Sunday, February 19, 2017

මහාසෑයේ තැන්පත් කල ලොව පළමු බුදු පිළිමය, උඩ අළුදෙණිය ස්ථූපයේ රන් ආලේපිත බුදු පිළිම සහ සඳ හිරු සෑයේ රත්‍රන් බුදු පිළිමය

සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
 "..ඉක්බිති දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භමධ්‍යයෙහි රුවන් මුවා බෝ රුකක් කරවීය. ඒ බෝධීන් වහන්සේ ඉන්ද්‍රනීලමාණික්‍යමය බිමෙහි පිහිටියේය. එහි මුල් පබලුමය කොට කරවූහ. කඳ රිදියෙන් කරවන ලදී. මිණි මුවා පතින් හෙබියේය. රුවන් මුවා පාණ්ඩු පුත්‍ර ඵල ඇත්තේය. අටමඟලද සත්රුවනින්ම කරවීය. නැවත මල් , සිව්පා, හංස පන්තීන්ද සත්රුවනින්ම කරවීය. ඒ බෝධීන් වහන්සේගේ මුදුනේ සුදු වියන් බැඳ ඒ වියන් කෙළවර වට කොට මුතු හා එක්කොට අවුණන ලද රන් රසුදැල් බැඳවූහ. මෙසේම ඒ ධාතු ගර්භයේ සුදුසු ලෙස සත්රුවනින් ම සඳහිරු දෙදෙනාද, නැකත්තරුද, රන් පියුම්ද කරවන ලද්දේය. ඉක්බිති ඒ බෝධීන් වහන්සේගේ කඳ මුල වටකොට සත්රුවන්මය පිල්කඩකුදු ලැවූ ය. ඒ පිල්කඩ මත්තෙහි මාහැඟි මුතු ඇතුරුවූ ය. ඒ මුතුරැසට කෙළවර සුවඳ පැන් පිරූ සත්රුවන් කළ පංතියක්ද තැබ්බවූ ය. ඒ රුවන් කළ පංතියෙහි පබළුමය මල් ලැවූ ය. පබළුමය කළයෙහි රන් මල් ලැවූ ය. මැණික්මය කළයෙහි රිදී මල් ලැවූ ය. රිදීමය කළයෙහි ඉන්ද්‍රනීලමාණික්‍යමය මල් ලැවූ ය. සත් රුවන් කළයෙහි සත් රුවන් මල් ලැවූ ය. නැවත ඒ බෝධීන් වහන්සේට නැගෙනහිර දිසාවේ. සත්රුවන්මය වූ කෙළක් අගනා ආසනයෙහි සත් රුවන්මය වූ බුදුරුවකුදු කරවූ ය. ඒ පිළිරුව  ශරීර අවයවයෝ  සුදුසු පරිද්දෙන් නානා වර්ණ රුවනින් කරන ලද්දා හ....."
පිළිම සහ විශාල ලෝකඩ කරඬුව කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අයුරු
මහා සෑය හෙවත් රුවන්වැලි දාගැබෙහි ධාතු ගර්භයෙහි තැන්පත් කල විවිධ පූජා වස්තු පිළිබඳව මහාවංශයෙහි සහ ථූපවංසයෙහි සඳහන් වන දීර්ඝ විස්තරයෙහි සංක්ෂිත කොට දැක්වූ කොටසක් එසේය. මෙහි රත්රනින් කල බුදු පිළිමයක් පිළිබඳව වූ සඳහන වැදගත් වන්නේ මේ විස්තර වල සත්‍යතාවය පිළිගත හැකි නම් ඒ වූ කලී බුදු පිළිමයේ ආරම්භය පිළිබඳ වූ පැරණිම හෝඩුවාව වන බැවිනි. එසේම බුදු පිළිමය ප්‍රථමයෙන්ම  නිර්මාණය පිළිබඳ වූ ගෞරවයද ඒ අනුව හෙළ කලාකරුවාට හිමිවේ. එහෙත් ඇතැම් විද්වතුන් මේ පිළිබඳව එකඟ නොවන්නේ මහාවංශය ලියවෙන කාලය වන විට භාරතයේ ප්‍රථමයෙන් සහ ඉන් අනතුරුව මෙරට බුදුපිළිම නිර්මාණය කර තිබූ බැවින් මේ සඳහන එම කාලයේ තත්වයන් අතීතයට ආදේශ කිරීමක් විය හැකි බව පවසමිනි. කෙසේ වුවත් පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සහ D.T. දේවේන්ද්‍ර වැනි වියතුන් මෙම සඳහන සහ වෙනත් සාධක අශ්‍රයෙන් ලොව බුදු පිළිම නෙළීමේ ආරම්භය මෙරට සිදුවූ බවට වූ මතයක් ඉදිරිපත් කරයි.  ඒ පිළිබඳව වූ විස්තර පසුව සාකච්චා කරමු.
ලෝකඩ කරඬුව තුල පිළිම තැන්පත් කර තිබූ අයුරු
සියවස් ගණනාවකට පෙර මේ රට එක්සේසත් කල දුටුගැමුණු රජතුමා ඉන්පසු සිදු කල ආගමික සේවාව එසේ වූ නමුත් ඉන් පසු කාලයක නැවතත් ලොව කෘරතම සහ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය මර්ධනය කර, දේශිය සහ විදේශිය සතුරු බල සෙන් පරදා මෙරට එක්සේසත් කල නායකයෙකුට නම් කළගුණ නොදත් නාමික සිංහල අඳබාලයන් බහුතරයක්ද ඇතුලත් ලක්ෂ 62 ක් වූ තෘණ භක්ෂක චන්දදායකයන් පිරිසකට පිංසිදු වන්නට මුහුණ දෙන්නට සිදු වූවේ එසේ මෙසේ ඉරණමකට නොවේ. මිත්‍යාදෘෂ්ටිකයන් රජ වී ඇති මෙකල රාජ සන්තක වූ රේගුවට අයත් රත්‍රන් යොදාගෙන බුදුරුවක් සකසා එය සඳ හිරු සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීම ආනන්තරීක පාප කර්මයක් ලෙස අරුත් ගන්වා පොලිස් රාජ්‍යයේ 'ගෙස්ටාපෝවේ' කෙළවරක් නැති ප්‍රශ්ණ කිරීම් වලට මුහුණ දීමට එය සිදු කල යුගයේ ජාතික විරුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවීම නම්, කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් සිංහල ජාතියේ සහ බුද්ධ ශාසනයේ අවසානය නුදුරේම විය හැකි බවට වූ සලකුණක් විනා අන් යමක් නොවේ.
භූමි ස්පර්ශ මුද්‍රාව සහිත හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
වංශ කතා වල සඳහන් වන ධාතු ගර්භයේ තැන්පත් කල මෙවන් වූ පූජා වස්තූන් පිළිබඳ වූ විස්තර හුදු අතිශයෝක්තියක්ම නොවන්නේ මෙරට සියවස් ගණනාවක් පුරා නිඳන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී විනාස වූ ස්ථූප අතරින් කළාතුරකින් වුවද ඉතිරි වූ ස්ථූප ඇතැමෙක ධාතු ගර්භ වල පුරාවිද්‍යාඥයන් විසින් සිදු කල කැනීම් වලින් මතු කරගත් පුරා වස්තු පිළිබඳව විමසා බැලීමේදීය. මේ අතරින් පොළොන්නරු යුගය සහ මහනුවර යුගය අතර කාලයට අයත් ලෙස අනුමාණ කරන ගම්පළ උඩ අළුදෙණිය පුරාණ විහාරස්ථානයේ ස්තූපයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2004 දී සිදු කල කැනීමක් මගින් මතු කරගත් පුරාවස්තු එකතුව වැදගත් වන්නේ එමගින් ලෝකඩින් සහ රිදියෙන් කල විවිධ ප්‍රමාණයේ බුදු පිළිම 140 පමණ සොයාගැනීම නිසාය. මේ බුදු පිළිම අතර සාපේක්ෂව මෙරටින් කළාතුරකින් හමුවන භූමි ස්පර්ශ මුද්‍රාව දැක්වෙන පිළිම දෙකක්ද හමුවි ඇත
සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
මීට අමතරව එහි තිබී දඹදෙණි යුගයේ සිට ඕලන්ද කාලය දක්වා භාවිතා වූ කාසිද, ලෝකඩ සහ රිදී කරඬු සහ එක් රිදී කරඩුවක් මධ්‍යයේ කුඩා රන් මංජුසාවක වැඩ හිඳින ධාතූන් වහන්සේලාද හමුවිය. මීට අමතරව කුඩා බෝධි වෘක්ෂ, කොඩි ගස්, නාග රූප, මුදු, රනින් සහ රිදියෙන් කල කුඩා මල් වැනි දේවල් හමුවීම පෙන්නුම් කරන්නේ ඉහත මහසෑය සම්බන්ධයෙන් වංශ කතාවල දැක්වෙන විස්තර ඊට පසු කාලින පරිහාණීය කාලයකදි ඉදි කල ඉදිකිරිමක හමුවන එවන් දෑ සමග සැසදීමේදි කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන බවය. වර්තමානයේ මෙම කෞතුක භාණ්ඩ එකතුව කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මූලාශ්‍ර
  • බුද්ධ ප්‍රතිමාව හා ලංකාව ඩී. ටී. දේවේන්ද්‍ර, 1967
  • ලක්දිව බුදු පිළිමය, කඹුරුපිටියේ වනරතන හිමි,1985
  • උඩ අළුදෙනිය විහාරයෙන් සොයාගන්නා ලද පුරාවස්තු, රංජිත් හේවගේ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා වෙළුම 2, 2006
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994

