Saturday, September 14, 2019

රජුන් තනන නිශ්ශංකමල්ල සූත්‍රය

"එහෙයින් මහරජ තන්පත් වැ සිටියවුන් නැති තැනකැ යුවරජ වැ සිටියවුන් හො උනුදු නැතහොත් රාජකුමාරවරුන් හො උනුදු නැතහොත් බිසෝවරුන් හො රාජ්‍යයට තැකිය යුත්තෙය. බුදුසසුනට හිමි ලක්දිවට අබෞද්ධ චොළ කේරළාදි රජදරුවොද නොතැකිය යුත්තාහ. උන් හා එක්වැ පෙරෙළි කළාහු රාජද්‍රොහි නම් වෙති. කාකයා හංස ගතියටද, කොටළුවා සෛන්ධවයන්ටද, ගැඩහුලා නාග රාජයන්ටද,  කණමැදිරියා සූර්‍ය ප්‍රභාවයටද වටුවා හස්තීන්ටද, කැණහිලා සිංහයන්ටද භාව කරන්නා සේ ගොවිකුලෙහි ඇත්තන් රාජ ලීලාවට නොපැතුව මැනැවැ,"

අඩි 6 ක් පමණ උස ගල් පුවරුවක දෙපසම අකුරු කොටා පිහිටවූ සෙල් ලිපියක් පොළොන්නරුවේ පැරණි නගර බලකොටුවේ උතුරු දොරටුවේ සුන්බුන් අතර තිබී හමුවී දැනට ඒ අසලම කෙලින් අතට සිටුවා ඇත. අන්තර්ගතයේ සුළු වෙනස්කම් කිහිපයක් හැර එවැනිම වූ  තවත් සෙල් ලිපියක් එහි නැගෙනහිර දොරටුව අසල තිබී හමුවී අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. උතුරු දොරටුව අසල ලිපියෙහිම තවත් පිටපතක් විය හැකි සෙල් ලිපියක කැබැල්ලක් නැගෙනහිර දොරටුව අසලින් හමුවී ඇත. හමුවූ නිශ්චිත තැනක් නොදන්නා එහෙත් පොළොන්නරුවෙන් බවට සඳහන් තවත් එවැනිම වූ සෙල්ලිපියක කොටසක්ද අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තිබේ.  බොහෝචිට එකල නගරයේ දොරටු හතර අසල පිහිටුවා තිබෙන්නට ඇති එම සෙල්ලිපි 4 එකම අරමුණක් වෙනුවෙන් එක් රජ කෙනෙකු විසින් කල බව පැහැදිලිය. හේ අන් කවරෙකුවත් නොව නිශ්ශංකමල්ල කාලිඟ ප්‍රාක්‍රමබාහු චක්‍රවර්තතින් වහන්සේ ලෙසින් සෙල්ලිපියේ හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාය. හෙතෙම "ලෝවැඩ, සසුන් වැඩ කොට දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරමින් පුලස්තිපුර නමැති කාලිඟරාජපුරයෙහි" එනම් පොළොන්නරුවෙහි වැඩවාසය කල බවද එහි සඳහන් වේ.

මා මෙම ලිපියෙහි ආරම්භයෙහි දැක්වූ පාඨය එම උතුරු දොරටුව අසල සෙල්ලිපියෙහි එන එක් කොටසකි. මෙම සෙල්ලිපිය කියවා ප්‍රකාශයට පත් කල Z. වික්‍රමසිංහ මහතා හෝ සිරිමල් රණවැල්ල මහතා සිය ලිපි වල සඳහන් නොකරන තවත් වැදගත් කරුණක් වන්නේ ඉහත පාඨයේ දැක්වෙන සත්ව රූප සහ සූර්යාගේ රූපය මෙම සෙල්ලිපියේ පසුපස කොටසේ ලිපියේ අවසානයට පහලින් කොටා ඇති බවය. ඒ අනුව පිලිවෙලින් හංස, සිංහ, අශ්ව (එනම් සෛන්ධව), ඇත්, නාග සහ සූර්ය රූප ඉහල රාමුවේද, කාක (එනම් කපුටු), කැණහිල්, කොටළු, වටු, ගැඩවිල් (එකල භාෂාවෙන් ගැඩහුලා), කණමැදිරි රූප පහල රාමුවේද දක්වා ඇත. (ඉහත පලමුවන රූපය බලන්න)
විදේශ සම්භවයක් සහිත පුද්ගලයෙකු වශයෙන් නිශ්ශංකමල්ල රජුට මෙරට රදල ප්‍රභූ පැලැන්තියෙන් කිසියම් තර්ජනයක් තිබූ බව පෙනේ. එහෙයිනි ඔහුගේ මෙම සෙල්ලිපි වලින් "ඔවුන් කෙතරම් බලවත් වුවද" ගොවි කුලේ ඇත්තන් රාජ්‍යයත්වයට පත් නොවිය යුතු බව පවසන්නේ. එවන් පුද්ගලයන් රාජ්‍යත්වයට පත්වීමට උත්සාහ දැරීම ඔහු සලකන්නේ කපුටා හංසයා වීමටත්, කොටළුවා සෛන්ධව වර්ගයේ අශ්වයන් වීමටත්, ගැඩවිලා නාග රාජයා වීමටත්, වටුවා හස්තීන් වීමටත්, කැණහිලා (එනම් හිවලා) සිංහයා වීමටත් උත්සාහ කරන්නක් මෙනි. තවද කණාමැදිරි එලිය සූර්ය එලියට සම කරන්නාක් මෙනි. එහෙයින් මහරජ තැන්පත්ව සිටිය පුද්ගලයා නැති වූ විට, යුව රජවසිටි පුද්ගලයන් හෝ, එසේත් නොමැති නම් රාජකුමාරවරුන් හෝ  ඔවුන්ද නැති අවස්තාවකදී බිසෝවරු හෝ රාජ්‍යය කල යුතුය. තවද බුදු සසුනට හිමි ලක්දිව රාජ්‍යයත්වය චෝළ, කෙරළ ආදී  රාජ පරපුරු වල ඇත්තන්ටද හිමි නොවේ. ඔවුන් හා එක්ව රාජ්‍යයත්වය උදුරා ගැනීමට කැරලි ගසන්නන්ද රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුය.

