Thursday, September 17, 2015

අනගාරික ධර්මපාල සම්ප්‍රදායවාදීද?

 අද අනගාරික ධර්මපාලතුමා සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රලාඵ විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් සමාජගත කර ඇත. දින කිහිපයකට පෙර රටේ මුල් පුටුවක් හොබවන පුද්ගලයෙකු ධර්මපාලතුමාගේ 151 වන ජන්මදිනය සමරමින් පැවසුවේ අනගාරික ධර්මපාල සිංහලයන් ගැන පමණක් කතා කල පුද්ගලයෙකු නොවූ බවත් රටේ සියලු ජනතාවගේ ජාතික සමගිය වෙනුවෙන් කතා කල බවත්ය. මේ අපහාස කරන්නේ අනගාරික ධර්මපාලතුමාටද, සිංහලයන්ටද නැතහොත් ඔහු කියන සියලු ජනතාවටද කියා විමසා බැලීම පසෙකින් තියා අපගේ ප්‍රස්තුතයට පිවිසෙමු. අනගාරික ධර්මපාල සම්ප්‍රදායවාදීද? නැතහොත් ගතානුගතික අදහස් වල එල්බ සිටිය පුද්ගලයෙක්ද? ඉංග්‍රිසි භාෂාවෙන් ඔහු ලියූ Observations made during my Tour in Europe නම් ලිපියේ කොටස් කීපයක් පමණක් මෙහිදි පරිවර්තනය කර ඉදිරිපත් කරමු. කියවා ඔබම තීරණය කරන්න?

ඉන්දියාවේ ජාතික ව්‍යාපාරයේ නායකයන් ගැන සදහන් කරමින් ඔහු මෙසේ කියයි...."ගාන්ධි, දාස්, ලජ්පත් රායි, තිලක් ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛ තැනකට පත් කර ඇත. නමුත් යල්පැනපු ගොන් කරත්ත වලට අද කල හැකි දෙයක් නැත. අපට තරග කිරීමට සිදුව ඇත්තේ මෝටර් ලොරි සහ මෝටර් රථ ඇති මිනිසුන් සමගය. ඉන්දියාව පුරාම පාහේ පැතිරුන නූල් කටින යන්ත්‍ර නිසැකවම කුසගින්නේ තැවෙන මිලියන ගනන් ජනතාවගේ යම්  ආර්ථික දියුණුවක් ඇතිකරනු ඇත. නමුත් එය ජනතාව ප්‍රගතිශීලී කිරීමට ප්‍රමාණවත් නොවේ. විවෘත දෑසින් යුතුව යුරෝපයේ සංචාරය කරන පුද්ගලයෙකු පමණක් විද්‍යුතය තුලින් එහි ගමනාගමනයේ සිදුවූ ආශ්චර්යමත්  දියුණුව නිරීක්ෂණය කරනු ඇත......"

ඉන්දියානු වැසියන් ගැන ඔහු තව දුරටත් මෙසේ පවසයි. "ඔවුන් හරකුන් සේ ජීවත් වී මිය යයි. ඔවුන්ගේ ජීවිත නක්ෂත්‍රයේ ගනනය කිරීම් මගින් නියාමණය කරන අතර ඔවුන්ගේ ආගම අවතාර, දෙවියන් සහ මැවුම්කරුවන්ගෙන් සමන්විත දෛවවාදය පිලිබද වූ මිත්‍යා ඇදහීම් (Fatalistic superstitions) මත පදනම් වී ඇත.......ඉන්දියාවට මෙන්ම සිංහලේටද (Ceylon) අවශ්‍ය වන්නේ ක්‍රිස්තියානි දේවවාදය හෝ යුරෝපිය සම්භාව්‍ය සාහිත්‍යයට වඩා තව තවත් තාක්ෂණික  සහ විද්‍යාත්මක අධ්‍යාපනයයි."

"...ඊනියා අශිෂ්ටයන්(Heathen) සැමිටික් ආගමට හරවා ගැනීම සදහා මිෂනාරි කටයුතු වලට යොදවන මිලියන ගනන් පවුම්, මුදල් අපතේ යැවීමකි. මේ මුදල් 'මිසදෙටු' ලමුන්ට යම් ප්‍රායෝගික සහ ආර්ථිකමය වශයෙන් වැදගත් දෙයක් ඉගෙනගත හැකි කාර්මික සහ විද්‍යාත්මක අධ්‍යාපන පාසල් ආරම්භයට යෙදවිය හැකි නම් එයින් අනාගතයේ ඵලදායි ප්‍රතිඵල අත්වනු ඇත."

රූපය - අනගාරික ධර්මපාලතුමා භාවිතා කල රථය - මරදාන මහාබෝධි විහාරය.

මූලාශ්‍ර

Return to Righteousness, A Collection of Speeches, Essays and Letters of the Anagarika Dharmapala, Edited by Ananda Guruge, 1991


1 comment:

  1. අනගාරික ධර්මපාල චරිතයත් යහපාලන මිථ්‍යාව වෙනුවෙන් සිරිසේන මහතා විකුන්නා.

    ReplyDelete