Sunday, February 12, 2017

උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....

සොළී බලසෙන් මැඩ ලක්දිව එක්සේසත් කල මහා විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජතුමාගේ මරණින් පසු ඔහුගේ නැගණිය වූ මිත්‍රා, සිය පුතුන් තිදෙනා, අනෙකුත් රදළයන් සහ අෂ්ට විහාර වාසී භික්ෂුන් සමග එක්වි රුහුණේ වසන්නාවූ විජයබාහු රජුගේ පුත් වූ වික්‍රමබාහු ඈපාණන්ට රජු මල බව නොදන්වා, යුව රජ වූ ජයබාහු (ක්‍රි.ව. 1110-1111) හට රාජ්‍ය පවරා, උපරාජ පදවියට මිත්‍රා දේවියගේ පුත් වූ මාණාබරණ පත් කලහ. ඉක්බිති මාණාබරණ සිය සොහොයුරන් දෙදෙනා හා ජයබාහු රජු සමග සියලු සේනා ගෙන වික්‍රමබාහු හා සමග යුද වැදීම සදහා පුලත්ථි නගරයෙන් (පොළොන්නරුවෙන්) නික්මුණහ. වික්‍රමබාහු ඈපාණන්ද පියා මල බව සැලවී මහානාගහුල සිට සිය සේනාවද සමග ඔවුන් හා සටන් වැදීමට පුලත්ථි නගරය කරා එන අතරේ ගුත්තහාලා මඩුල්ලේ පණසබුක්ක නම් ගම්හී ඔවුනොවුන් හා යුද වැදුනහ. මෙහිදි එම සටනින් පැරද පලා යන මාණාබරණ හා ජයබාහුගේ ගේ සේනාව සමග වික්‍රමබාහු සටන් වැදුන ස්ථාන ලෙස මහාවංශය පිළිවෙලින් ආදිපාද ජම්බු, කටගාම, කාලවාපි, උද්ධානද්වාර සහ අවසානයේ පණ්කවෙලක යන තැන් සඳහන් කරයි.
කැසිකිලි ගලක්- ගලබැද්ද පොකුණ
මෙහි සඳහන් වන ගුත්තහාල මණ්ඩල යන්න වර්තමාන බුත්තල අවට ප්‍රදේශය ලෙස හඳුනා ගෙන ඇත (ගුත්තහාල >ගුත්තල>බුත්තල). පෙළ බසින් පණා යනු කොස් ලෙස ගත් කල පණසබුක්ක හා පණ්කවෙලක ලෙස මෙහි සඳහන් වන්නේ මොණරාගලට දකුනින් පිහිටි කොස්ගොඩ විය හැකි බව C.W. නිකලස් අදහස් කරයි (එහෙත් එකම පෙදෙසකට එකම අවස්තාවේ නම් දෙකක් ව්‍යවහාර වන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගේ.). ආදිපාද ජම්බු ප්‍රදේශය වර්තමානයේ මොණරාගලට උතුරින් පිහිටි දඹගල්ල විය හැක (පා: ජම්බු = සිං: දඹ). මෙහි සඳහන් කාලවාපි යනු අනුරාධපුර ආසන්නයේ ඇති කලා වැව නොව වෙනත් අවස්ථා කිහිපයකදීමත් රුහුණේ  කාලවල්ලිමණ්ඩප, කාලවල්ලික මණ්ඩප ලෙසින් හැඳින්වෙන බුත්තලට ආසන්නව පැවති වෙනත් පෙදෙසක් ලෙස මත ඉදිරිපත් වී ඇත (මහා පරාක්‍රමබාහු රජු රුහුණේ කාලවල්ලි වැව පිලිසකර කල බව පැවසේ. එසේම පූජාවලියට අනුව කාවන්තිස්ස රජතුමන් රුහුණේ කළු මුහුදු විහාරය ඉදි කර ඇත.) මේ හඳුනාගැනීම් නිවැරදි නම් උද්ධානද්වාර නමින් හැඳින්වෙන පෙදෙසද මොණරාගල අවටම විය යුතු බව පෙනේ.
කාන්තා රූපයක් - ගලබැද්ද පොකුණ
සටනින් ජයගන්නා වික්‍රමබාහු (ක්‍රි.ව. 1111-1132) පුලත්ථි නගරයට ගොස් එහි සිට රජරට බලය පිහිටුවා ගන්නා අතරතුරෙහිදි මාණාබරණ ඇතුලු 'සහෝදර සමාගම' දක්ඛිණ දේශයේ සහ රෝහණයේ බලය අල්ලාගනී. ඉන්පසු එක් සොහොයුරෙකු වූ කිත්සිරිමේඝ හට ද්වාදසසහස්සක පෙදෙස (දොළොස්දහස් රට) බාර කරන අතර ඔහු එහි මහානාගහුල (වර්තමාන අම්බලන්තොට රම්බා විහාරය පිහිටි පෙදෙස මහානාගහුල ලෙස හඳුනාගෙන ඇත.) නගරයේ සිට පාලනය මෙහෙයවයි. අනෙක් සොයුරා වන සිරිවල්ලභ හට අට්තසහස්ස පෙදෙස (අටදහස් රට) සිටින ලෙසට පවසන අතර ඔහු පෙර සඳහන් කල උද්ධානද්වාර ග්‍රාමය රාජකීය නගරය බවට පත්කර ගනිමින් එහි සිට එම පෙදෙස පාලනය කරයි. දක්ඛිණ දේශය බලා යන මාණාබරණ එහි පුණ්ඛගාමයේ (මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගම ලෙස පරණවිතාන මහතා හඳුනාගනී) සිට විරබාහු යන නමින් එම පෙදෙසේ බලය පතුරුවයි. මිත්‍රා දේවිය සහ ජයබාහු කිත්සිරිමේඝ සමග මහානාගහුලම නවතී.
