Sunday, July 29, 2018

යෝධයා බැඳි පැරණි ඇල සහ කළු ගඟට යටවීමට නියමිත ලග්ගල පල්ලේගම


මොරගහකන්ද ව්‍යාපෘතියේම කොටසක් වන කළු ගඟ ව්‍යාපෘතිය යටතේ ලග්ගල ප්‍රදේශයේ ඉදිවන කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සුපුරුදු 'ආඩපාලිය' සමගින් පසුගිය සතියේ ආරම්භ විය. ඉදිරියේදි ලග්ගල පල්ලේගම නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ කිහිපයක්ම මෙම ජලාශයේ ජල කඳට යටවෙනු ඇත. එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව සිය පාරම්පරික ගම් බිම අතහැර දමා මේ වන විටද අලුතින් ඉදිවන නව ලග්ගල නගරය වෙත ගොස් ඇත. වර්ෂ 2007 දී ආරම්භ කරමින් ක්‍රමයෙන් ඉදිවෙමින් පැවති මෙම ව්‍යාපෘති දෙකෙහි වැඩ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දී දශක ගනණාවක් පුරා නොකෙරෙන දීගයක්ව පැවති මහවැලි මහ සැලැස්මේ අවසාන ජලාශ ව්‍යාපෘතිය ප්‍රායෝගික යථාර්තයක් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජයටය (මූලාශ්‍ර -  Moragahakanda>>, Kaluganga >>). අද වන විට එම සාර්ථක ව්‍යාපෘතියට අයිතිවාසිකම් කීමට අලුතින් පියවරු බිහිව ඇති අතර ඔවුන්ට අනුව සියල්ල සිදු කර ඇත්තේ මෙරට කිසිදු ප්‍රධාන සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ නොවුන එසේම එතෙක් පැවති බොහෝ එවන් ව්‍යාපෘති අතහැර දැමූ හෝ මන්දගාමීව සිදුවන පසුගිය වසර කිහිපය තුලය. මොරගහකන්ද ව්‍යාපෘතියේ සැබෑ පියවරු කවුද යන්න පිළිබඳව සාධක සහිතව පෙර ලිපියකින්ද සාකච්චා කලෙමු. (කියවන්න අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය පිළිබඳව එම ලිපියේ වූ පහත ඡේදය නැවත උපුටා දක්වන්නේ ප්‍රස්තුත මාතෘකාව පිළිබඳව විමසා බැලීමට එය පූර්විකාවක් වන බැවිනි.
උපුටාගැනීම moragahakandakalugangaproject.blogspot.com වෙබ් අඩවියෙනි
මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය
අඹන් ගඟේ පැරණි ඇළහැර අමුණට කිලෝ මිටර් දෙකක් පමණ ඉහළින් බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මඟින් වර්ග කිලෝමිටර් 29.5 පුරා පැතිරුණු ඝන මීටර් 521,000,000 ක ජල ධාරිතාවයකින් යුතු මොරගහකන්ද ජලාශය සහ පල්ලෙගම නගරයට කිලෝ මීටර් 4 පමණ උතුරින් කළු ගඟ හරස් කර බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මගින් වර්ග කිලෝමිටර 8.4 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන මීටර් 144, 000, 000 ක ජල ධාරිතාවකින් යුතු කළු ගඟ ජලාශය යන ජලාශ දෙකින් සහ කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන දිගින් කිලෝ මීටර් 9 ක් පමණ වන ඇල මාර්ගයකින් (ඉන් කිලෝ මීටර් 7.85 උමං මාර්ගයක් ලෙස ඉදිවේ ) 'මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය' සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරු, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල පානීය සහ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීමට අමතරව කුඩා විදුලි බලාගාරයක් මගින් මෙගා වොට් 35 ක පමණ බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද නියමිතය.
කළු ගඟ ජලාශයට යටවීමට නියමිත කළු ගං නිම්නය, ඡායාරූපය - 2018/07/20
ඒ අනුව කළු ගඟ ජලාශයේ ප්‍රධාන අරමුණ කළු ගඟේ අතිරික්ත ජලය එක් රැස් කර මොරගහකන්ද ජලාශයට ගෙනයෑමය. එමගින් මොරගහකන්ද ජලාශයේ ජල සැපයුම ඉහළ නැංවීමටය. වෙනත් ලෙසකින් පැවසුවහොත් එමගින් මහවැලි ගඟේ අතු ගංගාවන් දෙකක් වන කළු ගඟ සහ අඹන් ගඟ කෘතිමව එක් කිරීමක් සිදුවේ (කළු ගඟ අඹන් ගඟට එක්වීම ස්වභාවිකව සිදුවන්නේ මොරගහකන්ද ජලාශයේ සිට තව දුරටත් නැගෙනහිර දෙසට වන්නට පිහිටි ඇලහැර නගරයද පසු කර යන විට හමුවන කුමාර ඇල්ල ප්‍රදේශයේදීය. සිතියම 2 බලන්න)
නුදුරු දිනකදි ජලයෙන් යටවීමට නියමිත අතහැර දැමූ ලග්ගල පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය - ඡායාරූපය - 2018/07/20
නූතන වාරි ඉංජිනේරුවන් කළු ගඟේ ජලය ඇල මාර්ගයක් සහ උමගක් මගින් අඹන් ගං නිම්නයේ ඉදි කල ජලාශයකට රැගෙන එන අයුරින්ම, පැරණි සිංහලයන්ද කළු ගඟේ ජලය අමුණක් මගින් හරවා ඇල මාර්ගයක් මගින් අඹන් ගඟ දක්වා ගෙන ගිය බවට සාධක හමුවන බව අද බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඒ රජරට ප්‍රදේශයේ කෙත් වතු ගම්බිම් සරුසාර කිරීම උදෙසා ඇලහැර ප්‍රදේශයේදි අඹන් ගඟේ ඉදි කල අමුණක් මගින් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ වැව් වලට ජලය ගෙනයන ඇලහැර යෝධ ඇලට (ඇලහැර යෝධ ඇල සම්බන්ධව වූ පෙර ලිපිය කියවීමට>> අඹන් ගඟේ දියවර මින්නේරිය වැවට ගෙනගිය පුරාණ යෝධ ඇල) අමතර ජලය සපයාගැනීමටය. මේ ලිපිය ඒ පිළිබඳව තොරතුරු විමසා බැලීම සඳහා වෙන්වේ. 
කළු ගඟ හරහා ලග්ගල නගරයට ආසන්නව B312 මාර්ගයේ හමුවන පාලම. මෙම ප්‍රදේශයද කළු ගඟ ජලාශයට යට වේ. - ඡායාරූපය - 2018/07/20
ඇලහැර ප්‍රදේශයේදී ඇලහැර අමුණ මගින් පැරණි යෝධ ඇලට අඹන් ගඟින් ජලය හැරවූ බවට පෙනෙන්නට තිබුනද පරම්පරාගත කතා වලින් මීට විරුද්ධ මතයක් ප්‍රකාශ වන බව මෙරට පැරණි වාරි තාක්ෂණය පිළිබඳව අගනා ග්‍රන්ථයක් කල මිනින්දෝරුවෙකු වූ R.L. බ්‍රෝහියර් පවසයි. එම කතා වලට අනුව ඇලේ ආරම්භය ඇලහැර නොව එයට සැතපුම් 15 පමණ දකුණින් කළු ගඟේ බැම්මක් බැඳි ස්ථානයක බවත් එහි සිට සැතපුම් 30-35 පමණ දිග ඇල මාර්ගයක් මගින් ඇලහැරට වතුර ගෙන ආ බවත් පැවසේ.  වර්ෂ 1856 දී මෙම කතාව කන්දේපොල සිටි භික්ෂුන් වහන්සේ නමකගෙන් අසා දැනගන්නා ඇලෙක්ස් යන්ග් ඇඩැම්ස් (Alex Young Adams) නම් පුද්ගලයෙක් ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට පටන් ගනී. ගංගාවල් දෙකම අමුණු වලින් සිරකොට ඒ අතර තුර පිහිටි විෂම ප්‍රදේශය තුල ජලය ගෙන යෑම මනුෂ්‍යයෙකුට කල නොහැකි  වැඩක් ලෙස සැලකීම ස්වභාවික වන හෙයින් "යෝධයා බැඳි ඇල" ලෙසින් හැඳින්වූ මෙම වාරි ව්‍යාපෘතියේ සලකුණු පළමුකොට ඔහුට හමුවූවේ ඇලහැරට සැතපුම් 12ක් හෝ 14 ඈතින් පිහිටි අතහැර දැමූ ගමක බව ඇඩම්ස් පවසයි.
ඉහත පාලම අසලින් තවමත් සුපුරුදු ලෙසින් ගලා යන කළු ගඟ - ඡායාරූපය - 2018/07/20
එම ස්ථානයේ සිට සැතපුම් 2 පමණ ඇල දිගේ ඉහළට යන ඇඩම්ස් එතැන් සිට ඝණ කැලෑව හෙයින් එම උත්සාහය අතහැර දමා තැනින් තැන ඇල හරහා වැටී තිබූ අලින් ගමන් කල මාර්ගයක් ඔස්සේ ගොස් අවසානයේ කළු ගඟේ පිහිටි ඇලේ ආරම්භය වන ගල් බැම්මක් සොයාගනී. එය ගඟ හරහා වූ ගල් තලාවක් හරහා ඉදි කර තිබී ඇත. හත්තොට අමුණ ලෙසින් හැඳින්වූ එම අමුණ මගින් කළු ගඟේ වතුර ඉහත ඇල මාර්ගයට හරවනු ලැබේ.  
කළු ගංග ජලාශයේ ප්‍රධාන වේල්ලට මදක් උතුරට වන්නට ඇති පැරණි හත්තොට අමුණ
ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ප්‍රධාන වේල්ල (දකුණු පස) සහ එයට පහලින් දිස්වන කළු ගඟ. පැරණි හත්තොට අමුණ මෙයට මද දුරක් ගඟ පහලට ගිය විට හමුවේ.
1858 දී කළු ගඟේ අමුණ සහ යෝධයා  බැඳි ඇල පරික්ෂා කර බැලූ බ්‍රෝඩ් (Brodie) මහතාද ඒ පිළිබඳව වාර්තා තබා ඇත. ඔහු පවසන පරිදි අමුණ සෑදීම සඳහා සුදුසුම ස්ථානය මැනවින් තෝරාගෙන ඇත. බොහෝ ගල් තලා ඇති, ගං ඉවුරු දෙකම උස් එමෙන්ම ඉවුරු වලද ගල් සහිත ස්ථානයක එය තනා ඇත. බැම්ම මුල් ආකාරයෙන් ශේෂ වී ඇත්තේ කුඩා කොටසක පමණි. සමහර ගල් පෙරලි ගොස් ඒ අසලම රැදී ඇත. ඇල දිගේද මිණුම් කටයුතු කල ඔහුට එහි බොහෝ තැන් වල දෙපැත්තේ පිහිටි විශාල ඇලකණ්ඩි දක්නට ලැබී ඇත. එහෙත් සමහර ස්ථාන වලදී එය ඔයවල් වලින් සේදී ගොස් ඇත. ඇල දිගේ සිදු කල මිණුම් කටයුතු වලදි ඔහු පළමු කොටම දහස්ගිරියටද නැවත හිඹුටුවලටද සාදා තිබූ අතුරු ඇලවල් දිගේද ගමන් කරයි. ඉන්පසු ඇලේ සාධක හමු නොවන හෙයින් එය ඇලහැර දක්වාම තිබිණිද යන්න පිළිබඳව බ්‍රොඩ් සැක පල කරයි. තව දුරටත් කරන්නට යෙදුන ගවේෂණයේදී ඔහුට හුණුකොටුව ලෙසින් හැඳින්වූ ස්ථානයකදි විශාල බැම්මක් හමුවේ. එය ඇලේ වතුර හිබොටුවල දෙසට යෑම වැලක්වීමට සෑදුවක් ලෙසට ඔහු කල්පනා කරයි. එතැන් සිට කන්දෙපිටිවලට ගොස් තවත් සැතපුම් 1/2 පමණ කැලය දෙසට ගොස් යක්කඳවල නම් ස්ථානයකදි කඳු දෙකක් යා කර තනා තිබූ එවැනිම බැම්මක් ඔහු දැක ගනී.
කළු ගඟ ජලාශයට යටවන හෙයින් අතහැර දැමූ ලග්ගල පල්ලේගම විහාරය  - ඡායාරූපය - 2018/07/20
කඳු දෙකක් අතර සාදා තිබූ තුන්වන බැම්මක් ගැනද බ්‍රෝඩි තොරතුරු ඉදිරිපත් කරයි. එය ප්‍රපාතය මුදුනේම සමතලා බිමට බටහිරින් සාදා තිබී ඇත. එම බැම්මේ අරමුණ පැහැදිලි නැති බව ඔහු පවසයි. ඉන්පසු හමු වූ සුවිසල් බැම්මක්, ගල් වානක් සහ ටැම් ලිපියක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරය බොහෝවිට ඇලහැර බැම්ම සහ ඒ අසල ඇති සෙල් ලිපිය ගැන විය හැක. 

