Saturday, January 27, 2018

නිශ්ශංකමල්ලට කාලිංග උයන වූ පරාක්‍රමබාහු රජුගේ දීප උයන

මහාවංශයේ විස්තර වන පරිදි පරාක්‍රමබාහු රජු දෙපසින් දියපහර ගලාගිය හෙයින් දිවයිනක් බඳු පෙදෙසක දීපුය්‍යානයක් (දීප උද්‍යානයක්) කරවීය. එම දීප උද්‍යානයේ වූ වෙනත් ගොඩනැගිලි සම්බන්ධව විස්තර කරන මහාවංශ ගාථා වලින් ඉන්පසු පැවසෙන්නේ එම උද්‍යානයේ 1) සියලු සුධාකර්මයෙන් යුක්ත විශ්මය දනවන කෛලාස පර්වතයට සමාන ධවල මන්දිරය [ධවලාගාරං/White House] 2) නොයෙකුත් විද්‍යා විශේෂයන් දක්වනු පිණිස කරන ලද හෙයින් විද්‍යා මණ්ඩප [විජ්ජාමණ්ඩප/Science Pavilion] නමින් යුත් විමානය 3) ස්වර්ණමය කිංකිණි  වලින් යුත් දර්ශනීය ඔංචිල්ලාවෙන් යුක්ත වූ දෝලාමණ්ඩපය [දොලාමණ්ඩප/Swing Pavilion]  4) හාස්‍ය රසය මනාව දත් ඇමැතියන් පෙරටු කොට ගත් රජු අතිශයෙන් සතුටට පත් වූ ස්ථානය වූ  ක්‍රීඩා මණ්ඩපය [කීළාමණ්ඩප] 5) විමානයන්ගෙන් බබලන, ඇත්දළින් නිමවුණු සාණිමණ්ඩපය (Pavilion of the planet Saturn) 6) මොරමණ්ඩපය (Peacock Pavilion) 7) කැඩපත් බිත්තිවලින් යුත් ආදාසමණ්ඩපය (Mirror Pavilion) යන ගොඩනැගිලි වලින් අලංකාර වූ බවය.
තානායම අසල ඇති බිසෝකොටුව
තව දුරටත් එම දීප උද්‍යානයේ වූ අනෙකුත් ඉදිකිරීම් විස්තර කරන මහාවංශ කතුවරයා පවසන්නේ අනන්ත නාග රාජයාගේ දරණ වැල හා සමානව පිහිටවූ ගලින් යුතු අනන්ත පොක්ඛරණී නම් වූ පොකුණ හැම විටම ජනයා සතුටු කල බව සහ විසිතුරු සිතුවමින් යුත් චිත්තා නම් පොකුණ පරාක්‍රමබාහු රජු සතුටු කල බවත්ය. එසේම විසිතුරු සිතුවමින් සහ ශෘංගාර ශබ්දයන්ගෙන් යුත් සිව් මහල් ශෘංගාර මණ්ඩපයද එහි වූ බවත් තල්, කිතුල්, නා, දොඹ, කෙසෙල්, කිණිහිරි සහ යොහොඹු ආදි ගසින්ද උයන යුක්ත වූ බවත්ය.
භූගත නල මාර්ගයක් ඔස්සේ පරාක්‍රම සමුද්‍රයෙන් බිසෝකොටුව හරහා පැමිණෙන ජලය පලමුවෙන් ඇතුළු වන පොකුණ
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට යාබදව වර්තමාන තානායම පිහිටි ස්ථානයට උතුරින් වූ නටබුන් ගොඩනැගිලි සහ පොකුණු සහිත පෙදෙස මෙම දීප උද්‍යානය පිහිටා තිබූ ස්ථානය වූ බව පොදුවේ සියළුම විද්වතුන් පාහේ පිලිගන්නා මතයයි. මෙයට පෙර අප කතා කල නිශ්ශංකමල්ල රජුගේ සභා ශාලාවද මෙම පෙදෙසේ උතුරු සීමාවේ පිහිටා ඇත Link>>. තානායම අසල ඇති පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ වූ බිසෝකොටුවක්, එයින් ජලය සැපයෙන පොකුණු දෙකක් (එක් පොකුණක පිටාර ජලය එහි නැගෙනහිර සීමාවේ වූ වලයාකාර බැම්ම හරහා වූ කාණු දෙකක් මගින් අඩු වැඩි වශයෙන් චතුරශ්‍රාකාර වූ අනෙක් පොකුණට යොමු කෙරේ), පලමු පොකුණට උතුරු දෙසින් ජල පිහිල්ලක් සහිත ස්නානාගාරයක් සහ එයට ඉහලින් වෘත්තාකාර වෙනත් ඉදිකිරීමක නටබුන්ද (මෙයද ස්නානාගාරක් විය හැකි බවට වූ මත පලවී ඇත.) අද වනවිට මෙම ස්ථානයේ දැකිය හැක.
පළමු පොකුණට ජලය ඇතුළු වන දියවාන
මෙම වෘත්තාකාර ඉදිකිරීමේ බිත්තියේ මධ්‍යයෙහි පිහිටි කාණුවක් මගින් එහි ජලය පහලින් පිහිටි සෘජුකෝනාශ්‍රාකාර ස්නානාගාරයට යොමුකර ඇත. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුම මගින් මෙම වෘත්තාකාර ඉදිකිරීම සංරක්ෂණයෙන් පසුව ජල ටැංකිය ලෙසින් නම් කර ඇත. ජල පිහිල්ලක් සහිත වූ ස්නානාගාරය කොටස් දෙකකට සාදා ඇති අතර පඩි පේලි දෙකක් ඒවාට බැසීම සදහා ඉදිකර ඇත. එහි බිත්ති වල සහ පත්ලෙහි ගල් පුවරු අතුරා ඇති අතර බිත්ති ගඩොලින් බැඳ කපරාරු කර තිබී ඇති බව එහි ඉදිරි කොටසේ ඉතිරිව ඇති කපරාරු කොටස් වලින් පැහැදිලි වේ. සතර කොනේ ගල් කණු සිටුවා ඇති අතර ඒවා මත වූ වහලයක් මගින් මෙයට ආවරනය සැපයූ බව පෙනේ.
පළමු පොකුණේ සිට දෙවෙනි පොකුණට ජලය ඇතුළු වන ස්ථානය සහ දෙවෙනි පොකුණ
