Saturday, August 18, 2018

සිලාපොක්ඛරණී - කුමාර පොකුණ වූ පරාක්‍රමබාහු රජුගේ ගල් පොකුණ

පොළොන්නරුවේ ඇතුළු නුවර මෙයට පෙර ලිපියෙන් විස්තර වූ පරාක්‍රමබාහු රජුගේ වැටුම්මඩුව පිහිටි ස්ථානයේ සිට ගිණිකොන දෙසින් 'ඇතුළු කොටුබැම්මෙන්' පහතට බැසීමට පඩිපෙලක් ඇත. එම පඩිපෙල බැස ගිය විට දැනට කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන ශෛලමය පොකුණක් සහ ඒ අසලම දකුණු දිශාවට වන්නට පිහිටි තවත් මණ්ඩපයක් දැකිය හැක. පරාක්‍රම සමුද්‍රයේ සිට ජලය බැස යන ඇල මාර්ගයද මේ අසලින්ම වාගේ ගමන් කරයි. දැනට මේ ශෛලමය පොකුණට භාවිතා වන කුමාර පොකුණ යන්න පැහැදිලිවම එහි පැරණි නම නොවන මුත් H.C.P. බෙල් 1911-12 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ පාලන වාර්තාවේ පවා එම නම භාවිතා කරන බැවින් ඒ වනවිටද පොදු ජනතාව අතර එම නම භාවිතයේ වූ බව පෙනේ.
මහාවංශයේ මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව නගරය තුල ඉදි කල වෛජයන්ත ප්‍රාසාදය, රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ආදි ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයෙන් අනතුරුව මාළිගාව අසල ප්‍රදේශයේ කරවූ ගෙඋයන පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරයි. කොඳවැලින් වෙළුණු රුක් වලින් යුක්ත, නොයෙක් මල් රොන් රස විඳින මත් බඹර හඬ ඇසෙන, සපු, අශෝක, මදටිය, පුවක්, වැටකේ, සල්, පලොල්, කොළොම්, අඹ, දඹ, මූනමල්, පොල්, කෙළිඳ ගස් වලින්ද, කෙම්වැල්, මාලතීවැල්, මල්ලිකාවැල්, තමලුවැල්, සත්පෙති, දෑසමන් වැල් වලින්ද යුක්ත නන්දන උයන මෙන් අලංකාර වූ එම උයන එහි යන්නවුන්ගේ සිත් සතුටු කරන බව එහි විස්තර වේ.
මණ්ඩපය
මොනරුන්ගේ රාවයෙන්ද, කොවුලන්ගේ කූජනයෙන්ද, යුක්ත වූ එම උයනේ පියුම් උපුල් වලින් ගැවසුණු විල්ළිහිණියන්ගේ රාවයෙන් යුතු, මනා ඉවුරු ඇති විල්; ඇත් දළින් නිමවුණු බොහෝ රූපයන්ගෙන් බබලන කුළුණු වලින් ශක්තිමත් වූ, යන්ත්‍ර මාර්ගයෙන් ජලනලයෙන් විසිරුණු වැසිවසින මේකුළු බඳු අලංකාර දිය දහරින් යුතු,  නෙත් පැහැරගන්නා වූ ධාරාඝරයකින්ද සැරසිණ. එම උයන සඳුන් දැවයෙන් කළ බොහෝ කුළුණු වලින් අලංකාර වූ පොළෝතලයට අලංකාරයක් වූ, අසමාන වූ, බබලන්නාවූ විමානයකින්ද, අෂ්ටාස්‍රාකාර මණ්ඩපයකින් හා වෘත්තාකාර මණ්ඩපයකින්ද, සිත් සතුටු කරන නාගදරණයක සිරිය උසුලන විශාල මණ්ඩපයකින්ද යුක්ත විය
මණ්ඩපය
බොහෝ මිනිසුන්ගේ සිත් සතුටු කළ මෙම උයනෙහි ගල් පොකුණ (සිලාපොක්ඛරණී), රජුන් අතර ප්‍රධාන වූ පරාක්‍රමබාහු රජුගේ සිත් සතුටු කල බව මහාවංශයේ එන ගාථා වලින් විස්තර වේ. එසේම හැමවිටම බොහෝ සෙයින් රමණීය වූ මංගල පොකුණ (මංගලපොක්ඛරණී) තිබූ උයන, නන්දා නැමැති පොකුණෙන් යුත් නන්දන උයන ලෙස හැඟේ. සුවඳවත් දියෙන් පිරුණු උතුම් පුණ්ණා නම් පොකුණ (පුණ්ණා පොක්ඛරණී ) රජු නැමැති සඳ සතුටු කරමින් බබලයි. වසන්ත නම් ගුහාවකින් හා පොකුණුවලින් යුක්ත එම උයන සැමදා බොහෝ අලංකාරයෙන් හා සෞභාග්‍යයෙන් යුක්තව පෙනුන බවද මහාවංශය තව දුරටත් විස්තර කරයි.
ඉහත විස්තරයෙහි එන විවිධ පොකුණු සහ අනෙකුත් මණ්ඩප, ධාරාඝර ආදී ඉදි කිරීම අතරින් සිලාපොක්ඛරණි ලෙසින් හැඳින්වුන පොකුණ අද ජන ව්‍යවහාරයේ කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන පොකුණ ලෙස හඳුනාගෙන ඇත. රජ මාළිගාව අසල නටබුන් අතර හමුවන එකම ශෛලමය (සිලා) පොකුණ එය වන බැවින් මෙම හඳුනාගැනීම නිවැරදි විය යුතුය.