මෙම පාලකයන් සිව් දෙනාගේ පාලන කාලය තුල උසස් කුලවතුන් පිරිහෙලූ බවත්, හීන වූ ස්වාභිමානී ජනයන් මහත් තන්හී තැබූ බවත්, බුදුසස්න පිරිහෙලූ බවත්, උතුම් කුලවත් මිනිසුන්ගේ කිසිදු දොසක් නැතිව වුවද ඔවුන්ගේ ධනය බලහත්කාරයෙන් ගත් බවත්, අධික බදු පණවමින් ජනයා උක් යන්ත්‍රයක ලූ උක්දඬු සේ මිරිකූ බවත් වංශ කතාව පවසයි.[එම තත්වය කොතරම්  දුරට අදටත් ගැලපේද?] යුව රජ කමට සුදුසුකම් ලත් වික්‍රමබාහු වෙනුවට පැත්තක සිටි මාණාබරණ යුව රජු කර ඔහු යටතේ රූකඩ පාලකයෙක් ලෙස සිටීමට කැමැති වූ ජයබාහුගේ සහ පාණ්ඩ්‍ය රජ කුමරුවෙකුගේ බිසව වූ මිත්‍රා දේවියගේ කුමන්ත්‍රණය එසේ අවසාන වන්නේ මහා විජයබාහු රජු එක්සත් කල දේශය නැවතත් කැබැලි වලට කැඩී, පාලකයන් ජනයා පෙලමින් ඔවුනොවුන් හා සමගද කුලල්කාගන්නා අන්දමින්ය.
පාර්ලිමේන්තුවේ බහුතරය සහිත අගමැති සිටියදී සදාකාලික පරාජිතයෙක් අගමැති කර ඔහු යටතේ රූකඩයක් වී ඇති පාලකයෙක් වර්තමානයේද සිටි. මිත්‍රා බිසව ලෙසින්ම ඔහුට උපදෙස් දීමට චෞර රැජිනක්ද පසු පසින් සිටී.නායක මට්ටමේ චීවරදාරීන්ද ඔවුන් පසු පස සිට දැන් 'අතන මෙතන රතන' වන අතර එකෙකු අපා ගත විය. වසර 30 කට පසු ශ්‍රේෂ්ඨ නායකයෙක් නැවත එක්සත් කල දේශය නැවතත් බෙදා වෙන් කරලීමේ ඉමට පැමිණ ඇත. ඉතිහාසය නැවත නැවතත් එලෙසින්ම සිදුවනවාද? කෙසේ නමුත් අපගේ අවධානය මෙහිදී ප්‍රධාන වශයෙන් යොමු වන්නේ ඉහත කී උද්ධානද්වාර රාජධානිය පිහිටි පෙදෙස හඳුනාගැනීම සඳහා වන හෙයින් වංශ කතා වල ඒ හා සම්බන්ධ පසු කාලීන වාර්තා වෙත යොමු වෙමු.
රජමාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති තහවුරු නොකල ගොඩනැගිල්ලක් 
මෙසේ බෙදී වෙන් වූ ලක්දිව නැවත එක්සේසත් කිරීම සිදුවන්නේ දක්ඛිණ දේශයේ පාලකයා වූ මාණාබරණ ගේ පුත් වූ පරාක්‍රමබාහු කුමරා වෙතින්ය. වංශ කතාවට අනුව දක්ඛිණ දේශයේ පාලකයා වූ මානාබරණගේ මරණින් පසු දොළොස්දහස් රටේ සිටි කිත්සිරිමේඝ දක්ඛිණ දේශයේ පාලකයා වන අතර, අටදහස් රටේ උද්ධානද්වාර නගරයේ සිටි සිරිවල්ලභ අටදහස් සහ දොළොස්දහස් යන දෙරටම ඇතුලත් මුලු රෝහයේම බලය ඔහුට නතු කර ගෙන සිය අගනුවර ලෙස මහානාගහුල තෝරාගනී. සිරිවල්ලභගේ මරණින් පසු ඔහුගේ පුත් මාණාබරණ 2 (ඉහත මාණාබරණ හා පටලැවීම වැලක්වීමට මෙතැන් සිට ඔහු මාණාබරණ 2 ලෙස දක්වමු) අතට රුහුණේ පාලනය මාරු වෙයි. [මෙහිදී මහා නදී, වන නදී ආදී නම් වලින් මහාවංශයේ හැඳින්වෙන වර්තමාන වලවේ ගඟෙන් නැගෙනහිර පෙදෙස පහල ඌව පෙදෙසද ඇතුලත්ව අටදහස් රට ලෙසත් (එනම් ගම් 8000 වූ රට) වලවේ ගඟින් බටහිර ගම් 12000 කින් යුක්ත වූ පෙදෙස දොළොස්දහස් රට ලෙසත් එහි අගනුවර මහානාගහුල හෙවත් මානාවුළු පුරවරය බවත් හඳුනාගෙන ඇත.]
කිත්සිරිමේඝගේ මරණින් පසු දක්ඛිණ දේශයේ පාලනය බාර ගන්නා පරාක්‍රමබාහු කුමරු, වික්‍රමබාහුගේ මරණින් පසු රජරට පාලකයා වන ඔහු පුත් ගජබාහු (ක්‍රි.ව. 1132-1153) හා රුහුණේ පාලකය වූ මාණාබරණ 2 එකිනෙකාගේ ප්‍රදේශ අල්වාගැනීම සඳහා ඔවුනොවුන් අතර වූ දීර්ඝ හා වෙහෙසකර  සටන් පෙලකින් පසුව ගජබාහුගේ ස්වභාවික ව සිදුවූ මරණින් අනතුරුව පරාක්‍රමබාහු කුමරා අවසානයේ  රජරටද ඔහුගේ අනසක යටතට පත් කරගනී. ගජබාහු හා පරාක්‍රමබාහු අතර සංඝයා මැදිහත් වීමෙන් මණ්ඩලිගිරි විහාරයේ (වර්තමාන මැදිරිගිරිය) ඇති කරගත් ගිවිසුමට අනුව ගජබාහුගෙන් පසු රජරට සිහසුන පරාක්‍රමබාහුට (ක්‍රි.ව. 1153-1186) අයත් විය යුතු වූ මුත් මේ කාලය වන විට රාජ්‍යයේ සංකේතය බවට පත්ව තිබූ දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව හිමිව තිබූ රුහුණේ මාණාබරණ 2 සහ පරාක්‍රමබාහු අතර නැවතත් සිවිල් යුද්ධයක් ඇති වන අතර ඉන් පැරදි රුහුණට පලා යන මාණාබරණ 2 එහිදි මිය යෑමෙන් පසු දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ලබාගැනීම උදෙසා නැවතත් මාණාබරණගේ මව වූ සුගලා දේවිය සහ පරාක්‍රමබාහු අතර රුහුණේ සටන් ඇවිලේ.
වතුර ඇතුළුවීමට ඇති නල මාර්ග - ගලබැද්ද පොකුණ
