Sunday, August 25, 2019

පාර දිගේ - මන්නාරම සිට විල්පත්තු මැදින් පුත්තලමට

තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා දිවෙන A14 මාර්ගයෙන් තල්අඩි පසුකර මද දුරක් ගියවිට දකුණු අතට යොමු වූ B403 මාර්ගය වන්කාලෙයි කුරුළු අභයභූමිය (මන්නාරමට දකුණින් පිහිටි වන්කාලෙයි තෙත් බිම සංචාරක සහ දේශීය පක්ෂි විශේෂ රැසකට වාස භූමිය වන බැවින් කුරුළු අභයභූමියක් ලෙස නම් කර ඇත.) හරහා වන්කාලෙයි ධීවර ගම්මානය මැදින් නානත්තාන් මංසන්ධිය දක්වා වැටී ඇත.  නානත්තාන් සිට අරුවි ආරු (මල්වතු ඔයෙහි පහල කොටස මේ ප්‍රදේශයේදී අරුවි ආරු ලෙසින් හැඳින්වේ) මතින් තනා ඇති පාලම හරහා B403 මාර්ගය අරිප්පුසිලාවතුරෙයි, කොන්ඩච්චි හරහා මරිච්චුකඩ්ඩි වෙත ගොස් අවසන් වේ. මාර්ගයේ එම කොටසේදී අරිප්පු කොටුව සහ ඩොරික් බංගලාව හමුවේ (ඩොරික් බංගලාව පිළිබඳව වීඩියෝව නැරඹීමට Link>>

කොන්ඩච්චි සිට මරිච්චුකඩ්ඩි දක්වා කොටසේ මාර්ගයේ වම් පස මෑතක් වන තුරුම කල් ආරු වන රක්ෂිතයට ( B403 මාර්ගයේ හමුවන කල්ආරු නම් වූ ඔය දෙපසින් එම රක්ෂිතය නැගෙනහිර දෙසට රට ඇතුලට විහිදේ) අයත්ව තිබූ මුත් ඊලාම් ත්‍රස්තවාදී ගැටළුව අවසන් වීමත් සමග අවතැන් වූ ජනයා නැවත පදිංචි කිරීමට මුවාවී වනාන්තරය එලි කරමින් මූලික වශයෙන් ඉස්ලාම් ජානපදිකයන් පදිංචි කිරීමේ ව්‍යාපාරයක් රිශාද් බදූර්දීන් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය. දේශපාලනිකව සහ පාරිසරිකව ලාංකීය සමාජයේ උණුසුම් පුවත් මැවූ එම අර්බුදය මේ වන තුරුද සාර්ථක ලෙසින් අවසන් වී නැත. ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

පැරණි ගම්මානයක් වන මරිච්චුකඩ්ඩි සිට මෝදරගම් ආරුව මතින් තනා ඇති පාලමින් එතෙර වූ පසු  පුත්තලම දක්වා වූ මාර්ගය විල්පත්තු ජාතික වනෝද්‍යානය  හරහා වැටී ඇත.. මරිච්චුකඩ්ඩි සිට එළුවන්කුලම, වනාතවිල්ලු හරහා පුත්තලම දක්වා ගමන් කල හැකි එම මාර්ගය B379 ලෙසින් නම් කර ඇත. මාර්ගයේ විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුලත කොටසේදී අතහැර දැමූ ගමක් සහ වෙල් යායක් සහිත පොම්පරිප්පුව හමුවේ. පොම්පරිප්පුව සම්බන්ධව වැඩිදුර විස්තර සඳහා  Link>>

විල්පත්තු වන උද්‍යානයේ දකුණු පස සීමාව වන කලාඔය හරහා මාර්ගය වැටී ඇත්තේ සපත්තු පාලමක් මතින් වන අතර කලාඔයේ වතුර මට්ටම ඉහල ගිය විට එම මාර්ගය වාහන ගමනාගමනය සඳහා සුදුසු නොවේ. තවද අධික වැසි සහිත සමයන්හීදී මෝදරගම් ආරු සිට කලාඔය දක්වා වූ බොරළු මාර්ගය ලිස්සන සුළු බැවින් 4WD වාහන නොවන අනෙකුත් වාහන ගමන්කිරීම අවදානම් සහගතය.