මෙම අමුණ සහ ඇල මාර්ගය පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇති මුත් නූතන මෙට්‍රික් සිතියම් වලින් ඇල මාර්ගය අතුරුදහන් වී අත. එහෙත්  Google Map වල දැනටද ඇල මාර්ගයේ සලකුණු හඳුනාගත හැක. මා ඔය ලෙසින් හැඳින්වෙන කළු ගඟට එහි වම් ඉවුරෙන් එක්වන අතු ගංගාවක් දක්වා අඟලේ සිතියම් වල එය ලකුණු කර ඇත. එතැන් සිට ඇලහැර දක්වා ජලය රැගෙන ගියේද? එසේ වූවා නම් ඒ කෙලෙසකද යන්න පැහැදිලි නැත. එහෙත් ස්වභාවික ඔයක් වන මා ඔය ඔස්සේ ඔය ඉහලට ජලය ගමන් කරවා, එහි නිම්න භූමි ඔස්සේ ඇලහැර අමුණ දක්වාම ජලය ගෙන යා හැකි බව එම ප්‍රදේශයේ භූ විෂමතාවය විමසා බැලීමේදී පැහැදිලි වේ. ඉහත බ්‍රොඩ් සඳහන් කරන විශාල ගල් බැමි ඇලේ ජල මට්ටම ඉහල නංවා මෙම කාර්යයය ඉටු කරගැනීම උදෙසා නිම වූවා විය හැක. ඇලහැර අමුණ හේතුවෙන් එම නිම්නයේ අමුණට ඉහලින් ජල මට්ටම ඉහල යන බැවින් කඳු වැටියෙන් අනෙත් පස යෝධයා බැඳි ඇලේ ජල මට්ටමද ගල් බැමි ආධාරයෙන් ඉහල නැංවිය හැකි නම් මෙය සිදු කල හැකි බව පෙනේ. බ්‍රෝඩි සදහන් කරන ඔහුට තේරුම් ගත නොහැකි ගල් බැම්ම මෙම කාර්යය සඳහා තැනුවා විය නොහැකිද? එහෙත් ඒ පිළිබඳව නිවරදි මතයක් පුරාවිද්‍යාත්මක සහ ඉංජිනේරුමය දැනුමක් ඇති විද්වතුන් විසින් ක්ෂේත්‍ර ගවේෂණ සිදු කර ඉදිරියේදි ඉදිරිපත් කල යුත්තකි. ඒ පිළිබඳව බ්‍රෝහියර්ට පසු කිසියම් ගවේෂණාත්මක විමසා බැලීමක් සිදුවී ඇති බවක් නොපෙනේ.
සිතියම 1 - හත්තොට අමුණේ ඇලහැර අමුණ දක්වා පැරණි වාරි නටබුන්. යෝධයා බැඳි ඇල දම් පාටින් සලකුණු කර ඇති අතර නිල් පාටින් දැක්වෙන්නේ ස්වභාවික ඔයවල්ය.
යෝජිත මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ එක් කරන ඇල මාර්ගය සහ උමං මාර්ගය මෙම පැරණි යෝධයා බැඳි ඇලට බටහිර දෙසින් ඉදිරියේදී ඉදිවනු ඇත. පහත දැක්වෙන සිතියමේ ඉහත විස්තර වූ සියළුම පැරණි වාරි පද්ධතිය මෙන්ම දැනට ඉදිකර ඇති සහ ඉදිරියේදී ඉදීවීමට නියමිත නූතන වාරි මාර්ග පද්ධතියද දක්වා ඇත (සිතියම 2 බලන්න) අපේ පැරන්නන් එවකට ඔවුන් සතුව පැවති දැනුම් පද්ධතීන් උපයෝගි කරගනිමින් භූමියේ විෂමතාවයන් සැලකිල්ලට ගනිමින් ඉදි කල එම විශිෂ්ඨ ඉංජිනේරුමය නිර්මාණයන් කෙතරම් අනර්ගද යන්න පැහැදිලි වන්නේ නූතන චන්ද්‍රිකා ඡායාරූප හෝ සමොච්ඡ රේඛා දැක්වෙන සිතියම් නොමැති යුගයක ඒවා ඉදි කර ඇති බැවිනි. 
සිතියම 2 - මෙහි දම් පාටින් පැරණි යෝධයා බැඳි ඇලද තද කොල පාටින් මා ඔයේ සිට ඇලහැර අමුණ දක්වා එහි උපකල්පිත ගමන් මගද දක්වා ඇත. ලා කොල පාටින් ඉදිරියේදී ඉදිවීමට නියමිත කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ යා කරන ඇල මාර්ගය සහ තද දුඹුරු පැහැයෙන් එහි උමං මාර්ගය දක්වා ඇත.
පැරණි යෝධයා බැඳි ඇල කිනම් කලක ඉදි කර ඇත්ද යන්න අවිනිශ්චිතය. ඇතැම් විට විට එය ඇලහැර අමුණෙන් යෝධ ඇලට ජලය හැරවීමට පෙර කලක සිදු වූවා විය හැක (ඇලහැර අමුණේ සහ ඇලෙහි කාල නීර්නය ගැන වැඩිදුර තොරතුරු සඳහා >>) ඇතැම් විට ඇලහැර ඇල මාර්ගය ඉදිකිරීමෙන් පසු එයට වැඩි ජල ප්‍රමානයක් එක් කර ගැනීම උදෙසා ඉන්පසුව ගොඩනැගුවාද විය හැක. කෙසේ නමුත් මහා පරාක්‍රමබාහු රජු පරාක්‍රම සාගරයට ජලය ගෙන යෑමට කාර ගඟ හරස් කර ගොඩවාරි ඇල කැපූ බවට මහාවංශයේ එන සඳහන පාදක කරගනිමින් 'කාර' සහ 'කළු' යන වචන වල සමානත්වය පිළිබඳව අවධානය යොමු කර ගොඩවාරි ඇල යනු අප මෙහිදි විමසා බැලෙන යෝධයා බැඳි ඇල විය හැකිය යන මතයක්ද ඉදිරිපත් වී ඇත (අප පෙර ලිපියෙහිදි කාර ගඟ යනු අඹන් ගඟ ලෙසත් ගොඩවාරි ඇල ඇලහැර ඇල ලෙසත් සැලකෙන ප්‍රකට මතය ගැන සාකාච්චා කලෙමු >> ).   
ජලාශයට යටවීමට නියමිත් ප්‍රදේශයට දිස්වන ලකේගල කඳු මුදුන - ඡායාරූපය - 2018/07/20
මූලාශ්‍ර
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • කළු ගඟ ජලාශය සහ කෘෂිකර්ම ව්‍යාප්ත ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව. 2008