ඒ සඳහා පරාක්‍රමබාහු රජුගේ රක්ඛ නම් වූ සෙනෙවියා පොළොන්නරුවෙන් නික්ම බරබ්බල (වර්තමාන මයියංගණය අසල විය හැක.) කණ්ඨකවන, අම්බලල, සැවැ යන බලකොටු යටත් කරගනිමින් ගොස්  දිවාචන්දන්තාබාට නම් වූ වනගත නිම්නයේ වූ බලකොටුව අසලට පැමිණි කල්හි දෙපිරිස  අතර දරුණු සටන් ඇති විය. මෙම ගමන් මාර්ගය වර්තමාන මයියංගණය -ඌරණිය-බිබිල මාර්ගය ඔස්සේ වැටි තිබෙන්නට ඇතැයි කොඩ්රිංටන්  මහතා අනුමාන කරන අතර වර්තමානයේ හෑපොල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය ඉහත කී දරුණු සටන් සිදුවූ වන දුර්ග සහිත නිම්නය ලෙස හඳුනාගනී. මෙහිදී රක්ඛගේ සහයට භූත නම් වූ සෙනෙවියාද බල පිරිස් සමග එක්වන අතර එම ස්ථානය යටත් කර ගැනීමෙන් පසු ඔවුන් කිම්සුඛවත්තුක, වටරක්ඛතලි, දාථාවඩ්ධන යන බලකොටු යටත් කරගනිමින් ගොස් සහෝදර නම් ගම්හි (බිබිල අසල ලෙස සැලකේ) මහා යුධ කොට එතැන් සිට සතුරු බල මුලු මගින් පැත්තකින් එල්ල වන ප්‍රහාර  (Flank attacks) වැලැකීමට රක්ඛ සෙනෙවි තෙමේ ලෝකගල්ල (වර්තමාන ලොග්ගල් ඔය නිම්නය) ඔස්සේ ගොස් නැවතත් සේනා දෙක එක්වී මජ්ජිමගාම ( බිබිල-මොණරාගල මාර්ගයේ ඇති මැදගම ) සහ කණ්ඨකද්වාරවාත (දඹගල්ල අසල කටුපැලැල්ල ) යන බලකොටු යටත් කරගනිමින් ගොස් සුගලා දේවී විසූ උද්ධානද්වාරය වෙත ලගාවේ.
ගලබැද්ද පොකුණ ඉදිරිපසට පෙනෙන කඳු වැටිය
සුගලා දේවිය දළදා සහ පාත්‍ර ධාතු රැගෙන උරුවෙලා  (වර්තමාන ඇතිමලේ ) පෙදෙසට පලා යන අතර ඉක්බිති දීඝවාපි පෙදෙසේ ඇතිවන ගැටුම් නැවතත් උද්ධානද්වාර දක්වා පැතිරී එහි දරුණු සටන් ඇතිවේ. වංශ කතාව විස්තර සහිතව දීර්ඝ ලෙස විස්තර කරන මින් පසු ඇතිවූ සටන් වලදි දළදා සහ පාත්‍ර ධාතු පරාක්‍රමබාහු රජු ලබා ගන්නා අතර අවසානයේ සුගලා දේවියද ජීවග්‍රහයෙන් අල්වා ගනී. රුහුණේ සුගලා දේවිය සමග සටන් වැදුනු නායකයන් සමූලඝාතනය වන අතර වනගාම හිදී සිදුවූ අවසන් සටනින් පැරද නැවතත් උද්ධානද්වාර සහ නිග්‍රෝධ-මාරගල්ල වෙත පලා එන ඇතැම් සෙනෙවියන්ද මරා දමා හෝ අල්වාගෙන රුහුණේ ප්‍රභූ පරපුර නැවත නැගී නොසිටින ලෙසට විනාශ කර දමනු ලබයි. [මෙහි සඳහන් වන නිග්‍රෝධ-මාරගල්ල  මොණරාගල කඳු වැටියේ මරගල ලෙස කොඩ්රිංටන් හඳුනා ගනී.]
ගොඩනැගිල්ලක ගඩොළු පාදමක්
පාළි මූලාශ්‍ර වල උද්ධානද්වාර ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පිළිබඳ හෝඩුවාවක් කුරුණෑගල යුගයේ  රචනා කල දළදා පූජාවලියෙන් ලැබේ. රුහුණු උඳුන්දොර අමරගිරි පර්වත සමීපයේ සුරක්ෂිත කර තිබූ දළදා, පාත්‍ර ධාතුන් මහළු පරාක්‍රමබාහු රජතුමන් චතුරාංගනී සේනාව යවා පොළොන්නරු පුරවරයට ගෙන්වා ගත් බව එහි සඳහන් වේ. මොණරාගල ලෙස වර්තමානයේ හැඳින්වෙන කන්ද පෙර කල අමරගිරි ලෙස හැඳින්වූ බවට බිබිලේ රටේ මහත්තයා විසින් තහවුරු කල බවත්, ඒ අනුව උදුන්දොර යනු වර්තමානයේ මොණරාගල පාමුල ගලබැද්ද ලෙස හඳුන්වන නටබුන් වූ මාලිගයක් සහ පොකුණක් සහිත ප්‍රදේශය බවත් කොඩ්රිංටන් හඳුනාගනී. තවමත් කැනීම් කර සංරක්ෂණය කර නොමැති මෙහි මාලිගයේ සැලැස්ම පොළොන්නරුව සහ පඬුවස්නුවර ඇති පොළොන්නරු යුගයේ රජ මාලිගා වල සැලැස්මට සමාන වන මුත් ප්‍රමාණයෙන් ඒවාට වඩා කුඩාය. මාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති 'කෙල්ලන්ගේ වල' නමින් හැඳින්වෙන සංරක්ෂණය කර ඇති පොකුණ පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ලක්ෂණ වලින් යුක්ත වේ.
සුගලා දේවිය සොයා රක්ඛ සෙනෙවියා ගිය මාර්ගය ඔස්සේ අසූව දශකයේ වන මන් පෙත් ඔස්සේ දුෂ්කර ගමනක යෙදී සිය අත්දැකීම් විචිත්‍ර ලෙස ඉදිරිපත් කල ලාලා ආදිත්‍ය මහතා සිය කෘතියේ තම රාජධානිය අත්පත් කරගැනීමට ලග ලග එන රක්ඛ හා භූත සෙනවියන් ප්‍රමුඛ සේනාව හමුවේ උදුන්දොර මාලිගයේ සිටි සුගලා දේවියගේ මුවට නැන්වූ මෙම පැදියෙන් මෙය අවසන් කරමු.