නිශ්ශංකමල්ල රජු පවසන කුල සාධකය අද දවසේ රාජ්‍ය පාලකයා තේරීමේදී එතරම් සැලකිය යුත්තක් නොවන්නේ එය මෙරට නූතන සමාජයේ එතරම් පිළිගැනීමකට ලක්වන්නක් නොවන බැවිනි. එය එකල තත්වයන් සමග සැලකීමේදී යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කෙතරම් මහෝපකාරීවීද යන්න එම යුගයන්හි සමාජ තත්වයන් සමග වෙනම සලකා බැලිය යුත්තකි. කෙසේ නමුත් වර්තමානයේ පවා මෙරට ඇතැම් ප්‍රදේශ වල දේශපාලන නායකයන් තේරීමේදී කුල සාධකය ප්‍රධාන සාධකයක් බව රහසක් නොවේ. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශ වල සහ බටහිර මුහුදු තීරයේ දිස්ත්‍රික්ක වල මැතිවරන අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී අවම වශයෙන් මෙරට ප්‍රධාන පක්ෂ දෙක මෙම සාධකය සැලකිල්ලට ගෙන ඒ ඒ කුල වල චන්දදායකයින්ගේ චන්ද ලබාගැනීම උදෙසා එම කුල වලින් අපේක්ෂකයන් සිය ලැයිස්තු වලට ඇතුලත් කිරීම සිදුකරයි. මෙරට ප්‍රධාන පක්ෂ දෙකේ (එනම් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ [මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ]) ඇතැම් පුද්ගලයන් සිය පක්ෂයෙන් ප්‍රධාන අනිත් පක්ෂයට ගියද සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සිදු කරන්නේ කෙසේදැයි ඇතමුන්ට ගැටළුවක් වුවද ඒ තුල සැඟව ඇත්තේ කුල සාධකය බව දන්නෝ දනිති. භීෂණ තත්වයක් යටතේ මෙරට චන්දදායකයින්ට මරුවා අතින් ගෙන චන්දය ප්‍රකාශ කරන්න සිදුවූ දූෂිතම මැතිවරණයකින් ජනාධිපති වූ "ගස් බඩගාන, ඔරු පදින, ඒදණ්ඩේ සර්කස් පෙන්නන බූරු පුතානෝගේ වන්දනීය පියානෝ" හැරෙන්ට 1948 න් පසු මෙරට පාලකයා වූ සියල්ලන්ම උසස්යැයි සම්මත එකම කුලයකට අයත් වීම කෙසේවීදැයි විමසා බැලීම වැදගත්ය. අනෙක් අතට මෙරට ප්‍රධාන දේශපාලන අධිකාරියට එරෙහිව දෙපාරක්ම ආයුධ සන්නද්ධ අරගලයක නියැලුන ජනතා විමුක්ති පෙරමුණේ (වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ වහල් පක්ෂයක් බවට පත්වී ඇති "රතු අලි පැටියාගේ රෝස පාට ජවිපෙය" නොව රෝහණ විජේවීරයන්ගෙන් පටන් ගෙන සෝමවංශ අමරසිංහයන්ගෙන් අවසන් වූ පැරණි රතු පාට ජවිපෙ) ඉහල නායකත්වය මෙන්ම ක්‍රියාකාරිකයන්ගෙන් බහුතරය එම ප්‍රදේශයන්හි පීඩිත කුල වලට අයත් වීම පිළිබඳව වික්ටර් අයිවන්* සහ ධර්මන් වික්‍රමරත්න* ආදීන් සිය ග්‍රන්ථ වල විග්‍රහ කර ඇත.
උතුරු දොරටුව, සෙල්ලිපිය පින්තූරයේ  වම් පසින් දැකිය හැක
ඒ කෙසේ වුවත් මෙරට පාලකයා තේරීමේදී ඔහු සිංහල බෞද්ධ පසුබිමක් සහිත නායකයෙක් වීම නිශ්ශංකමල්ල යුගයේ මෙන්ම අදද වැදගත් වන්නේ එවන් පාලකයෙක් සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව වෙනත් ආගම් අදහන පුද්ගලයන්ගේද අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන බැවිනි (සසදන්න "මොහොමඩ් මහින්ද" ලෙසින්ද ඇතැමුන් හැඳින්වූ 2015 ට පෙර පැවැති රාජපක්ෂ පාලනය සහ පරම්පරාවෙන්  ඇංග්ලිකන් භක්තිකයෙකු වුවත් බෞද්ධ සළු පොරවාගත් වර්තමාන "ආසියාවේ විශිෂ්ඨ මොලයානන්ගේ" කූජීත පාලන සමය) අනෙක් අතට 2015 හංසයෙක් කියා කාකයෙක් ගෙනා මෙරට ඇතැම් චන්දදායකයන් මේ වන විට නාග රාජයෙක් කියා ගැඩවිලෙක්ද, තවත් ඇතමුන් ඇත් රජෙක් කියා "ඒදණ්ඩේ බඩගාන වටුවෙක්ද", තවත් සමහරු සෛන්ධව වර්ගයේ අශ්වයෙක් යැයි සිතාගෙන කොටම කොට කොටළුවෙක්ද (පුංචි අම්මපා!!) 2020 රටේ පාලකයා කිරීමට කර තියාගෙන ඇති තත්වයක් යටතේ 2015 වැරැද්ද නැවතත් සිදුකර නොගැනිමට  බුද්ධිමත් දේශප්‍රේමි ජනතාව කලයුත්තේ කුමක්දැයි ඔවුන්ට අමුතුවෙන් කියාදිය යුතු නොවේ. කැණහිලුන් පැරදවීමට සිංහ සම්ප්‍රාත්තිය දැනටත් සිදුවී ඇත. නමුත් අවාසනාව මෙරට බහුතරය චන්දය ප්‍රකාශ කිරීමේදී එසේ බුද්ධිමත්ව කරුණු කාරනා සලකා තීරණ ගැනීමේ හැකියාවෙන් තොර රැල්ලට ගසන් යන පරඬලා වීමය. ඔවුන් අවශ්‍ය දිශාවට තල්ලු වන රැල්ල සැදීම මෙරට ජාතිකත්වයේ අපේක්ෂකයා වටා සිටින පිරිසද සැලකිල්ලට ගැනීම වැදගත්වන්නේ ඒ නිසාය.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007

