Thursday, December 13, 2018

කල්තොට මොහොර ආශ්‍රිත පුරාණ ආරාම සංකිර්ණය - කුරගල පාමුල ගල්ටැම්යාය

මහඑළිය තැන්නේ (Horton Plains) කිරිගල්පොත්ත අවට දිය කඳුරු වලින් සිය ගමන අරඹන බෙලිහුල්ඔය ඉහල කඳුකරයේ කඳු පංති අතරින් ගලාවිත්, මහඑළිය තැන්නෙන්ම ඇරඹී වෙනත් නිම්නයක් ඔස්සේ ගලා එන කිරිකැටිඔය හා සමනලවැව ජලාශයට මදක් ඉහල ප්‍රදේශයකදී එක්වී, සමනලවැව ජලාශයට එකතු වේ. (කිරිකැටි ඔය අද හිරිකටු ඔය නම් අර්ථයක් නොමැති නමක් සහිත ඔයක් බවට ජනව්‍යවහාරයට එක්වී ඇතත් පැරණි සිතියම් වල එය දැක්වෙන්නේ එහි සුන්දරත්වයට මැනවින් ගැලපෙන කිරිකැටි ඔය ලෙසිනි ). සමනලවැව ජලාශයේ සිට නැවතත් සිය ගමන අරඹන වලවේ ගඟ රමණීය දූවිලි ඇල්ල සදමින් පහල අඩතැන්නට (Coastal Peneplain) පිවිසෙන්නේ කල්තොට මොහොරේ (Kaltota Escarpment) ඊශාන දෙසින් වූ අන්තයෙනි.
දූවිලි ඇල්ල
මහඑළිය තැන්නේ සිටම මෙම ගංගා නිම්නය ඔස්සේ ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් සිදුවූ බවට සාධක හමුවන මුත් පුරාතන සහ මධ්‍යතන යුග වල ඉදිකිරීම් මෙම නිම්නයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ මෙම කල්තොට මොහොර ප්‍රදේශය අවට සිට ගංගා ද්‍රෝණිය ඔස්සේ පහලට විහිදුනු ප්‍රදේශය ආශ්‍රිතවය. ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරුද මෙම මොහොර අවට බෙල්ලන්බැඳි පැලැස්ස, උඩුපියන්ගල්ගේ, කුරගල ඇතුළු ස්ථාන කිහිපයකින්ම සොයාගෙන ඇත.

ගල්ටැම්යාය
පසුගිය කාලයේ බෙහෙවින්ම කතා බහට ලක්වූ කුරගල ආසන්නයේම එහි පාමුල තංජන්තැන්න ලෙසින් හැඳින්වෙන ග්‍රාමයේ පිහිටා ඇති මෙම ස්ථානය දැනට අක්කර දෙකක පමණ වූ පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයකින් සීමාවූ කොටසක පමණක් ඉතිරි වූ නටබුන් ගොඩනැගිලි කිහිපයකින් යුක්ත වේ. ප්‍රාකාරයකින් වටවූ මළුවක් තුල පබ්බත විහාර සම්ප්‍රදාය සිහිගන්වමින් එහි සිව් කොනේ සහ මධ්‍යයෙහි පිහිටි ගල් කණු කොරවක්ගල්, කැටයම් රහිත සඳකඩපහණ වැනි ගොඩනැගිලි අවශේෂ සහිත ප්‍රදේශයක් සහ එම මළුවේ බටහිර දිශාවට වන්නට එහි ප්‍රධාන පිවිසුම ලෙස සැලකිය හැකි පිවිසුමට වම් පසින් වූ කුඩා ප්‍රමාණයේ ස්තූපයක් මෙහි දැනට දක්නට ලැබේ. ස්තූපයට පිවිසීමට පඩිපෙලවල් දෙකක් එහි නිරිත සහ වයඹ දිශාවන් වලින් දැකිය හැකි අතර දැනට සංරක්ෂණය කර ඇති මෙම ස්තූපයේ පාදමේ විශ්කම්භය මීටර 8 පමණ වේ. ගොඩනැගිලි පිහිටි මළුවට පිවිසීමට එහි සිව් දිශාවෙන්ම දොරටු වූ බවට සාධක හමුවී ඇත.
