Wednesday, September 30, 2015

අරක්කු රේන්දකරුවන්ගේ අමද්‍යප ව්‍යාපාරය


රූපය - ආතර් වී දියේස්ගේ මවට අයත් වූ පානදුරේ පිහිටි අරක්කු ගබඩාව සහ ඉස්කාගාරය. උපුටාගැනීම Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් රටපුරා තැබෑරුම් විවෘත කරමින් මෙරට වැසියන් බීමත් කමට පුරුදු කිරීම ඇරඹීමත් සමග ඒ හා පැණනැගුන සමාජ ව්‍යසනයන් වටහාගෙන මුල්වරට අමද්‍යප ව්‍යාපාරයක් ඇරඹීමේ ගෞරවය හිමිවිය යුත්තේ එවකට ක්‍රියාත්මක වූ විවිධ ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරවලටය. 19 වන සියවසේ අවසාන කාර්තුවේ පමණ ඇතිවූ එම ව්‍යාපාරයට පසුව එකතු වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නියමුවෝ 20 වෙනි සියවසේ මුල් කාලය වන විට ප්‍රබල ජවයකින් එය ඉදිරියට ගෙනයෑමට පමණක් නොව ක්‍රිස්තියානි මිෂනාරීවරුන්ගේ අත තිබු එහි නායකත්වය පවා ලබා ගැනීමට සමත් වූහ. එහි ප්‍රබල භූමිකාවක් ඉටුකලේ අනගාරික ධර්මපාලතුමාය.

 කෙසේ නමුත් මේ වන විට 1833 කෝල්බෲක්- කැමරන් ප්‍රතිසංස්කරණ සමග සිදුවූ ධනවාදී ආර්ථික ක්‍රියාවලියෙන් විවර වූ ව්‍යාපාරික අවකාශයක් තුලින් බිහිවූ දේශීය ධනපති පන්තියේ දෙවෙනි තුන්වෙනි පරපුරක් මෙරට ඇතිවෙමින් පැවැතුණි. ඔවුන්ට ධනය සහ ඉහල බටහිර අධ්‍යාපනයක් තිබූ නමුත් සමාජයේ දේශපාලනික බලයක දැඩි අවශ්‍යතාවය දැනෙමින් පැවැතුණි. විශේෂයෙන්ම කන්ද උඩරට රදල බලය සහ සම්ප්‍රදායික උඩරට ගොවි කුලයේ ආධිපත්‍යය අභිබවමින් ඉදිරියට පැමිනෙමින් තිබූ කරාව, සලාගම, දුරාව වැනි පහත රට කුල වල ප්‍රභූන් සහ පහතරට ගොවි කුලයේ ප්‍රභූන් මෙම සමාජ කොට්ඨාශයේ ප්‍රබල ගාමක බලවේගයක් විය. එයිනුත් කරාව කුලයේ ශ්‍රීඝ්‍ර වර්ධනය කැපී පෙනුනි.

ඉතාම සූක්ෂම ලෙස 20 වන සියවසේ මුල් දශකය තුලදි අමද්‍යප ව්‍යාපාරය මෙම ප්‍රභූ ධනපති පන්තික පිරිස විසින් ධර්මපාලතුමා ඇතුලු බෞද්ධ නායකයන්ගේ ග්‍රහනයෙන් ඔවුන් අතට පත්කර ගැනීමට සමත් වූ අතර, 1915 පමණ වන විට රටපුරා ගම් නියම්ගම් 220 ක 24033 පමණ විසාල සාමාජික පිරිසකගෙන් යුත් ප්‍රබල ශාඛා ජාලයක්ද ඇතිකරගැනීමට හැකියාව ලබා තිබුණි. D.S. සේනානායක, D.C. සේනානායක, F.R. සේනානායක, D.B. ජයතිලක, මාර්කස් ප්‍රනාන්දු, W.A. ද සිල්වා, ආතර් වී දියේස්, ජෝන් කොතලාවල, හෙන්රි අමරසූරිය, ජේම්ස් පීරිස්, රිච්ඩ් සල්ගාදු  වැන්නන් එහි ඉහල පෙලේ නායකයන් විය. මෙම පිරිසට මෙරට පහල පන්තියේ මිනිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට අවංක උවමානාවක් වීද? නොමැති නම් ඔවුන්ට අවශ්‍ය වූවේ අමද්‍යප ව්‍යාපාරය දඩමීමා කරගෙන ඔවුන්ගේ අරමුණ කරා එනම් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් යම් කිසි දේශපාලනික බලයක් ලබා සමාජයේ ඔවුන්ට තිබූ බලය පිලිබද රික්තකය පුරවාගැනීමේ මනදොල සංසිදුවා ගැනීමද? මෙම ලිපියේ අරමුණ මෙහි නම් සදහන් ඇතමුන්ගේ පවුලේ ව්‍යාපාර පිලිබද තොරතුරු බිදක් පැවසීමය. ඔවුන්ගේ දෙපිටිකාට්ටුබව පැහැදිලි කිරීමට එය ප්‍රමාණවත්ය.

