පුරාතන යුගයේ මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සමෘද්ධිමත්ම අවදියේ අගනගරයේ මෙන්ම අගනගරයෙන් බැහැර ප්‍රදේශ වලද සංඝ සමාජයේ පැවැත්ම උදෙසා සහ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා විවිධ වෙහෙර විහාර ඉදිවිය. ඒ අතරින් පබ්බත විහාර ලෙසින් හැඳින්වෙන විහාරාරාම ගණයේ ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙරදීත් ලිපි කිහිපයකින්ම මෙහි කරුණු ඉදිරිපත් කර ඇත >> දිවයින පුරාම එම ගණයේ නටබුන් වූ ස්ථාන රාශියක් මේ වන විට හඳුනාගෙන ඇත. පරසතුරු උවදුරු සහ වෙනත් ස්වභාවික උපද්‍රව හේතුවෙන් ශිෂ්ඨාචාරයට වරින් වර විවිධ බාධක එල්ලවීමත් සමගම එම ආගමික ස්ථාන නඩත්තු කල ගම් බිම් වල ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම හෝ ඔවුන් සමගම එම ගම් බිම් විනාශ වීමත් සමග ඔවුන් මත යැපුන විහාරාරාමත් පරිහාණියට පත්ව අතහැර දැමීම සිදුවේ. පසු කලක වෙනත් ප්‍රදේශයකින් පැමිණි හෝ එම ප්‍රදේශ වලම ඉතිරි වූ ජනයාගේ පසු පරම්පරාවන් වලට එම පූජනීය ස්ථාන වල නාමයන් පවා මතකයෙන් ගිලිහී යාම ස්වභාවිකය. එවන් අවස්ථාවලදී ඒ වන විට වන ප්‍රවාහය මගින් යටපත් කරගත් එවන් ස්ථාන වලට අලුත් නම් පටබැඳීම එම ගැමියන් අතින් සිදුවේ. ඒ අනුව කළු පැහැ වූ ජලය එකතු වූ පොකුණක් තිබීම හේතුවෙන් කළුදිය පොකුණ වූ පැරණි විහාරාරාම වල නටබුන් හමුවන ස්ථාන අවම වශයෙන් දෙකක් හඳුනාගත හැක. මිහින්තලේ පිහිටි මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල ස්ථානයට (එම ලිපිය කියවීමට >> ) අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩලම වැවේ සහ එනයින් කලා ඔයේ ඉහල නිම්නයේ ජලපෝෂක ප්‍රදේශයේ එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ලෙසින් හැඳින්වෙන පබ්බත විහාර සංකීර්ණයක් ඇත. මේ ආකාරයෙන් නටබුන් වූ වෙනත් ඇතැම් ස්ථාන මෙන් නොව මෙහිදී අප හට සෙල්ලිපි සහ සාහිත්‍යමය මූලාශ්‍ර ආශ්‍රයෙන් ස්ථානයේ පැරණි නාමය කිසිදු සැකයකින් තොරවම හඳුනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.
කළුදිය පොකුණේ නටබුන් දක්වෙන කෙටි වීඩියෝව >>
VIDEO
ලෙනක බිත්තියේ කොටා ඇති ගිරි ලිපිය
මෙම ස්ථානයේ පිහිටි ලෙනක බිත්තියේ කෙටූ සෙල්ලිපියක් සහ පබ්බත විහාරයේ පිළිම ගෙය ලෙසින් අනුමාණ කරන ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පිහිටි පුවරු ලිපියක් ස්ථානයේ පැරණි නාමය හඳුනාගැනීම උදෙසා මූලික වශයෙන් උපකාරී වේ. ඒ අතරින් ලෙනේ පිහිටි ලිපිය සිරිසඟ්බොය් මපුර්මුකා (දොළො)ස්වන්නේ පොසොනැපුර විසෙනි දවස්, එනම් සිරිගඟ්බො නම් රජෙකුගේ රාජ්‍යත්වයෙන් දොළොස්වන වර්ෂයේ පොසොන් මස පුර පක්ෂයේ පස්වෙනි දින දළනා නැමැත්තෙකු විසින් දකිණිගිරි වෙහෙර මහසඟනට ලහා බත් (Ticket-meals) සඳහා තෙවිසි (23) කළන්දක් වූ රන් ප්‍රදානය කර, එයින් දිනපතා මහබුන්ද්නෙන් අදමන