පබ්බත විහාරයේ ප්‍රධාන මළුවේ එක් පිවිසුමක්
ගල් කණු විශාල වශයෙන් හමුවන බැවින් ගල්ටැම්යාය/ගල්ටැන්යාය ලෙසින් ප්‍රදේශවාසීන් මෙම ස්ථානය හඳුන්වයි. එසේම මෙහි තිබූ එවන් ගල් කණු මනා ආරක්ෂාවක් නොමැති පසුබිමක් යටතේ කලක් මුළුල්ලේ ප්‍රදේශවාසීන් විසින් සිය අවශ්‍යතාවයන් උදෙසා රැගෙන ගොස් ඇති බව පෙනේ. ඉහත විස්තර කල ගොඩනැගිලි අවශේෂ වලට අමතරව ප්‍රධාන මළුවෙන් එපිටද නොයෙකුත් ගොඩනැගිලි තිබී ඇති බවට දැනටද ස්තූපයට එපිටින් බටහිර දෙසට වන්නට දැකිය හැකි විනාශ වූ එවන් ගොඩනැගිලි දෙකක ගල් කණු නශ්ඨාවශේෂ වලින් පැහැදිලි වේ. මෙම ප්‍රධාන මළුවට දකුණු සහ නිරිත දිගට වන්නට තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ ඇති බවද, ඒවා ප්‍රදේශයේ ජනතාව විසින් අත්පත් කර ගත් ඉඩම් වල විනාශ වෙමින් තිබෙන බවද සබරගමු වංශකථාව ග්‍රන්ථයට මෙම ස්ථානය පිළිබඳව ලිපියක් සපයන දයානන්ද බිනරගම මහතා සඳහන් කරයි. තවද 1951 වර්ෂයේදී මෙම ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නා විට අක්කර 5 ක භූමි භාගයක් එයට අයත් වූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ස්තූපය
දැනට වෙනත් ස්ථානයක තබා තිබෙන යන්ත්‍ර ගලක් මෙම මළුවේ ගොඩනැගිලි අවශේෂ සහිත එක් ස්ථානයක තිබී හමුවී ඇත. එය තිබූ ස්ථානය අඩි 10 පමණ ගැඹුරට නිදන් හොරුන් විසින් විනාශ කර තිබී ඇත. මෙවන් යන්ත්‍ර ගල් බොහෝවිට බුදු පිළිම වල පාදමට යටින් හමුවන බැවින් මෙම ස්ථානයේ පිළිම ගෙයක් සහ එහි බුදු පිළිමයක් තිබෙන්නට ඇත. එහෙත් දැනට බුදු පිළිමයක් හෝ එවැන්නක අවශේෂ හෝ මෙහි දක්නට නොමැත. එම ස්ථානයේම බුදු පිළිමය තැන්පත් කර තිබෙන්නට ඇතැයි සිතිය හැකි ශෛලමය ආසනයක්ද දැකිය හැක. 
ප්‍රධාන මළුව තුල වූ නටබුන් ගොඩනැගිල්ලක්
කූරගල සහ බුදුගල
කූරගල ලෙසින් හැඳින්වෙන ස්ථානයේ උස් කඳු මුදුන් දෙකක් (උපරිම උස මුහුදු මට්ටමේ සිට මීටර 360 පමණ.) සහ ඒ අතර ඇති කපොල්ලක් අවට පිහිටා ඇති ස්වභාවික ගුහා 10 පමණ ඇති අතර ඒවායින් බොහෝමයක් කටාරම් කොටා ඇත. එම ගුහා බුදු සමය මෙරටට හඳුන්වාදුන් මුල් අවධියේම භික්ෂූන්ගේ වාසස්ථාන ලෙසට පරිවර්තනය කර ඇති බවට එම ඇතැම් ගුහා වල මුල් බ්‍රාහ්මී අකුරු වලින් කොටා ඇති සෙල්ලිපි මගින් පැහැදිලි වේ. ගල්ටැම්යාය පිහිටා ඇත්තේ මෙම කූරගල ගුහා පිහිටි ප්‍රදේශයට ආසන්නව වයඹ දිශාවට වන්නට වන අතර අනුරාධපුර යුගයට අයත් විය හැකි පධානඝර සංකීර්ණයක් වන බුදුගල මෙම කඳු මුදුන් පාමුල ඊසාන දෙසට වන්නට තැනි බිමේ පිහිටා ඇත (ඉහත සිතියම බලන්න). මෙම ස්ථාන තුනම එක්ව ගත් කල ඒවා එකම පැරණි බෞද්ධ ආරාමයක දැනට ශේෂ වී ඇති නටබුන් බව හඳුනාගැනීම නිවැරදි බව පෙනේ. ඒ අනුව ක්‍රි. පූ යුග වල සිටම ඇතැම් විට අනුරාධපුර යුගයේ අවසානය දක්වාම හෝ පොළොන්නරු යුගය දක්වාම පැවති විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන බෞද්ධ ආරාම සංකීර්ණයක් මෙම කල්තොට මොහොර ප්‍රදේශයේ කූරගල ආශ්‍රිතව තිබූ බවට පැහැදිලි වේ.
