Sunday, May 29, 2016

සිරස්පත සිඳ බිඳ දැමීමටTemple Trees වලට වැඩම්මවූ වෙහෙරගල හිඳි පිළිමය

වෙහෙරගල පිළිමය
2015 ජනවාරි 8 "මෝඩයාගේ විප්ලවයට" පෙර නම් අරලිය ගහ මන්දිරයෙන් පෝදාට ඇසුනේ බුදු බණය. ඒත් මෙදා වෙසක් පෝය අභිමුවේ මෙරටට පැමිණි ඉන්දියානු කට්ටඩියෙක් "ටෙම්පල් ට්‍රීස්" වල තොයිල් නටන විසූක දර්ශන දක්නට මෙරට සිංහල බෞද්ධයා "පිං" කර තිබුණි. (පෝදා බණ නෑසෙන අරලියගහ මැදුරේ ශ්‍රී රවි ශන්කර්තුමන්ගේ පූජා.. [Photo]) ඒ අව් අස්සේ බටහිර ගැති සිංහල බෞද්ධ විරෝධී රජයට පොඩි "බුඩිස්ට් ලුක්" එකක් දෙන්නට සිතූ දේවදත්ත නිකායේ භික්ෂුවක් පකිස්තානයෙන් ගෙනා ධාතු ප්‍රදර්ශනයක් සංවිධාන කලේ මේ කියන ටෙම්පල් ට්‍රීස් වලමය. ධාතු නිකන්ම පෙන්නන්න බැරිය අඩු ගානේ සයිඩ් එකෙන් බුද්ධ රූපයක්වත් තිබ්බා නම් පොඩි එලියක් වැටේයැයි ඒ උන්නාන්සේට නිකමට මෙන් සිතුනේය. අරලිය ගහ මන්දිරය නිඝණ්ඨයන්ගේ වාස භූමියක් වූ පසු එහි කොහිද බුදු පිළිම? බුදු පිළිම ඕනේ පදන් තිබෙන තැනක් ඔහුගේ ඔලුවට ආවේ ගණදෙවියෝ නුවණ දුන්න නිසාදැයි අපි දන්නේ නැත. එහෙත් කෞතුකාගාරයේ අදාල බලධාරීන්ටද පාර්ට් එකක් දමා බලෙන්ම පිළිමයක් සොරකන් කරගෙන වැඩ්ඩේ ලොක්කාගේ හයිය ඉහලින්ම මේ උන්නාන්සේට ඇති නිසා විය යුතුය. වැඩේ දෙල් වෙන්ට වැඩි වෙලා නොගියේ එහි සිටි එකෙක් අතපසු වීමකින් පිළිමය බිම දමා එහි සිරස් පතට හානි කිරීමත් සමගය (කටුගෙයි තිබූ අමිල බුදු පිලිමය බලහත්කාරයෙන් අගමැති මැදුරට ගෙන යයි.. බිම දමා කඩයි..). දැන් සියල්ලෝම පත්තු වී ඇත. එකක් පැහැදිලිය මිටි තැනින් වතුර බසිනවා කිව්වා වගේ කෞතුකාගාර බලධාරීන්ගේ පිටින් සියලුම පව් හෝදා දමනු ඇත. ඒ දිනය වැඩි ඈතක නැත. (PMO blames Museum Director for damage to A’pura Buddha statue at Temple Trees). කුමක්ද මේ පිළිමය එහි ඓතිහාසික වැදගත්කම කුමක්ද? අපි විමසා බලමු.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ඇල්ල වැව වෙහෙරගල පිහිටි සිරිසඟබෝ පුරාණ රජමහා විහාරයෙන් තවත් මෙවැනිම වටිනා හිටි බුදු පිළිමයක්, බෝධිසත්ව අවලෝකිතේශ්වර පිළිමයක් සහ වෙනත් පුරාවස්තු රැසක් සමගින් හමුවූ මෙම අගනා නිමාවකින් යුත් හිඳි පිළිමය වීරාසන ක්‍රමයට පා තබාගෙන භාවනානුයෝගි ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව ලෝකඩ වලින් සාදා රත්‍රන් ආලේපනය කර නිමවා ඇත.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතාට අනුව කේතුමාලාවක් සහිත නමුත් හිස මුදුනේ උන්නත කොටසක් නැති මෙවැනි පිළිම මහාවිහාර සම්ප්‍රදායට අයත්ය. මහාවිහාර සම්ප්‍රදායේ මුල් යුගයේ පිළිම වල කේතුමාලාවක් නැත. නමුත් පශ්චාත් මහාවිහාර බුදුපිළිම සම්ප්‍රදායේ පිළිමවල කේතුමාලාව තිබේ. 9 වැනි ශතවර්ෂයට අයත් සෙන්ටිමීටර 33.5 උස මෙම පිළිමයේ රතු පැහැ වර්නය ආලේපකර තිබූ බවට සාධක ඉතිරි වී ඇත. මේ පිළිමය පිළිබඳව අදහස් දක්වන වියතුන් සදහන් කරන්නේ මෙවන් ඉතාමත්ම සියුම්ව නිපයූ එසේම කිසිදු හානියක් නොවූ පිළිම විරල බවය.