දෙකක සහ මුත්වනින් සහ පෙරෙබුන්ද්නෙන් අදමන එකක ප්‍රමාණ වූ සහලින් බත් ඉර හඳ පවතින තුරා සැපයීම කලයුතු බවට පවසා පිහිටුවා ඇත. සහල් නොදී බත් ගෙ පිසැ බත් (එනම් මුළුතැන්ගේ පිසූ බත්) දිය යුතු අතර, වෙහෙර තුල අසමගියක් වී නම් එම බත් කවුඩු (කපුටන්) බල්ලනට විසි කල යුතු වේ. මෙය කඩ කරන කිසිවෙකු හෝ වී නම් මහමෙතෙ සම්මා සම්බුදුන් දොරින් යත් (එනම් මතු බුදු වන මහා මෛත්‍රී බුදුන් එම කෙනාගේ ගේ දොරකඩින් ගියත්) එම බුදුන් හට වැඳීම උදෙසා එම පුද්ගලයා හට අත් එසවීමට හෝ නොහැකි වනු ඇත* . මෙම ප්‍රදානයේදී සීහ නැමැත්තෙකු, කොට්ගම් සීසෙන් වත්හිමි නැමැත්තෙකු, කළි මාඩබියන්, අග්සුමෙයුර් වත්හිමියන්, කලල්වැලි උදහි , වදුරා අරක්සමණන්ගේ මෑණියන් සහ ඇදුර් වත්හිමියන් යන අය එක් ලහ බතක් බැගින් සැපයීමට දළනා සමග ගිවිස ගෙන ඇත.
සිව්වන කාශ්‍යප රජුගේ කාලයට අයත් ලෙන් ලිපිය
අක්ෂර හැඩය අනුව ලිපිය අයත් වන 10 වන ශත වර්ෂයේ මුල් අර්ධයේ සිරිගඟබෝ යන විරුදය භාවිතා කල රජවරුන් දෙදෙනෙකු හඳුනාගත හැක. ඒ අතරින් සෙනරත් පරණවිතාන මහතාගේ අනුමාණය වූයේ දෙවන සේන රජු (පො. ව. 853-887) වන අතර සිරිමල් රණවැල්ල මහතාට අනුව කොළඹ කෞතුකාගාරයේ දැනට ඇති සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ පිහිටවූ ලෙසට හඳුනාගත හැකි ටැම් ලිපියක මෙම ලිපියේද නම සඳහන් වන වදුරා අරක්සමණ ගැන සඳහන් හෙයින්, කළුදිය පොකුණ ගුහා ලිපිය අයත් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ කාලයටය (පො. ව. 898-914).
කටාරම් කෙටූ ලෙනක්. මෙහි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් කොටා ඇත.
පුවරු ලිපිය
කැත්කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් සුදොනා පරපුරෙන් ආ සලමෙවන් අභා උදා මහරජ්හු හට සහ විදුරා රැජිනට දාව උපන්, අභා සලමෙවන් මහසෙන් රජුගේ රාජ්‍යත්වයෙන් පළමු වර්ෂයේ සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙරේ සංඝයා සමග සම්මුතියෙන් එකඟව මහපිළිම හැඹූ පහණැ (මහ පිළිමය අඹන ලද ගලෙහි) ලියවා තැබූ කතිකාවතක් පිළිබඳව ඉහත සඳහන් කල අනෙක් ලිපිය වන පුවරු ලිපියේ සඳහන් වේ.
පුවරු ලිපිය
දහවන සියවසට අයත් සිංහල අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපියේ නම සඳහන් අභා සලමෙවන් මහසෙන් රජු තුන්වන හෝ හතරවන සේන රජු විය හැකි බවට සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන මුත් (එහෙත් එතුමා එම රජු බොහෝදුරට සිව්වන සේන [පො. ව. 954-956] විය හැකි බවට අනුමාණ කරයි.) සෙනරත් පරණවිතාන මහතාට කියවිය නොහැකි වූ එම රජතුමාගේ පියාගේ නමද විරුදයද සමගින් සම්පූර්ණයෙන් කියවීමට හැකි වීම නිසා සිරිමල් රණවැල්ල මහතා එම පිය රජු දෙවන උදය (පො. ව. 887-898) ලෙසින් සහ එනයින් මෙම පුවරු ලිපිය පිහිටවූ රජු තුන්වන සේන (පො. ව. 938-946) ලෙසින් හඳුනාගනී.
