පැරණි රුහුණු රටේ මලල ඔය නිම්නයේ පිහිටි වර්තමානයේ යාන්ගල නැතහොත් යහන්ගල ලෙසින් ව්‍යවහාර වන, එතරම් උස් නොවූ ගල් තලාවක් මත පිහිටි එකම මලුවක තනා තිබූ දැනට නටබුන් වූ ස්තූප දෙකකින් සහ එයට පහලින් තැන තැන වූ තවත් නටබුන් ගොඩනැගිලි කිහිපයකින් සමන්විත පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් පිහිටා ඇත. ගල් පර්වතයේ පහල බොහෝවිට ස්වභාවික නොවන හෝ ස්වභාවිකව තිබූ පසුව කිසියම් කලෙක මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සකසා ගත් ගල් ලෙන් දෙකක්ද දැකිය හැක. ස්තූප මලුවේ වූ ස්තූප දෙකින් එකක් පමණක් දැනට සංරක්ෂණය කර ඇති අතර අනෙක් ස්තූපය නටබුන් වූ අයුරින්ම පාදා ගෙන තහවුරු කර ඇත.
ගල් ලෙන් දෙක
ගල් තලාවේ තැන් තැන් වල ජලය එක් රැස් වන ස්වභාවික දිය කෙමි කිහිපයක්ම දැකිය හැක (මේ සමග ඇති වීඩියෝව බලන්න.) මෙම දිය කෙමි ආරාමික ගොඩනැගිලි භාවිතා කල අවධියේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා සඳහා හාවිතා වන්නට ඇත. මෙම පරිශ්‍රය ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් සිදුවූ ස්ථානයක් බවටද තැනින් තැන හමුවන ශිලා මෙවලම් සාධක සාක්කි සපයයි.
යාන්ගල නටබුන් දැක්වෙන කෙටි වීඩියෝව >>
VIDEO
මෙහි පිහිටි ස්තූප දෙක හැරුණු විට අනෙකුත් ගොඩනැගිලි ආදියේ පුරාවිද්‍යාත්මක කැනීමක් මෙතෙක් සිදුවී නොමැති අතර ස්ථානයේ පැරණි නම හෝ වෙනත් තොරතුරු කිසිවක්ද අනාවරනය වී නොමැත. මෙහි පිහිටි මුල් බ්‍රාහ්මි අවධියට අයත් සෙල්ලිපි දෙකක් පමණක් කියවා පලකර ඇති අතර එම සෙල්ලිපි වල වර්තමාන තත්වයද පැහැදිලි නැත. අප හට හමුවූ ස්තානයට අදාල පසුගිය සියවසේ 60-70 දශකවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා වල සඳහන් වූ කරුණු කිහිපයක් පමණක් පහත උපුටා දක්ව ඇත.
1964-65 මුදල් වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ එවකට එම තනතුර දැරූ චාල්ස් ගොඩකුඹුරේ මහතා සඳහන් කරන්නේ එම වර්ෂයේ මාගම්පත්තුවේ බදගිරිය ගොවිජනපදයේ පිහිටි යාන්ගල දාගැබ පිහිටි පැරණි ස්ථානය නැවත පරික්ෂා කල බවත්, එය තහවුරු කිරීමේ කටයුතු කරගෙන යන බව සහ පස් හා ගඩොල් කැබැලි වලින් වැසී තිබූ දාගැබේ පේසාවල් ඒ වන විට පාදාගෙන යන බවත්ය.
ස්තූප පිහිටි ගල් පර්වතයට පහලින් වූ කිසියම් නටබුන් ගොඩනැගිල්ලක්
ඉහත නටබුන් ගොඩනැගිල්ල මධ්‍යයෙහි පිහිටි වෘත්තාකාර කොටසක් මතු කල සතරැස් ගල් පුවරුවක්
1965-66 මුදල් වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ නැවතත් චාල්ස් ගොඩකුඹුරේ මහතා සඳහන් කරන්නේ හම්බන්තොට දිසාවේ මාගම්පත්තුවේ යහන්ගල නමින් ආයතචතුරශ්‍ර මලුවක දාගැබ් දෙකක් තිබී ඇති බවත්, ඉන් එක් දාගැබක් පමණක් හැඩහුරුකම හඳුනාගතහැකි තරමටවත් ශේෂව ඇති බවත්ය. එම දාගැබේ සැලැස්මක්ද එකී වාර්තාවේ ඉදිරිපත් කරමින් හෙතෙම වැඩිදුරටත් සඳන්කරන්නේ එම දාගැබේ හැඩය සාහිත්‍යයේ ඝටාකාර ලෙසින් හැඳින්වෙන වර්ගයට අයත් එකක් බවය. එහි පාමුල කැනීමේදි දාගැබ ඇති ස්ථානයේ කාලපරිච්ඡේද තුනක වැඩ ඇති බවට සාධක හමුවූ බවත්, දාගැබේ පේසාවල ගඩොල් තියුණු ආයුධයකින් සූරා ඒවා මත රටාවල්කර ඇති බව සහ පැරණි බදාමයද තැන තැන ශේෂ වී තිබෙන බවත් ගොඩකුඹුරේ මහතා තවදුරටත් සඳහන් කරයි. ගඩොලින් කර බදාමයෙන් වසා ඇතැයි සිතිය හැකි සඳකඩ පහණක් දාගැබ ළගින්ම ගල මතු පිට ශේෂව ඇති බවත්, තවමත් බදාමය හොඳ තත්වයෙන් තිබෙන සඳකඩ පහණ ඉදිරි කෙළවර දාගැබ දෙසට ඇතිව පිහිටා ඇති බැවින් එය දාගැබ සම්බන්ධ එකක් නොවන බව පැහැදිළි වන බව සහ එහෙයින් දාගැබ තනන්නට පෙර ගල මතු පිට වෙනත් ගොඩනැගිලි තිබුණු බව පසක් වන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එකම මලුවක් මත පිහිටි ස්තූප දෙක
නැවතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවක මෙම ස්ථානය ගැන සඳහන් වන්නේ 1967-68 මුදල් වර්ෂය සඳහා වූ වාර්තාවේය. ඒ එම ස්ථානයේ නටබුන් සම්බන්දව හෝ ඒවායේ සිදුකල කැනීම් හෝ තහවුරු කිරීම් සම්බන්ධ විස්තරයක් නොව එම දාගැබ පිහිටි ගලේ කිසියම් අයකු විසින් ලියා තිබූ අකුරු වගයක් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධවය. එම ගලේ විශාල සිංහල අකුරින් "යහන්ගල කහගල්ල පුරාණ විහාරය" යන වචනද, ඉංග්‍රීසි අකුරෙන් "ටී. මහින්ද-ආට් බයි පෙම්බරා" ලෙසින්ද ලියා තිබී ඇත.
සංරක්ෂණය කල ස්තූපය
1972 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පලකල පැරණි ස්මාරක නාමාවලි යේ සඳහන් වන්නේ යාන්ගල දාගැබ පිහිටි ගලට නැගීමට ගලේ කපන ලද පඩි පෙල දෙපස පො.ව. 1 වෙනි සියවසට අයත් කුඩා සෙල්ලිපි කීපයක් ඇති බවය. සෙනරත් පරණවිතාන මහතා මෙම සෙල්ලිපි වලින් දෙකක් එතුමා විසින් 1970 වර්ෂයේ පලකල Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions ග්‍රන්ථයේ ඇතුලත් කර ඇත. එම සෙල්ලිපි දෙකින් එකක් පඩිපේලියේ පසක කොටා තිබී ඇති අතර එම ලිපියේ සඳහන් වන්නේ පුද්ගලයන් සය දෙනෙකුගේ ( 1. අබහ 2. ශුරහ 3. බලගුතහ 4. ද....ශ 5. ක(ම)චු(ඩ)හ 6. තිශ තෙරහ) නම් පමණි. එහි අවසානයට සඳහන් වන තිශ භික්ෂුවක වූ බව පෙනේ. එකී ලිපියේ පෙල මේ අයුරින් වේ.
නටබුන් වූ ගොඩනැගිල්ලක පිහිටි එතරම් උස් නොවූ ගල් කණු
අබහ ශුරහ බලගුතහ ද....ශ ක(ම)චු(ඩ)හ තිශ තෙරහ
ඒ අසල පිහිටි ගලක කොටා තිබූ අනික් ලිපියේ පෙල සහ එයට පරණවිතාන මහතා ඉදිරිපත් කල ඉංග්‍රීසි පරිවර්තනය පහත දක්වා ඇත.
පරුමක නශික උති පරුමකනෙ (අ)නුර(ද)ගම යශදය...
The chief Nasika Uti and the chieftainess Yasada of Anuradhagama.
ඒ අනුව පරුමක තනතුරක් දැරූ නශික උති සහ අඩමාන වශයෙන් කියැවූ අකුරු දෙකක් සමග අනුරදගම ලෙසින් කියැවූ ගමක සිටි පරුමකවරියක වන යශදය යන අයගේ නම් එහි සඳහන් වේ. මේ නම් සහිත පුද්ගලයන් මෙම පඩි තැනූ පුද්ගලයන් බවට සෙනරත් පරණවිතාන මහතා එම ග්‍රන්ථයේ පාද සටහන් වල පවසයි. ඉහත සඳහන් අනුරදගම ඒ නමින්ම වංශකතා වල හැඳින්වූ පිහිටි රටේ පිහිටි සුප්‍රසිද්ද අනුරදගම (වර්තමාන අනුරාධපුරය ) නොවන බවද පරණවිතාන මහතා අවධාරණය කරයි.
ස්තූප මලුව මත තබා ඇති එක් ස්තූපයක යූප ගලේ කොටසක් සහ මල් ආසන විය හැකි සෙල්මුවා පුවරු
මූලාශ්‍ර
1964 - 65 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1967 1965 - 66 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1968 196 - 68 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, ආර්. එච්. ද සිල්වා , 1970 පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019 පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972 රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2013 Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.