සටනින් සටන, ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයේ  දෙවැනි කාණ්ඩය, ධර්මන් වික්‍රමරත්න,2019 
ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම, වික්ටර් අයිවන්, 1993
* දේශපාලනයේ පවුල සහ කුලය, වික්ටර් අයිවන්, 2015

Sunday, September 8, 2019

අරාජික සමයේදී දළදා රැකි දෙමළ වේළෛක්කාර කුලී හේවායන්

පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන තරමක් උස් බිමක පිහිටි පූජනිය ගොඩනැගිලි කිහිපයකින්ම සමන්විත මළුවේ දැනට අටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල අසලින් 1903 වසරේදී H.C.P. බෙල්ට හමුවූ දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර භාවිතා කර දෙමළ භාෂාවෙන් රචිත පුවරු ලිපිය මෙරට හමුවන සෙල් ලිපි අතරින් එක් සුවිශේෂ සෙල් ලිපියක් ලෙස සැලකේ.

වේළෛක්කාර සෙල්ලිපිය ලෙසින් හැඳින්වෙන එම සෙල් ලිපිය පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) රජුගේ යුගය සහ ඉන්පසු යුගයේ සමාජ දේශපාලන තත්වයන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙලිකරනවා පමණක් නොව ඒ සම්බන්ධව මහාවංශය ප්‍රධාන අනෙකුත් මූලාශ්‍ර වල දක්වා ඇති කරුණුද තහවුරු කරයි.

ලිපියේ මුල් කොටසේ අන්තර්ගතයෙන් හෙලිවන කරුණු මෙසේ පෙලගැස්විය හැක.

  • සශ්‍රීක ලංකා ද්වීපයේ සූර්ය වංශික ශ්‍රී සංඝබෝධි වර්මන් හෙවත් ශ්‍රී විජයබාහු දේවාර් රජු බෞද්ධ සංඝයාගේ ආරාධනයෙන් නොයෙක් පරසතුරන් මැඩ අනුරාධපුර නගරයට ඇතුළු වූ බව සහ බෞද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා උතුම් ඔටුනු පළඳා අරමණ දේශයෙන් (බර්මා හෙවත් වර්තමාන මියන්මාරය) බෞද්ධ භික්ෂූන් වැඩමවා තුන් නිකාය පිරිසිදු කල බව.
  • රජු තෙවරක්ම ඔහුගේ බරට සමාන කාසි තුන් නිකාය උදෙසා වැය කර, ලංකාව එක්සේසත් කරමින් පුරා 55 වසරක් දශ රාජ ධර්මයෙන් රාජ්‍යය විචාරමින් උපන් දින 73 සැමරූ බව ( එනම් ඔහු අවුරුදු 73 ආයු වලඳා 55 වසරක් මෙරට එකම ධජයක් යටතේ පාලනය කල බව.)
  • රජු නුවරකල් දේව සෙනෙවිරත්තාර් ලවා විජයරාජපුරම් හෙවත් පුලනාරි (වර්තමාන පොළොන්නරුව එකල හැඳින්වූ නම්) හි මහා දළදා මාළිගයක් තනවා එහි පෙර අභයගිරි මහා විහාරයේ උත්තොරුල-මූල ප්‍රධාන විහාරයේ තිබූ දළදා  සහ පාත්‍ර ධාතූන් වඩම්මවා තැන්පත් කල බව.
  • එම විහාරයේ ප්‍රථම අභිෂේකය සිදු කරන බව සහ එහි ගන්ධ කුටියේ බුදුන් වහන්සේගේ සුවිශාල සෙල්මුවා පිළිමය තිබූ බව. වාර්ෂිකව එම පිළිමයේ නේත්‍රා මංගල්‍යය සිදු කර ඇත.

සෙල්ලිපියේ ඉහත ඉදිරිපත් වන තොරතුරු  පළමුවන විජයබාහු රජු සම්බන්ධයෙන් මහාවංශයේද ඒ ආකාරයෙන්ම විස්තර වන මුත් දළදා මාළිගය තැනූ අමාත්‍යවරයාගේ නම එහි හමු නොවේ.

පළමුවන විජයබාහු සම්බන්ධ එම විස්තරයෙන් අනතුරුව සෙල්ලිපිය පිහිටුවීමේ අරමුණ විස්තර වේ. එහි සඳහන් වන්නේ උතුරුල මූල රාජගුරු මුගලන් මහතෙර රාජමාත්‍යාදීන් සමග වේළෛක්කාර ප්‍රජාවට ඉහත සඳහන් දළදා මාලිගාවේ සියලු භාරකාරත්වයන් පවරා දුන් බවයි.
අනතුරුව ඔවුන් එම දළදා මැදුර කීර්තිමත් වේළෛක්කාර තුන් පේරුවට අයත් මහා  දළදා විහාරය ලෙසින් නම් කර එය ඔවුන්ගේම පුණ්‍යායතනයක් ලෙස සලකා එහි නඩත්තු කටයුතු උදෙසා ගම්වර සහ ආරක්ෂකයන් පත් කර එම ගිවිසුම කඩ කරන ඕනෑම කටයුත්තක් වේළෛක්කාරවරුන්ට සහ මහාතන්ත්‍රයටත් (ශෛව ආගමික නිකායක් ලෙස හඳුනාගෙන ඇත.)බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටත් එරෙහි අපරාධයක් ලෙසින් සලකා කටයුතු කල බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

මෙරට ඉතිහාසයේ මහා විජයබාහු යන නමින් හැඳින්වෙන රජු පිළිබඳව සඳහන් වන්නේ ඔහු 77 වසරක සොලී පාලනයෙන් සිංහල දේශය මුදාගත් විරුවා ලෙසිනි. ඔහුගේ පාලන කාලයෙන් වසර 20 - 30 පමණ කාලයකට පසුව පිහිටවූ ලෙසින් අනුමාණ කරන මෙම සෙල්ලිපියේ සඳහන් ලෙසින් සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් දළදා සහ බුදුන්ගේ පාත්‍ර ධාතුව තැන්පත් කර ඇති විහාරයේ සියලු භාරකාරත්වයන් දෙමළ කුලී හේවායන් වන වේළෛක්කාරවරුන් හට බෞද්ධ නායක මහතෙරුන්වහන්සේ කෙනෙකු විසින්ම පවරා දීමට හේතු වූ තත්වයන් මොනවාදැයි මෙහිදී විමසා බැලීම වැදගත් වේ.
දැනට අටදාගෙය ලෙසින් හඳුන්වන වේළෛක්කාර සෙල්ලිපිය අසල පිහිටි මෙම ගොඩනැගිල්ල ලිපියේ විස්තර වන විජයබාහු රජු විසින් ඉදිකල දළදා මාළිගය ලෙසින් අනුමාණ කෙරේ. රූපයේ වම් පසින් සෙල්ලිපිය දැකගත හැක.

