Friday, May 3, 2019

ඇත්වෙහෙර කන්ද පාමුල හදයුණ්හ පිරිවෙන - කළුදිය පොකුණ ආරාම සංකීර්ණය

චේතිය පබ්බත විහාරය, සෑගිරිය නැතහොත් වර්තමාන ව්‍යවහාරය අනුව මිහින්තලය වනාහි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අඩිතාලම දැමූ මුල් බිම බවට අවිවාදිතය. රජරට තැනිතලා භූමියේ අතරින් පතර ඉහලට මතුවී දිස්වන කුඩා කඳු වැටි අතරින් අනුරාධපුර පැරණි අගනගරයට නැගෙනහිර දෙසින් පිහිටි එවන් එක් ශේෂ කඳු වැටියක් ආශ්‍රය කරගනිමින්, බෞද්ධ ධර්මය මෙරටට හඳුන්වා දුන් මුල් යුගයේ සිට සියවස් කිහිපයක් පුරා ඉදිවූ විහාර ආරාම වල නටබුන් මෙම ප්‍රදේශය පුරා පැතිර ඇත.

මිහින්තලයේ ප්‍රකට නටබුන් හමුවන අම්බස්ථල කන්ද, ඇත් වෙහෙර කන්ද, කණ්ටක සෑය පිහිටි කන්ද ආදියට නුදුරින් ඇත් පැටියා කන්ද (ආනෛයිකුට්ටි කන්ද) ආශ්‍රිතව විශාල පොකුණක් වටා ඉදිවූ ආරාම සංකීර්ණයක නටබුන් මේ වන විට කළුදිය පොකුණ ආරාම සංකීර්ණය ලෙසින් හඳුන්වයි.
පිවිසුම් ද්වාරය
මහනුවර - යාපනය මාර්ගයට නුදුරින් පිහිටි මෙම ස්ථානයට ඇතුළු වීමේදීම දැක ගත හැක්කේ නැගෙනහිර දෙසට සහ දකුණු දෙසට යොමුවූ දොරටු දෙකක් සහිත ආරාමයට පිවිසීමට තිබූ පැරණි පිවිසුම් ද්වාරයේ නටබුන්ය. ඒ අසලම උතුරු දෙසින් කැට ගලින් නිර්මිත මාලකයක් මත උස් බිමේ පිහිටි දැනට සංරක්ෂණය කර ඇති  ස්තූපයක් දැකිය හැකි අතර, එයට නුදුරින් තවත් කිසියම් පැරණි ගොඩනැගිල්ලක ශේෂ වූ ගල් කණු දැකිය හැක. මෙම ගොඩනැගිල්ලේ සිදු කල කැනීමකදී පොළොන්නරු යුගයට අයත් රන් කාසි 3 ක් හමූ වූ බව පැවසේ. මේ අසලම ශෛලමය කැටයම් සහිත කුළුණු හිස් දෙකක්ද දැකිය හැක.
ස්තූපය
කඳු වලින් වටවූ බේසමක් වැනි වූ ප්‍රදේශයක ඇතැම් විට ස්වභාවිකව තිබූ ජලය රඳන පහත් බිමක් පොකුණක් බවට පත් කර ඒ වටා මෙම ආරාම සංකීර්ණය ඉදි කර ඇති බව පෙනේ. එම පොකුණේ ඇත් වෙහෙර කන්ද පාමුල දෙසින් එයට පිවිසීමට පාලමක්ද සහිතව කිසියම් ගොඩනැගිල්ලක් පොකුණ තුල වූ දූපතක් වැනි මළුවක ඉදිකර ඇති අතර එය උපෝසථඝරයක් හෙවත් සීමා මාලකයක් ලෙස අනුමාණ කරයි. එකක් මත එකක් ලෙස පිහිටි කළු ගලින් නිර්මිත වේදිකා දෙකක් දැනට එහි දැකිය හැක.
උපෝසථඝරය ?
බෞද්ධ ධර්මය මෙරටට හඳුන්වාදීමත් සමගම සංඝයා වහන්සේට වාසය කිරීම උදෙසා කටාරම් කෙටූ ගල් ගුහා විවිධ පුද්ගලයන් විසින් පිරිනැමූ බවට මෙරට බොහෝ ප්‍රදේශ වලින් හමුවන බ්‍රාහ්මි අක්ෂර වලින් ඒ බව සටහන් කර ශිලා ලේඛන පිහිටවූ ලෙන් දහස් ගනනක් ජීවමාන සාක්ෂ්‍ය ලෙස පවතී. දැනට එවන් බොහෝ ලෙන් වල ඉදිරිපස විවෘතව පවතින මුත් ඇතැම් ස්ථාන වල වරිච්චි බිත්ති වලින් ආවරණය කර තිබූ බවටද සාධක හමුවේ. නමුත් එම ඇතැම් බිත්ති මෑත යුගයට අයත් බවටද හඳුනාගත හැක. කෙසේ නමුත් අවම වශයෙන් දිවයිනේ එකිනෙකට දුරස්ව පිහිටි ස්ථාන තුනකින් හමුවන ගල් ගුහා කිහිපයක ඒවායේ ඉදිරිපස කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු දක්නට ඇත. අරන්කැලේ සහ රජගල හැරුණ විට ඒ සඳහා විශ්ෂ්ට උදාහරණයක් මෙම කළු දිය පොකුණ පරිශ්‍රයෙන්ද හමුවේ.
කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු සහිත ගල් ලෙන