මෙවන් අගනා පුරාවස්තුවක වටිනාකම නොදන්නා පාලකයන් සහ ඔවුන්ට උපදෙස් දෙන පූජකයන්ගේ අමන වැඩ වලින් මේ අයුරින් විනාස වෙන්නේ රටේ උරුමයයි. රට රැක ගත් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ව "ගෙට් අවුට් කරන" ජාතිවාදීන් යෙහෙන් වැජඹෙන, රණවිරුවන්ට මාරුවීම් ලැබෙන කාලකන්නි යුගයක වසන අපට මීට වැඩි දේවල්ද ඉදිරියේදී බලාසිටින්නට සිදුවනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න එවන් සිදුවීම් කිහිපයක් ගීයකට නගා විශාරද නන්දා මාලිණියගේ හඩින් කලකට පෙර අපට අසන්නට සැලැස්සුවේ ඒ අඳුරු අනාගතය කලින්ම දැකලවත්ද?

මූලාශ්‍ර
  • The Heritage of Sri Lankan Bronze Sculpture, Leelananda Prematilleke et.al. 1995
  • ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව, චන්ද්‍රා වික්‍රමගමගේ, 2006
  • Priceless Buddha statue damaged

Saturday, May 21, 2016

ෆාහියන් හිමි නොවැඩි පාහිංගල "පාහියන් ලෙන"

කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයේ පිහිටා ඇති මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ පැරණි අඟලේ සිතියම් වල මෙන්ම වර්තමාන මෙට්‍රික් සිතියම් වලද  "පාහිංගල" ලෙස හැදින්වෙන නමුත් වර්තමානයේ පොදු ව්‍යවහාරයේ මෙන්ම ශ්‍රාස්ත්‍රීය ලිපි ලේඛන වලද "පාහියන් ලෙන" ලෙස හැදින්වෙන විශාල ලෙන පිලිබද බොහෝ දෙනා අසා ඇත. එසේම එම ලෙන හා නිබදවම කියවෙන ප්‍රකට නමක් වනුයේ ක්‍රි.ව. 411 දී පමණ මෙරටට වැඩි චීන හිමිනමක් වන ෆාහියන් හිමියන්ය.



ඒ හිමියන් මෙම පාහියන් ලෙනේ වැඩ සිටි බවට නැතහොත් අනුරාධපුරයේ සිට බුදුන්ගේ සිරිපතුල වන්දනාමාන කිරීමට සමනල කන්දට වැඩි ගමනේදි විවේක සුවයෙන් මද කලක් එහි කල් ගෙවූ බව වැනි විවිධ ජනප්‍රිය කතා මේ ලෙන හා ෆාහියන් හිමියන් වටා ගෙතී ඇත.  වර්තමානය වන විට මෙරට "ජනප්‍රිය ඉතිහාසයේ" පරම සත්‍යයන් බවට පත්වී ඇති මේ කතා කොතරම් දුරට පිලිගත හැකිද? මේ ඒ පිළිබඳ ඓතිහාසික දත්ත ඇසුරින් කෙරෙන විවරණයකි.