"I have swayed troublous councils,
                                        I am wise in terrible things;
Father and son and grandson,
                                        I have known the hearts of the Kings.
Shall I give thee my sleepless wisdom,
                                       or the gift all wisdom above?
Ay, we be women together-
                                      I give thee thy people's love."

බලසම්පන්න තරුණ පරාක්‍රමබහු සමග රුහුණු රටේ උරුමය උදෙසා අභීත සටනක් ගෙන ගිය සුගලා දේවියත් සමග රුහුණු ප්‍රභූ පරපුර හමාර වේ. එහෙත් එහි වන්දි ගෙවන්න්නට සිදුවන්නේද අනාගත රජරට ප්‍රභූ පරපුරටමය. පෙර කල අනුරාධපුර රාජධානී සමයේ මෙන් පර සතුරු උවදුරු හමුවේ නැවතත් සිංහල ජාතියේ ස්වාධීනත්වය නගා සිටුවීමට රුහුණෙන් මතු වී සටන් කිරීමට නායකත්වයක් ඉතිරි වී නොතිබුණි. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක අභිමානයද එයට සමගාමීව කෙමෙන් වියැකී ගොස් පසු කාලයකදි බටහිර ආක්‍රමණිකයන්ට නතු විය.

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • දළදා පූජාවලිය
  • Search For Sugala, Lala Adithiya, 1980

Saturday, February 4, 2017

නැගෙනහිර බොදු උරුමය 5 - බුදුන් විසූ රජගහනුවර අම්පාරේ රජගලද?

මෙරට ජනයා තරම් මිත්‍යාව හිස් මුදුනින් පිළිගන්නා ජාතියක් ලොව කවර නම් වූ රටකවත් නොසිටිනවා ඇත. ඕනෑම බොරු කාරයෙකුට මෙරටදි 'හිට්' වෙන පන්නයේ ඉතිහාස කතාවක් ගොතා ගත හැකි නම් ඔහුට ඉතා ඉක්මනින් ජනප්‍රිය විය හැකි අතර සැලකිය යුතු ආදායමක්ද ඉන් උපයා ගත හැක. කලකට පෙර 'රාවණා බ්‍රදර්ස්ලා' සහ ඔවුන්ට කතා ගොතා දුන් සූරිය ගුණසේකරලාද, අරිසෙන් අහුබුදුලාද, මිරැන්ඩෝලාද මෙරට රාවණා රැල්ලක් මැවීය. ඇසින් දුටුව පරිදි රාවණා කල සූර වීර ක්‍රියා පත්තර පිටු ගනන් පුරා පළවිය, පොත් දුසිම් ගණනින් පලවී උණු කැවුම් මෙන් විකුණුනි. මෙවැනිම රැල්ලක් බුදුන් මෙරට උපන් බව පවසමින් එක් හිමි නමක් විසින් ඇති කල අතර ඒ හිමියන්ට අනුව රජගල යනු මාගධයේ අගනුවර ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන රජගහ නුවරය. අද වන විට මේ මිත්‍යාව කොතරම් දුර ගොස් ඇත්ද යත් වන්දනා නඩ රැගෙන රජගහ නුවර ස්ථාන පෙන්වමින් යන 'ගයිඩ්ලා' අසරණ ජනතාවගේ මුදල් කොල්ලකමින් රජගල පෙදෙසේ නිබදව සැරිසරයි. රජගල යනු රජගහනුවරද? මේ රජගල පිළිබඳව එම ස්ථානයේ ඇති සෙල්ලිපි සහ වංශකතා ඇසුරින් කෙරෙන විමසුමකි.
සංරක්ෂණය වෙමින් පවතින ස්ථූපයක්
 රජගල හෙවත් රාස්සහෙළ ලෙස වර්තමානයේ හැඳින්වෙන යුග කිහිපයකටම අයත් ආරාම නටබුන් හමුවන මේම ස්ථානය පිළිබඳව අප මෙයට පෙරද කතා කලෙමු.
අඩක් නිමවන ලද හිටි පිළිමයක්
මේ ස්ථානයේ ඇති ගල් පර්වතයක කොටා ඇති සෙල් ලිපි රැසක් සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් එක් ලිපියකින් කියවෙන්නේ ඈපා දළ්සිව ගේ නියෝගයෙන් මාළත්තෙ, ගුළවැල්ලැ, මීවන්ගමු යන තැන්හී පිහිටි ඉඩම් අරිත්තාරා වෙහෙර වාසි හිමියන්ට පිරිනැමූ බවය. එම නියෝගය සහිත සෙල්ලිපිය ලියවා ඇත්තේ එහිම කියවෙන පරිදි ලම්ජනවු වාසි දය් විසිනි.  ඒ ආසන්නයේම දැකිය හැකි අක්ෂර රටාව අනුව එම කාලයටම අයත් තවත් ගිරි ලිපියකින් කියවෙන්නේ වීරාංකුරා ගේ නියෝගය පරිදි අරිත්තාරා වෙහෙර වසන හිමියන්ට සිව්පසය උදෙසා සරට්වැග පිහිටි මහාවැගණ ඉඩම් පවරා දුන් බවය. ලම්ජනවු හී වීරාංකුරා විසින් ලියැවූ තවත් සෙල්ලිපියක් මගින් කියවෙන්නේ සෙන් ගේ නියෝග පරිදි අරිත්තාරා වෙහෙර වාසී හිමියන්ගේ සිව්පසය උදෙසා ගළ්හොය දකුණු දිග පිහිටි දිගැ(පිඩු)ල්ලෙ සොරුයුර් හා ලම්ජනවු හි කලල්වැලි හි පිහිටි ඉඩම් පවරා දුන් බවය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
මෙහි සඳහන් වන පුද්ගල නාම අතුරින් ඈපා දළ්සිව යන නාමය මහාවංශයේ සදහන් වන ආදිපාද දාඨාශිව ලෙස පහසුවෙන් හඳුනාගත හැක. පළමුවන උදය (ක්‍රි.ව. 797-801) රජතුමාගේ කාලයේ රුහුණු රට ආදායම් පාලකයා ලෙස ඔහු ගැන සඳහන් වේ. මහාවංශයේ සඳහන් වන ලෙසට මෙම ආදිපාද  දාඨාශිව ගෙ පුත් වූ මහින්ද කුමරුවා රජරට සිටි පාලකයා වූ පළමුවන උදය රජු සමග මිතුරුව ඔහුගේ දියණිය වූ දේවා ද සරණ පාවා ගෙන  බල සෙන් ගෙන රුහුණට ගොස් සිය පියා දඹදිවට පලවා හැර රුහුණේ බලය පැහැර ගත්හ. මෙම සිදුවීම වන්නේ වංශ කතාවට අනුව වසර පහක් පමණක් සිහසුන හෙබවූ පළමුවන උදය රජතුමාගේ කාලයේ බැවින් ආදිපාද දාඨාශිව මෙම ඉඩම් ප්‍රදානය කරන්නට ඇත්තේ පළමුවන උදය රජුට පෙර සිටි පාලකයා වන දෙවන මහින්ද (ක්‍රි.ව. 777-797) රජුගේ කාලයේ විය හැකි බවට පරණවිතාන මහතා විශ්වාස කරයි. කෙසේ නමුත් අක්ෂර රටාව අනුව මෙම ලිපිය 8 වන ශතවර්ෂයේ දෙවන භාගයට ස්ථිරවම අයත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව අපිට පැහැදිලි වන්නේ 8 වන ශතවර්ෂයේ මෙම ස්ථානය අරිත්තාරා වෙහෙර ලෙසින් හැඳින්වූ බවය.
වතුර රැස් කිරීමට සෑදූ විශාල ගල් පාත්‍රයක්