ඉහත විස්තර වූ බිසෝකොටුව අසල එයට උතුරු දෙසට වන්නට ගඩොලින් කල සෘජුකෝණාශ්‍රාකාර ගොඩනැගිල්ලක් ඇති අතර එහි පිවිසුමේ බෙහෙවින් ගෙවී ගිය සඳකඩපහණක්ද ඇති අතර පොළොන්නරු යුගයට පෙර  සඳකඩපහණ වල තිබූ ලෙසින් එහි ඇත්, අශ්ව, ගව සහ සිංහ යන සතුන් සිව් දෙනාගේම රූප දැකිය හැක (හින්දුන්ගේ පූජනීයත්වයට ලක්වන සතෙකු බැවින් පොළොන්නරු යුගයේ සඳකඩපහණ වල ගවයා දක්නට නොලැබේ.) එබැවින් මෙම ගොඩනැගිල්ල අනුරාධපුර යුගයට අයත් බව මත පලවී ඇත (අනුරාධපුර යුගයේ ගොඩනැගිල්ලක නටබුන් පොළොන්නරු යුගයේ ඉදිකිරීමක් සඳහා යොදා ගත්තා වන්නටද ඉඩ ඇත.)  එම ගොඩනැගිල්ල අසලින් වැවට බැසීම සඳහා යෙදු පඩි පේලියක්ද දැකිය හැක. තවද වර්තමානයේ පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් යටවන පෙදෙසේ දැකිය හැකි වෙනත් චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක්ද දීප උයනට අයත්ව තිබුනා ලෙස සැලකේ.
වෘත්තාකාර ඉදිකිරීම( ජල ටැංකිය/ස්නානාගාරය ?) දකුණු පසින් දිස්වන්නේ පහල පිහිටි ස්නානාගාරය සහ එහි ජලය පිටවන පළමු පොකුණයි.
මෙම දීප උයන සම්බන්ධව වංශ කතාවේ ඉන්පසු කිසිදු සඳහනක් හමු නොවන මුත් නිශ්ශංක්මල්ල රජු විසින් පිහිටවූ මෙම ස්ථානයේ තිබී හමුවු සෙල්ලිපි දෙකක් මගින් පැහැදිලි වන්නේ එම රජතුමා විසින් මෙම දීප උයනේ වූ පැරණි ඉදිකිරීම් අලුත්වැඩියා කිරිම, වෙනස් කිරීම හෝ නැවත ඉදිකිරීම් සිදු කර ඇති බවය. එසේම එහි වූ ඇතැම් ගොඩනැගිලි අවශේෂ අසල පිහිටි ඔහුගේ සභා ශාලාව සහ රජ මාළිගය නොහොත් මගුල් මඩුව ලෙස හඳුනාගන්නා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදා ගත්තා වන්නටද පුළුවන.
ස්නානාගාරය සහ එහි ඇති ජල පිහිල්ල
නිශ්ශංකමල්ල රජුගේ එක් ලිපියක් හමුවන්නේ ඉහත ස්නානාගාරය ලෙස හැඳින්වූ ඉදිකිරීමේ පැතලි ගලක් ලෙස යොදා තිබීමෙන්ය. ස්නානාගාරයේ නිශ්ශංකමල්ල යුගයට පසු කාලයේ සිදුවූ පිළිසකරකිරීමකදි එය සිදුවී ඇති බව පෙනේ. Z. වික්‍රමසිංහ මහතා එය කියවන යුගය වන විටද (1927 ට පෙර) ලිපිය කොටස් වලට කැඩි තිබූ අතර එහි එක් කොටසක් තෝපාවැව ග්‍රාමයේ තිබූ බවත් අනික්වා අස්ථානගතවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි. කෙසේ වුවත් එහි පෙල ඒ මහතා රන්කොත් දාගැබ පරිශ්‍රයේ හමුවූ නිශ්ශංකමල්ල රජුගේ ටැම්ලිපියක ආධාරයෙන් සකස් කර ඇති අතර අවසාන වාක්‍යය හැරුන කොට එය එම ටැම්ලිපියේ අන්තර්ගතයම වූ බව පවසයි. එමගින් අඩු වැඩි වශයෙන් රජුගේ රට පුරා කල සංචාර, සතුන්ට අභය දානය දීම්, බදු අහෝසිකිරිම්, පෙර රජවරුන් විසින් දඩුවම් පැමිණවූ පුද්ගලයන් නිදහස් කිරීම්, සහ හෙතෙම සිදුකල විදේශ ආක්‍රමණ ගැන පවසා අවසානයේ පවසන්නේ මෙය "ශ්‍රි විර කාලිග ලංකේශ්වර අප්‍රතිමල්ල නිශ්ශංකමල්ල ශ්‍රි පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ......නිමවා වදාරන පතැසයි" යන්නය. මැකී ඇති අකුරු වලින් දියකෙලිය (The Ceremony of bathing) යන්න අදහස් වූ බව සැක කෙරේ.
ස්නානාගාරයේ පහල කොටස, පඩිපෙල සහ ඉතිරිව ඇති පැරණි කපරාරුව වම් පසින් දැකිය හැක.
නිශ්ශංකමල්ල රජුගේ මෙම ස්ථානයෙන් හමුවන අනික් ලිපිය දිවයිනේ වෙනත් බොහෝ ස්ථාන වලින් හමුවී ඇති ආකාරයේ ගල් ආසන ලිපියකි (කියවන්න - මුල් ගල් ඉදිරීම, අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම සහ නිශ්ශංකමල්ලගේ ගල් ආසන සෙල්ලිපියක්) නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය අසලින් එහි දකුණු පසින් හමුවූ මෙම ලිපියේ වූ ඔහුගේ වෙනත් එවැනි ගල් ආසන ලිපි වල පැවසෙන ආකාරයේ සුපුරුදු විස්තර වලින් අනතුරුව පවසන්නේ මෙය රජු කාලිංග උද්‍යානයේ නෘත්‍ය ගීතාදී කලා ක්‍රීඩා පිණිස වැඩහිඳිනා සිංහාසනය බවයි. එසේම එම ගල එඩේරගල්ලෙන් ගෙනා බවද එහි පවසා ඇත (මෙය සීගිරියට සැතපුම් 5 පමණ බටහිර දෙසින් පිහිටි වර්තමාන එඩේරුගල ග්‍රාමය විය හැක.)
නිශ්ශංකමල්ල කාලිංග උයන ගල් ආසන ලිපිය

