Thursday, April 27, 2023

චීනෙන් ගෙනා බඳුන් වල ඖෂධ බහා, තඹ ශල්‍ය උපකරණ වලින් ශල්‍යකර්ම කල දොළොස්වන සියවසේ භික්ෂු රෝහල

මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද ආළාහණ පිරිවෙන පිළිබඳව වූ මහාවංශ විස්තරයේ පැවසෙන්නේ එතුමා විසින් භික්ෂූන් වහන්සේ උදෙසා සියලු අංගයන්ගෙන් යුක්ත, අතිශයින් රමණීය වූ සඳළුතල ඇති විවිධ කාමර වලින් යුත්, කුළු ගෙවලින් අලංකාර වූ, තුන් මහලින් යුත් දීඝපාසාද හතලිහක්ද, එපමණ වැසිකිලිද, චූළපාසාද අටක්ද, දොරකොටු හයක්ද, ගිනිහල් ගෙවල් තිස් හතරක්ද, විශාල වූ ප්‍රාකාර දෙකක්ද කරවූ බවය. එම පිරිවෙනේ වසන භික්ෂූන් උදෙසා රෝහලක් කරවූ බවට එහි විශේෂයෙන් සඳහන් නොවූවත් පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ස්තූපයට උතුරින් ආළාහණ පිරිවෙනට අයත් ඉහත මහාවංශ විස්තරයේ සඳහන් වන ආකාරයෙන්ම විශාල ප්‍රමාණයක් වූ භික්ෂු කුටි සහිත ප්‍රදේශය තුල පසුගිය සියවසේ අසූව දශකයේදී සිදු කල පුරාවිද්‍යා කැනීම් වලදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යාඥයන් හට  භික්ෂු රෝහලක නටබුන්ද සොයාගැනීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති භික්ෂු රෝහල

ආළහණ පිරිවෙනේ භික්ෂු ආරෝග්‍යශාලාවේ වීඩියෝ දර්ශන >>



බෙහෙත් ඔරුව

1982 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම ස්ථානයේ කැනීම සිදු කරන්නට පොරොතුව එහි තිබූ පසින් වැසී ගිය හැඩ නොගන්වන ලද කණු පේලියක් සහිත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ල කුමක්ද යන්න පිළිබඳව පුරාවිද්‍යාඥයන් හට පැහැදිලි අවබෝධයක් නොවීය. එහෙත් පස් ඉවත් කිරීමත් සමග එය පැරණි භික්ෂු රෝහලක් විය හැකි බවට හඳුනාගත හැකි විය.  

භික්ෂූ රෝහල තුල ඉදි කල වැසිකිලිය ( පහත රූපය ) සහ එහි අපද්‍රව්‍ය‍ය එකතු වන්නට ගොඩනැගිල්ලට පිටින් තැනූ වල (ඉහල රූපය )

මෙම රෝහලේ එක් කුටියක් තුල වූ ශිලාමය බෙහෙත් ඔරුව වැදගත් සොයාගැනීමක් විය. එයට අමතරව බෙහෙත් සකස්කිරීම සඳහා ගත් ඇඹරුම් ගල්, මැටි භාණ්ඩ , වලං කැබලි, කෙමි, පහන් ආධාරක කැබලි, තෙල් පහන්, මැටි කොළොම්බු ආදිය මෙන්ම චීන පිඟන් භාණ්ඩද විශාල වශයෙන් මෙම ස්ථානයෙන් සොයාගැනීමට හැකි වී ඇත. එම චීන බඳුන් ඖෂධ ඉස්ම සහ තෙල් ආදිය ගබඩා කිරීම සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවද ඇණ, පොරෝ, ගිරා, උල් කටු, හුණු පෙට්ටි, හිරමණ තල, සහ කතුරු ආදී ලෝහ භාණ්ඩද කොක්කක් සහිත විශේෂ තඹ උපකරණයක්ද සොයාගැනීමට හැකි විය. එය ගඩු ඡේදනය සඳහා යොදාගත් ශල්‍ය උපකරණයක් බවට හඳුනාගෙන ඇත.

මැද මිදුල සහ එහි  උතුරු සීමාවට ආසන්නව වූ ටැම්පිට විහාරයක ලෙස අනුමාණ කරන ඉදිකිරීමේ කණු

පොළොන්නරුවෙන් මෙම භික්ෂු රෝහල සොයාගැනීමට පෙර අනුරාධපුරය, මිහින්තලය සහ මැදිරිගිරියෙන්ද එවන් රෝහල් සොයාගෙන තිබූ අතර ආළහණ පිරිවෙනට අයත් මෙම රෝහලද මැදිරිගිරිය රෝහලට බෙහෙවින් සමානය. දිගු හතරැස් ව්‍යුහයක් වූ, ප්‍රාකාරයකින් වටවී ඇති මෙම ගොඩනැගිල්ලේ වැසිකිලි දෙකක් තිබී ඇති බවත් ඉන් එකක් ඇතුලත කුටියකට සම්බන්ධවද අනෙක උතුරු බිත්තියට පිටතින්ද තිබී ඇති බවත් සොයාගැනීමට හැකිවිය. ගොඩනැගිල්ලේ මැද මිදුලක් ඇති අතර එහි උතුරු දෙසට වන්නට පේළියට තුන බැගින් වූ කෙටි ගල් කණු පේළි 3 ක් දකින්නට ලැබේ. මෙම ගල් කණු මත දැවයෙන් කරන ලද ටැම්පිට විහාරයක් තිබෙන්නට ඇතැයි අනුමාණ කෙරේ. මිහින්තලේ රෝහලේ මැද මිදුල මධ්‍යයේද ගඩොලින් කරන ලද පිළිම ගෙයක් හඳුනාගෙන ඇත. මැද මිදුල වටා රෝගීන් සඳහා වූ කාමර පිහිටා ඇත.

මැද මිදුල වටා වූ රෝගීන් සඳහා ඉදිකල කුටි

මූලාශ්‍ර

  • යුනෙස්කෝ - ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආළාහණ පරිවෙණ පොළොන්නරුව, තුන්වැනි පුරාවිද්‍යා කැණීම් වාර්තාව ( 1982  අප්‍රියෙල් - සැප්තැම්බර් ), පී. එල්. ප්‍රේමතිලක, 1994
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015

Saturday, April 22, 2023

ගොපල්ලන්ගේ පර්වතයේ තැනූ පොළොන්නරුවේ පැරණිතම විහාරය - හුළුගලු විහාරය

 පොළොන්නරුව පැරණි නගරයේ රන්කොත් වෙහෙර නමින් වර්තමානයේ හැඳින්වෙන ස්තූපයට ආසන්නව එයට උතුරු දෙසින් ගල් පර්වත සහ ලෙන් වලින් සමන්විත ස්ථානයක් තිබේ. ගෝපාල පබ්බත එනම් ගොපල්ලන්ගේ පර්වතය ලෙසින් හැඳින්වෙන එහි එක් ලෙනක ඇති ලෙන් ලිපිය සහ ඒ අසල පර්වතයක ඇති ගිරි ලිපිය පොළොන්නරුව පැරණි නගරය සහ ඒ අවටින් හමුවී ඇති පැරණිම සෙල් ලිපි වන අතර, ඒවා එම ප්‍රදේශයේ ඓතිහාසික යුගයේ මුල් අවදියේ පටන්ම ජනාවාස පැවති බවට වූ සාක්ෂ්‍ය ලෙස ගෙනහැර පෑ හැක. H.C.P. බෙල් මහතා මුල් වරට මෙම ලිපි දෙකම කියවා 1911-12 වර්ෂ සඳහා වූ සිය වාර්තාවේ පළ කර තිබේ. ලෙන් පිහිටි ගල් පර්වත වලින් බටහිරට වන්නට වූ ගල් පොත්තක වූ කාලගුණික හේතූන් නිසා ගෙවීගිය ගිරි ලිපියේ කියවිය හැකි අකුරු 5 වන සියවසට පෙර යුගයට අයත් බවත්, ලෙන් ලිපිය බ්‍රාහ්මි අක්ෂර වලින් රචිත බවත් හෙතෙම එහි සඳහන් කරයි. එම ලෙන් ලිපිය එතුමා කියවන්නේ සිද(ම්) මඩලයහ ලෙනෙ [Hail! cave of Madalaya] ලෙසිනි. එහි අදහස වන්නේ මඩලය ගේ ලෙන යන්නය. 
මෙහි ඇති ගිරි ලිපිය සම්පූර්ණයෙන් ආරක්ෂා වී නැති බව සහ එහි පේලි දෙකක කොටස් කිහිපයක් පමණක් කියවිය හැකි බව පවසමින් පසු කලක එය නැවත කියවා ප්‍රකාශයට පත් කරන සෙනරත් පරණවිතාන මහතා එම ලිපියේ අකුරු පළමුවන හෝ දෙවන ශතවර්ෂ වලට අයත් බව පවසයි. එම කියවිය හැකි කොටසට අනුව ගිරි ලිපිය කෙටීමේ අරමුණ චුළගල [පාළි - චූගල්ල,  හුළුගලු ලෙසද ගත හැක.] නම් විහාරයට චුළ අහලය [චූල අසේල] නම් වූ පුද්ගලයා විසින් සිදු කල කිසියම් ප්‍රදානයක් පිළිබඳව සටහන් කර තැබීමයි. ඔහු විසින් සිදු කල ප්‍රදානය තිස් දෙක ලෙස ප්‍රමාණය දක්වා ඇති කිසියම් දෙයකින් ලද ආදායම බව පෙනේ. චුළ අහලය නැමැත්තා අය තියබුත ගේ පුත්‍රයා බවද එහි සඳහන් වේ. ඒ අනුව ගෝපාලපබ්බතය ලෙසින් පොළොන්නරු යුගයේදී හැඳින්වූ මෙම ගුහා පද්ධතිය ආශ්‍රිතව පළමුවන සියවස පමණ කාලය වන විට චුළගල විහාරය නමින් හැඳින්වූ විහාරයක් පැවති බව පැහැදිලි වේ.

සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන එම ගිරි ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය >>  Cula-Ahalaya, son of Aya Tiyabuta...of the income...thirty two. 

මහා පරාක්‍රමබාහු විසින් ඉදි කල ආළහණ පිරිවෙනේ බද්ධසීමා ප්‍රාසාද නම් වූ පොහොයගෙහි සීමාවන් බැඳීමේදි එහි දකුණු දිශාවෙහි පිහිටි සලකුණු ගල ගෝපාලපබ්බතයෙන් යෂ්ටි පණස් අටක් දුරින් වූ බව මහාවංශයේ සඳහන් වේ.  (එනම් ගෝපාලපබ්බතයේ සිට තවත් මීටර 176 දුරින් දකුණු දිශාවට.) මෙම ස්ථානය පිළිබඳව  1911 දී මුල් වරට සඳහන් කරන විටද H.C.P. බෙල් ගෝපාලපබ්බත යන නම යොදාගනී. ඒ වන විටත් එම ස්ථානය ප්‍රදේශවාසීන් අතර එම නමින් හැඳින්වූවේද නැතහොත් මහාවංශ තොරතුරු අනුසාරයෙන් බද්ධසීමා ප්‍රාසාදයට දකුණු දිගින් පිහිටි එකම ගල් පර්වත සහිත ප්‍රදේශය ගෝපාලපබ්බතය විය යුතුයැයි බෙල් හඳුනාගත්තද යන්න පැහැදිලි නැත. බොහෝවිට මින් දෙවැන්න නිවැරදි විය යුතුය. 

මෙම ස්ථානයේ ඇති ගල් පර්වත වලින් ස්වභාවිකව ඇතිවූ අවම වශයෙන් ලෙන් හතරක් කටාරම් කොටා මුල් කාලයේදී භික්ෂූන්ගේ වාසස්ථාන උදෙසා පිළියෙල කරගෙන ඇති බව පෙනේ. H.C.P. බෙල් සඳහන් කරන පරිදි මේ ලෙන් අතරින් එක් ලෙනක් පසු කලක විහාරයක් ලෙසින් භාවිතා කර ඇත. ඔහු එය නිරීක්ෂණය කල අවධියේ අර්ධ වශයෙන් සුන්බුන් අතර යටවී තිබූ අත් සහ පා නොමැති කුඩා ශෛලමය හිටි පිළිමයක්,  අඩි දෙකක් පමණ වූ තවත් හිස නොමැති ශෛලමය ඔත් පිළිමයක් සහ වන්දනා කරන ඉරියව්වෙන් නෙලා තිබූ තවත් ගල් පිළිමයක බඳ කොටස පිළිබඳව බෙල් සිය වාර්තාවේ සඳහන් කරයි. 1967 වසරේදී චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා විසින් පොළොන්නරු පැරණි නගරය ලෙසින් පළකල කුඩා පොත් පිංචක ගෝපාලපබ්බතය පිළිබඳව වූ විස්තරයේ සඳහන් වන්නේද මෙහි ඇති එක් ලෙනක බුද්ධ ප්‍රතිමා වල කොටස් පවතින බවය.