 ඉහත සෙල්ලිපි වල සඳහන් වන ස්ථාන නාම හඳුනාගැනීමේ උත්සාහයක් දරන C.W. නිකොලස් මහතා ලම්ජනව්හි කලල්වැලි යනු වර්තමාන දිවුලාන අවට ප්‍රදේශය ලෙසත් බොහෝවිට එම ප්‍රදේශය උහණ දක්වාම පැතිර තිබෙන්නට ඇති බවත් පවසයි. වර්තමානයේ අම්පාර නගරයට දකුණින් පිහිටි මුවන්ගොමුව එක් සෙල්ලිපියක සඳහන් වන මීවන්ගමු විය හැකි බවත් ගළ්හොය යනු වර්තමානයේද ගල් ඔය ලෙස හැඳින්වෙන ගංගාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සෙල්ලිපි අයත් දෙවන මහින්දගේ කාලයේ සිදුවූ එක් වැදගත් සිදුවීමක්ද ගල් ඔය ගංගාව හා සම්බන්ධිතය. මෙතෙක් රුහුණු සහ රජරට අතර සීමාව ලෙස පැවති මහවැලි ගඟ වෙනුවට ගාළ්හ හොය එහි උතුරු සීමාව බවට පත්වී පෙර රුහුණු රටට අයත් භූමියෙන් කොටසක් රජරටට අයත් වන්නේද දෙවන මහින්ද විසින් රෝහණය ආක්‍රමණය කර එහි මාර පව්වේ කඳවුරු බැඳගැනීමත් සමගය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
ඉහත දෙවන මහින්ද රජුගේ ලිපි වලට පෙර යුග වලට අයත් ගිරි ලිපි කිහිපයක්ම මෙම ගල් පර්වතයේම ඇති අතර ඒ අතුරින් දෙවනපිය මහරජුගේ මුනුබුරු වූ පුටකණ ගමිණි අබහ නම් වූ උප රජ කෙනෙකුගේ ඔහු උපරජ ධූරයට පත්වූ දින මෙම විහාරයට පිරිනැමූ සවති සහ අටුසබ යන ගම් වර පිළිබඳව වූ සෙල් ලිපිය වැදගත් වේ. මෙහි සඳහන් උප රජ පසුව කූටකණ්ණ තිස්ස (ක්‍රි.පූ. 44-22) නමින් රජ වූ රජු බව පරණවිතාන මහතා හඳුනාගනී. එහෙත් මෙම ලිපියේ ස්ථානයේ නම සඳහන්ව නැත.
මුරගලක්
ඉන් මෑත යුගයකට අයත් කුටකණගමිණි තිස ගේ පුත් වූ නාග නම් වූ වෙනත් උපරජ කෙනෙක් ලජක රජුට අයත් කබඩුක නම් වූ වැව කුබිලපිතිස පර්වතයෙහි වූ විහාරයට පිරිනැමූ බව සඳහන් ලිපියක්ද මෙම ගල් පර්වතයෙහිම හමුවේ. මෙහි සඳහන් නාග නම් වූ උප රජු මහාදාඨික මහානාග (ක්‍රි.ව. 7-19) ලෙස වංශ කතා වල සඳහන් වන කූටකණ්ණ තිස්ස රජුගේ බාල පුත් බව පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව මෙම පිරිනැමීම සිදු කරන කාලයේ ඔහු රෝහණයේ උප රජ ලෙස සිට ඇති බවත් ලජක රජ ලෙස හැඳින්වෙන්නේ එවකට මහ රජු වූ භාතික තිස්ස (ක්‍රි.පූ. 22 - ක්‍රි.ව. 7) රජු විය හැකි බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

කැනීම් සිදු කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක්
ඉහත ගිරිලිපියට අනුව මෙම යුගයේ රජගල පර්වතය කුබිලපිතිස පවත (පර්වතය) ලෙස හඳුන්වා ඇති බව පෙනේ. මහාවංශයේ එන සඳහනකට අනුව ලඤ්ජතිස්ස (ක්‍රි.පූ. 119-109) රජු ගිරිකුම්භීල විහාර පූජාවේදී සැට දහසක් භික්ෂුන්ට තුන් සිවුරු පිරි නැමූ බව පැවසේ. ගිරිකුම්භීල ලෙස පෙළ බසට පෙරලෙන්නේ කුබිලපි පවත බවත් බොහෝවිට සද්ධාතිස්ස (ක්‍රි.පූ. 137-119) රජුට ගෞරව පිණිස හෝ සිය නම වන තිස යන්න එක්කරගනිමින් හෝ එය කුබිලපිතිස පවත ලෙස හැඳින්වෙන්නට ඇති බවත් සෙනරත් පරණවිතාන මහතා පවසයි. ඒ අනුව මේ විහාරයේ නිර්මාතෘ ලඤ්ජිතිස්ස බවට මෙයින් සාධක හමුවේ. ලජකතිස රජුගේ පුතෙකු වූද දෙවනපිය ගමිණි අබ මහ රජුගේ මුනුබුරු වූද ගමිණි අබය විය හැකි (එම නම සදහන් අකුරු බෙහෙවින් ගෙවී ඇත) කුමරුවකු විසින් සිදු කල මගුල් ලකුණක් ගැන වූ ගිරි ලිපියක්ද මෙම ස්ථානයේම හමුවන මුත් එම මගුල් ලකුණ කුමක්දැයි හඳුනාගෙන නැත. එය බොහෝ විට සිරිපතුල් ගලක් විය හැක.
වන ප්‍රවාහයට හසුවූ ගොඩනැගිල්ලක ගල් කණු
මහාසේන (ක්‍රි.ව. 274-301) රජු කුබලව සහ අරිය-අකර විහාරද ඇතුළු සියලු විහාර වල සිටින සංඝයා සමගි කර ධර්මයේ සුභසිද්ධිය උදෙසා සියක් කහවනු පිරිනැමූ බව පැවසෙන ගිරි ලිපියක්ද මේ ස්ථානයේම ඇත. මෙම විහාර දෙකම හෝ එකක් මේ ස්ථානයේ වූවා විය හැක. කුබලව යන්න මෙම ස්ථානයේ මූල් කාලීන නාමය වූ කුබිලපිතිස පවත යන්න හා සමගත් අරිය-අකර යන්න පසු කාලීන නාමය වූ අරිත්තාරා වෙහෙර යන්න සමගත් යම් සාම්‍යත්වයක් ඇති බව පෙනේ.
ලිපියේ සාකච්චා වන සෙල් ලිපි පිහිටි ගල්තලාව
ඉහත පුටකණ ගමිණි අබහ උපරජුගේ සෙල්ලිපිය ආසන්නයේම ඇති එහෙත් එහි කාලයට වඩා අවම වශයෙන් සියවසකටවත් පසු කාලයකට අයත් වන දිග-අව (දිඝාවාපිය) අසල වඩමනය (වඩ්ධමානක) යෙහි වසන කබකඩර නකගේ(නාග) පුත් අශ්වරෝහක නක (නාග) විසින් පිහිටවූ තවත් ගිරි ලිපියක සඳහන් වන්නේ ඔහු විසින් ගිරිකබල හෙවත් තිසමහාවිහාරයට අරියවස උත්සවයේ වියදම් සඳහා යොදාගැනීමට කහවනු සියයක් දුන් බවය. එම මුදල් වල පොලිය ඒ සඳහා යොදාගන්න ලෙස එහි සඳහන් වේ. පළමුවන හෝ දෙවන ශතවර්ෂයට අයත් තවත් ගිරි ලිපියකට අනුව රඛකල කුබලවි(තිස)පවත විහාරයට මජ(ග)මක නම් වූ පුද්ගලයකු සංඝයාගේ ලහ බත් සඳහා කහවනු 1000 පිදූ බව සඳහන් වේ. පසු කාලීනව රජගල බවට පරිවර්තනය වූ රාක්ෂගල යන්නෙහි මුල් ස්වරූපයේ මෙහි රඛකල යන්නෙහි ඇත.
ස්තූපයක් අසල ඇති සිරිපතුල් ගලක්
ගිරිකුම්භීල හෙවත් කිඹුල්ගල යන නාමය මුල් කාලයේදී මෙම පර්වතයට යෙදෙන්න ඇත්තේ එය දුර සිට බලන විට කිඹුලෙකුගේ හැඩයට පෙනෙන නිසා විය හැක. කිසියම් කලක එය රාක්ෂගල හෙවත් රඛකල ලෙසින් වෙනස් වී වර්තමානයේ රජගල බවට පත් වී ඇත. මේ අනුව මෙහි පිහිටියේ ගිරිකුම්භීල, කුබිලවිතිස පවත, අරිත්තාරා වෙහෙර, ගිරිකබල, තිසමහාවෙහෙර වැනි නම් වලින් එක් එක් කාලයේ හැඳින්වූ විහාරයක් විනා මාගධයේ අගනුවර වූ රජගහ නුවර නොවේ.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part I, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume IV, 1934-1941 Edited by S. Paranavitana, 1943
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • බුදු සසුන බැබළුණු පැරණි පුදබිම්, එල්ලාවල මේධානන්ද හිමි, 2000
  • පාචීන පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 