මල්විල පුරාවිද්‍යා භූමිය මෙම මාර්ගයේ පුත්තලමට පෙර  හමුවන කරදිපුවල් ප්‍රදේශයේදී නැරඹිය හැක. මල්විල පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

Sunday, August 18, 2019

නයිපෙන විහාර පරිශ්‍රයේ නයිපෙන විහාරය නොහොත් ජනනාථමංගලම්හි අංක 4 විෂ්ණු දේවාලය

චෝළ පාලනය යටතේ ජනනාථමංගලම් වූ පොළොන්නරුව හෙවත් පුළත්ථිපුරයේ නයිපෙන විහාරය නමින් හැඳින්වෙන නටබුන් ගොඩනැගිලි සහිත පරිශ්‍රයේ පිහිටි ශිව දේවාලය පිළිබඳව මෙයට පෙර ලිපියකින් තොරතුරු ඉදිරිපත් කලෙමි (Link >>). එහෙත් එම නටබුන් ගොඩනැගිලි වලට පොදු ව්‍යවහාරයේ නයිපෙන විහාරය යන නම භාවිතා වීමට හේතු වූ විෂ්ණු දේවාලයක් ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිල්ලේ විස්තර එම ලිපියට විෂය නොවීය. මේ ලිපිය එම විෂ්ණු දේවාලය නොහොත් නයිපෙන විහාරය පිළිබඳවයි. පොළොන්නරුව පැරණි නගරයේ පිහිටි ශිව සහ විෂ්ණු දේවාල එකිනෙකින් වෙන් කර හඳුනාගැනීම සඳහා පුරාවිද්‍යාඥයන් විසින් ලබා දී ඇති අංක අනුව මෙම විෂ්ණු දේවාලය අංක 4 දරන විෂ්ණු දේවාලය ලෙසින් නම් කර ඇත.  
නයිපෙන විහාර පරිශ්‍රයේ එම අංක 4 දරන විෂ්ණු දේවාලය සහ අංක 5 දරන ශිව දේවාලය පිහිටා ඇති ආකාරය සහ ඒවායෙහි බිම් සටහනක් (Plan) ඉහත ඉදිරිපත් කර ඇත. එකම ප්‍රාකාරයකින් සීමා වූ ප්‍රදේශයක එකිනෙකට යාබදව එම දේවාල පිහිටා ඇති ආකාරය එමගින් පැහැදිලිව දැක ගත හැක. මෙම දේවාල දෙකටම පිවිසීම උදෙසා වූ ද්වාරමණ්ඩපය (Porch) හෙවත් ගෝපුරම් පරිශ්‍රයේ ඉදිරිපසින් වර්තමාන මාර්ගයට මුහුණ ලා ශිව දේවාලය ඉදිරිපසින් පිහිටා ඇත (ඉහත බිම් සැලැස්මේ පහල කෙලවරේ වම් පසට වන්නට සලකුණු කර ඇත.)
මෙම විෂ්ණු දේවාලය ප්‍රධාන වශයෙන් ගඩොල් ආධාරයෙන් ඉදිකර ඇති අතර එහි අත්තිවාරමට (Basement) ඉහලින් සියළු කොටස් විනාශ වී ඇත. ඉතිරි වී ඇති අත්තිවාරමට අනුව එය ප්‍රධාන විහාර කුටිය(Shrine) හෙවත් ගර්භ ගෘහයකින්, එක් අන්තරාලයකින්(Vestibule) සහ එක් ඇතුළු මණ්ඩපයකින් (Inner Mandapam)  සමන්විතව තිබී ඇත. මෙයට පිටත මණ්ඩපයක් (An outer Mandapam with posterior landing) පසුව එකතු කර ඇත. 
මෙම දේවාලයේ තිබූ දේව  ප්‍රතිමාව ගොඩනැගිල්ල කඩා වැටීමට පොරොතුවම ඉන් ඉවත් කරගෙන ගොස් ඇති බව මෙම ස්ථානයේ H.C.P. බෙල් මහතා සිදු කල කැනිම් වලදී පැහැදිලි වී ඇත. පිළිමය තිබූ ගඩොලින් කල උස් වේදිකාව (Estrade) එම ගර්භ ගෘහය(Sanctum) තුල දැනටද දැක ගත හැක. විශාල කුට්ටි තුනකට කැඩී ගිය මෙහි ඉලිප්සාකාරව තිබූ ගඩොලින් කල ශිඛරය (Dome) එහි බිත්තිද සමග බිමට පතිත වී පිළිමය තිබූ අභ්‍යන්තර කුටිය තුල වැටී තිබී ඇත. පිළිමයේ කිසිදු සලකුණක් එම සුන්බුන් අතර නොවීම බෙල් හට ඉහත නිගමනයට ඒම සඳහා පාදක විය. ගොඩනැගිල්ලෙන් පිටත තිබී ශෛලමය ගල් ආසනයක්ද හමු වී ඇත (පහත රූපය බලන්න.)
පොදුවේ මෙම නටබුන් ගොඩනැගිලි සියල්ල නයිපෙන විහාරය ලෙසින් හැඳින්වීමට හේතු වූ පෙන පහකින් සමන්වුත වූ නාගයෙකුගේ හිස මෙම ශිඛරයේ උතුරු පැත්තට මුහුණලා පිහිටා තිබූ පනේලයේ (Panel) දැනටද සැලකිය යුතු මට්ටමකින් විනාශ නොවී ඉතිරි වී ඇත.