සේනානායක පරපුර.
ඉහත නම් සදහන් සේනානායකවරු තිදෙනාගේ පියා දොන් ස්පේටර් සේනානායක මිනිරන් කර්මාන්තයෙන් ව්‍යාපාරික ලෝකයට ඇතුලත්වූ නමුත් පසු කාලීනව අරක්කු රේන්දකරුවෙකු (Arrack Renter)  විය. තවත් අරක්කු රේන්දකරුවෙකු වූ  N.D.P. සිල්වා සමග මීගමුව අරක්කු රේන්දය සදහා ඔහුගේ හවුල 1893 දී පවුම් 19500 වූ අතර 1894 දී පවුම් 22900 විය. 1907 පමණවනතුරුම ඔහු අරක්කු ව්‍යාපාරයේ නියලී සිටි බවට සාධක ඇත. එසේම මෙම සොයුරන් තිදෙනා අතරින් F.R. සේනානායක විවාහ වෙන්නේ වයඹ පලාතේ අරක්කු රේන්දකරුවා වූ D.C.G. ආටිගලගේ දියණියක වන එලන් ආටිගල සමගය. තවත් අමද්‍යප ව්‍යාපාරයේ නියමුවෙකු වන ජෝන් කොතලාවල* ඔහුගේ අනිත් දියණියක් වන ඇලිස් ආටිගල විවාහ කරගනී.

ආතර් වී දියේස්
කොස් මාමා යනුවෙන්ද හැදින්වුනු ආතර් වී දියේස් තවත් අරක්කු රේන්දකරුවන්ගේ පවුලකින් පැවත එන්නෙකි. හෙතෙම සිය මවට (සෙලෙස්තිනා රොද්‍රිගෝ) අයත් අරක්කු ව්‍යාපාරයේ කලමනාකරුවෙකු වශයෙන්ද සේවය කලේය. 

W.A ද සිල්වා
අරක්කු රේන්දකරුවෙකු වූ මුතුතන්ත්‍රිගේ සයිමන් ෆර්නැන්ඩෝගේ (ශ්‍රී චන්ද්‍රසේකර) දියණිය වන කැතරීන් ෆර්නැන්ඩෝ සමග විවාහ විය.

ජේම්ස් පීරිස්
පියා (T මාර්ටිනස් පීරිස්) අරක්කු රේන්දකරුවෙකි. ජේම්ස් පීරිස් විවාහ වෙන්නේද ප්‍රකට අරක්කු රේන්දකරුවෙකු වූ ජාකොබ් ද මෙල්ගේ දියණිය ග්‍රේස් ද මෙල් සමගය.

දොස්තර මාර්කස් ෆර්නැන්ඩෝ
අරක්කු ව්‍යාපාරයේ ප්‍රබලයකු වූ චාල්ස් ද සොයිසාගේ දෙවෙනි දියණිය වන මාර්ග්‍රට් ෆ්‍රැන්සිස් මාරි සමග විවාහ විය.

රිචඩ් සල්ගාදු
අරක්කු රේන්දකරුවෙකි. එසේම අමද්‍යප ව්‍යාපාරයේද ප්‍රබලයෙකි.