වේළෛක්කාරවරු 
සිය ජීවිතය පවා පරදුවට තබා රජුගේ ජීවිතය රකින බවට දිව්රා පොරොන්දු වී රජුට සේවය කරන දකුණු ඉන්දීය ද්‍රවිඩ කුලී හේවායන්ගෙන් සමන්විත වේළෛක්කාරවරු සිය ආරක්ෂාව උදෙසා මෙරට ඉතිහාසයේ මුලින්ම යොදාගත් රජු ලෙස සඳහන් වනුයේ පළමු විජයබාහු රජුය. ඔහු ඇතැම් විට ඔහුට පෙර සිටි සොලීන් මෙහිදී අනුගමනය කලා විය හැක. මෙරට තුල දේශපාලන බල අරගල වලදී විශේෂයෙන් මාළිගා කුමන්ත්‍රන අවස්ථාවන්හීදී විදේශිකයන් බැවින්  ඔවුන් රජුට අවනතව කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය එයට හේතු වූවා විය හැක. නමුත් විජයබාහු රජුටම ඔවුන් පාරාවලල්ලක් වූ සිද්ධියක් මහාවංශයේ විස්තර වේ. වරක් චෝල දේශය සමග සටන් වැදීම උදෙසා රජු සේනා සංවිධානය කරමින් සිටියදී ඒ සඳහා තමන්ටද සහභාගි වීමට සිදුවීම සම්බන්ධයෙන් උරණ වූ වේළෛක්කාරවරු රජුට එරෙහිව කැරලි ගැසූහ (වේළෛක්කාරවරුන්ගෙන් බහුතරය චෝළ දේශවාසීන් වන්නට ඇති බව මෙයින් පෙනේ.) ඔවුන් රජුගේ සෙන්පතිවරු දෙදෙනෙකුද මරා රජුගේ බාල නැගණිය සහ ඇයගේ පුතුන් තිදෙනාද ප්‍රාණ ඇපයට ගත් අතර ජීවිතය බේරාගැනීම උදෙසා රජුටද වාකිරිගලට පලා යෑමට සිදුවිය. වේළෛක්කාරවරු රජ මාළිගයද ගිනි තබා පොලොන්නරුව නගරයද කොල්ලකෑවේය. සිය යුවරජු වන වීරබාහු සමග එක්වී දරුණු සටන් කර රජුට වේළෛක්කාරවරු පැරදවීමට හැකි වූ අතර මරණු ලැබූ සෙන්පතියන්ගේ ඇටසැකිලි තැන්පත් කල චිතකය අසල වේළෛක්කාර සෙන්පතියන් බැඳ දමා හාත්පසින් ගිනි අවුලවා ඔවුන් දැව්වේය. එහෙත් විජයබාහු රජුගෙන් පසුද සියවසක් පමණ කාලයක් වේළෛක්කාරවරු කුලී හමුදා ලෙසින් සිංහල රජවරු යොදාගත් බවට තොරතුරු ඇත. නමුදු දෙවන ගජබාහු (ක්‍රි.ව. 1132 - 1153) සහ පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186) රජවරුන්ටද වේළෛක්කාරවරුන් ද්‍රෝහි වූ අවස්තා තිබූ බවට වංශ කතා තොරතුරු ඇත.

අටදාගෙය තුල ශෛලමය බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම තිබූ බවට
සාධක ඇති මුත් ප්‍රමාණයෙන් විශාල මෙම හිටි පිළිමය ඉහත
සෙල්ලිපියේ විස්තර වන පිළිමය විය හැක.
මෙවන් තත්වයක් යටතේ මහා විජයබාහු රජුගෙන් පසු අවධියේදී එවන් වූ වේළෛක්කාරවරුන් යටතට රාජ්‍යයයේ උරුමයටද වැදගත් වන දළදා,පාදා පිහිටි විහාරය පවරා දීමට හේතු වූවේ මන්ද යන්න පිළිබඳව විමසීමේදී විජයබාහු රජුගෙන් පසුව මෙරට දේශපාලන තත්වය පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. මෙයට පෙර ලිපියකින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත්කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු නොවේ. ඒ සම්බන්ධ පෙර ලිපිය කියවීමට Link >>