බිසෝකොටුව අසල ඇති සඳකඩපහණ සහිත ගොඩනැගිලි පාදම
වර්තමාන කාලයේ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කල නෙළුම් කුළුන ජඩපාලකයන්ට ඔවුන්ගෙ සංකල්පයක් පරිදි ඔවුන් ආරම්භ කර නිමවමින් තිබෙන සංනිවේදන කුළුනක් වී ඇති ආකාරයෙන්ම පරාක්‍රමබාහු රජු නිමවූ 'දීප උයන' නිශ්ශංකමල්ල 'කාලිංග උද්‍යානයක්' කර එඩේරුගලින් ගෙනා ගලක සිය නම කොටා අපට සිය පම්පෝරියද සමගින් ඉතිරි කර තැබුවාද? සීතාවක උද්භීද උද්‍යානය, වරාය නගරය, මොරගහකන්ද, බැද්දගාන තෙත් බිම් උද්‍යානය අදියේ ඒවා ඉදිකර හෝ වැඩ අරඹමින් මහින්ද රාජපක්ෂ මහතා තැබූ මුල් ගල් සහ ඵලක අස්ථානගතවූ පරිද්දෙන්ම පරාක්‍රමබාහු රජතුමා තැබූ ඵලක පරාක්‍රමසමුද්‍රය පතුලට ගොස් නිශ්ශංකමල්ලගේ ගල් ආසන පමනක් ඉතිරි වූවාද? එහෙත් ඔහුට අමතක වූ දෙයක් නම් මහාවංශය ලියූ යතිවරයන්වහන්සේ විසින් පරාක්‍රමබාහුගේ දීප උද්‍යානය ගැන සියළු තොරතුරු එයට පොරොතුව ලේඛනගත කර අනාගත පරපුරට ආරක්ෂා කර තැබූ බවයි. වර්තමාන ජඩපාලකයන්ද තේරුම් ගත යුත්තේ වැඩබැරි  ඔවුන් වැනි සොර මුලක් කෙසේ යටගැසීමට උත්සාහ කලද ඉතිහාසය සැඟවීම එතරම් ලේසි පහසු දෙයක් නොවන බවය. නොමැති නම් මේ රටේ බුද්ධිමත් ජනතාව ඔවුන්ට එය තව සති දෙකකින් ඔලුවට පොල්ලකින් ගසා මතක් කර දෙනු ඇත.
පරාක්‍රමසමුද්‍රයේ ජලයෙන් යටවන කොටසේ ඇති ගොඩනැගිල්ල
මූලාශ්‍ර
  • Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196), Raja de Silva, 2016
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928

Monday, January 22, 2018

නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය සහ කටුගෙට ගොස් යලි පැමිණි සිංහයා

පොළොන්නරුවේ පරාක්‍රමසමුද්‍රයේ වැව් බැම්මට නැගෙනහිර දෙසින් තානායම අසල පිහිටි පැරණි නටබුන් ගොඩනැගිලි සහ දීප උයන නමින් හැඳින්වෙන පැරණි උද්‍යානයේ නෂ්ටාවශේෂ අතර ඇති නටබුන් වූ පාදම, පියගැටපෙලවල් සහ විශාල ගල් කණු පේලි සතරකින් යුත් චතුරශ්‍රාකාර ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය ලෙසින් හඳුනාගෙන ඇත. එම ගොඩනැගිල්ලේ උතුරු දෙසින් එයට පිවිසීමට ඇති ප්‍රධාන පියගැටපෙල ඇති අතර බටහිර දෙසින්ද කුඩා පිවිසුමක් ඇත. ගොඩනැගිල්ලේ පාදම මාලක දෙකකින් යුක්තවන අතර එම පහලම මාලකය විවිධ ඉරියව් වලින් සිටින ශෛලමය ඇත් රූප වලින් අලංකාර කර තිබූ බව සහ ඉහල මාලකය ශෛලමය සිංහ රූප වලින් ඒ අයුරින්ම සරසා තිබූ බව බටහිර සහ උතුරු දෙස පාදම් වල අතරින් පතර ඉතිරි වී ඇති එවන් රූප වලින් පැහැදිලි වේ. 
බටහිර දෙසින් වූ කුඩා පිවිසුම
මෙම ගොඩනැගිල්ලේ  වහලයට ආධාරක වූ ගල් කුළුණු පේලි අතරින් ඇතුල්පස වූ ඇතැම් ගල් කුළුණු වල සෙල්ලිපි කොටා ඇති අතර එම සෙල්ලිපි වලින් රාජ සභාවේ එම ස්ථාන වෙන්කර තැබූ පුද්ගලයන් පිළිබඳව වැදගත් තොරතුරු හෙලිවේ. යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ හිඳින ස්ථානය, පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන්ට ස්ථානය, ප්‍රධානයන්ට ස්ථානය, සෙනෙවිරදුන්ට ස්ථානය, ඈපාවරුන් හිඳින ස්ථානය, අඝම්පඩි භාරක මඬලිකවරුන්ට ස්ථානය, චෞරාසිවරුන්ට ස්ථානය සහ ඩගෝෂ්ටියෙහි ඇත්තවුන්ට ස්ථානය ලෙසින් ඒවා නම් කර ඇත. 
දකුණු පසින් රාජ සභා මණ්ඩපය දිස්වන ආකාරය. වම්පසින් දැක්වෙන්නේ බටහිර දෙසින් වූ පිවිසුමයි.
එම තනතුරු ලත් පුද්ගලයන් සභා ශාලාවේ සිටි ආකාරය පහත රූප සටහනින් වඩාත් පැහැදිලිව පෙන්වා දිය හැක.
යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ (Heir apparent)
යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ හිඳින ස්ථානය ලෙස සලකුණු කර ඇත්තේ ඉහත රූපයේ 5 ලෙසින් දැක්වෙන කුළුණ අසලය. (රජු) සිංහාසනයේ වැඩහුන් කල යුවරජ 'හිඳින' ස්ථානය ලෙසින් එය එම ලිපියේ හඳුන්වා ඇත. මෙම ගොඩනැගිල්ලේ නටබුන් අතරම තිබී හමුවූ යුවරජ තැන්පත් නිශ්ශංකමල්ල රජුගේ පුත් වූ වීරබාහුගේ ගල් ආසනය ලෙසින් සටහන් කල ශෛලමය ආසනයද මුලින් මෙම ස්ථානයේ තිබුනා විය හැක.

ඈපාවරුන් (Heir presumptives)
ඈපාවරුන් සිටින ස්ථානය ලෙසින් සලකුණු කර ඇත්තේ ඉහත රූපයේ 4 ලෙසින් දැක්වෙන කුළුණ අසලය. (රජු) සිංහාසනයේ වැඩහුන් කල ඈපාවරුන් 'හිඳින' ස්ථානය ලෙසින් එය නම් කර ඇත.
පාදමේ පහල මාලකයේ ඉතිරි වී ඇති ඇත් රුවක්
සෙනෙවිරදුන් (Commander-in-Chief)
(රජු) සිංහාසනයේ වැඩහුන් කල සෙනෙවිරදුන්ට ස්ථානය ලෙසින් අකුරු කොටා ඇත්තේ ඉහත රූපයේ 3 ලෙසින් දැක්වෙන කුළුන අසලය.

ප්‍රධානයන් (Principal dignitaries)
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් අකුරු කෙටු ලිපියක් ඉහත 2 ලෙසින් හැඳින්වෙන කුළුනේ ඇත. ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් විනා ප්‍රධානයන් හිඳින ස්ථානය ලෙසින් එය හඳුන්වා නොමැති බව පෙනේ. ඉහත සෙනෙවිරදුන් සඳහා වෙන් කල ස්ථානයේද 'හිඳින' යන්න නොමැත. එහෙත් යුවරජ සහා ඈපාවරුන් සඳහා පමණක් එසේ යොදා තිබීම අවධානය බඳුන්විය යුතු යැයි සිතේ.
පාදමේ ඉහල මාලකයේ ඉතිරි වී ඇති සිංහ රූප
පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන්
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන් ලෙසින් හැඳින්වෙන පිරිසකට වෙන් කල ස්ථානය, අසල කුළුණේ ඇති ලිපියට අනුව ඉහත 1 ලෙසින් ලකුණු කල ස්ථානයයි. එලෙස හැඳින්වෙන්නේ පොත් තබන්නන් සහ ගණකාධිකාරවරුන් (Bookkeepers & Accountants) ලෙස සිරිමල් රණවැල්ල මහතා එම ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ සඳහන් කරයි.

ඉහත සඳහන් සියළු පුද්ගලයන් ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමේ සිට බැලූ කල දකුණු පසින් එනම් බටහිර දිසාවෙන් වූ ස්ථාන වල තිබූ ආසන වල හිඳගෙන (හෝ සිටගෙන) රාජ සභාවේ කාර්යයන්ට සහභාගි වී ඇත.
සිංහාසනයේ තිබූ විශාල සිංහ රූපයේ පහලින් ඇති සෙල්ලිපිය
ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමේ සිට බැලූ කල වම් පසින් එනම් නැගෙනහිර දිසාවෙන් වූ ස්ථාන වල ඇති කුළුණු 3 ක සෙල් ලිපි වලට අනුව එම ස්ථාන වල සිට රාජ සභාවේ කාර්යයන්ට සහභාගි වූ පුද්ගලයන් මේ ආකාරයෙන් දැක්විය හැක.

අඝම්පඩි භාරක මඬලිකවරුන්
ඉහත සටහනේ අංක 6 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන්කර ඇත්තේ අඝම්පඩි භාරක මඬලිකවරුන්ටය. (රජු) සිංහාසනයේ වැඩ හුන් කල අඝම්පඩි භාරක මඬලිකවරුන් එනම් අගම්පඩි හෙවත් කුලී හේවායන්ගේ හමුදාවේ මණ්ඩලික ප්‍රධානියන්ට (Mandalikas in charge of the Agampadi unit of the Army [Mercenary army])වෙන් කල ස්ථානයයි.
රාජ සභා මණ්ඩපයේ දකුණු පස සිට බැලූ විට සිංහ රුව වර්තමානයේ පිහිටුවා ඇති ආකාරය.
චෞරාසිවරුන්
චෞරාසිවරුන් ලෙස හැඳින්වෙන පිරිසකට ඉහත සටහනේ අංක 7 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන් කර තිබූ බව ඒ අසල ඇති කුළුනේ කොටා ඇති සෙල් ලිපියන් කියැවේ. චෞරාසිවරුන් යනු ප්‍රාදේශිය පාලකයන් හඳුන්වන ඉන්දියානු සම්භවයක් ඇති වදනකි. ප්‍රදේශ 84 ක පාලකයා යන්න එහි නිරුක්තියයි (Office-in-Charge of 84 districts). Lesser regional administrators ලෙසින් රණවැල්ල මහතා සිය Inscription of Ceylon Volume 6 ග්‍රන්ථයේ ඉහත ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ එම තනතුර හඳුන්වන මුත් රාජා ද සිල්වා මහතා ඉහත ඉන්දියානු ප්‍රාදෙශිය පාලකයන්ගේ නම සිය Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196) නම් වූ පර්යේෂණ කෘතියේ ඉදිරිපත් කරයි.
ප්‍රධාන පිවිසුම ඉහල සිට
ඩගෝෂ්ටියෙහි ඇත්තවුන්
රජු සිංහාසනයේ වැඩ හුන් කල ඩඝෝෂ්ටියෙහි ඇත්තන්ට වෙන් කර ඇත්තේ ඉහත අංක 8 ලෙසින් දක්වා ඇති කුළුන අසල ස්ථානයයි. එනම් වානිජ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් (Members of the mercantile cooperation) රාජ සභාව රැස්වූ විට එම ස්ථානයේ සිට ඇත.

නටබුන්ව පැවති මෙම රාජ සභා මණ්ඩපය අසලම තිබි හමුවූ විශාල සෙල්මුවා සිංහ රුවක් එහි පහතින් දෙපැත්තේම කොටා ඇති සෙල්ලිපි මගින් පැහැදිලිව දැක්වෙන ආකාරයට නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය හෝ එයට ආධාරකයක් වූ බව පෙනේ.ඇතැම් විට සිංහාසනය දෙපසින් මෙවන් තවත් සිංහ රුවක් තිබුණා විය හැක. දෙවෙනි සිංහ රුව කොළඹ කෞතුකාගාරයේ ඇති ලෙසට මහාචාර්ය ආරිය ලගමුව මහතා සිය කෘතියේ පවසන මුත් එම ප්‍රකාශයේ විශ්වාසනීයත්වය තහවුරු කිරිමට වෙනත් කිසිදු මූලාශ්‍රයක් හමු නොවේ.  සෙල්ලිපියේ සඳහන් වනුයේ එය 'ශ්‍රී විරිදුරාජ වීරවෙශ්‍යා භූජග නිස්සංක ලංකේශ්වර කාලිඟ චක්‍රවර්ති ස්වාමින් වහන්සේ වැඩැ හුන් වීර සිංහාසනය 'බවයි. එම සිංහ රුව වර්ෂ 1876 දී කොළඹ කෞතුකාගාරය වෙත රැගෙන ආ මුත් නැවතත් වර්ෂ 1965 සැප්තැම්බර් මස 2 වෙනි දින එය මුලින් පිහිටි නිශ්ශංක රාජ සභා මණ්ඩපය අසලට ගෙනගොස් පසුව ඉහත රූපයේ C ලෙසින් සලකුණු කර ඇති ස්ථානයේ පිහිටුවා ඇත.
නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය තිබූ නිවැරදි ස්ථානය එයද යන්න පිළිබඳ විවිධ මත පවතී.  H.C.P. බෙල් සහ රිස් ඩේවිඩ්ස්  මහතුන්ගේ මතය වනුයේ එය ඉහත රූපයේ B ලෙස ලකුණු කර ඇති ස්ථානයේ තිබුනා විය හැකි බවයි. මෙම රාජ සභා මණ්ඩපය පරාක්‍රමබාහු රජුගේ ලෙස වැරදියට හඳුනාගන්නා මුත් රිස් ඩේවිඩ්ස්  මහතා වර්ෂ 1873 Indian Antiquary Vol 2 සඟරාවට ඉදිරිපත් කරන ලිපියකින් පවසන්නේ ඉහත A සහ B ලෙසින් සලකුණු කර ඇති ස්ථාන වලින් එවකට පිළිගත් ස්ථානය වූ A හි නොව B ස්ථානයේ සිංහාසනය තිබුනා විය හැකි බවයි. ඔහු පවසන පරිදි B ස්ථානයේ රජු අසුන් ගත් විට රාජ සභාවේ ඉහල නිල දරන්නන් ඔහු ඉදිරියෙනුත් යුවරජ සහ ඈපාවරුන් ඔහුගේ දකුණු (?) පසිනුත් පහල නිලදරන්නන් ඔහුගේ පිටුපසිනුත් සිටින බවයි. එසේ නොමැතිව සිංහාසනය ඉහත A ලෙස දැක්වෙන ස්ථානයේ තැබුවහොත් වානිජ ප්‍රජාවට ප්‍රධාන තැනක් ලැබෙන බැවින් එය විය නොහැකි බවයි. එම අදහසම අනුමත කරන රාජා ද සිල්වා මහතාද එය වර්තමානයේ පිහිටුවා ඇති ස්ථානය නිවැරදි නොවන බවට තර්ක කරයි. කෙසේ නමුත් වර්තමාන C ස්ථානයද ඉහත රිස් ඩේවිඩ්ස්  සහ රාජා ද සිල්වා මහතුන් ඉදිරිපත් කරන ආකාරයටම රාජ සභා සාමාජිකයන් රජු ඉදිරියේ ස්ථාන ගතවන ස්ථානයක් ලෙසින් හඳුනාගත හැක. එබැවින් සිංහාසනය එම ස්ථානයේ හෝ එයට මදක් ඉදිරියෙන් ඔවුන් පවසන පරිදි B ස්ථානයේ තිබුණා විය හැක.
ගල් කණු මත කොටා ඇති සෙල්ලිපියක් සහ වීරබාහු යුවරජුගේ ආසනය
මූලාශ්‍ර

  • Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196), Raja de Silva, 2016
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • මධ්‍යකාලීන රාජධානිය, පොළොන්නරුව, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක අධ්‍යයනයකි, මහාචාර්ය ආරිය ලගමුව, 1999
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume one, History of the Department of Archaelogy, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • Inscription at the audience hall of Parakramabahu, Pulastipura, Rhys Davids, Ceylon. Indian Antiquary Vol 2, 1873

