බදුල්ල |
පසුගිය සතියේ තොරතුරු ඉදිරිපත් කල හලාබ පාලම ලිපිය උදෙසා එය තැනූ වර්ෂය, ඒ හා සම්බන්ධ වන මාර්ගය පිළිබඳව හෝ උමා ඔයෙන් එතෙර වීම උදෙසා ඉංග්‍රීසීන් තැනූ පාලම් පිළිබඳව හෝ කිසියම් හෝ හෝඩුවාවක් සොයාගැනීම උදෙසා උත්සාහ කලමුත් එය සාර්ථක වූවේ නැත. එහෙත් එම තොරතුරු සොයා යාමේදී ඇස ගැසුන ඉංග්‍රීසි වාර්තා වල Kandy - Badulla Lower Road through Goneganwa ලෙසින් සඳහන් වන වෙනත් මහනුවර - බදුල්ල මාර්ගයක් පිළිබඳව විස්තර හමුවූ අතර මේ ලිපිය එම තොරතුරු ආශ්‍රයෙන් එකී මාර්ගයේ පිහිටීම සොයා ගැනීමට කල උත්සාහයක ප්‍රතිඵලයයි.
Ferguson's Ceylon Directory
බ්‍රිතාන්‍ය යුගයේ සිට මෙරට කාලීන වානිජ තොරතුරු සම්පිණ්ඩනය කරමින් 1871 සිට (හෝ ඇතැම් විට එයට පෙර සිටත් (මට හමුවූ මුල්ම සංග්‍රහය 1871-72 වර්ෂ සඳහා වේ.) මෑතක් දක්වාම ( මා හට හමුවූ අවසාන කොටස 1997-99 කාලය උදෙසා පල කර ඇත.) පලවූ තොරතුරු සංග්‍රහයකි Ferguson's Ceylon Directory. එය Associated Newspapers of Ceylon Limited මගින් පලකර ඇති අතර මුල් කාලයේදී මේ තොරතුරු සංග්‍රහයන් උදෙසා මූලිකත්වය ගත් එකල දෙසතියකට වරක් නිකුත්වූ Ceylon Observer පුවත්පතේ නියෝජ්‍ය කතෘ සහ පසුව එහි ප්‍රධාන කතෘ සහ අයිතිකරු බවට පත්වූ A.M Ferguson ගේ සහ John Ferguson ගේ නම් වලින් ඒවා Ferguson's Ceylon Directory ලෙසින් හැඳින්වූ බව පෙනේ (එම දෙපල විසින් 1864 වර්ෂයේදීද එවන් තොරතුරු සංග්‍රහයක් පලකර ඇත.) Ferguson's Ceylon Directory හී කතෘත්වය දක්වා ඇත්තේ A.M. & J Ferguson, proprietors and editors of "Ceylon Observer" ලෙසිනි.
ඉහත 1871-72 වර්ෂ සඳහා වූ Ferguson's Ceylon Directory හි මෙරට එවකට වූ ප්‍රධාන මාර්ග කිහිපයක් ගැන තොරතුරු සඳහන් වේ. ඒ යටතේ මහනුවර සිට බදුල්ල දක්වා වූ මාර්ග දෙකක් ගැන තොරතුරු ඉදිරිපත් කර ඇත. එක් මාර්ගයක් වන්නේ නුවරඑලිය හරහා බදුල්ල මාර්ගයයි. එය මහනුවර සිට පේරාදෙණිය, ගම්පොල, පුස්සැල්ලාව, රම්බොඩ, නුවරඑළිය, ඇටම්පිටිය හරහා බදුල්ල දක්වා යන මාර්ගය ලෙසින් හඳුනාගත හැක (මේ මාර්ගයේ තවත් ස්ථාන එහි දක්වා ඇති අතර මාර්ගයේ හමුවන ගංගාවන් හරහා එතෙර වූවේ පාලම් මතින්ද නැතහොත් පාරුවක උපකාරයෙන්ද ආදී තොරතුරුද එහි අන්තර්ගතය. එසේම එම ඇතැම් ස්ථාන වල තිබූ තානායම් ගැනද සඳහන් වේ. මේ ලිපියේ ප්‍රමුඛ අරමුණ එම මාර්ගය සම්බන්ධයෙන් නොවන බැවින් ඒ පිළිබඳව තොරතුරු මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.) කෙසේ නමුත් එම මාර්ගය ඉහත ස්ථාන නාම අනුව බැලූ කල පැහැදිලිවම මහනුවර සිට පේරාදෙණියට පැමිණ එතැන් සිට වර්තමානයේ A5 ලෙසින් හැඳින්වෙන පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ බදුල්ල දක්වා කොටස බව පැහැදිලිවේ.