Sunday, July 15, 2018

කුරුඳු පුරාණය සහ ලංසි පැපොල්ගේ ඉතිහාසය

කලකට පෙර පරාක්‍රමබාහු රජු පස්යොදුන් රටේ පහත් බිම් වල පස් පුරවා ඒවායේ වී වගා කල බව සොයා ගත් "ආසියාවේ මහා මෝලය" සහිත "ලංසි පැපොල් ඉතිහාසඥයා" සිය නවතම සොයාගැනීම සමගින් නැවතත් කරලියට පැමිණ ඇත. ඔහුගේ නවතම සොයාගැනීම වී ඇත්තේ පරාක්‍රමබාහු රජු මායා ප්‍රදේශය පාලනය කරන සමයේ "විදේශ විනිමය" උපයාගැනීම උදෙසා කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් වල කුරුඳු වැවූ බවය. වසර පහකින් එහි අස්වැන්න නෙලා උපයාගත් විදේශ විනිමයෙන් හෙතෙම පරාක්‍රම සමුද්‍රයද ඉදි කර ඇත. වෙනත් "බයියන්" මෙන් එම සොයාගැනීම කෙරෙහි ඊර්ෂ්‍යා කරමින් පරාක්‍රම සමුද්‍රය හෑරිම සඳහා එක් බැකෝ යන්ත්‍රයක් ගෙන්වීමට කුරුඳු කිලෝ කීයක් අපනයන කලේද ආදී මෝඩ ප්‍රශ්න අසා එතුමාගේ අගනා සොයාගැනීම හෑල්ලු නොකර මෙරට කුරුඳු අපනයනයේ සහ වගා කිරීමේ ඉතිහාසය සැකවින් විමසා බැලීමට මේ ලිපිය තුලින් උත්සාහ කරමි.
Cinnamon is peeled on the island of Ceylon, උපුටාගැනීම -  Baldaeus P., 1672, 

ක්‍රි.ව. 1200-1293 අතර කාලයේ රචිත ලෙස සැලකෙන බුත්සරණ හිමාලය වනය වර්ණනා කිරීමේදී විවිධ ගන්ධයන් නිකුත් කරන ශාක පිළිබඳව වූ වර්ග කිරීමකදී සුඹුළු වලින් (සිවිය/පිට පොත්ත/Outer integument) සුවඳ විහිදුවන 'ලමඟ' ආදී ගස් එහි තිබූ බව පවසයි. 'ලමඟ  ගස' පිළිබඳව කාව්‍යශේඛරය (ක්‍රි.ව. 1449 ), සද්ධර්ම රත්නාවලිය (ක්‍රි.ව. 1220-1293), යෝගරත්නාකරය (16 වන ශතවර්ෂය), පූජාවලිය (ක්‍රි.ව. 1266), පඤ්චිකාප්‍රදීපය(ක්‍රි.ව. 1457)  වැනි පැරණි ගද්‍ය/පද්‍ය ග්‍රන්ථ කිහිපයකම සඳහන් වන අතර එම ග්‍රන්ථ සංස්කරණය කල ඇතැම් වියතුන් 'ලමඟ' යනු කරාබු නැටි ලෙස සැලකුවද නම්රුවන්මල හෙවත් රුවන්මල් නිඝණ්ඩුව (ක්‍රි.ව. 1420 ට පසුව) නම් පැරණි කෝෂ ග්‍රන්ථයට අනුව 'ලමඟ' නම් 'කුරුඳු ගස' වේ  (කරාබු නැටි ගස/Syzygium aromaticum දේශිය ශාකයන් නොවන අතර මොලුක්කාස් දිවයිනෙන් ඉංග්‍රිසීන් පැමිණෙන විටත් මෙරටට හඳුන්වා දී තිබූ ශාකයකි.) . ජාතක ගාථා සන්නය (ක්‍රි.ව. 1153-1225) නම් පැරණි සන්‍යය ග්‍රන්ථයේද කුරුඳු ගස ගැන සඳහන් වේ. 'කුරුඳු තෙල්' යන වදන ක්‍රි.ව. 1293-1303 අතර කාලයේ රචිත ලෙස සැලකෙන ථූපවංසයේ හමු වේ. මේ සියලුම මූලාශ්‍ර 13 වන ශතවර්ෂයේ හෝ ඉන්පසු රචිත ග්‍රන්ථ වන අතර කුරුඳු වැවීම, අපනයනය කිරීම හෝ කුළු බඩු ලෙස හෝ ඖෂධ ලෙස භාවිතා කිරීම පිළිබඳව විස්තර එයට පෙර රචිත කිසියම් හෝ සාහිත්‍ය මූලාශ්‍රයක හමු නොවේ. පැරණි වංශ කතා වලද කුරුඳු පිළිබඳව විස්තර කිසිවක් සොයා ගත නොහැක.

වෙළඳ භෝගයක් ලෙසට වර්තමානයේ රටවල් කිහිපයකම වගා කරන මුත් Cinnamomum verum ලෙසින් උද්භීද විද්‍යාත්මකව හඳුන්වන කුරුඳු ශාකය මෙරට නිරිත දිග තෙත් කලාපයේ පහත රට වනාන්තර වල පමණක් හමු වන ශාකයකි. එම Cinnamomum ගණයට(Genus) අයත් ශාක විශේෂ(Species) 8 පමණ ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමු වන අතර දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල සිට ඔස්ට්‍රේලියාව දක්වා විහිදුණු කලාපයේ වනාන්තර වල විශේෂ 250 පමණ මේ වන විට හඳුනාගෙන ඇත. එම බොහෝ ශාක වල සුවඳැති පොත්තක් ඇති මුත් ලොව පුරා කුළු බඩුවක් ලෙස භාවිතා වන Cinnamomum verum ශාකය මෙරටට ආවේනික වෙනත් කිසිදු රටක වනාන්තර වල හමු නොවන ගසකි.

ඉහත අප සඳහන් කල අයුරින් මෙරට පැරණි මූලාශ්‍ර වල කුරුඳු ශාකය පිළිබඳව විස්තර හමු නොවන මුත් වෙනත් විදේශීය මූලාශ්‍ර කිහිපයකම මෙරටින් අපනයනය කල කුරුඳු පිළිබඳව තොරතුරු සඳහන් වේ. එසේම කිසියම් හෝ විදේශීය රටකින් කුරුඳු පිළිබඳව පැරණි මූලාශ්‍රයක තොරතුරු හමු වන්නේ නම් එම කුරුඳු අනිවාර්යයෙන්ම මෙරටින් අපනයනය කල ඒවා විය යුත්තේ ඉහත සඳහන් කල ලෙසින් නියම කුරුඳු ගස හමුවන්නේ මෙරට වනාන්තර වල පමණක් වන බැවිනි.