ඇසෙළැ පුර දසවක් දවස් එනම් ඇසල මස පුර පක්ෂයේ දසවන දින එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මෙම කතිකාව සඳහන් පුවරු ලිපිය පිහිටුවීම සඳහා පැමිණෙන්නේ මෙකාප්පර් [Commander of the Bodyguards] සඟ්සෙන් නියමයෙන් ආ සුනගලු රක්ස, කිළින්දිරි සෙන් සහ මහකිලින්ගම කිලිඟ් ලෝකයා , වට්රක් කස්බා රක්සමණන් [Chief Guardian] නියමයෙන් ආ කුඩසලා කිත්දෙවු යන අයය.
ලිපියේ ඇතැම් කොටස් කියවිය නොහැකි හෙයින් එම කොටස් වල අර්ධ වශයෙන් කියවිය හැකි වචන වලින් පැහැදිලි අදහසක් ගත නොහැකි මුත් පැහැදිලිව කියවිය හැකි කොටස් වල සඳහන් කරුණු අතරින් කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. වස් විසීම් දහයක් සිදු කල සහ සතර බණවර සම්පූර්ණ කල සංඝයා හට මෙහි ඇති ආවාස වල විසිය හැක. මෙම පරිශ්‍රය තුල සොළී සහ තුඩි බෙර වාදනය නොකල යුතු අතර, රැහැණ් [Army-whips] නොගැසිය යුතුය, වෙනත් ස්ථාන වලින් පිටමං කර මෙහි පැමිණි ඒත් ඒ බව හෙලි නොකල භික්ෂූන් හට මෙම පරිශ්‍රයේ ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මහපිරිත් ඉගෙනගැනීම සිදු නොකරන්නන් හට මෙහි පිහිටි ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මෙහි බණ හදාරන සාමනේර හිමිවරුන් මෙහි මහණ කල හැකි අතර වස් සමය අවසානයේ එය කල යුතුය, මෙහි ළුැනු (Onion) විකිනීම සිදු නොකල යුතුය, මෙහි වසන කැමියන් තමන්ගේ නඩත්තුව සඳහා ඉඩම් (දිවෙල්) බොගමියෙන් සහ මගමින් ගත යුතුය, වෙනත් ගම් වලින් ගෙනා ගෙරි [Cattle], මීවුන් [Buffaloes] සහ දස් මිනිසුන් [Male servants] යොදාගෙන මෙහි ඉඩම් සහ පමුණු ඉඩම් වල ගොවිකම් නොකල යුතුය, පස්මහ වැරදි කල කැමියන් දා [Sacred Relics] ගෙනියන පෙරහැර වලට යොදා නොගත යුතු අතර, කිසියම් වැරදි කල කැමියන් ලවා ඔවුන්ට පැවරූ රාජකාරි ඉටුකරගෙන පසුව ප්‍රදේශයෙන් පිටමන් නොකල යුතුය, වප් මස අව අටවක ලේකම් කිරීමට පෙර [Before the submission of accounts] දිවෙල් [Maintenance Lands] නොගත යුතුය, පෙර සිරිත් ඉටු නොකරන කැමියන් කැමි කමේ තබා නොගත යුතුය, පෙර සිරිත් පරිදි අය කල ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය නොකල යුතුය, මහමන්ඩ් , වලමාල , වැලිපුනගොන සහ සිඹුර් බිම් වල සය කිරියා බිම් ලහබත් කරණු සඳහා වෙන් කර තැබිය යුතුය, මෙම වෙහෙරට අයත් ගම් බිම් වලට තුන් රදොලින් [Three Royal Households] වාරි-පෙරෙනාට්ටියම් නිලධාරීන් ඇතුළු නොවිය යුතු අතර, ගැල්, ගොන් [Oxen], මීවුන් [Buffaloes] වද්ද නොගත යුතුය, බැහැර මිනී කොටා මෙහි පැමිණෙන්නන් එනම් බාහිර ස්ථාන වල මිනීමරා මෙහි පැමිණෙන්නන් විහාරයේ සීමාවන් තුලට වැද්ද නොගත යුතුය, එසේම පරිශ්‍රය තුල සිට මිනී මරන්නන් කැමියන් [Officials] විසින් ඔවුන්ගේ ගෙවල් පවරාගෙන පරිශ්‍රයෙන් පිටත් කල යුතුය. මෙම කතිකාව කඩ කරන මහණුන්, කැමියන් හෝ රදොල් [Officers attached to the royal households] යන කිසිවෙකු හෝ වේවා ඔවුනට මෙතේ බුදුන් දකින්නට නොලැඹෙනු ඇත* .