ලිපියේ සඳහන් වන මුගලන් හෙවත් මොග්ගල්ලාන තෙරුන් හඳුනාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන මෙම ලිපිය H.C.P. බෙල්ට පසුව දෙවෙනිවර කියවා පරිවර්තනය කරන Z. වික්‍රමසිංහ මහතා ඒ හිමියන් පළමු විජයබාහු යුගයේ සාමනේර නමක්ව සිට පළමුවන පරාක්‍රමබාහු යුගයේ ශාසන පුනර්ජීවන කටයුතු දක්වාම සිටි මොග්ගල්ලාන ව්‍යාකරණ ග්‍රන්ථය කරවූ හිමියන් ලෙස හඳුනාගනී. ඉහත සෙල්ලිපියේ ඒ හිමියන් ව්‍යාකරණ සම්බන්ධ විශේෂ දැනුමක් තිබූ අයෙක් ලෙසද හඳුන්වා තිබීම එම හඳුනාගැනීම නිවැරදි බවට තවදුරටත් තහවුරු කරයි. එසේම වික්‍රමසිංහ මහතා මෙම ලිපිය පිහිටවූ කාලය ක්‍රි.ව 1137 ත් 1153 ත් අතර කාලය විය හැකි බවට අනුමාණ කරයි . ඒ වූ කලී බුද්ධ ශාසනය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වූ සහ ඇතැම් අවස්තා වලදී එයට විරුද්ධව කටයුතු කල පළමුවන වික්‍රමබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1116 - 1137  පරණවිතාන මතය - ක්‍රි.ව. 1111 - 1132) අවසන් කාලය හෝ අනතුරුව පොළොන්නරුවේ බලයට පත්වූ එවැනිම වූ දෙවන ගජබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1137 - 1153  පරණවිතාන මතය - ක්‍රි.ව. 1132 - 1153) මුල් කාලය වේ. (විවිධ හේතූන් නිසා බුද්ධ ශාසනය කෙරෙහි වෛරයෙන් කටයුතු කල පාලකයන් මෙකල මෙන්ම පෙර කාලයේත් සිට ඇත. පන්සලේ පිං කැටයේ එකතු වන මුදල් පවා කොල්ලකා, සංඝයා වහන්සේ 50 නමකට වඩා විවිධ හේතු මත දඟ ගෙහි ලා, අන්‍යාගමිකයන්ට රිසිසේ විහාර ඉඩකඩම් කොල්ලකෑමට සහ විනාශ කිරීමට අවස්තාව සලසා දී,ගොංජා වැනි තම හෙන්චයියන් ලවා ගරුතර සංඝරත්නයට අපහාස සිදුකර අවසානයේ කැළණි පන්සලේ ප්‍රධාන දායක කමින්ද දොට්ට දැමූ ගෙදර යාමට නියමිත බටලන්දේ අගනැති පිංගුත්තරයා සිහි කරන්න.)

එවන් අරාජික සමයන්හීදී දකුණු ඉන්දීය දෙමළ කුලී හේවායන් මෙරට පාලකයන්ට වඩා මුගලන්  තෙරුන් වැනි භික්ෂූන්ට බෞද්ධයාගේ උතුම් වෙහෙර විහාර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශ්වාසී වූවා විය හැක. ඉහත සෙල්ලිපියේ සඳහන් වන පරිදි වේළෛක්කාරවරුන්, මුගලන්  හිමියන් සහ අමාත්‍යවරුන් ( එම අමාත්‍යවරුන් අනිවාර්යයෙන්ම පැවතී රජයේ අමාත්‍යවරුන් විය යුතු බවට ලිපියේ වචන වලින් ගම්‍ය නොවේ.) සමග ඇතිකරගත් ගිවිසුම තඹ සන්නසක මෙන්ම සෙල්ලිපියකද කොටවා ඉර හඳ පවතිනතුරාවට පවතින ලෙසට පිහිටවූ බව පැවසේ.
කෙසේ නමුත් මහාවංශයේ සඳහන් වන්නේ පළමුවන වික්‍රමබාහු රජුගේ කාලයේදීම රජු බුද්ධාදී තෙරුවන් සතු අයගම් පැහැරගෙන සේවකයන්ට දුන් හෙයින්ද, පොළොන්නරුවේ ධාතූන්ගෙන් අලංකාර වූ නොයෙක් විහාර විදේශික භටයන්ට වාසය සඳහා දුන් හෙයින්ද (මෙම මහාවංශ පාඨයෙන් දළදාව තැන්පත් කර තිබූ විහාරය මුගලන් තෙරුන් සහ අමාත්‍යයන් විසින් ප්‍රස්තුත සෙල්ලිපියේ ලෙසින් වේළෛක්කාර භටයන්ට පැවරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ ආරක්ෂාව වෙනුවට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වීද යන්න සම්බන්ධව යම් ඉඟියක් ලෙස ගත නොහැකිද යන්න මෙහිදි විමසා බැලිය යුතුය.), සැදැහැවතුන් පාත්‍රධාතුවට සහ දළදාවට පූජා කල මිණි මුතු, රන් ප්‍රතිමා ආදිය පැහැරගෙන විනාශ කල හෙයින්ද ඔහු කෙරෙහි කළකිරුණු අෂ්ටමූල විහාරවාසී භික්ෂූන් වහන්සේලා සහ පාංසුකූලික භික්ෂූන් වහන්සේලා එක්ව උතුම් දළදාව සහ පාත්‍ර ධාතුව ගෙන රුහුණට පලා ගොස් වාසය කල බවයි. ඒ අනුව මෙම සෙල් ලිපිය එම සිදුවීම් වලට පොරොතුව වික්‍රමබාහු රජුගේ කාලයේදීම පිහිටුවන්නට ඇති බවත්, ඉන් අනතුරු කාලයේදී එම ධාතූන් වහන්සේලාද රැගෙන භික්ෂූන්ගේ රුහුණට පලා යාම සිදුවන්නට ඇති බවත් සිතිය හැක.