 එම ප්‍රතිමා කොටස් දැනට මේ ස්ථානයේ දක්නට නොමැති අතර ඒවා මුළුමනින්ම සුන්බුන් අතර යටවී ගොස් ඇත්ද, නැතහොත් කිසියම් කලක මෙම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත්ද යන්න පැහැදිලි නැත. එහෙත් පොළොන්නරුව සම්බන්ධයෙන් රචිත ඇතැම් ග්‍රන්ථ වල ඇතැම්විට බෙල්ගේ ඉහත සඳහන මෙම ස්ථානයේ සිට තරමක්  උතුරු දෙසට වන්නට සහ බද්ධසීමා ප්‍රාසාදයෙන් නැගෙනහිර දෙසට වන්නට පිහිටි ලෙන් විහාරයේ (මෙය කුඩා ගල් විහාරය ලෙසින්ද හැඳින්වේ) දැකිය හැකි පිහිටි ගලේ නෙලා ඇති කුඩා හිඳි පිළිම සමග පටලවාගෙන කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනේ. 
ඉහත ප්‍රධාන ගල් ලෙනේ කටාරමට යටින් වූ ගලේ තැනූ කුඩුම්බි වලවල්. ඒ අනුව වහලයක් වැනි ඉදිකිරීමක් මෙහි තිබූ බව පෙනේ. බෙල් සඳහන් කරන බුදු පිළිම බොහෝවිට මෙම ලෙනේ තිබුණා විය හැක.

ගෝපාල පබ්බතයේ සහ ඒ අශ්‍රිතව වූ ආළහණ පිරිවෙනේ ගොඩනැගිලි දැක්වෙන වීඩියෝව >> 

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • Archaeological survey of Ceylon, North-Central, Central, And North-Western Provinces, Annual Report 1911-12, Bell, H.C.P.,  
  • polonnaruva, Issued by The Archaeological Commissioner, 1970
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පොළොන්නරු පැරණි නගරය, චාර්ල්ස් ගොඩකුඹුරේ, 1967
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Sunday, April 16, 2023

    නිශ්ශංකමල්ලට රජකම හිමිකර දී පමුණු ලැබූ විජයා යාන්තැන්නාවන්

    පොළොන්නරුව පැරණි නගරයේ උතුරු සීමාවේ එහි ප්‍රාකාරයට පිටතින් ඒ ආසන්නව සහ වර්තමානයේ මැණික් වෙහෙර ලෙසින් හැඳින්වෙන ආරාමයට දකුණින් පොළොන්නරු යුගයේ භාවිත සිංහල අක්ෂර වලින් රචිත පුවරු ලිපියක් ඇත. මෙම සෙල්ලිපිය පැරණි ඇල මාර්ගයක් අසල ඇති බවට 1917 වසරේදී ඒ පිළිබඳව ලිපියක් ලියන Z. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. බොහෝවිට මේ ආසන්නයෙන් නගරයේ උතුරු සීමාවේ වූ දිය අගල තිබෙන්නට ඇත. නැතහොත් ලිපියේ නම සඳහන් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ගෙනගිය තුඟභද්‍රා ඇල මේ අසලින් ගලා යන්නට ඇත. මෙම ලිපිය ආරම්භ වන්නේ සිංහල අකුරින් සංස්කෘත ශ්ලෝකයක් ඉදිරිපත් කරමිනි. ලිපිය එම යුගයේ භාවිත සිංහල අක්ෂර භාවිතයෙන් ලියවී ඇති මුත් එහි අවසානයේ නැවතත් එම ශ්ලෝකය ග්‍රන්ථ අක්ෂර මගින් ඉදිරිපත් කර ඇත. 

    රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට A years work at Polonnaruwa ලෙසින් ලිපියක් සපයමින් S. M. බරෝස් (S.M. Burrows) විසින් 1887 දී පළමුවරට මෙම පුවරු ලිපියේ පළමු පැත්තේ (Side A) වූ කියැවිය හැකි කොටස් ඉදිරිපත් කර එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. තමා විසින් [එම වසරේ] පොළොන්නරුවෙන් සොයාගත් සියල්ල අතරින් ඉතාමත්ම වැදගත් සොයාගැනීම මෙය විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. ලිපිය දෙවන විජයබාහු විසින් කල එකක් ලෙස අනුමාණ කරන හෙතෙම, නමුත් දමිළයන්ගෙන් පොළොන්නරුව බේරා ගත් දඹදෙණි යුගයේ පසුකාලීනව සිටි  එකී නම සහිත  වෙනත් රජකෙනෙකුන් විසින් මෙම ලිපිය පිහිටවූවා වුවද විය හැකි බව පවසයි [එනම් තුන්වන විජයබාහු]. [1886 වර්ෂයේ] වියලි කාලයේ එය නිරීක්ෂණය කල හෙයින් පුවරු ලිපියේ අනෙක් පස ඝනව ලයිකන වැවී තිබූ හෙයින් අකුරු කියවිය නොහැකි වූ බවද, එහෙත් මෙවැනි වෙනත් එවැනි ගල් වල ඇති ලයිකන වැසි කාලය අවසානයත් සමග අර්ධ වශයෙන් හෝ වියැකී යන බව පැවසෙන හෙයින්, එහි සිටින කිසියම් පුද්ගලයෙකු එසේ වූ විට යථා කාලයේදී ඔහුට එහි නිවැරදි පිටපතක් ලබාදෙනු ඇති බවත් බරෝස් වැඩිදුරටත් සඳහන් කරයි. එවිට අවම වශයෙන් ලිපියේ එම පැත්තේ (Side B) කොටසක් හෝ කියවිය හැකි වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළකරයි.

    1909 වර්ෂයේ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් විසින් මේ පිළිබඳව කෙටි සටහනක් ඉදිරිපත් කරයි. දෙවන විජයබාහුගේ ඝාතනය පිළිබඳව සඳහන් වන එම සෙල්ලිපිය නිශ්ශංකමල්ල හෝ සහස්සමල්ල විසින් කරවූ එකක් විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. නැවත Z. වික්‍රමසිංහ මහතා 1917 දී කලින් බරෝස් කියවූ පැත්ත පමණක් කියවා Epigraphia Zeylanica 2 කලාපයට ලිපියක් සම්පාදනය කරයි. පැරණි ඇල මාර්ගයක් අසල ඇති ලෙස පවසන එම පුවරු ලිපිය පිළිබඳව වික්‍රමසිංහ මහතාගේ කියවීමද පෙර බරෝස් පල කල කියවීමේම යම් වැඩිදියුණු කිරීමක් පමණි. Z. වික්‍රමසිංහ මහතාද මෙය දෙවන විජයබාහු විසින් කල සෙල්ලිපියක් ලෙස පවසා මහාවංශයේ සඳහන් කරුණු සමග ලිපියේ සඳහන් ඓතිහාසික තොරතුරු සසඳා බැලීමක් සිදුකරයි.