මේ ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සිරිපතුල ගැන සදහන් වන කොටසයි. "චණ්ඩ නාගයන් බුදුසමයට හැරවීම සදහා බුදුන් වහන්සේ වරක් මෙරටට වැඩම කළ සේක.  ඒ ගමනේදී උන් වහන්සේ සෘද්ධි බලයෙන් රටේ අගනුවරට උත්තර දිශාභාගයෙහි එක් සිරිපා සටහනක්ද, එහි සිට යොදුන් 15 ක් ඈත කන්දක් මුදුනෙහි තවත් සිරිපා සටහනක්ද පිහිටවූහ. "

මෙහි සදහන් වන කඳු මුදුනක පිහිටවූ සිරිපතුල වර්තමානයේ අප දන්නා සමනල කන්ද මුදුනේ ඇති සිරිපා සටහනමද යන්න නිශ්චිතවම හදුනාගැනීමට මේ කරුණු ප්‍රමාණවත් නොවේ. කෙසේ නමුත් අනික් සිරිපා සටහන පිහිටි තැන පිළිබඳව උන් වහන්සේ ඉන්පසු මෙසේ පවසයි. "නගරයෙන් උතුරෙහි පිහිටි සිරිපා සටහන මත අඩි 400ක් උස්වූ මහා ස්තූපයක් ගොඩ නගා තිබේ රනින් සහ රිදියෙන් කැටයම් කොට ඇති එහි නොයෙක් වර්ගයේ මැණික් ඔබ්බවා ඇත. මේ ස්තූපයේ එක් පසක අභයගිරි නම් සංඝාරාමය වෙයි."

ඒ අනුව අභයගිරි දාගැබ නිමවා ඇත්තේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනක් මත බව හෝ අවම වශයෙන් එවකට එසේ විශ්වාස කල බව මේ අනුව අපට නිගමනය කල හැක. නමුත් ඒ හිමියන්ගේ මේ වාර්තාවේ කිසි තැනක උන්වහන්සේ කඳු මුදුනේ පිහිටා තිබූ අනෙක් සිරිපා සටහන වන්දනාමාන කිරීමට වැඩි බව නම් සදහන් වන්නේ නැත.

කරුණු රහිතව 'ඒ වුනාට මෙහෙම වෙන්න පුලුවන්' වැනි අනුමාණ ඉතිහාසයේ සිදුවූ සිදුවීම් ගැන හැදෑරීමේදි යොදා ගන්නා පිළිගත් ක්‍රමය නොවන බැවින් ෆාහියන් හිමියන් වර්තමානයේ අප දන්නා සමනල කන්ද මුදුනේ පිහිටුවා ඇති සිරිපතුල වැදීමට වැඩියාය යන්න ඒ අනුව අපට පිළිගත නොහැක. උන්වහන්සේ සිරිපා වැඩියා හෝ නොවූවා ඒ ගිය ගමනේදී වර්තමානයේ පාහියන් ලෙන ලෙස හදුන්වන ලෙනේ වැඩ සිටි බවත් එම නිසා එම ලෙන මේ දක්වා පාහියන් ලෙන ලෙස හදුන්වනවාය යන්නත් මේ නිසා විශ්වාස කල හැකි මට්ටමේ නොමැත.  ඒ කාලයේ සිට වර්තමානය දක්වා පැවතෙන ජනප්‍රවාදයක ෆාහියන් වැනි මෙරට වැසියන්ට නුහුරු නමක් ඒ අයුරින්ම පැවත ඒම කෙසේවත් සිදුවිය නොහැක. අවම වශයෙන් මෙරට වංශ කතාවන්ටත් විෂය නොවූ ෆාහියන් හිමියන්ගේ මෙරට සංචාරය ගැන එවන් මතකයක් වසර දහස් ගණනාවක් පුරා මෙරට පොදු ජනයා අතර පැවත ඒම සිදුවිය නොහැක.