ඉහත සඳහන් ස්ථාන නාම වලට අමතරව ලිපියේ අර්ධ වශයෙන් කියවිය හැකි කොටස් වල මහසඟ්වැලි බිමෙහි සුමන්ගලු නුවර කල්ලන්ගමු නවම , පහණ්ගම ..මනලක පිහිටි පවුර් මහපූගම , පනවගම-තම්ම, මහදියමොහොල යන ස්ථාන නාමයන්ද සඳහන්වේ.
* ඉහත සෙල්ලිපි දෙකෙහිම සඳහන් කරුණු කඩකරන්නන් හට මෙතේ බුදුන් දකින්නට නොලැබෙනු ඇත වැනි වැකි සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ අවධිය වන විට මහාවිහාර සම්ප්‍රදායට පරිබාහිරව අභයගිරි , ජේතවණ වැනි පාර්ශවය විසින් ප්‍රචලිත කල මතු බුදු වන මෛත්‍රී බුදුන් සහ බෝධිසත්ව වන්දනය මුල් කරගත් මහායානික ඇදහීම් කොතරම් දිවයිනේ අගනගරයෙන් බැහැර වෙනත් ප්‍රදේශ වලටද පැතිර ගොස් තිබිණිද යන්නය.
සංරක්ෂණය කල ස්තූපය
ඉහත සෙල්ලිපි වල සඳහන් දක්ඛිණ විහාරය පිළිබඳව වංශ කතා වල හමුවන තොරතුරු
මහාවංශයේ සඳහන් වන පරිදි සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137-119) දක්ඛිණගිරි විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇත. එහිම (චූලවංශය ලෙසින් හැදින්වූ මහාවංශයේ දෙවන කොටසේ) පසු අවස්ථාවක සඳහන් වන්නේ ධාතුසේන රජුද (පො. ව. 455-473) ථේරවාදී හික්ෂූන් සඳහා ඉදිකල සියළු සම්පත් සපිරි විහාර අතර දක්ඛිණගිරි නමින් වූ විහාරයක්ද තිබූ බවයි. නැවතත් පස්වන කාශ්‍යප රජු (පො. ව. 914-923) පිළිබඳව වූ විස්තරයේදී එහිම සඳහන් වන්නේ එම රජු දක්ඛිණගිරි නම් වූ විහාරයට ගමක් දුන් බවය. දක්ඛිණගිරි දළ්හ නම් වූ විහාරයේ පළමුවන අග්ගබෝධි රජු (පො. ව. 571-604) උපෝසථඝරයක් කරවූ බවටද මහවංශයේ සඳහන්වේ. මෙම දක්ඛිණගිරිදළ්හ විහාරයද ඇතැම් විට පෙර හා පසු අවස්ථාවන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසින් මහාවංශයේ හැඳින්වෙන විහාරය විය හැක.
උපෝසථඝරය ලෙස අනුමාණ කරන ගොඩනැගිල්ල
පබ්බත විහාරයක් නැතහොත් පඤ්චාවාස ආරාමික භූමියක් ලෙස හඳුනාගෙන ඇති මෙම පැරණි නටබුන් විහාරයේ ප්‍රධාන මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව උතුරු දෙසින් පිහිටා ඇත. මෙතෙක් මෙහි කැනීම් කර සංරක්ෂණය කර ඇත්තේ ප්‍රධාන මළුව වටා දිවෙන ගඩොල් ප්‍රාකාරයේ කොටසක් සහ ස්තූපය පමණි. එයට අමතරව මෙහි පිහිටි ගල් කණු තුනක් පමණක් මතුපිටින් දිස්වන උස් ගොඩැල්ලක් පිළිම ගෙය ලෙසත්, බොධිඝරය ලෙස මිටි ගල් කණු සහිත ස්ථානයක් සහ උපෝසථඝරය ලෙස උස් ගල් කණු සහිත ස්ථානයක් හඳුනාගෙන ඇත.