ප්‍රධාන මළුව තුලට වයඹ දෙසින් වූ පිවිසුම
මෙයින් ගල්ටැම්යාය නටබුන් එම ආරාම සංකීර්නයේ පබ්බත විහාරය (පබ්බත විහාර පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා කියවන්න >> Link) ලෙසට හඳුනාගත හැක. පසුකාලීනව මෑත යුගයේ සිදුවූ ජනාවාසකරණයත් සමග ඒ අවට තිබූ සෙසු බොහෝ නටබුන් දැනට විනාශ වී ඇති මුත් පබ්බත විහාරයේ දැනට ඉතිරිව ඇති ප්‍රධාන මළුව අවට භික්ෂූන්ගේ වාසස්ථාන උදෙසා ඉදිවූ කුටි තිබෙන්නට ඇත. ඇතැම්විට ඒවා කල් නොපවත්නා අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉදි කර තිබුනා වුවද විය හැක. තවද කුරගල අවට හමුවන ගුහා භාවනානුයෝගී භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා මුල් යුගයේ පටන් අඛණ්ඩව භාවිතා වන්නටද ඇත. පැරණි රුහුණේ පොළොන්නරු යුගය වන විට වන නදිය ලෙසින් හැඳින්වුන වළවේ ගඟේ ඉහල නිම්නයේ පිහිටා තිබූ මෙම ආරාම සංකීර්ණයේ පැරණි නම හෝ ඒ පිළිබඳව වූ වංශ කතා විස්තර කිසිවක් හමු නොවේ.
ස්තූපය
මූලාශ්‍ර
  • සබරගමු වංශකථාව 1 වෙළුම, 2003
  • සබරගමු වංශකථාව 2 වෙළුම, 2003
  • කූරගල ගවේෂණය 2014 - අදියර 1, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මතක සටහන් 2015-3, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස
  • Administration Report of the Director -General of Archaeology for the year 1993
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972

Sunday, December 2, 2018

පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද?

දේවානම්පියතිස්ස රජුගේ දෙවන සහෝදරයා උපරජු මහානාග නම් විය. හේ දිනක් වැවක් කරමින් උන් තැනක සිටින විට දේවානම්පියතිස්ස රජුගේ දේවිය උපරජු වෙත අඹ යැව්වේ ඉන් උඩින්ම වූ අඹ ගෙඩියට විෂ යොදා උපරජු මරණ අටියෙනි. මහානාග රජු මැරීමට ඇයට උවමනා වූවේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව සිය එකම පුත් කුමරාට බලය ලබාගැනීමේ පරමාර්ථයෙන් බව වංශ කතාව අපට පවසයි. මෙකල සම්ප්‍රදාය වූවේ රජුගෙන් පසු ඉන්පසුව සිටින රජුගේ වැඩිමහල් සොහොයුරාට බලය හුවමාරු වන "සහෝදර සමාගමේම" බලය රදවාගැනීමේ සම්ප්‍රදායකි ("සහෝදර සමාගම" වෙනුවට "සමනල් සමාගම" තෝරාගත් වර්තමාන සිංහලයන් වසර තුනකුත් මාස ගණනක්ම මදි නොකියන්න ඉල්ලාගෙන කෑම අතීතය නොදැනීමේ වරදක් විය නොහැකිද?) රජුගේ වැඩිමහල් පුතුට බලය හිමිවන්නේ සියළුම සහෝදරයන් ජීවතුන් අතර නැති විටකදී පමණි. දේවානම්පියතිස්ස රජුට තවත් සහෝදරවරු සිටි බැවින් මහාවංශය පවසන පරිදි උපරජුව මරා දැමීමට රජුගේ දේවියට හේතුවූ කරුණ එලෙසින්ම පිළිගැනීමට මදක් අපහසුය. කෙසේ නමුත් මහානාග උපරජු සමග එම දේවියගේ පුතුද වැව සාදන ස්ථානයට ගොස් සිටි බැවින්  සැබවින්ම සිදුවූවේ එම කුමරු විෂ යෙදු අඹ ගෙඩිය අනුභව කර මරණයට පත්වීමය. මින් බියපත්වූ මහානාග යුවරජු සිය දේවිය, ධනය සහ බල සෙනග ගෙන රුහුණ බලාගොස් එහි අධිපතිව මාගම (මහාගාම) සිට රාජ්‍යය කල බව පැවසේ.