දේවාලයේ ප්‍රධාන පිවිසුමට මුහුණ ලා තිබූ නැගෙනහිරට යොමු වී තිබූ ශිඛරයේ තිබූ දේව ප්‍රතිමාවේ ඉතිරි වී ඇති කොටස් වලින් පැහැදිලිවම මෙම දේවාලය කිනම් දෙවියෙක් උදෙසා ඉදිකරන්නට ඇත්ද යන්න හඳුනාගත හැක. බෙහෙවින් විනාශ වී ගොස් තිබූ මුත් එහි හිස සහ උරහිස් සමග චක්‍රායුධය (Discus) දැරීමට ඉහලට එසවූ දකුණු අත (චක්‍රායුධය කැඩී අතින් වෙන්වී ඇතිමුත්)  එම රූපය විෂ්ණු දෙවියාගේ ලෙසට හඳුනාගැනීමට ප්‍රමාණවත් බවට බෙල් පවසයි. දැනට ඉතිරි වී නොමැති ඒ ආකාරයෙන්ම ඉහලට එසවූ වම් අතෙහි ශංඛය (Chank) ද තිබෙන්නට ඇත. (මෙයට පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල අංක 2 විෂ්ණු දේවාලයේ දේව ප්‍රතිමාව බලන්න. Link>> )
මෙම ස්ථානයේ ඉහත විස්තර කල පරිදි ශිව දේවාලයක් සහ විෂ්ණු දේවාලයක් වෙන වෙනම ඇති මුත් (ඒ අතරින් ප්‍රමාණයෙන් විශාල සහ බැලු බැල්මට ප්‍රමුඛව දිස්වන්නේ පෙර ලිපියකින් විස්තර කල ශිව දේවාලයයි >>Link) පොළොන්නරුව පිළිබඳව ලියැවුන ඇතැම් මූලාශ්‍රයන්හි මෙම මුළු නයිපෙන විහාරය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයම එක් දේවාලයක් ලෙස සහ එය විෂ්ණු දේවාලයක් ලෙස සලකා කරුණු ඉදිරිපත් කර ඇත. ( උදා: Seneviratna A, 1998 සහ දිසානායක S., 2009 එහෙත් එය නිවැරදි නොවේ.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central  And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009

Wednesday, August 14, 2019

පැරණි පුළත්ථිපුර අප්‍රකට බෞද්ධ විහාරයක්

පොළොන්නරුව පැරණි නගරයේ පබළු වෙහෙරේ සිට අංක 2 ශිව දේවාලය දෙසට යන මාර්ගයේ දකුණු පස අංක 2 ශිව දේවාලයට නුදුරින් බොහෝ දෙනෙකුගේ අවධානයට බඳුන් නොවන පැරණි නටබුන් ගොඩනැගිල්ලක් වනාන්තරයේ සැඟව ඇත. පොළොන්නරුවේ ස්මාරක සම්බන්ධයෙන් රචිත ග්‍රන්ථ වලද එම ස්මාරකය පිළිබඳව කිසිදු තොරතුරක් හමු නොවේ.  එහෙත් H.C.P. බෙල් මහතා 1909 වසර සඳහා වූ සිය පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ මේ ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කර ඇත. මේ ලිපිය ඒ ආශ්‍රයෙන් පිලියෙල කෙරුනකි.
ගඩොලින් කල කිසියම් ගොඩනැගිලි කොටසක් ඉහලට මතුවී තිබූ ගොඩැල්ලක් ලෙස එවකට දිස්වූ එම ස්ථානයේ බෙල් මහතා සිදු කල කැනීමේදී එය බෞද්ධ විහාරයක් ලෙසට ඔහුට හඳුනාගැනීමට හැකිවේ. කුළුණු වලින් සමන්විත අන්තරාලයක්(Vestibule) සහ බොකු වහලයක් (Vaulted roof) සහිත ගඩොලින් නිර්මිත බිත්ති සහිතව තිබූ විහාරයකින්(Shrine) එම ගොඩනැගිල්ල සමන්විතව තිබෙන්නට ඇති බව ඒ අනුව ඔහු නිගමනය කරයි.
එම වහලයේ සහ බිත්ති වල කොටස් ගඩොලින් කල කුට්ටි ලෙස ඔහුට හමුවන මුත් ගොඩනැගිල්ලේ පාදම විනා අන් කිසිවක් ඉතිරි නොවන ලෙසට එය ඒ වන විටත් විනාශ වී තිබී ඇත. තවද අන්තරාලයේ තිබූ කුළුණු අටෙන් පහක පමණක් කොටස් එහි තිබී ඇති අතර ඒවායේ මුල් උස පිළිබඳව දල අනුමාණයක් විනා නිවැරදි නිගමනයකට ඒමට එම කුළුණු කොටස් වලින් නොහැකි බව හෙතෙම පවසයි. එහෙත් එම කුළුණු මත තිබූ කැටයමින් අලංකාර කල කුළුණු හිස් ගොඩනැගිල්ල තුලත් ඉන් පිටතත් තිබී මතු කර ගැනීමට ඔහුට හැකිවේ. 
කුළුණු හිස්
එවකට විහාරය තුලට ඇතුළු වන තැන අහුරමින් වැටී තිබූ එම ගොඩනැගිල්ලේ ගඩොල් සහ උළු  බදාමයෙන් බැඳ ඉදිකර තිබූ වහලයේ ඉතිරි කොටසින් එය සමතලා මුදුනක් සහිතව තිබූ බව පෙනෙන බව බෙල් පවසයි. විහාර ගෘහයේ තිබූ ප්‍රධාන පිළිමය එම ස්ථානයෙන් කිසියම් කලක ඉවත් කර තිබෙන්නට ඇති මුත් එය ඉදිරියෙන් තිබූ අල්තාරය නොහොත් මල් ආසනය බෙල්ට හමුවේ. එහි යටි පැත්ත බොරදමින් අලංකාර කර තිබී ඇති අතර එහි හුණු පිරියම් කර මාරුවෙන් මාරුවට මැද නිල් පැහැ වූ රතු පාටින් සහ නිල් පාටින් යුත් පටි වලින් අලංකාර කර තිබී ඇත.
ගඩොලින් කල වහලයේ කඩා වැටී ඇති කොටස්
තවද විහාර ගෘහය තුල කවන්ධ කුඩා හිටි පිළිමයක් (එහි කැඩුනු අත් වල යකඩ කට්ටා [Iron Joggles]තිබී ඇත.) සහ කහ පාටින් පාට කර තිබූ බවට සලකුණු සහිත පිළිම හිසක්ද වෙනත් පිළිමයකට අයත් පාද සහිත පාදාස්තලයක්ද (Pedestal with legs) බෙල්ට හමු වී ඇත. (බෙල් සඳහන් නොකරන මුත් ප්‍රධාන පිළිමයේ පාදස්ථලට යටින් තිබෙන්නට ඇති කුහර 25 කින් සමන්විත යන්ත්‍ර ගලක් දැනට එම ස්ථානයේ දැකිය හැක..)
කුළුණු හිසේ කැටයම් සහ යන්ත්‍ර ගල
මෑත කාලයකදි මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කර ඇත. කෙසේ නමුත් ඉහත විස්තර වන මල් ආසනය හෝ පිළිම කොටස් දැනට එම ස්ථානයේ දැකිය නොහැක. ඇතැම් විට කෞතුකාගාරයකට රැගෙන ගොස් ඇතිවා විය හැක. මෙම විහාරයේ නිර්මාතෘ හෝ එහි කාලය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැක.
අන්තරාලයේ බිම තබා ඇති කුළුණු හිස්. දකුණු පස එහි තිබූ කුළුණු වල ඉතිරි වූ යට කොටස් දැකිය හැක

Saturday, August 10, 2019

තේක්කම අමුණට නැවතත්..


පැරණි මූලාශ්‍ර වල කදම්භ නදී, කලම්භ සහ කොළොම් හොය ආදී නම් වලින් හඳුන්වා තිබෙන වර්තමානයේ මල්වතු ඔය නොහොත් අරුවි ආරු ලෙසින් හැඳින්වෙන ඔයේ ජලය, දාසෙන්කැලි හෙවත් ධාතුසේන රජු කරවූ මානා වැව හෙවත් මානාමතු වැව ලෙස අනුමාණ වශයෙන් හඳුනාගත හැකි වර්තමානයේ යෝධ වැව ලෙසින් ව්‍යවහාර වන වැව කරා ගෙන යාම සඳහා තැනවූ දැනට තේක්කම අමුණ ලෙසින් හැඳිවෙන අමුණ පිළිබඳව අප මින් පෙර ලිපියකින් විස්තර සහිතව විමසා බැලුවෙමු. එහිදී ඡායාරූප ඇසුරින් පමණක් විස්තර කල අමුණේ යථා ස්වරූපය මනාව දැකගත හැකි වන කෙටි වීඩියෝවක් මේ සමග පලවන ලින්ක් එක ඔස්සේ ගොස් නැරඹිය හැක. 

තේක්කම අමුණ පිළිබඳව පෙර ලිපිය  - Link >>