ෆාහියන් හිමියන් මෙරටට පැමිනෙන්නේ කිසියම් නිශ්චිත අරමුණක් පෙරදැරිවය. උන් වහන්සේ එවකට චීනයේ සොයාගැනීමට නොහැකිවූ විනය පිළිබඳ ග්‍රන්ථ සොයාගැනීමේ අරමුණින් මෙරටට පැමිනේ. වසර දෙකක් වැනි කාලයක් උන්වහන්සේ මෙරට වැඩ සිටි බව ඒ හිමියන්ගේ වාර්තාවේ සදහන් වේ. අවසානයේ උන්වහන්සේ සිය රට වඩින්නේ මහීශාසක විනය පිටකයේ පිටපතක් සහ දිර්ඝගම, සංයුක්තාගම හා සංයුක්ත සංචය පිටක යන ග්‍රන්ථද රැගෙනය. එම කාලය තුල උන්වහන්සේ වැඩ සිටියේ අභයගිරි සංඝාරාමයේ බවට එම වාර්තාව කියවීමේදි පැහැදිලි වේ. ඒ බව එහි කෙලින්ම නොපවසන මුත් ඒ හිමියන් එහි වැඩ වෙසෙන විට සිදුවූ සිදුවීම්  පිළිබද විස්තර වලින් සහ වෙනත් පූජනීය ස්ථාන ගැන පැවසීමේදි අභයගිරියේ සිට දුර පැවසීම වැනිදේ වලින් ඒ බව වටහා ගත හැක (උදා: මිහින්තලය ලෙස හඳුනාගත හැකි "කන්ද මත චෛත්‍යය" එනම් සෑගිරියට අභයගිරිය සංඝාරාමයේ සිට ලී 40 ක දුරක් ඇති බව. මෙහි 'ලී' යනු චීන දුර මනින ඒකකයකි).

අනෙක් අතට ෆාහියන් හිමියන්ගේ වාර්තාවට අනුව මෙන්ම මෙරට සිංහල හා පාළි වංශ කතා වලට අනුවද එවකට මෙරට ආගමික කෙන්ද්‍රස්ථාන වූවේ අනුරාධපුර අගනගරයේ පිහිටි අභයගිරි, මහාවිහාර සහ සෑගිරි (වර්තමාන මිහින්තලේ ) යන විහාරයන්ය. එනිසා උන්වහන්සේගේ උවමනාව ඉටු කරගැනීමට නම් එම අගනුවර වසනු වීනා ඒ යුගයේ වන දුර්ග ගිරි දුර්ග වලින් ගහන ජනශූන්‍ය නොවූවේ නම් සාපේක්ෂව අඩු ජනතාවක් විසූ තෙත් කලාපයේ පිහිටි හුදකලා ලෙනක විසීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ.

එසේ නම් මෙම ලෙන පාහියන් ලෙන වූවේ කෙසේද? මතු දිනක ඒ පිළිබද සලකා බලමු.

මූලාශ්‍ර

  • බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව - මහාචාර්ය විමල් ජී බලගල්ලේ, 1999
  • A history of the Cultural Relations Between Sri Lanka and China, An Aspect of the Silk Route, S.G.M. Weerasinghe, 1995
  • History of Ceylon Volume 1 Part 1, Paranavitana S, 1959
  • පාහින්ගල පුරාණය, පූජ්‍ය ගෝනහේනේ ජෝතිපාල නාහිමි, 1989

Thursday, May 5, 2016

දුටුගැමුණුගේ යෝධයන් වූ ලෙන් පිදූ සෙන්පතියෝ.

සෙල් ලිපි වලින් තහවුරු වන මහාවංශයේ එන දුටුගැමුණුගේ යෝධයන් දස දෙනාගෙන් එක් අයෙකු වන නන්දිමිත්‍ර පිළිබඳව පෙර ලිපියකින් කතා කලෙමු.  >  ලෙන් පිදූ පරුමක මිත්ත, ඇඹරුම් ගල ඇදන් ගිය නන්දිමිත්‍ර යෝධ පැටියාද? <  එහිම දිගුවක් ලෙස සෙල් ලිපි සාධක හමුවන, 'යෝධයන්' ලෙස මහාවංශ කතෘ හඳුන්වන තවත් සෙන්පතියන් සිව් දෙනෙකු පිළිබඳ මෙම ලිපියෙන් වැඩිදුරටත් සලකා බලමු.

ගෝඨයිම්බර යෝධයාගේ ලෙන් ලිපිය ඇති නයින්දනාව ලෙන්
ඵුස්සදේව
සිතුල්පව් දෙකුන්දර වැව සෙල් ලිපි දෙකකම සදහන් වන පරුමක පුශදෙව යනු දුටුගැමුණු රජුගේ සෙන්පතියෙකු වූ මහාවංශය ඵුස්සදේව යෝධයා ලෙස හඳුන්වන පුද්ගලයා බව පරණවිතාන මහතා හඳුනාගනී. මින් එක් සෙල්ලිපියක පරුමක පුශදෙවගේ පුත් පරුමක අභය නම් පුද්ගලයෙකුට අයත් ලෙනක් පිලිබඳවද අනිකෙන් පරුමක පුශදෙවගේ දියණිය සහ පුශදෙව කුමාරයාගේ බිරිඳ වූ අනුරාධි නම් කුමරියට අයත් ලෙනක් පිළිබඳවද කියවේ. තවද වැලඑල්ලූගොඩ කන්ද සෙල් ලිපි දෙකකම නම කියැවෙන ශෙනපති පරුමක පුශදෙවද මෙම ඵුස්සදේව නම් ඓතිහාසික පුද්ගලයා බව පැහැදිලිය. මින් එක් ලිපියක ලෙනක් සඝසතු කරන්නේ තිස්ස මහ රජතුමාගේ (සද්ධාතිස්ස?) හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධරයා වූ ශෙනපති අග්ගිදත්තගේ බිරිඳ වූද, ශෙනපති පරුමක පුශදෙවගේ දියණියක වූද නාගා නම් උපාසිකාව විසිනි. අනෙක් සෙල්ලිපියේද පරුමක පුශදෙවගේ දියණියක වූ නාගා නම් වූ මෙහෙණින් වහන්සේගේ ලෙන සඝසතු කල බව පැවසේ. මේ නාගා ද පසුකලක පැවිදි වූ කලින් සෙල්ලිපියේද නම සඳහන් කාන්තාවම  විය හැක.

වේළුසුමණ
සිතුල්පව්වේ දෙකුන්දර වැවම හමුවන වෙනත් සෙල්ලිපියක පරුමක වෙලුසුමණගේ පුත් වු පරුමක වෙලු ගේ පුත් දෙවනපිය තිස්ස රජුගේ (මේ රජු මහචූලික මහාතිස්ස ලෙස පරණවිතාන මහතා හඳුනාගනී ) ආදායම් නිලධාරි [අයක] පරුමක පුශදෙවගේ ලෙන සඝසතු කල බව පැවසේ. මෙහි එන පරුමක වෙලුශුමන මහාවංශයේ එන වේලුසුමන යෝධයා බව පරණවිතාන මහතාගේ අදහසයි.

ථෙරපුත්තාභය
 පරුමක ශෙනපති අභයගේ පුත්, පරුමක පුශදෙවගේ ලෙන සඝසතු කල බව පැවැසෙන ගෝණගල ලෙන් ලිපියක සඳහන් පරුමක ශෙනපති අභය, ථෙරපුත්තාභය විය හැකි බව පරණවිතාන මහතා සදහන් කරන්නේ සමකාලින සෙල් ලිපි වල 'පරුමක ශෙනපති' ලෙසින් ඉහත සදහන් වන්නේ දුටුගැමුණු රජුගේ සෙන්පතියන් වන බැවිනි.

ගෝඨයිම්බර 
වෙනත් සිතුල්පව්ව සෙල්ලිපියක පරුමක මහතිස්සගේ පුත් පරුමක අයිමර ගේ ලෙනක් ගැන සඳහන් වේ. එසේම මගුල් මහා විහාරයේ ඇති තවත් ලෙන් ලිපියක පරුමක අයිමරගේ පුත්වූ පරුමක චූල තිස්සගේ පුත් පරුමක චූල තිස්ස නමින්ම හැඳින්වූ පුද්ගලයෙකුගේ ලෙනක් සඝසතු කල බව පැවැසේ. මෙම ලෙන් ලිපි දෙකෙහි නම් සඳහන් පරුමක අයිමර දුටුගැමුණුගේ යෝධයෙකු ලෙස මහාවංශය පවසන ගෝඨයිම්බර විය හැක. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නයින්දනාව විහාරයේ ඇති තවත් ලෙන් ලිපියක සදහන් වන පරුමක මහතිස්සගේ පුත් චූඩ අයිමර, ගෝඨයිම්බර විය හැකි වන්නේ චූඩ සහ ගෝඨ යන වචන දෙකෙහිම සමාන තේරුම් ඇති බැවිනි. (ගෝඨ = මිටි, චූඩ = කුඩා)

මූලාශ්‍ර
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.