ඇලහැර අමුණේ සිට අඹන් ගගේ ජලය ගිරිතලා, මින්නේරි සහ ගඟතලා (කන්තලේ) වැව් කරා ගෙනයන ඇලහැර යෝධ ඇල. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා Link>>
ඉන්පසුවත් වංශ කතාවේ බොහෝවර සඳහන් වන, පැරණි රුහුණු රටේ පිහිටි මාගම හෙවත් පාළියෙන් මහාගාම ලෙසින් හැඳින්වුන "මහ ගම", අද තිස්සමහාරාමය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය කෙන්ද්‍රකරගනිමින් පැවත තිබූ බව පොදු පිළිගැනීමයි. පසුකාලීනව මාගම රාජධානිය පිහිටියේ තිස්සමහාරාමයේ බව අවිවාදිතව සියළුම ඉතිහාසාඥයන් සහ පුරාවිද්‍යාඥයන් පාහේ පිළිගන්නා මුත් මුල් යුගයේ මහානාග රජු සිය රාජධානිය පිහිටවූ, ඉන්පසු දුටුගැමුණු රජු සිරිලක එක්සේසත් කරන තෙක් පැවති "මහා ගම" නොහොත් මාගම වූ රුහුණේ අගනුවර පිහිටියේ තිස්සමහාරාමයේ නොවන බවට අවම වශයෙන් විද්වතුන් දෙපලක් සාධක සහිතව කරුණු දක්වයි. ඒ අතරින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රුහුණේ නැගෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔයට උතුරෙන් වූ ප්‍රදේශයේ දැනටද මාගම ලෙසින් නාම ශේෂ වූ ගම්මානයක් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව මුල් මහාගාමය පිහිටි බවට කරුණු ඉදිරිපත්කරන අතර, මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා වර්තමාන ඇලහැර ප්‍රදේශය ආශ්‍රිතව එය පිහිටි බවට තර්ක කරයි. මේ ලිපිය සිය මතය තහවුරු කිරිම උදෙසා රණවැල්ල මහතා ඉදිරිපත් කරන කරුණු දැක්වීම් වලින් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම උදෙසා යොමුවන අතර පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද එසේ නොවේනම් තිස්සමහාරාමයේද යන්න පිළිබඳව අවසාන නිගමනයක් සිදු කිරීමට මෙහිදි අදහස් නොකරමි.
යෝධ ඇල අද්දර පිහිටා ඇති කිසියම් පැරණි පූජනිය ස්ථානයක තහවුරු කල නටබුන්

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන එක් සාධකයක් වන්නේ දුටුගැමුණු රජු රජරට බලය අත්පත් කරගැනීම උදෙසා එළාර සමග සටන් වැදීමට, මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට මෙහි (එනම් අනුරාධපුරයට) එන මාර්ගය පිරිසිදු කල බවට මහාවංශයේ එන සඳහනයි. ඒ අනුව ඒ මහතා තර්ක කරන්නේ මාගම පිහිටියේ මලය දේශයේ බවය. මුල් කාලයේදී මලය දේශයද රෝහණ රටට අයත්ව තිබෙන්නට ඇති බවය එතුමාගේ අදහස වනුයේ (මලය දේශයේ සීමා මායිම් පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >.Link). මේ අදහසම පාළි මහාබෝධි වංශයේද සඳහන් වේ. පසු කාලීනව කුරුණෑගල යුගයේදී ලියැවුණු සිංහල මහාබෝධිවංශයේ මිහිඳු මා හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පවසන අනාවැකියක් ලෙසින් එය සඳහන් වන්නේ මෙලෙසිනි. " .....ඒ රජ තෙමේ [දුට්ඨගාමිණී අභය හෙවත් දුටුගැමුණු]......මහා යෝධ වූ කඬොලැතා පිටට නැගී , මලය දේශයෙන් අවුත් එළාර නම් දෙමළ රජ්ජුරුවන් හා යුද්ධ කොට..."  