මෙරට කුරුඳු පිළිබඳව හමුවන පැරණිම මූලාශ්‍රය වන්නේ ක්‍රි. ව. 10 වන ශතවර්ෂයේ බුෂූර්ග් ඉබ්න් ෂරියාර් (Buzurg Ibn Shariyar) විසින් රචිත අජා ඉබ් අල් හින්ද් (Aja ib al Hind) හෙවත් 'ඉන්දියාවේ අසිරිය' නම් කෘතියේය. යුදෙව් වෙළෙන්දන් විසින් 12 වන ශත වර්ෂයේ කයිරෝ නුවර තබා ඇති සටහන් වලද කුරුඳු වල මූලාශ්‍රය මෙරට බව සඳහන් වේ. එසේම මිෂනාරි කටයුතු උදෙසා 13 වන සියවසේ පෙරදිග රටවවල සැරිසැරූ මොන්ටිකෝවිනෝහි ජෝන් පියතුමාගේ (John of Montecorvino) ලිපියකද මෙරට කුරුඳු පිළිබඳව සඳහන් වේ. ඉබ්න් බතුතාගේ (Ibn Batuta) මෙරට සංචාරය ( ක්‍රි.ව. 1344) පිළිබඳව ඔහු තබන සටහන් අතර ඉන්දියාවේ මලබාර් සහ කොරමන්ඩල් ප්‍රදේශ වල සිට පැමිණි පුද්ගලයන් මෙරට රජුට ත්‍යාග ලෙසට රෙදි පිළි ආදී දේ ලබා දී කුරුඳු රැගෙන ගිය බව පවසයි. බතූතාගේ විස්තරයේ සඳහන් වන ලෙසට Batthalah ලෙසින් ඔහු හඳුන්වන නගරයේ (පුත්තලම ලෙසින් ඇතැම් වියතුන් හඳුනාගන්නා මුත් ඒ පිළිබඳව නිශ්චිත මතයක් නොමැත.) වෙරල තීරය මුළු මනින්ම පාහේ කුරුඳු 'කෝටු' කඳු ලෙසට ගොඩ ගසා තිබී ඇති අතර, ඒවා 'ජල ප්‍රවාහය' නිසා ගසා ගෙන ආ ඒවා ලෙස ඔහු පවසයි [All the neighboring shore was covered with trunks of cinnamon trees, torn up by the torrents ] (ජල ප්‍රවාහය නිසා ගොඩ ගැසූ කුරුඳු කඳන් ලෙසින් බතුතා පවසන දේ එලෙසින්ම පිළිගත නොහැකි මුත් මේ වන විටද කුරුඳු වනාන්තර වලින් එකතු කලා විනා වගා නොකල බව එම විස්තරයෙන්ද පැහැදිලි වේ. )
උපුටාගැනීම, Cave W. , 1910
විවිධ හේතුන් නිසා රජරට ශිෂ්ඨාචාරයේ සිදුවූ පරිහානියත් සමග මෙරට අගනුවර නිරිත දිග තෙත් කලාපය දෙසට පසු බසින්නට විය. ඒ සමගම එම ප්‍රදේශයේ නොයිදුල් වනාන්තර ක්‍රමයෙන් හේන් වගාව නිසා ද්විතියක වනාන්තර සහ ලඳු කැලෑ බවට පත්වන්නට ඇත. මෙම නව පරිසර පද්ධතීන් තුල මෙතෙක් වනාන්තර වල පමණක් වැඩුන කුරුඳු ගස් බහුලව පැතිර ගියා විය හැක. මෙතෙක් සුළු වශයෙන් හුවමාරු වූ කුරුඳු 15-16 ශතවර්ෂ වන විට ක්‍රමයෙන් මෙරට ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් බවට පත්විණි. අනාදිමත් කාලයක පටන් මෙරට වෙළදාමේ යෙදුන අරාබි ජාතිකයන් මෙරටින් ලබාගත් කුරුඳු මිසරයට සහ කොන්ස්තන්තිනෝපලය හරහා ඉතාලි සහ මධ්‍යධරණි වාණිජ නගරවලට ගෙන ගොස් ඇත.

1505 පමණ කාලයේ සිට මෙරට තුල ක්‍රියාත්මක වූ පෘතූගීසි බලපෑමත් සමග අරාබි වෙළෙඳුන් අත තිබූ කුරුඳු අපනයනය කිරීමේ ඒකාධිකාරය ප්‍රතිකාලුන් විවිධ ක්‍රම මගින් ඔවුන් වෙත ලබා ගත්හ. මෙතැන් පටන් මෙරට තුල දේශපාලන ඉතිහාසය කුරුඳු අපනයන වෙළදාමේ ඉතිහාසය සමග අඩු වැඩි වශයෙන් සමපාත වීමක් සිදුවේ [එබැවින් ලිපිය දීර්ඝ වන බැවින් මෙතැන් සිට ඉදිරිපත් කෙරෙනුයේ සංක්ෂිප්ත ඉතාමත් වැදගත් සිදුවීම් පිළිබඳව තොරතුරු බිඳක් පමණි.] එහෙත් ප්‍රතිකාල් වරුන් පලවා හැර ලන්දේසින් මෙරට මුහුදු බඩ ප්‍රදේශ අත් කරගන්නා තෙක් කිසිදු පෘතූගීසි හෝ සිංහල මූලාශ්‍රයක මෙරට තුල කුරුඳු වගා කර අපනයනය කල බවට කිසිදු තොරතුරක් හමු නොවේ. ඒ වෙනුවට සිදු වූවේ මුලදී ප්‍රධාන වශයෙන් සලාගම කුලයට අයත් ජනයා සහ පසුව සලාගම නොවන කරාව, පදු සහ හුණු වැනි කුල වලට අයත් ජනයාද සුළු වශයෙන් යොදවා කැලෑවලින් කුරුඳු එකතු කිරීමය.
උපුටාගැනීම, Cave W. , 1910
1658 දී පෘතුගීසීන් මෙරටින් සම්පූර්ණයෙන් පළවා හැර ඔවුන් සතුව තිබූ ඇතැම් ප්‍රදේශ නතු කරගත් ලන්දේසීන් කුරුඳු වෙළදාමද සම්පූර්ණයෙන්ම පාහේ ඔවුන් අතට පත් කරගත්හ. කුරුඳු පැල විනාශ කිරීම., අනවසරයෙන් කුරුඳු කැපීම, පෞද්ගලික වෙළදාම සහ ප්‍රවාහනය ලන්දේසීන් ඔවුන්ගේ බලාධිකාරය පැවති ප්‍රදේශ වලදී ඕනෑම පුද්ගලයෙකුට මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කර එය ක්‍රියාත්මකද කරවීය. එපමනක් නොව කුරුඳු තැලීමේ යෙදී සිටි පුද්ගලයන් නියමිත කුරුඳු ප්‍රමාණය නොසැපයී නම් ඔවුන්ට දරුණු දඩුවම් පමුණුවනු ලැබීය.

උඩරට රජුට අයත් ප්‍රදේශ වල වැවුනු කුරුඳු ගස් කැපීමට අවසර ගැනීම උදෙසා ලන්දේසීන් වාර්ෂිකව උඩරට රජතුමා හමුවීමට වටිනා තෑගි භෝග රැගත් දූතයන් යැවිය යුතුය. එමෙන්ම උඩරට ප්‍රධාන රදළයන්ට සහ කුරුඳු වැවෙන පළාත් වල දිසාවේ වරුන්ටද පුද පඩුරු ලබා දිය යුතුය. එපමණක් නොව රජු සමග ආරවුල් ඇති කරගත් සමයන්හී පහතරට ලන්දේසි ප්‍රදේශ වල සිට කුරුඳු තලන්නන්ට උඩරට ප්‍රදේශ වලට ඇතුළු වීමට ඉඩ නොලැබේ. මෙවන් බාධක නිසා ලන්දේසීන් කුරුඳු  වගා කිරීම කෙරේ අවධානය යොමු කිරිමට පටන් ගනී. මෙතෙක් කල් මෙරට ජනතාව අතර ජනප්‍රිය මතයක්ව පැවති කුරුඳු කැලෑ වල ඉබේ වැවීමට ඉඩහරිනවා විනා වගා කල නොහැකි ශාකයක්ය යන මතය බිඳ හෙලා මෙරට මුල් වරට කුරුඳු වතු ඇති කරන්නේ ඉමාන් ෆල්ක් [Iman Willem Falck] (ක්‍රි.ව. 1765-1785) නම් වූ ලන්දේසී ආණ්ඩුකාරවරයාය (ලන්සි පැපොල් තුමාගේ 'පරාක්‍රමබාහු' ඇතැම් විට මොහු විය හැකිය. අප දන්නා මහා පරාක්‍රමබාහුට වඩා ඉමාන් ෆල්ක් ඔහුට හැම අතින්ම සමීපය. 2005 දී පෘතුගීසීන් පැමිණ වසර 500 ගිය කල පෘතුගීසී රටේ නායකකාරකාදීන් ගෙන්වා එම අවස්ථාව උත්සවාකාරයෙන් සමරන්නට 'ලන්සි පැපොල්' දත කට මැදගෙන සිටි සැටිද අපට මෙහිදී මතක් වේ.)

පළමු පර්යේෂණාත්මක කුරුඳු වගාව ඉමාන් ෆ්ල්ක් ආන්ඩුකාරවරයාගේ සමයේදී ආරම්භ වන්නේද අද කොළඹ නගරය තුල පිහිටි මරදාන ප්‍රදේශයේ විනා ලංසි පැපොල් තුමාගේ කළුතර දිස්ත්‍රික්කයේ නොවේ. ඒ වර්ෂ 1769 දීය. ඉක්බිති දැදුරු ඔයේ සිට වළවේ ගඟ දක්වා ලන්දේසීන්ට යටත් ප්‍රදේශ වල මුලාදෑනීන්ට තම බල ප්‍රදේශ වල කුරුඳු වැවිය හැකි බිම් වල කුරුඳු වවන ලෙසට ඔවුන් නියෝග නිකුත් කලහ. මෙලෙස ආරම්භ වූ කුරුඳු වගාව 1796 දී ලන්දේසීන් සතු මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින් අතට පත් කරගත් පසුද කෝපි වගාව මෙරට ප්‍රධාන අපනයන භෝගය බවට පත්වන තෙක්ම ප්‍රධාන වැවිලි භෝගයක් ලෙසට පැවතුණි.