Kandy - Badulla Lower Road through Goneganwa
අපගේ ප්‍රස්තුතයට වැදගත් වන්නේ මහනුවර සිට බදුල්ල දක්වා එවකට වූ අනෙක් මාර්ගයයි. Lower Road (From Kandy to Badulla by "Lower Road" through Goneganwa) ලෙසින් හැඳින්වෙන එම මාර්ගය සම්බන්ධයෙන් ඉහත Ferguson's Ceylon Directory වල 1940 දශකය දක්වාම කිසියම් හෝ තොරතුරක් හමුවේ. 1871-72 වාර්තා වල ඉහත සඳහන් කල මුල් මාර්ගය ගැල් පාරක් (Carriage Road) ලෙසින් හැඳින්වෙද්දී Lower Road මාර්ගය හැඳින්වෙන්නේ හාරගම ඔය දක්වා කරත්ත ගමන් කල හැකි මාර්ගයක් බවත් එතැන් සිට පටු පාරක් (Bridle Road) ලෙසින් වූ බවත්ය (From Kandy to Harrackgam Oya passable for carts. Beyond that Bridle Road).
එම වාර්තා වල සඳහන් ස්ථාන නාම වර්තමාන නම් හා ගැලපීමෙන් මාර්ගය මේ ආකාරයෙන් හඳුනාගත හැක. මහනුවර [Kandy] සිට කුන්ඩසාලේ [Kondesally] දක්වා ගොස් (සැතපුම් 3) එහිදි තලාතු ඔයේ පාලමෙන් (පලල අඩි 5) [Tallat Oya Bridge] එතර වී (පසු වාර්තා වල දැක්වෙන පරිදි කුණ්ඩසාලේ සිට තලාතු ඔය පාලම දක්වා සැතපුම් 1.5 ක දුරක් ඇත.) එතැන් සිට තවත් සැතපුමක් ගොස් ගෝනවත්ත තොටට [Gonawatte Ferry] ලගාවී, එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගොස් හාරගම ඔය [Harrackgam Oya] දක්වා පැමිණ [හාරගම ඔය අසලදී මතුරට දක්වා යන මාර්ගය හමුවේ], එතැන් සිට තවත් සැතපුම් 2 ක් ගොස් මහ ඔය තොටුපලින් [Maha Oya Ferry] එගොඩ වී ගෝනගමුව [Gonnegamwa] දක්වා වූ සැතපුම් 3 ගමන් කල විට දියබුබුල දුර්ගය මුදුනේ එම ගම හමුවේ [Top of Diaboobela pass, village]. එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගිය තැන බෙලිහුල් ඔයේ තොටුපල [Billahool Oya Ferry] හමුවේ. එම තොටුපලින් එතර වී කුරුඳු ඔය [Kooroade Oya] දක්වා යෑමට ගමන් කල යුතු දුර සැතපුම් 4 කි. කුරුඳු ඔයෙන් එතර වීමට නොගැඹුරු ජලයේ බැස යා යුතු බව එය Ford ලෙසින් හඳුන්වා තිබීමෙන් පැහැදිලි වේ. ගමන් මාර්ගයේ ඉන්පසු හමුවන්නේ උමා ඔයයි [Ooma Oya ferry]. කුරුඳු ඔයේ සිට උමා ඔය දක්වා යෑමට සැතපුම් 5 ක් ගමන් කල යුතුය. උමා ඔයේදි හමුවන්නේ ඔරුවකින් එගොඩ විය යුතු තොටුපලකි. එහි මුල් වරට මේ මාර්ගයේ තානායමක් [Rest house] වූ බවද සඳහන්ය. එතැන් සිට බදුල්ල දක්වා වූ මාර්ගයේදි නැවතත් වේල්ල ඔය [Vella Oya] නම් වූ බැස එගොඩ විය යුතු ඔයක් සැතපුම් 6 ගිය තැන හමුවේ. ඉන්පසු නැවතත් තානායමක් තල්දෙන [Taldene] නම් ස්ථානය දක්වා සැතපුම් 9 ක් ගමන් කල විට හමුවේ. මේ ස්ථානයේදී මාර්ගය දෙකට බෙදෙන අතර එක් මාර්ගයක් මඩකලපුව දක්වා විහිදේ [Road branches off to Batticaloa]. බදුල්ලට යොමු වන අනික් මාර්ගයේ එතැන් සිට බදුල්ලට ඇති දුර සැතපුම් 10 ලෙස සඳහන් වේ. මහනුවර සිට මේ මාර්ගයේ ඒ අනුව මුළු දුර සැතපුම් 54 ක් ලෙස දැක්වේ. ඉහත සඳහන් කල අනෙක් මාර්ගයේ මුළු දුර සැතපුම් 84 ලෙසින් දක්වා ඇති බැවින් මෙම මාර්ගය දුරින් අඩු බව පෙනේ.