මේම ගල් ගුහාව ඉදිරිපසින් තවත් ගොඩනැගිලි තුනක ගල් කණු, මුරගල්, කොරවක් ගල්, සඳකඩපහණ ආදිය දැකිය හැක. මෙම ගල් ගුහාවට ඉහලින් එක්තරා විශේෂ ලක්ෂණ කිහිපයක් සහිත ගොඩනැගිල්ලක් දක්නට ලැබෙන අතර එය ඉහත ගල් ගුහාවේ වහලය වූ පර්වතය ආශ්‍රය කරගනිමින් ඉදිකර ඇත. මෙහි එක් පසක මධ්‍ය කාලයට අයත් ගෙවීගිය සෙල්ලිපියක් ඇති අතර, ඒ අසලම ගලේ හික්ෂූන්වහන්සේ දන් වැලඳීමට යොදාගන්නා පාත්‍රාවන්ගේ යටි කොටස හා සමාන කුහර හතරක් දැකිය හැක. ඒවා දන් වැලදීමෙන් පසු පාත්‍රා වියලා තැබීම සඳහා උපයෝගී කරගත් ලෙස අනුමාණ කරන මුත් එය ඔප්පු කිරීම සඳහා වෙනත් කිසිදු සාධකයක් හමු නොවේ.
 ගල් ගුහාව ඉදිරිපසින් පිහිටි නටබුන් ගොඩනැගිලි 
පධානඝර හෙවත් පියන්ගල් යනුවෙන් හැඳින්වෙන පැරණි ආරාමික ගොඩනැගිලි විශේෂය පිළිබඳව මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කළෙමු Link >>. රිටිගල, අරන්කැලේ, මානාකන්ද, අනුරාධපුර බටහිරාරාම, නුවරගල් කන්ද ආදී ස්ථාන වල ආරාම සංකීර්ණ ප්‍රධාන වශයෙන එවන් පධානඝර ගොඩනැගිලි වලින් නිර්මිතව ඇත. එහෙත් වෙනත් ආරාමික නටබුන් අතර පධානඝර එකක් හෝ කිහිපයක් හමුවන ස්ථානද මෙරට තුල දැකිය හැක. තන්තිරිමලේ, අභරගිරි විහාර පරිශ්‍රයේ හමුවන පධානඝරය වැනි එවන් තනි පධානඝරයක් මෙම කළුදිය පොකුණ ආරාමික පරිශ්‍රයේද දැකිය හැක. ඉහත විස්තර වූ සියළුම ගොඩනැගිලි වලට වඩා ඉහලින් වූ මාලකයක පිහිටි එම පධානඝරය අසල වැසිකිලි ගලක් සහ කැසිකිලි ගලක් දැකිය හැකි මුත් වෙනත් පධානඝර ගොඩනැගිලි ආශ්‍රිතව හමුවන වැසිකිලි/කැසිකිලි  ගල් වල මෙන් විචිත්‍ර කැටයම් ඒවායෙහි දැකිය නොහැක.
විශේෂ ලක්ෂණ සහිත ගොඩනැගිල්ල
සිව්වන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 898 - 914)  ඉලංගසේන නමැති සෙන්පතියා චේතිය පබ්බතයේ හදයුණ්හ නමැති පිරිවෙන කරවා ධම්මරුචික භික්ෂූන්ට දුන් බව මහාවංශයේ සඳහන් වේ. H.C.P. බෙල් මෙම මහාවංශ ගාථාව පාදක කරගනිමින් එම හදයුණ්හ නම් පිරිවෙන කළුදිය පොකුණ ආරාමික පරිශ්‍රය විය හැකි බව පවසමින් එහි නිර්මාතෘ සිව්වන  කාශ්‍යප රජු බව පවසන මුත් එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා කිසිදු අමතර සාධකයක් ඉදිරිපත් නොකරයි. එම සෙන්පතියා ඒ ඒ ආරාමයන්හි එක් එක් කුටිය බැගින් සාදා ආරාමික භික්ෂූන්ට දුන් බවත් මහාවංශයේ පැවසෙන බැවින් එම කුටි අනෛයිකුට්ටි කන්දේ පිහිටි ලෙන් විහාර විය හැකි බවත් බෙල් වැඩි දුරටත් සඳහන් කරයි.
පධානඝරය
මෙම ස්ථානයේ තිබෙන ඉහත විස්තර වූ වීශේෂ ලක්ෂණ වලින් යුත් ගොඩනැගිල්ලේ ස්වභාවික පර්වතයේ කොටා ඇති සෙල්ලිපිය කියවා පළකර ඇති බවක් නොපෙනේ.  එහෙත් මෙහි හමුවන සෙල්ලිපි වල අක්ෂර අනුව ස්ථානය 10 - 11 සියවස් වලට අයත් කල හැකි බව පැවසේ.  කළුදිය පොකුණේ සිට උතුරු දෙසට ප්‍රධාන කන්ද වෙතට යොමු වූ ගලෙහි නෙලන ලද පඩි පේලියක අයිනේ කොටා ඇති සෙල්ලිපියක "මණිකර මුලගුතහ පදගඩිණි"  එනම් මැණික්කරුවෙකු වන මුලගුතහගේ පඩි ලෙසින් සඳහන්ව ඇති බව පැවසේ. එහි අක්ෂර මුල් බ්‍රාහ්මි යුගයට අයත් වේ. තවද කළුදිය පොකුණට ආසන්න ආනෛකුට්ටි කන්දේ හමු වන ලෙන් කිහිපයකම එම යුගයටම අයත් ලෙන් ලිපි හමුවේ. ඉන් එක් ලෙනක් පිරිනමා ඇත්තේ මාර්ග අධ්‍යක්ෂක (පකර අදෙක/Superindent of Roads) ශමුද නම් පුද්ගලයෙකුය.