මූලාශ්‍ර
  • A History of Sri Lanka, K.M. de Silva, 2005.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Tropical Planting and Gardening with Special Reference to Ceylon, H.F. Macmillan, 1910
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1,2,3 සහ 4, සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • Ibn Batuta in The Maldives and Ceylon, Albert Gray, 1883
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
  • A Revissed Handbook to The Flora of Ceylon, Dassanayake et.al., Volume IX, 1995
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • සිරිසඟබෝ පැරකුම්බා නිරිඳුන් කළ නමෘවන්මල හෙවත් රුවන්මල් නිඥ්ඩුව, ආනන්ද අබේසිරිවර්ධන, 2004
  • සද්ධර්ම රත්නාවලිය, කිරිඇල්ලේ ඥාණවිමල සංස්කරණය, 2004
  • Sri Lanka The Geographical Vision, Enviroment, Land and Settlement in Classical Sinhala Literature, V. Vitharana, 1999
  • කාව්‍යශේඛරය,සුචරිත ගම්ලත්, වේගිරියේ කීරාල, 2006
  • අමෘතාවහ නම් බුද්ධචරිතය, බුත්සරණ, ලබුගම ලංකානන්ද සංස්කරණය, බු.ව. 2497
  • Pearls, Spices and Green Gold An Illustrated History of Biodiversity Exploration in Sri Lanka, Rohan Pethiyagoda, 2007
  • Ceylon and Its Capabilities, An Account of Its Natural Resources, Indigenous productions and commercial facilities, J.W. Bennett, 1843
  • A Description of the Great and Most Famous Isle of Ceylon, Baldaeus Phillip, 1672
  • Illustrations and Views of Dutch Ceylon, 1602-1796, R.K. de Silva & W.G,M, Beumer, 1988
  • The Ceylon Government Railway, Henry W, Cave, 1910

Sunday, July 8, 2018

දෙවියන් සතු පටීධාතුව පැහැරගත් මහසෙන් රජු ජේතවන දාගැබ ඉදි කල සැටි

"මහසෙන් රජ....දෙනානක මහසෑය බඳවා ධාතු නැත්තෙන් ආකාශය බැලීය. ඔහු වෙහෙස වූ නිසා එකෙණෙහි දෙවියෝ අප බුදුන් බැඳි පටීධාතුව ගෙන එල්ලුවාහ. පටීධාතුව ගන්ඩ රජ අත දික් කරපු විට දෙවියෝ මදක් ඔසවාපුවාහ. රජ නැවත ඊට වඩා අත දික් කළ විට නැවතත් දෙවියෝ අත ඔසවාපුවාහ. එසේ රජ අත දික් කළ සේ දෙවියෝ අත උඩ ගත්තාහ. එරජ කිපී කගය [කඩුව] අතට ගෙන අසූරියනක් අහසට පැන නැගී පටී දාතුව පළුවක් කපා ගත. අඩපළුව දෙවියෝ දෙව්ලොවට ගෙන ගියාහ. එරජ කපා ගත් පටී ධාතුව ගෙන දාගොබ පිහිටුවා එක්සියසතළිස් රියනක් දාගොබ බඳවා මහා පූජා කර සූවිසි අවුරුද්දක් රාජ්ජය කර දෙවිලොව ගියාහ."

මහසෙන් රජු (ක්‍රි.ව. 276-303) ජේතවන දාගැබ බඳවා එහි තැන්පත් කිරීමට ධාතු නොතිබූ හෙයින් දෙවියන්ගෙන් බුදුන් වහන්සේගේ පටී ධාතුව ලබාගත් ආකාරය රාජාවලි කතුවරයා නාට්‍යාකාරයෙන් විස්තර කරන්නේ එලෙසිනි. එම විස්තරයට අනුව දෙවියෝ පටී ධාතුව අහසේ සිට පහලට එල්වාගෙන සිටියේ රජුට අත දිගු කර ගත හැකි දුරකිනි. එහෙත් රජු එය ගැනීමට තැත් කිරීමේදි දෙවියන් රජුව විහිළුවකට ගනිමින් එය තව ටිකක් උඩට ගෙන ඇත. මෙයින් කිපුණු රජු උඩ පැන කඩුවෙන් එහි කොටසක් කපාගෙන ජේතවන දාගැබේ තැන්පත් කර ඇත.
උතුරු ආයකය හෙවත් වාහල්කඩ
පසු කාලීන වංශ කතාවක් වන රාජාවලිය එසේ පවසතත් මහාවංශයේ සඳහන් වන්නේ "දක්ඛිණ විහාරවාසී, කුහක වූ කපටි සිත් ඇති, පාප මිත්‍ර වූ, අසංවර වූ තිස්ස තෙරුන් [නිකාය සංග්‍රහයට අනුව කොහොන්තිස්ස තෙරණුවන්] කෙරෙහි පැහැදුණු රජු මහාවිහාරසීමාවෙහි ජෝති නම් උයනෙහි සංඝයා විසින් වළකනු ලබද්දීම ජේතවන විහාරය.." කරවූ බව [ජේතවන විහාරය විනා දාගැබ නොවේ.] සහ මහසෙන් රජුට පසුව රජ වූ ඔහු පුත් සිරිමේඝවණ්ණ  (ක්‍රි.ව 303-331)  "පියා විසින් ජෝතිවනයෙහි කරවූ විහාරයෙහි නොනිමි කර්මාන්ත සියල්ල" නිම කරවූ බවත්ය.

මේ සම්බන්ධ විස්තරාත්මකව කරුණු හමුවන්නේ මහාවංශයට ලියන ලද ටීකාව ලෙස සැලකෙන වංසත්ථප්පකාසිනී යෙනි. එහි "සාගලික භික්ෂුන්ගේ ජේතවන විහාරයේ" උපත දක්වමින් මහසෙන් රජු විසින් මහාවිහාර සීමාව ඇතුළත එක් පියසෙක් හී ජේතවන විහාරය කරවූ බව පවසයි. එනම් "ආවාසය පමණක් කරවී" යන අර්ථය බව ටීකාව වැඩිදුරටත් විස්තර කරයි. ඉන්පසු රජු මහාවිහාරවාසී භික්ෂූන් හමුවී එහි සියළු භික්ෂූන් කැඳවා පවසා සිටින්නේ මහාවිහාරයට අයත් සීමාව ඇතුළත ඔහු ජෝතිවන නම් උයන්හී ජේතවන විහාරය කරවූ බවත්, එහි සීමාවන් බඳවනු සඳහා, මහාවිහාරවාසී භික්ෂූන් ඔවුන් විසින්ම ඔවුන්ගේ සීමා උගුළුවන ලෙසත්ය. ඉක්බිති මහාවිහාර භික්ෂූන් රජුට එම විහාරයේ ඉතිහාසය සහ එහි ඇති වැදගත්කම පහදා දී එම අදහස ප්‍රතික්ෂේප කර ඔවුන් හෝ රජු එහි සීමා උගුළු වීම සුදුසු නොවන බව පවසා සිටිති. ඉන්පසු රජු එම අදහස අත්හල බව පවසා පිටව යයි. එහෙත් "අන්‍යනිකායික භික්ෂුන් විසින් මෙහෙයවන රජු" නැවත නැවතත් එම අදහස ඉදිරිපත් කරතැයි බියවි ඇතැම් මහාවිහාරික භික්ෂූන් මහාවිහාරයෙන් බැහැරව අන් තැනක යන අතර ඇතැම් සිල්වත් භික්ෂූන් බැහැර නොගොස් විහාර සීමාව ඇතූලතම තැනින් තැන වසන් වී සැඟවුන බව වංසත්ථප්පකාසිනිය විස්තර කරයි. "අන්‍ය නිකායික භික්ෂූන්" නො උගුළුවන ලද සීමාව උගුළුවන ලදැයි සිතූ බවත් නමුත් එය අසත්‍ය බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
දකුණු දොරටුව
මහාවංශයේ දෙවැනි කොටස තුල (චූලවංශය ලෙසද හැඳින්වේ.) සිරිමේඝවණ්ණ රජුගේ සමය පිළිබඳ විස්තරයේදී මහාවිහාර භික්ෂූන් එම රජුට පවසා සිටින්නේ ඔහුගේ පියා සීමාව උගුළුවන්නට උත්සහ කල මුත් භික්ෂූන් සත් දෙනෙකු මහාවිහාර සීමාව තුල බිම් ගෙයක් තුල සැඟව සිටි හෙයින් එය කිරීමට ඔහුට නොහැකි වූ බවය. ජේතවන විහාරය පිරිනැමූ තිස්ස තෙරණුවන් උදෙසා සංඝයා චෝදනා ගොණු කර විනිශ්චයකාරක මහා අමාත්‍යයෙක් ලවා ඒවා විනිශ්චය කර රජු අකමැති වුවත් එම තෙරුන් උපැවිදි කරවූ බව මහාවංශයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙසේ හෙයින් මහාවංශය ආදී පැරණි වංශකතාවලට අනුව මහසෙන් රජු ජේතවන දාගැබ (විහාරය නොවේ) ඉදි කල බවට සාධක හමු නොවේ. වංසත්ථප්පාකාසිනිය පවසන ලෙසට නම්  ඔහු තනවා ඇත්තේ එහි ආවාසය පමණි. මහා බලවත් කරල් සොරෙක් ලෙස මහාවංශය හඳුන්වන මිත්තසේන රජු  (ක්‍රි.ව 432-433) මහා ස්තූප තුනෙහි හත්ථිපාකාරද [ඇත් පවුර], තොරණද කරවූ බවට මහාවංශයෙහි එන සඳහන අනුව රුවන්වැලිසෑය, අභයගිරිය සහ ජේතවනය මහා ස්තූප තුන ලෙස සැලකෙන බැවින්, ඒ වන විට ජේතවන ස්තූපය ඉදිවී තිබුණ බව පෙණේ. නැවත ධාතුසේන රජු  (ක්‍රි.ව 459-477) මහා ස්තූප තුනේ දිරාගිය ඡත්‍ර කරවූ බව සඳහන් වේ. එසේම ඔහු ඒවායෙහි සුධාකර්මද [හුණු ආලේපණය], ස්වර්ණමය ඡත්‍රයන්ද , වජ්‍රචුම්බටද [අකුණු සන්නායක] කරවීය. මහානාග රජුද මහාස්තූප තුනෙහි සුධාකර්මද, චුම්බටද කරවා, හත්ථිවේදය [ඇත් පවුර] සහ චිත්‍රකර්ම කරවීය. පළමුවන අග්ගබෝධි රජුද  (ක්‍රි.ව 575-608) තුන් නිකායෙහි ස්තූප වල ඡත්‍ර රනින් කරවා,  හත්, අට, නව වාරයක් වටිනා මැණික් වලින්ද පිදුවේය. තුන්වන මොග්ගල්ලාන රජුද  (ක්‍රි.ව 618-623) අලුත් වස්ත්‍රයෙන් ස්තූප තුනම වැස්සවූහ.
ආයක හෙවත් වාහල්කඩ කැටයම්
අග්ගබෝධි රජුගේ ක්‍රියාවන් ගැන එන සඳහනෙහි තුන් නිකායෙහි ස්තුප ලෙස හැඳින්වෙන බැවින් පැහැදිලිවම එමගින් සාගලික නිකායට අයත් ජේතවන ස්තූපය ගැනද සඳහන් වන බව නිගමනය කල හැක. එයට පෙර අවස්ථා වලද තුන් ස්තූපයන් ගැන පවසන්නේ එම නිකායන් තුනට අයත් ස්තූප තුන විය හැක.