    Z. වික්‍රමසිංහ මහතාගේ කියවීම පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින් H.C.P. බෙල් මහතා එය පලවී වසර දෙකකට පමණ පසුව Ceylon Antiquary and Literary Register පස්වන වෙලුමට ලිපියක් සපයමින් පවසන්නේ මෙම ලිපිය පිහිටුවා ඇත්තේ වික්‍රමසිංහ මහතා කියන අයුරින් දෙවන විජයබාහු නොව නිශ්ශංකමල්ල රජතුමා බවය

    නැවත සෙනරත් පරණවිතාන මහතා 1963 වසරේ පලවූ Epigraphia Zeylanica පස්වන වෙලුමේ දෙවැනි කොටසට මෙම සෙල් ලිපිය පිළිබඳව ලිපියක් සම්පාදනය කරයි. එතුමා මෙහි අනෙක් පස වූ අක්ෂර ද ලිපිය ඇති ස්ථානයට ගොස් සහ T.K. ජයසුන්දර නම් මහතෙකු විසින් එම පැත්තේ වූ ලයිකන ඉවත් කර සැකසූ පිටපතක් ආධාරයෙන් දැඩි පරිශ්‍රමයක් දරා කියවා එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. ලිපිය පිහිටවූ රජතුමා සහ එහි සඳහන්  අනෙකුත් චරිත හඳුනාගැනීම පිළිබඳව H.C.P. බෙල් මහතා කලින් ඉදිරිපත් කල කරුණුද උපයෝගි කරගනිමින් දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන සෙනරත් පරණවිතාන මහතාගේ කියැවීම සහ පසුව මෑතකදි සිරිමල් රණවැල්ල මහතා Inscription of Ceylon සයවන වෙලුමට ඉදිරිපත් කල කියවීම අනුසාරයෙන් පහත කරුණු ඉදිරිපත් කෙරේ. 

    ඒ අනුව මෙම ලිපිය පිහිටුවන්නේ දෙවන විජයබාහු නොව දෙවන විජයබාහු යටතේ යුව රජු ලෙස සිට පසු කලක රාජ්‍යත්වය ලබාගත් මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස හඳුනාගත හැකි නිශ්ශංකමල්ල රජතුමාය. තවද අන්තර්ගතය අනුව බොහෝදුරට මෙම ලිපිය එතුමා විසින් පිහිටවූ පළමුවන සෙල්ලිපිය විය හැක.

    ලිපියේ සඳහන් වන පරිදි කාලිඟ (කාලිංග) චක්‍රවර්තීන් වහන්සේගේ වංශයෙහි උපන් සිංහබාහු රජපාවහන්සේට ජේය්ෂ්ඨ පුත්‍ර වූ කාලිඟයෙන් ලංකාවට බැසැ යක්ෂ ප්‍රලය කොට මනුෂ්‍ය වාස කොට ඒකත්පත්‍ර රාජ්‍ය කල විජයරාජයන් වහන්සේගේ වංශ පරම්පරායෙන් ආ ලක්දිව ඒකරාජ්ජ කළ පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ ස්ව වංශය මත්තට පවත්නා කැමැතිව පූර්ව රාජයන් කොට ආ පරිද්දෙන්ම සිංහපුරයට යවා බෑනණුවන් වහන්සේ ගෙන්වා සිය නම දී හිමියා පටි බන්දවා ශත්‍රශාස්ත්‍රයේ නිපුණ කරවා රාජ්‍ය සනාථ කොට ස්වර්ගස්ථ වූ කල්හී....ලෙසින් පැවසෙන්නේ කාලිංගයේ සිට පැමිණි විජය රජුගේ වංශයෙන් පැවතෙන මහා පරාක්‍රමබාහු රජතුමා එහි සිටි සිය බෑනණුවන් වන නිශ්ශංකමල්ල කුමාරයා මෙරටට කැඳවා ඔහුට සිය පරාක්‍රමබාහු යන නමද දී හිමියා යන විරුද නාමයද පවරා ඔහුව සිය වංශය ඉදිරියට ගෙනයෑම උදෙසා ( ආසන්න අනුප්‍රාප්තිකයා ලෙස නොව.) ආයුධ හැසිරීමෙහි සහ අනෙකුත් ශාස්ත්‍රයේ නිපුණ කල බවය.

    මෙහිදි වංශ කතාවට අනුව අප හට මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල දෙදෙනාගෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් ලෙස හැඳින්වීම උදෙසා කිසියම් හෝ සම්බන්ධයක් සොයා ගත නොහැක. එසේ හැඳින්වීමට නම් නිශ්ශංකමල්ල එක්කෝ පරාක්‍රමබාහුගේ සහෝදරියකගේ පුතෙකු විය යුතුය, නැතහොත් ඔහු පරාක්‍රමබාහුගේ දියණියක විවාහ කරගත යුතුය. මහාවංශයේ සඳහන් ඇතැම් තොරතුරු ආශ්‍රයෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහුගේ දියණියක හෝ නෑකමින් එසේ වන කෙනෙකු ආවාහ කරගත් බව පෙන්වීමට සෙනරත් පරණවිතාන මහතා උත්සහ කරන මුත් නිසැකවම එය එසේ වේයැයි පිළිගැනීමට එම සාධක ප්‍රමාණවත් නොවේ. 

    ලිපියට අනුව පරාක්‍රමබාහු රජුගෙන් පසුව ජේ‍යෂ්ඨත්වය අනුව  අභිෂේක ලබන්නේ විජයබාහු වහන්සේය (එනම් මහාවංශයේ සඳහන් දෙවන විජයබාහුය.) එහෙත් දුෂ්ඨ අමාත්‍යයන් රාජ ද්‍රෝහීව, ලංකාවට ව්‍යසන ගෙනදුන් බැවින් විජයා යාන්තැන්නාවන් මැදිහත් වී ලිපිය පිහිටුවන [නිශ්ශංකමල්ල කුමාරයා] අභිෂේක කර ඔටුණු පළඳා රාජ්‍යත්වයට පත් කල හෙයින් සහ එනයින් කාලිඟ පරම්පරාවටම රාජ්‍යය සාධා දුන් හෙයින් සහ රුවන්දම්බුයෙහි පටන් [නිශ්ශංකමල්ල කුමාරයාගේ] ශරීර ආරක්ෂක ලෙසින් සිටි හෙයින් සහ විජය රජුගේ කාලයේ සිටම එම විජයා යාන්තැන්නාවන්ගේ පරපුර කාලිඟ වංශයටම සේවය කල හෙයින් ඔහුට පිරිණැමෙන ත්‍යාගයක් පිළිබඳව වූ විස්තර සඳහන් කිරීම මෙම පුවරු ලිපියේ අරමුණයි.