නටබුන් වූ ගොඩනගිල්ලක පාදම සහ දොරටුව
තවද සිව්වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 956 - 972) මිහින්තලේ පුවරු ලිපියේ පොරොදෙනි පොකුණ ලෙස සඳහන් වන පොකුණ මෙම කළුදිය පොකුණ විය හැකි බව බෙල් ඇතුළු පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙකුම පවසා ඇත. එහෙත් එම පුවරු ලිපියේ අදාල කොටසේ සඳහන් වන්නේ "පහනැවිල පොකුණ වට ඉඩමත්, පොරොදෙනි පොකුණ ආසන්න ඉඩමත් යන මේ තැන් තැන්වල ලාභ වෙහෙරට ගත යුතු" බවය. පොරොදෙනි පොකුණ ඒ අනුව වර්තමාන කළුදිය පොකුණ වන්නේ කෙසේද  යන්න පැහැදිලි නැත.
කළුදිය පොකුණ
මේ සියළු සාධක අනුව අනුමාණ කල හැක්කේ කළුදිය පොකුණ අවට පිහිටි ලෙන් විහාර මුල් යුගයේ සිටම බෞද්ධ භික්ෂුන් වහන්සේට වාසස්ථාන වන්නට ඇති බවත්, බොහෝවිට උන්වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා ඉදිවූ පොකුණද මුල් යුගයේ සිටම තිබෙන්නට ඇති බවත්ය. පොකුණ වටා ඉදිවූ අනෙකුත් ගොඩනැගිලි, ස්තූප ආදිය ඉන් මෑත කාලයට අයත් විය හැක.  ඇතැම්විට H.C.P. බෙල් අනුමාණ කල පරිදි ඒවා සිව්වන කාශ්‍යප රජ සමයට අයත් හදයුණ්හ පිරිවෙනේ නටබුන් විය හැක.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Bell H.C.P.,  Archaeological Survey of Ceylon, North Central, Central and North WesternProvinces, Annual Report 1911- 12
  • Memoirs of the Archaeological Survey of Ceylon Volume X - Part II, Environment, Town,Village And Monastic Planning, Roland Silva, 2006
  • හෙළ හැදියාවේ බිහිදොර, මිහින්තලාව, චන්දිම බණ්ඩාර අඹන්වල , ගාමිණි සමරනායක, 2018 
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • ශිලාලේඛන සංග්‍රහය, 1 වෙළුම 1904-1912, සංස්කරණය දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ, පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න, 2000
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Ancient Anuradhapura, Anuradha Seneviratna, 1994

2 comments:

  1. //දිවයිනේ එකිනෙකට දුරස්ව පිහිටි ස්ථාන තුනකින් හමුවන ගල් ගුහා කිහිපයක ඒවායේ ඉදිරිපස කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු දක්නට ඇත. අරන්කැලේ සහ රජගල හැරුණ විට ඒ සඳහා විශ්ෂ්ට උදාහරණයක් මෙම කළු දිය පොකුණ පරිශ්‍රයෙන්ද හමුවේ.//

    රිදී විහාරෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් රිදී විහාරෙත් තියෙනවා. හැබැයි. එය විහාර මන්දිරයක් නේද? භික්ෂුන්ට වාසය කිරීමට තැනූ කුටියක් නෙමේ නේද? අනිත් අතට මට මතක හැටියට එම ඉදිකිරීම ගම්පොළ හෝ ඉන් මෑත යුගයට තමා අයත් වෙන්නේ.

      Delete