මේ කිසිදු අවස්ථාවක ජේතවන ස්තූපය පිළිබඳව වෙනමම සඳහන් නොවේ. එහෙත් තවත් අවස්ථා කිහිපයකදීම ජේතවන විහාරයට අයත් පිරිවෙන් සහ ප්‍රාසාද ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම් ගැන විස්තර මහාවංශයේ හමුවේ. මහාවංශයේ පළමුවරට ජේතවන ස්තූපය ලෙසින් එන සඳහනක් හමුවන්නේ පළමුවන පරාක්‍රමබාහු රජු  (ක්‍රි.ව 1153 - 1186) දමිළයන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව එක්සිය සැටරියන් උස ජේතවන ථූපය අනෙකුත් අනුරාධපුරයේ ස්තූපයන්ද සමගින් මැනවින් බන්දා හුණු පිරියම් කරවා, සෑබිම පිරිසිදු කරවා අලුත්වැඩියා කල බව පැවසීමේදිය.
ආයක හෙවත් වාහල්කඩ කැටයම්
ඉහත රාජාවලියෙහි දැක්වෙන ජේතවන ස්තූපයේ තැන්පත් කිරීම උදෙසා දෙවියන්ගෙන් බුදුන් වහන්සේගේ පටී ධාතුව ලබාගත් ආකාරය පිළිබඳව මුල්ම සඳහන හමුවන්නේ දඹදෙනි යුගයේ මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විචින් රචනා කල පූජාවලියේය. එහිම මහසෙන් රජු දෙනානක නම් මහසෑය බැඳවූ බව මුල් වරට ඓතිහාසික ලේඛනයක එන සඳහන හමුවේ.

කෝට්ටේ යුගයේ රචිත පැරකුම්බා සිරිත පටී ධාතුව දෙවියන්ගෙන් ලබාගැනීමේ කතාව තවත් වැඩිදියුණු කරමින් රජු එක් අතකින් රහමෙර ගෙන පටී ධාතුව නොලැබුනහොත් එය බොන බව පවසමින් දෙවියන් හට තර්ජනය කල විට දෙවියන් පෙනී සිට පටී ධාතුව පෙර ලෙසින්ම රජු වෙහෙසවා ලබා දුන් බව පවසයි.

තෙදින් මහසෙන් නැමැති මහසෙන් රජෙක් දෙනා වෙහෙර'නුරපුර
රියන් සතලිස් තුරා සියයක් කරවමින් මහසැයක් මනහර
බුදුන් ගුණ සලකා පටීදා සුරපුරෙන් බසිවයි ඉටන් කැර
ඉදින් නොවැඩිය රහ බොමැයි රහවිත අතින් ගෙනැ සිටිත එමෙවර

වඩා ගෙනැ උන් සුරිඳු නුබගබ ලඹ පටීදා ඒ නරනිඳු දැක
දමා රාවිත සුවඳ සිලිලෙන් දෙවැ තමා සුබ ලකුණු අත් දෙක
එදා අල්වත අසූරියනක් පමණ දුරුකැරැ නැගී සහසක
යොදා උකුළේ තුබූ සිරියැදැ ගෙනැ කැපී පැහැ ඉන් අඩක් එක
වැලි මළුවේ සිට සලපතල මළුවට පිවිසෙන පියගැට පෙල
පස්වන මහින්ද රජුගේ  (ක්‍රි.ව. 982-1029) කාලයේදී මෙරට ආක්‍රමණය කළ සොළී හමුදාව පැහැර ගත් රාජ කකුධ භාණ්ඩ අතර "කැපූ පටී ධාතුවද" වූ බව මහාවංශයේ එන සඳහන මෙහිදී සැලකිල්ලට ගතහොත් ඉහත ජනප්‍රවාද ගත තොරතුරු හෝ දඹදෙනි යුගයේදී පූජාවලිය ලියූ හිමියන්ට හමුවූ වෙනත් මුලාශ්‍රයක් අශ්‍රයෙන් ඒ හිමියන් පළමු වරට ඉදිරිපත් කරන පටී ධාතුව ලබාගැනීම පිළිබඳව වූ කතාවේ යම් සත්‍යතාවයක් තිබිය හැකි බව පෙනේ. ඒ වන විට මහාවිහාරයට අයත් විහාර වල පමණක් තිබූ බුදුන් වහන්සේගේ ධාතුන් රජුට ලබාගැනීමට නොහැකි වූ කල ඔහු රාජ කකුධ භාණ්ඩ අතර රජුට අයත්ව තිබූ බුදුන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් කපා ජේතවන දාගැබේ තැන්පත් කල බව සිතිය හැක. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ එහි අනික් කොටස ඒ අනුව මහාවංශයේ සඳහන් පරිදි අනුරාධපුර යුගය අවසන් කල සොළී ආක්‍රමනයේදී සතුරන් අතට පත්විය. එහෙත් එම පටී ධාතුව කිනම් කලක මෙරටට ලැබිණිද යන්න පිළිබඳව කිසිදු මූලාශ්‍රයක තොරතුරු හමු නොවේ.