    විජයා යාන්-තැන්-නාවන් ලෙසින් හැඳින්වෙන පුද්ගලයා ගේ යාන්-තැන්-නාවන් යන්න වාහන-නායක යන තනතුර (The Chief of the department of vehicles)  ලෙසින් සෙනරත් පරණවිතාන මහතා හඳුන්වයි. එතුමා ඉදිරිපත් කර ඇති සංස්කෘත ශ්ලෝකයේ පෙලෙහි එය වාහන-නායක ලෙසින් සංස්කෘත භාෂාවෙන් සඳහන් වේ (එහෙත් සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන පෙලේ එය දැක්වෙන්නේ එතුමා අනුමාණ වශයෙන් කියවන (දාරානුද) නායක ලෙසිනි. රණවැල්ල මහතා ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනයේ එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය නොකර Yantanna ලෙසින් දැක්වෙයි. )

    පුවරු ලිපියේ ග්‍රන්ථ අක්ෂර වලින් ඇති කොටස

    අපගේ ප්‍රධාන ඓතිහාසික තොරතුරු ඇතුලත් මූලාශ්‍රය වන මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වන්නේ රජුගේ බෑනා වූ කවීශ්වර, පණ්ඩිත විජයබාහුය. ඔහු රාජ්‍යත්වයට පත්වී වසරක් ගිය තැන කාලිංග කුලයෙහි උපන් මහින්ද නැමැත්තෙක් දීපනී නමැති ගොපලු දියණියක සහයිකාව කරගෙන, දුෂ්ට උපායකින් ඒ රජු මරා, කිපුණු සෙන්පතිවරුන්ගේ, යෝධයන්ගේ, රටවැසියන්ගේ සහ ඇමතිවරුන්ගේ අනුමැතිය නොලැබ "ඉතා දුකසේ" පස් දිනක් ලක් රජය කර ඇත. ඉක්බිති විජයබාහු රජුගේ උපරජු වූ කාලිංග වංශයෙහි උපන් කීර්ති නිශ්ශංක නමැත්තා ඔහු මරා රජ විය. මෙම සෙල්ලිපියේ සහ මහාවංශයේ ඇතුලත් කරුණු එක් කොට සලකා බැලූ විට පෙනීයන්නේ නිශ්ශංකමල්ල රජ වීමෙන් පසු මෙම පුවරු ලිපිය පිහිටුවා කෘතගුණ දක්වන්නේ එම විජයබාහු (එනම් දෙවන විජයබාහු) රජු මරා දින පහකට රජ වූ කාලිංග වංශයේම මහින්ද නමැත්තාගෙන් රාජ්‍යය නිශ්ශංකමල්ල (මහාවංශයට අනුව කීර්ති නිශ්ශංක) කුමරා හට ලබා දීමට මූලික වූ පුද්ගලයා වෙත බවය. එනම් විජයා යාන්තැන්නාවන්ටය.

    විජයා යාන්තැන්නාවන් හට මෙම සෙල්ලිපිය පිහිටුවා ලබාදුන් දෑ වන්නේ තුඟභද්‍රා ඇලෙන්* [වගා කරන කුඹුරු ඉඩම් වලින්] පමුණුවක් [පමුණුව = Freehold allotment = සින්නක්කර බිම් කොටසක්], රන්මඩවතුරෙන් පමුණුවක්, අන් මිනිසුන් සතුවූ හෙයින් නැවත මිලදීගත් යක්තුඩුකුබුර (The field [named] Yaktudu which has been purchased (back) as it had passed into the possession of other people), දියදඩ නුදුන් තුඟභද්‍රා ඇළ ආතැන් පටන් අට කිරියක් [කරීස 8 ක් එනම් අමුණු  32 ක් (4 * 8) - 8 Kiri of field beginning from the turn of Tungabhadra canal, from which water-rates are not levied] හා ඔහු හට අයත් (තමන් වලඳනා) පමුණුවක් වේ.

    * පරාක්‍රම සමුද්‍රයේ වතුර ගෙන ගිය එක් ඇල මාර්ගයක්.

    මැණික් වෙහෙර සහ ඒ අසබඩ මෙම පුවරු ලිපියේ පිහිටීම දැක්වෙන වීඩීයෝ දර්ශන >>

    මෙම පැවරීම් කඩ කලහොත් ඔවුන් රාජ ධර්මයට පිටු පෑ හෙයින් මාතාංග [චණ්ඩාල යන අදහස දේ] ආදී හීනයන් හා ද කවුඩු බල්ලන් හා ද සම නම් වේ යැයි ග්‍රන්ථ අක්ෂරයෙන් නැවතත් දක්වා ඇති සංස්කෘත ශ්ලෝකයට පෙර ලිපියේ අවසාන කොටසේ දැක්වේ. සංස්කෘත ශ්ලෝකයෙන් පැවසෙන්නේ පාන්ඩ්‍ය දේශයේ නායකන්ටත් නායක වූ* පරාක්‍රමබාහු නම් කාලිංග රජු විජයා යන්තැන්නා හට පැවරූ දේ ඉර හඳ පවතින තුරා ඔහුගෙන් පැවතෙන්නන් හට හිමි බවත්, එය මතු රජ වරුන්ද සුරැකිය යුතු බවත්ය. ලිපියේ අවසානයේ කපුටෙකුගේ [කවුඩු] බල්ලෙකුගේ සහ කිසියම් බර දෙයක් සිය වමතින් ඔසවාගත් පුද්ගලයෙකුගේ රූපයක් දක්වා ඇත. එම මනුෂ්‍ය රූපයෙන් සෙල්ලිපියේ මාතංගයන් එනම් චණ්ඩාලයන් ලෙස හැඳින්වෙන පුද්ගලයන් නිරූපණය කලා විය යුතුය. 

    * මේ අවධිය වන විට සිංහලයන් චෝලයන්ට එරෙහිව පාණ්ඩවයන් හා මිතුරු සන්ධානයකින් සිටි අතර, සාපේක්ෂව යුධමය වශයෙන් පාණ්ඩවයන් සිංහලයන්ට වඩා දුර්වල තත්වයක සිටි හෙයින් සහ මහා පරාක්‍රමබාහු පාණ්ඩවයන්ගේ ජයග්‍රාහි සටන් වලට මැදිහත් වීම ආදිය නිසාත් කාලිංග පරාක්‍රමබාහු ලෙසින් මෙම පුවරු ලිපියේ තමන්ව හඳුන්වාගන්නා නිශ්ශංකමල්ල රජු මෙවන් අතිශයෝක්තියට නැගූ බලයක් තමුන්ට ආරෝපණය කර ගන්නට ඇත. මේ අවධියේ මෙරට සහ දකුණු ඉන්දීය පාලකයන්ගේ මෙවන් සෙල් ලිපි වල එවන් දේ බහුලව හමුවේ.

    මූලාශ්‍ර

    • Journal of the Ceylon Branch of the Royal Asiatic Society, 1887, Volume X No. 34, 1888
    • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica beign Lithic and other inscriptions of Ceylon, Vol 5, Part 2, Edited by S. paranavitana, C.E. Godakumbura, 1963
    • Archaeological Survey of Ceylon, North-central, Central and Western Provinces, Annual Report, 1909, 
    • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
    • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
    • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
    • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
    • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.

    Saturday, April 1, 2023

    කිරිඳි ඔය මුවදොර හඳුනානොගත් පැරණි පුද බිම - තෙළුල්ල

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරිඳි ඔය මුවදොර ආසන්නව විශාල ප්‍රදේශයක් පුරා විසිරුණු නටබුන් දැකිය හැකි තෙළුල්ල පුරාවිද්‍යා ස්ථානය ලෙසින් හැඳින්වෙන පරිශ්‍රයක් තිබේ. මේ අවට පිහිටි බුන්දල පතිරාජවෙල වැනි බොහෝ ස්ථාන වලින් හෙලිවී ඇති පරිදි ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මේ ප්‍රදේශයේ මානව ජනාවාස තිබී ඇත. මෙම පරිශ්‍රය තුලින්ද එවැනි සාධක සොයාගෙන ඇත. කෙසේ නමුත් මෙහිදී අපේ අවධානය යොමුවන්නේ මෙහි ඇති පසු කාලීන යුගයන්ට අයත් බෞද්ධ සංඝාරාමයක නටබුන් පිළිබඳවය. අලි ඇතුන් ගැවසෙන කැලෑවක පිහිටි මෙහි මේ වන විට පැහැදිලිවම ස්තූප දෙකක නටබුන් මතු කර ගෙන ඇති අතර ඉන් එක් ස්තූපයක් පූර්ණ ලෙස සංරක්ෂණයටද ලක් කර ඇත. චතුරශ්‍රාකාර මළුවක පිහිටි එම ස්තූපයට තරමක් දුරින් පිහිටි අනෙක් ස්තූපය පිහිටුවා ඇත්තේ සලපතල මළුව මත තැනූ අෂ්ඨාශ්‍රාකාර වේදිකාවකය. මීට අමතරව එම ස්තූප දෙක අතර එක පෙලට අවම වශයෙන් තවත් ස්තූප දෙකක හෝ වෙනත් එවැනි ගඩොල් ගොඩනැගිලි දෙකක නටබුන් දැකිය හැක. වර්තමානයේ මෙම පරිශ්‍රයට පිවිසෙන ස්ථානයට ආසන්නව තවත් එවැනි ගඩොල් ඉදිකිරීමක ගොඩැල්ලක් දැක ගත හැකි අතර ඒ ආසන්නව යූප ගලක් විය හැකි කැඩී ගිය ගල් කණුවක කොටසක් පොළොව මතුපිටට මතුවී තිබේ. මෙයට අමතරව කිරිඳි ඔය මෝය ආසන්නයේ වැලි වලින් වැසී ගිය තවත් එවැනි ගඩොල් ගොඩැල්ලක් සහ කැලෑව තුල තරමක් දුරින් පිහිටි තවත් එවැනිම ගොඩැල්ලක් ඇති බව පැවසේ. මේ ගොඩැලි සහ ස්තූප වලට අමතරව ගල්කණු සහිත ගොඩනැගිලි දෙකක නටබුන්ද ස්ථානයට යන කෙනෙක් හට පහසුවෙන් නිරීක්ෂණය කල හැක. ඉහත සියළු ස්ථාන වල දර්ශන නැරඹීම සඳහා  >>


    1963-64 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ මෙම ස්ථානයේ ඇති ස්තූපයක් සහ ගල් කණු සහිත ගොඩනැගිලි දෙක පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත. එම එක් ගොඩනැගිල්ලක මධ්‍යයෙහි වූ හිස සහ දෙපා රහිත අඩි 5 අඟල් 2 ක් උස බුදු පිළිමය පිළිබඳවත්, එම පිළිමයට පිටුපසින් තිබූ අටපට්ටම් හැඩැති යූප ගල පිළිබඳවත් එහි සඳහන් වේ. එසේම එම ගොඩනැගිල්ලට ඉදිරියෙන් තිබූ අඩි 6 ක් උස හිස සහ පාද රහිත තවත් පිළිමයක් පිළිබඳවත් එම වාර්තාවේ විස්තර හමුවේ. 
    සාදා නිම නොකල ප්‍රතිමාගෘහය
    සෝමපාල ජයවර්ධන මහතා 1987 පලකල සිය Ruins of Sri Lanka ග්‍රන්ථයේ මෙම ස්ථානයේ ගල් කණු සහිත ගොඩනැගිලි දෙකක්, එක් ස්තූපයක්, බුදු පිළිම දෙකක් සහ තවත් නොයෙකුත් නටබුන් ඇති බව සඳහන් කරයි.


    2006 වර්ෂයේදී ස්විඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙම නටබුන් පරිශ්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරයි . ඒ මහතා සඳහන් කරන්නේ පැරණි බෞද්ධ ආරාමික සංකීර්ණයක් වන මෙහි ගඩොල් ස්තූපයක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් දැක ගත හැකි බවත්, ස්තූපය අවට ඇති ගොඩැලි මෙම ආරාම සංකීර්ණයේ තිබූ වෙනත් ගොඩනැගිලි වල නටබුන් විය හැකි බවත්ය.

    සතැරැස් මළුවක ඉදි කල දැනට සංරක්ෂණය කර ඇති ස්තූපය

    මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙම ස්ථානයේ ඇති ස්තූප දෙකක් පිළිබඳව සඳහන් කරයි. මුහුදු වෙරලට ආසන්නව ඇති ස්තූපය ඉන් එකක් බව එහි සතැරැස් සලපතල මළුවක් ඇති බව පැවසීමෙන් හඳුනාගත හැක. එතුමා ඉදිරිපත් කරන සැලැස්මට අනුව අනික් ස්තූපය දැනට අර්ධ වශයෙන් සංරක්ෂණය කර ඇති ස්තූපය වේ. මෙම පරිශ්‍රයේ ඇති එක් ගොඩැල්ලක් එතුමා හඳුනාගන්නේ බෝධිඝරයක් ලෙසිනි. කණු සහිත ගොඩනැගිලි දෙකින් මධ්‍යයේ කුඩා හිටි පිළිමයක් සහිත ගොඩනැගිල්ල ඒ අනුව පිළිමගෙය බව ඔහු නිගමනය කරයි. අනෙක් කණු සහිත ගොඩනැගිල්ල උපෝසථඝරය බව ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය සහ උපෝසථඝරය එකම පූජනීය මළුවක පිහිටන මෙම ආරාම සංකීර්ණය පබ්බත විහාර සම්ප්‍රදායයේ ආරාම සංකීර්ණයක් බව එතුමා  නිගමනය කරයි. ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 2009 වර්ෂයේ පලකල සිය Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka ග්‍රන්ථයේ සඳහන් කරන්නේ තෙළුල්ල ආරාම සංකීර්ණයේ තිබූ ඩොලමයිට් පාෂාණයෙන් තැනූ බුදු පිළිමය ඒ වන විට කතරගම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බවය. එහි හිස සහ දෙඅත් විනාශ වී ඇති බවත් දැනට පවතින කොටසේ උස මීටර 1.9 ක් බවත් ඔහු සඳහන් කරයි. එම පිළිමයේ රැලි මනාව සුරක්ෂිත වී ඇති බව එතුමා විශේෂයෙන් සඳහන් කරයි. නිසැකවම මෙම පිළිමය තෙළුල්ල පරිශ්‍රයේ පිළිමගෙයි තිබූ පිළිමය විය යුතු බව පවසන එතුමා දැනට එහි තබා ඇති කුඩා පිළිමය මීටර 1.56 ක් උස බව සඳහන් කරයි (මෙම පිළිම දෙකේ උස ඉහත උපුටා දැක්වූ චාර්ල්ස් ගොඩකුඹුර මහතා 1963-64 වර්ෂ සඳහා ඉදිරිපත් කල පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ වාර්තාවේ අඩි සහ අඟල් වලින් ඉදිරිපත් කල එම පිළිම වල උස මට්ටම් වලට සමානය.) 