මින් පසු කිහිප අවස්ථාවකම ඉහත දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස්කම් සහිතව මෙම මාර්ගය ගැන විස්තර හමුවේ. පහත දැක්වෙන්නේ 1905 වර්ෂයේ එම දුර ප්‍රමාණයන් සහ විස්තර දැක්වෙන වගුවයි. 1905 වර්ෂය වන විට බෙලිහුල් ඔය හරහා අශ්වයන්ට ගමන් කල හැකි මට්ටමේ පාලමක් වූ බව ඉන් පැහැදිලි වේ. එසේම උමා ඔයෙන් එතර වීම දැක්වෙන්නේ Ferry ලෙසින් නොව Ford ලෙසිනි. මාර්ගයේ මුළු දුර සැතපුම් 58.75 ලෙසින් මෙහි දැක්වෙන අතර, සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමේදි මුල් කාලයේදීට වඩා වෙනස් වඩාත් නිවැරදි ශබ්දය එන ලෙසින් ලියා ඇති අයුරුද දැක ගත හැක.
ඉන්පසු 1912 වර්ෂය සඳහා වූ වගුව පහතින් දැක්වෙන අතර එහි මීට පෙර සඳහන් කල තොරතුරු වලට අමතරව කුන්ඩසාලේදී ඉලුක්මෝදර තොටුපල හමුවන බව සඳහන් වේ. කුණ්ඩසාලේ පිහිටන්නේ මහවැලි ගඟේ වම් ඉවුරේ වන අතර තලතු ඔය එහි දකුණු ඉවුරේ වේ. එමෙන්ම මෙහිදී තලාතු ඔය පාලම Kershaw's Bridge ලෙසින් හඳුන්වා ඇත. මහ ඔයදී පැරණි බදුල්ල මාර්ගය වම් පසට විහිදෙන බවද මෙහි සඳහන් වේ (Old bridle road to Badulla on Left)
1914 වන විට කුරුඳු ඔය හරහාද Horse Bridge ලෙසින් හැඳින්වෙන පාලමක් ඇති බවට සඳහන් වේ. මේ කාලය වනවිටත් කරත්ත ගමන් කල හැක්කේ හාරගම ඔය දක්වා පමණක් වන අතර හාරගමදී දකුණු පසින් හඟුරන්කෙත සහ මතුරට දක්වා යොමුවූ මාර්ග හමුවන බව සඳහන් වේ.මින් පසු 1942 වර්ෂය දක්වාම Ferguson's Ceylon Directory වල මෙම මාර්ගය මෙරට ප්‍රධාන මාර්ග ලැයිස්තුවේ (Principal Roads in Ceylon) දක්වා ඇති මුත් පෙර පරිදි එහි එක් එක් ප්‍රධාන සංදිස්ථාන වලට ඇති දුර ප්‍රමාණ හෝ අනෙකුත් විස්තර අඩංගු නොවේ. මෙම තොරතුරු වලට අමතරව මහනුවර - බදුල්ල Lower Road මාර්ගය පිළිබඳව අපට හමුවන තවත් වැදගත් තොරතුරක් නම් ශ්‍රීමත් හෙන්රි වෝඩ් (Henry Ward) ආණ්ඩුකාරවරයාගේ සමයේ (1855-1860) ඔහු විසින් බදුල්ලේ කෝපි වතු වල නිෂ්පාදන පහසුවෙන් මහනුවර දක්වා ගෙන ඒම උදෙසා මෙම මාර්ගය පිළිසකර කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ බවය. එහෙත් දරන්නට සිදුවන අධික වියදම නිසා එම ව්‍යාපෘතිය අතහැර දමන ඔහු වර්ෂ 1857 දී ඒ වෙනුවට බදුල්ල - නුවරඑළිය මාර්ගය පිළිසකර කිරීම අරඹයි.
ඉහත සඳහන් තොරතුරු වලින් පමණක් මෙම මහනුවර - බදුල්ල මාර්ගයේ පිහිටීම පිළිබඳව දල අදහසක් විනා එය සිතියමක සටහන් කිරීමට අවශ්‍ය දත්ත හමු නොවේ. එහෙත් මහනුවර සිට මුල් කොටසේදී එය මහවැලි ගඟේ දකුණු ඉවුර ඔස්සේ ගොස් ඉළුක්මෝදර තොටුපල පසුකර තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ පිහිටි Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම හරහා ගමන් කරයි. එම ස්ථාන දෙකම අඟලේ සිතියම් වල ලකුණු කර ඇත. එම ස්ථානයේදී තලාතු ඔය සහ අම්පිටිය දක්වා යන මාර්ගය හමුවේ. ගෝනවත්ත තොටුපලද පැරණි මහනුවර අඟලේ සිතියමේ හඳුනාගත හැක. (මෙම මාර්ගය හඳුනාගැනීම උදෙසා භාවිතා කරන මහනුවර සහ හඟුරන්කෙත අඟලේ සිතියම් මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ වික්ටොරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිවීමට පෙර අඳින ලද ඒවාය.)
තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ ඉදිකර ඇති Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම (Google Street View ඇසුරින්. එම පාලම පිහිටි මාර්ගය පැරණි මහනුවර මාර්ගය ලෙස Google Map වල දක්වා ඇත.) |
සිතියම 2 |