මහාවංශය කරුණු දක්වන ලෙසට මහසෙන් රජු ජේතවන ස්තූපය ඉදි නොකල බවට අප පිළිගන්නේ නම් (මහසෙන් රජු සමග මහාවිහාරික භික්ෂූන්ගේ අමනාපයක් තිබූ හෙයින් ඔහු කල ඇතැම් ඉදිකිරීම වල ගෞරවය ඔහුට නොදී සිටීමට මහාවිහාරවාසී මහාවංශ කතු හිමියන් ක්‍රියා කලා විය හැකිය යන තර්කයද මෙහිදි බැහැර කල නොහැක.) මහා ස්තූප තුනක් පිළිබඳව මුල්ම සඳහන මිත්තසේන රජුගේ කාලයේදී හමුවන හෙයින් මහසෙන් රජුගේ පටන් මිත්තසේන රජු රාජ්‍යත්වයට පත්වීම දක්වා වසර 129 ක පමණ කාලය අතර තුර කිසියම් රජ කෙනෙකු හෝ කිහිප දෙනෙකුගේ රාජ්‍ය පාලන කාලයන් තුල ජේතවන දාගැබ තැනවූ බව අනුමාණ කල හැක. එසේ නොමැති නම් මහාවිහාර සීමාව තුල ජේතවන විහාරය මහසෙන් රජු ඉදිකරන අවධිය වන විටත් (ජේතවන විහාරය එම දාගැබ නොවේ) පැරණි දාගැබක් එම සීමාව තුල තිබුණා වුවද විය හැක. ජේතවන දාගැබ මිහිදු හිමියන් ආදාහනය කල ස්ථානයේ මහසෙන් රජු ඉදි කල බවට ආචාර්ය හේම රත්නායක මහතා ඉදිරිපත් කරන මතය මෙන්ම එම ස්තූපය මිහිඳු මහ හිමියන් ආදාහනය කල ස්ථානයේ ඒ හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් උත්තිය රජතුමන්  ඉදි කල ස්තූපය බවට මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා ඉදිරිපත් කරන මතයද මෙහිදි සැලකිල්ලට ලක් කල යුතුය. ඒ මහතා සඳහන් කරන පරිදි පසු කාලීනව එය විවිධ රජවරුන්ගේ අවධීන්හී විශාලනය වන්නටද ඇත. එම මතයන් පිළිබඳව වැඩිදුර තොරතුරු මතු ලිපියකින් විමසා බලමු.
බටහිර දොරටුව
මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • අපේ සංස්කෘතික උරුමය, ද්විතීය කාණ්ඩය, 1998
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • ජේතවන ස්තූපයේ වාස්තුවිද්‍යා මූලිකාංග සහ ඉදිකිරීමේ තාක්ෂණික ක්‍රම, ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • Architectural Remains, Anuradhapura, Sri Lanka, James G. Smither, Revised and Edited by Chandra Wikramagamage, 1993
  • පුරාණ අනුරාධපුරය, අනුරාධ සෙනෙවිරත්න, 1995
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965

Tuesday, July 3, 2018

සියවසකට පෙර කන්ද පහල කෝරලයෙන් ගංදෙකේ කෝරලයේ මීමුරෙන් ඔබ්බට...

"මීමුරේ" මෑතක් වනතෙක්ම ස්වභාවික පරිසරය විනාස නොකර සංචාරයේ යෙදුන පරිසර හිතකාමි අතලොස්සක් වූ සංචාරකයන්, ගවේෂකයන් සහ ස්වභාව විද්‍යාඥයන් කිහිප දෙනෙකු හැරෙන්නට මෙරට බහුතරයකගේ අවධානයට එතරම් ලක් නොවූ හුදකලා ගම්මානයක්ව පැවතිනි. 1990 දශකයේ අවසාන අවධියේ පළමු වරට මා රණමුරේගම, නාරංගමුව හරහා වනාන්තරය තුලින් වැටී තිබූ අඩි පාර ඔස්සේ මීමුරේ ගමට යන විටද අප වැනි සංචාරකයන් යනු ගමට කලාතුරකින් පැමිණෙන මුළු ගමම විමසිලිමත් වන ආගන්තුකයන් පිරිසක් විනා කන්නට යමක් දී ඉන්නට තැනක් දී ඔවුන් හට මුදල් ටිකක් ලබාගත හැකි ෆන් ගන්නට මීමුරේ එන 'කැසිලිකාරයන්' ලෙස ගම්මුන් සැලකුවේ නැත. ඉදුම් හිටුම් කෑම බීම කැමැත්තෙන්ම සපයා දී ඔවුන් පැරණි උඩරට ගමක රොබට් නොක්ස් සියවස් ගනණකට පෙර සඳහන් කල සිංහලයාගේ ආගන්තුක සත්කාරය විසිවන සියවස ගෙවී යමින් තිබූ එම අවදියේත් මැනවින් අප හට නැවත වරක් පසක් කරවීය. නමුදු අද වන විට මීමුරේ සහ වෙනත් ඒ අවට පිහිටි බොහෝ ගම්මාන 'ටුවරිස්ට් ඩෙස්ටිනේෂන්ස්' වී අවසානය. සිනමාවේ කුඩා දරුවන් විකුණා සල්ලි ගරන කසිකබල් චිත්‍රපට කාරයකුගේ "කෙහෙල්මල් අරණක්" නිසා බාහිර ලෝකයට අනවශ්‍ය ලෙස විවෘත වූ මීමුරේ ගම වසර කිහිපයකට පෙර රට පුරා දස දෙසින් පැමිණෙන සංචාරකයන්ට "වීක් එන්ඩ්" එකක යායුතුම ස්ථානයක් බවට පත් ව තිබුණි. යාන්තම් එක් වාහනයක් පමණක් යා හැකිව තිබූ ජීප් පාරක් වූ මාර්ගය ලේලන්ඩ් බස් පිටින් සෙනග දෙපසට අදින "ගාළු පාරක්" වී තිබුන අයුරු එම අවදියේ මීමුරේ දෙසට නොයා හීන් ගඟේ දකුණු ඉවුරේ වූ කුඹුක්ගොල්ල ගමට ගිය අවස්ථාවක අපට දැක ගන්නට හැකි විය. අද වන විටද අඩු වැඩි වශයෙන් එම තත්වය එලෙසමය.
ලකේගල පාමුල පිහිටි මීමුරේ ගම
තරගයට මෙන් මෙරට සංවේදී පරිසර කලාප "රන් දෙපැයේ රූපවාහිනි සෝප් ඔපෙරා" හරහා ලෝකය දකින ප්‍රේක්ෂකයන් වෙත හෙළි කරන ටිවී චැනල් වල "ට්‍රැවල් විත් අරයා මෙයා" වැඩසටහන් මෙරට අනෙකුත් බොහෝ සංවේදී පරිසර කලාප වෙත අත්කර දී ඇති ඉරණම දුම්බර අඩවියටද නොනැවතී අත් කර දෙමින් සිටි. පරිසර කලාපයකට දරාගත නොහැකි අවිධිමත් සංචාරක කර්මාන්තය හේතුවෙන් කෙමෙන් විනාශ වන දුම්බර අඩවියේ පරිසරය මෙන්ම අව්‍යාජයයි තවමත් පත්තර පිටුවල පමණක් ලියවෙන ගැමි දිවියද මේ වන විට උඩු යටිකුරු වී ඇත. එනසාල් වතු හිමි ඇතැම් ධන කුවේරයන් වන මැද කර ඇති ඉදි කිරීම්, මාර්ග තැනීම් පිළිබඳව මේ වන තෙක් කිසිදු පරිසර සංවිධානයක් හෝ කතා කර ඇති බවක්ද නොදුටුවෙමි. මෙයට පෙර ලිපියෙන්ද අවධාරනය කල ලෙසට ජඩපාලනය නකල්ස් ස්වාරක්ෂක කලාපයද තොපි කැමති ඕන මගුලක් කරගනිව් කියමින් කට්ටි කර දෙස් විදෙස් ව්‍යාපාරිකයන් හට විකුණා දමමින් සිටි. ජනවසමට අයත් කර ගත් තේ වතු වල තිබූ පැරණි වෘක්ෂයන් "එදා වේල ටුවර්ස් පාණ්ඩුවේ" පොකට් මනී සදහා කුට්ටි කර ගහට ගහක් හමුවන්න මොරටු යමින් සිටී.
මීමුරේ ගමේ වෙල් යාය අසල පිහිටි කුඩා දේවාලය
මීමුරේ ගම්මානය සහ දුම්බර රටේ වර්තමාන මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි අනෙකුත් පැරණි ගම්මාන පිළිබඳව 19 වන සියවසේ මුල් වරට තොරතුරු ඉදිරිපත් කරන්නේ ජෝන් ඩේවි සිය සංචාර සහ මෙරට වැසියන් පිළිබඳව ක්‍රි.ව. 1821 ප්‍රකාශයට පත් කල සිය කෘතියේදී විය හැක. මහනුවර සිට තෙල්දෙනිය, මැද මහනුවර, හංවැල්ල හරහා වෙඩි ලුණු ගුහාවට (Nitre-cave) සහ මීමුරේ ගමට ඩේවි පැමිණි ගමන පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීම මතුවට කල් තබා මේ ලිපියෙන් අප පෙර ලිපියේ දිගුවක් ලෙස නකල්ස් ලෝක උරුම කලාපයේ ස්වාරක්ෂක කලාපයේ (Buffer Zone) නැගෙනහිර දෙසට වන්නට ගංදෙක කෝරලය සහ කන්ද පහල කෝරලය යන පැරණි බෙදීම් තුල හමුවන ගම්මාන කිහිපයක් පිළිබඳව එවකට මහනුවර විනිශ්චයකාර ධූර තැන්පත් A.C. ලෝරි විසින් වර්ෂ 1896 දී තබා ඇති සටහන් අශ්‍රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. එහි උතුරු මායිමට වන්නට පිහිටි ගම්මාන පිළිබඳව සහ නැගෙනහිර දෙසට වන්නට ලග්ගල පල්ලේසිය පත්තුව තුල පිහිටි ගම්මාන කිහිපයක් පිළිබඳව තොරතුරු මෙයට පෙර ලිපියකින් ඉදිරිපත් කලෙමි. (එම ලිපිය කියවීමට>>19 වන සියවසේදී දුම්බර රට)
දෝතළුගල මතට පෙනෙන පැරණි තේ වගාව සිදු කර අතහැර දැමූ බිම්. අද වන විට සංචාරක නවාතැන් කිහිපයක් ඉදිවී ඇති මෙම ඉඩම් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බදු දීමට නියමිතව ඇත.
ගංදෙක කෝරලේ
  • මීමුරේ>>  මීමුරේ ආරච්චි වසමට මීමුරේ, දන්දෙනිකුඹුරකයිකාවල සහ ගලමුදුන යන ගම් අයත් වේ (කහටගහවෙල මීමුරේ ගම තුල පිහිටි කුඩා ගමකි.). මීමුරේ ගම අසලින් දිඹිගලේ ඔය සහ උඩවන්නිමානේ ඇල ගලා යන අතර ඇඳිරිගලේ කන්ද සහ සුදුවලල්ලේ ගල්කන්ද යන කඳු මීමුරේ ගම අසල පිහිටා ඇත. 1881 දී 168 වූ මීමුරේ ජනගහණය 1891 වන විට 157 දක්වා අඩු වී තිබුණි. එහි ඒ වන විට අතහැර දමා තිබූ කෝපි වගාවක් තිබී ඇත.1798 කාලයේ මීගස්තැන්නේ අධිකාරම මීමුරේ රටේ මහත්තයා තනතුර දැරීය. 
  • කයිකාවල>> මහ ඔය හෙවත් හීන් ගඟ ගම අසලින් ගලා යයි. තලබෝ සහ ලකේගල කන්ද යන කඳු කයිකාවල අසල පිහිටා ඇත. ජනගහණය වර්ෂ 1881 දී 88 වූ අතර 1891 දී 92 විය.
  • දන්දෙනිකුඹුර>> රාවණා ඇල්ල සහ උඩවන්නිමානේ කන්ද යන කඳු ගම අවට පිහිටා ඇත. 69 ක් වූ 1881 එහි ජනගහණය 1891 වන විට 71 දක්වා වැඩි වී ඇත.
  • ගලමුදුන>>   ගලමුදුන ගමෙහි ජනගහණය1881 දී 80 සහ 1891 දී 120 විය. දියපිහිල්ලකඳුර, හෙල්ලෙනාගල, කිණිහිරිගල, රදාගල, තුනිස්ගල සහ වරවාගල යන කඳු ගම වටා පිහිටා ඇත.
  • උඩ ගලදෙබොක්ක>> කළුගල ආරච්චි වසමට අයත් වර්ෂ 1881 දී ජනගහණය 157 ක් සහ 1891  දී 220 වූ ගම්මානයකි. නෙළුවේකඳුර සහ මල්ගස්පතනේ කන්ද ගම අසල පිහිටා ඇත.
ගංදෙක කෝරලයට (දම් පාට) සහ කන්ද පහල කෝරලයට (නිල් පැහැය) අයත් ගම් වල පිහිටීම.
  • වදවලකන්ද>>  උඩවෙල ගම තුල පිහිටි කුඩා ගමකි. 1891 ජන සංගනණයේදී පුද්ගලයන් 161 සිට ඇත.
  • උඩ ඉලුක>>  1891 වසරේදී පුද්ගලයන් 81 දෙනෙකු සිටි ගමකි.
  • කළුගල>>  කළුගල, පදුපොල සහ ගලදෙබොක්ක එක් ආරච්චි වසමකට අයත් වේ. කළුගල් ඔය ගම හරහා ගලා යයි. කළුබට ඇල සහ කටුකිතුලෙකන්ද අසල පිහිටි කඳු වේ. ජනගහණය 1881 දී 277 සහ 1891 දී 129 විය. 
  • කන්දේගම හෙවත් කන්දේගම්මැද්ද>> - වර්ෂ 1881 දී 369 සහ 1891 දී 171 කුල හීන ජනයා විසූ දුරයා කෙනෙකු යටතේ පාලනය වූ ගමකි. 
  • ගැරඬිගල>> - පල්ලේවෙල ආරච්චි වසමට අයත් වූ ගමකි. වර්ෂ 1881 දී 109 ක සහ 1891 දී 112 ක ජනගහණයක් වාර්තා වී ඇත.
  • නාරංතලාව>> - හංවැල්ල ආරච්චි වසමට අයත් ගමකි. නාරංතලාව ඔය ගම හරහා ගලා යයි. 1881 ජන සංගනණයේදී පුද්ගලයන් 81 වාසය කර ඇත. 
කන්ද පහල කෝරලේ

