Sunday, January 7, 2018

කලාඔය නිම්නයේ "අලුතින් සොයාගත්" පැරණි දාගැබ - නවාගල

ගෙවෙමින් පවතින්නේ අන්ත ජාතීවාදින්ගේ මනදොළ සපුරන පාලකයන් රජවී සිටින, වසර දහස් ගනනක සිංහල බෞද්ධ සභ්‍යත්වය වලපල්ලට දක්කන අධම යුගයකි. පුරාවිද්‍යා බලධාරීන් බලාසිටියදී සාම්පූර්හි සුදකුඩා දාගැබ ඩෝසර් කිරීමට තරම් දෙමළ ජාතිවාදීන් ඔවුන්ට කප්පම් දෙන පාලකයන්ගේ බලය අතට ගෙන ඇත. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් නැගුන විරෝධය නිසා එම දාගැබ ඩෝසර් කල පුද්ගලයන්ට මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතුනද, ඩෝසර් කල දාගැබෙහි ඓතිහාසික සාධක සහිතව නැවතත් එය තිබූ ආකාරයෙන් ගොඩනැගිය නොහැක. සීගිරි කැටපත් පවුර කුරුටු ගා හසුවූ දෙමළ තරුණියට ලැබුන අයුරින්ම ඊණියා සහජීවනය වෙනුවෙන් ජඩපාලනය යටතේ වරප්‍රසාද ලත් සුළු ජාතිකයන් වන බැවින් ජනාධිපති සමාව වුවද ඉදිරියේදි වැරදිකරුවන් වුවහොත් විනාශ කල දාගැබ අසල කෝවිලේ භාරකාරිත්වයටද ලැබීමට ඉඩ ඇත. ඩෝසරය පැදවූ සිංහල ජාතිකයන්ට නම් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වනු ඇත. කෙසේ වුවත් මෙම ලිපියෙන් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ එවන් ඉරණමක් අත් නොවී මේ වන විට නැවතත් බෞද්ධ බැදිමතුන්ගේ වන්දනාමානයට ලක්විමට තරම් වාසනාව ලද කලා ඔය නිම්නයේ පිහිටි පැරණි දාගැබක නූතන ඉතිහාසයයි.