1915 සිංහල-මුස්ලිම් කෝලහාලයත් සමග මෙම අමද්‍යප ව්‍යාපාරයේ නායකයින් බොහෝ දෙනෙක් අත්අඩංගුවට  පත්වන නමුත් ඔවුන් එම කෝලහාලයට සෘජුව සම්බන්ධ වූ බවට සාදක නොමැත. නමුත් එම අත්අඩංගුවට  පත්වීම ඔවුන්ට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත්වෙන්නේ එයින් ඔවුන් ඊනියා "ජාතික වීරයන්" පිරිසක් බවට නිතැතින්ම පත්වීම නිසාය. පසු කාලීනව ජාතික කොන්ග්‍රසය(Ceylon National Congress) සහ ඉන් අනතුරුව ඒතුලින්ම බිහිවෙන එක්සත් ජාතික පක්ෂය (United National Party) හරහා මේ දෙපිටිකාට්ටු නායක පිරිස ඔවුන්ගේ අරමුණ ක්‍රමයෙන් සාක්ෂාත් කරගනී. ඒ අතර ඔවුන් කොල්ලකෑ අමද්‍යප ව්‍යාපාරය එහි අරමුණුත් සමගම ස්වභාවික මරණයකට ලක්වේ. 

*මේ පසුකාලිනව මෙරට අගමැතිවරයෙකු බවට පත්වූ ජෝන් ලයනල් කොතලාවල නොව ඔහුගේ පියා බව සලකන්න

මූලාශ්‍ර

Nobodies to Somebodies, The Rise of the Colonial Bourgeoisie in Sri Lanka, Kumari Jayawardena, 2007
A History of Sri Lanka, K.M. de Silva, 2005.
Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907
Riots And Martial Law in Ceylon 1915, P. Ramanathan, 1916
Personalities Sri Lanka, A Biographical Study (15th -20th Century), K.D.G. Wimalaratne, 1994
Revolt in the Temple, The Buddhist Revival up to Gangodawila Soma Thera - Victor Ivan


9 comments:

  1. 19වැනි සියවසේ දෙවන භාගයේ ඇතැම් බ්‍රිතාන්‍ය රජයේ නිලධාරින් (ඒජන්ත, උප ඒජනත) වැනි අයත් මෙරට වැසියන් මත්පැනට ඇබ්බැහි වීමෙන් ඇති විය හැකි ඵලවිපාක ගැන ඔවුන්ගේ පාලන වාර්තාවල සඳහන් කර තිබෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි මිෂනාරින් 1910-20 දශකවලදීත් අමද්‍යප කටයුතු වල නියැලුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔවුන් අභිබවමින් ඔවුන්ට වඩා සක්‍රිය ලෙස බෞද්ධ බලවේග ඉදිරියට යෑමක් තමා උනේ.

      Delete
  2. නිවැරදි විශ්ලේෂනයක් භාෂණ. එදා සිටම වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනයා අන්දවා බලය තහවුරු කරගැන්ම පමණයි. එය තමා මේ වන විටත් හැම පක්ෂයකින්ම පාහේ වෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබ හරියටම හරි.

      Delete
  3. අර කියපු ජෝන් කොතලාවල ම ද, සාජන් මේජර් වුනේ?

    ReplyDelete
    Replies
    1. මට නිශ්චිතවම ඔහුමයි කියන්න පුලුවන් ලිඛිත මූලාශ්‍රයක් සොයාගන්න බැරි උනා. හැබැයි මේ කියන ජෝන් කොතලාවල පිලිබද මම කියවපු තැන් වල කියවෙනවා ඔහු ටික කලක් පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කල බවත් එම කාලය තුලදි දියේ ගිලෙන්න ගිය දෙදෙනෙකු බේරාගැනීම නිසා ආන්ඩුකාරයා උන ආතර් ගෝර්ඩන්ගෙන් පැසසුම් ලැබූ බවත්.නෙයිනගේ සූදුවේ ඉන්න කොතලාවල ඒ නිසා මොහු විය හැකියි. ඔහුගේ පියාගේ නමත් J.A. කොතලාවලමයි. හැබැයි ඔහු නොතාරිස් කෙනෙක්.

      Delete
    2. ස්තූතියි භූෂන...
      කරත්ත කාරයන්ගෙ වැඩවර්ජනයක් සංසිඳුවීම සහ නෙයිනගෙ සූදුව නිසා තමයි ජෝන් කොතලාවල ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. වැඩි විස්තර මං දැනං උන්නෙ නෑ.

      Delete