ගංදෙක කෝරලයට අයත් ගම් වල පිහිටීම.
  • පල්ලේ ගලදෙබොක්ක>>  මැදකැලේ ආරච්චි වසමට අයත් වර්ෂ 1881 දී ජනගහණය 129 සහ 1891 දී 170 වූ ගොවි කුල ජනයා සහ වහල් ජනයාගෙන් පැවත එන්නන් (Descendants of slaves) වාසය කරන කඳුකර ගම්මානයකි. ඇඹිල්දුමේකඳුර කන්ද ගම අසල පිහිටා ඇත. වී වගාවට වඩා හේන් වගාව ප්‍රධාන වන අතර කපු වගාවද සිදුකරයි. 
  • උඩත්තව>>   උඩත්තව ගම එම නමින් යුත් ආරච්චි වසමට මැදකැලේ, බද්දේමුල්ල, වෙලේමුල්ල සහ පල්ලේ ගලදෙබොක්ක ගම් සමග අයත් වේ. වැලිමුල්ල එම ගමට අයත් කුඩා ගබඩාගමකි. ආඳාවල ඔය ගම හරහා ගලා යයි. 685 වූ 1871 ජනගහණය 1881 දී 248 කට අඩු වී 1891 දී 196 බවට පත් වී ඇත. ගොවි, පන්නයෝ සහ අනිලබද්දේ පුද්ගලයන් වාසය කර ඇත. බටුමුල්ලේ උල්පොත මගින් කුඹුරු වගා කරයි. කපු වගාවද සිදු කරයි. වෑවරගල (Wewaragala) ලෙසින් හඳුන්වන සැතපුමක් පමණ දිග සමතලා ගල් පොත්තක් ගමට උතුරින් වැව අසල පිහිටා ඇත.මෙම ගමේ වැසියන් බිම්තැන්නේ සමන් දේවාලයට සේවා සපයයි.
    මීමුරෙ නිවසක්
  • වැල්ගහවාඩිය>>  ඉළුක, ඇටඹේගොල්ල සහ උල්පොතගම අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි. බටකන්ද සහ ගොරකගහ උල්පොත යන කඳු ගම අසල පිහිටා ඇත. 1881 දී 97 දෙනෙකු සහ 1891 දී 50 දෙනෙකු මෙම ගමෙහි වාසය කර ඇත. පන්නයෝ, වහල් ජනයාගෙන් පැවත එන්නන් මෙන්ම ගබඩාගම පුද්ගලයන්ද වාසය කර ඇත. 
  • මැදකැලේ>> වී වගාවට වඩා කුරක්කන් වගාව සිදු කරන සමතලා භූමියක් සහිත ගමකි. කපු වගාවද සිදු කරයි. වර්ෂ 1881 දී 73 වූ මෙම ගමේ ජනගහණය1891 දී 85 ලෙස දක්වා ඇත. වහල් ජනයාගෙන් පැවත එන්නන් වාසය කරයි. 
  • බද්දේමුල්ල>> වර්ෂ 1891 දී පුද්ගලයන් 110 වාසය කල ගම්මානයකි.
  • තෝරපිටිය>> පල්ලේවත්තේ ආරච්චි වසමට අයත් වහල් ජනයාගෙන් පැවත එන්නන් 1881 දී 32 සහ 1891 දී 41 වාසය කල ගමකි. වී වගාවට වඩා කුරක්කන් වගාව සිදු කරයි.
මීමුරේ මැද මිදුල සහිත පැරණි නිවසක්
1956 වසරේ දුම්බර කඳුකරයේ ගවේෂණයක නියැලුනු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කල විද්‍යඥයන් පිරිසක් අතරින් එම කණ්ඩායම නියෝජනය කල භූ විද්‍යාඥ P.G. කුරේ මහතා පසු කාලීනව ප්‍රකාශයට පත් කල The Knuckles Massif - A Portfolio කෘතියේ පෙරවදනට එතුමා ඉංග්‍රිසි භාෂාවෙන් ඇතුලත් කරන  වචන කිහිපයකින් මෙම ලිපිය අවසන් කරමු. 
"The Knuckles still remains, perhaps fortunately, a little opened up area of Sri Lanka, and much of it still retains its pristine beauty"
එහෙත් අද හෝ නුදුරු අනාගතයේ  කිසිවෙකුට දුම්බර කඳුකරය  සම්බන්ධයෙන් සහ එහි කඳු අතර සැගවුණු පැරණි ගම් පිළිබඳව නැවතත් එලෙසින් කිව හැකි වනු ඇතිද?
මීමුරේ නිවසක්
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Nomination of The Central Highlands of Sri Lanka: Its Cultural and Natural Heritage for inscription on theWorld Heritage List, Submitted to UNESCO by the Government of the Democratic Socialist Republic of Sri Lanka 1 January 2008
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821