Wednesday, February 1, 2017

පැරණි පධානඝර පිරිවෙන හෙවත් පියන්ගල් පිරිවෙන වනවාසී භික්ෂුන්ගේ භාවනාකුටිද?

තහවුරු නොකල පධානඝරයක් - රිටිගල

අනුරාධපුරයේ පිහිටි වර්තමානයේ බටහිරාරාම(Western monasteries)  ලෙස හඳුන්වන නටබුන් ගොඩනැගිලි පෙල පුරාවිද්‍යාඥයන් විසින් එක් එක් කාලයන්හීදී විවිධ නම් වලින් හඳුන්වා ඇත. මුලදී ඒවා ද්විත්ව වේදිකා ගොඩනැගිලි (Double-platform) ලෙසින් හැඳින්වූවේ මේවායේ එක් පොදු ලක්ෂණයක් වන වේදිකා දෙකකින් සමන්විතවීම නිසාය. එම වේදිකා දෙක එකිනෙකට යා කරමින් පටු ගල් පාලමක් මේ ආකාරයේ සෑම ගොඩනැගිල්ලකම පාහේ දක්නට ඇත.  මේ ආකෘතියේ නටබුන් වූ ගොඩනැගිලි අනුරාධපුර පැරණි නගරයේ පමණක් නොව දිවයිනේ වෙනත් ස්ථාන කිහිපයකින්ම හමුවී ඇත. ඒ අතරින් රිටිගල මෙවන් පධානඝර 50 ක් පමණ දැකිය හැකි අතර මානාකන්ද සහ නුවරගල්කන්ද යන ස්ථාන වලද ඉන් අඩක් පමණ වන ප්‍රමාණ වලින් යුත් පධානඝර හමුවේ. අරංකැලේ පුරාවිද්‍යා ස්ථානයේද සැලකියයුතු පධානඝර ප්‍රමාණයක් හමුවන අතර එයට අමතරව තන්තිරිමලය, වෙහෙරබැඳිගල, කළුදියපොකුණ, නාගොල්ල, මාළිගාතැන්න, අමුණුකොලේ, සීතාකොටුව, ගල්ඇඳහේන, අභයගිරි විහාර පරිශ්‍රය, රාජාංගනයේ හස්ථිකුච්ජි විහාරය හා සබරගමුව දිස්ත්‍රික්කයේ කල්තොට පිහිටි බුදුගල යන ස්ථාන වලද පධානඝර පිරිවෙන් දැකිය හැක.
මාලකය සහ කුටිය සම්බන්ධ වන ගල් පාලම - අරංකැලේ
මෙම ද්විත්ව වේදිකා වල ඉදිරිපසින් පිහිටි වේදිකාව මාලකය ලෙසද, පසුපසින් ගල් පාලමෙන් සම්බන්ධ වන කොටස කුටිය නොහොත් පාසාදය ලෙසද වර්තමානයේ හඳුනාගනී (මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාට අනුව). මෙම ඉදිරිපස මාලකය විවෘතව වහලයක් රහිතවද කුටිය උළු සෙවිල කල වහලයකින් යුක්තවද තිබූ බව පුරාවිද්‍යා ගවේෂණ මගින් සොයාගෙන ඇත. ඉදිරිපස මාලකයේ පමණක් එකතුවන වැසි වතුර පිටවීමට යෙදූ ජල පිහිලි ඇති බැවින් එය විවෘතව තිබූ බව තවදුරටත් තහවුරු වේ. බොහෝ පධානඝර වල කුටිය (හෝ ඇතැම් අවස්ථා වලදී මාලකයද)  ඉදිකර ඇත්තේ එම ස්ථානයේ මතුපිට පස ඉවත් කර පිහිටි ගල පාදාගැනීමෙන් පසු ඒ මත වන අතර (ගල් පර්වත අශ්‍රිත ප්‍රදේශ වල පධානඝර වැඩි වශයෙන් ඉදිකර ඇති බැවින් මෙය පහසු වේ.) බොහෝවිට කුටිය වටා දිය අගලක් දැකිය හැකිය. ඉදිරිපස කොටසේ සිට ගල් පාලම හරහා පසුපස කොටසට ඇතුලු වීමට ඇති ස්ථානයේ දොරක් සවිකර තිබූ බවට සාධක හමුවන බැවින් කුටිය බිත්ති වලින් වටවී තිබූ බව පැහැදිලි වේ.
පධානඝරයක් - අරංකැලේ

වේදිකා දෙකම ඇතුලත් වන පරිදි වටා පිහිටි සීමා ප්‍රාකාරය, සැම විටම නැගෙනහිර දිශාවට යොමුකර පිහිටවූ ද්වාර මණ්ඩපය, එයට ගොඩවීමට ගලින් කල පියගැටපෙළක් සහ පාමුල මෝස්තර රහිත සඳකඩපහණ,වේදිකා දෙක යා කරන ගල් පාලම දෙපසින් පිහිටි පියගැටපෙළවල් සහ එම පියගැටපෙළවල් වලට මුහුණලා උතුරු සහ දකුණු දෙසට යොමුව පිහිටි උප දොරටු බොහෝ පධානඝර වලට පොදු ලක්ෂණ වන අතර ඇතැම් පධානඝර ආශ්‍රිතව වෙනත් සේවා ගොඩනැගිලිද දක්නට ඇත. ප්‍රධාන කුටිය ඇතැම්විට කුඩා කුටි වලට බෙදා ඇති අවස්ථාද හමුවේ. පධානඝර පිරිවෙන් වල ගල් කැටයම් දැකිය හැක්කේ ඉතාමත් අඩුවෙන් වන අතර බොහෝ අවස්ථාවලදි කැසිකිලි ගල් අලංකාර කැටයමින් යුක්තව නිමවා තිබීම විශේෂිතය. මෙම කැටයම් වල අලංකාර ගොඩනැගිල්ලක ඉදිරිපස පෙනුම කැටයම් කර ඇත.
වැසිකිලි ගලක්- රිටිගල
ඇතැම් අවස්ථා වලදී දිය අගල නොමැති පධානඝර ගොඩනැගිලි හමුවී ඇති මුත් ගොඩනැගිල්ල වටා පිහිටි දිය අගල මගින් කාර්යයන් කිහිපයක් ඉටු වන්නට ඇතැයි සැලකේ. වනාන්තර අශ්‍රිතව පිහිටි හෙයින් වන සතුන්ගෙන් වන උවදුරු වැලකීම, වියලි කලාපීයව පිහිටි හෙයින් කුටියට සිසිලසක් ගෙනදීමට අමතරව එහි එකතු වන ජලය ඇතැම් අවස්ථා වලදී එදිනෙදා කටයුතු වලටද යොදා ගත්තා විය හැක. අනුරාධපුර බටහිරාරාම පෙදෙසේ හමුවන පධානඝර සාපේක්ෂව දියුණු අවධියක් නියෝජනය කරන අතර මූලික සැලැස්ම ඉක්මවා ගිය ලක්ෂණ ඒවායේ හමුවේ.
තන්තිරිමලය පධානඝරය
පධානඝර ගොඩනැගිලි වල සුවිශේෂිතම වැදගත් කම වන්නේ මේ අකාරයේ ගොඩනැගිලි මෙරට හැර වෙනත් කිසිම රටකින් මෙතෙක් හමුවී නොතිබීමය. මෙරට පැරණි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ කලාකරුවන්ගේ නිර්මාණ සැම විටම පාහේ අසල්වැසි භාරතයේ විවිධ ප්‍රදේශ වලින් ආභාෂය ලබා කල ඒවා ලෙස හණ්වඩු ගසන මෙරට අනුකාරක විද්වතුන් අසරණ වන එක් ප්‍රධානතම අවස්ථාවක් වන්නේ පධානඝර සම්බන්ධයෙනි. පධානඝර යනු මෙරටදී සම්භවය වී මෙහිදීම දියුණු වූ සංකල්පයකි.
මාලකය සහ කුටිය සම්බන්ධ වන ගල් පාලම - රිටිගල
වංශකතාවල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
මහාවංශයේ මුල් වරට පධාන යන වචනය හමුවන්නේ 3 වන සියවසේ දී ගෝඨාභය (ක්‍රි.ව. 249-262) රජු මහා විහාරයට බටහිරින් පධානඝරයක් සෑදවූ බවට එන සඳහනෙහිය. එසේම පළමුවන මුගලන් (ක්‍රි.ව. 491-508) රජුගේ උත්තර නම් සෙනෙවියා සිය නමින් පධානඝරයක් කරවූ බවටද, අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් මහාවිහාරයේ මහාපධානඝරයට ගොස් සංඝපාල තෙරුන්ගෙන් සිංහල අටුවා උගත් බවටද, දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604-614) රජු කල කාලිංගයේ සිට යුදයේ සතුන් මැරෙන්නා දැක කලකිරී මෙරටට පැමිණි කාලිංග රජු ජෝතිපාල මහ තෙරුන් කෙරෙහි පැවිදි වූ කල ඔහු වෙනුවෙන් මත්තපබ්බත විහාරයේ පධානඝරයක් කරවූ බවටද, තුන්වන අග්ගබෝධි (ක්‍රි.ව. 628-639) රජු උපරජ සමග ඔහු ඉදිකල මහල්ලරාජ නම් පධානඝරයේ තෙරණුවන්ට හංකාර සහ සමුගාම නම් ගම් සහ කෙහෙල්ල ගාමයේ රාජ භාරය පිදූ බවද, හතරවන අග්ගබෝධි (ක්‍රි.ව. 667-683) රජු දාඨාශිව නම්වූ තෙරුන්ට ඔහුගේ නමින් පධානඝරයක් තනවා පූජා කල බව සහ ගම් කිහිපයක්ම එම ගෙයට පවරා දුන් බවද මහාවංශයේ  පධානඝර යන වචනය ඇතිව සඳහන් වේ. 
පධානඝරයක් - අරංකැලේ
සෙල්ලිපි වල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
වසභ (ක්‍රි.ව. 67-111) රජුගේ පෙරුමියන්කුලම පර්වත ලිපියේ සුදසන පතනගල විහාරයට පිරිනැමූ ජල බදු ආදායම් ආදී පිරිනැමිම් ගැන සඳහන් වේ. එසේම සිව්වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) රජුගේ මන්නාරම කච්චේරි ටැම් ලිපියෙහි බහදූර්සෙන් පියන්ගල වෙහෙරට අයත් වූ ඉඩම් සඳහා පිරිනැමූ වරප්‍රසාද පිළිබඳව කියැවේ. පස්වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) රජුගේ අනුරාධපුර පුවරු ලිපියේ පියන්ගල් යන වචනය පිරිවෙන්හි, රජ්මහවෙහෙර්හී, පියන්ගල්හි සහ මෙහෙණිවර්හි ලෙස පූජනීය ස්ථාන වර්ග කිහිපයක් ගැන එන සඳහනක ඒ. ඒ අනුව එමගින් කිසියම් සංඝාරාම හෝ විහාර විශේෂයක් හැඳින්වූ බව පැහැදිලිය. පස්වන කාශ්‍යප  (ක්‍රි.ව. 914-923) රජුගේම මැදිරිගිරිය අත්තානි ටැම් ලිපියෙහි බිදෙර්වතුකුළියෙහි, රන්තිසායේ පිහිටි මැඩිලිගිරිවෙහෙර් පියන්ගලැ සතර සීමා ගැන සඳහනක් ඇත. සිව්වන මහින්ද (ක්‍රි.ව. 956-972) රජුගේ මිහින්තලා පුවරු ලිපියේ පියන්ගල් පෙරෙවැළියෙකුට (පරිපාලකයෙකුට) ගෙවූ වේතන ගැන සදහනක් එයි.  පධානඝෙරෙහි වසන භික්ෂූන්ට බාධා නොකර සාමනේර භික්ෂූන් ධර්මය උගත යුතු බවට මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජුගේ ගල් විහාර සෙල්ලිපියේ සදහන් වේ. 
පධානඝරයක් - රිටිගල 

පතනගල, පියන්ගල්, පධානඝෙර, පධානඝර ලෙස මේ සෙල්ලිපි වල සහ වංශ කතා වල හැඳින්වෙන්නේ අප කතා කරන ගොඩනැගිලි විශේෂය විය හැකි බවට මත පලවී ඇත. එසේම ඒවා වනවාසීව භාවනානුයෝගී දිවියක් ගත කල භික්ෂූන් උදෙසා කල බවට විශ්වාස කෙරේ. ඉදිරිපස මාලකය විවිධ භාවනා ක්‍රම වල යෙදීමටත් පසු පස කුටිය වාසය කිරීම උදෙසාත් නිර්මිත බවට මත පලවී ඇතිමුත් විද්වතුන් අතර ඒ පිළිබඳ ස්ථිර එකඟතාවයක් නොමැත.
මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume III, 1928-1933 Edited by S.Paranavitana, 1933
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume II, 1912-1927 Edited and translated by Don Martino de Zilva Wickremasinghe, 1928
  • ශිලාලේඛන සංග්‍රහය, 1 වෙළුම 1904-1912, සංස්කරණය දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ, පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න, 2000
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part 1, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • The Mahavamsa or The Great Chrinicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part1, Edited by Sirimal Ranawella, 2001
  • Sinhalese Monastic Achitecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake,1974
  • පධානඝරවල වාස්තු විද්‍යා ලක්ෂණ, යුරේන් අතුකෝරළ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුම 6, 2016, සංස්කාරක ධනේෂ් විසුම්පෙරුම
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007