පිළිමගෙය ලෙස සැලකෙන මෙතෙක් කැනීමක් සිදු නොකල ස්ථානය
කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන මළුවට දකුණින් සහ ගිණිකොන දෙසින් එයට පිටතින් පොකුරු වශයෙන් පිහිටි ලෙන් 32 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් ලෙන් 18 ක කටාරම කොටා ඇති අතර, ලෙන් 4 ක පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලිපි කොටා ඇත. ගල් බිත්ති අවශේෂ සහිත ලෙන් 24 ක්ද, ගඩොල් බිත්ති අවශේෂ සහිත ලෙන් 9 ක්ද, සිතුවම් තිබූ බවට සාධක සහිත ලෙනක් සහ මූර්ති තිබූ ලෙනක් ද ඒ අතරින් හඳුනාගෙන ඇත. පූර්ව බ්‍රාහ්මි ලිපි සහිත ලෙන් දෙකකම එම ලිපි වල '
ශඝශ' ලෙසින් සඳහන් වන බැවින් එම අක්ෂර අයත් වන පොදු වර්ෂ පූර්ව තුන් වන සියවසේ සිටම එම ලෙන් සඟසතු කර තිබූ බවත්, එනයින් මෙම ආරාම සංකිර්ණයේ ආරම්භය එම යුගය දක්වාම දිවෙන බවත් පැවසිය හැකිය. පසු කාලීනව පොදු වර්ෂ 6, 7 සියවස් වලදී මෙම ස්ථානය
පබ්බත විහාරයක් බවට පරිවර්තනය වූ පසුවද එම ලෙන් භික්ෂු ආවාස ලෙසින් භාවිතා වූ බව සිතිය හැක. මේ ලෙන් වල ඉඩ ප්‍රමාණය අනුව සියළුම ලෙන් වල භික්ෂූවහන්සේලා 106 ක් පමණ වැඩ වාසය කරන්නට ඇති බව
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ගණනය කරයි. ලෙන් වලට අමතරව පිහිටි භික්ෂූන් වහන්සේලා අවම වශයෙන් 12 ක් වාසය කළ බවට ගණනය කල හැකි ආවාස කුටිද සැලකිල්ලට ගත් කල මෙම
පබ්බත ආරාමයේ භික්ෂූන්වහන්සේලා 118 කට පමණ ඉඩ පහසුකම් තිබූ බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉහත සඳහන් සෙල්ලිපි වලට අමතරව පොදු වර්ෂ 5 - 7 සියවස් වලට අදාල අක්ෂර වලින් කොටා ඇති වහරල ලිපි ලෙසින් හඳුන්වන ලිපි කිහිපයක්ද මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ මුරගල්, පියගැට සහ පුවරු වලින් හමුවී ඇත.
සංරක්ෂණය කල ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරය
කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ සිදුවූ පුරාවිද්‍යා කැනීම් සහ සංරක්ෂණය කිරීම්
1977 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බිමක් මෙම පරිශ්‍රයේ ආරම්භ කරන අතර කුඹුක්කඳන්වල ගම්මානයේ සිට මෙහි ඒමට තිබූ සැතපුමක් පමණ වූ අඩි පාර ජීප්-පාරක් බවට පුළුල් කල බවත්, එහෙත් බෝක්කු කිහිපයක් නොයොදා වාහනයක් වැඩබිම වෙත ගෙන යෑමට නොහැකි බවත් 1970- 1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේම පුරාවිද්‍යා රක්ෂිතය එලිපෙහෙලි කර විවිධ ස්මාරක වෙත යෑමට අඩි පාරවල් යෙදූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.
එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ආරාමයේ සංරක්ෂණය කල ස්තූපය
මෙහි පිහිටි ස්තූපයේ තිබූ ගස් ඉවත් කර එහි දකුණු දිශාවෙන් කැනීමක් 1979 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ වේ. එම වසර අවසාන වන විට එහි දකුණු හා නැගෙනහිර දිශාවෙන් සහ බටහිර දිශාවෙන් මද දුරක්ද කැනීම් කර දාගැබේ මාලකය මතුකර ගැනීමට හැකිවී ඇත. දකුණු දිශාවෙන් වූ පඩිපෙල සහ මුරගල්ද මතුකරගැනීමට හැකිවී ඇති අතර පඩිපෙලේ පලමු පඩියේ කොටා තිබූ අනුරාධපුර යුගයේ පසුකාලයට අයත් සෙල්ලිපියක්ද එම යුගයටම අයත් අකුරු කොටා තිබූ රවුම් හැඩැති ගඩොල්ද මෙහිදී හමුවී ඇත. මෙහි පිහිටි ස්තූපය සහ ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරයේ කොටසක් පමණක් 90 දශකයේදී සංරක්ෂණය කර ඇත.
බෝධිඝරය
මූලාශ්
Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001 Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004 Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1989 බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016 මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012 මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012 Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016 Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995 Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006 Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010 ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004 Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994 Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala Administration Report of the Director-General of Archaeology for the year 1970-1977, R.H. de Silva Administration Report of the Director-General of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunawatne Historic Matale, 1984 History of Ceylon, Volume 1, Part 2, 1960