     ප්‍රතිමාගෘහය

    කතරගම කෞතුකාගාරයේ ඇති තෙළුල්ල ප්‍රදේශයෙන් හමුවූ ලෙස සඳහන් පිළිමයද උස අඩි 5 අඟල් 6  ක් බව සඳහන් කරමින් එහි ඡායාරූපයක් මෑතකදී වෛද්‍ය රුවන් මාරසිංහ මහතා විසින් පළකල ග්‍රන්ථයක දක්වා ඇත. එහෙත් එහි සඳහන් කර ඇත්තේ එම පිළිමය ඌව පළාතෙන් හමුවූ බවය. ඌව පළාතට අයත් තෙළුල්ල නම් නටබුන් සහිත ස්ථානයක්ද හම්බන්තොට - වැල්ලවාය මාර්ගයේ (A2) 41 වෙනි සැතපුම් කණුව අසල ඇත. කුඩා දාගැබක අවශේෂ, ගල් කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ සහ තවත් ගොඩැල්ලක් එහි ඇති බව තොරතුරු ඇති මුත් එයින් හමුවූ බුදු පිළිමයක් ගැන වාර්තා සොයාගත නොහැක. එහෙත් කෞතුකාගාරයේ ඇති පිළිමයේ රුවන්  මාරසිංහ මහතා දක්වන උස හරියටම මෙම පරිශ්‍රයෙන් හමුවූ බවට ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා වාර්තා කරන කුඩා පිළිමයේ උසට සමාන වන හෙයින් කතරගම කෞතුකාගාරයේ ඇත්තේ අපගේ ප්‍රශ්තුතයට අදාල තෙළුල්ලෙන් හමුවූ පිළිමය බව පැහැදිලිය. ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඉහත සඳහන් කරන්නේ මෙම පිළිමය පිළිබඳව නොව විශාල පිළිමය පිළිබඳවය. ඒ මහතාට අනුව එවකට එම පිළිමයද තිබී ඇත්තේ කතරගම කෞතුකාගාරයේය. ඒ අනුව මෙහි තිබූ පිළිම දෙකම මේ වන විට කතරගම කෞතුකාගාරයට ගෙන ගොස් ඇත.

    කිරිඳි ඔය මුවදොර

    මෙම තෙළුල්ල ආරාම සංකීර්ණය පබ්බත විහාර සම්ප්‍රදායේ සංඝාරාමයක්ය යන මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මතය අභියෝගයට ලක්කරන ආචාර්ය දනන්ජය ගමලත් මහතා ස්තූප දෙකක් පිහිටා තිබීමත්, එම ස්තූප දෙකේ සිට ප්‍රතිමාගෘහයට සහ පොහොයගෙය (උපෝසථඝරය) ලෙස ගුණවර්ධන මහතා හඳුනාගන්නා ගොඩනැගිලි වලට ඇති දුර ප්‍රමාණ දෙස අවධානය යොමුකරන විට එය එසේ විය නොහැකි බව පවසයි. එසේම පබ්බත විහාරයක ප්‍රාකාරයකින් වටවූ පූජනීය චතුරශ්‍රය තුල පිහිටුවන්නේ එක් වර්ගයකින් එක් ගොඩනැගිල්ලක් පමණක් බවත්, එක් වර්ගයකින් ගොඩනැගිලි දෙකක් එසේ පිහිටන අවස්ථාවක් මෙතෙක් හමුවී නොමැති බවත් පෙන්වාදෙන එතුමා තව දුරටත් සඳහන් කරන්නේ එසේ එක් වර්ගයකින් ගොඩනැගිලි දෙකක් හමුවන්නේ නම් එසේ හමුවන්නේ ඉන් එක් ගොඩනැගිල්ලක් පූජනීය චතුරශ්‍රය තුල සහ අනෙක් ගොඩනැගිල්ල ඉන් පිටත වූ විහාර සංකීර්ණය තුල බවය. ඒ අනුව තෙළුල්ල පරිශ්‍රයෙන් විසද කරන්නේ පබ්බත විහාරයකට වඩා ග්‍රාමීය හෝ නාගරික විහාර සැලැසුමක සාධක බව ඔහු පෙන්වාදෙයි.