1911-1912 වර්ෂ සඳහා වී සිය පාලන වාර්තාවේ මෙම 'කුමාර පොකුණ' පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන H.C.P. බෙල් මෙම පොකුණ තුල තිබී ගනේෂ රූපයක්, හිස සුන් කුඩා නන්දි ගවයාගේ රූපයක්, විශාල සිංහ රූපයක හිස සහ ශරීරයේ කැබලි, පිරිමි සිංහ රූප තුනක් (ඔහුගේ විස්තරයට අනුව මෙසේ හඳුන්වන්නේ ඉහත රූපයේ දැක්වෙන පොකුණට ගලා එන වතුර එයට වැක්කිරීම සිදුවන පිලී බව පෙනේ.). සහ විශාල රවුම් පද්මාසන පාදස්ථලයක් (මේ වර්තමානයේ පොකුණේ හරි මැද තබා ඇති පහත රූපයේ දැක්වෙන ගල් ආසනය ලෙසට හඳුනාගත හැක. මෙය පිළිමයක පාදස්ථලයක් [Massive 'Padmasana' pedestal of some image, in double flexure moulding, circular...] ලෙසට බෙල් වැරදියට හඳුනාගනී.) හමු වූ බව පවසයි. මෙම ගල් ආසනය ජල ක්‍රීඩා අතරතුරේදී විවේක ගැනීම උදෙසා ඉදි කරන්නට ඇත.
බෙල් විහාරයක් ලෙස හඳුනා ගන්නා මේ අසලම පිහිටි එහි  දෙපසින්ම පිවිසීමට පියගැට පෙලවල් සහිත මණ්ඩපය ඇඳුම් මාරු කිරීම උදෙසා වූ කාමරය (සළු මණ්ඩප) ලෙස ඇතැම් විද්වතුන් විසින් හඳුනාගෙන ඇත. මහාවංශයේ විස්තර වන නාග දරණයක සිරිය උසුලන මණ්ඩපය මෙය විය නොහැකිද?

අසල පිහිටි ඇල මාර්ගයේ සිට භූගත නල පද්ධතියක් මගින් මෙම පොකුණට ගෙන එන ජලය මකර රූප සහිත පීලි ඔස්සේ (පොකුණේ බටහිර පැත්තේ එවැනි පිලී 2 සහ අනෙක් පැති වල එක බැගින් පීලි 5 තිබී ඇත.) පොකුණට වැටෙන අතර එම ජලය පිටවීම සඳහා වූ භූගත කාණුවක් පොකුණ තුල දැකිය හැක. අවශ්‍ය අවස්ථා වලදී ජලය පිටවීම පාලනය සඳහා වූ සොරොව් දොර ලී වලින් තනා තිබෙන්නට ඇත. එය ඇතුළු කල විවරය පහත රූපයේ ලකුණු කර පෙන්වා ඇත.
මූලාශ්‍ර

  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007 
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu 
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960. 
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004 
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Bell H.C.P., 1915, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1911-1912 
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962 
  • පොළොන්නරු පැරණි නගරය, චාල්ස් ගොඩකුඹුරේ, 1967 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015 
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998

5 comments:

  1. Thanks for the Illustrative article. Being an person with a experience in Irrigation Engineering, you have correctly described the purpose of the water outlet and its controlling arrangement "avarana" as described in Chulavansa. I too have these photographs taken for my own interest. A similar arrangements are seen at Anuradhapura Royal Pond Magul Pokuna below Tissa wewa at Nanadana Uyana and also at Sigiriya water garden ponds. I hope if the archaeologist extend their research further the clay pipes bringing inlet water to this pond too could be traced.

    ReplyDelete
  2. ස්තූතියි භූශන මේ ලිපියටත්. උයනේ තිබුනා යැයි කියන කෙලිද ගස් යනු කුමන ශාඛ විශේෂයක්ද?

    ReplyDelete
    Replies
    1. මහාවංශයේ පාලි 'කුටජ' ලෙසින් හැඳින්වෙන ශාකය සිංහල මූලාශ්‍ර වල (බුත්සරණ, ජාතක අටුවා ගැටපදය) 'කෙළිඳ' , 'කෙළිඳි' ආදී ලෙසින් දැක්වෙන ශාකය ලෙස තිස්මඩ නන්දාරාම හිමියන්ගේ උද්භීද නාම ප්‍රදීපිකාවේ හඳුන්වනවා. එහි විද්‍යාත්මක නම ලෙස ඒ හිමියන් දක්වා ඇත්තේ Holarrhena antidysenterica. එහෙත් එවැනි නමක් මෙරට කිනම් හෝ ශාකයට භාවිතා වූ බවට ශාක පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයන සහිත කිසිම ග්‍රන්ථයක සොයා ගන්නට නැහැ. තවද Holarrhena antidysenterica නම දැනට භාවිතයේ නැහැ (http://www.theplantlist.org/tpl1.1/record/kew-464913). කෙසේ නමුත් එම Holarrhena කුලයටම අයත්
      Holarrhena mitis නම් සහිත මෙරටට ආවේනික ගසක් තිබෙනවා. එහි සිංහල නම දැක්වෙන්නේ කළිඳ ලෙසින්. කිරි මාවර, කිරි වල්ලා ලෙසද එම ගස හඳුන්වනවා. කළිඳ මෙරට පහත රට තෙත් කලාපීය සහ වියලි කලාපීය වනාන්තර කිහිපයක පමණක් හමුවන තරමක් දුර්ලභ ශාකයක්

      Delete
  3. සම්පූර්ණයෙන්ම secular ගොඩනැගිලි නේද? වෙනස් මත නැද්ද? ආරාමයකට හෝ පිරිවෙන්කට සම්බන්ධ වගේ. ලංකාවෙ හුඟක් නටඹුන් ගොඩනැගිලි ගැන මත වෙනස් වෙනවනෙ. එහෙම නැත්නම් මුලින් රජ මාලිගා පසුව ආගමික ස්ථාන වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සියළු ගොඩනැගිලි තිබෙන්නේ ඇතුළු නුවර ප්‍රාකාර වලින් සීමා වෙච්ච කොටසේ (Citadel). මැනවින් සැලසුම් කර ඉදි කල නුවරක් වන පොළොන්නරුවේ අනෙකුත් ආගමික ගොඩනැගිලි තිබෙන්නේ ඇතුළු නුවරින් පිට පිට නුවරට (Outer City) අයත් ප්‍රදේශයේ සහ ඉන් ඔබ්බට. මේ ගොඩනැගිලි Secular buildings ලෙස හඳුනාගැනීමේ කිසිදු විවාදයක් නැහැ මා දන්න තරමින්.

      Delete