කෙසේ නමුත් පැරණි රෝහණයේ මලය ග්‍රාමය නමින් ග්‍රාමයක් වූ බවත් ඉහත මහාවංශ පාඨය එම මලය ග්‍රාමය පිළිබඳව විය හැකි බවත් මා මෙයට පෙර අවස්ථාවකදී කරුණු දැක්වූවෙමි (මෙම ලිපීයේ මලය රට සහ මලය ග්‍රාමය කොටස බලන්න >> Link ). ඒ අනුව සිරිමල් රණවැල්ල මහතාගේ අදහස පිළිබඳව යම් සැකයක් මතු වන බව අප සඳහන් කලමුත් පාළි මහාබෝධිවංශය සහ එය අනුසාරයෙන් ලියැවුණු සිංහල බෝධිවංශය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට රුකුලක් ලබා දේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි ජන්තාඝරයක්
පාළි රසවාහිනියේ එන දුටුගැමුණු රජුගේ මහානේල නම් යෝධයාගේ කතාවේ පැවසෙන්නේ ඔහු මහගමින් නික්ම උදෑසන දීඝවාපී (දිගාමඩුල්ල ලෙසින් පාළි රසවාහිනියේ සිංහල අනුවාදය වූ සද්ධර්මාලංකාරයේ එයි.) හරහා ගොස් ගංගා නම් නදිය අසල වඩමන්තොට (වඩ්ඪමානක තීර්ථය) නම් ස්ථානයකදී (සද්ධර්මාලංකාරයට අනුව මහවැලි ගඟ වඩමන් නම් තොට) දැහැටි කා මුව සුද්ධ කොටගෙන, ගෙනගිය බත් අනුභව කර, මහාපාලී නම් දන්හල සංඝයාවහන්සේ දහවල් දන් වලදන්නට පෙර අනුරාධපුරයට ගිය බවයි.  

සහස්සවත්ථුප්කරණයේ එන වේළුසුමන කතාවට අනුව විහාරමහා දේවියගේ කුසේ ගැමුණු කුමරු පිළිසිඳගත් විට ඇයට ඇති වූ දොළ සන්සිඳුවීම උදෙසා උදෑසන ආහාර ගන්නා වෙලාවේ මාගමින් පිටත් වූ වේළුසුමන යෝධයා පා ගමනින් ගොස් දීඝවාපියේදී උදේ ආහාරය ගෙන, හිරු අවරට යත්ම වඩමන්තොටට (වඩ්ඪමානක තීර්ථය) ලඟා වී, පසුව හවස් වරුවේම අනුරාධපුරයට පැමිණි බව පැවසේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි බෝධිඝරයක්
මේ කරුණු අනුව මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවත් එය කිසිසේත්ම එක් දිනකින් හෝ වරුවකින් පා ගමනින් යා නොහැකි තිස්සමහාරාමය නොවන බවටත් තර්ක කල හැකි බව සිරිමල් රණවැල්ල මහතා පවසයි. කෙසේ වුවත් යෝධයන්ගේ වීර ක්‍රියා අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම උදෙසා රචිත කතා ලෙස ඉහත සිදුවීම් දෙකම එකවර බැහැර කල නොහැක්කේ පපංචසූදනී නම් අටුවා ග්‍රන්ථයේ එන පහත කතාවෙන්ද මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවට තහවුරු වන බැවිනි. 