මූලාශ්‍ර

  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1903
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1911 -1912

Sunday, September 1, 2019

මහා අපරාධකරුවන්ට අභයදානය දුන් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය

1900 වසරේ මින්නේරියේ සිට පොළොන්නරුව දක්වා මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී, එවකට තෝපාවැව ලෙස හැඳින්වූ පරාක්‍රම සමුද්‍රයේ උතුරු කෙලවර අසල තිබූ හින්දු දේවාල කිහිපයක නටබුන් මතුවිය. එම ස්ථානයේ 1901 වසරේ සැප්තැම්බර් මස කැනීම් කටයුතු සිදුකල පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතා හට වෙනත් බොහෝ සොයාගැනීම් වලට අමතරව අසල වූ ගල් පර්වතයක් මත එහි බටහිර කොටසේ ගලෙහි මතු කල පඩිපෙලක් අසල වූ සෙල් ලිපියක්ද හමුවිය. තවද පඩිපෙල ඔස්සේ ඉහලට නැගුන විට දිගැටි හැඩයෙන් පර්වතය මතු පිට ඉදිකර තිබූ ගොඩනැගිල්ලක නොහොත් මණ්ඩපයක නටබුන්ද දැකගත හැකිවිය.
බටහිර දිශාවෙන් ගලෙහි කොටා ඇති පඩි 25 කින් යුත් පඩිපෙල
ශ්‍රී පරාක්‍රාන්තිබාහුශශ්‍රීමාන්නිශ්ශංකමල්ල ලෙසින් ලිපියේ ආරම්භයේ එන සංස්කෘත ස්ලෝකයේද, සිරිසඟබො නිශ්ශංකමල්ල කාලිඟ පරාක්‍රමබාහු චක්‍රවර්තතීන් වහන්සේ ලෙසින් ඉන්පසු සිංහල භාෂාවෙන් එන කොටසේද හඳුන් වන ලිපිය කරවූ රජු හඳුනාගැනීම අපහසු නොවේ. හේ අන් කිසිවෙකු නොව වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් රටේ සැම දිශාවකම පාහේ පිහිටවූ, පොළොන්නරු යුගයේ රාජ්‍යය විචාල  නිශ්ශංකමල්ල රජතුමාය.
සෙල් ලිපිය 
නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපි වල සුලභව හමුවන අතිශයෝක්තියෙන් යුත් ආත්ම වර්ණනාවන් වලට අමතරව මෙම ලිපියේ අඩංගු වන වැදගත් තොරතුරු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කර දැක්විය හැක.
  • හෙතෙම ශ්‍රී ජයගොප මහාරාජයන් වහන්සේ නිසා පාර්වතී මහ දේවියගේ කුසින් පුලස්තිපුර නම් වූ කාලිඟපුරයෙහි උපන් බව.
  • ඔහු මෙරට රාජ්‍යයත්වයට පත්වූ පසු පෙර කල ලංකාවාසීන්ගෙන් අය කල අසාධාරන බදු පස් වසරකට අත් හිටුවා ඉඩකඩම්, වහලුන්, වස්ත්‍රාභරණ, හරකාබාන වැනි නොයෙක් වස්තුව ජනයාට ලබා දුන් බව සහ සොරුන්ගේ සොරකම් නැවැත්වීම පිණිස ඔවුන්ටද වස්තු, ගම් බිම් ඇති තරමින් ලබා දී සොරකම් නැවතූ බව.
  • සූර්ය වංශයේ උපන් කාලිඟ සුභද්‍රා මහදේවීන් රජුගේ අගමෙහෙසිය බව, ගංගා වංශයේ උපන් කල්යාණ මහදේවී නම් තවත් දේවියක ඔහුට සිටි බව සහ යුව රජ තැන්පත් වීරබාහු ඔවුන්ගේ පුතණුවන් බවත්, වාර්ෂිකව රජුගේ සහ ඔවුන් තිදෙනාගේ බරට සමාන බරින් යුත් නවරත්න තෑගි ලෙසින් ජනයාට ලබා දී දුප්පත්කම නැති කල බව.
වම් පස රූපය - ප්‍රීති දානක මණ්ඩපයේ බටහිර පැත්තේ වූ ගඩොල් බිත්තියක කොටස් සහ එම ගඩොල් බිත්තියේ පාදම උදෙසා ගල මතු පිට හාරා ඇති කාණුව. දකුණු පස රූපය - ලී කණු සිටුවීම උදෙසා ගලෙහි තනා ඇති කණු කුහර
