Saturday, March 21, 2026

උතුරුකරයේ බොදු උරුමය - කදුරුගොඩ විහාරය

 

යාපනයේ සිට කන්කසන්තුරෙයි දක්වා වැටී ඇති මාර්ගයේ චුන්නාකම් මංසන්දියේ සිට මද දුරක් ගමන් කිරීමෙන් මල්ලාකම් උඩෙයියාර් ග්‍රාමයෙහි පිහිටි වර්තමානයේ කන්තරොඩෙයි ලෙසින් හැදින්වෙන, නමුත් මහනුවර යුගයේ හෝ ඊට පෙර කාලකයදි ලියැවුන නම්පොත නම් එකල පැවති බෞද්ධ විහාර නාමලේඛනයක කදුරුගොඩ විහාරය ලෙසින් සදහන් වන මෙම පුරාවිද්යාත්මක ස්ථානයට පැමිණිය හැක. මෙම ස්ථානයේ කුඩා දාගැබ් 57 ක නටබුන් දැකගත හැකි අතර වරින් වර කල කැනීම් වලින් කවන්ධ බුද්ධ ප්‍රතිමාවක්, විශාල බුද්ධ ප්‍රතිමාවක කොටසක්, බෝධිසත්ව ප්‍රතිමා, පිළිම ගෙයක අවශේෂ, පබළු, කානේලියන් මුදුවක්, මැටි මුද්‍රාවක්, බ්‍රාහ්මි අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් (එහි ලියා ඇති "දතහ පත" යන අකුරු වලින් දතහගේ පාත්‍රය යන අර්ථය ගත හැක. එම අකුරු ක්‍රිස්තු පූර්ව යුගයට අයත්ය.) කාසි ආදිය හමුවී ඇත. තවද මෙම ස්ථානයේ තිබී හමුවූ අත්තාණි කණුවක ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් සිංහල අකුරින් කිසියම් රජකෙනෙකු විසින් බෞද්ධ විහාරයකට කල පිරිනැමිමක් ගැන තොරතුරු සඳහන් වේ.