    ස්තූපයක් විය හැකි කිසියම් ගඩොල් ඉදිකිරීමක නටබුන් සහිත ගොඩැල්ලක්

     උපෝසථඝරය ලෙස ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා හඳුනාගන්නා ගොඩනැගිල්ලේ දැනට දැකිය හැකි ගල් කණු වල පිහිටීම අනුව ප්‍රතිමාගෘහයක ගර්භගෘහය සහ එයට ඉදිරියෙන් ඇති මණ්ඩපය (ආලින්දය) හඳුනාගත හැකි බව පවසන ආචාර්ය දනන්ජය ගමලත් මහතා එම ගොඩනැගිල්ල පොහොය ගෙයක් නොව ප්‍රතිමාගෘහයක් ලෙස හඳුනාගනී. මෙහි ගර්භගෘහය තුල එහි කෙලවරවල් සතරේ ගල් කණු තුන බැගින් පිහිටා ඇති බවත්, එය සාමාන්‍යයෙන් ප්‍රතිමාගෘහයක ගල් කණු පිහිටුවන සම්මත ලක්ෂණයක් බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරයි. එහෙත් මෙම ගොඩනැගිල්ලේ දොරටුවක් නොමැති හෙයින් ඒ පිළිබඳව තහවුරු කර ගැනීම උදෙසා එතුමා 2012 වර්ෂයේදී මෙහි කැණීමක් සිදු කරයි. එහිදී හෙලිවී ඇත්තේ මෙහි දොරටුව තිබිය යුතු ස්ථානයේ කිසිදු ඉදිකිරීමක සාධක දැකිය නොහැකි බවත් දොරටුව දෙපස සිට මණ්ඩපය වටා සහ ගර්භගෘහය වටා විහිදී යන ගඩොලු බැමි සහ අධිෂ්ඨානයේ ව්‍යුහයන් කිසිවක් මෙම ගොඩනැගිල්ලේ නොමැති බවත්ය. එසේම වහළය සෙවිලි කල උළුකැට කිසිවක් මෙහිදී හමු වී නැති අතර හමුවූ කැඩුණු ගඩොල් කැට 20 ක් පමණ ප්‍රමාණය වුවද අහඹු ලෙස මෙම ස්ථානයට එකතු වූ ඒවා මිසක මෙම ගොඩනැගිල්ලට අයත් ඒවා නොවන බව හෙතෙම සඳහන් කරයි. ඒ අනුව ඔහු පවසන්නේ මෙම ගොඩනැගිල්ල වැඩ අවසන් නොකල එකක් බවත් එහි සිදු කර ඇත්තේ වහලය සඳහා ගල්කණු සිටුවීම පමණක් බවත්ය. එම කණු සිටුවා ඇති වළවල් වල පතුලේ ගල් කණුව ගිලා බැසීම වැලැක්වීම උදෙසා යොදන ලද ශෛලමය ආධාරක පුවරු (Pads) දක්නට ලැබුණු බව එම කැනීමේදී සොයා ගැනීමට හැකි වී ඇත. අනුරාධපුර, පොළොන්නරු යුගවල ඉදි කල ගොඩනැගිලි වල පළමුව ගල් කණු සිටුවා ඒ මත වහලය ඉදි කර අනතුරුව බිත්ති බැඳීම ආදී කාර්යයන් සිදු කරන ලද බවට වන මතය මේ අනුව තහවුරු වන බව මෙහිදී ආචාර්ය දනන්ජය ගමලත් මහතා විශේෂයෙන් සඳහන් කරයි. එම තාක්ෂණික ක්‍රමවේදය අනුව බිත්ති වලට වහලයේ බර කේන්ද්‍රගතවීම සිදු නොවේ.  මෙම කැණීමේදී හමුවූ අඟුරු නිදර්ශක වල කාල නිර්ණය අනුව ඒවා පො.ව. 480-530 කාලයට අයත් බව සොයාගෙන ඇත.

    ස්තූපයක් විය හැකි කිසියම් ගඩොල් ඉදිකිරීමක නටබුන් සහිත ගොඩැල්ලක්

    මෙම ස්ථානයේ ඇති ගල් කණු සහිත අනික් ගොඩනැගිල්ලද ආචාර්ය දනන්ජය ගමලත් මහතා හඳුනාගන්නේ ප්‍රතිමාගෘහයක් ලෙසය. නිදන් හොරුන් විසින් දරුණු ලෙස විනාශ කර දමා ඇති මෙහි ගර්භගෘහය මධ්‍යයේ විශාල වලක් හාරා එහි තිබූ හිටි පිළිමය ඒ මහතා එම ගෘහය පරික්ෂා කරන අවදිය වන විට එය තුලට දමා තිබූ බව ඔහු සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. ඉහත ගොඩනැගිල්ලේ මෙන් නොව මෙහි අධිෂ්ඨානයේ සහ ගරා වැටුණු ගඩොළු බිත්තියේ කොටස් ගොඩනැගිල්ල වටාම දැක ගත හැක. මීටර් එකක් පමණ උස කොටසක් ඉතිරි වී ඇති ස්ඵටික හුණුගලින් කල හිස දෙපා සහ දෙ අත් විනාශ වී ඇති හිටි පිළිමය අනුරාධපුර යුගයට අයත් සිවුරු රැල්ල විසද කරන බව ආචාර්ය දනන්ජය ගමලත් මහතා සඳහන් කරයි (මෑතකදි මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී කිසිදු බුදු පිළිමයක් පොළොව මතුපිට අප හට දැක ගත නොහැකි විය.)

    අෂ්ඨාශ්‍රාකාර වේදිකාවක ඉදිකල ස්තූපය

    ඉහත ආචාර්ය දනන්ජය ගමලත් මහතා පෙන්වාදෙන පරිදිම මෙම නටබුන් පරිශ්‍රය පබ්බත විහාරයක් ලෙස හඳුනාගැනීම ගැටළු සහගතය. විශේෂයෙන්ම බොහෝදුරට ස්තූප දෙකකට වඩා මෙහි ඇති බවට සලකුණු ඇති බැවින් එම ගොඩැලි වල නිසි කැනීමක් සිදු කර ඒ බව තහවුරු කරගැනීමකින් තොරව එවන් නිගමන වලට එලඹීම එතරම් සුදුසු නොවන බව පෙනේ. අනෙක් අතට රජරට ප්‍රදේශයේ හමුවන පුරාණ යුගයන්ට අයත් නටබුන් විමසා බලා ගොඩනැගූ වාස්තුවිද්‍යාත්මක ප්‍රවාද ඒ ආකාරයෙන්ම රුහුණු රටේ විහාරරාම වලටත් යෙදිය හැකිද යන්න විමසා බැලිය යුතුය. එකම ආරාමික පරිශ්‍රයක වුවත් ස්තූප එකකට වඩා හමුවන අවස්තා රුහුණු රට නටබුන් පිරිස්සා බැලීමේදී බහුලය.  යාන්ගල, බඳගිරිය සහ ඇතැම්විට යටාල-මැණික්  පරිශ්‍ර උදාහරන ලෙස පෙන්වාදිය හැක. ඉදිරියේදි සිදු කරන කැනීම් තුලින් පමණක් මෙම කරුණු නිරවුල් කරගත හැකි වනු ඇත.පුරාණයේදී මෙම බොදු පුද බිම හැඳින්වූ නාමය වැනි තොරතුරු කිසිවක් හෙලි කර ගැනීම සඳහා අවශ්‍ය කිසිදු සෙල්ලිපියක් මේ ස්ථානයෙන් මෙතෙක් හමුවී නැත. ඇතැම් විට ඉදිරි ගවේෂණ වලින් ඒ සඳහාද යම් හෝඩුවාවක් ලැබීමට ඉඩ නැතුවා නොවේ.

    මූලාශ්‍ර

    • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
    • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, C.E. Godakumbura
    • Ruins of Sri Lanka, Somapala Jayawardhana, 1987
    • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
    • Studies in Global Archaeology 5, Urban Origins in Southern Sri Lanka, Raj Somadeva, 2006
    • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
    • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
    • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972