  • රජු ලක්විජයසිඟු සෙනෙවි තාවුරුනාවන් ලවා රතනගිරි නම් වූ වටදාගෙයක් කරවා, ගම් බිම් වෙහෙරවැස්සන් (Monastic staff) ආදිය එයට පිරිනැමූ බව සහ උපකාරචෛත්‍යයරතනචෛත්‍යය ආදී මහසෑ තුන් රජයෙහි කරවූ බව. තවද ඔහු අනුරාධපුරයේද දාගැබක් කරවූ බව.
  • ඔහු දඹුලු ලෙණෙහි රත්‍රන් ආලේපිත වැදහොත් (Recumbent), හුන් (Sitting) සහ සිටි (Standing) පිළිම 73 කරවා. එහිම දාගැබක් සහ වෙහෙරක් කල බව.
සෙල් ලිපියේ කොටසක්
  • මැඬිලිගිරි, වෙලගම්වෙහෙර, මහගම, දෙවුනුවර, කැලැණි ආදීවූ ප්‍රසිද්ද විහාර වලට ගොස් මහා පූජා කල බව.
  • අනුරාධපුර, ශ්‍රීපුර, ශ්‍රීවාසපුර, නිශ්ශංකපුර, කාලිඟවිජයපුර, මහපුටුප, ශොනය, කාලිඟය, රාමෙශ්වරය යනාදී නොයෙක් මෙරට සහ විදේශ නගර වල දාන ශාලා ඉදිකර දන් දුන් බව. එසේම ඔහු වැඩවාසය කල පුලස්තිපුර නම් කාලිඟපුරයෙහි  ත්‍රිභුවනසත්‍රය, නිශ්ශංකසත්‍රයබ්‍රාහ්මණසත්‍රය, බෞද්ධසත්‍රය, බහුජනසත්‍රය යනාදී නොයෙක් දාන ශාලා කරවූ බව.
දාන ශාලාව ලෙසින් වැරදියට නම් කර ඇති ප්‍රීති දානක මණ්ඩපය
ලිපියේ අවසානයේ එම ස්ථානයේ ඉදිකල මණ්ඩපය පිළිබඳව සඳහන් වේ. එහි දැක්වෙන්නේ "..සියළු දානයට උත්තමවූ ධර්ම (දානය ) පවත්වන්නට ප්‍රීතිදානක මණ්ඩපයක් කරවූ බවය. තවද මහා අපරාධ කල පුද්ගලයන් මෙම මණ්ඩපයට වන් කල අභය දිය යුතු බවට (එනම් මහා අපරාධ කර වුවද මෙම මණ්ඩපයට පැමිණියහොත් ඔවුන් දඩුවමින් මිදවිය යුතු බව) නියම කර එම සෙල්ලිපිය පිහිටවූ බව එහි අවසානයේ සඳහන් වේ. 
 ප්‍රීති දානක මණ්ඩපය
අනුරාධපුර, පොළොන්නරුව වැනි පැරණි අගනුවරවල් වල හමුවන ඇතැම් නටබුන් ගොඩනැගිලි ඉදිකල කාලය, අරමුණ සහ ඉදිකල රජු පිළිබඳව නිශ්චිත තොරතුරු හමු නොවන මුත් මෙම ප්‍රීතිදානක මණ්ඩපය පිළිබඳව තත්වය එසේ නොවේ. නමුත් මෙම ස්ථානය හැඳින්වීම උදෙසා තබා ඇති පුවරුවේ එය හැඳින්වෙන්නේ 'දාන ශාලාව' ලෙසිනි. (ඉංග්‍රීසි භාෂාවෙන් 'Refectory'). මෙවන් ස්ථාන නඩත්තුව උදෙසා නරඹන්නන්ගෙන් මුදල් අයකර නඩත්තු වන  මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බිලියන ගණනක් සිය පුද්ගල ප්‍රතිරූපය නඩත්තුව උදෙසා පිල්ලි ගැසූ, ඇස් ගිලිණු, රෑට නින්ද නොයන, ඔහුට අයත් මන්දිර වල ඔහු නැතිව ආර්යාව පමණක් වාසය කරන, වෙව්ලන්නේ නැති ලෙස ඒදණ්ඩකින් වුවද එතෙර විය හැකි,  දිවයින පුරා නිධන් භාර බහිරවයන් සමග නිබඳව ඔට්ටු වන, ඔහු බලයට ආවිට ලෝකයේ ණය දෙන රටවල් සියල්ල මෙරටට කැඳවා ණය ගෙන ඒවා දුප්පතුන්ට බෙදා දී (නිශ්ශංකමල්ල කල ලෙසින්ම) දුප්පත්කම නැති කරන බව කියන  2020 සිහින ජනාධිපති අපේක්ෂකතුමෙකුට අයත් අමාත්‍යාංශයකින් මේ කුණු වී ඕජස් ගලන 62 ලක්ෂයක් වූ ගව මහීෂාදීන් වසර 5 කට  පෙර ගෙන ආ ජඩපාලනයේ  හංස ගීතය ගැයෙන අවදියේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1901
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1902