දීඝභාණක අභය නම් වූ තෙර නමක් අරියවංස ප්‍රතිපදාව වදාළ අවස්ථාවේ මාගම සියළු ජනතෙම එය ඇසීමට පැමිණි බවත්, එහෙයින් තෙරුන් වහන්සේට මහත් සත්කාර උපන් බවත් මෙය ඉවසිය නොහුණු එක්තරා මහතෙර කෙනෙක් දේශනාව අවසානයේ දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාර වලට යාමේදී,  දීඝභානක අභය තෙර සමග ගව්වක් පමණ දුර යනතුරා, එම දීඝභාණක අභයතෙරුන්ට ආක්‍රෝෂ  කළ බවත් පැවසේ. මාගම සිට එම තෙරුන් වහන්සේලා පා ගමනින්ම ගව්වක් දුර වැඩ, එතැන් සිට ඔවුනොවුන්ගේ විහාර වලට වෙනම මගකින් ගිය බැව් එම කතාවෙන් පැහැදිලි වේ. සිරිමල් රණවැල්ල මහතා පවසන්නේ දීඝභාණක අභය තෙරුන් වැඩ සිටියේ චේතියපබ්බත විහාරයේ බවත් (එනම් වර්තමාන මිහින්තලයේ) එබැවින් මාගම සිට එක රැයින්ම ඒ හිමියන් සිය විහාරයට වැඩම කල බව පෙනෙන හෙයින් මාගම මිහින්තලයට එතරම් දුර නොවූ ස්ථානයක තිබිය යුතු බවත්ය. කෙසේ නමුත් පපංචසූදනියේ සිංහල පරිවර්තනයේ  ඉහත කතාව ඇතුලත් කොටසේ දීඝභාණක අභය හිමියන් ඒ තෙරණුවන්ගේ විහාරයට වැඩි බව විනා විශේෂයෙන් චෙතියපබ්බතයට වැඩම කල බව සඳහන් නොවේ. ඒ හිමියන් චෙතියපබ්බතයේ වැඩ සිටි බවට සඳහන් වන්නේ අත්ථසාලිනී නම් වූ වෙනත් අටුවා ග්‍රන්ථයක එන වෙනත් කතාවක් ඉදිරිපත් කිරීමේදීය. එසේම අරියවංශ දේශනාවට මාගම ජනයා පැමිණි බව විනා එය මාගමදී දේශනා කල බව පපංචසූදනී සිංහල පරිවර්තනයේ පැහැදිලිව සඳහන් නොවේ.
ටොලමිගේ ලංකා සිතියම
ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයට අයත් ටොලමිගේ (Ptolemy) තැප්‍රොබේන් (Taprobane) ලෙසින් හැඳින්වෙන  ලංකා සිතියමේ Maagrammon ලෙසින් අනුරාධපුරයට (Anourogrammon) ගිණිකොන දෙසින් සැතපුම් 35-40 පමණ දුරකින් මාගම සලකුණු කර තිබීමද මාගම අනුරාධපුරයට එතරම් දුර නොවන ස්ථානයක තිබූ බවට තවත් එක් සාධකයක් ලෙස සිරිමල් රණවැල්ල මහතා දක්වයි.

වජ්‍රබෝධී නම් භාරත භික්ෂූන්වහන්සේ නමකගේ මෙරට සිදු කල චාරිකාවක චීන බසින් ඇති වාර්තාවකට අනුව ක්‍රි.ව. 718 දී කාංචිපුර (Kien-tchi) සිට මෙරටට පැමිණි ඒ හිමියන් අනුරාධපුර අභයගිරි විහාරයේ (Abhaya-raja-vihara) සිට ගිණිකොන දෙසින් ලංකා පර්වතයේ (Lanka-Parvata) පිහිටි සිරිපා සටහනක් වන්දනා කිරීමට යාමේදී රෝහණයේ (Lou-ho-no) පාලකයා හමු වූ බවත්, ඔහුට මහායානය දේශනා කල බවත් සඳහන් වේ. ලංකා පර්වතය අනුරාධපුරයට ගිණිකොන දෙසින් ඇලහැරට දකුණින් පිහිටි ලකේගල ලෙස හඳුනාගතහොත් වර්තමාන ඇලහැර ප්‍රදේශය පැරණි රෝහණයේ පාලකයා විසූ අගනුවර වන මාගම ලෙස පහසුවෙන් හඳුනාගත හැකි බව පෙනේ. එහෙත් ලකේගල මුදුනේ සිරිපතුලක් මේ වන විට දැකිය නොහැක. 
