Sunday, March 15, 2020

වනාන්තරයේ සැඟවුණු බූ ඇලේ ආරම්භය සොයා...

පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් ඉතිහාසයේ කිසියම් යුගයක තොටුපොල කන්දෙන් ඇරඹෙන කුඩා දිය පාරවල් 6 ක් ඔස්සේ දඹගස්තලාව ඔයට යායුතුව තිබූ ජලය කිලෝමීටර 11 පමණ ඇල මාර්ගයක් ඔස්සේ තොටුපොල කන්ද ප්‍රදේශයේ සිට ගෙනවිත්, පට්ටිපොල දුම්රිය ස්ථානයට මීටර 150 පමණ දකුණින් පොළව යටින් තැනූ මීටර 221 ක් පමණ දිගු උමගක් මාර්ගයෙන් කුඩා ඔය හරහා උමා ඔය නිම්නයට යොමුකරවීම පිළිබඳව මෙයට පෙර ලිපියකින් තොරතුරු ඉදිරිපත් කලෙමි. මේ සමග ඉදිරිපත් කරන වීඩියෝව බූ ඇල නමින් හැඳින්වෙන එම උමං මාර්ගයට ජලය ගෙන එන ඇල මාර්ගයේ ආරම්භය එනම් ස්වභාවික දිය පහරක් පැරණි අමුණකින් හරස් කල ස්ථානයේ සිට පට්ටිපොල - හොර්ටන් තැන්න (පැරණි නම මහඑලිය මාර්ගය දක්වා වනාන්තරය මැදින් ගලායන ඇල මාර්ගයේ රූප රාමු සහ බූ ඇල උමං මාර්ගය පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය අසල රූප රාමු වලින් සමන්විතය. කෙසේ නමුත් මේ බූ ඇල පිළිබඳව සහ එහි විශ්මිත වාරි තාක්ෂණය පිළිබඳව දැන ගැනීම උදෙසා පෙර ලිපිය කියවීම වැදගත් වේ (එම ලිපිය කියවීමට Link>>)
මහ එලිය (හොර්ටන් තැන්න ) සහ බූ ඇල අමුණේ පිහිටීම (විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
ස්ථානයේ සිදු කල ගවේෂණයට අනුව එම පැරණි අමුණ තිබූ ස්ථානය පහත සිතියමේ A ලෙසින් නම් කර ඇති අතර එහි GPS කියවීම 6°50.574'N, 80°48.729'E වේ. උස මුහුදු මට්ටමේ සිට මීටර 2143 කි. ඉහත ලිපියෙන්ද දක්වා ඇති පරිදි එම ස්ථානයේ වර්තමානයේ පැරණි අමුණ දැකිය නොහැකි අතර කොන්ක්‍රීට් යොදා සැකසූ අමුණක් ඉදිකර ඇත. එතැන් සිට ඇල මාර්ගය අතරින් පතර එහි පැති බැමි කොන්ක්‍රිට් යොදා සවිමත් කර ඇති මුත් බොහෝදුරට ස්වභාවික ලෙසින් භූමිය මතින් ගලා යයි. 
බූ ඇලේ අමුණ පිහිටි ස්ථානය (A) සහ එහි ගමන් මාර්ගය .  D ලෙසින් සලකුණු කර ඇති ස්ථානයේදී එය පට්ටිපොල - හොර්ටන්තැන්න මාර්ගය හරහා යයි (විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
එම ඇල මාර්ගය 6°50.575'N, 80°48.899'E වන ස්ථානයේදී එනම් පට්ටිපොල - හොර්ටන්තැන්න මාර්ගයේ (B512) 21 වන සහ 22 සැතපුම් කණු අතර පිහිටි දෙවන වංගුව අසලදී මාර්ගය හරහා යන අතර (මුහුදු මට්ටමේ සිට 2103m පමණ උසකින්) එතැන් සිට තවත් කිලෝමිටර් 11 පමණ දුරක් වනාන්තරය මැදින් ගමන් කර නැවත පට්ටිපොල වන නිවහන අසලදී (6°51.234'N, 80°49.880'E) ඉහත මාර්ගය අසලින් ගමන් කරයි (පහත සිතියමේ E). එම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 1895 උසින් පිහිටා ඇත.
මෙහි X ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේදී දඹගස්තලාව ඔය B512 මාර්ගය හරහා යන අතර E නම් ස්ථානයේදී බූ ඇල නැවත එම මාර්ගය අසලින්ම ගමන් කරයි. (විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
වර්තමානයේදී පැරණි බූ ඇල හෙවත් උමං මාර්ගය පෙර ලිපියේද දක්වා ඇති පරිදි 41m පමණ වන අතර (1862 දී පමණ හෝල්ස් සිදු කල මැනීම් වලට අනුව එවකට එය 221m දිගට තිබී ඇත ) GPS කියැවීම 6°51.247'N, 80°49.901'E වන ස්ථානයේදී (පහත සිතියම් වල F ලෙසින් ලකුණු කර ඇත) එය දුම්රිය මාර්ගය යටින් ගමන් කරන උමං මාර්ගය තුලට ඇතුළු වේ. එය නැවත 6°51.251'N, 80°49.919'E ස්ථානයේදී (පහත සිතියම් වල G ලෙසින් ලකුණු කර ඇත) ඉන් පිටවී කුඩා ඔය එක්වේ.
(විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)

(විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)

(විශාල කර බැලීමට සිතියම මත ක්ලික් කරන්න)
මූලාශ්‍ර
  • Ancient Irrigation Works in Ceylon, Part three, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • Watery Arteries of Sri Lanka, Tributaries of the Principal Rivers, W.J. Samuel 2006
  • Pattipola Bu Ala - An Exceptional Design of Ancient Sinhala Hydraulic Engineering, Sudath Gunesekara, Journal of The Royal Asiatic Society of Sri Lanka, New Series Volume L, 2004
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007

1 comment: