක් අසල දමා ඇති බවත්ය. 
ඡායාරූපය 2 - 2008 දි ගත් ඡායාරූපය
මෙහි අංක 2 ඡායාරූපයෙන් දැක්වෙනුවේ මහනුවර-යාපනය A 9 මාර්ගයේ පසෙක මාතලේ නගරයට නුදුරින් තිබූ එම ස්මාරකයේ 2008 වර්ෂයේදි මා ගත් ඡායාරූපයකි. ඇත්ත වශයෙන්ම එම කාලයේ එය කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය නොවී මාර්ගයේ පසකින් කැලෑවට යටවී තිබුණි. මහා බැංකුවක් කොල්ලකාගෙන, පරම්පරා ගනනාවකට හම්බ කරගෙන, බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් රටේ බහුතරයක් වන බත් කන ගව රැල අන්දගෙන, යහතින් වැජඹී නොසිට දශක තුනක ත්‍රස්තවාදී කැරැල්ලක් වසර 3 කින් නිම කරමින්, රට සංවර්ධනය කරමින් සිටි "හොරෙකුගේ" පාලන කාලය වූ එකල එම මාර්ගය පුලුල් කර කාපට් කිරීමට සැලසුම් කෙරෙමින් පැවතුණි. අපගේ අනුමානය වූවේද එම ස්මාරකය සදහටම අතුරුදහන් විය හැකි බව මුත් පසුගිය වසරේ වෙනත් කටයුත්තක් සඳහා ඒ අසලින් යාමේදි නෙත ගැටුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වර්ෂ 2015 වනවිට විශේෂ පීඨිකාවක් මත ආරක්ෂාකාරි ලෙස නැවත පිහිටුවා තිබූ පෙර කී ස්මාරකයයි (ඡායාරූපය 1). 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දක්වා ඇති විස්තරයේද ස්මාරකය පිළිබඳව නොමග යනව සුළු හැඳින්වීමක් කර ඇති අයුරු
ඒ අනුව "හොරාගේ කාලයේ" අවශ්‍ය නිසි ගෞරවය එයට දී ඇති බැවින් ඉහත පෝස්ටුවේ අදාලත්වයක් මේ වන විට නොමැත. එහෙත් ප්‍රශ්නය වනුයේ සැබැවින්ම එය පෙර කී පරිදි පුරන් අප්පුගේ කැරැල්ල සිහිවීමට "සුද්දෙකු" විසින් කල ස්මාරකයක්ද යන්නය. ඉංග්‍රීසි අකුරින් කොටා ඇති එම ස්මාරකයේ ඇති අකුරු ඉංග්‍රීසි භාෂාව පිලිබඳව සුළු හෝ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට  කියවා තේරුම් ගත හැක. මේ එම වදන් වැලයි. උපුටාගැනීම J. P. ලුවිස් විසින් වර්ෂ 1913 දී පළ කල List of Inscriptions on Tombstones And Monuments in Ceylon නම් ග්‍රන්ථයෙනි.
WARIYAPOLA
REBELS
DISPERSED HERE
BY TROOPS UNDER
CAPTAIN LILLIE, C.R.R.
29 July, 1848
ඒ අනුව කවුරු නමුත් පෙර කී ඒ "සුද්දා" මෙය පිහිටුවා ඇත්තේ කැරලි ගැසූ පුරන් අප්පු සිහිවීමට නොව එම ජාතික විමුක්ති අරගලයේ යෙදුන සිංහල දේශප්‍රේමි කැරලිකරුවන් 1848 ජුලි 29 වන දින සාර්ථක ලෙස විසුරුවාහැරීමට සමත් වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හමුදාවේ කැප්ටන් ලිලීගේ වික්‍රමය සිහිවීමටය. එම ස්මාරකය වර්ෂ 1909 දී පිහිටවූ "සුද්දාගේ" නමද ලුවිස් සඳහන් කරයි. ඔහු මේ අසල වූ වාරියපොල වතුයායේ වැඩ බලන වතු අධිකාරිවරයා (Acting Superintendent) වූ තෝමස් මැක්ලක්ලන්ය (Thomas Maclachlan)
මේ එම සටන පිළිබඳව J.P. ලුවිස් සඳහන් කරන තොරතුරුය. ජුලි 28 දා රාත්‍රියේ 15 වන රෙජිමේන්තුවේ (15th Regiment) සහ සිලෝන් රයිපල් (Ceylon Rifles) බලකායේ මහනුවර සිට නික්මුන සෙබලුන්ට වාරියපොලදී කැරලිකරුවන් මුන ගැසුනි. කරත්ත පාරට නොදුරින් කෝපි වත්තක සිටිමින් කැරලි කරුවන් සහ ඔවුන්ගේ රජු ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී. ඒ පිළිබඳව The History of the Rebellion in Ceylon නම් ග්‍රන්ථයේ කැප්ටන් හෙන්ඩර්සන් (Captain Henderson) ඉදිරිපත් කරන විස්තරයේ සංක්ෂිත සිංහල අනුවාදය පහතින් ඉදිරිපත් කරමු. කෙසේ නමුත් එයට පෙර පැවසිය යුත්තේ කවරෙකු සිහිවීමට කවුරුන් විසින් පිහිටුවා ඇති මුත්, මේ ස්මාරකය මේ වන විට පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වටිනා පුරාවස්තුවක් වන බවත්, එය විනාශ නොවී නිසි ආරක්ෂාව ලබා දෙමින් රැක ගැනීම සියලු ශ්‍රි ලාංකිකයන්ගේ වගකීමක් වන බවත්ය.

"...ඉහල මාලයට පිටතින් වූ පඩි පේලියක් මගින් ඇතුලු විය හැකි ගබඩාවක් අසලට පැමිණියෙමු. කැරලිකරුවන් එම ගොඩනැගිල්ල සහ අවට කැලෑව තුල සිටින බව වැටහිණි. ...වහාම වෙඩි හුවමාරුව දෙපසින්ම ඇරඹුනි. කැරලිකරුවන් අපට තැබූ උණ්ඩ  අප අසලින්ම ගොස් අපගේ හිස් වලට උඩින් තිබූ ගස් වලට වැදීනි....මා විගසින් පඩිපෙල දිගේ උඩට දිව ගියෙමි. ඒ සමගම මැලේ සොල්දාදුවන් කිහිප දෙනෙකුම දොර කඩා කාමරයට ඇතුලුවිනි. වෙඩි තැබීම් සමගම බයිනෙත්තු මගින් කාමරයේ මැද වූ පල්ලැක්කියට (Palanquin) වේගයෙන් අනින ලදි. අසලට ගිය විට මා හට දැක ගැනීමට හැකි වූවේ ඒ තුල සැඟවුන මිනිසා මිය ගොස් ඇති බවය. මා සිතන ලෙසට මැලේවරුන් සිතුවේ ඔවුන් රාජ ප්‍රතිරූපකයා මරා දැමූ බවය. නමුත් ඔවුන්ට හමුවි තිබුනේ ඔහුගේ පල්ලැක්කිය පමණි. එය ඔවුන් විසින් වහාම කෑලි සියයකට පමණ කඩා දැමුවේය. අප කැරලිකරුවන් විසින් අල්වාගෙන සිටි දරුණු ලෙස සලකා තිබූ එක් යුරෝපියානුවෙකු (ඔහු ඒ වන විට වතු ඕවර්සියර් වරයෙකු ලෙස සේවය කල අස් වූ සොල්දාදුවෙක්ය ) සොයාගෙන ඔහුව නිදහස් කලෙමු. රාජ ප්‍රතිරූපකයා වාරියපොල ගබඩාවේ සිට පැනගොස් තිබූ අතර පසුව ඔහුව සැතපුම් කිහිපයක් එපිටින් වූ  ඇල්කඩුවේදී අල්වාගෙන මහනුවරදි මරණ දඬුවම නියම කරණ ලදී. නමුත් එය පසුව කසපහර 100 කට සහ ජිවිතාන්තය දක්වා පිටුවහල් කිරීමකට වෙනස් විය...."

* මෙහි සඳහන් වාරියපොල යනු අදද වාරියපොල වත්ත ලෙස හැඳින්වෙන මාතලේ නගරයට දකුණින් එවකට තිබූ කෝපි වතු යායකි. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වාරියපොල පෙදෙස නොවේ.

*ඇල්කඩුවේදි ගුහාවක් තුල සැගවී සිටිද්දි මැලේ සොල්දාදුවන් පිරිසක් විසින් පසුව අල්වාගත් රාජ ප්‍රතිරූපකයා වනුයේ ගොන්ගල්ලේගොඩ බණ්ඩාය.

මූලාශ්‍ර
  • Letters on Ceylon 1846-50, The Administration of viscount Torrington And The 'Rebellion' of 1848, Edited by K.M. De Silva, 1965
  • List of Inscriptions on Tombstones And Monuments in Ceylon of Historical or Local Interest with an obituary of persons uncommemorated by, J. Penry Lewis, C.M.G., 1913.



5 comments:

  1. මේ ස්මාරකය වේදිකාවක් මත ස්ථාපිත කිරීමට එ් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුද මැදිහත් වී තිබුනා. එෙතිහාසික ස්මාරකයක් අාරක්ෂා කරගැනීමට ඔවුන් ගත් උත්සාහයද අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තොරතුරු වලට. ඔව් සැබවින්ම ඔවුන්ද අගය කල යුතුයි.

      Delete
  2. සවිස්තරව ලියලා තියෙනවා... ස්තූතියි ලිපියට...

    ReplyDelete
  3. Palanquin යන ඉංග්‍රීසි වචනයට පල්ලැක්කිය වෙනුවට දෝලාව යන්න යෙදූ විට බොහෝ පිරිසකට අවබෝධ කර ගත හැකි බව විශ්වාස කරමි
    මෙම ස්මාරකය නැවත ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ දී මහා හොරා වන ම.රා විසින් රු බිලියන 10 ක් ගසා කෑ බව ඇස් දෙකෙන්ම දැක්කා.
    චතුර සේනාරත්න

    ReplyDelete
    Replies
    1. ඔව් පල්ලැක්කිය කියන වචනය එච්චර පුරුදු එකක් නම් නෙමේ තමා. දෝලාව ඊට වඩා හුඟ දෙනෙක් දන්න එකක්. ඒත් මම හිතන්නේ මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ ගැන ටිකක් හොයලා තමා හරි උත්තරයක් දෙන්න වෙන්නේ. ශ්‍රි සුමංගල ශබ්දකෝෂයේ පල්ලැක්කිය කියන වචනය නැහැ. දෝලාව කියන වචනය විතරයි තියෙන්නේ. පල්ලැක්කිය කියන වචනය මම හිතන්නේ දෙමළ සම්භවයක් තියෙන්නේ. ඇතැම්විට එය දකුණු ඉන්දිය සංක්‍රමණිකයන්ගේ පැමිණීමත් සමග එන්න ඇති (වචනය පමණක් නෙමේ එම වාහනයත් ඇතැම්විට ) ඉංග්‍රීසි Palanquin කියන වචනය හැදෙන්නේ එම පල්ලැක්කිය යන වචනයෙන්. දෝලාව කියන වචනය නම් ථුඑපවංශයේ එනවා. එය පැරණි සිංහල වචනයක්.

      Delete