ලකේගල
තවද මාගම රාජධානිය ආරම්භ කල මහානාග යුවරජු පිළිබඳව ලලාට ධාතුවංශයේ එන සඳහනකට අනුව එකල මහාදේව තෙරුන් දඹදිව කොසඹෑ නුවර ඝෝසිතාරමයේ ගන්ධකුටියේ තැන්පත් කොට තිබූ බුදුන්ගේ ලලාට ධාතුව ලක්දිවට ගෙනවිත් ලක්දිව හත්ථොට්ඨ නම් ජනපදයට රැගෙන විත් ඇත. මහාකාල නම් කෙළඹි පුත්‍රයාගේ මග පෙන්වීම මත මහානාග යුවරජ හත්ථොට්ඨ ජනපදයට ගොස් එම ලලාට ධාතුන්වහන්සේ මාගමට රැගෙන විත් ඇත. මහානාග යුවරජු හත්තොට්ඨ ජනපදයේ ලලාටධාතුව ඇති බව දැනගන්නේ 'අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ ගෙන ආ කෙනෙකුන්ට බොහෝ සැපත් දෙමි' යැයි නුවර [එනම් මහාගාමය තුල] බෙර ලැවූ කල්හි, හත්තොට්ඨ ජනපදයේ විසූ මහාකාල කෙළඹි පුත්‍රයාට එය දැන ගැනීමට හැකිවීමෙනි. මේ අනුව හත්තොට්ඨ ජනපදය මාගමට ආසන්නව තිබිය යුතු බවට උපකල්පනය කල හැක. ලග්ගල සහ ඇලහැර අතර දැනටද හත්තොට ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පුරාණ හත්තොට්ඨ ජනපදය ලෙස හඳුනාගන්නා බැවින් මාගම ඇලහැරට ආසන්නව වූ බවට වන ඉහත මතයට එයද තවත් එක් සාධකයක් ලෙස ගත හැකිවේ.
ටොලමිගේ සිතියමේ මාගම ලකුණු කර ඇත්තේ Ganges ලෙසින් හැඳින්වෙන ගඟක වම් ඉවුරේය. 10 වන ශතවර්ෂයට අයත් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසලින් සොයාගත් ටැම් ලිපියක අඹන් ගඟ හඳුන්වා ඇත්තේ මහා ගංගා ලෙසිනි. ඒ අනුව අනුරාධපුර යුගයේ මහා ගංගා ලෙසින් හඳුන්වා ඇත්තේ අඹන් ගඟ ලෙස පවසන සිරිමල් රණවැල්ල මහතා අඹන් ගඟේ වම් ඉවුරේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ පැරණි මාගම තිබිය යුතු බවට නිගමනය කරයි. අනුරාධපුර අවසාන භාගයට හෝ පොළොන්නරු යුගයට අයත් විය හැකි  අත්තරගල්ලෑව, ඔරුබැඳි සියඹලාව, මළුවේ යාය යන ස්ථාන වල ඇති නටබුන්ද, තවමත් මතු කර නොගත් ඇලහැර අසල වනාන්තරයේ ඇති පැරණි නගරයක නශ්ඨාවශේෂද එම පැරණි මාගම නගරයේ පසුකාලීන නටබුන් විය හැකි බවය ඒ මහතාගේ අදහස.
ඇලහැර අවට අඹන් ගඟ දෑලේ නටබුන් ස්ථාන කිහිපයක්
මූලාශ්‍ර
  • රෝහණ රාජ්‍යයේ ඉතිහාසය, මහාචාර්ය සිරිමල් රණවැල්ල, 2003
  • Memoirs of the Archaeological Survey of Ceylon, Vlume XI, History of the Kindom of Rohana (From the Earliest times to 1500 A.C. )
  • Chino-Sinhalese relations in the early and middle ages (Translated from M. Sylvain Levi's Article in the Journal Asiatique) Journal of Ceylon Branch of Royal Asiatic Society. Vol XXIV No 68, 1915-16
  • පපඤච සූදනී නම් වූ මජ්ජිමනිකායට්ඨකථා 1 (සිංහල පරිවර්තනය) රාජකීය පණ්ඩිත ආඳාවල දේවසිරි මහා ස්ථවිරර 2008
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Early History of the Buddhism in Ceylon, E.W. Adikaram, 2009
  • සහස්සවත්ථුප්පකරණය,  සංස්කාරක වෑගම පියරතන හිමි, 1999
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • මාගම රාජධානිය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 
  • සද්ධර්මාලංකාරය
  • අත්ථසාලිනී නම් වූ ධම්මසංගණිප්පකරණට්ඨ කථා (සිංහල පරිවර්තනය ) සෝමරත්න ගම්ලත් වෙලගෙදර, 2008