Sunday, January 7, 2018

කලාඔය නිම්නයේ "අලුතින් සොයාගත්" පැරණි දාගැබ - නවාගල

ගෙවෙමින් පවතින්නේ අන්ත ජාතීවාදින්ගේ මනදොළ සපුරන පාලකයන් රජවී සිටින, වසර දහස් ගනනක සිංහල බෞද්ධ සභ්‍යත්වය වලපල්ලට දක්කන අධම යුගයකි. පුරාවිද්‍යා බලධාරීන් බලාසිටියදී සාම්පූර්හි සුදකුඩා දාගැබ ඩෝසර් කිරීමට තරම් දෙමළ ජාතිවාදීන් ඔවුන්ට කප්පම් දෙන පාලකයන්ගේ බලය අතට ගෙන ඇත. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් නැගුන විරෝධය නිසා එම දාගැබ ඩෝසර් කල පුද්ගලයන්ට මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතුනද, ඩෝසර් කල දාගැබෙහි ඓතිහාසික සාධක සහිතව නැවතත් එය තිබූ ආකාරයෙන් ගොඩනැගිය නොහැක. සීගිරි කැටපත් පවුර කුරුටු ගා හසුවූ දෙමළ තරුණියට ලැබුන අයුරින්ම ඊණියා සහජීවනය වෙනුවෙන් ජඩපාලනය යටතේ වරප්‍රසාද ලත් සුළු ජාතිකයන් වන බැවින් ජනාධිපති සමාව වුවද ඉදිරියේදි වැරදිකරුවන් වුවහොත් විනාශ කල දාගැබ අසල කෝවිලේ භාරකාරිත්වයටද ලැබීමට ඉඩ ඇත. ඩෝසරය පැදවූ සිංහල ජාතිකයන්ට නම් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වනු ඇත. කෙසේ වුවත් මෙම ලිපියෙන් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ එවන් ඉරණමක් අත් නොවී මේ වන විට නැවතත් බෞද්ධ බැදිමතුන්ගේ වන්දනාමානයට ලක්විමට තරම් වාසනාව ලද කලා ඔය නිම්නයේ පිහිටි පැරණි දාගැබක නූතන ඉතිහාසයයි.

වෙල්යායකින් වටවූ නවාගල ස්ථූපය 2005 වසරේදී දිස්වූ ආකාරය
ප්‍රධාන වශයෙන් පැරණි  අඟලේ සිතියම් වල දැක්වෙන තොරතුරු උපයෝගි කරගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන පිළිබඳව සොයමින් සිටි අප කිහිප දෙනෙකු හට 2005 වසරේදි කටියාව යාය 1 ගම්මානයේ වෙල් යායකින් වටවූ මීටර් 15 පමණ උස ස්ථූප ගොඩැල්ලක් දක්නට ලැබුනි. නාවාගල පුරාණ රජමහා විහාරය නමින් හැඳින්වෙන විසිවන සියවසේ ආරම්භ කරන ලද විහාරයක්ද එම ස්ථානයේ තිබූ අතර විහාර භූමිය පුරා පාදම් ගල්, සිංහ සහ ඇත් රූප වල විනාශ වූ කොටස්, ගල් කණුවක තිබූ ගෙවිගිය සෙල්ලිපියක්, විනාශ කල හිටි පිළිමයක කොටස් කිහිපයක්, නාග රුවක් සහිත මුරගලක් සහ වෙනත් මුරගලක කොටස්, පැරණි ගඩොල් මෙන්ම විහාරයේ නායක හිමියන් විසින් විහාර භූමියේ තිබූ සොයාගත් මැටි සහ අගස්ති පබළු ආදිය අපට දක්නට ලැබුනි. එම තොරතුරු ප්‍රදේශයේ එවැනි වෙනත් ස්ථාන කිහිපයක්ද සමගින් 2006 වසරේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මහින් පලකල "ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා" ලිපි සංග්‍රහයේ දෙවන වෙළුමට ධනේෂ් විසුම්පෙරුම සහ පිරිස විසින් "එප්පාවල ප්‍රදේශයේ අප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන" ලෙසින් ඉදිරිපත් කල ලිපියෙන් ප්‍රකාශයට පත්කර ඇත.
නවාගල ස්ථූපය කැනීමට පෙර සහ පසු
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තා වල මේ ස්ථානය ගැන සඳහනක් මුල් වරට 1960 වසරේදි දක්නට ලැබෙන අතර පැරණි දාගැබේ මළුව දක්වාම වී වගාව පැතිර තිබූ බවත්, වගා කටයුතු සහ වෙනත් ඉදිකිරීම් නිසා මෙහි තිබූ වෙනත් නටබුන් විනාශ වී ගොස් ඇති බවත් පිළිවෙලින් 1960 සහ 1968 වසර වල පලවූ එම වාර්තාවන්හි දැක්වේ. මේ ආශ්‍රිත ප්‍රදේශයේ වෙනත් ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන්ම 1895 වසරේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ තොරතුරු ඉදිරිපත් කරන H.C.P. බෙල් මහතාට මෙම ස්ථානය හමුනොවූ බව එම වාර්තාවෙහි ඒ ගැන සඳහන් නොවීමෙන් පැහැදිලි වේ. නවාගල පැරණි ස්ථානය ලෙසින් සංස්කෘතික අමාත්‍යාංශය මගින් 1972 වසරේ ප්‍රකාශිත පැරණි ස්ථාන නාමාවලියේ මෙම ස්ථානය ගැන සඳහන්වේ. එම ස්ථානයේ ජරාවාස වූ පැරණි දාගැබක් ඇති බව එහි සඳහන්වේ.
ස්ථානයේ විසිර තිබූ මුරගල් (1,2), කැටයම් කල පාදම් ගල්(3),අගස්ති සහ මැටි පබළු(4) සිංහ රූපයක අවශේෂ(5), සහ කැනීමෙන් සොයාගත් කැටයම් කල ගඩොලක්(7) සහ ධාතු තැන්පත් කරතිබූ ගල් කරඬු (6)
මෙවන් තොරතුරු මේ ස්ථානය සම්බන්ධයෙන් පළවි තිබූ මුත් 2009 වසරේ ජූලි මස ලංකාදීප පුවත්පතට පුවත් වාර්තාවක් සපයන එක්තරා "රිපෝටර්වරයෙකු" පවසා තිබුනේ එප්පාවල ප්‍රදේශයේ පැරණි විශාල දාගැබක් අලුතින් සොයාගෙන ඇතිබවය. එසේම එහි වැඩිදුරටත් සඳහන් වූවේ අප කිසි දිනක අසා නැති අමුතුම කතාන්දරයකි. පුරාවිද්‍යාව හා සම්බන්ධ උගත් මහාචාර්යතුමෙකු පැවසූ බව පවසමින් එම "අතේරෝල් බෝතල් පත්තරකරුවා" (ගොට්ට ඇල්ලීමේ සහ අනුන්ගේ ඡායාරූප උගේ වගේ පලකිරීමේ දක්ෂයෙකු වූ මොහු දැනට රටේ ඉහලම පුද්ගලයෙකුගේ උපදේශකයෙකි ) පවසා තිබුනේ මෙම ස්ථූපය උඩට නැගගත්විට අනුරාධපුරයේ පිහිටි මහා ස්ථූප පවා දිස්වන බවත්, පෙරකල අනුරාධපුරයට යාමට නොහැකිවූ මෙම ප්‍රදේශයේ ජනයා මෙම ස්ථූපය මුදුනේ සිට ඒවා වන්දනා කල බවත්ය (සිනානොවන්න ඔහු අද ඔහු වැනිම කප්පරක් බොරු පවසා ජනතාව මුලා කල චේතිය රජකුගේ උපදේශකයෙකි.)
වම - පසුකාලීනව විශාල කල දාගැබේ ගඩොල් ගැලවූ විට දිස්වන මුල් කාලීන ස්ථූපයේ ගඩොල් බැම්ම, දකුණ - මතුකරගනිමින් පවතින පේසාවලලු සහ ස්ථූප පාදම
පසු කලක මෙම දාගැබ කැනීම් කර සංරක්ෂණය කල අතර කැනීමෙන් පසු ගත් ඡායාරූප කිහිපයක් මේ සමග පලවේ. අන්තර්ජාලයේ පලවී ඇති තොරතුරු අනුව අද වන විට එය නැවතත් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. Link >> කෙසේ නමුත් එම ස්ථානය ආශ්‍රීතව ගොඩනැගී ඇති "නූතන ජනප්‍රවාද" කොතරම් දුරට නිවැරදිදැයි අප නොදනිමු. අප දන්නා තරමින් කැනීම් වාර්තා පලවී නොමැති මුත් ස්ථානයේ ඉතිහාසය සම්බන්ධව ගඩොල් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් කාල නිර්ණය  ක්‍රි.ව. 200 ත් 900 ත් අතර කාලයට අයත් වේ.  එසේම මේ සමග පළකර ඇති ඡායාරූප වලද දිස්වන ආකාරයට කලින් ඉදිකර තිබූ ස්ථූපයක් තරමක් විශාල කරමින් කිසියම් කාලයකදි මෙම ස්ථූපය නැවත ඉදිකර ඇති බව සොයාගෙන ඇත.
කැනීමෙන් මතුකරගත් පැරණි ගඩොල් මල් ආසනයක්(1), ස්ථූප පාදමේ පැරණි හුණු කපාරාරුව ඉතිරි වී ඇති ආකාරය (2), ස්ථූප පාදම (3), යූප ගල(4) සහ සිරිපතුල් ගලක් (5)
මූලාශ්‍ර
  • Ian K. Bailiff et. al., 2013, Luminescence dating of brick stupas: An application to the hinterland of Anuradhapura, Sri Lanka. Antiquity · March 2013.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • විසුම්පෙරුම, ධනේෂ් සහ පිරිස, 2006, එප්පාවල ප්‍රදේශයේ අප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුමට 2, 2006