වෙල්යායකින් වටවූ නවාගල ස්ථූපය 2005 වසරේදී දිස්වූ ආකාරය
ප්‍රධාන වශයෙන් පැරණි  අඟලේ සිතියම් වල දැක්වෙන තොරතුරු උපයෝගි කරගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන පිළිබඳව සොයමින් සිටි අප කිහිප දෙනෙකු හට 2005 වසරේදි කටියාව යාය 1 ගම්මානයේ වෙල් යායකින් වටවූ මීටර් 15 පමණ උස ස්ථූප ගොඩැල්ලක් දක්නට ලැබුනි. නාවාගල පුරාණ රජමහා විහාරය නමින් හැඳින්වෙන විසිවන සියවසේ ආරම්භ කරන ලද විහාරයක්ද එම ස්ථානයේ තිබූ අතර විහාර භූමිය පුරා පාදම් ගල්, සිංහ සහ ඇත් රූප වල විනාශ වූ කොටස්, ගල් කණුවක තිබූ ගෙවිගිය සෙල්ලිපියක්, විනාශ කල හිටි පිළිමයක කොටස් කිහිපයක්, නාග රුවක් සහිත මුරගලක් සහ වෙනත් මුරගලක කොටස්, පැරණි ගඩොල් මෙන්ම විහාරයේ නායක හිමියන් විසින් විහාර භූමියේ තිබූ සොයාගත් මැටි සහ අගස්ති පබළු ආදිය අපට දක්නට ලැබුනි. එම තොරතුරු ප්‍රදේශයේ එවැනි වෙනත් ස්ථාන කිහිපයක්ද සමගින් 2006 වසරේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මහින් පලකල "ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා" ලිපි සංග්‍රහයේ දෙවන වෙළුමට ධනේෂ් විසුම්පෙරුම සහ පිරිස විසින් "එප්පාවල ප්‍රදේශයේ අප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන" ලෙසින් ඉදිරිපත් කල ලිපියෙන් ප්‍රකාශයට පත්කර ඇත.
නවාගල ස්ථූපය කැනීමට පෙර සහ පසු
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තා වල මේ ස්ථානය ගැන සඳහනක් මුල් වරට 1960 වසරේදි දක්නට ලැබෙන අතර පැරණි දාගැබේ මළුව දක්වාම වී වගාව පැතිර තිබූ බවත්, වගා කටයුතු සහ වෙනත් ඉදිකිරීම් නිසා මෙහි තිබූ වෙනත් නටබුන් විනාශ වී ගොස් ඇති බවත් පිළිවෙලින් 1960 සහ 1968 වසර වල පලවූ එම වාර්තාවන්හි දැක්වේ. මේ ආශ්‍රිත ප්‍රදේශයේ වෙනත් ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන්ම 1895 වසරේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ තොරතුරු ඉදිරිපත් කරන H.C.P. බෙල් මහතාට මෙම ස්ථානය හමුනොවූ බව එම වාර්තාවෙහි ඒ ගැන සඳහන් නොවීමෙන් පැහැදිලි වේ. නවාගල පැරණි ස්ථානය ලෙසින් සංස්කෘතික අමාත්‍යාංශය මගින් 1972 වසරේ ප්‍රකාශිත පැරණි ස්ථාන නාමාවලියේ මෙම ස්ථානය ගැන සඳහන්වේ. එම ස්ථානයේ ජරාවාස වූ පැරණි දාගැබක් ඇති බව එහි සඳහන්වේ.
ස්ථානයේ විසිර තිබූ මුරගල් (1,2), කැටයම් කල පාදම් ගල්(3),අගස්ති සහ මැටි පබළු(4) සිංහ රූපයක අවශේෂ(5), සහ කැනීමෙන් සොයාගත් කැටයම් කල ගඩොලක්(7) සහ ධාතු තැන්පත් කරතිබූ ගල් කරඬු (6)
මෙවන් තොරතුරු මේ ස්ථානය සම්බන්ධයෙන් පළවි තිබූ මුත් 2009 වසරේ ජූලි මස ලංකාදීප පුවත්පතට පුවත් වාර්තාවක් සපයන එක්තරා "රිපෝටර්වරයෙකු" පවසා තිබුනේ එප්පාවල ප්‍රදේශයේ පැරණි විශාල දාගැබක් අලුතින් සොයාගෙන ඇතිබවය. එසේම එහි වැඩිදුරටත් සඳහන් වූවේ අප කිසි දිනක අසා නැති අමුතුම කතාන්දරයකි. පුරාවිද්‍යාව හා සම්බන්ධ උගත් මහාචාර්යතුමෙකු පැවසූ බව පවසමින් එම "අතේරෝල් බෝතල් පත්තරකරුවා" (ගොට්ට ඇල්ලීමේ සහ අනුන්ගේ ඡායාරූප උගේ වගේ පලකිරීමේ දක්ෂයෙකු වූ මොහු දැනට රටේ ඉහලම පුද්ගලයෙකුගේ උපදේශකයෙකි ) පවසා තිබුනේ මෙම ස්ථූපය උඩට නැගගත්විට අනුරාධපුරයේ පිහිටි මහා ස්ථූප පවා දිස්වන බවත්, පෙරකල අනුරාධපුරයට යාමට නොහැකිවූ මෙම ප්‍රදේශයේ ජනයා මෙම ස්ථූපය මුදුනේ සිට ඒවා වන්දනා කල බවත්ය (සිනානොවන්න ඔහු අද ඔහු වැනිම කප්පරක් බොරු පවසා ජනතාව මුලා කල චේතිය රජකුගේ උපදේශකයෙකි.)
වම - පසුකාලීනව විශාල කල දාගැබේ ගඩොල් ගැලවූ විට දිස්වන මුල් කාලීන ස්ථූපයේ ගඩොල් බැම්ම, දකුණ - මතුකරගනිමින් පවතින පේසාවලලු සහ ස්ථූප පාදම
පසු කලක මෙම දාගැබ කැනීම් කර සංරක්ෂණය කල අතර කැනීමෙන් පසු ගත් ඡායාරූප කිහිපයක් මේ සමග පලවේ. අන්තර්ජාලයේ පලවී ඇති තොරතුරු අනුව අද වන විට එය නැවතත් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. Link >> කෙසේ නමුත් එම ස්ථානය ආශ්‍රීතව ගොඩනැගී ඇති "නූතන ජනප්‍රවාද" කොතරම් දුරට නිවැරදිදැයි අප නොදනිමු. අප දන්නා තරමින් කැනීම් වාර්තා පලවී නොමැති මුත් ස්ථානයේ ඉතිහාසය සම්බන්ධව ගඩොල් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් කාල නිර්ණය  ක්‍රි.ව. 200 ත් 900 ත් අතර කාලයට අයත් වේ.  එසේම මේ සමග පළකර ඇති ඡායාරූප වලද දිස්වන ආකාරයට කලින් ඉදිකර තිබූ ස්ථූපයක් තරමක් විශාල කරමින් කිසියම් කාලයකදි මෙම ස්ථූපය නැවත ඉදිකර ඇති බව සොයාගෙන ඇත.
කැනීමෙන් මතුකරගත් පැරණි ගඩොල් මල් ආසනයක්(1), ස්ථූප පාදමේ පැරණි හුණු කපාරාරුව ඉතිරි වී ඇති ආකාරය (2), ස්ථූප පාදම (3), යූප ගල(4) සහ සිරිපතුල් ගලක් (5)
මූලාශ්‍ර
  • Ian K. Bailiff et. al., 2013, Luminescence dating of brick stupas: An application to the hinterland of Anuradhapura, Sri Lanka. Antiquity · March 2013.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • විසුම්පෙරුම, ධනේෂ් සහ පිරිස, 2006, එප්පාවල ප්‍රදේශයේ අප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුමට 2, 2006


2 comments: